IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ආණ්ඩුවේ වසරක ශේෂ පත්‍රය

මේ දිනවල මෙරට දේශපාලන කරළියේ සාකච්ඡාවට ලක්වන ප්‍රධාන මාතෘකාවක් බවට පත්වී ඇත්තේ ඇතැම් ආණ්ඩු විරෝධී පක්ෂ ‘‘මහා ජන හඬ’’ යන නමින් ගොඩනගාගෙන ඇති දේශපාලන හවුල හා එම පිරිස මේ මස 21 වැනිදාට පවත්වන්නට යන ප්‍රසිද්ධ රැස්වීමයි.

මෙම කාරණය පිළිබඳවත් එම කටයුත්තේ දී එම පක්ෂ මුහුණ දෙන අභියෝග පිළිබඳවත් අපි පසුගිය සතියේ මෙම තීරුවෙන් සාකච්ඡා කළෙමු. එහෙයින් ඒ පිළිබඳව නොව එම රැස්වීමෙන් මතුවන වෙනත් කාරණාවක් පිළිබඳ මෙවර සාකච්ඡා කරන්නට අදහස් කෙළෙමු.

පසුගිය වසරේ සැප්තැම්බර් 21 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් හා එම වසරේම නොවැම්බර් 14 වැනිදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් බලයට පැමිණි ජාතික ජන බලවේගයට එරෙහිව විරුද්ධ පක්ෂ එක්සත් විරෝධතාවක් පැවැත්වීමට මුල්වරට යොමුවූයේ ඉකුත් සැප්තැම්බර් 10 වැනිදා ආණ්ඩුව හිටපු ජනාධිපතිවරුන්ගේ හා ඔවුන්ගේ වැන්දඹුවන්ගේ වරප්‍රසාද අහෝසි කිරීම සඳහා ජනාධිපතිවරුන්ගේ හිමිකම්  (පරිච්ඡින්න කිරීමේ) පනත සම්මත කිරීමෙන් පසුවය. ඊට පෙර ඉතා මුරණ්ඩු ලෙස රජයේ මන්දිරවල සිටි ජනාධිපතිවරුන්ට එම පනත සම්මත වීමෙන් පසු ඒවායින් පිට වී යන්නට සිදුවිය.

ඒ සමග ඔවුන්ට ආණ්ඩුව අසාධාරණ ලෙස සැලකුවේය, යන පදනමින් ආණ්ඩු විරෝධි රැල්ලක් ගොඩනැඟීමට විරුද්ධ පක්ෂ උත්සාහ කළේය. ඒ අනුව රටපුරා ප්‍රසිද්ධ රැස්වීම්, විරෝධතා හා සත්‍යග්‍රහ ආදී ආණ්ඩුවට විරෝධය පෑමේ ජනහමු දහසක් එනම් දිස්ත්‍රික්කයකට ජනහමු 40ක් සංවිධානය කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සැප්තැම්බර් 20 වැනිදා පැවැති ඔහු නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂයේ වාර්ෂික සම්මේලනය අමතමින් ප්‍රකාශ කළේය.

එය දැන් වික්‍රමසිංහ මහතාට ද අමතක වූ සේ ය. මේ මස 21 වැනිදා නුගේගොඩ දී රැස්වීමක් පවත්වන්නට යන්නේ ඔහුගේ එම යෝජනාව අනුව යැයි පෙනෙන්නේ නැත. දැනට පෙනෙන්නේ මෙම රැස්වීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ මහතාගේ අනාගතය වෙනුවෙන් එම පෙරමුණ මුල්වී කරන්නක් ලෙසය.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහෝසි කිරීමට එරෙහිව පෙරට ආ විරුද්ධ පක්ෂ පැවසුවේ ආණ්ඩුව ව්‍යවස්ථාපිත  ඒකාධිපතිත්වයක් පවත්වාගෙන යන බවය. ඒ වනවිට දූෂණ හා අපරාධ පිළිබඳ චෝදනා යටතේ විරුද්ධ පක්ෂයේ දේශපාලනඥයන් හා ඔවුනට සහාය දුන් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගණනාවක් එක දිගටම අත්අඩංගුවට පත්වීම ද ඔවුන් එසේ පවසන්නට හේතු වන්නට ඇත.

එහෙත් මේ වනවිට ඔවුන්ගේ ආණ්ඩු විරෝධයේ තේමාව වෙනස් වී ඇත. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර හා පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල වැන්නන් දැන් පවසන්නේ යෝජිත රැස්වීම ආණ්ඩුවට ආණ්ඩුවේම මැතිවරණ පොරොන්දු මතක් කරදීම සඳහා පවත්වන්නක් බවය.

ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයෙන් ජාතික ජන බලවේගය තනි පක්ෂයක් වශයෙන් සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ පළමුවරට තුනෙන් දෙකකට වැඩි පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවක් ලබා බලයට පැමිණ මේ මස 14 වැනිදාට වසරක් සම්පූර්ණ වන තත්වය යටතේ එම පක්ෂයේ මැතිවරණ පොරොන්දු හා ආණ්ඩුවේ කාර්යසාධන වාර්තාව සලකා බැලීම නම් ගැළපෙන කටයුත්තකි. අප ද මෙවර සාකච්ඡා කරන්නට අදහස් කළේ ඔවුන්ගේ එම කාර්යසාධනයයි.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ වයස ගණන් බැලීමේ දී වඩා උචිත වන්නේ එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණයෙන් ජයගත් 2024 සැප්තැම්බර් 21 වැනිදා සිට ගණන් බැලීම නොව එම පක්ෂය මහ මැතිවරණයෙන් ජයගත් එම වසරේ නොවැම්බර් 14 වැනිදා සිට ගණන් බැලීමය. මන්දයත් එම පක්ෂයට අණපනත් සම්මත කර ගැනීමට බලය ලැබුණේ මහ මැතිවරණයෙන් පසුවය.

ප්‍රධාන විරුද්ධ පක්ෂය වන සමගි ජන බලවේගය හා වෙනත් විරුද්ධ පක්ෂ ගණනාවක් නිල වශයෙන් සම්බන්ධ නොවන ‘‘ඒකාබද්ධ විපක්ෂය’’ යැයි කියා ගන්නා පිරිස ලබන 21 වැනිදා පවත්වන්නට යන රැස්වීමේ දී ආණ්ඩුවේ කාර්යසාධනය පිළිබඳ සාධාරණ තක්සේරුවක් කොහෙත්ම නොලැබෙනු ඇත. එවැන්නක් ලැබෙන ආකාරයේ දේශපාලන සංස්කෘතියක් ශ්‍රී ලංකාවේ ඇත්තේ ද නැත.

එහෙත් මේ රටේ දේශපාලන පාට කණ්ණාඩියකින් ප්‍රශ්න දෙස නොබලන සාමාන්‍ය පුරවැසියකුගෙන් ආණ්ඩුවේ වසරක කාර්ය සාධනය ගැන විමසුවහොත් ඔහුට බොහෝ විට කියන්නට දෙයක් නොතිබෙන්නට පුළුවන. මන්දයත් මෙම ප්‍රශ්නයේ දී බොහෝ දෙනා ආර්ථික ප්‍රශ්න මුල් කරගෙන කල්පනා කිරීමත් ආණ්ඩුව ගත වූ වසර තුළ දී ආර්ථික ක්ෂේත්‍රයේ දී සාමාන්‍ය පුරවැසියන්ට දැනෙන දෙයක් නොකළා මෙන්ම රිදෙන දෙයක් ද කර නැත. සාමාන්‍ය වැසියාගේ ඇසින් බලන විට ආණ්ඩුව කර ඇත්තේ වැටෙන්නට නොදී ආර්ථිකය පවත්වාගෙන යාම පමණි.

පසුගිය වසරක කාලය තුළ ජීවන වියදම එක තැන රැඳී තිබේ. සීනි පිටි හා බිත්තර වැනි භාණ්ඩ කිහිපයක මිල සැලකිය යුතු මට්ටමකින් අඩු වූව ද සහල්  හා පොල් වැනි භාණ්ඩ කිහිපයක මිල ඉහළ ගොස් තිබේ. අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත් වී සතියකින් පමණ විශාල සහල් හිඟයක් හා සහල් මිල ඉහළ යාමක් ඇති විය. විරුද්ධ පක්ෂ ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවට දෝෂාරෝපණය කළේය.

ආණ්ඩුව සහල් ආනයනය කළේය. එවිට විපක්ෂය සහල් ආනයනය නොකරන බව බලයට පත්වීමට පෙර කී ජාජබ බලයට පත්වී සහල් ආනයනය කරන බවට දොස් පවරන්නට විය. කෙසේ වෙතත් දැන් සහල් හිඟයක් නැතත් සහල් මිල ජාජබ බලයට එන විට තිබුණාට වඩා ඉහළය.

විශාල ආන්දෝලනයකට තුඩු දුන් බිත්තර මිල මේ වනවිට විශාල වශයෙන් අඩු වී තිබේ. ජාජබල බලයට පත්වී මාස කිහිපයකින් බිත්තර මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගියේය. රුපියල් විසි ගණනකට ගත හැකිව තිබූ බිත්තරයක මිල රුපියල් හැට පහක් දක්වා ඉහළ ගියේය. එවිට ද  ආණ්ඩුව බිත්තර ආනයනය කළේය. එතැන දී ඉහළ මිලක් පවත්වාගෙන ගිය දේශීය නිෂ්පාදකයෝ ඊට විරුද්ධ වූහ. දැන් ආනයනය නොකළ ද බිත්තර මිල යළිත් රුපියල් විසි ගණනක් දක්වා පහත බැස තිබේ.

ආණ්ඩුව පසුගිය ජනවාරි මාසයේ දී විදුලි ගාස්තුව සියයට 20කින් අඩු කළේය. ඉන් පසු ජූනි මාසයේ දී යළිත් සියයට 15කින් ගාස්තු වැඩි කළේය. පසුගිය මාසයේ යළිත් සියයට 6කින් ගාස්තු වැඩි කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය ඉල්ලා සිටිය ද ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම ඊට අනුමැතිය දුන්නේ නැත. කෙසේ වෙතත් සියයට 30කින් විදුලි බිල අඩු කරන බවට බලයට පත්වීමට පෙර තමන් දුන් පොරොන්දුව ඉටු කරන්නට ජාජබට තවමත් හැකිවී නැත.

2021 අවසානයේදී මේ රටේ පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයක් ඇතිවීමට කාලාන්තරයක් තිස්සේ පැවැති දූෂිත ආර්ථික කළමනාකරණය මූලික හේතුව වුවද ක්ෂණික හේතු වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේ අදූරදර්ශී ක්‍රියාමාර්ග හේතුවෙන් ඇතිවූ මහා පරිමාණ විදේශ විනිමය හිඟයයි. වර්තමාන ආණ්ඩුව සැලකිය යුතු හැළ හැප්පීමකින් තොරව ආර්ථිකය පවත්වාගෙන යන්නේ විදේශ සංචිත පවතින තත්වයෙන් පහළට කඩා වැටීම වළක්වා ගැනීමෙනි.

පසුගිය මාස කිහිපය පුරා අපනයන ආදායම ඉහළ නගිමින් තිබේ. රාජ්‍ය ආදායමේ ප්‍රධාන දේශීය පංගුකාරයන් වන දේශීය ආදායම්, රේගු හා සුරාබදු යන දෙපාර්තමේන්තු තුනේ ආදායම වැඩිවෙමින් තිබේ. ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණි 2018 වසරට ආසන්න තත්වයකට මේ වසරේ පැමිණ සංචාරකයන් සංඛ්‍යාව ළඟා වෙමින් තිබේ. ඩොලරයේ වටිනාකම වසරක් පුරාම රුපියල් 300 ආසන්නයේම පවතී. මේ අතර හදිසියේ කඩා වැටුණු ඇමරිකානු තීරු බදු ප්‍රශ්නයට ද ආණ්ඩුව බොහෝ දුරට සාර්ථකව මුහුණ දුන්නේය.

මෙහිදී ඉහත කී දෙපාර්තමේන්තු තුනේ ආදායම වර්ධනය කර ගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ කැපවීමකින් කටයුතු කළද වර්තමාන ස්ථාවරත්වය යනු මූලික වශයෙන්ම ආර්ථිකය වේගයෙන් විනාශය කරා ඇදගෙන ගිය ගෝඨාභය රාජපක්ෂ මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කළ ඉල්ලීමක් අනුව එම අරමුදල විසින් ආරම්භ කරන ලද වැඩපිළිවෙළේ ප්‍රතිඵලයකි.

2022 සිට සාකච්ඡා මට්ටමේ තිබූ  එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක තත්වයට පත් වූයේ 2023 මුලදීය. ඒ වන විට ජනාධිපති ධුරයේ සිටියේ රනිල් වික්‍රමසිංහ මහතාය. ඒ නිසා එම වැඩපිළිවෙළ ක්‍රියාත්මකවීමත් සමග රාජ්‍ය ආදායම කෙමෙන් ඉහළ ගොස් මූල්‍ය අරමුදලේ හා ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ණය මුදල්වලින්  විදේශ සංචිත ඉහළ ගොස් ආර්ථිකය අර්බුදකාරී තත්වයෙන් මිදෙන්නට පටන් ගත් විට එහි කීර්තිය අත් වූයේ වික්‍රමසිංහ මහතාටය.

එහෙත් ඔහු ක්‍රියාත්මක කළේ ඔහු විපක්ෂයේ සිටිය දී එනම් 2022 පෙබරවාරි මාසයේ මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාවේ නිර්දේශයි. වික්‍රමසිංහ මහතාගේ පාලන කාලයේ දී ක්‍රියාත්මක කරන ලද බදු පදනම පුළුල් කිරීම, බදු  ප්‍රමාණ ඉහළ දැමීම, බලශක්තිය සඳහා වියදම පදනම් කරගත් මිලක් නියම කිරීම, රජයට අයත් ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම, ණය ප්‍රතිව්‍යුහත කිරීම ආදි සියල්ල එම වාර්තාවෙන් නිර්දේශ කරනු ලැබ තිබිණි. මූල්‍ය අරමුදලේ වැඩ පිළිවෙළ පිළිගත් පසු වික්‍රමසිංහ මහතා වෙනුවට වෙනත් කෙනකු ජනාධිපති ධුරයේ සිටිය ද ඔහුට ක්‍රියාත්මක කරන්නට සිදු වන්නේ එම උපක්‍රමයි. ඇත්ත වශයෙන්ම එම වැඩපිළිවෙළට දේශීය බුද්ධිමය දායකත්වයක් එක්කර ගත්තේ එය ක්‍රියාත්මක වීමේදීය.

අද ද ක්‍රියාත්මක වන්නේ එම වැඩපිළිවෙළයි. අද එම දේශීය බුද්ධිමය දායකත්වය සපයන්නේ ජාතික ජනබලය ආණ්ඩුවයි. එහෙයින් අනුර ක්‍රියාත්මක කරන්නේ රනිල්ගේ ප්‍රතිපත්ති යැයි විරුද්ධ පක්ෂයේ ඇතැමුන් කරන ප්‍රකාශය නිවැරැදි නොවේ. රනිල්ගේ ප්‍රතිපත්ති  කියා කිසිවක් ක්‍රියාත්මක වූයේ නැත. ක්‍රියාත්මක වෙමින් තිබුණේ මූල්‍ය අරමුදලේ කොන්දේසිය.

මාස හයකට වරක් තම කොන්දේසි නිසි පරිදි ක්‍රියාත්මක වේදැයි සමාලෝචනය කරමින් මූල්‍ය අරමුදල තමන් ශ්‍රී ලංකාවට දෙන්නට පොරොන්දු වූ ඩොලර් බිලියන තුනක ණය මුදල කොටස් වශයෙන් දෙමින් සිටී.

ආණ්ඩුව පොදුවේ සාර්ව ආර්ථික ඉලක්ක සාර්ථකව සපුරා ගනිමින් සිටින බව ශ්‍රී ලංකා මහ බැංකුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් පවසයි. එහෙත් ජනතාවට එම ඉලක්ක හා ඒ ආශ්‍රිත ඉලක්කම්වලින් වැඩ නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ තමන්ගේ ජීවන තත්වය නංවා ගැනීමය. ඒ අර්ථයෙන් ඔවුනට ආණ්ඩුව ගැන හොඳක් හෝ දොසක් කිව නොහැකිය.

එහෙත් ආණ්ඩුව තමන් දුන් ප්‍රධාන පොරොන්දුවක් සම්බන්ධයෙන් නම්  විශාල වැඩ කොටසක් ඉටු කර තිබේ. ඒ දූෂණය, මත්ද්‍රව්‍ය හා අපරාධ පිටුදැකීමත් දේශපාලන සදාචාරය ගොඩනැඟීමත්ය. එහෙත් ආර්ථික අර්බුදය උත්සන්නව පැවැති කාලයේ ජනතාව ද දූෂණය පිළිබඳව දැඩි උනන්දුවක් දැක්වුවද දැන් ඔවුන් කොතරම් දුරට එය වැදගත් දැයි සිතනවාද යන්න දැන ගන්නට ක්‍රමයක් නැත. එය දැන ගත හැකි වන්නේ ලබන වසරේ පැවැත්වෙන බව කියන පළාත් පාලන  මැතිවරණයේදීය.

 

(*** එම්.එස්.එම්.අයුබ්)



අදහස් (0)

ආණ්ඩුවේ වසරක ශේෂ පත්‍රය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 368 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2162 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1641 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site