ලංකාව සමකයට ආසන්න රටකි. මේ කලාපයට අයත් දේශගුණය හැඳින්වෙන්නේ සමක දේශගුණය නමිනි. වැඩි උෂ්ණත්වය සහ අධික වර්ෂාපතනය සමක දේශගුණය තුළ දැකිය හැකි ප්‍රධාන ලක්ෂණ දෙක වේ.
එම ලක්ෂණ මතුවීමට හේතුව නම් සූර්යයාගේ හිරු රශ්මිය ඍජුව ලැබීමය. ඊට අමතරව මෙම සමක කලාපයේ විශේෂ වායුගෝලීය තත්වයක් නිරීක්ෂණය කළ හැකි අතර, එය ඉහළ සහ පහළ වායුගෝලීය තත්වයක් ලෙස සැලකේ. මෙරට කාලගුණය සහ දේශගුණය කෙරෙහි විශේෂයෙන්ම බලපාන සාධකය වන්නේ එයයි.
මෙම දේශගුණික තත්වය ක්‍රමිකව සමකයෙන් උතුරටත්, සමකයෙන් දකුණටත් වශයෙන් වර්ෂය පුරා දෝලනය වන්නකි. මේ දෝලනයවීමත් සමගම ඉහළ වායුගෝලයේ පවතින වායු ධාරාවන්ගේ යම් යම් විතැන්වීම් සිදු වේ. මේ තත්වය යටතේ සමක දේශගුණයක් සහිත රටවලට සුළං හැමීම ප්‍රධාන විධි දෙකක් යටතේ සිදු වේ. ඉන් එකක් නිරිත දිග මෝසම් සුළඟයි. අනෙක ඊසාන දිග මෝසම් සුළගයි. මේ සුළං හැමීමේ ආකාර දෙක මගින්ම අපට වර්ෂාව ලැබේ. මෝසම යන වචනය අරාබි වෙළෙඳුන්ගෙන් මෙරටට ලැබුණු එකකි. මෙම වර්ෂාපතන අවස්ථා දෙකට අමතරව අන්තර් කලාප දෙකක් පවතී. අන්තර් මෝසමේ දී සුළි කුණාටු වාසුළි, අකුණු ඇතිවීමේ ප්‍රවණතාවක් පවතින අතර, මීට දින කිහිපයකට පෙර ඇතිවූ දිට්වා සුළි කුණාටුව අන්තර් මෝසමේ දෙවැනි කාලයේ ඇතිවූ කුණාටු තත්වයකි. නිරිත දිග මෝසම් සුළං කාලයේ අවසානයේ සිට ඊසාන මෝසම් සුළං ආරම්භක කාලය තුළ තිබෙන්නේ අන්තර් මෝසම් කාලයකි. මේ එම කාලයයි.
මේ දේශගුණය ගමන් කරන රටාව පිළිබදව අදාළ විෂය ක්ෂේත්‍රය තුළ පැහැදිලිව විග්‍රහ වී තිබේ. සිතියම් ගත කර තිබේ. ශ්‍රී ලංකාවට සුළි සුළං අවපාත ඇතිවීමේ හඳුනාගත් කලාපයක් පවතී. ගිනිකොණ දිග සිට වයඹ මන්නාරම දක්වා වන ප්‍රදේශය එම කලාපයයි. එම ගමන් මාර්ගය තුළ සෑම වර්ෂයකම පාහේ අවපාත සුළි සුළං ඇතිවීමේ ප්‍රවණතාව පවතින අතර, එම සුළි කුණාටු සමග අධික වැසි ඇතිවීමේ ඉඩ කඩ තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සුළි කුණාටු ඇතිවීම යනු අලුත් දෙයක් නොවේ. එය මෙරටේ දේශගුණික හා කාලගුණික තත්වයේ ප්‍රධාන ලක්ෂණයකි. වාර්ෂිකව සිදුවන මෙම රටාව මේ රටේ උගත් බුද්ධිමත් සියල්ලන් නොදන්නා කාරණයක් නොවේ.
ඒ නිසාම චන්ද්‍රිකා තාක්ෂණය භාවිත කරමින් ඉදිරියට ඇතිවීමට තිබෙන අවපාත, සුළි කුණාටු සහිත කාලගුණය සම්බන්ධයෙන් කල් තබා පුරෝකථනය කිරීමේ හැකියාව තිබිය යුතුය.
එම තාක්ෂණය භාවිතයෙන් කෙරෙන පූර්ව හඳුනාගැනීම් සතියකට පෙර ප්‍රකාශයට පත් කිරීමේ හැකියාව බොහෝ විට පවතී. සුළි කුණාටුවක් කොතැන සිට කොතැනකට ගමන් කරන්නේ ද යන්න මෙමගින් හඳුනාගැනීමේ හැකියාව පවතී. එබදු දියුණු තාක්ෂණයක් මේ වනවිට ලෝකයේ සෑම රටකම පාහේ දැකිය හැකිය. උදාහරණයක් ලෙස අත්ලාන්තික් සාගරයේ පැසිපික් දූපත් ආශ්‍රිතව මෙබදු සුළි සුළං තත්ව ඇතිවීම වාර්ෂිකව සිදුවේ. ඉන්දියන් සාගරය ද එබදු අවපාත ඇතිවන තවත් කලාපයකි. දියුණු රටවල නම් මේ සම්බන්ධ කාරණා කල් තබා හොඳින් අධ්‍යයනය කර එම ආපදා පාලනය කිරීමට වඩාත් සැලසුම් සහගත වැඩපිළිවෙළක් සකස් වී තිබේ. සිදුවිය හැකි දැඩි විනාශය වළක්වා ගැනීමට මේ නිසා ඔවුන්ට හැකි වී ඇත.
ලංකාවේ මේ තත්වය සැලකිල්ලට ගතහොත් ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් පවතින අවධානය ප්‍රමාණවත් ද යන ප්‍රශ්නය පැන නගී. ලංකාවේ ආපදා තත්ව අවම කරගැනීම පිළිබඳව යම් යම් පනත් පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන ඒවා නීතිගත කරගෙන තිබේ. එසේම ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් අදාළ වන විවිධ ආයතන රට තුළ තිබේ. එහෙත් අවාසනාවකට මෙන් අපට දැනගන්නට ලැබුණු හැටියට මෙතෙක් ක්‍රියාත්මක වූ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩකට නැති ආයතනයකැයි සලකා වසා දමා තිබේ. එබදු ආයතනයක් වසා දමා රටේ ඇතිවන ආපදා තත්වයට කල් තබා මුහුණ දීමට උනන්දු නොවීම, නිසි වැඩපිළිවෙළක් සකස් නොකිරීම, සුදුසු යාන්ත්‍රණයක් සකස් නොකර තිබීම ගැටලුකාරී එකකි.
ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුව කාලගුණික තත්වයෙන් ඇතිවන බලපෑම අවම කිරීමට නම් මීට වඩා විධිමත් කළමනාකරණ යාන්ත්‍රණයක් අපට අවශ්‍ය වේ. ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් ඇති විද්වත්හු අපේ රටේ සිටිති. මේ සම්බන්ධයෙන් ඉගැන්වීම් කෙරෙන විශ්වවිද්‍යාල පාඨමාලා තිබේ. මට වැටහෙන අන්දමට නම් දැන් සිදුවී තිබෙන්නේ මේ දැනුම පොත් පත්වලට විෂය ධාරාවට පමණක් සීමා වී තිබෙන බවය. ආපදාවක දී හෝ ආපදාවක් ඇතිවීමට පෙර ප්‍රායෝගිකව යාන්ත්‍රණයක් සහිතව ක්‍රියාත්මක විය හැකි වන ලෙස මෙම දැනුම නිසි පරිදි භාවිතයට ගන්නා බව පෙනෙන්නේ ඉතාම සුළු වශයෙනි.
අපේ රටේ බොහෝ විට සිදුවන්නේ සුනාමි තත්වයක් හෝ සුළි කුණාටුවක් හෝ ඇතිවූ විට ඒ සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වීමය. ආපදා තත්වය පහ වූ පසු යළිත් සිදුවන්නේ කිසිවක් නොවූ පරිදි නිද්‍රාශීලීව සිටීමය. සුළි කුණාටු ඇතිවීම අලුත් දෙයක් නොවේ. ඉතිහාසය පුරා මේ රටේ සිදු වූ දෙයකි. විශාල ආපදාවලට මුහුණ දුන් අත්දැකීම් අපට තිබේ. මේ ඇසුරින් අප පාඩම් උගත යුතුය. දිට්වා සුළි කුණාටුව පිළිබඳව වුව ද එය ඇතිවීමට පෙර ජනතාව දැනුවත් කිරීමේ නිසි වැඩපිළිවෙළක් සැකසී තිබුණේ නම් සිදු වූ විනාශය අවම කර ගැනීමට හැකියාව තිබිණි. ඊට අවශ්‍ය සැලසුම් සකස් කිරීම ආණ්ඩුවේ වගකීමකි.
වඩාත් වැදගත් වන්නේ ආපදා තත්වයක් ඇති වීමට පෙර එය හඳුනාගෙන එම ආපදාව අවම කරගැනීම සදහා සැලසුම් සහගත වැඩපිළිවෙළක් සකස් කිරීමය. එබදු වැඩපිළිවෙළක් සකස් නොකර ආපදා තත්වයට පසු පැලැස්තර විසදුම් සෙවීම ප්‍රශ්නයට නියම පිළිතුර වන්නේ නැත.
එබදු වැඩ පිළිවෙළක් සකස් කරන්නට නම් ඊට ගැළපෙන විධිමත් දිගු කාලීන යාන්ත්‍රණයක් සකස් කිරීම අවශ්‍යය. එබදු පරිසරයක් නොමැති අවස්ථාවල දී ආපදාවලින් පීඩා විදින්නේ රටේ අහිංසක සාමාන්‍ය ජනතාවය. ආපදාවලින් ආරක්ෂාවීමට මහජනතාවට අයිතියක් ඇත. ඔවුහු රජයට බදු ගෙවති. බදු ගෙවන්නේ එබදු රැකවරණයක් ලැබෙනවාය යන බලාපොරොත්තුවෙනි. ප්‍රශ්නය දැන දැනත් ඊට අවශ්‍ය දිගුකාලීන යාන්ත්‍රණයක් සකස් නොකරන තුරු මේ සඳහා නිසියාකාර විසඳුමක් සොයාගැනීම උගහට වනු ඇත. එබදු යාන්ත්‍රණයක් සැකසෙන තුරු මෙවැනි ඛේදජනක ඉරණම්වලට වරින් වර ජනතාවට මුහුණදීමට සිදුවීම වඩාත් කනගාටුවට කරුණකි.
ආපදා තත්වයෙන් පසු ඇතිවන අතුරු බලපෑම් සම්බන්ධයෙන් වුවත් මහජනයාට නිසි දැනුමක් ලබාදීම රජයේ වගකීම වෙයි. එයද හරියාකාරව ඉටුවනවාදැයි සැක සහිත ය. සමාජ මාධ්‍ය ඇතුළු සමූහ තුළ විවිධ අදහස් පළවන බවක් පෙනෙන්නට තිබේ. එහෙත් ඉදිරියේ ඇතිවන තත්වය කුමක්ද යන්න ට වන ඉතාම නිවැරැදි මතය මේ මොහොතේ රජය මහජනයාට ලබා දිය යුතු වේ. මෙම සුළි කුණාටුවත් සමගම තවත් දින කිහිපයකින් තවත් සුළි කුණාටුවක් එන වගට විවිධ පුද්ගලයන් සමාජ මාධ්‍ය තුළ අදහස් හුවමාරු කරගන්නා බවක් පෙනෙන්නට තිබුණි. ජනතාවගේ නොදැනුවත්කමද මීට හේතුවකි. එය එක් අතකින් ජනතාවගේ පවත්නා බිය අවදානම නිසා ගොඩ නැගුණු එකක් විය හැකිය. සාමාන්‍යයෙන් මෙබදු සුළි කුණාටුවක් ඇතිවූ පසු ඒත් සමගම තවත් කුණාටුවක් ඇතිවීමේ ඉඩකඩක් නැති තරම්ය.
මූලිකම කාරණය ආපදා සම්බන්ධයෙන් මහජනයාගේ දැනුවත්භාවයය. මෙම සුළි කුණාටුව සම්බන්ධයෙන් ජනතාව දැනුවත්ව සිටියේ නම් මහනුවර ගම්පොළ ආදි ප්‍රදේශවල ජනතාවට සිදුවූ විනාශය අවම කරගන්නට ඉඩ තිබුණි. මහනුවර නගරයට ජලගැලීම සිදුවූයේ පාන්දර තුනට පමණය. ගංවතුර පැමිණෙන තුරු මහජනතාව ඒ ගැන දැන නොසිටින්නට ඇත. ආපදා කළමනාකරණ ආයතනය ක්‍රියාත්මකව තිබුණේ නම් මේ තත්වය මීට වඩා පාලනය කිරීමේ හැකියාවක් පැවැතිණ.
ඉදිරියටවත් මෙබදු ව්‍යසනවලට මුහුණ දීමට නම් ආපදා වළක්වා ගැනීමේ ශක්තිමත් යාන්ත්‍රණයක් ඇති කළ යුතුය. ඊට වගකීම් දරන සියලු දෙනා සහභාගී විය යුතුය. අමාත්‍යාංශ දෙපාර්තමේන්තු, විද්වතුන් සියලු දෙනාගේ එකතුවෙන් යුත් ශක්තිමත් දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් සකස් කළ යුතුය. අදාළ දැනුම පොතපතේ තිබීමෙන් පමණක් හෝ න්‍යායිකව දැනුම එකතු කර තබාගැනීමෙන් පමණක් හෝ රටට සමාජයට ප්‍රයෝජනයක් ලබා දිය නොහැකිය. එය ප්‍රායෝගික භාවිතයේ තිබිය යුතුය. එසේ නොමැතිව දේශන පවත්වා, විභාග පවත්වා උපාධි සහතික නිකුත් කළාට පමණක් ප්‍රශ්නයට පිළිතුරු සෙවිය නොහැකිය. අපගේ අධ්‍යාපන ක්‍රමවේදය තුළ පවතින්නේ දේශන පවත්වා, විභාග ලියා උපාධිදීම පමණක් නම් එයින් ඇති ඵලය කුමක්ද? එම සැලැස්ම මිනිසුන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට සුබදායී විය හැකිය. එහෙත් පොදුවේ සමස්ත ජනතාවට ඉන් ලැබෙන ප්‍රයෝජනයක් නැත.
දැන්වත් කළ යුත්තේ පෙර පැවැති ආපදා කළමනාකරණ ආයතනය නැවත ස්ථාපිත කර එය ශක්තිමත් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන රජයෙන් ලබා දී ඊට අවශ්‍ය කරන ශ්‍රම බළකාය, දැනුම ඇති ප්‍රවීණයන් ඒකරාශී කර ගැනීමය. එසේ වූ විට ස්වාභාවික ආපදා ඇතිවීමට පෙර වසර පුරාම ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ හැකිය. ඊට අවශ්‍ය කෙටි කාලීන හා දිගු කාලීන සැලසුම් සකස් කර ගත හැකිය. එබදු වැඩපිළිවෙළක් පැවැතීමෙන් ස්වාභාවික විපත්වලින් සිදුවන ජීවිත හා දේපළ විනාශය අවම කර ගැනීමට හැකියාව ලැබේ. අපේ රටට එය කළ නොහැක්කක් නොවේ. කොරෝනා වසංගතය පැමිණි අවස්ථාවේ එය සාර්ථකව මැඩ පැවැත්වීමට අපේ රටට හැකියාව ලැබිණ. වසංගතයට ගොදුරු වීමට සිටි මිනිස් ජීවිත බේරා ගැනීමට අපට පුළුවන් විය. එය සමස්ත ලෝකයේ ප්‍රසාදයට ඇගැයීමට ලක් විය. අපට එය කළ හැකි බව ලෝකයා ඉදිරියේ පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත් ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ නිලධාරීන් පෞද්ගලික අංශ හා සාමාන්‍ය මහජනතාව විපතට පත් වූවන් බේරාගැනීම හා ඔවුන්ට පහසුකම් සැලසීම සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය අපගේ ගෞරවයට ප්‍රසාදයට ලක් විය යුතුය. සුළි කුණාටුවෙන් පසු මේ පීඩාකාරී තත්වය යම් මට්ටමකට අවම කර ගැනීමට මෙය හේතු විය.
මූලික වශයෙන් අවශ්‍ය වන්නේ ස්වාභාවික ආපදාවකදී එය ඇතිවීමට පෙර ඉන් වන හානිය අවම කරගැනීමට ඇති හැකියාව සොයා බැලීමය. ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ගැනීමය. ජනතාව දැනුවත් කිරීමය. අනාරක්ෂිත ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමය. ආපදා තත්වයක් කළමනාකරණය කර ගත හැකිවන්නේ එසේ වූ විටය. ඕනෑම රටක් ස්වාභාවික ආපදාවලදී වැඩි අවධානය ලබා දෙන්නේ මේ පෙර සූදානම සඳහාය. ආපදාවක් කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය දැනුම හා තාක්ෂණය අප සතුව තිබේ. එහෙත් ගැටලුව වන්නේ ඒ සඳහා අවශ්‍ය ශක්තිමත් යාන්ත්‍රණයක් අප සතුව නොමැතිවීමය.
ඒ වෙනුවට අප කරන්නේ එකම ප්‍රශ්නය හෝද හෝද මඩේ දමමින් ව්‍යසනයක් ඇතිවූ විට පමණක් වහා ක්‍රියාත්මකවී යළිත් නිහඩවීමය. එහෙත් විය යුත්තේ එය නොව, ස්ථාවර වැඩපිළිවෙළක් සකස් කිරීමය. ආපදා කළමනාකරණය දේශපාලකයන්ගේ හිතුමනාපයට පමණක් කළ හැකි දෙයක් නොවේ. ඒ සඳහා නිශ්චිත ආයතනයක් අත්‍යවශ්‍යය. එම ආයතනය වර්ෂය පුරා ක්‍රියාත්මක විය යුතුය. එසේ නොමැතිව කළ යුත්තේ පවතින ආයතනත් අකර්මණ්‍ය කිරීම නොවේ.
(*** සාකච්ජා සටහන - ගාමිණී කන්දේපොළ)
2025 දෙසැම්බර් මස 04
54
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
347
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
362
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආපදාවලට මුහුණදෙන්න අප සූදානම්ද?