සිය ධුර කාලයේ පළමු වසර සම්පූර්ණ කිරීමට සති තුනක් පමණක් ඉතිරිව තිබියදී, ජනාධිපති අනුර කුමාර දිසානායක සැප්තැම්බර් මාසය ආරම්භ කිරීමට තෝරා ගත්තේ උතුරු ශ්‍රී ලංකාවේ සංචාරයකි. එය පුළුල් හා කාර්යබහුල වැඩසටහනක් වූ අතර, එහිදී ඔහු උත්සව කිහිපයකට සහභාගී විය. ඔහු තම සංචාරයේ පළමු දිනය යාපනයේ ගත කළ අතර, එහිදී ඔහු මයිලිඩ්ඩි ධීවර වරායේ තුන්වැනි අදියර දියත් කිරීම, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ යාපනය ප්‍රාදේශීය කාර්යාලය විවෘත කිරීම, යාපනය මහජන පුස්තකාලයේ විද්‍යුත් පුස්තකාල වැඩසටහන දියත් කිරීම සහ යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සඳහා මුල්ගල තැබීම ඇතුළු මහජන උත්සව ගණනාවකට සහභාගී විය.
දෙවැනි දිනයේත් ඔහු ඒ තරමටම කාර්යබහුල වූ අතර, එදින ලෝක පොල් දිනයට සමගාමීව පුදුකුඩිඉරිප්පු හිදී “රටම සරු කරයි නිරතුරු - කප්තුරු සවිය” යන තේමාව යටතේ උතුරු පොල් ත්‍රිකෝණ ව්‍යාපෘතිය දියත් කිරීම ජනාධිපතිවරයා සහභාගී වූ උත්සව අතර විය. මෙම වසර අවසන් වන විට උතුරු පළාතේ පොල් අක්කර 16,000 ක් වගා කිරීමේ අරමුණින් දියත් කරන ලද මෙම වැඩසටහන 2027 වන විට අක්කර 50,000 දක්වා ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කෙරේ. පලෙයි හි පළමු ආදර්ශ පොල් උයන විවෘත කිරීමෙන් අනතරුව, පුදුකුඩිඉරිප්පු මධ්‍ය විද්‍යාලය අසල ස්ථානයක පොල් සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කරන ලද පොල් නිෂ්පාදන ප්‍රදර්ශනයක් ද ජනාධිපතිවරයා විසින් විවෘත කරනු ලැබුණි.
ජනාධිපතිවරයාගේ අනුග්‍රහය යටතේ ආරම්භ වූ තවත් ප්‍රධාන ව්‍යාපෘතියක් වූයේ මුලතිව් දිස්ත්‍රික්කයේ වඩ්ඩුවාකල් පාලම ප්‍රතිසංස්කරණය කිරීමයි. මෙම පාලම පරන්තන්-කරච්චි-මුලතිව් මාර්ගයේ නන්දිකඩාල් කලපුව අසල පිහිටා ඇත. 2009 මැයි මාසයේදී බෙදුම්වාදී එල්ටීටීඊයේ අවසාන පරාජය සිදු වූයේ එම ස්ථානයේදීය. මෙම පාලම හරහා දිනකට වාහන 3,000 කට අධික ප්‍රමාණයක් ධාවනය කරයි. වසර ගණනාවක් තිස්සේ නඩත්තු නොකිරීම හේතුවෙන් එය අතිශයින් අනාරක්ෂිත වී තිබුණු අතර, මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ රුපියල් බිලියන 1.4 ක වියදමින් නව මංතීරු දෙකක පාලමක් ලෙසින් එය ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය.
සංචාරයේ රහසිගත කාලසටහන
ජනාධිපති දිසානායකගේ උතුරේ දෙදින නිල සංචාරයේ සම්පූර්ණ ගමන් විස්තරය රහසිගතව තබා ගනු ලැබූ අතර, ජනාධිපති ආරක්ෂක රථ පෙළෙහි ඉරිදා දින ගොඩබිම් මාර්ගය ඔස්සේ ගමන් කරන බව තීරණය කර තිබූ නිසා, එය දැන සිටියේ ජනාධිපති ආරක්ෂක අංශයේ ඉහළ තනතුරු දරන අය පමණකි.
ජනාධිපතිවරයාගේ ආරක්ෂක භටයන් මධ්‍යම රාත්‍රියේ අලිමංකඩ හරහා ගමන් කළ බැවින්, ඉරිදා රාත්‍රියේ ඔහු නවාතැන් ගන්නේ කොහේදැයි භූමියේ සිටි ප්‍රාදේශීය බුද්ධි අංශ නිලධාරීන් පවා දැන සිටියේ නැත.
ජනාධිපති දිසානායක නවාතැන් ගත්තේ යාපනය නගරයේ තදාසන්න ප්‍රදේශයක පිහිටා ඇති තවඩි හි හෝටලයකය. එය නගරයේ සිට කිලෝමීටර් අටක් පමණ දුරින් පිහිටා තිබුණි. කෙතරම් කාර්යබහුල වුවත්, පසුදා යාපනයේ සහ පුතුකුඩිඉරිප්පු හි පදිංචි ඔහුගේ ආධාරකරුවන්ගේ නිවාස වෙත යාමටද ඔහු අමතක නොකළේය.
අඟහරුවාදා උදෑසන යාපනයේ සිට ඒ 9 මාර්ගය ඔස්සේ පුතුකුඩිඉරිප්පු දෙසට පිටත්ව යන විට, ජනාධිපති රථ පෙළ චෙම්මනි හන්දිය අසලදී තරමක් මන්දගාමී වූ අතර, ඒ වන විටත් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ නියෝග යටතේ සමූහ මිනීවළ ස්ථානයේ සිට මීටර් කිහිපයක් දුරින් කැණීම් කටයුතු සිදුවෙමින් පැවතුණි.
සිකුරාදා වන විට අවම වශයෙන් ඇටසැකිලි 240 ක් පමණ ගොඩගෙන ඇති සමූහ මිනීවළ තිබෙන ස්ථානයට ජනාධිපති දිසානායක පැමිණෙන බවට පුවතක් මීට පෙර, ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය ආධාරකරුවන් පතුරුවා හැර තිබුණි. පසුව, එම කවයන්ම පැවසුවේ ජනාධිපතිවරයා එම සංචාරය මග හැරියේ එය අධිකරණ කටයුතුවලට මැදිහත් වීමක් ලෙස අර්ථකථනය කරනු ඇතැයි යන බිය නිසා බවයි.
උතුරු සංචාරයේ දේශීය හා ජාත්‍යන්තර වැදගත්කම
ජනාධිපති දිසානායක මහතා සිය ධුරයේ වසරක් සම්පූර්ණ කිරීමට නියමිත මෙම මාසය ආරම්භ කිරීම සඳහා උතුරු පළාතේ සංචාරය කිරීමට ගත් තීරණයට ප්‍රධාන අරමුණු දෙකක් තිබේ. එකක් නම්, උතුරු පළාත සංවර්ධනය කිරීම සඳහා ඔහුගේ ජාතික ජන බලවේගය රජය ලබා දී ඇති පොරොන්දුව ඉටු කිරීමට අදහස් කරන බව උතුරේ ජනතාවට සහතික කිරීමයි. පසුගිය වසරේ ජනාධිපතිවරණයේදී උතුරේ ඡන්දදායකයන්ගෙන් විශාල කොටසක් තමාට ඡන්දය ප්‍රකාශ කළ බව ජනාධිපතිවරයා මතකයේ තබාගෙන ඇති අතර, ඉන් පසුව පැවති මහ මැතිවරණයේදී ඊටත් වඩා විශාල කොටසක් දකුණ පදනම් කරගත් දේශපාලන පක්ෂයක් වන ජාතික ජන බලවේගයට පෙර නොවූ විරූ ඡන්ද සංඛ්‍යාවක් ලබා දුන්නේය. ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ එළැඹෙන 60 වැනි සැසිවාරය කෙරෙහි ද අවධානය යොමු කරමින් උතුරේ සංචාරය සිදු කළ බවට සැකයක් නැත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වෝල්ටර් ටර්ක් ඊයේ දින ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ සිය වාර්තාව විධිමත් ලෙස ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
එබැවින්, උතුරේ සංචාරයේ අනෙක් අරමුණ වන්නේ, රජය පළාතේ ජනතාවගේ ජීවිත නඟා සිටුවීම සඳහා දැඩි ලෙස කැපවී සිටින බව පෙන්වා දීම වන අතරම, ඉඩම් සහ භාෂා අයිතිවාසිකම් පිළිබඳ කල් පවතින ගැටලු විසඳීම, උතුරේ ධීවරයන්ගේ ජීවනෝපායන් ආරක්ෂා කිරීම සහ අතුරුදන් වූවන්ගේ පවුල්වලට පිළිතුරු සැපයීම කෙරෙහි ද අවධානය යොමු කිරීමයි.
ජනාධිපති දිසානායක මහතා සිය සංචාරය අතරතුර වැඩසටහන් ගණනාවක් අමතමින් මෙම ගැටලු පිළිබඳව සෘජුවම කතා කළේය. යාපනයේ මයිලිඩ්ඩි ධීවර වරාය සංවර්ධන ව්‍යාපෘතියේ තුන්වැනි අදියර විවෘත කිරීමේ උත්සවයේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ, උතුරේ සහ දකුණේ ජනතාව සඳහා සමෘද්ධිමත් ජාතියක් ගොඩනැගීමට තම රජය කැපවී සිටින බවයි. තමා ජනාධිපති ධුරයට පත් කිරීමේදී සහ ජාතික ජන බලවේගයේ රජය බලයට පත් කිරීමේදී උතුරේ ඡන්දදායකයන් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ බව ඔහු පිළිගත්තේය. 2024 මහ මැතිවරණය දුරස්ථව හා බෙදී ගොස් තිබූ උතුර සහ දකුණ යන දෙකම එක්සත් කළ තීරණාත්මක අවස්ථාවක් බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, රටේ අනාගත පරම්පරා කිසි විටෙකත් බෙදී නොයන බව සහතික කිරීම සඳහා මෙම බැඳීම් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය.
ඉඩම් අයිතිවාසිකම් පිළිබඳ විෂය වෙත යොමු වූ ජනාධිපතිවරයා, යුද්ධය අතරතුර හමුදා කඳවුරු පිහිටුවීම සඳහා උතුරු පළාතේ ඉඩම් විශාල ප්‍රමාණයක් අත්පත් කරගෙන ඇති බව පිළිගත්තේය. “තවදුරටත් රට තුළ යුද්ධයක් ඇතිවීමේ අනතුරක් නැහැ. තවත් යුද්ධයක් පැමිණෙනු ඇතැයි යන විනාශකාරී අපේක්ෂාවෙන් අපට මෙම ඉඩම් අල්ලාගෙන සිටීමට අවශ්‍ය නැහැ. සමහර රජයන් යුද්ධයක් අපේක්ෂාවෙන් ක්‍රියා කළද, වත්මන් රජය රට තුළ කිසිදා යුද්ධයක් නැවත ඇති නොවන බවට සහතික කර ජාතිය තුළ සාමය හා සමගිය ගොඩනැගීමේ අරමුණින් කටයුතු කරනවා. එබැවින්, හැකි සෑම අවස්ථාවකදීම, යුද්ධය අතරතුර අත්පත් කරගත් සෑම මාර්ගයක්ම සහ සෑම ඉඩම් කැබැල්ලක්ම ජනතාවට ආපසු ලබා දීමට අපි පියවර ගන්නවා” යැයි ජනාධිපතිවරයා තවදුරටත් පැවසීය.
චෙම්මනි සමූහ මිනීවළ පිළිබඳව ද අදහස් දක්වමින්, රජය ගැඹුරු සහ විනිවිද පෙනෙන පරීක්ෂණයක් පැවැත්වීමට කැපවී සිටින බව පැවසූ ජනාධිපතිවරයා, තම රජයට සැඟවීමට කිසිවක් නොමැති බව අවධාරණය කළේය.
පුතුකුඩිඉරිප්පු හි උතුරු පොල් ත්‍රිකෝණය විවෘත කිරීමේ උත්සවයේදී ජනාධිපතිවරයා කළ කතාවේදී, අතුරුදන් වූවන්ගේ සහ යුද්ධයෙන් බිඳ වැටුණු ජීවනෝපා නඟා සිටුවීම වැනි දැවෙන ගැටලු පිළිබඳව අවධානය යොමු කළේය.
ජනාධිපතිවරයාගේ විස්මිත කච්චතිවු සංචාරය
ලබන වසරේ අප්‍රේල් මාසයේදී තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබියදී, කච්චතිව් ගැටලුව නැවතත් දකුණු ඉන්දීය ප්‍රාන්තයේ කතාබහට ලක්වන කරුණක් බවට පත්ව ඇත. ඉන්දියාව 1974 දී කච්චතිව් දූපතට ඇති ඕනෑම හිමිකම් පෑමක් අත්හැරිය නමුත්, තමිල්නාඩු දේශපාලන පක්ෂ බොහෝමයක් ඉන්දියානු ධීවරයන් සඳහා එහි ඇති වැදගත්කම සැලකිල්ලට ගෙන, දූපතේ ස්වෛරීභාවය නැවත ලබා ගන්නා ලෙසට ඉන්දීය රජයෙන් ඉල්ලා සිටින්නේ වසර ගණනාවක සිටය. මෑත සතිවලදී ප්‍රමුඛ තමිල්නාඩු දේශපාලනඥයන් කිහිප දෙනෙක්ම දූපත නැවත ලබා ගැනීමට මැදිහත් වන ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා සිටියහ. නළුවකු වූ දේශපාලනඥයකු වන විජේ, මදුරෙයි හි පැවති තම පක්ෂයේ රාජ්‍ය සමුළුවේදී මෙම ගැටලුව සම්බන්ධයෙන් කතා කළ විට එසේ කළ නවතම පුද්ගලයා බවට ඔහු පත්විය.
ආධාරකරුවන් විශාල පිරිසක් අමතමින් ඔහු ඉල්ලා සිටියේ දෙරට අතර පවතින ධීවර ගැටුමට විසඳුමක් ලෙස ඉන්දීය මධ්‍යම රජය දූපත නැවත ලබා ගත යුතු බවයි.
ජනාධිපති දිසානායක සඳුදා මයිලිඩි ධීවර වරායේ පැවති සිය කතාවේදී මේ කාරණය සඳහන් කළේය. දූපත සම්බන්ධයෙන් නැවතත් පුළුල් සංවාදයක් මතුවී ඇති බව ඔහු පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකා භූමියේ මුහුද, දූපත්, ගොඩබිම සහ අහස ශ්‍රී ලාංකික ජනතාවට අයත් බවත්, කිසිදු බාහිර පීඩනයකට මුහුණ දීමේදී ඒවා යටත් නොකරන බවත් ඔහු අවධාරණය කළේය. එදිනම සවස, ජනාධිපතිවරයා කච්චතිව් වෙත බෝට්ටුවකින් ගිය අතර, 1974 දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික ගිවිසුම් අවසන් කිරීමෙන් පසුව, දූපතේ අයිතිය රටට නැවත තහවුරු කරමින් ජනාවාස නොවූ දූපත නැරඹීමට ගිය පළමු රාජ්‍ය නායකයා ලෙස ඔහු ඉතිහාසයට එක්විය.
ඔහු සමග කච්චතිව් සංචාරයට එක් වූ අය අතර ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සහ උතුරු නාවික ප්‍රදේශයේ අණදෙන නිලධාරී රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ ද වූහ. ජනාධිපති මාධ්‍ය අංශය පසුව එය “නිරීක්ෂණ සංචාරයක්” ලෙස හඳුන්වා දෙමින් නිවේදනයක් නිකුත් කළ නමුත්, කච්චතිව් දූපත නැවත ලබා ගන්නා ලෙස ඉල්ලා සිටින ඉන්දීය දේශපාලනඥයන්ට ඒ හරහා පැහැදිලි පණිවිඩයක් යවා ඇත: එනම් “දූපත භාර දීමට ශ්‍රී ලංකාවට කිසිදු අදහසක් නැත” යන්නයි.
කච්චතිව් සංචාරය උණුසුම් පුවතක් විය. දකුණු ඉන්දීය සහ නවදිල්ලිය පදනම් කරගත් මාධ්‍ය එය අර්ථකථනය කළේ තමිල්නාඩුවේ ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකත්වය මැතිවරණ කාලවලදී දූපතේ “අයිතිය හිමිකර ගන්නා” බවට කියන කතාවල අවසානය ලෙසයි.
ජනාධිපති දිසානායකගේ කච්චතිව් සංචාරය පිළිබඳව නවදිල්ලිය මෙතෙක් කිසිදු අදහසක් ප්‍රකාශ කර නැත, එහෙත් පසුගිය වසරේ ඉන්දීය මහ මැතිවරණය සඳහා ප්‍රචාරක කටයුතුවල නියැළෙන අතරතුර, අගමැති මෝදි සහ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් යන දෙදෙනාම 1974 දී කච්චතිව් දුපත ශ්‍රී ලංකාවට පවරා දීම සම්බන්ධයෙන් එවකට කොංග්‍රස් අගමැතිනි ඉන්දිරා ගාන්ධිට චෝදනා කළහ.
වික්‍රමසිංහගේ අයහපත් සෞඛ්‍ය තත්වය නිසා එජාප සමුළුව කල් දැමේ
ජනාධිපති දිසානායක උතුරේ සංචාරයක නිරත වෙමින් සිටියදී, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇප මත නිදහස් වී රෝහලෙන් පිටව ගිය පසු, ආධාරකරුවන්ට සිය පළමු පණිවිඩය නිකුත් කළේය. සඳුදා නිකුත් කරන ලද තත්පර 20 ක වීඩියෝ පටයකින්, තමා වෙනුවෙන් පෙනී සිටි අයට වික්‍රමසිංහ මහතා ස්තූති කළේය. “මා අත්අඩංගුවට ගැනීමේදී අන්තර්ජාලය ඔස්සේ සිටි අය ඇතුළුව මා වෙනුවෙන් පෙනී සිටි සැමට මම ස්තූතිවන්ත වෙමි. අනාගත දිනයකදී ඔබ සැම හමුවීමට මම අදහස් කරමි. නැවතත් ස්තූතියි” යැයි වික්‍රමසිංහ මහතා පැවසීය. එම කෙටි පණිවිඩයෙන් පවා ඔහු වෙහෙසට පත්ව සිටි බවක් පෙනෙන්නට තිබූ අතර, ඊළඟ දිනයේම, ඔහුගේ එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සැප්තැම්බර් 6 වැනි දිනට නියමිතව තිබූ පක්ෂයේ 79 වැනි සමුළුව මෙම මාසයේ අවසානයේ දිනයකට කල් දමා ඇති බවයි.
අත්අඩංගුවට ගැනීමෙන් පසු වික්‍රමසිංහ, ප්‍රථම වරට මෙම සමුළුවේදී ප්‍රසිද්ධියේ පෙනී සිටීමට නියමිතව සිටි අතර උත්සවයේදී විශේෂ ප්‍රකාශයක් කිරීමටද සැලසුම් කර තිබුණි. එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග පැවසුවේ විපක්ෂයේ පක්ෂ සහ කණ්ඩායම් 40 ක පමණ නායකයන්ට ද මෙම අවස්ථාවට සහභාගී වීමට ආරාධනා කිරීමට නියමිත බවයි. සමුළුව කල් දැමීම නිවේදනය කරමින් පක්ෂ මහලේකම් තලතා අතුකෝරළ මහත්මිය උපුටා දක්වමින් පක්ෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්වය සලකා බැලීමෙන් පසු පක්ෂ කළමනාකරණ කමිටුව මෙම තීරණය ගෙන ඇති බවයි.
රෝහල්ගතව සිටි කාලයෙන් පසුව ක්‍රමයෙන් සුවය ලබන බැවින් නිවසට වී විවේක ගන්නා ලෙසට වික්‍රමසිංහ මහතාගේ වෛද්‍යවරුන් ඔහුට උපදෙස් දී තිබුණි. අත්අඩංගුවට ගැනීමෙන් පසු අගෝස්තු 22 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයේ සහ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැය 13 කට ආසන්න කාලයක් ආහාර සහ ජලය නොමැතිව ගත කිරීමෙන් පසු ඔහුගේ රුධිර පීඩනය සහ සීනි මට්ටම ඉහළ යාම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබුණි.
එජාපය උත්සාහ කළත් විරුද්ධ පක්ෂ අතර සැබෑ සමගියක් නැහැ
මේ අතර, වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම හරහා විපක්ෂයේ පක්ෂ අතර ජනනය කළ එකමුතුකම නැවත ගොඩනැගීමට එක්සත් ජාතික පක්ෂය දිගටම උත්සාහ කරයි. එක්සත් ජාතික පක්ෂය සහ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය යන දෙකම සම්බන්ධයෙන් ගත් කල, වඩාත්ම දිරිගන්වන කරුණ නම්, අත්අඩංගුවට ගැනීමෙන් පසු දෙපාර්ශ්වය අතර සබඳතා තරමක් ශක්තිමත් වීමයි. නැවත එක්වීමේ හැකියාව පිළිබඳ සාකච්ඡා දැනට සිදුවෙමින් පවතින අතර, රජයට එරෙහිව සටන් කිරීම සඳහා පොදු වැඩසටහනක් සැකසීම පිළිබඳව විරුද්ධ පක්ෂ අතර පුළුල් සාකච්ඡා සිදුවෙමින් පවතී. මෙම සාකච්ඡාවල අරමුණ මැතිවරණ සඳහා පුළුල් සන්ධානයක් පිහිටුවීම නොවන බව අවධාරණය කිරීමට සාකච්ඡාකරුවන් උනන්දු වී ඇත.
කෙසේ වෙතත්, මෙම සාකච්ඡාවලට සම්බන්ධ නොවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැඩි තීරණයක් ගෙන තිබේ. මහ බැංකු බැඳුම්කර වංචාව හෝ බටලන්ද වධකාගාර සම්බන්ධ චෝදනා සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන තිබේ නම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඔහු වෙනුවෙන් කතා නොකරන බවත්, ඔහුගේ අත්අඩංගුවට ගැනීම හෙළා දැකීමට අනෙකුත් පක්ෂ සමග එක්වන බවත් එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් පවසයි. “ඒත් මෙම නඩුව ගොනු කර ඇත්තේ කිසිදු පදනමක් නොමැතිවයි. මේ හරහා දේශපාලන අධිකාරිය ඔහුට පීඩා කිරීම සඳහා නීතිය අභිබවා යාමට උත්සාහ කළ බැවින් අපි එයට විරුද්ධ වීමට තීරණය කළා”.
ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් බවත්, එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුගමනය කරන මූලික මූලධර්මයක් බවත්, වික්‍රමසිංහ මහතා කිසි විටෙකත් ඔහුගේ මැතිවරණ ප්‍රකාශනයක ඒ බව ප්‍රකාශ කර නොමැති බව ඔහු පැවසීය. ඊට වෙනස්ව, වික්‍රමසිංහ මහතා පක්ෂග්‍රාහී වන්නේ ෆෙඩරල් රාජ්‍යයක් කෙරෙහිය. “2022 දී අපේ ඡන්දයෙන් ජනාධිපති වූ පසුවත්, ඔහු පළාත් සභාවලට පොලිස් සහ ඉඩම් බලතල ලබා දීමට උත්සාහ කළා. ආර්ථිකය සහ රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීම මෙන්ම ඒකීය රාජ්‍යයක් ආරක්ෂා කිරීම පිළිබඳව අපි සොයා බලමින් සිටිනවා. අපගේ ප්‍රතිපත්ති වෙනස්. අපව විශ්වාස කළ ජනතාව විශ්වාසය නැති කර ගන්නා බැවින් බලය ලබා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට අපට කිසිදු අදහසක් නැහැ. අපට කිසිදු ආකාරයකින් බලය ලබා ගැනීමට අවශ්‍ය නැත. අපට අවශ්‍ය ඡන්දය හරහා නීත්‍යනුකූල මාර්ගයෙන් බලය ලබා ගැනීමටයි” යැයි ඔහු වැඩි දුරටත් පැවැසීය.
නිදහස මර්දනය කිරීමට නීතිය අවියක් කරගැනීමේ අවදානමක්
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීමට ඇති කැපවීම රජය නැවත අවධාරණය කරමින් සිටියදී, බලධාරීන් විසින් ප්‍රකාශනයේ නිදහස / සංවිධානය වීමේ නිදහස මැඩපැවැත්වීම සඳහා තවත් ගැටලු සහගත නීති දෙකක් ආයුධ ලෙසින් යොදා ගනිමින් සිටියි. ඒ මාර්ගගත ආරක්ෂණ පනත සහ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතයි.
රජය බලයට පත්වීමෙන් පසු, අමාත්‍යවරුන් සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු තරමක් නොවැදගත් කරුණු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ඉදිරිපත් කර ඇත. නවතම පැමිණිලිකරු වන්නේ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාය. පසුගියදා සෙනසුරාදා ශ්‍රී ලාංකික අපරාධකරුවන් හය දෙනෙකු ඉන්දුනීසියාවේ සිට ආපසු ගෙන එන විට ගුවන් තොටුපොළට ගිය පසු සමාජ මාධ්‍යවල බෙදාගත් ඔහුගේ ඡායාරූපයක් සම්බන්ධයෙන් ඔහු කෝපයට පත් විය.
ඡායාරූපය සංසරණය වීමට පටන් ගත් වහාම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන් අතර, දැන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ වී ඇති බව පොලිසිය පවසයි. දැනටමත් රජයේ අමාත්‍යවරුන් වාර්තාගත සංඛ්‍යාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති අතර, ඉන් කිහිපයක් සමාජ මාධ්‍ය/ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ය. එවැනි පැමිණිලි මහජනතාවට විනෝදජනක කාරණයක් බවට පත්වෙමින් තිබේ. සති කිහිපයකට පෙර ජනාධිපති දිසානායක වෙනුවෙන් ඔහු සහ එක්තරා කාන්තාවකගේ ඡායාරූපයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලද අතර, අගමැතිනි හරිනි අමරසූරිය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බැලීමට ගිය බවට පළ වූ ප්‍රවෘත්ති වාර්තාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 74 වැනි සංවත්සරය
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගිය අඟහරුවාදා එහි 74 වැනි සංවත්සරය සැමරූ අතර, වසර ගණනාවක් තිස්සේ පක්ෂයට පීඩා කළ හුරුපුරුදු නාට්‍යය වන නිලධාරී මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන් අභ්‍යන්තර ගැටුම් එදිනද දකින්නට ලැබුණි.
ඩාර්ලි පාරේ පක්ෂ මූලස්ථානයේදී පැවැති සරල අනුස්මරණ උත්සවයේ ප්‍රධානත්වය ගනු ලැබුවේ පක්ෂයේ වත්මන් නායක නිමල් සිරිපාල ද සිල්වා සහ වැඩබලන මහලේකම් දුමින්ද දිසානායක යන මහත්වරුන් විසිනි.
නිමල් සිරිපාල ද සිල්වා සහ දුමින්ද දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය හමුවක් කැඳවූ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතා රැස්වීමෙන් ඉවත් විය.
නිමල් සිරිපාල ද සිල්වා සහ දුමින්ද දිසානායක යන මහත්වරුන් රැස්වීමේ මුලසුන දැරීමේ නීත්‍යනුකූලභාවය පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා මාධ්‍ය හමුවක් කැඳවූ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මෙම උත්සවයට පැමිණ සිටියේ නැත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ තනතුරු සඳහා පුද්ගලයන් දෙදෙනෙකු පත් කිරීම අභියෝගයට ලක් කරමින් නඩුවක් ගොනු කර ඇති බව පෙන්වා දුන් ජයසේකර මහතා, තමාට පක්ෂව තීන්දුව ලැබුණු පසු, නීති විරෝධී ලෙස පත් කරන ලද සියලුම නායකයන් සහ දේශපාලන අවස්ථාවාදීන් පක්ෂයෙන් ඉවත් කරන බව පැවසීය.
කලක් බලවත්ව පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද එහි පෙර ස්වරූපයේ සෙවණැල්ලක් බවට පත්ව ඇත. 1951 සැප්තැම්බර් 2 වැනි දින එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කරන ලැබුවේ නව දේශපාලන යුගයක් උදා කිරීමේ පොරොන්දුවෙනි.
පක්ෂය පිහිටුවා වසර පහකටත් අඩු කාලයකදී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1956 මහ මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත් අතර, “සාමාන්‍ය මිනිසා” ගේ යුගය ආරම්භ කරමින් රටේ දේශපාලනයේ විප්ලවීය වෙනසක් ඇති කළේය. නිදහසින් පසුව, 2015 වන තෙක් ලංකාවේ දේශපාලන භූ දර්ශනය ආධිපත්‍යය දැරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂයයි. එහෙත් මෛත්‍රීපාල සිරිසේන 2015 වසරේදී ජනාධිපති ධුරයට තරග කිරීම සඳහා පක්ෂයේ ධුරාවලිය බිඳ දැමූ අතර, එය මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවීමට හේතු විය. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලන ක්ෂේත්‍රයේ අප්‍රධාන කොටසක් දක්වා පහළ ඇද වැටුණි.
වසර ගණනාවක් පුරා, පක්ෂයේ නායකත්වය අතින් අතට වෙනස් වී ඇති අතර, පළමුව 1959 දී ඝාතනය කරන ලද එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ වැන්දඹුව වූ සිරිමාවෝ බණ්ඩාරනායක වෙතද, පසුව ඔහුගේ බාල දියණිය වන චන්ද්‍රිකා කුමාරතුංග වෙතද, ඇයගෙන් මහින්ද රාජපක්ෂ වෙතද ගියේය. 2015 ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු සිරිසේන මහතා එහි නායකත්වය භාර ගත් අතර, ඒ සමග පක්ෂයේ අඛණ්ඩ පරිහානිය ආරම්භ විය.
(***)
“සන්ඩේ ටයිම්ස්” පුවත්පතේ පළවූ ලිපිය
සිංහලට පරිවර්තනය කළේ
අනිල් කරුණාරත්න
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ජනපතිගේ උතුරු සංචාරය