IMG-LOGO

තර්ක නැති බහාලුම් වාද විවාද

ප්‍රසිද්ධිය පතාදෝ, කැපී  පෙනීමේ ආශාව නිසා දෝ නිතරම කුමක් හෝ මතභේදකාරී දෙයක් කර එය සාධාරණීකරණය කරන්නට වාද කරන යාපනය දිස්ත්‍රික් ස්වාධීන මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා මතභේදයට තුඩු දී ඇති බහාලුම් 323 පිළිබඳවද පසුගිය 5 වැනිදා පාර්ලිමේන්තුවේදී අපූරු කතාවක් කීවේය.

එම බහාලුම්වල තිබුණේ වසර දාසයකට පෙර රජයේ හමුදා විසින් විනාශ කරන ලද කොටි සංවිධානයේ නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන් සතු ආයුධ බවත්, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික ජන බලවේගයේ නායකයා වහයෙන් පසුගිය වසරේ ජර්මනියේ කරන ලද සංචාරයකදී ඩයස්පෝරා සාමාජිකයන් හමුවීමේ ප්‍රතිඵලයක් වශයෙන් එම ආයුධ මෙසේ දැන් රට තුළට පැමිණ ඇති බවත් ඔහු සිය  කතාවේදී ගෙන හැර පෑවේය.

තමන්ගේ කතාව නිසා රට තුළ විශාල ආන්දෝලනයක් ඇතිවනු ඇතැයි මන්ත්‍රීවරයා සිතන්නට ඇත. ඇත්ත වශයෙන්ම රජයේ හමුදා හා කොටි සංවිධානය අතර යුද්ධය පැවැති කාලයේ ඔහු දිසානායක මහතා සම්බන්ධයෙන් මෙවැනි ප්‍රකාශයක් කළේ නම් යම් තරමකට හෝ දිසානායක මහතාගේ දේශපාලන සතුරන් එම කතාව ඔසවා ගෙන යන්නට ඉඩ තිබිණි.

එහෙත් පසුගිය 5 වැනිදා ඔහු කළ ප්‍රකාශය දිසානායක මහතාගේ පරම සතුරකු හෝ එය ගණනකට ගත් බවක් පෙනෙන්නට නොවීය. වෙනෙකක් තබා දයාසිරි ජයසේකර මහතා සහ විමල් වීරවංශ මහතා පවා ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා තිබුණේ නැත.

ඔහුගේ කතාවේ මුල මැද ගැටෙන අපූරු සඳහනක්ද තිබිණි. මෙම බහාලුම්  පිළිබඳව තමන් මෙම ප්‍රකාශය කරන්නේ වගකීමෙන් බවත් එහෙත් තමන්ට එය ඔප්පු කළ නොහැකි බවත් ඔහු පැවසීය. තමන් කරන ප්‍රකාශයක සත්‍යතාව ඔප්පු කිරීමේ වගකීම භාර නොගෙන ඔහු එම ප්‍රකාශය වගකීමෙන් යුතුව කරන බව කියයි. යමකු යම් ප්‍රකාශයක් වගකීමෙන් යුතුව කරනවා යැයි කීමෙන් අදහස් කෙරෙන්නේ එම ප්‍රකාශයේ සත්‍යතාව පිළිබඳ වගකීම භාර ගැනීම නොවේ නම් වෙන කුමක්ද?

කෙසේ වෙතත් මෙම ප්‍රශ්නයට අදාළ බහාලුම් 323 මේ වනවිට මෙරට දේශපාලනඥයන් අතරත් ජනමාධ්‍යවලත් ප්‍රධාන මාතෘකාවක් බවට පත්වී තිබේ. එහිදී අන්සෑම මාතෘකාවලදි මෙන්ම තම තමන්ගේ දේශපාලන මති මතාන්තර පදනම් කරගෙන විනා සබුද්ධිකවත් තර්කානුකූලවත්, විෂය මූලිකවත් ප්‍රශ්නය දෙස බලන්නට කිසිවකුටත් හැකියාවක් ඇති බවක් හෝ කිසිවකු හෝ එවැනි උත්සාහයක් දරන බවක් හෝ පෙනෙන්නට නැත. මෙම ප්‍රශ්නය රටට තේරුම් ගන්නට අපහසු වී ඇත්තේ එනිසාය.

මෙම බහාලුම් පිළිබඳ ප්‍රශ්නය මුලින්ම මතුවූයේ ඉකුත් ජනවාරි මාසයේය. එවිට මෙරට විරුද්ධ පක්ෂ දේශපාලනඥයන් පැවැසුවේ මේවා වත්මන් ආණ්ඩුව බලයට පත්වූ පසු පත් කරන ලද බස්නාහිර පළාතේ ආණ්ඩුකාර, ව්‍යාපාරික හනීෆ් යුසුෆ් මහතාගේ සමාගමකට අයත් ඒවා බවය.

ආණ්ඩුවේ මැති ඇමැතිවරුත් ආණ්ඩුකාරවරයාත් කොතෙක් එය ප්‍රතික්ෂේප කළද විපක්ෂයේ දේශපාලනඥයෝ එයම මතුරමින් සිටියහ. එය නතර වූයේ තම කීර්ති නාමයට කරන මෙම හානිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ආණ්ඩුකාරවරයා රහස් පොලීසියට කරන ලද පැමිණිල්ලකින් අනතුරුවය.

ශ්‍රී ලංකා රේගුවද එම බහාලුම් 323 අතර හනීෆ් යුසුෆ් මහතාගේ කිසිදු ව්‍යාපාරයකට අයත් කිසිදු බහාලුමක් නැතැයි කියා සිටියේය. මෙය මෙම කාරණයේදී විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයන්ගේ දේශපාලන සදාචාරය පෙන්නුම් කරන්නකි.

ආණ්ඩුකාරවරයාට එල්ල වූ චෝදනාවට පිළිතුරු දෙමින් රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.බී.එස්.සී. නෝනිස් මහතා විසින් ඉකුත් ජනවාරි 29 වැනිදා නිකුත් කරන ලද ජනමාධ්‍ය නිවේදනය  අනුව රේගුව වරායේ භාණ්ඩ නිදහස් කිරීම 2020 සැප්තැම්බර් මාසයේ සිට ක්‍රමවේද හතරක් අනුව කරයි. ඒ ඔවුන්ගේ අවදානම් කළමනාකරණ මුලධර්මවලට අනුකූලවය. එම ක්‍රමවේද නම් භෞතික පරීක්ෂාවට ලක් කිරීම, ස්කෑන් පරීක්ෂණවලට ලක් කිරීම, භෞතික හා ස්කෑන් පරීක්ෂා දෙකම කිරීම හා භෞතික හා ස්කෑන් පරීක්ෂා කිසිවක් නොකර නිදහස් කිරීමය.

භෞතික පරීක්ෂාව සඳහා තෝරා ගන්නා ලද බහාලුම් නිදහස් කිරීම විවිධ හේතු නිසා ප්‍රමාදවීම හේතුවෙන් පසුගිය වසරේ කර්මාන්ත හා ව්‍යාපාරික ක්ෂේත්‍රවලට බලපෑමක් එල්ල වූයෙන් එම වසරේ ජූලි මාසයේ  සිට (එනම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුව පැවති කාලයේදී) රේගුව නව ක්‍රමවේදයක්ද හඳුන්වාදී නැත. එනම් ‘‘පළපුරුදු ජ්‍යෙෂ්ඨ  නිලධාරීන්ගෙන් සමන්විත ඒකකයක් (Screen unit) පිහිටුවා එමඟින් අවදානම දරාගත හැකි ගොන්නට ගැනෙන ආනයන බහාලුම් තෝරා නිදහස් කිරීමය.’’

‘‘ කෙසේ වෙතත් දැනටමත් රේගු දත්ත පද්ධතිය හරහා ආනයන බහාලුම්වලින් සියයට හැටක් පමණ දෛනිකව භෞතික පරීක්ෂාවකින් තොරව නිදහස් වන බවද මෙහිදී සඳහන් කළ යුතුය.’’ යනුවෙන්ද එහි සඳහන් වේ. භෞතික පරික්ෂාවකින් තොරව බහාලුම් නිදහස් කරන ක්‍රමවේද දෙකක් ඉහත සඳහන් ක්‍රමවේද හතරේද ඇතුළත් වේ. ඒ ස්කෑන් පරීක්ෂාවකින් පසුව නිදහස් කිරීම හා කිසිදු පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම යන ක්‍රම දෙකයි.

මෙම නිවේදනයේ සඳහන් කෙරෙන සියයට  හැට යනු ඒ ක්‍රමවේද දෙක යටතේම නිදහස් කෙරෙන බහාලුම්ද නැත්නම් කිසිදු පරීක්ෂාවකින් තොරව නිදහස් කෙරෙන  බහාලුම් ද යන්න පැහැදිලි නැත. දැනට මතභේදයකට තුඩු දී ඇත්තේ කිසිදු පරීක්ෂාවකින් තොරව භාණ්ඩ නිදහස් කිරීම නිසා මෙම සියයට හැටද කිසිදු පරීක්ෂාවකින් තොරව  නිදහස් කෙරෙන බහාලුම්ද යන්න පැහැදිලි නැත. දැනට මතභේදයට තුඩු දී ඇත්තේ කිසිදු පරීක්ෂාවකින් තොරව භාණ්ඩ නිදහස් කිරීම නිසා මෙම සියයට හැටද කිසිදු පරීක්ෂාවකින් තොරව නිදහස් කෙරෙන බහාලුම් විය යුතුය. එසේ නොවේ නම් මෙම සියයට හැටේ කතාව වත්මන් ප්‍රශ්නයට අදාළ නොවේ.

මෙහි සඳහන් ස්ක්‍රීන් යුනිට් නම් ඒකකය 2024 ජූලි 18 වැනිදා සිට අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයකුගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන බවත් එදින සිට කිහිප වතාවක්ම මෙම ඒකකය රැස්වී අදාළ නිරීක්ෂණයන්ට අනුකූලව බහාලුම නිදහස් කරන ලද බවත් එම නිවේදනයේ සඳහන් වේ.

මෙම ඒකකය පිහිටුවන ලද්දේ භෞතික පරීක්ෂාව සඳහා තෝරා ගන්නා ලද බහාලුම් නිදහස් කිරීමේදී ඇති වූ ප්‍රමාදය වළක්වා ගැනීමේ පියවරක් වශයෙන් යැයි රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම නිවේදනයෙන් පවසයි. ඒ අනුව මෙම ඒකකයට යොමු කෙරෙන්නේ භෞතික පරීක්ෂාව සඳහා තෝරාගන්නා ලද බහාලුම් යැයි අනුමාන කළ යුතුව ඇත. එය පසුගිය වසරේ ජූලි මාසයේ සිට ක්‍රියාත්මක වන ක්‍රමවේදයකි.

එහෙත් වරායේ බහාලුම් තදබදය පසුගිය දෙසැම්බර් මාසයේදී පමණ යළිත් බරපතළ ප්‍රශ්නයක් බවට පත්විය. කොළඹ වරායට භාණ්ඩ රැගෙන එන නැව් සංඛ්‍යාව වැඩිවීම ඇතුළු කරුණු ගණනක් මීට හේතු වූ බව ආණ්ඩුව පැවසීය. එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් අනුව රේගුව තුළ අලුතින් Integrity unit නම් වූ අධීක්ෂණ කමිටුවක් පිහිටුවීමෙන් පසු රේගු නිලධාරීන් බහාලුම් පරීක්ෂාව සඳහා වැඩි කාලයක් ගැනීමද මීට හේතු වූ බව ඇතැම් ජනමාධ්‍ය වාර්තාවල සඳහන් විය.

මෙම ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා අමාත්‍ය මණ්ඩලය දෙසැම්බර් මස අවසන් සතියේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා ගුවන් සේවා ඇමැති බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළේය. එම කමිටුවද, ජනාධිපතිවරයාද, බිමල් රත්නායක ඇමැතිවරයාද දෙන ලද උපදෙස් අනුව ස්ක්‍රීන් යුනිට් ඒකකය ජනවාරි 18 වැනිදා රැස්වී අදාළ නිර්ණායකවලට අනුකූලව මෙම බහාලුම් 323 නිදහස් කිරීමට තීරණය කළ බව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිවේදනයේ සඳහන් වේ.

ඇමැතිවරයාත් ඔහුගේ කමිටුවත් ජනාධිපතිවරයාත් දුන් උපදෙස් අනුව ස්ක්‍රීන් යුනිට් නම් ඒකකයේ රැස්වී බහාලුම් නිදහස් කළ බව කීමෙන් අදහස් කෙරෙන්නේ එම උපදෙස් අනුව ස්ක්‍රීන් යුනිට් ඒකකය රැස්වූ බවද නැත්නම් එම එ්කකය ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ඔවුන් එම ඒකකයට උපදෙස් දුන්නේද යන්න  පැහැදිලි නැත.

කලින් සඳහන් කළ පරිදි ස්ක්‍රීන් යුනිට් ඒකකය පිහිටුවන ලද්දේ බහාලුම් තදබදයක් ඇති වූ විට ඊට මැදිහත් වී ‘‘අවදානම දරාගත හැකි ගොන්නට ගැනෙන ආනයන බහාලුම් නිදහස් කිරීම’’ සඳහාය. ඔවුන්ට එය කළ හැකි නම් ඇමැතිවරයා ප්‍රධානත්වය දරන කමිටුවේ කාර්ය භාරය කුමක්ද? එම ඒකකය කළේ පසුගිය ජූලි මාසයේ සිට කිහිප වතාවක් කළ දේ නම් මේ බහාලුම් 323 පමණක් මතභේදයට තුඩු දී ඇත්තේ කුමක් නිසා දැයි පැහැදිලි නැත.

එය විපක්ෂයට පමණක් නොව ආණ්ඩුවටද ප්‍රශ්නයක් වී ඇති බව පෙනේ. ඒ මුදල් අමාත්‍යාංශය මෙම බහාලුම් නිදහස් කිරීම පිළිබඳව සොයා බලන්නට පසුගිය පෙබරවාරි මාසයේ  නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ඒ.කේ. සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීම නිසාය. වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය, වාණිජ හා ආයෝජන ප්‍රතිපත්ති  දෙපාර්තමේන්තුව, කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා රේගුව යන ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම කමිටුවේ සාමාජිකයෝ වෙති.

එහෙත් මාස හතරක් ගතවීත් එම කමිටුව තවමත් සිදුවූයේ කුමක්දැයි සොයාගෙන නැති සේය. එසේම මෙම ප්‍රශ්නය පිළිබඳව රහස් පොලිස් පරීක්ෂණයක්ද පැවැත්වේ. එහි ප්‍රතිඵලද තවමත් නැත. 

මේ අතර අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල් සීවලී අරුක්ගොඩ මහතා පසුගිය 8 වැනිදා ජනමාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ ලේඛන පරීක්ෂාවකින් පසු  අනතුරුදායක තත්වයක් නැතැයි යන පදනමින් රේගුව මෙම බහාලුම් 323 නිදහස් කළ බවයි. අපට වැටහෙන අන්දමට පසුගිය ජුලි මාසයේ  සිට ස්ක්‍රීන් යුනිට් නම් ඒකකය කිහිප වතාවක්ම කර ඇති පරිදි එම ඒකකයේ අරමුණ අනුව භෞතික පරීක්ෂාවට ලක්කළ යුතු එහෙත් ‘‘අවදානම දරා ගත හැකි ගොන්නට  ගැනෙන’’ බහාලුම් ලෙස සලකා මෙම බහාලුම් 323 නිදහස් කොට ඇත.

එහි අනතුරක් නැතුවා නොවේ. අරුක්ගොඩ මහතා පවසන පරිදි ලේඛන පරීක්ෂාවකින් පමණක් බහාලුම්වල ඇති දේ කිව නොහැකිය. ආයුධ හෝ මත්ද්‍රව්‍ය හෝ වෙනත් නීති විරෝධි දෑ ගෙන්වන පුද්ගලයන් එම ද්‍රව්‍ය තම ලේඛනවල සඳහන් නොකරන හෙයිනි. එහෙත් පවතින තදබදය නිසා රේගුව පසුගිය ජූලි මාසයේ සිට කිහිප වතාවක්ම මේ අනතුරුදායක කටයුත්ත කර ඇත. තමන්ගේ විශේෂඥතා දැනුම, පළපුරුද්ද ආදිය මත පදනම්ව තමන් මෙම අවදානම ගන්නා බවත් අවැඩක් සිදුවුවහොත් රේගුව ආයතනයක් වශයෙන් වගකීම භාර ගන්නා බවත් කීමට ඔවුනට හැකිවිය යුතුය.

එසේම ස්ක්‍රීන් යුනිට් ඒකකයේ බල සීමාව ඉක්මවා යමක් කරන්නට අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුව පැවැති තත්වය අනුව එම  ඒකකයට උපදෙස් දුන්නේ නම් එය පිළිගෙන එම උපදෙස් නිසා මතුවන ඕනෑම තත්වයකට තමන් වගකියන බව කීමට ආණ්ඩුව හා විශේෂයෙන්ම එම කමිටුවට හැකි විය යුතුය. මේ දෙපිරිසටම තමන් කළ දේ නිවැරැදි යැයි විශ්වාසයක් තිබිය යුතුය.

(*** එම්.එස්.එම්. අයුබ්)



අදහස් (0)

තර්ක නැති බහාලුම් වාද විවාද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1443 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 531 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 600 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site