IMG-LOGO

උතුරුමැද මහ ඇළ ව්‍යාපෘතියෙන් සීගිරිය අවදානමක?

රටක් ආර්ථික වශයෙන් දියුණුවට පත්වන විට සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම සාමාන්‍ය දෙයකි. මෙම ව්‍යාපෘති ආරම්භ කිරීමේදී එම ව්‍යාපෘතියෙන් ලැබෙන ප්‍රතිලාභ මෙන්ම අවාසි ද තිබේ. එම අවාසි අවම කරගනිමින් නොයෙක් සංවර්ධන වැඩ ලංකාවේ කළ ද ඉන් සමහරක් ඒවායේ අනිසි ප්‍රතිඵල මෙරට ජනතාව භුක්ති විඳිති. එලෙස ආරම්භ කළ ව්‍යාපෘතියක් ලෙස උතුරුමැද පළාත් මහ ඇළ ව්‍යාපෘතිය හඳුන්වාදිය හැකිය. මෙම ව්‍යාපෘතිය වාරිමාර්ග අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන අතර, ඒ සඳහා ඩොලර් මිලියන 210ක් වියදම් වන බවට අපේක්ෂා කෙරේ.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ මහවැලි ජල සුරක්ෂිතතා වැඩසටහන යටතේය. එම වැඩසටහන වාරිමාර්ග අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වෙයි. මෙම ව්‍යාපෘතිය මොරගහකන්ද ජලාශයේ සිට කිලෝමීටර් 65.5ක ප්‍රධාන ඇළ මාර්ගයක් හරහා ගමන් කරයි. විවෘත ඇළ මාර්ගයක් මෙන්ම භූගත ඇළ මාර්ගයක් ඔස්සේද ගමන් කරයි.

සීගිරිය ආසන්නයේ ඉදිවන්නේ මෙම ව්‍යාපෘතියේ උමං මාර්ගයයි. එය දිගින් කිලෝමීටර් 95.8ක කින් යුක්තයි. මොරගහකන්ද ජලාශයේ සිට කිලෝමීටර් 27.5ක දුර ගෙන එන ඇළ මාර්ගය, කෝදුරුවාව නම් ස්ථානයේ සිට උමං මාර්ගයක් ඔස්සේ ගමන් කරයි. එය උමං මාර්ග දෙකකින් සමන්විතය. මෙම ඇළ මාර්ගය උමං මාර්ගයක් ඔස්සේ ගමන් කිරීමට හේතු වූයේ මහවැලි ගං ද්‍රෝණියේ අතිරික්ත ජලය ඊට යාබදව ඇති ගංගා ද්‍රෝණිවලට ගෙනයාමට ඇති පහසුව නිසාය. මෙම ගංගා ද්‍රෝණි දෙකේ ජල පෝෂක කලාප වෙන්වන්නේ කන්දක් මගිනි. කන්දේ එක් පැත්තක ජලය මහවැලි ගඟටත් අනෙක් ද්‍රෝණියේ ජලය තවත් ගඟකටත් එකතු වේ.

මෙම උමං ඇළ මාර්ගය ගමන් කරන්නේ ඉතා සංවේදී කලාපයක් හරහාය. ඇළහැර, වස්ගමුව රක්ෂිතයේ කිරිඔය ආසන්නයේ මෙන්ම මින්නේරිය ජාතික උද්‍යානය, කුරුලු සොබාව රක්ෂිතය මෙන්ම හබරණ ප්‍රදේශයේ ගම්මාන කිහිපයක් යටින් මෙම උමග ඉදිවේ. මෙම පරිසර කාරණා සහ සමාජ කාරණා හේතුවෙන් පරිසර පද්ධතියට අවම හානියක් වන අයුරින් මෙම උමං මාර්ගය සැලසුම් කර ඇත. මෙම උමගේ ගැඹුර ඔයවල් සහ ඇළවල් හරහා ගමන් කිරීමේදී මීටර 15ක්ද උපරිම උස මීටර 200ක්ද වේ. සාමාන්‍ය මධ්‍යම උස සමස්තයක් ලෙස මීටර් 55ක් ලෙස සැලකේ. එම මීටර් 200ක් උසට දිවෙන්නෙ කඳු ආශ්‍රිතවය. කන්දේ උසට සමාන්තරව උමගේ කැණීම් සිදුකර තිබේ.

සීගිරිය ආසන්නයේදී මෙම උමග සීගිරියට කිලෝමීටර් 4.5ක දුරින් ඉදිවේ. එහෙත් පසුගිය කාලයේදී උමං මාර්ගය සීගිරියට ආසන්නයේදී ගිලා බැසීමකට ලක්විය. එම ගිලා බැසීමේදී සීගිරියට ජලය ගෙන ගිය පැරැණි ඇළ මාර්ග ද මතුවී තිබුණි. එහෙත් එය පිළිබඳ තැකීමක් නොකර කොන්ක්‍රීට් පුරවා ඉදිකිරීම් කරන බවයි අවට ජීවත්වන ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ. මේ සම්බන්ධව අදහස් ප්‍රකාශ කළ ව්‍යාපෘතියේ නිලධාරියකු පෙන්වා දුන්නේ අදාළ ගිලා බැසීමේදී මතු වූ ජල ගෙන යන පැරැණි මාර්ග පද්ධතිය සීගිරියට ජලය ගෙන ගිය කානු පද්ධතියක් බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් තහවුරු කර නොමැති බවය.

ඇළ මාර්ග කැණීම් කිරීමේදී පොළොව ගිලා බැසීමක් සිදුවූයේ නැත. එහෙත් මෙම ගිලාබසින ලද ප්‍රදේශය වැලි පසක් සහිත කුඹුරු ආශ්‍රිත ප්‍රදේශයකි. මෙම ව්‍යාපෘතිය ආරම්භයේදී පස ගැන නිසි පරීක්ෂාවක් සිදුකළේ නම් වැලි සහිත පසක කැණීම් සිදුකරන ලද ඉදිකිරීම් ගැන නිලධාරීන්ට දැනුවත්භාවක් තිබිය හැක. එහෙත් ව්‍යාපෘතියේ නිලධාරියා පෙන්වා දෙන්නේ එලෙස වැලි සහිත ප්‍රදේශය හඳුනාගෙන ඊට අවශ්‍ය තාක්ෂණික ක්‍රම අනුගමනය කළ බවයි. ගිලාබැස ඇති ස්ථානයෙහි උමං මාර්ගය ගමන් කරන්නේ වැලි සහිත දිරාපත් වූ පාෂාණ තට්ටුවක් ඇති ප්‍රදේශයකිනි. එම ස්ථානයේ ගැඹුර මීටර් 15කි. එමෙන්ම සීගිරිය සහ මින්නේරිය රක්ෂිතය ආසන්නයෙන් ගලාබසින ඇළ මාර්ගයක්ද මෙම ස්ථානයේ ඇත. එම ඇළ මාර්ගයේ ජලය ප්‍රයෝජනයට ගෙන ලොකු ලූනු වගා කරන ගොවීහු රැසක්ද සිටිති. එම ගොවීහුද මේ වනවිට බරපතළ ගැටලුවකට මුහුණ දී සිටිති. ඒ උමග ගිලා බැසීම හේතුවෙන් කොස්ගහ ඇළ මාර්ගයේ ගලා ගිය ජලය නතර කර තිබීම හේතුවෙනි. ඔවුන් සිය වගා කටයුතු සඳහා ජලය ලබාගත්තේ මෙම ඇළ මාර්ගයෙනි.

එම ගිලා බැසීමට හේතු ලෙස ව්‍යෘපෘති නිලධාරීන් පෙන්වා දෙන්නේ වසර සිය ගණනක සිට ඇළ මාර්ගය ගමන් කිරීම හේතුවෙන් තැන්පත් වූ වැලි නිසා මෙම ගිලා බැසීමක් සිදුවූ බවයි. මෙම ඇළ මාර්ය හරස් කර මයිලැත්තාව නමින් වැවක් ඉදිකර ඇති අතර, එම වැවේ ජලයෙන් කුඹුරු අක්කර 45ක් පමණ වගා කෙරේ. මෙම කුඹුරු යායට ඇත්තේ වැලි සහිත වූ පොළොවකි. එම වැලි හේතුවෙන් මෙම උමග ගිලාබැස ඇති බව ව්‍යාපෘති නිලධාරීන්ගේ මතයයි. මෙම පසෙහි නිසි පරීක්ෂාවක් සිදුකළේ නම් මෙම ගිලා බැසීම සිදුවන්නේ නැත. නිලධාරීන් පෙන්වා දෙන්නේ පොළොව සිදුරු කර ස්ථාන 300කින් පමණ බෝහෝල් ගසා පස පරීක්ෂා කළ බවය. ඉන්පසු පොළොව ස්ථාවර කර කැණීම් කටයුතු සිදුකළ බවකි. මෙහි තාක්ෂණික කටයුතු රැසක් මගින් පස පරීක්ෂාවට ලක් කළත් ගිලා බැසීමක් තිබුණේ නැති බවයි ව්‍යාපෘති නිලධාරීන් පෙන්වා දෙන්නේ. කෙතරම් පරීක්ෂා සිදුකළත් එම ගිලා බැසීම වළක්වා ගැනීමට නොහැකි වී ඇත. විශාල හානියක් නොවී ගිලා බැසීම අවම මට්ටමකට සිදුවූ බවක් ද ඔහු පෙන්වා දෙයි. එම නිලධාරියා පවසන පරිදි නවීන තාක්ෂණය යොදා පස පරීක්ෂා කළද අනතුරක් සිදුවීමේ සම්භාවිතාව ගැන කිව නොහැකි බවයි.

මීට පෙරද එලෙසම කිරිඔය සහ තවත් ස්ථානයක ගිලා බැසීමක් සිදුවිය. එහෙත් සීගිරිය ආසන්නයේ සිදුවූ මෙම ගිලා බැසීම තාක්ෂණික ක්‍රමවේදවලට හසුනොවීම බරපතළ ගැටලු‍වක් බව එම නිලධාරියා පවසයි. වැඩිදුරටත් මෙම නිලධාරියා පෙන්වා දෙන්නේ පොළොව අභ්‍යන්තරයේ ඇති භූ තල වෙනස් වීමක් මත පසේ ස්වභාවය වෙනස් විය හැකි බවයි. භූ තල අතර පිහිටීම වෙනස් වීමත් සමග පස බුරුල් වී කඩාවැටීමකට ලක්විය හැකිය. මෙවැනි සිදුවීම් වන්නේ භූ තල අතර මීට පෙර ඇතිවූ දැඩි පීඩනයක ප්‍රතිඵලයක් නිසා බවත් ඔහු පෙන්වා දෙයි. හබරණ නගර මධ්‍යයේද මෙවැනි ගිලා බැසිය හැකි ස්ථානයක් හඳුනාගෙන ඇති අතර, එම ස්ථානය ද පසුකර ගොස් ඇත්තේ ඉතා අපහසුවෙනි.

මේ වනවිට ශ්‍රී ලංකාව නව භූ කම්පන කලාපයක් මත පිහිටා ඇත. මහාචාර්ය විල්බට් කෙහෙල්පන්නල සහ මහාචාර්ය අතුල සේනාරත්න ඒ බව පෙන්වා දී ඇත. එමෙන්ම ඒ බව විටින් විට මාධ්‍ය හරහා ද පෙන්වා දී තිබුණි. අපි ද ඒ ගැන විටින් විට වාර්තා කළෙමු. අනුරාධපුර සීගිරිය අවට පවතින සුළු භූ කම්පන පිළිබඳව මින් පෙරද වාර්තා විය. එසේ නම් මෙම භූ කම්පනවල බලපෑමක් ඉදිරියේදී සිදුවුවහොත් ව්‍යාපෘති නිලධාරියා පෙන්වාදෙන පරිදි මෙම උමං මාර්ගය ද පවතින්නේ දැඩි අවදානම් සහිත පසුබිමකය.

ලංකාවේ බටහිර සිට නැගෙනහිර දක්වා නව භූ කම්පන කලාපයක් පිහිටා ඇත. මීට පෙරද මෙරට 80 දශකයේ රික්ටර් මාපක 5.2ක භූ කම්පනයක් මහනුවර සිට කිලෝමීටර් 425ක දුරින් සිදුවිය. එසේම කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව ද මෙවැනි භූ කම්පන සිදුවුවහොත් එය දැඩි බලපෑමකට ලක්විය හැක. ත්‍රිකුණාමලයේ සිට දකුණු ප්‍රදේශය දක්වා භූ කම්පන කලාපයක් පෙර පැවතිණ. අනුරාධපුර ප්‍රදේශයේද එවැනි සුළු භූ කම්පන රැසක් පසුගිය කාලයේ සිදුවිය. යම් හෙයකින් විශාල භූ කම්පනයක් සිදුවුවහොත් ලු‍ණුගම්වෙහෙර ජලාශයේ බැම්ම ද විනාශ වී යා හැකි බවට අනතුරු අඟවා තිබේ. එවන් පසුබිමක පස් තට්ටුව ස්ථාවර නැතැයි කියමින් උමං මාර්ගයක් ඉදිකරන්නේ කිසිදු භූ කම්පන වාර්තාවක් නොගෙන බව අප කළ සොයා බැලීමේදී දැනගන්නට ලැබුණි. එසේ නම් ව්‍යාපෘති නිලධාරියා පෙන්වාදෙන පරිදි උමං මාර්ගය ඉදිවෙන ප්‍රදේශයේ පස ගැන කිසිදු තාක්ෂණික ස්ථාවරයක් ගැන සහතිකයක් මෙතෙක් කිසිවකුත් ලබාදී නැත. කුමන අවස්ථාවකදී හෝ භූ කම්පනයක් සිදුවුවහොත් සීගිරිය ආසන්නයේ සිට හබරණ අනුරාධපුර දක්වා වන ප්‍රදේශ ගිලා බැසීමක් සිදුනොවන බවට සහතිකයක් ද දී නැත. නාය යෑමක් සිදුවුවහොත් වන හානි ද එමටය.

උමං මාර්ගය කොන්ක්‍රීට් දමා දැඩි ආවරණයක් සහිතව ඉදිකරනවා යැයි පැවසුවද භූ කම්පනයට ඔරොත්තු දෙන පරිදි එය ඉදිකරන ලද බවට සහතිකයක් ලබාදිය නොහැකි බවද එම නිලධාරියා පෙන්වා දෙයි. නවීන තාක්ෂණික යන්ත්‍ර උපයෝගී කරගෙන කැණීම් කළද එම යන්ත්‍ර මගින් ද පොළොවේ ස්ථාවරත්වයට දැඩි බලපෑමක් එල්ල වේ. එවන් පසුබිමක මෙම ප්‍රදේශය නාය යෑමක් හෝ ගිලා බෑසීමකට නැවත ලක්විය හැක.

ලංකාවේ ඉදිවෙන මෙම ව්‍යාපෘති භූ කම්පනවලට ඔරොත්තු දිය හැකිවන පරිදි ඉදිනොවන බව එම නිලධාරියා පෙන්වා දෙයි. මෙම උමං මාර්ග ව්‍යාපෘතිය ද භූ කම්පනවලට ඔරොත්තු දිය හැකි පරිදි ඉදිකර නොමැති බව එම නිලධාරියා පෙන්වා දෙයි. මෙම උමං මාර්ගය ඉදිකර ඇත්තේ සාමාන්‍ය තත්වවලට ඔරොත්තු දිය හැකි පරිදි වේ. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ක් හරහා ඉදිවෙන මෙම උමග දැඩි අවදානමක ඇති බවද ඒ අනුව පැහැදිලි වේ. ලංකාව අවට භූ කම්පන කලාපයක් පිහිටා නැතැයි කියන මතයේ සිට මෙම සැලසුම් නිර්මාණය කර ඇති බව මෙම නිලධාරියා පවසයි. එලෙස භූ කම්පනවලට ඔරොත්තු දෙන පරිදි මෙම ව්‍යාපෘතිය සිදුකළේ නම් විශාල පිරිවැයක් මේ සඳහා දැරීමට සිදුවේ. එහෙයින් රජයේ බොහෝ ඉදිකිරීම් භූ කම්පනවලට ඔරොත්තු නොදෙන ලෙස ඉදිකර ඇති බව එම නිලධාරියා පිළිගනී.

ලෝකයේ බෙහෝ දියුණු රටවල් උමං මාර්ග ඉදිකිරීමේදී භූ කම්පනවලට ඔරොත්තු දෙන පරිදි සැලසුම් දියත් කර ඇත. එහෙත් ලංකාවේ එවැනි සැලසුම් මෙතෙක් දියත් කර නැත. ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේදී ලංකාවේ රජයේ එවැනි සැලසුම් පිළිබඳ අවධානයක් යොමු කරන්නේ නැත. රාජ්‍ය ආයතනයක් හරහා මෙම ව්‍යාපෘතිය සිදුකළද අප කරන්නේ අපට දෙන කාර්යය පමණි. භූ කම්පනයක් සිදුවුවහොත් අනතුරක් නොවන බවට මහජනතාවට දැනුම්දිය යුත්තේ රජයමය. ලංකාවේ එවැනි සැලසුම් ක්‍රියාත්මක නොවීම මේ වනවිට බරපතළ ගැටලුවක් බවට පත්ව ඇත. වාරිමාර්ග ව්‍යාපෘතිවල මෙවැනි භූ කම්පනවලට ඔරොත්තු දෙන පරිදි සැලසුම් නිර්මාණය වන්නේ නැත.

ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ක ජීවත්වන ජනතාවගේ ජීවිතය අනතුරේ බව නම් කිව යුතුය. සීගිරිය අවට පොළොව ස්ථාවර මට්ටමක නොමැති අතර භූ කම්පනයක් වැනි තත්වයකදි සීගිරිය ද ගිලා බැස්සහොත් ඒ ගැන පුදුම විය යුතු නැත. නාඋල, ඇළහැර, බකමූණ. හබරණ, මිහින්තලේ, තිරප්පනේ, රැඹෑව, මැදවච්චිය, කැකිරාව ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 ක ජීවත්වන ජනතාවගේ ජීවිතය අවදානම් තත්වයක පවතින බව නම් කිව යුතුය.

මොරගහකන්දෙන් සහ කළු ගඟ ව්‍යාපෘති හරහා එන ජලය, උමං මාර්ග සහ ඇළ මාර්ග හරහා උතුරුමැදට ගෙන යෑම මෙහි සැලසුම වේ. එහෙත් මොරගහකන්දේ ජලය පොළොන්නරුවේ ගොවිතැන් කටයුතු සඳහා ද ප්‍රමාණවත් නොවන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවම අපට මින් පෙර තහවුරු කර තිබේ. ඩොලර් මිලියන 475ක ණය මුදලක් යටතේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කළද ජලය සපයාගන්නා ආකාරය පිළිබඳ ගැටලු සහගතය.

මහනුවර සහ මහවැලි කලාපවලට ඉදිරියේදී වැසි ලැබුණහොත් එම අතිරික්ත ජලයෙන් ඇළ මාර්ගය පුරවා ගැනීම ද මෙහි තවත් අරමුණකි. මහවැලි ජලාශ ආශ්‍රිතව රොන්මඩ පිරීම නිසා අපේක්ෂිත ජල මට්ටම ජලාශවල නැත. ලංකාවට ලැබෙන වැසි වාර වෙනස්වීමක් පිළිබඳව ද පසුගිය කාලයේ දක්නට ලැබුණි. එසේනම් අපේක්ෂිත ජලය ලබාගැනීමද මෙම ව්‍යාපෘතියට ඇති දැඩි අභියෝගයකි. මෙම ව්‍යෘපෘතිය සාර්ථක වුවහොත් අපේක්ෂිත අරමුණු හා ප්‍රතිලාභ ඉටුකර ගැනීමට හැකිය. එහෙත් අවදානමක් සහිත මෙම ව්‍යාපෘතිය, ඉදිකරන්නන් වාලේ ඉදිකර යම් අනතුරක් සිදුවුවහොත් එහි වගකීම ගැනීමට කිසිවකුත් නොමැති බව නම් කිව යුතුය.

 

“භූ කම්පනයකට ඔරොත්තු දෙන්න පුළුවන් විදියට උමග හදනවා.”- ව්‍යාපෘති ඉංජිනේරු

මේ සම්බන්ධව අදහස් දක්වන ව්‍යාපෘති අධ්‍යක්ෂ සෙනෙවිරත්න බණ්ඩා : “ මෙම ව්‍යාපෘතියේ සැලසුමේ භූ කම්පනවලට ඔරොත්තු දෙන බවට පෙන්වා දෙයි. ඒ ගැන ගැටලු‍වක් තියෙනවනම් කොළඹ ප්‍රධාන කාර්යාලයට කතා කරලා අසා දැනගන්න පුළුවන්. මම ඒ ගැන දන්න නිසා තමයි මේ කියන්නේ. ව්‍යාපෘතියට අවශ්‍ය ජලය සපයා ගැනීමට ජල කළමනාකරණ සැලැස්මක් හදලා තියෙනවා. මේක විශාල විෂයක්. 1930 ඉඳල තියෙන දත්ත අනුව තමයි මේ සැලසුම් හදලා තියෙන්නේ. සීගිරියට තියෙන්නේ කිලෝමීටර් 4.4ක දුරක්. මෙහි ගිලා බැසීමක් සිදුවුවහොත් සීගිරියට කිසිදු හානියක් වෙන්නෙ නැහැ. මෙම ව්‍යාපෘතිය අසාර්ථක එකක් නෙවෙයි. පොළොවක ගිලාබැසීම් වෙන්න පුළුවන්. පස ශක්තිමත් නොවෙන්න පුළුවන්. ඒවා ගැන බලලා තමයි සැලසුම් හැදුවේ. ගිලාබැස්ස තැන්වල පොළොව දුර්වලයි කියලා හඳුනාගෙන තිබුණා. හබරණ නගර මධ්‍යයේ එක තැනක කිලෝමීටරයක පමණ දුරක එවැනි තත්වයක් තිබුණා. ලක්ෂපාන, වික්ටෝරියා, රන්දෙණිගල හා පොල්ගොල්ල ජලාශ ඒ කාලේ ඉදිකළේ භූ කම්පන සැලසුම් නැතිව. එහෙත් ඒවායේ උමං මාර්ග තිබෙනවා. ඒවායේ භූ කම්පනයක් ආවොත් මොකද කරන්නේ. ඒත් මේ වෙනකල් ඒවට කිසිදු හානියක් වෙලා නැහැ. ලංකාව නව භූ කම්පන කලාපයට අයත් වෙලා තිබෙන රටක් කියලා මම දන්නවා. ඒ සම්බන්ධව මම ඉගෙනගෙන තියෙනවා. මම වගකීමෙන් කියනවා, මෙම ව්‍යාපෘතිය නව භූ කම්පනවලට ඔරොත්තු දෙන විදියට සැලසුම් හදලා තියෙනවා කියලා. රජය වෙනුවෙන් මෙම සහතිකය මම දෙනවා.” යැයි ව්‍යාපෘති ඉංජිනේරුවරයා කීය.

 

“ව්‍යාපෘතියේ අකටයුතුකම් සොයා බලනවා.” - ඉඩම් නියෝජ්‍ය ඇමැති

මේ සම්බන්ධව අදහස් දක්වන ඉඩම් නියෝජ්‍ය ඇමැති සුනිල් රණසිංහ මහතා. සීගිරිය අවට ගිලාබසින ලද ප්‍රදේශයේ සංචාරයක නිරතවෙමින් අමාත්‍යවරයා පැවසුවේ මෙවැන්නකි.

“උතුරුමැද මහ ඇළේ ජලය ගෙන යන උමං මාර්ගයේ ගිලා බැසීමක් සිදුවෙලා තියෙනවා. මම එතැන නිරීක්ෂණය කළා. තැන් දෙකක ගිලා බැසීමක් සිදුව තිබෙන බව දැක්කා. මෙම උමග කිලෝමීටර් 28ක පමණ දුරකට ඉදිවෙනවා. මෙතැන තිබුණේ කුඹුරක්. එම ගිලා බැසීම දැන් යථා තත්වයට පත් කරමින් යනවා. උමග තැනීමට එය බාධාවක් නොවෙයි. ගොවිතැන් කරන ජනතාවටත් මින් බාධාවක් සිදුවෙන්නෙ නැහැ. සීගිරිය ආසන්නයේ මෙවැනි දුර්වල තැන හඳුනාගෙන තිබෙනවා. එම තැන ද ගිලා බැසීමකට ලක්විය හැකි බව ඉංජිනේරුවන් කියනවා. මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 150කට ආසන්න මුදලක් වැය වෙනවා. තවත් මෙයට බිලියන 150ක් පමණ අවශ්‍ය වෙනවා. මේ ව්‍යාපෘතියේ අකටයුතුකම් සහ අකාර්යක්ෂමතා රැසක් සිදුව ඇති බව වාර්තා වෙනවා. අප මේ පිළිබඳවත් ඉක්මනින් සොයා බලා ඊට පිළියම් යෙදීමට කටයුතු කරනවා.”

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධව තොරතුරු දැනගැනීමට අප කතා කළද ඊට පිළිතුරු ලබාදීමට කිසිවකුත් සිටියේ නැත. එම නිසා එම දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් පිළිතුරු දීමේ අවස්ථාව තවමත් ඇත.

 

(***)
ප්‍රගීත් සම්පත් කරුණාතිලක
සුධාරිකා ගුරුසිංහ



අදහස් (0)

උතුරුමැද මහ ඇළ ව්‍යාපෘතියෙන් සීගිරිය අවදානමක?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 113 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 166 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1054 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site