‘දිට්වා’ සුළි කුණාටුව ශ්‍රී ලංකාවෙන් බැහැරට ගොස් ඉන්දියාවට ප්‍රවිශ්ට වී ඇති අතර, රටට බලපෑ මහා වර්ෂාව සහ අධික සුළං නැවතී තිබේ. එසේ වුව ද එම සුළි කුණාටුවේ බලපෑම තවමත් අවසන් වී නැති බව කැලණි ගඟ ආශ්‍රිතව පවතින මහා ගංවතුර, මාවිල්ආරු බැම්ම බිඳී යෑම සහ නායයෑම් තවමත් පැවැතීම වැනි සිදුවීම්වලින් පෙනී යයි.
කෝවිඩ් අර්බුදයෙන් පසු රටට තවත් ව්‍යසනයකට මුහුණ දීමට සිදු වී තිබේ. එවැනි විපතකදී අතිශයින් වැදගත් වන ආපදා කළමනාකරණය පිළිබඳව රජයේ සමත්, අසමත්කම් පිළිබඳ මෙන්ම ආපදාවට මුහුණ දුන් ජනතාවට මුහුණ දීමට සිදුව ඇති දුෂ්කරතා පිළිබඳව සංවාදයක් මේ වන විට ඇතිව තිබේ. මෙවැනි අභාග්‍යසම්පන්න අවස්ථාවකදී සියලු වාද භේද අමතක කර සියලු දෙනාම එකතු වී මෙම ව්‍යසනයට මුහුණ දීමට කටයුතු කළ යුතු බව අමුතුවෙන් සඳහන් කළ යුත්තක් නොවේ. මීට පෙර මෙවැනි ව්‍යසනවලට රට මුහුණ දුන් අවස්ථාවලදී දැනට බලයේ සිටින පක්ෂය ක්‍රියා කළ ආකාරය හෝ කියන ලද කතා පිළිබඳව නැවත මතක් කිරීමෙන් කිසිදු ප්‍රතිඵලයක් අත් නොවේ.
මේ වන විට සියලුම දේශපාලන පක්ෂ, ආගමික ස්ථාන සහ ස්වේච්ඡා සංවිධාන ආදිය විපතට පත්ව ඇති පිරිස්වලට සහන සැලසීම සඳහා විවිධාකාරයෙන් ක්‍රියාත්මක වී ඇති බව පෙනේ. එසේ වුව ද, ඇතැම් පිරිස් එම කටයුතුවලට පවා බාධා කරන ආකාරය පිළිබඳව තොරතුරු ද ප්‍රකාශයට පත්වී තිබේ. අතිවිශාල පිරිසකට ආහාරපාන සැපයීම සඳහා දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා ඇතුළු පිරිස විපතට පත්වූවන්ට ආහාරපාන සකසද්දී බත් පාර්සල් බලෙන් පැහැරගෙන යෑමක් පිළිබඳව ද, දින ගණනාවක් තිස්සේ ආහාරපාන සකස් කරන ගම්පහ ප්‍රදේශයේ විහාරස්ථානයකට මහජනතාව ගෙන ආ ආහාර ද්‍රව්‍ය තවත් පිරිසක් පැහැරගෙන ගිය ආකාරය පිළිබඳව ද තොරතුරු මාධ්‍යවල පළ විය. විපතට පත්වූවන්ට පිහිටවීම සඳහා සද්භාවයෙන් දරන ප්‍රයත්නයන්ගේ හොඳ නම තමන්ට ලබා ගැනීමට ඇතැම් පිරිස් විසින් සිදු කරන ලද මෙවැනි උත්සාහ පිළිකුලෙන් යුතුව හෙළාදැකිය යුතුව ඇත.
මෙවර සුළි කුණාටු ව්‍යසනය සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව ප්‍රතිචාර දැක්වූ ආකාරය නිරීක්ෂණය කරන විට පෙනී යන මූලික කරුණක් වන්නේ, ආපදා අවස්ථාවලදී මේ දක්වා ක්‍රියාත්මක වූ යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇති බවකි. මීට පෙර එවැනි අවස්ථාවලදී වහාම ක්‍රියාත්මක වන යාන්ත්‍රණයක් සැකසී තිබුණි. ඉන් එකක් වූයේ, වසර ගණනාවක් තිස්සේ දියුණුවට පත් කෙරුණ ආපදා කළමනාකරණය පිළිබඳ රාජ්‍ය යාන්ත්‍රණය මෙවර බිඳවැටීමයි. අනෙක් කරුණ වන්නේ, ජනාධිපතිවරයාගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා දක්වාත්, ජනාධිපති ලේකම්ගේ සිට ග්‍රාම නිලධාරිවරයා දක්වාත් සම්බන්ධිකරණය කිරීමෙන් ගොඩනැගී තිබූ රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණය ක්‍රියා විරහිතව පැවැතීමයි.
අද වන විට ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් වගකීම බාරගත හැකි කිසිදු පුද්ගලයකු හෝ ආයතනයක් හෝ නොමැති තරම්ය. සුනාමි ව්‍යසනයෙන් පසු චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය විසින් 2005 වසරේදී අංක 13 දරන ආපදා කළමනාකරණ පනත සම්මත කරනු ලැබීය. ඉන් පසු ආපදා කළමනාකරණය සඳහා වෙනම අමාත්‍යාංශයක් පිහිටුවූ අතර, 2005 පනත මගින් පිහිටුවන ලද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වගකීම සහ කාර්යභාරය පුළුල් කරමින් ඕනෑම ස්වාභාවික ව්‍යසනයක් කළමනාකරණය කිරීමේ වගකීම එම මධ්‍යස්ථානයට සහ අපදා කළමනාකරණ අමාත්‍යාංශයට පවරන ලදී. ඉදිරියේදී ආපදාවක් ඇති වීමට ඉඩ ඇති අවස්ථාවලදී පෙර සූදානම් වීම් ඔස්සේ එයට මුහුණදීමට එම ආයතන ක්‍රියාත්මක විය. පූර්ව අනතුරු ඇඟවීම්, ආපදාව පිළිබඳව තොරතුරු ලැබී ඇති ස්ථානයේ, ප්‍රදේශයේ, පළාතේ හෝ රටේ අවශ්‍ය සූදානම් වීම් සඳහා අමාත්‍යාංශ, ආයතන, දිසාපති, ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය සභා, ග්‍රාම නිලධාරින් ඇතුළු ග්‍රාමීය මට්ටමේ රාජ්‍ය නිලධාරින් අතර සම්බන්ධිකරණයක් ගොඩනැගීමට ද කටයුතු කෙරිණි.
ආපදාවක් ඇති වූ විට අපදා කළමනාකරණ අමාත්‍යාංශය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එම ප්‍රදේශවලට ගොස් ඒ හා සම්බන්ධව සම්බන්ධිකරණ කටයුතුවල නියැලිණි. දිස්ත්‍රික්කයේ දිසාපති සහ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින්ගේ මෙහෙයවීමෙන් ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ අනෙකුත් ආයතන විසින් ප්‍රවාහන සේවා සහ මිනිස් බල සැපයුම් ආදිය සම්බන්ධයෙන් සම්බන්ධිකරණ කටයුතු පවත්වාගෙන යනු ලැබීය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ තවත් එක් වැදගත්ම සේවයක් වූයේ ආපදාවට ලක්ව ඇති ප්‍රදේශයේ මහජනතාව මුහුණ දී සිටින තත්වය සහ අනෙකුත් තත්ව පිළිබඳව ඉතා ඉක්මනින් තොරතුරු රැස් කිරීමට සහ ඒවා අදාළ අංශ වෙත යොමු කිරීමට කටයුතු කිරීමයි. ආපදාවලට මුහුණ දීම සඳහා ද, තොරතුරු රැස් කිරීමට ද සංවිධාන ව්‍යුහයක් එම ආයතන විසින් ගොඩනගාගෙන තිබුණි. කෙසේ වුව ද, කුමන හෝ හේතුවක් නිසා වර්තමාන රජය යටතේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයක් නැති අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ද අක්‍රිය තත්වයකට පත්ව ඇති බව පෙනේ.
එහි ප්‍රතිඵලය වී ඇත්තේ, ආපදාව පිළිබඳව සම්බන්ධිකරණ කටයුතු පවත්වාගෙන යෑමේ මධ්‍යස්ථානයක් නොමැති වීමත්, තොරතුරු රැස් කිරීමේ සහ වර්ග කිරීමේ හැකියාවක් රජයට නොමැති වීමත්ය. අද වනතුරුම මෙම ව්‍යසනයෙන් මියගිය හෝ අතුරුදන් වූ ගණන, අනතුරුවලට මුහුණ දුන් සංඛ්‍යාව, සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් හානියට පත්වූ නිවාස ප්‍රමාණය, අවතැන් වූ පුද්ගල සංඛ්‍යාව, මුළු නායයෑම් ප්‍රමාණය ආදිය පිළිබඳ නිශ්චිත සංඛ්‍යා දත්ත නොමැති බව පෙනී යයි. එසේම, ඒ ඒ ස්ථානවල අනතුරට මුහුණ දී සිටින පිරිස් පිළිබඳ තොරතුරු රැස් කිරීමට හෝ ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සම්බන්ධිකරණයක් ද සිදු නොවන බව පෙනී යයි. ඒ ඒ පළාත්වල ප්‍රධාන රාජ්‍ය නිලධාරින්ට තම රාජකාරි ජීවිතයේ මුහුණ දීමට සිදුව ඇති ඉතා අසරණ තත්වය පිළිබඳ ප්‍රකාශ නිකුත් කිරීමට ද බෝට්ටු වැනි සේවා අවශ්‍ය වී ඇති බැවින්, ඒවා සපයන ලෙස ඉල්ලා සිටින ආයාචනා සමාජ මාධ්‍ය ජාලවල පළ කිරීමට ද සිදුව ඇත්තේ මෙම හේතු නිසාය.
මීට පෙර ආපදාවලට මුහුණ දීමේදී ජනාධිපතිවරයාගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා දක්වා වූ මහජන නියෝජිතයන්ගේ ක්‍රියාකාරිත්වය ද ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලැබීය. පක්ෂ භේදයකින් තොරව සියලු දේශපාලන පක්ෂවල මහජන නියෝජිතයෝ එම අවස්ථාවට මුහුණ දීම සඳහා ඒ ඒ මට්ටම්වලදී නායකත්වය දෙමින් කටයුතු කළහ. උදාහරණයක් ලෙස, ආපදාවක් ආරම්භයේදී ඉතා වැදගත් වන්නේ පිසූ ආහාර, පානීය ජලය වැනි දේවල් සපයා දීමයි. එකවර පිසූ ආහාර තොග වශයෙන් සැපයීම ඉතා දුෂ්කර කාර්යයක් වන බැවින් ස්වේච්ඡා මට්ටමින් එම කටයුතු සංවිධාන කිරීමට මහජන නියෝජිතයෝ කටයුතු කළහ. එබැවින්, ඇතැම් අය ප්‍රකාශ කර තිබූ ආකාරයට ජනාධිපතිවරයාට දින ගණනක් නොනිදා සිටගෙන සිටීමට එදා සිදු වූයේ නැත. ආපදාවෙන් පීඩාවට පත් පිරිස්වලට පිහිටවීමට සියලුම ජන කොටස් ඉදිරිපත් වන බැවින් එම පිරිස් ද සම්බන්ධ කරගෙන ඉතා කෙටි කලක් තුළදී සහන කටයුතු ක්‍රියාත්මක කිරීමට හැකි විය.
එහෙත්, මෙවර පැවැති සුළි කුණාටු ව්‍යසනයේදී දක්නට ලැබුණේ එම යාන්ත්‍රණ දෙකම ක්‍රියාත්මක නොවන ආකාරයයි. නොවැම්බර් 12 වැනිදා ඉදිරියේදී ඇති විය හැකි කාලගුණික ව්‍යසනය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ද, විදේශ මාධ්‍ය විසින් ද අනතුරු අඟවා තිබුණි. එසේ වුව ද කිසිදු ආයතනයක් ඒ පිළිබඳව පෙර සූදානම් වීමක් හෝ අවධානය යොමු කිරීමක් කර නොමැති බව පෙනී යයි. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සක්‍රියව තිබුණේ නම් මෙවැනි තත්වයක් ඇති වන්නේ නැත. මෙම ආයතන ව්‍යුහය තුළින්ම මහජන නියෝජිතයන් දැනුවත් කිරීම සහ ඔවුන්ගේ සහභාගිත්වය ලබා ගැනීමට ද හැකියාව ලැබුණි. එහිදී කිසිවක් සිදු වූයේ නැත. ආපදාව පිළිබඳව ජනාධිපති මට්ටමේ සාකච්ඡා පවා පැවැත්වූයේ ආපදාව ඇති වීමෙන් පසුවය.
කිසිදු රජයකට වර්ෂාව, සුළි සුළං, නායයෑම්, සහ නියඟය වැනි ස්වාභාවික ආපදා සම්පූර්ණයෙන්ම නැවැත්වීමට හැකියාවක් නැත. එසේම, බොහෝ විට එවැනි විපත් ක්ෂණිකව සිදුවන බැවින් ඉතා කෙටි කලකින් අවශ්‍ය පියවර ගැනීම දුෂ්කර ද වේ. එසේ වුව ද, මෙවර සුළි කුණාටුව පිළිබඳව සියලු තොරතුරු ලැබී තිබියදී එයට සූදානම් වීමක් හෝ අඩුම වශයෙන් දැනුවත් බවක් ඇති කිරීමට හෝ කටයුතු නොකිරීම ඛේදවාචකයක් බව ප්‍රකාශ කළ යුතුව ඇත.
රජය මෙම සිදුවීමට අදාළව මහජනතාවගෙන් එල්ල වන දැඩි විවේචන සහ ප්‍රබල විරෝධයට මුහුණ දීම සඳහා සිය පිරිසුදු කිරීමේ යාන්ත්‍රණය මත පමණක් බලාපොරොත්තු තබන්නේ නම් එය දැඩි අවදානමක් රජය විසින්ම ළඟා කරගැනීමක් බව පෙන්වා දිය යුතුව ඇත. පිරිසුදු කරන්නන් ක්‍රියාත්මක වන්නේ ඔවුන්ට ලැබෙන ගෙවීම් ප්‍රමාණය අනුවය. විවේචන සහ විරෝධතා වැඩි වන විට එම සේවය වැඩි වැඩියෙන් ලබා ගැනීමෙන් තමන් නිවැරැදි කරගැනීමට ඇති අවස්ථාව රජයට අහිමි වේ. ජනාධිපතිවරණ හෝ මහ මැතිවරණ අවස්ථාවලටත් වැඩියෙන් එම සේවය රජය විසින් මෙම අවස්ථාවේදී ලබාගෙන ඇති නමුදු, සීමාව ඉක්මවා යන විරෝධතාවක් සමාජ මාධ්‍යයෙන් රජයට එල්ල වී ඇති බව අවබෝධ කරගන්නේ නම්, බොහෝ දේ ඉදිරියේදී නිවැරැදි කරගැනීමට රජයට අවස්ථාවක් සැලසෙනු ඇත.
(***)

2025 නොවැම්බර් මස 21
318
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
347
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1280
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
කුණාටු ආපදාවේ අපවාද