IMG-LOGO

2025 ජුනි මස 02 වන සඳුදා


රජය මැදිහත් නොවන තරමට සාහිත්‍යයට හොඳයි

මෙරට ගීත සාහිත්‍යයට සුනිසි මගක් හදුන්වාදෙමින් එහි ස්වර්ණමය යුගයක් නිර්මාණය කිරීමට සුවිසල් දායකත්වයක් සැපයූ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා විවිධ ක්ෂේත්‍ර ඔස්සේ කෘති රැසක් රචනා කරමින් මෙරට සාහිත්‍යයට පුළුල් මෙහෙවරක් කරමින් සිටින රාජ්‍ය සම්මාන ඇතුළු සම්මාන ගණනාවකින් පිදුම් ලැබූ විද්වතෙකි.

ඔහු රචනා කළ ශාස්ත්‍රීය පර් යේෂණ කෘති මාලාව මෙරට පර් යේෂණ ක්ෂේත්‍රයේ දියුණුවට දැක්වූ දායකත්වය සුළු පටු නොවේ. මහාචාර්යවරයාගේ නිර්මාණදායකත්වයේ ඇති සුවිශේෂත්වය නම් ඔහු කවර ක්ෂේත්‍රයක් නියෝජනය කරමින් කවර නිර්මාණයක් කළත් එම නිර්මාණයේ පවත්නා පර් යේෂණාත්මක ගුණයයි. මේ සියල්ලට අමතරව සිනමාකරුවකු ලෙස දිගු කාලයක් පුරා ඔහු කළ සිනමා නිර්මාණ මෙරට විචාරකයන්ගේත් ප්‍රේක්ෂකයන්ගේත් නොමද අවධානයට ලක් වූ බව පෙනේ.

විශේෂත්වය නම් ඔහු එම සිනමා නිර්මාණ කිහිපයක තිර නාටක කෘති ලෙස පළ කරමින් තිර නාටක සාහිත්‍යයේ දියුණුවට දක්වා ඇති දායකත්වයයි. ක්‍රිස්තු චරිතය, පත්තිනි, බිම්බාදේවි හෙවත් යශෝදරා, කදිර දිව්‍ය රාජ ආදි චිත්‍රපට තිර නාටක ඒ අතර කැපී පෙනේ. මෑත කාලයේ මෙරට රසික සමාජය තුළ වඩාත් ජනප්‍රියත්වයට පත් වූ ගෞතම බුද්ධ මාතා චිත්‍රපටයේ තිර නාටක පිටපතද පසුගියදා එළිදැක්විණ. මෙම සටහනෙන් සංක්ෂිප්තව හෝ අප විමසා බලන්නේ මහාචාර්යවරයාගේ එම තිරනාටකය පිළිබදව සහ තිර නාටක සාහිත්‍යයේ විශේෂතා පිළිබදවය. මහාචාර්යවරයා සමග අප කළ සාකච්ජාවකදී මේ සම්බන්ධයෙන් ඔහු දැක්වූ අදහස් පොදු පාඨකයන්ට පමණක් නොව තිර නාටක රචකයන්ටත් තිර නාටක සාහිත්‍යය පිළිබදව අධ්‍යයන පර් යේෂණවල යෙදෙන්නන්ටත් වඩාත් සඵලදායක වනු ඇති බව අපගේ විශ්වාසයයි.

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ගෞතම බුද්ධ මාතා සිනමා පටය පිළිබදව සටහනක් පුවත්පතකට සපයන මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයෝ මෙසේ සදහන් කරති.

“ගෞතම බුද්ධ මාතා නම් වූ දෘශ්‍යමය වෘතාන්තය වනාහි ඉතා ඉහළ තලයක පවතින මනා අවබෝධයෙන් කළ කෘතියකි. මේ දෘශ්‍ය නිර්මාණ‍යෙන් කිසිදු මොහොතක වියළි වූත් ඕලාරික වූත් ජවනිකා ඔස්සේ අවිදග්ධ ජනයා පිනවීමක් සිදු නොවේ. එබැවින් මේ සිනමා කෘතිය ඇගැයීමේ දී සම්මතවාදී මිනුමකින් එය කළ නොහෙන බව අප වටහා ගත යුතුව ඇත.”‍

මූලිකවම මෙම තිර නාටකය කෘතියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම වැදගත් වන්නේ මෙරට තිර නාටක සාහිත්‍යය පෝෂණයට එහි පවත්නා දායකත්වය නිසාය. මෙරට තිර නාටක සාහිත්‍ය පිළිබදව මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ අදහස විමසූ අපට ඔහු ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.

“අපේ රටේ සිනමා තිර නාටක සාහිත්‍යයක් නැත්තටම නැති තරම්. තමාගේ තිර නාටකය මුද්‍රණය කිරීමට බොහෝ සිනමාකරුවන් උනන්දුවන බවක් පෙනෙන්නට නැහැ. ලංකාවේ හිටපු විශිෂ්ටතම තිර නාටක රචකයා තමයි තිස්ස අබේසේකර. ඔහු පවා තිර නාටක දෙක තුනක් පමණයි මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් කළේ. උදාහරණ හැටියට වැලිකතර, විරාගය, අහසින් පොළොවට වගේ තිර නාටක දක්වන්න පුළුවන්. නූතනයේ අපට සිටින තවත් විශිෂ්ට සිනමාකරුවකු වන ප්‍රසන්න විතානගේ පවා මුද්‍රණයට පත් කළේ සිසිල ගිනි ගනී, ආකාශ කුසුම්, වැනි චිත්‍රපට තිර නාටක පමණයි. පොදුවේ ගත්තාම අපේ රටේ සිනමා තිර නාටක සාහිත්‍යයක් ගැන ඒ තරම් උනන්දු වන බවක් පෙනෙන්නට නැහැ.”

මහාචර්ය සුනිල් ආරියරත්නයන් මේ වන විට චිත්‍රපට විසි ගණනක් නිර්මාණය කර ඇතත් ඔහු මේ තිර නාටක අතරින් මුද්‍රණයට පත් කරන්නේ තිර නාටක පහක් පමණයි. වැදගත් කරුණ නම් මේ සියල්ලේ පවත්නා පර් යේෂණාත්මක ගුණයයි. මේ සදහා ඔහු යොදාගන්නා මූලාශ්‍ර ගණනාවකි. විශේෂයෙන් බිම්බාදේවී හෙවත් යශෝධරා සහ ගෞතම බුද්ධ මාතා යන චිත්‍රපට තිර රචනා නිර්මාණය කිරීමේ දී ඒ සදහා ප්‍රධාන මූලාශ්‍රය කරගන්නේ මයූරපාද පරිවේණාධිපති බුද්ධ පුත්‍ර හිමියන් 13 වැනි සියවසේ දී රචනා කළ පූජාවලිය කෘතියයි. මෙම චිත්‍රපට දෙකෙහි ප්‍රධාන චරිත වන මහා ප්‍රජාපතී ගෝතමිගේත් යශෝධරා දේවිගේත් චරිත ගොඩනැගීමට විශේෂයෙන්ම පූජාවලියම ප්‍රමුඛ මූලාශ්‍රය කර ගන්නේ ඇයි? මහාචාර්යවරයා ඊට ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.

“අප පුදුම විය යුතු කාරණාවක් නම් සිංහල බෞද්ධ සාහිත්‍යයේ ප්‍රධාන ස්ත්‍රී චරිත ගැන පවා තොරතුරු අඩංගු වන්නේ ඉතාම අඩුවෙන් වීම. යශෝධරා දේවිය මග හැර සිදුහත් චරිතය ගැන කතා කළ නොහැකි වුවත් බොහෝ සම්භාව්‍ය කෘතිවල පවා පේළි හත අටකට වඩා ඇය ගැන තොරතුරු ඇතුළත් වන්නේ නැහැ. මහා ප්‍රජාපති ගෝතමිය ගැනත් ඒ විදියයි. එහෙම බලනකොට පූජාවලී කතුවරයා පමණයි මේ ස්ත්‍රී චරිත දෙකටම සාධාරණයක් ඉටු කරන්නෙ. පූජාවලිය රචනා නොවුණානම් මට මේ සිනමා පට දෙකම රචනා කරන්න බැරිවෙන්න තිබුණා. මොකද තොරතුරු නෑ. මේ තරම් ශ්‍රේෂ්ඨ කාන්තාවන් දෙදෙනෙක් ගැන අපේ සිංහල බෞද්ධ ලේඛකයෝ අවධානයක් යොමු නොකළේ ඇයි කියන එක ගැන මට හිතාගන්න බෑ.”‍

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ගේ බුද්ධ මාතා සහ යශෝදරා චිත්‍රපට දෙකම එක්තරා විදියක පර් යේෂණයකැයි අප මුලින් සදහන් කළේ එබැවිනි. පූජාවලිය ප්‍රධාන මූලාශ්‍රය කරගන්නා ඔහු තවත් කෘති ගණනාවක් තුලනාත්මකව අධ්‍යයනය කරමින් මේ

පර් යේෂණ වෑයම සාර්ථක කර ගන්නට මහන්සි ගනියි. බෂාම් ගේ අසිරිමත් ඉන්දියාව, අශ්වඝෝෂගේ බුද්ධ චරිතය, ආදි බෞද්ධ චින්තනය, ආදිම යුගයේ බෞද්ධ කාන්තාවෝ, කාන්තාව සහ බුදු සමය, ඕ නුවණැස ලැබුවාය, ජින චරිතය, නැගෙනහිර ආසියානු මහායාන බුදු සමය ආදි මූලාශ්‍ර කෘති ඒ අතරින් කිහිපයක් පමණි. විධිමත් අන්දමේ තිර නාටකයක් රචනා කිරීම මොන තරම් බරපතළ හා පර් යේෂණාත්මක කාර්යයක් ද යන වග වත්මන් නිර්මාණ රචකයන්ට හා පර් යේෂකයන්ට තේරුම් ගැනීමට මෙය හොද අවස්ථාවකි.

නිර්මාණයක පර් යේෂණ කාර්යය මොනතරම් වැදගත් දැයි මහාචාර්යවරයාගෙන් තව දුරටත් විමසා බලන්නට අප කල්පනා කළේ එබැවිනි. මහාචාර්ය සුනිලු‍න්ගේ පිළිතුර මෙසේයි.

“චිත්‍රපටයක පදනම තමයි තිර නාටකය. හොද තිර නාටකයකින් තොරව හොද චිත්‍රපටයක් කරන්න බෑ. ඒකට පර් යේෂණාත්මකව මහන්සි වෙන්න ඕනෑ. මට මුල් කාලීනව බොහෝ දුරට තිස්ස අබේසේකරගේ තිර නාටක බලපෑ බව කියන්න ඕනෑ. පොඩි මල්ලී, උප්පලවන්නා, අහස් මාලිගා, විජයබා කොල්ලය, වැනි චිත්‍රපට තිර රචනා මම කළේ තිස්ස අබේසේකර ගේ තිර නාටක පාදක කරගෙන. මම තිර නාටක ලියන්න පටන් ගත්තෙ තිස්ස අබේසේකරගේ අභාවයෙන් පස්සෙ.

අනෙක් පැත්තෙන් බෞද්ධ කතාවක් පදනම් කරගනිමින් තිර නාටකයක් රචනා කිරීමත් චිත්‍රපටයක් නිර්මාණය කිරීමක් ඉතාම අසීරු කාර්යයක්. ලංකාවේ හැටියට මේ කතාවල බුදුන් වහන්සේ පෙන්වන්න තහනම්. ඉන්දියාවෙවත් එහෙම නීතියක් නෑ. ඒත් මේ කතාවල වැඩිපුරම කියැවෙන්නෙ බුදුන් වහන්සේ ගැන. ඒත් පෙන්නන්න බෑ. මේක ලොකු අභියෝගයක්. යශෝධරා චිත්‍රපටයේ දී බුදුන් වහන්සේ පෙන්වීමට මට කොහොමවත් පුළුවන් වුණේ නෑ. ඒත් ගෞතම බුද්ධ මාතා චිත්‍රපටයේදී ඒ අයි තාක්ෂණය භාවිත කරමින් යම් පමණකට බුදුන් වහන්සේ පෙන්වන්න හැකියාව ලැබුණා. ඒ නිසා තිර රචනයේදීත් අප මේ අභියෝගයට මුහුණ දෙනව.

අනෙක් කාරණය තමයි පැරැණි සාහිත්‍යයේ සදහන් මූලාශ්‍රය අපිට සිද්ධ වෙනවා හොදින් කිරා මැන පරීක්ෂා කරන්න. මොකද පැරැණි ලේඛකයන් සමහර කාරණා සගවනවා. ඒ නිසා සැබෑ පරිසරය නිර්මාණය කරගැනීම නිර්මාණ රචකයාට අභියෝගාත්මකයි. මූලාශ්‍රය භාවිත කරමින් එය නිර්මාණාත්මකව භාවිත කිරීමට නිර්මාණකරුවාට තිබෙන අයිතිය මම මෙහිදී භාවිත කළා. උදාහරණයකට සතර පෙර නිමිති පිළිබද කාරණය දක්වන්න පුළුවන්. බොහො වෙලාවට බෞද්ධ සාහිත්‍යයේ තිබෙන්නේ සිද්ධාර්ථ කුමාරයා උද්‍යාන ක්‍රිඩාවට යනකොට ලෙඩෙක්, මහල්ලෙක්, මළ මිනියක් හා පැවිදි රුවක් එක පෙළට මුණගැහෙනවා. සිද්ධාර්ථ කුමාරයා වගේ වේද වේදාන්ත පිළිබද පරිපූර්ණ දැනුමක් තිබුණ කෙනෙක් මිනිසෙක් මහලු‍ වෙනවා, ලෙඩ වෙනවා, මැරෙනවා කියන එක නොදැන ඉන්න හේතුවක් තියනවා කියලා කිසිම කෙනෙක් විශ්වාස කරන්නෙ නෑ. ඒ නිසා මෙහි සංකේතාර්ථයෙන් කියන්නෙ සිද්ධාර්ථ චරිතය මහලු‍ කම, රෝගාතුර බව, මරණයේ බිහිසුණු බව තේරුම් ගත් බවයි. මම මේ චිත්‍රපට දෙකේදිම ඒ ලක්ෂණය යථාර්ථවාදී ලෙස භාවිත කිරීමට උත්සාහ ගත්තා.

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සිනමා නිර්මාණ පරීක්ෂා කර බලන විට ඒවායින් බොහොමයක් ඓතිහාසික බෞද්ධ කතා බව පැහැදිලිය. ඇතැම් සිනමා විචාරකයන්ගේ ප්‍රතිචාර දෙස පරීක්ෂාවෙන් බලන විට ඔවුන් මෙම නිර්මාණ ආගමික චිත්‍රපට ලේබලයට දැමීමට උත්සාහ ගන්නා බවක් පෙනේ. මේ සම්බන්ධයෙන් මහාචාර්යවරයාගේ  අදහස අපි විමසා සිටියෙමු.

”‍ක්‍රිස්තු චරිතය බයිබලය පදනම් කරගෙන මොනතරම් චිත්‍රපට නිර්මාණය වෙලා තියනවද? එහි ඉතා සුළු චරිත අළලා පවා නිර්මාණ ගණනාවක් බිහි වෙලා තියනවා. එහෙත් බුද්ධ චරිතය සම්බන්ධයෙන් නිර්මාණ බිහිවී තියෙන්නේ ඉතාම අඩුවෙන්. දෙව්දත් හිමිගේ චරිතය ආනන්ද හිමියන්ගේ චරිතය ආදි චරිත මොනතරම් නාටකීය ලෙස භාවිත කළ හැකිද? ඒත් ඒවා නිර්මාණාත්මකව යොදාගැනීමට කිසි කෙනෙක් උත්සාහ ගන්නේ නෑ.

එහෙම පරිසරයක බුද්ධ චරිතය පදනම් කරගෙන චිත්‍රපටයක් කලාම චෝදනා කරනවා ආගමික චිත්‍රපට කරනවා කියලා. මට තියන තව චෝදනාවක් තමයි ඓතිහාසික චිත්‍රපට කරනවා කියලා. ඓතිහාසික කියන නම ආවට මේවා හරි විවිධයි. ඒවා පර් යේෂණාත්මකයි. කදිර දිව්‍ය රාජ වගේ චිත්‍රපටයකට ප්‍රධාන වශයෙන් මම උපයෝගී කරගත්තෙ ජනශ්‍රැතියයි. කතරගම දෙවියන් හා වල්ලි මාතාව පිළිබදව සිය ගණනක් ජනශ්‍රැති තියනවා. එක කතාවක් නිර්මාණය කරගන්න අපට ඒ ජනශ්‍රැති සියල්ල අධ්‍යයනය කරන්න වෙනවා. අනෙක් පැත්තෙන් කුමාර සම්භවය, ජානකීහරණය වගේ සම්භාව්‍ය මූලාශ්‍ර අධ්‍යයනය කරන්නට වෙනවා.පත්තිනි වගේ නිර්මාණයක් කරන්නට සිලප්පදිකාරම් සහ මනිමේකලෙයි කෘති අධ්‍යයනය කරන්නට සිදු වුණා.

ඒ නිසා මේවා ආවට ගියාට ලියන්න පුළුවන් සිනමා තිර නාටක නොවෙයි. ඒකට කියැවීමක් කැපකිරීමක් කරන්න ඕනැ. මේ සිනමා කෘති බොහොමයක් සාහිත්‍යය පදනම් කරගත්ත ඒවා. අධ්‍යයනයකින් තොරව මේවා ලියන්න බෑ. එතකොට තේරෙන්න ඕනැ ඓතිහාසික කතා කිව්වට මේවා නිකම්ම ගොඩනගන්න බෑ කියලා. ඒ කොහොම වුණත් ඓතිහාසික කතා ඇසුරින් චිත්‍රපට නිර්මාණය කිරීම මගේ පෞද්ගලික කැමැත්ත. ඒකට කොච්චර චෝදනා ආවත් මම නැවත නැවතත් මේ ඓතිහාසික කතා නිර්මාණය කරන්නට ඉඩ තියනවා. ඒ පෞද්ගලික කැමැත්තට තහංචි පනවන්න කාටවත් අයිතියක් නෑ. චිත්‍රපට අතර තියෙන්න පුළුවන් හොද චිත්‍රපට සහ නරක චිත්‍රපට පමණයි. ඒවා ඓතිහාසික නිසා නරක වෙන්නවත් නූතන නිසා හොද වෙන්නවත් බැ.”‍

කෙසේ වෙතත් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් නිර්මාණය කළ සෑම සාහිත්‍යය කලා නිර්මාණයක්ම මෙරට සමාජයට දුන් අනගි දායාද ලෙස පවතිනු ඇත. බොහෝ නිර්මාණ රචකයන් මේ අන්දමට තම පෞද්ගලික කැපකිරීම් මත මේ සමාජයට එබදු නිර්මාණ රැසක් දායාද කොට ඇත. සමාජ දේහය තුළ සංස්කෘතික මිනිසකු නිර්මාණය කිරීම මේ සියල්ලේ අවසන් ඵලය වනු ඇත. අදවනවිට ආර්ථික අර්බුදයට එහා ගිය සංස්කෘතික අර්බුදයක් ඇතැයි ඇතැම්හු කියති. වත්මන් සමාජයට  සාහිත්‍යය කලා භාවිතාවේ අවශ්‍යතාව කෙබදුද? අපි මේ සම්බන්ධයෙන් මහාචාර්යවරයාගෙන් විමසා සිටි කල් හී ඔහු ඊට මෙසේ පිළිතුරු දුන්නේය.

 

“මම නම් හිතන්නේ නවකතාව, කෙටිකතාව, කවිය වගේ අංශවල පෞද්ගලිකව එක් එක් කෙනා ඉතා විශිෂ්ට ගණයේ නිර්මාණ කරන බව වර්තමානයේ පෙනෙනවා. මගේ මතය නම් රජය මැදිහත් නොවන තරමට සාහිත්‍යයට හොදයි. එක් එක් කෙනා පෞද්ගලිකව තම දායකත්වය දෙමින් ඉන්නවා. එයින් සාහිත්‍යය පෝෂණය වෙමින් තිබෙනවා. ඒක යහපත් තත්වයක්. ඒ නිසා මම විශ්වාස කරන්නෙ නෑ සාහිත්‍යය කඩා වැටිලා තියනවා කියලා . සිනමාවේ සෝදාපාළුවක් තියනවා කියලා මම විශ්වාස කරන්නේ නෑ.”‍

මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ මේ අදහසින් අවධාරණය වන එක් කරුණක් පැහැදිලිය. එනම් නිර්මාණකරුවා සමාජය හමුවේ හැකි පමණින් නිර්මාණ රචනයෙන් දායක විය යුතු බවය. එය පොදුවේ ගත් කල සමස්ත සාහිත්‍යයේත් කලාවේත් ප්‍රවර්ධනයට හේතු වනු ඇත.

(*** සටහන - ගාමිණී කන්දේපොළ)



අදහස් (0)

රජය මැදිහත් නොවන තරමට සාහිත්‍යයට හොඳයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 157 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 319 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 601 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site