IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


මානව හිමිකම් අභියෝග

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වොල්ක ටූර්ක් (ෆොල්කා ටූර්ක් යනුවෙන්ද මේ නම ශබ්ද කෙරේ) මේ මස 26 වැනිදා ශ්‍රී ලංකාවේ සංචාරයක් කිරීමට නියමිතය.

මෙය වසර නවයකට පසු මානව හිමිකම් පිළිබඳ එ.ජා මහ කොමසාරිස්වරයකු ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු අවස්ථාවයි. අවසාන වතාවට එම නිලය හොබවන්නකු මෙරට සංචාරය කළේ 2016 දීය. එවක එම නිලය හෙබවූයේ ජෝර්දාන් ජාතික සෙයිද් බින් රාද් බින් අල් හුසේන් කුමරුය.

ඊට පෙර එම නිලය හෙබවූ දකුණු අප්‍රිකානු ජාතික නවනීදම් පිල්ලෙයි ද 2013 දී මෙරට සංචාරයක නිරත වූවාය. ඇයට අපහාස කරන්නට එවක ඇමැතිවරයකු වූ මර්වින් සිල්වා මහතා ඇයට ප්‍රසිද්ධ විවාහ යෝජනාවක් කළේය.

අවසාන වතාවට මානව හිමිකම් පිළිබඳ එ.ජා. මහකොමසාරිස්වරයකු මෙරට සංචාරය කරන විටත් මෙවරත් මේ රටේ බලයට පත් වී සිටින්නේ ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් දැඩි මත දරන ආණ්ඩු නොවේ. හුසේන් කුමරු මෙහි සංචාරය කරන විට මෙහි පැවතියේ යහපාලනය ආණඩුව යනුවෙන් කියා ගත් ආණ්ඩුවකි.

එම ආණ්ඩුව ඊට පෙර වසරේ දී (2015දී) ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එ.ජා. මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරුණු යෝජනාවට සම අනුග්‍රහය දැක්වීය. ඒ යටතේ මෙරට යුද්ධය පැවැති කාලයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ පරීක්ෂණ පවත්වන්නට පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල විනිශ්චයකාරවරුන් හා නීතිඥයන් සහභාගී වීමට මෙරට ආණ්ඩුව එකඟතාව පළ කොට තිබිණි.

එහෙත් එම යෝජනාව සම්මත වී මාස දෙකක් ගත වූ විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම පරීක්ෂණවලට විදේශ විනිශ්චයකාරවරුන් සහභාගි වීමට විරුද්ධව අදහස් පළ කරන්නට විය. එසේම 2014 දී හිටපු  මහකොමසාරිස් නව නීදම් පිල්ලෙයි ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳව ලොව පිළිගත් විශේෂඥයන් 12 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් මගින් පරීක්ෂණයක් පවත්වා තිබිණි. එමගින් මිනිස් ඝාතන පැහැරගෙන යාම් නීතිවිරෝධී සිරගත කිරීම් ආදී බොහෝ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා යුද අපරාධ ලෙස සැලකිය හැකි සිද්ධි සම්බන්ධයෙන් මෙරට ආරක්ෂක අංශවලට මෙන්ම කොටි සංවිධානයට ද චෝදනා එල්ල විය.

හුසේන් කුමරු මෙරට සංචාරයක නිරත වූයේ මේ පසුබිම තුළය. ඒ අනුව ඔහු මෙම සංචාරයේදී මෙරට ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කරනු ඇතැයි අපේක්ෂා කෙරිණි. එහෙත් එවැන්නක් සිදු නොවීය. ජනාධිපතිවරයා විදේශ විනිශ්චයකාරවරුන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට පිළිතුරු දෙන්නා සේ ඔහු ජනමාධ්‍යයකට පවසා තිබුණේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවේ විදේශ විනිශ්චයකාරවරුන් පිළිබඳව සඳහන් වුව ද එය ක්‍රියාත්මක කිරීම හෝ නොකිරීම ශ්‍රී ලංකා ආණ්ඩුවේ ස්වෛරි අයිතියක් බවය.

මානව හිමිකම් පිළිබඳ වත්මන් එජා මහ කොමසාරිස්වරයා මේ මස මෙරට සංචාරය කරන්නේ ඊට වඩා තරමක් වෙනස් තත්වයක් යටතේය. මෙරට මානව හිමිකම් උල්ලංඝනය කළවුන්ට එරෙහිව මෙරට ආණ්ඩු නිසි ක්‍රියා මාර්ග නොගන්නා නිසා එවැනි චෝදනා එල්ල වී ඇති පුද්ගලයන්ට එරෙහිව වෙනත් රටවල දී නීතිමය ක්‍රියා මාර්ග ගන්නට එජා මානව හිමිකම් කවුන්සිලය පියවර ගනිමින් සිටී.

මානව හිමිකම් කවුන්සිලය මෙම පියවර ගන්නේ 2021 මාර්තු  මාසයේ එම කවුන්සිලයේ සම්මත වූ යෝජනාවක් අනුවය. එම යෝජනාව මගින් පමණක් නොව එවක මානව හිමිකම් පිළිබඳ එජා මහකොමසාරිස්වරිය වූ මිචෙල් බැචලේ ඉදිරිපත් කළ වාර්තාවෙන් ද මෙසේ චෝදනාවට ලක් වූවන්ට එරෙහිව පියවර ගන්නා ලෙස එ.ජා. සංවිධානයේ සාමාජික රටවලින් ඉල්ලා  සිටියාය.

එපමණක් නොව ඉදිරියේ දී විවිධ රටවල් විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කළ වුන්ට එරෙහිව ගනු ලබන නීතිමය පියවරවලදී යොදාගත හැකි සාක්ෂි රැස් කිරීම සඳහා සාක්ෂි සංචිතයක් පිහිටු වීමටත් ඒ සඳහා ඩොලර් මිලියන 2.8 ක් වෙන් කිරීමටත් තීරණය විය.

අනෙක් අතට එම යෝජනාවේ දිගුවක් ලෙස පසුගිය ඔක්තෝබර් 9 වැනිදා එ.ජා. මානව හිමිකම් කවුන්සිලය තවත් යෝජනාවක් සම්මත කළ අතර ජාතික ජන බලවේගය ආණ්ඩුව එම යෝජනාව ප්‍රතික්ෂේප කරමින් මෙරට මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳව දෙපිරිස යාන්ත්‍රණයක් මගින් පරීක්ෂණ පවත්වන බවත් සත්‍යය සෙවීමේ යාන්ත්‍රණයක් ඇති කරන බවත් කියා සිටියේය. ඒ අනුව මානව හිමිකම් පිළිබඳ වත්මන් මහකොමසාරිස්වරයාගේ සංචාරය හුසේන් කුමරු මෙරට සංචාරය කළ වටපිටාවටම වඩා වෙනස් වටපිටාවක සිදුවන බව පෙනෙන්නට තිබේ. එය එදා තරම් සුහද වටපිටාවක් නොවේ.

ජාතික සංහිඳියාව සම්බන්ධයෙන් මතුපිටින් පමණක් උනන්දුවක් දැක් වූ පසුගිය ආණ්ඩුවට මෙන් නොව වත්මන් ජාතික ජනබලවේගය ආණ්ඩුවට ජනවාර්ගික ප්‍රශ්නය මෙන්ම එ.ජා. මානව හිමිකම් කවුන්සිලය සමග ගනුදෙනු කිරීම ද උභතෝකෝටික ප්‍රශ්න බවට පත් වී තිබේ. ඒ ජාජබ නායකයන් තුළ සංහිඳියාව පිළිබඳව සැබෑ උනන්දුවක් ඇති බවක් ද පෙනෙන්ට තිබෙන හෙයිනි.

ජාජබ නම් සන්ධානයේ ප්‍රධාන පක්ෂ මෙන්ම එම සන්ධානය හසුරුවන සංවිධානය වන ජනතා විමුක්ති පෙරමුණට මේ රටේ බොහෝ ප්‍රධාන පක්ෂ මෙන් මානව හිමිකම් ප්‍රශ්නය නොසලකා හැරිය හැකි කරුණක් නොවේ. ඒ මේ රටේ විශාලම පිරිසකගේ මානව හිමිකම් පමණක් නොව ජීවත් වීමේ හිමිකම ද අහිමි වූයේ ජවිපෙට එරෙහි රාජ්‍ය මර්දනයන්හිදීය. 1988/89 මර්දනයේ දී පමණක්  60,000 කට වැඩි පිරිසක් රාජ්‍ය මර්දනයට බිලි වූ බව කියවේ.

උතුරු නැගෙනහිර යුද්ධයේදී ද අති විශාල පිරිසක් මිය ගියද එම සංඛා ලේඛන පිළිබඳ පොදු පිළිගැනීමක් නැත. දෙමළ නායකයන් මෙන්ම එජා සංවිධානයට සම්බන්ධ පිරිස් ද කලින් කලට විවිධ සංඛ්‍යා ඉදිරිපත් කරති.

කෙසේ වෙතත් විශාල මර්දන දෙකකට මුහුණ දුන් පක්ෂයකට උතුරු නැගෙනහිර යුද්ධයේ දී සිදු වූවා යැයි කියන මානව හිමිකම් උල්ලංඝනය වීම් නොසලකා හැරිය නොහැකිය. එම සදාචාරමය වගකීම පමණක් නොව සංහිඳියාව පිළිබඳ උනන්දුවක් දක්වන බව පෙනෙන පක්ෂයක් වශයෙන් ද ජවිපෙ මානව හිමිකම් ප්‍රශ්නයේ දී වඩා සැලකිලිමත් විය යුතුව තිබේ.

යුද්ධය පැවැති කාලයේත් ඉන් පසුවත් වසා දමනු ලැබ තිබූ උතුරේ මාර්ග කිහිපයක් වත්මන් ආණ්ඩුව යළි විවෘත කළේය. උතුරේ ජනතාව වාර්ෂිකව කරන යුද්ධයෙන් මිය ගියවුන් සැමරීමට මෙවර ආණ්ඩුව බාධා කළේ නැත. ආණ්ඩුව පවත්වන ජාතික රණවිරු සැමරුම ද මෙවර පැවැත්වුණේ වෙනස් ආකාරයකටය. එය මතභේදයකටද තුඩු දුන්නේය.

එහෙත් මෙම ප්‍රශ්නය එක් අතකින් ආණ්ඩුවේ පැවැත්මට ද දැඩි ලෙස බලපාන අතිශයින්ම සංවේදී කරුණකි. මානව අයිතීන් මෙන්ම සංහිඳියාව ද උතුරේත් දකුණේත් දැඩි ලෙස දේශපාලනීකරණය වී තිබීම ඊට හේතුවයි. ඒ අනුව වත්මන් ආණ්ඩුව පසුගිය ඔක්තෝබර් මස ඉදිරිපත් වූ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව ප්‍රතික්ෂේප කළේය. එම යෝජනාව ඉදිරිපත් වූයේ ද ඉකුත් මහ මැතිවරණය ආසන්නයේදීය.

එසේම ආණ්ඩුව කැනඩාවෙන් එල්ල කෙරෙන දෙමළ ජන සංහාරය පිළිබඳ චෝදනාව ද ප්‍රතික්ෂේප කළේය. පසුගියදා එරට බ්‍රම්ස්ටන්හි දෙමළ ජන සංහාර ස්මාරකයක් පිහිටුවීමට එරෙහිව විදේශ ඇමැති විජිත හේරත් මහතා මෙරට සිටින කැනේඩියානු මහ  කොමසාරිස්වරයා විදේශ අමාත්‍යංශයට කැඳවා මෙරට රජයේ විරෝධව පළ කර සිටියේය.

එම විරෝධය සඳහා නම් ආණ්ඩුවට ප්‍රබල හේතු තිබේ. විශේෂයෙන්ම යුද්ධයෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව, විශේෂයෙන්ම යුද්ධයෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව විශේෂයෙන්ම යුද්ධයේ දැඩි ලෙස මතභේදකාරී වූ අවසාන අදියරේදී මිය ගියවුන් ගණන පිළිබඳ විවිධ පිරිස් තම තමන්ගේ දේශපාලන මතිමතාන්තර අනුව විවිධ මත පළ කොට තිබීම මින් ප්‍රධානතම හේතුවයි.

යුද්ධයේ අවසාන කාලයේදී මෙරට සිටි එ.ජා. නේවාසික සම්බන්ධීකාරකවරයා 2009 අවසාන මාස කිහිපය තුළ උතුරේ සාමාන්‍ය වැසියන් 7000 කට මදක් වැඩි පිරිසක් මියගොස් ඇති බව පවසා තිබිණි. එහෙත් 2010 දී එවක එ.ජා. මහලේකම් බෑන් කී මූන් පත්කළ දරුස්මාන් කමිටුව එම සංඛ්‍යාව 40,000 කැයි සඳහන් කොට තිබිණි. දෙමළ ජාතික සන්ධානය 2013 පළාත් සභා මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශනය අනුව එම සංඛ්‍යාව 70,000කි. අවසන් සටන සිදු වූ මුල්ලිවායික්කාල්හිදී පමණක් ලක්ෂයකට වැඩි සාමාන්‍ය වැසියන් මියගිය බව මෑතක දී මෙරට දෙමළ නායකයෙක් කියා සිටියේය.

තමිල් නාඩුවේ ඇතැම් නායකයෝ එම සංඛ්‍යාව 150,000ක් බවත් 500,000ක් බවත් පවසති. මෙරට ඇතැම් දෙමළ නායකයන්ද ඒ මාස කිහිපය තුළ ලක්ෂ තුනක් පමණ මියගිය බව පවසා ඇත.

මේ අතර ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව 2011 දී උතුරු පළාතේ කරන ලද සංගණනය අනුව 2009 දී ස්වාභාවික නොවන හේතු නිසා මියගිය සංඛ්‍යාව ලෙස දක්වා ඇත්තේ ද 7000 කට මදක් වැඩි සංඛ්‍යාවකි. මේ පිළිබඳව අධ්‍යයනය කොට තම අදහස් ඉදිරිපත් කරන බව දෙමළ ජාතික සන්ධානය ඒ දිනවල පැවසුව ද ඔවුන් කිසි දිනෙක ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කළේ නැත.

මේ අතර කොටි සංවිධානය අවසාන කාලයේ දී ජනතාව මිනිස් පළිහක් කර ගත් බව සත්‍යයකි. එම ජනතාව දිවි බේරා ගත්තේ යුද පෙරමුණේ හමුදාව සිටින ප්‍රදේශවලට පැන යාමෙනි. දෙමළ ජන සංහාරයක් පිළිබඳ චෝදනා එල්ල වන්නේ මෙවැනි වට පිටාවකය.

එහෙත් යුද්ධයේ දී දෙපාර්ශ්වයම මානව හිමිකම් උල්ලංඝනය කළ බවට 2014 දී එ.ජා. පරීක්ෂණය මගින් ප්‍රකාශිත කරුණ ප්‍රතික්ෂේප කළ නොහැකිය. යුද්ධය එවැන්නකි. රාජ්‍ය මර්දන දෙකකට මුහුණ දුන් ජවිපෙට ඒ පිළිබඳ ජීවමාන අත්දැකීම් තිබෙනවාට සැක නැත. ප්‍රශ්නය නම් ප්‍රධාන වශයෙන්ම දකුණේ ඡන්ද මත පදනම්ව තම දේශපාලන පැවැත්ම පවත්වාගෙන යන පක්ෂයක් වාර්ගික සංවේදී කරුණු මතම ​දේශපාලනය කරන වෙනත් පක්ෂවල අභියෝගවලට මුහුණ දෙමින් මෙම ප්‍රශ්නවලට උත්තර සොයන්නේ කෙසේ ද යන්නයි.

(***)



අදහස් (0)

මානව හිමිකම් අභියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 483 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 320 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 475 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site