IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


මුදල් රහිත අනාගත ආර්ථිකයක්

‘මුදල් රහිත ආර්ථිකයක්’ යන සංකල්පයට අනුව සම්පූර්ණයෙන්ම මුදල් භාවිතයෙන් තොර ලෝකයේ පළමු රට බවට ස්වීඩනය පත්වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. 2025 වසරේදී එම රට මුදල් භාවිතයෙන් තොර රට බවට පත්වෙනු ඇති බව මේ වනවිට පුරෝකථනය කර ඇත.

ස්වීඩනයේ බොහෝ වෙළෙඳසල් සහ ගනුදෙනු කරන ආයතනවල ‘මුදල් භාරගනු නොලැබේ’ (No cash accepted) පුවරු මේ වනවිට ද ප්‍රදර්ශනය වෙයි. රටක් ආර්ථික වශයෙන් සංවර්ධනය වනවිට සහ තාක්ෂණික වශයෙන් දියුණු වනවිට මුදල් මගින් කරන ගනුදෙනු ක්‍රමයෙන් අඩු මට්ටමකට පත්වීම සාමාන්‍ය ලක්ෂණයක් බවට පත්වේ. එහි අදහස වන්නේ මුදල් ගනුදෙනු අඩුවීම රටක ආර්ථික සහ තාක්ෂණික මට්ටම සංකේතවත් කරන සාධකයක් බවයි.

රජය පසුගියදා අධිවේගී මාර්ග සඳහා මුදල් ගෙවීමේදී ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ් ඇතුළු විද්‍යුත් කාඩ්පත් යොදා ගැනීම සඳහා පහසුකම් ලබා දුන්නේය. ඒ අතරම gov pay නැමැති ක්‍රමවේදය යටතේ අධිකරණය ඇතුළු රජයේ ආයතන රැසකට විද්‍යුත් ක්‍රම ඔස්සේ ගෙවීම් කිරීමට පහසුකම් සලසා දුන්නේය. රටේ ඩිජිටල්කරණ ක්‍රියාවලිය සම්පූර්ණ වූ විට මුදල් මගින් කෙරෙන ගනුදෙනු අවම වී මුදල් රහිත ආර්ථිකයක් වෙත ගමන් කිරීමට ශ්‍රී ලංකාවට ද හැකියාව ලැබෙනු ඇත. කෙසේ වුවද ඒ සඳහා විධිමත් පිළිවෙතක් ඔස්සේ මනා අවබෝධයකින් යුතුව කටයුතු කිරීමේත්, මනා සැලසුමකින් යුතුව ඉදිරි කටයුතු පවත්වා ගෙන යෑමේත් අවශ්‍යතාව ඉස්මතුව පවතී. 

‘මුදල් රහිත ආර්ථිකයක්’ යන සංකල්පය ඉතා වැදගත් වන්නේ රටක මුදල් ගනුදෙනු ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත්, වේගවත් කිරීමටත්, සරල කිරීමටත්, පිරිවැය අඩු කිරීමටත් ඒ ඔස්සේ ඉඩ ලැබෙන හෙයිනි. එසේම නිතර මුදල් ළඟ තබා ගැනීමෙන් ඒවායේ ආරක්ෂාව පිළිබඳව ජනතාවට දැරීමට සිදුවන මානසික පීඩනයත්, භෞතික ගැටලුත් අවසන් කිරීමට එමගින් ඉඩප්‍රස්ථා සැළසේ.

මීට පෙර බොහෝ අවස්ථාවලදී ගනුදෙනු මුදල් මගින්ම පියවීමට සිදුවීම නිසා අනාරක්ෂිතව මුදල් රැගෙන යාමට ජනතාවට සිදුවිය. ඊට අමතරව ව්‍යාපාරික කටයුතුවලදී චෙක්පත් මගින් ගනුදෙනු කිරීමට ද, විදේශ සංචාරවලදී සංචාරක චෙක්පත් රැගෙන යාමට ද සිදුවිය. එහෙත් නුදුරු අනාගතයේදී මුදල් ද, චෙක්පත් ද, සංචාරක චෙක්පත් ද මුද්‍රණය නොකරන ආර්ථිකයක් බිහිවෙනු ඇත. මෙම තුන් වර්ගය මගින්ම මෙතෙක් සිදු වූ මූල්‍ය භාවිතය මේ වනවිට විශාල ලෙස අඩු වී තිබේ.

ඉහත කී මුදල් හුවමාරු ක්‍රමවේද පවත්වාගෙන යාම අවම කිරීමෙන් දැරීමට සිදුවන මුද්‍රණ පිරිවැය අඩුවීම තුළ වුවද ඕනෑම ආර්ථිකයකට වඩා වාසි සහගත තත්වයක් උදාවෙයි. මුදල් නෝට්ටු හෝ චෙක්පත් මුද්‍රණය කිරීමේ පිරිවැය නිසා ආර්ථිකයට සහ පුද්ගලයන්ට තම මූල්‍ය කටයුතු වෙනුවෙන් වැඩි වැය බරක් දැරීමට සිදුවේ.

කල් පවත්නා හා ආරක්ෂිත ලෙස මුදල් නෝට්ටු හෝ චෙක්පත් මුද්‍රණය කිරීමට සහ කාසි නිෂ්පාදනයේදී භාවිත කෙරෙන විශේෂිත ලෝහ වෙනුවෙන් ඉහළ පිරිවැයක් දැරීමට සිදු වෙනු ඇත. ඒවා මුද්‍රණය කිරීමෙන් හෝ නිෂ්පාදනය කිරීමෙන් බැහැර වනවිට ඒ වෙනුවෙන් දැරීමට සිදුවන මූල්‍ය පිරිවැය අවම වේ. පරිසර හිතකාමී ආර්ථික සංවර්ධනයකට ද එමඟින් අවස්ථාව උදාවේ.

මුදල් රහිත ආර්ථික ක්‍රමයකින් හිමිවන දැවැන්තම ප්‍රතිලාභය වී ඇත්තේ ආර්ථික ගනුදෙනුවල කාර්යක්ෂමතාව ඉහළ මට්ටමකට පත්වීමයි. දැන් විද්‍යුත් ක්‍රම ඔස්සේ ඕනෑම ගනුදෙනුවක් මොහොතකින් සිදු කිරීමට අවස්ථාව සැලසී තිබේ. මුදල් ගෙනයාම සඳහා රක්ෂණය කිරීමට හෝ විශේෂිත ආරක්ෂාවක් සැලසීමේ අවශ්‍යතාවක් නොපවතී. එවැනි තත්වයක් තුළ මුදල් භාවිතය අඩු කිරීමට සාපේක්ෂව ආර්ථිකයක නිෂ්පාදන මට්ටම ද, කාර්යක්ෂමතාව ද ඉහළ යන ආකාරය අවබෝධ කරගත හැකිය.

එසේ වුවද, මුදල් රහිත ආර්ථිකයකට යොමුවීමේදී සමහර ගැටලු ද පැන නගින බව පෙනී යයි. විද්‍යුත් ගනුදෙනු පරිගණක ආශ්‍රිතව සිදුවන බැවින් එම ගනුදෙනුවලට විවිධ තලයේ වංචනික පුද්ගලයන්ට පිවිසීමට ඉඩ ලැබීම තවමත් ගැටලුවක් බවට පත්ව තිබේ. එසේම ඒ ආශ්‍රිතව සිදුවන වංචා සහ දූෂණ ද තවමත් සම්පූර්ණයෙන් විසඳීමට නොහැකි වී ඇත. පැරැණි බැංකු සහ මූල්‍ය ක්‍රමය තුළ ද ඒ ආකාරයේම ගැටලු පවතී. එබැවින්, තාක්ෂණ දියුණුවත් සමග එවැනි ගැටලු විසඳා ගැනීමට ඉඩ ලැබෙනු ඇතැයි සිතිය හැකිය.

දකුණු ආසියාවේ සියලු රටවල් සමග සංසන්දනය කරන විට ශ්‍රී ලංකාව මුදල් රහිත ආර්ථිකයක් වෙත ගමන් කිරීමේදී ඉහළ සාර්ථකත්වයක් අත්කර ගෙන තිබෙන බවක් පෙනේ. රටේ ආර්ථික සහ අනෙකුත් මූල්‍ය කටයුතු ඩිජිටල්කරණය කිරීම සඳහා පසුගිය වසර කිහිපය තුළ රජය දියත් කර ඇති ක්‍රියාපිළිවෙත හේතුවෙන් මුදල් රහිත ආර්ථිකයකට අවශ්‍ය යටිතල පහසුකම් බොහෝදුරට සම්පූර්ණ වනු ඇත.

එසේ වුවද ඩිජිටල්කරණය සම්බන්ධයෙන් සමහර අංශවල යම් යම් ප්‍රමාද දක්නට ලැබෙන අතර ඒ හේතුව නිසාම දියුණු රටවල් හා සංසන්දනය කරන විට ශ්‍රී ලංකාවේ විද්‍යුත් මූල්‍යකරණය සැලකිය යුතු මට්ටමකින් ප්‍රමාද වී ඇති බවක් පෙනේ. දකුණු ආසියාවේ ඩිජිටල්කරණය පිළිබඳව ලෝක බැංකුව විසින් මෑතකදී කරන ලද අධ්‍යනයකින් පෙනී යන්නේ දකුණු ආසියාතික රටවල් හා සංසන්දනය කරන විට ශ්‍රී ලංකාවේ මූල්‍ය විද්‍යුත්කරණය ඉහළ මට්ටමක පවතින බවකි.

බැංකු හා මූල්‍ය ක්‍රමය අන්තර්ජාල පද්ධති මගින් ඒකාබද්ධ කිරීමෙන් ඩිජිටල්කරණය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ශ්‍රී ලංකාවේ සැළකිය යුතු මට්ටමකින් සංවර්ධනය වී තිබේ. කෙසේ වුවද ගනුදෙනු සඳහා තව තවත් නවීන යෙදවුම් භාවිත කිරීමට පහසුකම් සැලසීම, ඉතා කාර්යක්ෂම සහ වේගවත් අන්තරජාල පද්ධතියක් ගොඩනැගීම හා රටේ සෑම තැනකටම එම පහසුකම් ව්‍යාප්ත කිරීම ආදිය සම්බන්ධයෙන් රජය ප්‍රමුඛත්වයක් ලබාදිය යුතුව ඇත. ඒ අතරම විද්‍යුත් ගනුදෙනු භාවිතය පුළුල් කිරීම සඳහා විදුලි පිරිවැය අඩු කිරීම හා විශාල ලෙස ඉහළ දමා ඇති බදු අනුපාත අඩුකිරීම වැනි ක්‍රියාමාර්ගවලට ද යොමුවිය යුතුව ඇත.

වත්මන් රජය ඩිජිටල්කරණය සඳහා ප්‍රමුඛතාවක් ලබාදෙන බවද, ආර්ථික ඩිජිටල්කරණය වේගවත් කිරීම සඳහා කටයුතු කරන බවද ප්‍රකාශ කර තිබේ. එසේ වුවද ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇතැම් ප්‍රතිපත්ති හේතුවෙන් ආර්ථික ඩිජිටල්කරණ සම්බන්ධයෙන් රට විශාල පසුබෑමකට ලක්ව ඇති බව පෙන්වා දිය යුතුව ඇත. මුදල් රහිත ආර්ථික ක්‍රමයක් වෙත යෑමේදී ක්‍රෙඩිට් කාඩ්පත් මගින් ඉතා විශාල මෙහෙයක් ඉටුකරනු ලබයි.

සෑම රටකම පාහේ බහුතර ජනතාව ගනුදෙනු සඳහා ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කිරීම නිසා මුදල් භාවිතය අඩු වී තිබේ. එසේ වුවද ශ්‍රී ලංකාවේ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය වැඩි වී ඇත්තේ ඉතා සුළු මට්ටමකිනි. 2023 වසරේදී රටේ පැවැති සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව 1,987,857කි. 2024 අවසානය වනවිට එම ප්‍රමාණය 1,990,271 දක්වා ඉහළ ගියේය. එසේ වුවද, 2021 වසරේදී ශ්‍රී ලංකාවේ සක්‍රීය ක්‍රෙඩ්ට් කාඩ්පත් සංඛ්‍යාව 2,054,985 ක් විය. ඉන් පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ සක්‍රීය ක්‍රෙඩ්ට් කාඩ්පත් සංඛ්‍යාව විශාල ලෙස අඩු වී ඇති බවයි.

එයට බොහෝ දුරට හේතු වී ඇත්තේ ක්‍රෙඩිට් කාඩ් සඳහා ඉතා ඉහළ පොලී අනුපාතයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කර තිබීමයි. ක්‍රෙඩ්ට් කාඩ්පත් සඳහා සියයට 26ක පොලි අනුපාතයක් මහ බැංකුව විසින් නියම කර තිබේ. මේ දිනවල රටේ ණය පොලී අනුපාතයේ උපරිම මට්ටම සියයට 15කට ආසන්න වේ. එවැනි තත්වයක් තිබියදී ක්‍රෙඩිට් කාඩ්පත් හිමිකරුවන්ට රටේ සාමාන්‍ය පොලී අනුපාතයට වඩා සියයට 11ක පමණ ඉහළ පොලියක් ගෙවීමට සිදු වී ඇත. එයද වැල් පොලී ක්‍රමයට අනුවය. හිඟව ඇති පොලිය වෙනුවෙන් ද පොලී ගෙවීමට ක්‍රෙඩිට් කාඩ්පත් හිමිකරුවන්ට සිදුව ඇත.

එවැනි ඉහළ පොලී අනුපාතයක් මහ බැංකුව නියම කර ඇත්තේ බැංකුවලට දැරීමට සිදුවන අවදානම අඩු කරගැනීමට බව කියැවේ. ක්‍රෙඩ්ට් කාඩ්පත්වලින් ලබාගත් ණය ආපසු ගෙවීමේදී පැහැර හැරීම් විශාල වශයෙන් සිදුවන බැවින් එම අවදානම අඩුකර ගැනීමට ඉහළ පොලී අනුපාත නියම කර ඇතැයි ප්‍රකාශ වේ.

එසේ වුවද එමගින් සිදුවන්නේ ණය ගෙවීම් පැහැර නොහරින පිරිසට දඬුවම් පැමිණ වීමකි. නැතහොත් ණය නොගෙවන අය විසින් නොගෙවා ඇති ණය, නියමිත පරිදි ණය ගෙවන පිරිසගෙන් අයකර ගැනීමකි. මෙය හැඳින්විය හැක්කේ ඉතා අසාධාරණ සහ මුග්ධ තීරණයක් ලෙසටය. රජය ඩිජිටල්කරණය ප්‍රවර්ධනය කරද්දි මහ බැංකුව එය අඩපණ කර දැමීමක් ලෙස මෙම තත්වය සැලකිය හැකිය.

ක්‍රෙඩිට් කාඩ් භාවිතයේදී බැංකුවලට අවදානමක් දැරීමට සිදුවන්නේ නම් එය එම ආයතනවල කළමනාකාරිත්වයේ ගැටලුවකි. ණය කාඩ්පත් නිකුත් කිරීම පිළිබඳව කාර්යක්ෂමතාව ඉහළ නැංවීම වෙනුවට පොලී අනුපාත පමණක් ඉහළ අගයක පවත්වා ගෙනයාම එම කාර්යය අධෛර්යවත් කරන ක්‍රමවේදයකි. ඩිජිටල්කරණය ඔස්සේ මුදල් රහිත ආර්ථිකයක් ගොඩ නැගීමේදී සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරන ක්‍රෙඩිට් කාඩ්පත් සම්බන්ධයෙන් පවත්නා මෙම පසුගාමී තත්වය ඉවත් කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුවිය යුතුව ඇත.

 

(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය 
සුනන්ද මද්දුමබණ්ඩාර



අදහස් (0)

මුදල් රහිත අනාගත ආර්ථිකයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 760 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 379 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 512 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site