IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


එතකොට කවුද සරස්වතිය?

ප්‍රවීණ ලේඛක දෙනගම සිරිවර්ධන මහතාගේ ස්වයං ලිඛිත චරිතාපදානය ‘දෙනගම වත’ නමින් කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පසුගියදා එළිදැක්විණ. පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ප්‍රවීණ කිවියර ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මහතා එම උළෙලේදී කළ දේශනය ඇසුරින් මෙම ලිපිය සැකසුණි.

කියන්න කවිකර අම්මෙනි අවසර

මහතුන් නැති රට ඇයි උන් අවසර

දෙවියකු ඇත්නම් ඇහැරී වර වර

බිම හෙළලා අර දෙනගම තල මල

එහෙම ලිව්වෙ පහුගිය කාලෙ අප අතරින් සමුගත්ත ධර්මසිරි රාජපක්ෂ කවියා. ඔහු දෙනගම තල මල කියල එහෙම ලිව්වෙ උපාධිධාරී තරුණිය ඉහළ පන්සල් කන්දෙ ඉදලා ඈට අතවර කරලා ඝාතනය කරලා දෙනගම වැවට දාලා කරපු අසාධාරණය ගැන. දෙනගම නම ටිකක් ප්‍රචලිතවුණේ ඔය සිද්ධියෙන් පස්සෙ. ඊළගට දෙනගම වෙද හාමුදුරුවෝ කියන භික්ෂු චරිතයත් අපට හදුන්වලා දුන්නේ දෙනගම මහත්තයාමයි. ඔහුගේ අයෝමා නවකතාව ඇසුරින් පරාක්‍රම නිරිඇල්ල චිත්‍රපටයක් නිර්මානය කළා. එම චිත්‍රපටයේ එම චරිතය අපට මුණ ගැහෙනවා. ඒ සියල්ලෙහි උල්පත වන්නේ දෙනගම සිරිවර්ධන මහත්තයා.

දෙනගම පිළිබදව මම මුලින්ම ඇහුවේ 1967 අවුරුද්දෙ මම අටේ පන්තියේ ශිෂ්‍යයෙක් වෙලා ඉන්න කාලෙ මගේ නේවාසිකාගාරයේ හිටියා සාමාන්‍ය පෙළ පන්තියේ ඉගනගත්ත මාපලගම සිරිපාල ගොඩගම කියලා වැඩිහිටි සහෝදර ශිෂ්‍යයෙක්. ඔහු කවි ලියනවා. ඔහුගේ අයියා මාපලගම විමලරත්න නීතීඥවරයෙක්. ඔහු කලින් ගුරුවරයෙක්. ඔවුන් ඒ දිනවල බලපිටිය ගුරු විද්‍යාලයේ ගුරු අභ්‍යාසලාභීන් හැටියට පුහුණු වෙනවා. ඔවුන්ගේ කණ්ඩායමේ ඉන්නවා දෙනගම සිරිවර්ධන, අම්බලන්ගොඩ ඩොනල්ඩ් ජනප්‍රිය වගේ කවියන් රාශියක්. එවකට බලපිටිය ගුරු විද්‍යාලයේ විදුහල්පතිවරයා වෙලා හිටියෙ වේදහිත කියල කෙනෙක්. ඔවුන් හරහා මම දැනගන්නවා දෙනගම කියන කවියා. ඒ දවස්වලම පළ වුණා ලංකාදීප පුවත්පතේ පැදිනදිය කවි පිටුව. මේක ඒ දවස්වල සංස්කරණය කළේ මහානාම දිසානායක මහත්තයා.ඒකෙ පළවුණු කවියක් මට මතකයි.                                        

උදෑසන අරුණැල්ල හිමි හිමින් එයි ගලා

පැණි කුරුල්ලෝ හඩති පාළු ගේ බල බලා

සිගිති සුරතල් දෑත ඒවි දැයි බල බලා

ගොපලු‍ ගේ කරත්තේ තිබෙයි ගෙයි තනි වෙලා

ඒ කවිය මට මතක හිටියා. ඒ කවිවලින් තමයි දෙනගම මම මුලින්ම අදුනගත්තෙ. ඒ වගේම මේ කාලෙ දෙනගම ලිව්වාය කියන කවියක් සිරිපාල ගොඩගම මට කියලා තිබුණා.  

පොඩි ළමයින්ගෙ සුන්දර ලෝකේ විතර

රසයක් තියනවද ලොකු මිනිසුන් අතර

ජීවන ගමන වනවිට දවසක නතර

හදවත තබා යමි පොඩි ළමයින් අතර

ඔය විදියේ අතීතයක් තියන අතරේ තමයි දෙනගම සිරිවර්ධනගෙ කවි ඊට වඩා පුළුල්ව මට අධ්‍යයනය කරන්න ලැබෙන්නෙ ගුවන්විදුලියේ ප්‍රචාරය වූ අද ලියැවෙන කවි වැඩසටහනින්. එහි ප්‍රචාර ය වූ සිරිවර්ධනයන්ගේ එක් කවියක් තියෙනවා මෙහෙම. 

මග නන් පැහැයෙන්

ටිකිරි සිනාවල කිරි සුදුපැහැයෙන් වැසේ

බොළද සුරතල් කතා දෙසවන පිරෙයි.

පුංචි පාවහන් වැද පොළොව කිඹිසිලි හරියි

පොත් බෑග කරේ එල්ලෙමින් උඩ පනියි

සීනු හඩ ඔවුන් පා ඉක්මනින් අදී

පාට පාට පුල්ලි වගේ නොපෙනී යන තුරු ඈතට

ඔවුන් දිහා බලා සිටින කවුරුද මේ පුංචි එකා

නළල වැසූ තඹ කෙස් රොද

හිරුට දැවුණු පුංචි මුහුණ

කාන්තිමත් ළපටි දෑස

බුලත් කසට බැදුණු දෙතොල

ඔහු පොඩි ළමයෙකි වයසින් සුරතල්ය

දෑත දෙපය වැඩිමහල් ය

ළමයින් නොපෙනී ගිය පසු

මීහරකුන් ඔහුට පෙනේ

මෙතෙක් වෙලා ඔහුගෙ අතේ

තපස් රැක්ක කෙවිට ඔන්න

යළිත් වදක වෙස් ගත්තා

මීහරක් රැල වෙලට පැන්නා

නිරුවත් උඩුකය ඔහුගේ

මඩ වතුරින් නෑවුණා

සීතළ ගඩු මතුවුණා පාසල යළි සිහිවුණා.

දණ්ඩීන් ගේ කාව්‍යාදර්ශයේ අනුවාදයක් හැටියට දහ වැනි සියවසේ ලියැවුණු සියබස්ලකරේ විස්තර කරනවා ප්‍රතිභාව කියල කියන්නෙ මොකද්ද කියලා.           

නෛසර්ගසිද්ධ ප්‍රතිභාව බොහෝ ග්‍රන්ථ පරිශීලනයෙන් ජීවිත අත්දැකීමෙන් ලබාගන්නා ව්‍යුත්පත්තිය හා සතතාභාසය කෙනෙකුගේ කාව්‍ය සම්පත්තියට හේතුවන බව ද දහවැනි සියවසේදී අබා සලමෙවන් නිරිදුන් අපට කියා දී තිබෙනවා. දෙනගම සිරිවර්ධනයන් ප්‍රත්‍යක්ෂයෙන්ම ඒවා අපට පෙන්වා දෙනවා. ඔහුගේ සියලු‍ ලිවීම්වල ලේඛනවල මාතෘ කලාව වෙන්නේ ඔහුගේ කවීත්වයයි. කවිකම තමයි ඔහුගේ සියලු‍ කෘතීන්හි ආධ්‍යාත්මිකව පෙනී ඉන්න චරිතය වෙන්නෙ.

දෙනගම කොයිවගේ තාත්තා කෙනෙක් ද කොයි වගේ සමාජ ගත පුද්ගලයෙක් ද කියන එක ප්‍රභාත් පුතා මේ සභාවේ ඉතා හොද කතාවක් කළා. මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා කී විදියට අපි කතා කරන්න ඕනැ හුගාක් දේවල් ඒ කතාවේ තිබුණා.

1981 අවුරුද්දෙ මම ගුරුවරයෙක් හැටියට මොනරාගලට මාරු කරලා ගියාට පස්සෙ මට ගමන ටිකක් දුර වැඩි නිසා මම හැමදාම එනකොට රාත්‍රිය හම්බන්තොට දෙනගමගෙ නිල නිවාසෙ නතර වෙලා එන්නෙ. මම අලු‍තින් ලියාගත්ත දෙයක් තියනව නම් ඒ වෙලාවට මම දෙනගමට කියවනවා. දෙනගම තමන්ගෙ දිනපොතේ ලියාගන්නවා ඒවා. හුගක් කවි අපි එහෙම හුවමාරු කරගත්ත කවි. එතකොට ප්‍රභාත් මම හිතන්නේ අවුරුදු දෙකක විතර ළමයෙක්. දීපානි ඊට වඩා ටිකක් වැඩිමල්. එහෙම එක දවසක 1982 අවුරුද්දෙ දෙනගම ගෙදර හිටියෙ නෑ. මම ඇහුවම ඔහු කච්චේරියට ගියා කියල කිව්වා. එතකොට දිවයින පත්තරේ පටන් අරගෙන. ඔහු එහි මාණ්ඩලික ලේඛකයෙක් හැටියට කටයුතු කරමින් සිටියේ. මම ගියා කච්චේරියට. ඒ ගියාම දෙනගම ඉන්නවා කච්චේරියේ. මොකද එදා තමයි සංවර්ධන සභාවෙ ජන්දය. අපි එහෙම ඉන්නකොට පිරිසක් කැබ් රථවලින් ඇවිල්ල බැස්සා එකපාරටම. ඒ අය අතර හිටියා මගේ පාසල් මිත්‍රයෙක් වන විජේදාස ලියනආරච්චි. ඔහු කාලයකට පස්සෙ මුණගැසෙන්නෙ එතෙන්දි. ඊට පස්සෙ කාලෙක ඔහුගේ අප්‍රාණික දේහය දකිනතුරු ඔහු මට හමුවුණේ නෑ. ඒ නිසා මට ඒ දවස විශේෂයි.

දෙනගම ලියූ පොත්වල නම් වශයෙන් කියනවා නම් මම හිතන්නෙ අද මුළු දේශනයටම ඒ නම් ටික කිව්වත් ඇති. ඒ තරමට විවිධ පරාසයන් ඔස්සේ පැතිරුණු විවිධ කෘති ඔහු අතින් ලියැවිලා තියෙනවා. චරිතාපදාන ගත්තොත් විතාරන්දෙනියේ උක්කුවාගේ ඉදලා සේනක බිබිලේ දක්වා විහිදී යනවා. කාව්‍ය හැටියට ඔහු කාව්‍ය කෘති තුනක් පළ කරලා තියෙනවා. යෞවන සාහිත්‍ය කෘතිවලට ඔහු ජාත්‍යන්තරයෙන් පිදුම් ලබලා තියෙනවා. ළමා සාහිත්‍ය ගත්තොත් ඔහු ඉතා නිවැරැදිව අපේ දරුවන්ට ළමා සාහිත්‍යයක් දායාද කරලා තියෙනවා. මොකද ඔහු ගුරුවරයකු හැටියට දැනගෙන හිටියා දරුවන්ගේ අවශ්‍යතා. ඩබ්ලිව්. මැක්ඩුහල් කියලා චර්යා මනෝවිද්‍යාඥයෙක් හිටියා ඔහු ඉදිරිපත් කළා ළැදියා මතය කියලා මතයක්. ළමා කෘති සම්පාදනය කිරීමේ දී දෙනගම සිරිවර්ධනයන් මේ මතය ඉතා නිවැරැදිව තේරුම් අරගෙන හිටියා. ළමයින්ට වඩත් වැදගත් වන උත්තම මානව ගුණ ඔහු තමන්ගේ කෘතිවලින් හදුන්වා දුන්නා. දෙනගම මහත්තයා අහංගම සාරිපුත්ථ මහා විද්‍යාලයේ වැඩ කරන කාලේ ඔහු මං වෙනුවෙන් උත්සවයක් කළා. වස්සානය කෘතිය දොරට වැඩීම සම්බන්ධව. මං ඒ ඉස්කෝලෙට ගියාම දෙනගම කිව්වා, මගේ පන්තියේ ඉන්නව නායකයො කිහිප දෙනෙක්. පන්ති නායකයා ඉන්නවා. පන්ති අතුගාන එක බලන්න නායකයෙක් ඉන්නව. කානු සුද්ද කරන එක බලන්න නායකයෙක් ඉන්නවා. හැම ළමයකුටම නායක කමක් දීලා. පන්තිය පාලනය කර ගන්නවා. පොඩි ළමයින්ගේ ළැදියාවන් ගැන දන්න ගුරුවරයෙකුට ඒක එච්චර අමාරු නෑ, ඊට පස්සෙ දෙනගමත් මමත් එකම ගෙදරක ශබ්දිවිහාරිකව අල්ලපු කාමර දෙකේ හිටියා අවුරුද්දක් දෙකක්. වැල්ලවත්ත පැත්තෙ. ඔහුගේ ජීවිතයෙන් සෑහෙන කොටසක් මම කියවලා තියනවා. ඒ නිසා මට ඔහුගේ මේ පොත දුරස්ථ එකක් නොවේ. දෙනගම කියන්නෙ අත්‍යන්තයෙන්ම සමාජ යහපත ප්‍රාර්ථනා කළ උත්තම මනුෂ්‍යයෙක්.

දෙනගම කියන්නෙ අබ්බගබ්බෝ කුලේසු අනනුගිජ්ජෝ ගුණයක් ඒකියන්නෙ අල්පෝ ගර්වයක් තියෙන කෙනෙක්. කවදාවත් ඔහු ආඩම්බරකම් පෙන්වන්නෙ නෑ. කුලේසු අනනුගිජ්ජෝ කිසිම ගුරුකුලයකට අයත් නෑ. මේ කාරණය භික්ෂූත්වයට විතරක් අදාළ එකක් නොවෙයි. ඒක ලේඛකයනුත් ප්‍රගුණ කළ යුතු උදාර ගුණයක්.

දෙනගම සිරිවර්ධන කවියාගේ රචනා ශෛලිය ගත්තාම එකක් පැහැදිලි වෙනවා. සංස්කෘත ඉගැන්වීම්වලදී රචනා රීති තුනක් ගැන කියනවා. ඉන් එකක් තමයි මුක්තක. මුක්තක ශෛලිය කියලා කියන්නේ අවසාන ක්‍රියාවත් එක්ක බොහොම ළග සම්බන්ධයක් තියෙන  කෙටි වැකි සහිත නිර්මාණ. මම හිතන්නෙ දෙනගම සිරිවර්ධන මහතාට තිබුණෙ එහෙම ශෛලියක්. ඒ ආභාසය ඔහු ලබන්නෙ කුමාරතුංගයන්ගෙන් සහ එස්. ජී. පුංචිහේවා මහතාගෙන් කියලයි මගේ කල්පනාව. ඔහු භාවිත කරන්නෙ දිගින් දිගටම ගෙන යන වාක්‍යය දික් කරන ශෛලියක් නොවෙයි. අවසාන ක්‍රියාව ළගම තියෙනවා. ඒක ළමා සාහිත්‍යයට අතිශයින්ම ගැලපෙනවා. ඒ ලේඛන රීතිය තමයි ඔහු දිගින් දිගටම වර්ධනය කරගෙන ආවේ. අවසානයේ ඔහු ධර්මය පිළිබදව ලියන කෘතිවල උණත් ඒ ශෛලිය දකින්න පුළුවන්. මම හිතනවා ඔහුගේම ස්වයං ලිඛිත චරිතාපදානයේ ශෛලිය වුණත් ඒක බව පෙනෙනවා. ඒක දෙනගම ශෛලිය, දෙනගම රචනා රීතිය ලෙස හදුන්වන්න මම කැමතියි. එස්.ජී. පුංචිහේවා මහත්තයා ලියන්නෙත් එහෙමයි.

දෙනගමගේ කවිවල කිසිම තැනක ඔහු පන්ති සමාජයක් තිබෙන බව අමතක කරන්නෙ නෑ. දවස පිළිබදව ඔහු මෙහෙම කියනවා.

වැඩ කරන මිනිසුන් දවසක් උදා වූ විට

වෙර දරා දෑතින් හිරු හෙළති මුහුදට

රාහුල හාමුදුරුවෝ කිව්වෙ

පතසන් අවරගිරි නැටියෙන් වැටෙන කල

විළිකුන් සුරත් පලවැනි වේ රිවි මඩල

කියලා. ඉර බැස යාම අවරගිරි නටුවෙන් වැටෙන ඉදුණු පලයක් සේ දැක්කා. දෙනගම කියනවා වැඩකරන මිනිස්සු දවසක් උදාවුණාම ඒ අය දන්නවා ශ්‍රමය විලංගුවක් කියලා. ඒ විලංගුවෙන් මිදෙන්න ඕනෑ කියලා ඔවුන් කල්පනා කරනවා. ඒ නිසා වෙර දරා දෑතින් හිරු හෙළති .. මුහුදට. ඔවුන්ට රාත්‍රිය ලැබුණොත් තමයි විවේකය හම්බවෙන්නෙ.ශ්‍රමය පිළිබද විලංගුවෙන් මිදෙන්න ලැබෙන්නෙ. බලන්න අර පැරැණි කාල්පනික සංකල්ප රූප නුතනයට ගලපාගන්නා හැටි. ඒ වගේම ඒ සමය මොනවගේද කියල ඔහු කියනවා.

අපේ දෑත්වල ගංගා සිර වී

අපේ දහදියෙන් වේලි බැදේ

සිර කළ ජල කද ගලාහැලෙන තැන

විදුලි බුබුළුවල පණ ඉපදේ

ඒක භෞතික විද්‍යාවේ නියමයක්. ජලයේ චාලක ශක්තිය විද්‍යුතය බවට පෙරළීම. දෙනගම කියන්නෙ ජලයේ ඒ චාලක ශක්තිය තමයි. ඒත් ඔහු කියන්නෙ අපේ දෑත්වල ගංගා සිරවේ. අපේ දහදියෙන් වේලි බැදේ. මේ ජලය එක් රැස් කරන්නෙ ජලය කීකරු කරන්නෙ දියාලු‍වෝ. මේවා තනන්නෙ ශ්‍රමය මූලික සමාජයක.

අනිත් එක මේ කොටසට ඔහු යොදාගන්නා විරිත බලන්න.                        

අපේ දෑත්වල ගංගා සිරවී

අපේ දහදියෙන් වේලි බැදේ

නරසීහ ගාතාවල රිද්මය එතන තියෙන්නෙ.

චක්ක වරංකිත රත්තසුපාදෝ

ලක්ඛන මණ්ඩිත ආයත පන්හී

මිනිස්සු නරසිංහයන් බවට පත්වෙන්නෙ කොහොමද? ශ්‍රමයෙන් බව ඔහු මේ කාව්‍යෙපක්‍රම වලින් ඉතාම අපූරුවට කියනවා. 

ඔහු සහකම්පනය කියන එක ඉතාම අපූරුවට තමන්ගෙ නිර්මාණවලට අරගෙන එනවා. මැක්සිම් ගෝර්කි කියනවා පුංචි කාලෙ කාපු පාන් කෑලි තාම දිරවන්නෙ නැතුව ආහාරමාර්ගයේ තියෙනවා කියලා. හරියට ඒ වාගෙ මිනිස්සුන්ගෙ හිත් ඇතුළේ දිරවන්නෙ නැතුව තවමත් තිබෙන දේවල් දුක්ඛ සෙය්‍යාවන් දෙනගම සිරිවර්ධනයන් හදුනාගන්නවා. දෙනගම ඔබ අනුන්ගේ දුක් කම්කටොළු ලියනවා විතරක් නෙවෙයි ඒ දුක් කරදර වෙනුවෙන් මැදිහත් වන කෙනෙක් බව මම දන්නවා.       

සංස්කෘත සාහිත්‍යයේ දීපතිමත්ම යුගයේ ප්‍රබන්ධයකට අනුව  සංස්කෘත කවියන් සිටින සභාවකට වරක් සරස්වතිය එනවා. එතන ඉන්නවා භාමහ, දණ්ඩීන් , කාලිදාස වගේ ඔක්කොම කවියො. එතන එක් කෙනෙක් අහනව සරස්වතියගෙන් මෙතන ඉන්න අයගෙන් කවියා කවුද කියලා. සරස්වතී ගත් කටටම ‘කවීන් දණ්ඩීන් කියල තුන් පාරක්ම කියනව. කවියානම් දණ්ඩීන්’ බවයි ඇය කියන්නේ. ඒකට කාලිදාසගේ හිත රිදෙනවා. එයා අහනවා එතකොට මම කවුද කියලා, එතකොට සරස්වතී කියනවා ඔබ තමයි මම. ඒ කියන්නෙ සරස්වතිය කියලා. දෙනගමත් අන්න ඒ වගේ මනුෂ්‍යයෙක්. කවදාවත් ඔහු කෙනකුගේ ගෞරවය උදුරාගන්නා කෙනෙක් නෙවෙයි.ඔහුට ඒ ගෞරවය නිසි පරිදි ලබා දී සතුටු වන කෙනෙක්. ඒ මහා ලේඛකයාට මම චිර ජීවනය ප්‍රාර්ථනා කරනවා.

 

(***)
සටහන
ගාමිණී කන්දේපොළ

 



අදහස් (0)

එතකොට කවුද සරස්වතිය?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 286 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 70 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 247 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site