රජුන් තනන්නන්ගේ භූමිකාව, ජාතික ගීයේ භාෂා ප්‍රශ්නය, 19 වැනි සංශෝධනයේ අනාගතය, සජිත් පිලේ වෙනස් මත, ඉන්දීය පුරවැසි පනත, උතුරේ කුල පීඩිතය, සම්පන්ධන් මහතාගේ නිල නිවස හා දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය ගැන මෙවර සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතායි

ප්‍රශ්නය:- රජුන් තනන්නන්ගේ ආධිපත්‍යය බිඳ දැමූ බව ජනාධිපතිවරයා රාජාසන කතාවේදී කිව්වා. මේ ආණ්ඩුවත් එක්ක දෙමළ ජාතික සන්ධානයට කේවල් කරන්න පුළුවන් යැයි ඔබ හිතනවා ද?

පිළිතුර:- ආණ්ඩුවක කාර්ය සංවර්ධනය පමණක්ම නොවෙයි. යුද්ධය නිසාත් ඊට කලිනුත් දීර්ඝ කාලයක් තිස්සේ අපේ පළාත්වල සංවර්ධන කටයුතු සිදුවුණේ නෑ. ඒ නිසා පළාත්වල අඩුපාඩු හඳුනාගෙන කරන සංවර්ධන කටයුතුවලදී ගෝඨාභය රාජපක්ෂ මහතාට අපි සහාය දෙනවා. හැබැයි දේශපාලන ප්‍රශ්නය කියන්නේ වෙනම ප්‍රශ්නයක්. දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් අත්‍යවශ්‍යයි. ඒක ගෝඨාභය මහත්තයා පිළිගත්තත් නැතත් සංවර්ධන වැඩවලදී අපි සහාය දෙනවා.

ප්‍රශ්නය:- ජනාධිපතිවරයා තම ඉන්දීය සංචාරයේදී එරටට අවධාරණය කළේ දේශපාලන විසඳුමකට වඩා තමාගේ පාලන කාලයේදී කරන වැඩවලින් තමන් මනින්න කියලයි. පක්ෂයක් හැටියට මේ දේවල් ගැන ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරනවා ද?

පිළිතුර:- ජනාධිපතිවරයා අපිත් එක්ක සාකච්ඡා කරන්න ඕනෑ. මොකද එතුමාට උතුරු, නැගෙනහිර ඡන්ද ලැබුණේම නෑ. ලැබුණේ සිංහල බෞද්ධ ඡන්ද විතරයි. කඳුරටත්, කොළඹ නගරයේත් නෑ. මීගමුව වගේ කතෝලිකයන් ඉන්න ඇතැම් තැන්වලත් එහෙමයි. එක ජන කොටසකගේ ඡන්දය පමණයි ලැබී තිබෙන්නේ. සුළු ජාතීන්ට එතුමා ගැන විශ්වාසයක් නෑ. ඒක හොඳ දෙයක් නෙවෙයිනේ. අඩුපාඩුවක්. දැන් ඒක ක්‍රියාවෙන් නිවැරැදි කරගන්න ඕනෑ. මම මුළු රටටම ජනාධිපති කියලා කිව්වට විතරක් මදි. එතකොට තමන්ට නොලැබුණු ජන කොටසේ නියෝජිතයන් සමග සාකච්ඡා කරන්න ඕනෑ. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ ඒකට. ආරාධනා කළොත් සාකච්ඡා කරන්න අපි ලෑස්තියි.

ප්‍රශ්නය:- පිල්ලෙයාන්, අතාවුල්ලා වැනි නායකයන් සමග සුළු ජන කොටස් එකතු වෙනවා නම් පොලිස් හා ඉඩම් බලතල පවා දෙන්න ආණ්ඩුව සූදානම් යැයි වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා කියනවා. දෙමළ ජාතික සන්ධානය ගැන ඔවුන්ට ලොකු විශ්වාසයක් නැහැ නේද?

පිළිතුර:- තමන් ඡන්දය දෙන්න ඕනෑ කාටදැයි කියලා වාසුදේව මන්ත්‍රීතුමාට එහෙම කොන්දේසි දාන්න බෑ. තමන් කියන අයට ඡන්දය නොදුන්නොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ තිබෙන අයිතියවත් දෙන්නේ නෑ කියල කීම ප්‍රජාතන්ත්‍ර විරෝධී කතාවක්. මේක බ්ලැක්මේල් කිරීමක්. එහෙම නම් ප්‍රජාතන්ත්‍රවාදී රටක් නෙවෙයිනේ. ඒ අදහස අපි මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනවා.

ප්‍රශ්නය:- මීළඟ නිදහස් දින උළෙලේදී සිංහල බසින් පමණක් ජාතික ගීය ගායනා කිරීමට සූදානමක් ඇතැයි ස්වදේශීය කටයුතු ඇමැතිවරයා මාධ්‍යයට ප්‍රකාශ කළා. මේ ගැන ඔබේ මතය කුමක් ද?

පිළිතුර:- 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සිංහල දෙමළ භාෂා දෙකෙන්ම හදලා තිබෙනවා. දෙමළ බසින් ඇති ව්‍යවස්ථාවේ ‘ශ්‍රී ලංකා තායේ’ කියලාත් සිංහල ව්‍යවස්ථාවේ ‘ශ්‍රී ලංකා මාතා’ කියලාත් සඳහන් වෙනවා. මේ දෙකම වලංගුයි. ඒක දන්නේ නැතිව මේගොල්ලන් කතා කරන්නේ. තියෙන්න ඕනේ සිංහලෙන් විතරක් නම් දෙමළ බසිනුත් ජාතික ගීයක් සඳහන් වෙන්නේ ඇයි? සිංහල දෙමළ දෙකම රාජ්‍ය භාෂා. සාමාන්‍ය නීති අණ පනත් හදද්දී ප්‍රශ්නයක් ආවොත් වලංගු වෙන්නේ මොන භාෂාව දැයි සඳහන් කරනවා. හැබැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එහෙම එකක් නෑ. තවමත් දෙමළ ජනතාව ඉන්නෙ ජාතික ජීවනයෙන් එළියට දාලා. ජාතික ප්‍රශ්නය කියන්නේ ඒකට. ජාතික ගීය එක බසකට සීමා කිරීමේ සූදානමෙන් ඒක තවදුරටත් සහතික කරනවා. මේවා නොදැන කියන කතා අපි පිළිගන්නේ නෑ. දෙමළ ජනතාව ජාතික ගීය ගායනා කරන්නේ තමන් දන්න භාෂාවෙන්. ඉතින් රජය කියනවා නම් ඕගොල්ලො ජාතික ගීය ගායනා කරන්නෙපා කියලා අපි බලෙන් ඉල්ලන්නේ නෑ.

ප්‍රශ්නය:- 19 වැනි සංශෝධනය සමග ආණ්ඩුකරණය දුෂ්කර වී ඇති බැවින් එය අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් දෙන්නැයි ජනාධිපතිවරයා ජනතාවට කියනවා. පක්ෂයක් හැටියට දෙ.ජා.ස.ය ඊට එකඟ ද?

පිළිතුර:- 2015දී 19න් එහාට යන්න තිබුණත් අධිකරණයෙන් වෙනස් කරන්න අවසරය දුන් කාරණා පවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත අපි වෙනස් නොකර එතුමාගේ පාලන කාලයට ඉතිරි කළා. එතුමාට ජනවරම ලැබුණේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න. හැබැයි එතුමා ඒ පොරොන්දුව කඩ කළා. 19 කියන්නේ ඒකෙ බාග වැඩක්. ඉදිරියට යන්න ඕනේ එය සම්පූර්ණ කිරීමටයි. දැන් අලුත් ජනාධිපතිවරයා බලන්නේ බාගෙට කප්පාදු කළ බලතලත් නැවත අත්පත් කරගන්නයි. එක පුද්ගලයකුට මෙච්චර අසීමිත බලයක් දීම කොච්චර භයානක තත්ත්වයක් දැයි පුරවැසියන් කල්පනා කළ යුතුයි. 1994 දී චන්ද්‍රිකා මහත්මියත් 2005 දී මහින්ද මහතාත් ජනවරම ඉල්ලුවේ ඒකට. ශ්‍රීලනිපය 78 සිටම ඒකට විරුද්ධයි. ඒක හදපු එ.ජා.ප.යත් ඊට විරුද්ධයි. විධායක ජනාධිපති ධුරයට මුළු රටම විරුද්ධ වෙද්දී හැමදාම පක්ෂ වුණේ ඒකට පත්වුණු කෙනායි. ඒ නිසා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට මිස 19 අහෝසි කිරීමට අපේ කිසි සහායක් නෑ.

ප්‍රශ්නය:- 2019 සැප්තැම්බර් 19 කැබිනට් හමුවේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ප්‍රධාන තේමාව වෙද්දී ඒකට හදිසියක් නැතැයි කිව්වේ එ.ජා.ප.යේ සජිත් පිලේම අයයි. එ.ජා.ප.ය විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට විරුද්ධ යැයි ඔබට විශ්වාස ද?

පිළිතුර:- ඇත්ත. සජිත් ප්‍රේමදාස ඒ වෙලාවේ හිතුවේ ජනාධිපති ධුරයට එන්න තමන්ට පුළුවන් කියලයි. ඒ නිසා විරුද්ධ වුණා. ජනාධිපති පුටුවේ වාඩිවෙන්න හදන හෝ වාඩිවුණු පුද්ගලයා තමයි මේකට විරුද්ධ කියලා මම කිව්වේ ඒකයි. එක්සත් ජාතික පක්ෂය විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු යැයි ප්‍රතිපත්තියක් හැටියට ප්‍රකාශ කරල තිබියදී සජිත් ප්‍රේමදාස ඒ වෙලාවේ කළේ වැරැදි ප්‍රකාශයක්. සැප්තැම්බර් මාසේ 20 ඉදිරියට ගේන්න මමයි උත්සාහ කළේ. මෛත්‍රීපාල සිරිසේන මහතාටත් රනිල් වික්‍රමසිංහ මහතාටත් කතා කළා. අන්තිමේදී ඒ දෙන්නා එකඟ වුණාම සජිත් ප්‍රේමදාසයි විරුද්ධ වුණේ. ජනතා විමුක්ති පෙරමුණ දිගටම ඒ මතයේ හිටියා.

ප්‍රශ්නය:- එහෙම නම් දෙමළ ජාතික සන්ධානයට එ.ජා.ප.ය ගැන තිබෙන විශ්වාසය කුමක් ද?

පිළිතුර:- නෑ. මම කවදාවත් එ.ජා.ප.ය විශ්වාස කරන්න යැයි කියන්නේ නෑ. මේ ජනාධිපතිවරණයේදී දිනන්න පුළුවන් දෙදෙනයි හිටියේ. ඒ දෙදෙනා සංසන්දනය කරලා තේරීමක් කළා.

ප්‍රශ්නය:- අඩු නපුර?

පිළිතුර:- ඔව්. අඩු නපුර.

ප්‍රශ්නය:- එහෙත් අද වනවිට එ.ජා.ප. නායකත්වයම කියන්නේ තම පක්ෂයේ සිංහල බෞද්ධ පදනම හේදිලා ගිහින් කියලයි. එ.ජා.ප.යේ මේ ස්ථාවරය දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන අභිලාශ සමග පෑහෙන්නේ කොහොම ද?

පිළිතුර:- යූ.එන්.පී. කරන්න ඕනේ හොඳම සිංහල බෞද්ධ අපි යැයි කියාගෙන බොරු මත හදන එක නෙවෙයි. ඔරිජිනල් එක ඉඳිද්දී කොපියකට ඡන්ද වැටෙන්නේ නෑනෙ. කරන්න ඕනේ විකල්ප ප්‍රතිපත්ති නිසියාකාරව ජනතාව අතරට ගෙන යෑමයි. ජනාධිපතිවරණයේදී සිංහල ජනතාව පරාජය කිරීමට සජිත් දිනවන්නැයි මා කියූ බවට බොරු ප්‍රචාර පළ කළා. දැන් අපි අන්තවාදී යැයි කියන්න හදනවා. මොකද ටී.එන්.ඒ. මධ්‍යස්ථ යැයි සිංහල ජනතාව අතරටත් දැන් මතයක් ගිහින් තිබෙන්නේ. සිංහල කිව්වොත් සියයට 75ක්. බෞද්ධ සියයට 70ක්. ඉතින් එ.ජා.ප.ය කරන්න ඕනේ මේ කතාව හරියට මිනිස්සුන්ට සන්නිවේදනය කරලා මිනිසුන්ගේ බය නැති කිරීමයි. ඒත් දැන් ඒගොල්ලො නායකත්වය ගැන වාද කරමින් ඇත්තටම අවධානය යොමු කළ යුතු කාරණාවලින් ඈත්වෙලා.

ප්‍රශ්නය:- දෙමළ ජාතික සන්ධානයේ අභිලාශ ගැන හරියටම අවබෝධයක් තිබෙන්නේ රනිල්ට ද? සජිත්ට ද?

පිළිතුර:- දෙමළ ජනතාවගේ ප්‍රශ්න ගැන හොඳ අවබෝධයක් රනිල් මහතාට තිබුණත් සිංහල බෞද්ධ ජනප්‍රියතාව එතුමාට නෑ. ජනාධිපති අපේක්ෂක ප්‍රශ්නය ඒ අයගෙ අභ්‍යන්තර ප්‍රශ්නයක්. අපි ඊට මැදිහත් වුණේ දිගටම ඇදෙන්න ගත්ත නිසායි. ජනාධිපතිවරණය අවසන් වුණාම මම ඉල්ලා අස්වෙන්න ඕනෑ ද කියලා රනිල් වික්‍රමසිංහ ඇහුවාම අපි කිව්වේ එපා කියලයි. මොකද පාර්ලිමේන්තුව කියන්නෙ වෙනම ආයතනයක්. තව අවුරුද්දක් තිබෙනවා. පාර්ලිමේන්තු කාලය අවසන් වීම නිසා අලුත් ජනවරමක් ඕනෑ නම් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ඕනෑ. එහෙම නැතිව පාර්ලිමේන්තු බලය නිකන්ම අනෙක් පැත්තට දෙන්න බෑ. මම අදටත් ඉන්නේ ඒ මතයේයි. හැබැයි ඒක වුණේ නෑ. ඇමැතිවරු එකිනෙකා අස්වෙන්න පටන්ගත්තා. රනිල් වික්‍රමසිංහත් අස්වුණා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රශ්නවලට ව්‍යවස්ථාදායකය කියන ආයතනය පාවිච්චි කිරීම වැරැදියි. එ.ජා.ප.ය හරියට ප්‍රතිසංවිධානය නොවුණොත් එන අභියෝගය මුළු රටටම බලපානවා.

ප්‍රශ්නය:- ඒක එහෙම නම් 2015 දී මෛත්‍රීපාල සිරිසේන මහතා දිනුවාම රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්කිරීමත් වැරැදි නැද්ද?

පිළිතුර:- ඔව්. ඒගොල්ලොත් ඒකම කළා. හැබැයි මෛත්‍රීපාල සිරිසේන 2014 නොවැම්බරයේ පොදු අපේක්ෂකයා හැටියට රටට දුන් පොරොන්දු තුනෙන් එකක් ඒක. ඒ වෙලාවෙ රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවේ තිබුණේ ආසන 45යි. එ.ජ.නි.ස.ට 159 ක් තිබුණා. 19 වැනි සංශෝධනයට ඔය ඔක්කොම සහාය දුන්නා. පාර්ලිමේන්තුවේ බලය අනෙක් පැත්තට දීම අපේ මතය අනුව නම් වැරැදියි. අනෙක් අතට 2015 මැයි මාසය වනතුරු මෛත්‍රීපාල සිරිසේන අතේ පූර්ණ විධායක බලය තිබුණත් ගෝඨාභය රාජපක්ෂට එහෙම නෑ. වැඩි බලයක් තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි.

ප්‍රශ්නය:- ආර්. සම්පන්ධන් මහතාට පක්ෂ නායකත්වය පදනම් කරගෙන වෙනම නිල නිවසක් ප්‍රදානයට කැබිනට් පත්‍රිකාවක් නිකුත් කර ඇති බවත් එය වැරැදි වැඩක් බවත් ස්වදේශ කටයුතු ඇමැතිවරයා ප්‍රකාශ කර තිබුණා. මේ ගැන ඔබ මොකද කියන්නේ?

පිළිතුර:- එතුමා විපක්ෂ නායක ධුරයට පත්වුණේ 2015 නොවැම්බර් මාසේ. හැබැයි එතුමාට නිල නිවාස හෝ සෙසු පහසුකම් වසර දෙකක් යනතුරු දුන්නේ නෑ. ලැබුණේ 2017 නොවැම්බර්. ඊට අවුරුද්දකට පසුව විපක්ෂ නායක ධුරය වෙනස් වුණා. අවුරුදු දෙකක් යනතුරු අදාළ ලැබීම් නොලැබුණු නිසා ඉදිරි වසර දෙකක පාර්ලිමේන්තු කාලයට ඒවා ලබාදෙන බව කියමින් තමයි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ. ඒ කැබිනට් පත්‍රිකාව නම් මම දැකලා නෑ.

ප්‍රශ්නය:- දෙ.ජා.ස. නායකත්ව වෙනසක් ගැන කතාබහක් තිබෙනවා. තරුණ නායකත්වයක් පැමිණිය යුතු යැයි පක්ෂ අභ්‍යන්තර සාකච්ඡාවක් යනවා ද?

පිළිතුර:- නායකත්වය බාරදීමක් ගැන සාකච්ඡාවක් නෑ. 2014 දී එතුමා ඉලංකෙයි තමිල් අරසුකච්චි නායකත්වයෙන් ඉවත් වී මාවෙයි සේනාධිරාජා මහතාට දුන්නා. ඒ වෙලාවෙත් හැමෝම කිව්වේ අස්වෙන්න එපා කියලයි. පක්ෂ මහ සමුළු දෙකකින් දෙවරක්ම එතුමා පත්කරලා තිබුණා. හැබැයි පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා ඔහුයි. දැනුත් අපේ මතය ඔහු ඉන්න ඕනෑ කියලයි. 2020 පෙබරවාරියට එතුමාට වයස 87ක්. හැබැයි අපේ ජනතාව වෙනුවෙන් එතුමා නායකත්වය දිය යුතුයි කියන මතයේයි හැමෝම ඉන්නේ. හැබැයි අන්තිමේදී ත්‍රිකුණාමලයේ තිබුණු රැස්වීමේදී මට දැන් වයසයි තරුණ නායකයෙක් බාරගන්න ඕනෑ යැයි එතුමා කිව්වා. ශාරීරිකව දුර්වල බව තේරුණත් මනසින් ඔබ ශක්තිමත් නිසා දෙමළ ජනතාව සිටින වාතාවරණයේ හැටියට ඔබේ පරිණත නායකත්වය අපට අවශ්‍ය යැයි අපි එහිදී කිව්වා. එහෙම අස්වෙන්න ඉඩ දෙන්නෑ යැයි අපි ඒකමතිකව කිව්වා. හැබැයි මහ මැතිවරණයට තරග කරනවා ද නැද්ද කියලා ප්‍රශ්නයක් තිබෙනවා. ඒකේ තීරණයක් නෑ. සමහර වෙලාවට එතුමා තරග නොකර ජාතික ලයිස්තුවෙන් එන්න ඉඩ තිබෙනවා.

ප්‍රශ්නය:- උතුරේ කුල පීඩිතයන් වැනි ආන්තික ජන කොටස් ගැන සොයා නොබලන බවට සහෝදර දෙමළ පක්ෂ ඔබලාට චෝදනා කරනවා. උදාහරණයකට ගත්තොත් කාරෙයිනගර් ජනයා තමන් වෙනුවෙන් වෙනම පක්ෂයක් පිහිටුවාගෙන තිබෙනවා. දෙ.ජා.ස.ය සමස්ත දෙමළ ජනයා නියෝජනය කරන්නේ නැද්ද?

පිළිතුර:- කුල ප්‍රශ්නය වැනි සමාජ ප්‍රශ්න කිහිපයක් තවම තිබෙනවා. හැබැයි සමස්ත දෙමළ ජනතාව අපෙන් මගහැරිලා ද කියලා බලන්න ඕනෑ ඡන්දයෙන්. පක්ෂය ඇතුළේ ඔය වගේ ප්‍රශ්නයක් නෑ. බොහෝ වෙලාවට පීඩිත ජනයා නියෝජනයට අපි අපේක්ෂකයන් දාලා තිබෙනවා. හැබැයි ඒකත් අර කාන්තා නියෝජනය වගේ. සියයට 54ක් හිටියත් කාන්තාවන් ඉදිරිපත් කළාට ඡන්දය දෙන්නේ නෑනේ. මේ කුල ප්‍රශ්නයත් ඒ වගේ. අපි අපේක්ෂකයකු ඉදිරිපත් කළාම ඒ අයම දෙන්නේ නෑ. මේ නිසා සමහර ප්‍රාදේශීය සභාවල එහෙම වෙනම තරග කරලා තිබෙනවා. හැබැයි පාර්ලිමේන්තු නියෝජනයට ඒක ප්‍රමාණවත් නෑ. පැරැණි මැතිවරණ ක්‍රමය යටතේ 1977 දී එහෙම එක් අයෙක් පාර්ලිමේන්තු ආවා. හැම ජන කොටස්ම නියෝජනය කරන අයට අපේ ලයිස්තුවේ ඉඩ දෙන්න විතරයි අපට පුළුවන්. මිනිස්සුයි ඡන්දය දෙන්න ඕනෑ.

ප්‍රශ්නය:- ඉන්දියාවේ පුරවැසි පනත සමග ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයන් නැවත මෙරටට එවිය යුතු යැයි තමිල්නාඩුවේ බී.ජේ.පී. පක්ෂ ප්‍රධානියා පවසා තිබුණා. මේ ජනතාව ගැන දෙ.ජා.ස.ය හෙව්වා ද?

පිළිතුර:- 2010 දී අපි ඉන්දියාවට ගිහින් අගමැති මන්මෝහන් සිං සමග සාකච්ඡා කළා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා සමගත් සාකච්ඡා කරලා ඔවුන්ගේ සුබසිද්ධිය පිණිස පියවර රැසක් ගත්තා. ඉන්දීය රජය ඔවුන් නැවත ආවාම නිවසක් හදලත් දෙනවා කිව්වා. හැබැයි ඔවුන් ආවාම ඒ අයිති ඉඩම තිබෙන්නේ හමුදාව යටතේ නම් එතැනත් ප්‍රශ්නයක් එනවා. ඉන්න අයගෙන් බාගයක් විතර එන්න කැමැතියි. අපේ මතයත් ඔවුන් නැවත ලංකාවට පැමිණිය යුතු බවයි. ඒ අපේ ජනතාව. ඔවුන් ගියේ මෙතන ජීවත්වෙන්න බැරි නිසා. හුඟ දෙනෙක් එන්න කැමැතියි. හැබැයි ආවාට ඔවුන්ට ඉඩම් නෑ. ජීවනෝපාය සහතික නෑ. 58000ක් ඉන්නවා. එහෙත් ජාත්‍යන්තර නීතියට අනුව සරණාගතභාවයේ සිටින අය නැවත මව් රටට යනවා ද නැද්ද තීරණය ගත යුතුයි. ඔය පුරවැසි පනත එන්න කලිනුත් ඔවුන්ට පුරවැසිභාවය දීලා තිබුණේ නෑ. ඉතින් ඉන්න අයට පුරවැසිභාවය දෙනවා ද නැද්ද යන්න ඉන්දියාව තීරණය කළ යුතුයි.

සංවාද සටහන
බිඟුන් මේනක ගමගේ