ශ්‍රී ලංකාවට දෙනු ලබන ජී.එස්.පී. ප්ලස් බදු සහන අත්හිටුවීම ගැන සලකා බලන ලෙසට යුරෝපා කොමිසමෙන් ඉල්ලා සිටිමින් පසුගිය 10 වැනිදා යුරෝපා පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කළේය.

මෙම යෝජනාව මෙම වසර තුළ මානව හිමිකම් ප්‍රශ්නය මුල්කරගෙන ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර වශයෙන් සම්මත වූ දෙවැනි යෝජනාවයි. පළමු යෝජනාව පසුගිය මාර්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත කෙරිණි.

මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවමෙන් නොව යුරෝපා පාර්ලිමේන්තුවේ යෝජනාව අති විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් සම්මත විය. එනම් යුරෝපා පාර්ලිමේන්තුවේ ඡන්ද 705න් ඡන්ද 628 ක් ම මෙම යෝජනාවට පක්ෂව  ලැබිණි. ඊට එරෙහිව ලැබුණේ ඡන්ද 15ක් පමණි. මන්ත්‍රීවරු 40 දෙනකු ඡන්ද දීමෙන් වැළකී සිටියහ.

මානව අයිතිවාසිකම් පිළිබඳ සිය වගකීම් ඉටු කරන ලෙසට හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කොට ඒ වෙනුවට ත්‍රස්තවාදයට මුහුණ දීම සඳහා වූ වෙනත් යෝජනාවක් ගෙන එන්නට බලකරන්නට ජී.එස්.පී. ප්ලස් බදු සහන ලීවරයක් ලෙස යොදා ගන්නා ලෙසත් අවසාන පියවරක් වශයෙන් ජී.එස්.පී. සහන ඒ හා බැඳුණු වාසි තාවකාලිකව අත්හිටුවීමේ ක්‍රියාවලියක් ආරම්භ කිරීමට ප්‍රමාණවත් හේතු ඇත්දැයි සුපරීක්ෂාකාරී ලෙස සලකා බලන ලෙසත් මෙම යෝජනාව මගින් යුරෝපා පාර්ලිමේන්තුව යුරෝපා කොමිසමෙන් හා යුරෝපා විදේශ කටයුතු සේවාවෙන් ඉල්ලා තිබිණි.

මෙම යෝජනාව අනුව ඊට පාදක වූ සාධක ගණනාවක් ඇත. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව මානව හිමිකම් පිළිබඳ එ.ජා.ප. මහ කොමසාරිස්වරිය පසුගිය පෙබරවාරි මාසයේදී මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ වාර්තාව හා මාර්තු මාසයේදී එම කවුන්සිලයේදී සම්මත වූ යෝජනාව ඉන් ප්‍රධාන සාධක දෙකකි.

අන්තවාදී ආගමික මතවාද දරන්නන් බවට සැක කරනු ලැබ අත්අඩංගුවට ගනු ලැබූ හෝ බලධාරීන් වෙත භාර වූ පිරිස් නඩු විභාගයකින් තොරව පුනරුත්ථාපන කඳවුරක වසරකට නොවැඩි කාලයක් තබා ගැනීම සඳහා වූ රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනයක් පසුගිය මාර්තු 12 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නිකුත් කරනු ලැබීය. නඩු විභාගයකින් තොරව මෙම රඳවා තබා ගැනීම කෙරෙන හෙයින් මීට මානව හිමිකම් ක්‍රියාකාරිකයන් එරෙහි වූ අතර, එයද මෙම යෝජනාවට බලපෑ සාධකයකි.

ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙම රෙගුලාසි වල අරමුණ හරිද වැරදිද යන්න කෙසේ වෙතත් මෙහිදී ගැටලුවක් සේ සලකනු ලැබ ඇත්තේ ඒවා ක්‍රියාත්මක වන ආකාරයයි. කියනු ලබන නැතහොත් කියවීමට  අදහස් කරනු ලැබූ වචන මගින් හෝ සංඥා මගින් හෝ දෘෂ්‍ය නියෝජන මගින් හෝ අන්‍යාකාරයෙන් සාහසික ක්‍රියා හෝ විවිධ ජන කොටස් නැතහොත් වර්ගීය හෝ ආගමික කණ්ඩායම් අතර ආගමික වර්ගීය නැතහොත් ජාතිකවාදී අසමගිය නැතහොත් දුර්චේතනික හෝ එදිරිවාදී හැඟීම් ඇති වීමට සලස්වන්නා වූ හෝ ඇතිවීමට සැලැස්වීමට අදහස් කරන්නා වූ තැනැත්තන් අත්අඩංගුවට පත්වීමෙන් පසු හෝ භාර වීමෙන් පසු මෙම රෙගුලාසි යටතේ මහේස්ත්‍රාත්වරයකු හමුවට පමුණුවා වසරකට නොවැඩි කාලයක් පුනරුත්ථාපන  මධ්‍යස්ථානයක රඳවා තබා ගනු ලැබිය හැකිය.

යුරෝපා පාර්ලිමේන්තුව තම යෝජනාවේ ස්ථාන ගණනාවකම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දැඩි ලෙස විවේචනය කරයි. ඒ වෙනුවට ජාත්‍යන්තර පිළිවෙත්වලට අනුකූල ත්‍රස්ත විරෝධී පනතක් සම්මත කර ගත යුතුයැයි අවධාරණය කරයි. එසේම මෑතකදී එම පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබූ දෙදෙනකු වන නීතිඥ හිජාස් හිස්බුල්ලා හා කවියකු වන අභ්නාස් ජසීම් හා එම නීතියෙන් පිටස්තරව අත්අඩංගුවට ගනු ලැබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ගැන විශේෂයෙන් සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ සුළු ජන කණ්ඩායම්වලට අයත් පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගනු ලබන බවටද එම යෝජනාව චෝදනා කරයි. පදනම් සහිත වූ චෝදනා ඇත්නම් එසේ අත්අඩංගුවට ගනු ලැබූවන්ට එරෙහිව නඩු පවරන ලෙසත්, එසේ ඉදිරිපත් කරන්නට තරම් චෝදනා නැත්නම් ඔවුන් කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙසත් යුරෝපා පාර්ලිමේන්තුව මෙම යෝජනාව මගින් ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.

ජනමාධ්‍ය හා දේශපාලනඥයන් බොහෝ දෙනෙක් මෙම යෝජනාව ගැන අදහස් දක්වති. එහිදී බොහෝ දෙනෙක් යෝජනාව අනුව යුරෝපා කොමිසම ශ්‍රී ලංකාවට දෙන ජී.එස්.පී. ප්ලස් බදු සහනය ඉවත් කර ගතහොත් මෙරට ආර්ථිකයට ඇති විය හැකි බලපෑම් පිළිබඳව පමණක් හෝ එම බලපෑම්වලට වැඩි බරක් දී කතා කරති. යෝජනාවට පාදක වූ සාධක ලෙස යුරෝපා පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන හේතු එහිදී වැඩි සැලකිල්ලකට ලක් නොවේ. එහෙයින් මෙම යෝජනාවට පක්ෂ හා විපක්ෂ අයට තම තමන්ගේ මතය කුමක් හෝ කියා සාධාරණීකරණය කිරීමට හැකි වේ.

ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් බදු සහන අහිමි කරනු ලැබූ දෙවැනි අවස්ථාව මෙයයි. පළමු අවස්ථාව මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටියදී 2010 දී මෙම සහන අහිමි කිරීමය. එදා ඒ සඳහා යුරෝපා පාර්ලිමේන්තුව ඉදිරිපත් කළ හේතු වත්මන් හේතුවලට බොහෝ දුරට සමානය. හරයෙන් ගත්කල අවස්ථා දෙකේදීම මෙම සහන නතර කිරීමට හේතු වශයෙන් දක්වන ලද්දේ ශ්‍රී ලංකාව මානව හිමිකම් ආරක්ෂා කිරීමට අසමත් වී ඇතැයි යන්නය.

එදා බදු සහන අත්හිටුවීමට පෙර යුරෝපා කොමිසම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පැවත්විය. සංවර්ධනය වන රටක් යුරෝපා සංගමයේ ජී.එස්.පී. ප්ලස් බදු සහන ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර සම්මුතීන් 27 කට එකඟ විය යුතු අතර එදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විශේෂයෙන්ම ඒවායින් මානව අයිතීන්ට අදාළ ප්‍රධාන සම්මුතීන් රැසක් ක්‍රියාත්මක කිරීමේදී දුබලතා දැක්වූ බව එම පරීක්ෂණයේදී කියැවිණි.

මෙවර යෝජනාවට එ.ජා. මානව හිමිකම් කවුන්සිලයේ සම්මතවූ යෝජනාව හා මානව හිමිකම් පිළිබඳ එ.ජා. මහ කොමසාරිස්වරියගේ වාර්තාව ආදිය පදනම්වූවා සේම එදා ද ඉහතකී පරීක්ෂණයට බොහෝ දුරට පදනම් වූයේ එ.ජා. විශේෂ නියෝජිතයන්ගේ එ.ජා. ආයතනවලත්, මානව හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධානවලත් වාර්තා හා ප්‍රකාශනයන්ය. එහෙයින් මෙම ආයතන හා සංවිධානවල වාර්තා හා ප්‍රකාශ නොසලකා හැරිය නොහැකිය. මන්දයත් ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනා මෙරට ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල කරන හෙයිනි.

මානව හිමිකම් සම්බන්ධයෙන් තම වගකීම් ඉටු කරන්නට ශ්‍රී ලංකාව කොන්දේසි 15 කට එකඟ වියයුතු බවත් එදා යුරෝපා කොමිසම මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට දැනුම් දුන්නේය. එම කොන්දේසි සියල්ලම පාහේ මානව හිමිකම්වලට අදාළ ඒවා විය. එහෙත් ආණ්ඩුව ඒවාට එකඟවීම රටේ ස්වෛරීභාවයට හානියකැයි පවසමින් ඒවා ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව එදා ඒ බදු සහන අත්හිටුවනු ලැබීය.

එදාත් අදත් යුරෝපා කොමිසම ශ්‍රී ලංකාවට නිශ්චිතවශයෙන් ඉදිරිපත් කරන කරුණු බොහෝ දුරට සමානය. එදා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇතැම් කොටස් ඉවත් කරන  ලෙසට දැනුම් දෙනු ලැබ ඇති අතර අද ඔවුන් පවසන්නේ එම පනත වෙනුවට ජාත්‍යන්තර පනත්වලට අනුකූල වන සේ අලුත් පනතක් ඉදිරිපත් කරන ලෙසය. එදා ද නඩු විභාගයකින් තොරව රඳවා තබා ගැනීම සඳහා වූ හදිසි නීති රෙගුලාසි ඉවත් කරන ලෙස දැනුම් දෙනුලැබූ අතර අද නඩු විභාගයකින් තොරව රඳවා තබා ගැනීම සඳහා වූ අන්තවාදී මතවාදවලින් මුදා ගැනීමේ ගැසට් නිවේදනයේ රෙගුලාසි ඉවත් කරන ලෙස ඔවුහු කියති.

එදා ද ජනමාධ්‍ය නිදහස තහවුරු කරන ලෙස අවධාරණය කෙරුණු අතර අද ද එය අවධාරණය කෙරේ. එදා 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම විවේචනය කෙරුණු අතර අද 19 වැනි සංශෝධනය වෙනුවට 20 වැනි සංශෝධනය හඳුන්වාදීම විවේචනය කෙරේ.

2015 දී බලයට පත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව 19 වැනි සංශෝධනය මගින් යළිත් ව්‍යවස්ථා සභාව හා ස්වාධීන කොමිෂන් සභා ඇති කොට විධායක ජනාධිපතිගේ බලතල කප්පාදු කළේය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට වෙනත් පනතක් සකස් කිරීමට පියවර ගත්තේය. තොරතුරු දැනගැනීම් අයිතිය ව්‍යවස්ථාවට ඇතුළත් කළේය. ජාත්‍යන්තර මානව හිමිකම් ආයතන සමග සුහද සබඳතා ඇති කර ගත්තේය. ඒ අනුව 2017 මැයි 19 වැනිදා ශ්‍රී ලංකාවට  යළි ජී.එස්.පී. සහනය ලැබිණි.

එහෙත් වත්මන් ආණ්ඩුව පසුගිය ඔක්තෝබර් 20 වැනිදා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කොට ස්වාධීන කොමිෂන් සභා ජනාධිපතිවරයා යටතට පත් කළේය. ව්‍යවස්ථා සභාව වෙනුවට කිසිදු බලයක් නැති ව්‍යවස්ථා කවුන්සිලය ඇති කළේය. මේ ගැන සඳහන් කරන යුරෝපා පාර්ලිමේන්තුව ‘නව ආණ්ඩුව පසුගිය ආණ්ඩුව අත් කර ගත් සීමාසහිත ප්‍රගතියද ආපසු හරවාලීමත් සමග ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය වේගයෙන් පිරිහෙමින් පවතී’ යැයි කියයි. එසේම සිවිල් සමාජය හා ස්වාධීන ජනමාධ්‍ය ක්‍රියා කළ හැකි අවකාශයද ශීඝ්‍රයෙන් හැකිළෙමින් පවතී යැයිද පවසයි.

සහන මත රඳා පැවතීම වෙනුවට තරඟකාරී ව්‍යාපාරික වටපිටාවක ශ්‍රී ලංකාවේ නිෂ්පාදන අපනයනය කිරීම සඳහා වූ තත්ත්වයකට පැමිණෙන්නට ආණ්‍ඩුව උපායමාර්ග සකස් කරමින් සිටින බව මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා පොදු ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගිය සඳුදා ඩේලිමිරර් පුවත්පතට පවසා තිබිණි.

ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා වෙනත් කරුණු සම්බන්ධයෙන් වූ යුරෝපා කොමිසමේ අදහස් පිළිගන්නට ආණ්ඩුව සූදානම් නැතිබව පෙනේ. එහෙයින් යුරෝපා පාර්ලිමේන්තුවේ යෝජනාවේ හොඳ, නරක කුමක් වුවද ගෝලීය වසංගතයකින් මෙරට ආර්ථිකය විශාල වශයෙන් පීඩාවට ලක් වී සිටින තත්ත්වය තුළ ශ්‍රී ලංකාව විශාල විදේශ විනිමය ප්‍රමාණයක්ද අහිමි කර ගැනීමට නියමිතය.

යුරෝපා පාර්ලිමේන්තුවේ යෝජනාවෙන්ද දැක්වෙන පරිදි ජී.එස්.පී. සහන නිසා යුරෝපා සංගමයට අයත් රටවලට කරන අපනයන මගින් ශ්‍රී ලංකාවේ වාර්ෂික ආදායම යුරෝ බිලියන 2.3 ක් දක්වා වර්ධනය වී ඇත. මෙරට කොටස් වෙළෙඳපොළ තැරැව්කරුවන් පවසන පරිදි ශ්‍රී ලංකාව යුරෝපයට යවන භාණ්ඩ 7000 කට වැඩි සංඛ්‍යාවට පූර්ණ බදු සහන ලබයි. එම භාණ්ඩවලින් සියයට 60 ක් පමණ ඇඟලුම් ක්ෂේත්‍රයට අදාළය. ජී.එස්.පී. සහන නොලැබුණහොත් එම සහන ලබන බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්ථානය හා වියට්නාමය යන රටවල් සමග වූ යුරෝපා ඇඟලුම් වෙළෙඳපළේ තරඟයේදී ශ්‍රී ලංකාවට අවාසිදායක තත්ත්වයක් ඇතිවේ යැයිද ඔවුහු පවසති.

රට කුමන ආර්ථික තත්ත්වයකට මුහුණ දුන්නේ වුවද 20 වැනි සංශෝධනයේ ප්‍රතිපාදන ආපසු හැරවෙනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය. එහෙත් මානව හිමිකම් පිළිබඳව සැලකිල්ලක් දක්වන ජාත්‍යන්තර ආයතන හා සංවිධාන සමග වූ සබඳතා වර්ධනය කර ගැනීමට කළ හැකි දෑ නැත්තේ නැත. උදාහරණයක් වශයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබූවකු වහාම නිදහස් කළ නොහැකි වුවද ඔහු චෝදනා පත්‍රයක් හෝ නැතිව වසර ගණනක් රඳවා ගනු ලැබීම සිදුවිය යුත්තක් නොවේ. අන්තවාදී මත දැරීම නිසා අත්අඩංගුවට පත්වූවකු නඩු විභාගයකින් තොරව පුනරුත්ථාපනය සඳහා යවනු ලැබිය යුතු නොවේ. වඩා වැදගත් කාරණය නම් ශ්‍රී ලංකාවෙන් අපේක්ෂා කෙරෙන්නේ ශ්‍රී ලංකාව එකඟ වූ ජාත්‍යන්තර සම්මුති 27 ක් නිසි පරිදි ක්‍රියාත්මක කරන ලෙසය.

ඒ කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුළ වර්ධනය වන චීනයේ භූමිකාව හා බලපෑම යුරෝපා පාර්ලිමේන්තුවේ යෝජනාවට ඇතුල්වීම නම් බරපතළ ගැටලුවකි. එය ශ්‍රී ලංකාවට දෙන බදු අත්හිටුවීමට  අදාළ වන්නේ කෙසේද යන්න පැහැදිලි නැත. එය නිවැරදි නම් ඊශ්‍රායලය හා සවුදි ආරාබිය වැනි රටවල මීටවඩා ප්‍රබල ලෙස වර්ධනයවී ඇති අමෙරිකානු භූමිකාව හා බලපෑම සම්බන්ධයෙන්ද යුරෝපා පාර්ලිමේන්තුව කනස්සල්ල පළ කළ යුතුය.

(*** එම්.එස්.එම්. අයුබ්)