මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජූලි 23 වැනිදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙක් මේ රටේ බොහෝ දෙනකුට අදාළ වන ප්‍රශ්නයක් මතු කළේය. ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත්වලින් ගෙවීම් කිරීමේ දී වෙළෙඳුන්ට සියයට 2.5 සිට සියයට 3 දක්වා අමතර ගාස්තුවක් අය කිරීමට අවසරයක් ලබාදී තිබේද යන්න ඔහු විමසා සිටියේය.
මහ බැංකු අධිපතිවරයාගේ නියමයෙන් එයට පිළිතුරු ලබා දුන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් අධ්‍යක්ෂ වසන්ත අල්විස් මහතා එහිදී සඳහන් කළේ එසේ අතිරේක මුදල් අය කිරීමට වෙළෙඳුන්ට කිසිඳු අවසරයක් දී නැති බවත්, එවැනි අය කිරීමක් කළහොත් එම ගෙවීම පිළිබඳව රිසිට්පතක් ලබාගෙන අදාළ කාඩ්පත නිකුත් කළ බැංකුවට ඉදිරිපත් කර එම මුදල් ආපසු ලබාගත හැකි බවත් ය.
මීට පෙර ද මේ ආකාරයේ ප්‍රකාශ මහ බැංකුව විසින් නිකුත් කර තිබුණි. ක්‍රෙඩ්ට් කාඩ් සහ ඩෙබිට් කාඩ් ඇතුළු ඩිජිටල් ගනුදෙනු පිළිබඳව සොයා බැලීමේ සහ අධීක්ෂණය කිරීමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුවට පැවරී තිබේ. එම කාඩ්පත් ගනුදෙනුවලට යොදා ගැනීමේ දී මෙන්ම ඒවා භාවිතය සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ.
ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය සඳහා ඉහළ ප්‍රමුඛතාවක් දී තිබියදී ක්‍රෙඩිට් කාඩ්පත් එම ක්‍රියාවලිය අවහිර වන ආකාරයෙන් භාවිත වීම ඛේදවාචකයකි. ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රෙඩිට් කාඩ් ණය සඳහා අද ණය වෙළෙඳපොළේ පවත්නා පොළියට වඩා ඉතා ඉහළ පොළියක් නියම කිරීමෙන් ක්‍රෙඩිට් කාඩ්පත් වර්ධනය නොවන ආකාරයත්, ඩිජිටල්කරණයට එය බාධාවක් වන ආකාරයත් මින් පෙර ද මෙම තීරුවෙන් විස්තර කළෙමි.
ඉහත සඳහන් කළ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මහ බැංකුවෙන් ලැබුණු ප්‍රතිචාරය දෙස බලන විට පැහැදිලි වන්නේ මේ රටේ අද පවත්නා ක්‍රෙඩිට් කාඩ් භාවිතය සම්බන්ධ ප්‍රායෝගිකතත්වය පිළිබඳව මහ බැංකුවට අවබෝධයක් තිබේ ද යන්නයි. ඩිජිටල්කරණයේ දී ඉතා වැදගත් කරුණක් වන්නේ මූල්‍ය ගනුදෙනුවල පිරිවැය අවම මට්ටමකට හෝ ශූන්‍ය මට්ටමකට පත් කිරීමය. එසේ නොමැතිව ඒ සඳහා අමතර පිරිවැයක් වැයවන විට ඩිජිටල් ගනුදෙනු සඳහා ඇතිවන පෙළැඹීම අඩුවන අතර ගනුදෙනුවල මිල ගණන් ද ඉහළ නගී. අද බොහෝ රටවල එවැනි ගනුදෙනු අඩු පිරිවැයකින් හෝ කිසිඳු පිරිවැයක් නැතිව සිදුවන තත්වයක් තුළ ශ්‍රී ලංකාවේ ක්‍රෙඩිට් කාඩ් භාවිතය සමාන කළ හැක්කේ එය ගිනි පොළීකාරයන්ගේ ලෝකයක් ලෙසය. ශ්‍රී ලංකා මහ බැංකුව අදාළ ගනුදෙනුවලට අමතර කිසිඳු ගෙවීමක් සිදු නො කළ යුතු බව දන්වා සිටිය ද බොහෝ අවස්ථාවල සියයට 3 දක්වා වූ අමතර ගාස්තුවක් අය කරනු දැකිය හැකිය.
උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ ජංගම දුරකතන වෙළෙඳුන් සහ ආයතන විශාල සංඛ්‍යාවක් සියයට 3ක අතිරේක ගාස්තුවක් කාඩ්පත් ගනුදෙනුවල දී අය කරන ආකාරය නිරීක්ෂණය කළ හැකිවනු ඇත. ඒවා පිළිබඳ සොයා බැලීමට මහ බැංකුව විසින් හෝ කාඩ්පත් නිකුත් කළ ආයතන විසින් හෝ කිසිඳු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නැත. එවැනි තත්වයක් තුළ බොහෝ අවස්ථාවල දී අතිරේක ගාස්තුවක් ගෙවා ගනුදෙනු පියවීමට කාඩ්පත් හිමියන්ට සිදුව ඇත. එවැනි පැමිණිලි මහ බැංකුවට හෝ කාඩ්පත් නිකුත් කළ ආයතනවලට හෝ ලැබී ඇත්නම් එම මුදල් ආපසු ගෙවීම් කර ඇති ප්‍රමාණය පිළිබඳව තොරතුරු ප්‍රසිද්ධියට පත් කළ යුතුය. අයථා අය කිරීම් අධෛර්යවත් කිරීමට එවැනි තොරතුරු ප්‍රකාශයට පත් කිරීම තරමක් දුරට හෝ ආධාර වනු ඇත. එසේ වුව ද එවැනි පැමිණිලි ලැබූ බව හෝ ඒවාට විසඳුම් ලබාදුන් බවක් ප්‍රායෝගිකව සිදුව ඇත්තේ ද යන්න පිළිබඳව පවතිනුයේ සැකයකි.
වෙළෙඳුන් පමණක් නොව ක්‍රෙඩිට් කාඩ්පත් සහ ඩෙබිට් කාඩ්පත් නිකුත් කරන බැංකු සහ මූල්‍ය ආයතන ද විවිධ ක්‍රම ඔස්සේ කාඩ් හිමියන් සූරා කන බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන කරුණකි. උදාහරණයක් ලෙස කාඩ්පත් භාවිත කර ඉන්ධන ලබා ගැනීමේ දී කාඩ් නිකුත් කරන ආයතන විසින්ම ඉන්ධන අධිභාරය නමින් ගාස්තුවක් අය කරනු ලැබේ. සමහර ආයතන විසින් සියයට 1ක් වැනි ගාස්තුවක් අය කරන අතර සමහර ආයතන සියයට 2ක පමණ අධිභාරයක් අය කරයි. මහ බැංකුව විසින් ඉහත මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කරන ලද ආකාරයට අදාළ ගනුදෙනුවේ වටිනාකම හැර වෙනත් කිසිම ගාස්තුවක් අය කළ නොහැකි නම් කාඩ්පත් නිකුත් කරන බැංකු හා මූල්‍ය ආයතන විසින් එවැනි ගාස්තුවක් අය කරනුයේ කෙසේද? එම ගාස්තුව නිසා කාඩ්පත් හිමියන්ට රුපියල් 305ක පෙට්‍රල් ලීටරයක් මිලදී ගැනීමට සිදු වන්නේ රුපියල් 311.10ක මිලකටය. රුපියල් 289 ක් වන ඩීසල් ලීටරයක් මිලදී ගැනීමට සිදු වනුයේ රුපියල් 294.78ක මිලකටය. මෙසේ රජය විසින් නියම කරනු ලැබූ මිලට වඩා වැඩි මිලකට පෙට්‍රල් සහ ඩීසල් අලෙවි කිරීමට අවසර ලැබී ඇත්තේ කෙසේද? අනෙක මෙවැනි ගාස්තුවක් අය කරනුයේ කවර හේතුවක් නිසාද?
ඒ ආකාරයටම බැංකු සහ මූල්‍ය ආයතන විසින්ම රටේ විනිමය අනුපාතය සම්බන්ධයෙන් ද වෙනස්කම් ඇති කිරීමට කටයුතු කර තිබේ. එදිනට නියමිත විනිමය අනුපාතයට තවත් සියයට ප්‍රමාණයක් එකතු කර, කාඩ්පත් හිමියන්ගෙන් අය කිරීම කාඩ්පත් නිකුත් කරන බැංකු හා මූල්‍ය ආයතන විසින් සිදු කරනු ලබයි. ඒ අකාරයට විනිමය අනුපාතවල මිල ගණන් මහ බැංකු අනුපාතයට වඩා වැඩි අනුපාතයකින් ගනුදෙනු කිරීමට බලයක් ලැබී ඇත්තේ කවර නීතියක් යටතේද? ශ්‍රී ලංකා මහ බැංකුව ඉහළ පොළී අනුපාතිකයක් ණය කාඩ්පත් හිමියන්ගෙන් අය කිරීමට අවසර දී තිබේ. එයට අමතරව නොපියවු ණය සඳහා සියයට 50 දක්වා වූ පොළියක් කාඩ්පත් නිකුත් කරන ආයතන විසින් අය කරනු ලබයි. එවිට කාඩ්පත් හිමියන්ගේ ශේෂය මත ගිනි පොළිය අය කරන පොළී මුදලාලිලා බවට කාඩ්පත් නිකුත් කරන ආයතන පත්ව තිබේ. වර්තමානයේ දී පොළී මුදලාලිලා හෝ එවැනි ගිනි පොළියක් අය කරන්නේ නැත.
රට ඩිජිටල්කරණය කිරීම ආර්ථික සංවර්ධනය සඳහා අතිශය වැදගත් වූත්, තීරණාත්මක වූත් සාධකයක් වී තිබේ. රජය ඒ සඳහා ඉහළම ප්‍රමුඛතාවක් ලබාදෙන බව ප්‍රකාශයට පත් කර ඇති අතර ඩිජිටල්කරණය සඳහා වෙනම අමාත්‍යාංශයක් ද පිහිටුවා තිබේ. ඩිජිටල්කරණයේ දී ක්‍රෙඩිට් කාඩ් සහ ඩෙබිට් කාඩ්පත් මගින් විශාල කාර්යභාරයක් ඉටුකළ යුතුව ඇත. ඉහත සාකච්ඡාවේදී මහ බැංකු අධ්‍යක්ෂ අල්විස් මහතා සඳහන් කළේ දිනකට ඩිජිටල් මූල්‍ය ගනුදෙනු දහසය ලක්ෂයක් පමණ සිදුවන බවත් ඉන් අට ලක්ෂයක් පමණ කාඩ්පත් ඔස්සේත්, හය ලක්ෂයක් පමණ ඔන්ලයින් ක්‍රම ඔස්සේත් සිදුවන බවය. එවැන් තත්වයක් තුළ මූල්‍ය ඩිජිටල්කරණයේ දී කාඩ් ගනුදෙනුවලට හිමිව ඇති තත්වය පැහැදිලි වන අතර ගිනි පොළීකරණයෙන් කාඩ්පත් මුදවා ගැනීමෙන් පමණක් ඩිජිටල්කරණය වේගවත් කරගත හැකි වනු ඇත.
ඔන්ලයින් ක්‍රමයට කරනු ලබන සෑම ගනුදෙනුවක් සඳහාම බැංකු සහ මූල්‍ය ආයතන විසින් කිසියම් මුදලක් අය කරනු ලබයි. බැංකු අතර ගනුදෙනුවක දී මීට පෙර රුපියල් 30ක් අය කළ නමුදු දැන් එය රුපියල් 25 දක්වා අඩුකර ඇති බව සඳහන් වේ. කෙසේ වුවද ඔන්ලයින් මගින් සිදුවන ගනුදෙනු හය ලක්ෂය සඳහා බැංකුවලට දිනකට ලැබෙන මුදල රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් පමණ වේ. මෙය ඩිජිටල්කරණයේ යෙදෙන ගනුදෙනුකරුවන් විසින් දිනකට ගෙවනු ලබන මුදල් ප්‍රමාණයයි. එම රුපියල් 25න් රුපියල් 5ක් ගෙවීම් ක්‍රමයට වන නමුත් ඉතුරු රුපියල් 20 ලැබෙනුයේ බැංකුවලටය. දිනකට එක්කෝටි පනස් ලක්ෂය බැගින් මාසයකට කෝටි 45ක් මෙම ගෙවීම් ක්‍රමය යටතේ බැංකුවලට හිමිවේ. මෙය ගනුදෙනුකරුවන්ට ගෙවීමට සිදුව ඇති මුද්දර ගාස්තු සහ වෙනත් ගාස්තුවලට අමතරවය.
මහජනතාවගෙන් මුදල් අයකර රටේ ඩිජිටල්කරණය වේගවත් කළ නොහැකිය. බැංකු හා මූල්‍ය ආයතන විසින් මෙම ගනුදෙනු සඳහා දරනු ලබන සැබෑ පිරිවැය ගණනය කර ඉතිරි මුදල රටේ ඩිජිටල්කරණ ක්‍රියාවලිය වෙනුවෙන් බදු වශයෙන් රජයට ලබා ගත යුතුව ඇත. බැංකුවලට පැවැරී ඇත්තේ මූල්‍ය කටයුතු පවත්වාගෙන යෑම මගින් ලාභ ඉපැයීම මිස මූල්‍ය සංචරණය ඔස්සේ ලාභ ලබා ගැනීමට ඒවාට කිසිම අයිතියක් නැත. ශ්‍රී ලංකා මහ බැංකුවට පැවැරී ඇත්තේ රටේ මූල්‍ය පාලනය පිළිබඳ වගකීමයි. රට ඩිජිටල්කරණය කිරීමේ වගකීම ඒ සඳහා වෙනමම ස්ථාපිත කර ඇති ආයතනවලට පැවැරී ඇත. එසේ වුව ද ආර්ථික ඩිජිල්කරණය වෙනුවෙන් මහ බැංකුවට පැවැරී ඇති වගකීම ඉන් ලඝුකළ නොහැකිය. දැනට ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ් ගෙවීම් ක්‍රම සහ අන්තර්ජාල ගනුදෙනු නියාමනය කිරීමේ වගකීම පැවැරී ඇත්‌තේ ශ්‍රී ලංකා මහ බැංකුවට ය. එසේ වුව ද මහ බැංකුව ඒ සම්බන්ධ තම වගකීම ඉටු කරනුයේ රටේ ඩිජිටල්කරණ ක්‍රියාවලිය ආපසු හැරවෙන ක්‍රමයකට බව ඉහත සඳහන් කරුණුවලින් පැහැදිලි වේ. කාඩ්පත් සම්බන්ධ ගිනි පොළී ක්‍රමය, අමතර ගාස්තු අය කිරීම, ඉන්ධන අධිභාර, විනිමය අනුපාත අධිභාර වැනි ක්‍රියාවලින් ඩිජිටල්කරණයට සිදුවන හානිය සමාලෝචනය කළ යුතුව ඇත.
රටේ ආර්ථික ඩිජිටල්කරණය සාර්ථක වීමටත්, වේගවත් කිරීමටත් ඒ සඳහා වැයවන මූල්‍ය පිරිවැය අවම මට්ටමකට ගෙන ආ යුතුව ඇත. එසේ වුව ද අද ඩිජිටල් මූල්‍යකරණය අධික පිරිවැයකින් විශේෂයෙන්ම ඒවාට සම්බන්ධ වන පාර්ශ්වවලට අධික මිලක් ගෙවීමට සිදුවන තත්වයකින් ක්‍රියාත්මක වේ. එම තත්වය වෙනස් කළ හැක්කේ ශ්‍රී ලංකා මහ බැංකුවට පමණක් වන අතර රටේ ඩිජිටල්කරණයට ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහළම දායක්තකත්වය දිය හැක්කේ ඩිජිටල් ගනුදෙනුවල පිරිවැය අවම හෝ ශූන්‍ය මට්ටමකට වහාම ගෙන ඒම මගිනි.
(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා
අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ඩිජිටල්කරණය- මන්දගාමී ප්‍රතිපත්ති