IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


ආණ්ඩුවට බිස්නස් බැරිද?

මෙවර කිවිදා දැක්මෙන් සාකච්ඡා කරන්නේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය මාතෘකාව පිළිබඳවය. එයට හේතුව වන්නේ මේ දිනවල අය-වැය විවාදය තුළ මෙම කාරණය නැවතත් කරළියට පැමිණීමය. ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද 2023 අය-වැය කථාවේ ඍජුවම කියා තිබූ කාරණයක් වූයේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කළ යුතු බවය.

එහිදී ඔහු කියන්නේ පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය පමණක් නොව සමස්තයක් ලෙසින් රජය යටතේ තිබෙන ව්‍යාපාර පිළිබඳවය. මේ පිළිබඳව තවදුරටත් ස්වකීය මතය ඉදිරිපත් කළ ජනාධිපති වික්‍රමසිංහ මහතා පසුගිය දිනක පැවති ඇතුලත්මුදලි අනුස්මරණ දේශනයේදී පැවසුවේ මූල්‍ය ක්ෂේත්‍රය හැර අනෙකුත් සෑම ක්ෂේත්‍රයකම ව්‍යාපාරවලින් රජය ඉවත් විය යුතු බවය. 

මේ ප්‍රශ්නයට කාටවත් තනියෙන් පිළිතුරු දිය නොහැකි බව පැහැදිලිය. රාජ්‍ය ව්‍යවසාය යනු එක රජයක් විසින් ගනු ලැබූ තීරණයක් නිසා ඇති වුණු එකක් නොවේ. මේ වන විට රජය සතුව තිබෙන ව්‍යවසාය ඒ ඒ කාලවල සිටි ආණ්ඩු විසින් ආරම්භ කර ඇති අතර ඒ සඳහා ඒ ඒ කාලවල ජනතාවගේ එකඟතාව ද ලැබී ඇත. ඒ සමහර රාජ්‍ය ව්‍යවසාය ඉතාමත් අලාභ පිට පවත්වාගෙන යන බවත් සැබෑවක්ය. ඒ සමහර රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුගත කළ යුතු බවද සැබෑවක්ය එහෙත් රටේ ලාබ ලබන රාජ්‍ය ව්‍යාපාර ඇතුළු සියලු රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුගත කළ යුතු යැයි මේ මොහොතේ මතු වෙමින් තිබෙන තර්කය පිළිගත හැකි එකක් නොවන බව මගේ අදහසය.

රාජ්‍ය ව්‍යාපාර බිහිවීම

මේ රටේ රාජ්‍ය ව්‍යාපාර බිහිවීමට හේතු කීපයක්ම තිබේ. එයින් එකක් වන්නේ යටත් විජිත පාලනයෙන් පසුව රටේ ආර්ථිකය ගෙන යාම සඳහා වතු සමාගම් හැරුණු විට වෙනත් පෞද්ගලික ව්‍යවසායකයන් ගොඩ නැගුණේ ඉතාමත් අඩුවෙන් වීමය. 1948 සිට 1977 දක්වාම මේ තත්ත්වය එක වගේම විය. එපමණක්ද නොවේ. 1956 ආණ්ඩුව 1960 ආණ්ඩුව සහ 1970 පත්වූ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම පෙනී සිටියේ ශක්තිමත් රාජ්‍ය වපසරියක් ක්‍රියාත්මක කිරීමටය. ඒ නිසාම පෞද්ගලික ව්‍යවසාය දුර්මුඛ කරන ස්ථාවරවල ඒ ආණ්ඩු පෙනී සිටි බවත් පැහැදිලිය. 1972 ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනත මගින් පෞද්ගලික වතු සමාගම්ද රජය යටතට පත් කළ නිසා ඒ අංශයේ පෞද්ගලික ව්‍යවසායද නිමාවට පත්විය.

මෙහි දෙවැනි කාරණය වන්නේ රටේ පෞද්ගලික අංශයක් වර්ධනය නොවීම (වර්ධනය වීමට ඉඩ නොදීම) හේතුවෙන් සියලු ව්‍යාපාර රජය විසින් ආරම්භ කිරීමය. 1977 වන විට රටේ කර්මාන්ත ක්ෂේත්‍රයේ සියලු අංශවල සංස්ථා රජය සතුව පැවතුණේ මේ හේතුව නිසාය. තෙල් සහ මේද සංස්ථාව, තෙල් සංස්ථාව, ධීවර සංස්ථාව සිට ලුණු සංස්ථාව, කඩදාසි සංස්ථාව, හණ (ගෝනි) සංස්ථාව දක්වා සියලුම ක්ෂේත්‍රවල රාජ්‍ය ව්‍යවසාය 1977 වන විට පැවති බව සැබෑවක්ය.

ආණ්ඩුව විසින් ව්‍යාපාර ආරම්භ කිරීමට හේතුවූ අනෙක් කාරණය වන්නේ සමහර අත්‍යාවශ්‍ය ක්ෂේත්‍ර සඳහා ආයෝජනය කරන්නට පෞද්ගලික අංශයක් ගොඩ නැගී නොතිබූ තත්ත්වයක, එවැනි අත්‍යාවශ්‍ය ව්‍යාපාර ආරම්භ කළ යුතුව තිබු නිසාය. රූපවාහිනී සංස්ථාව වැනි ආයතන රජය පැත්තෙන් බිහිවුණේ මේ තත්ත්වය යටතේය. 1980 දශකයේ රූපවාහිනිය සඳහා ආයෝජනය රජය විසින් කළ යුතුව තිබුණි.

මෙම ආකාරයෙන් ගොඩ නැගුණු විශාල වශයෙන් ව්‍යාපාර සහිත රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත්වී තිබූ අතර 1977 විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නේ මේ තත්ත්වය යටතේය.

රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුගත කිරීමේ ජාවාරම

මවිසින් ඉහතින් සඳහන් කළ ආකාරයේ බරපතළ රාජ්‍ය ව්‍යවසාය තොගයක් රටේ තිබූ බව සැබෑවක්ය. ඒවා නඩත්තු කරන්නට යැයි කියමින් විශාල දූෂණ යාන්ත්‍රණයක්ද රට තුළ පැවති බවත් සැබෑවක්ය. එහෙත් මේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම යැයි කියමින් ඒ ඒ කාලවල ආණ්ඩු සිදු කළේත් බරපතළ දූෂිත ජාවාරමක් බව මගේ මතයයි. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුගත කරන බවක් පැවසුවාට සිදුවූයේ රාජ්‍ය ව්‍යවසාය ගජමිතුරන් අතර බෙදා ගැනීමය.

මේ සමහර ව්‍යවසාය තමන්ගේ මිතුරන්ට ලබා දී තිබුණේ සම්පූර්ණයෙන්ම රාජ්‍යයට අවැසි සහගත අන්දමටය. විකුණන්නට හදන රාජ්‍ය ව්‍යාපාරයේ තක්සේරුව හදන්නේ ගැනුම්කරුවාට වාසි සහගත ආකාරයටය. එසේ හැදූ තක්සේරු මුදලවත් නොගෙවා රජය ව්‍යාපාර අත යට තමන්ගේ මිතුරන්ට පවරා දී ඇති අවස්ථා රාශියක්ය.

1977 පසු එක ආණ්ඩුවක් නොව සෑම ආණ්ඩුවක්ම පාහේ මේ ජාවාරම දිගටම කරගෙන ගිය බව සහ ඉදිරියටත් කරන්නට උත්සාහ කරන බව ඉතාමත් පැහැදිලිය. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුගත කිරීම යටතේ ඒ ඒ ආණ්ඩු සිදු කළ දේවල් යළි මතකයට නගා ගැනීම වැදගත් වන්නේ ඉතිරි වී තිබෙන රාජ්‍ය ව්‍යවසායවලටත් ඒ ඉරණමම අත්විය හැකි බවට පෙර මග ලකුණු පහළ වී ඇති නිසාය.

1977-1994 එජාප පාලනය

මවිසින් ඉහතින් සඳහන් කළ ආකාරයේ ඊනියා ප්‍රතිව්‍යුගත කිරීම්වල ස්වභාවය බලන විට පෙනී යන්නේ මේ සමහර පවරාදීම් සිදුවී ඇත්තේ තනිකරම අත යටින් බවයි. එවකට රජයට තිබූ තුල්හිරිය, වේයන්ගොඩ සහ පූගොඩ පෙහෙ කර්මාන්ත ශාලා විවෘත ආර්ථික මොඩලය යටතේ රජයේ ව්‍යාපාර ලෙසින් ඵලදායක අයුරින් පවත්වාගෙන යා නොහැකි වූ බව සැබෑවක්ය. එහෙත් ඒවා ප්‍රතිව්‍යුගත කිරීමේදී සිදුවුණේ රජයට තවත් පාඩුවක් සිදුවීම බව මගේ නිරීක්ෂණය යි.

පූගොඩ කම්හල 1990 ජනවාරි විකිණීම සඳහා තක්සේරු කළ මුදල රු. මිලියන 275 වන අතර එය විකුණා දැමුවේ මිලියන 90 කටය. තුල්හිරිය කර්මාන්ත ශාලාව 90 පෙබරවාරි තක්සේරු කළ මුදල මිලියන 450 වන අතර එය විකුණුවේ මිලියන 200කටය. වේයන්ගොඩ කර්මාන්ත සංකීර්ණය 1992 මාර්තු තක්සේරු මුදල මිලියන 950ක් වූ අතර එය විකුණුවේ මිලියන 400 කටය.

මේ ලැයිස්තුව ඉතාමත් විශාලය. රජය සතුව තිබී මේ කාලය තුළ පෞද්ගලික අංශයට විකුණා ඇති ව්‍යාපාර අතර, ලංකා සෙරමික්, ලංකා පෝසිලේන්, දංකොටුව පෝසිලේන් ඇතුළු ගණනාවක් තිබේ. එසේම සී/ස ශ්‍රී ලංකා ඩිස්ටිලරීස් සමාගම, සී/ස ලංකා මිල්ක් ෆුඩ් සමාගම වැනි ආයතනද විකුණුවේ තක්සේරු මුදලට වඩා අඩු මුදලකටය. මීට අමතරව මේ ලැයිස්තුවට අයත් වන සතොස මෝටර්ස්, හුන්නස් ෆෝල්ස් හෝටලය වැනි ආයතනවල ප්‍රතිව්‍යුගත කිරීමේ ක්‍රියාවලිය ද සිදුවුණේ මේ ආකාරයෙන්මය.

1994-2002 ශ්‍රීලනිප පාලනය

1994 පැවති රජය යටතේ ද මේ රාජ්‍ය සම්පත් ප්‍රතිව්‍යුගත කිරීමේ ව්‍යාපෘතිය පවත්වාගෙන ගියේය. ඒ කාලය තුළ යම් ආකාරයක සාර්ථක ප්‍රතිව්‍යුගතකරණයක් ලෙසින් පෙන්නුම් කරන්නේ රජයට සියයට 50 කොටස් ඉතිරි කර ගනිමින් ප්‍රතිසංස්කරණය කළ ටෙලිකොම් ආයතනයයි. 1997 අගෝස්තු මේ ආයතනයේ සියයට 50 කොටස සඳහා පෞද්ගලික අංශයේ හවුල්කරුවකු ලබාගැනීමේ දී රු. මිලියන 16,636.7 මුදලක් ද රජයට අය කරගෙන නිශ්චිත හා පලදායක අයුරින් එම ක්‍රියාදාමය සිදු කර ඇති බව පැවසිය හැකිය.

එහෙත් මේ කාලය තුළ සිදුවූ සමහර ප්‍රතිව්‍යුගත කිරීම් පෙන්නුම් කරන්නේද ඊට පෙර තිබූ තත්ත්වයමය. 1972 ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනතින් රජයට පවරාගෙන රාජ්‍ය වැවිලි සමාගම, ජනවසම වැනි ආයතන යටතේ පැවති වැවිලි සමාගම් ගණනාවක්ම පෞද්ගලික සමාගම් යටතට පත් කර ඇත්තේ මේ කාලයේය.

උදාහරණ වශයෙන් සී/ස කොටගල වැවිලි සමාගම (1995 සැප්.), කෑගල්ල වැවිලි සමාගම (95 සැප්), අගලවත්ත, හොරණ, කැලණි වැලි, මස්කෙළිය, ආගරපතන, හපුගස්තැන්න වැනි වැවිලි සමාගම් රජයේ අයිතියෙන් ඉවතට යන්නේ මේ කාලයේය. මෙම වැවිලි සමාගම්වලට අමතරව වැවිලි ක්ෂේත්‍රයේ රජයට තිබූ වපසරිය බරපතළ ආකාරයෙන් පෞද්ගලිකකරණය කිරීම මේ කාලය සිදු වූ අතර ඒ සමහර ගනුදෙනු මගින් පෙන්නුම් කරන්නේ රජයේ පංගුකාරත්වය ගජමිතුරකුට පවරා රජයට සොච්චමක් ගෙවීමේ තත්ත්වයක්ය. එසේම රජය සතු තානායම් සහ හෝටල්වල කොටස් හිමිකාරිත්වය පෞද්ගලිකරණය කර ඇත්තේද එසේමය. පසුකාලයේ COPE කමිටු වාර්තාවක් මත අධිකරණ ක්‍රියාමාර්ගයක් හරහා රජයට නැවතත් පවරා ගනු ලැබූ සී/ස රක්ෂණ සංස්ථාව පෞද්ගලිකරණය කළේත් මේ කාලයේය.

තක්සේරු කළ මුදල රු. මිලියන 1850 ක්ව තිබියදී 2001 ජුනි මාසයේ රක්ෂණ සංස්ථාව විකුණා තිබුණේ රුපියල් මිලියන 737.5 කටය. එම සංස්ථාව නැවත රජයට ලබාගත හැකි වූ අතර එය නැවතත් ප්‍රතිව්‍යුගත කළ යුතු යැයි මෙවර අය-වැයෙන් යෝජනා කර ඇති බව ඔබට මතකය. එකම රාජ්‍ය ආයතනය ඒ ඒ පාලකයන් මිතුරන් අතරේ බෙදා ගැනීමකට වැඩි යමක් මෙහිදී සිදුවන්නේ නැති බව මගේ අදහසය. රාජ්‍යය සතු ව්‍යාපාර ප්‍රතිව්‍යුගත කිරීම ජාවාරමක් යැයි කීවේ මේ නිසාය.

2002-2004 රජය හා පසු කාලය

මේ කාලය තුළ පැවති පෞද්ගලික ව්‍යවසාය ප්‍රතිව්‍යුගත කිරීමේ කොමිසම හෙවත් PERC ආයතනය (Public Enterprises Reform Commission) හරහා සිදුවූ ගනුදෙනු ගණනාවක්ම තිබෙන අතර මේ සමහර දේවල් බරපතළ ආකාරයෙන් විමර්ශනයට භාජන වූ ඒවාය. විශේෂයෙන් වරායේ සමහර පර්යන්ත පෞද්ගලිකරණය කිරීම්, වරායේ බංකරින් ව්‍යාපාර සමාගම්වලට ලබාදීම් වැනි දේවල් මේ වන විට සමාජයේ විශාල සාකච්ඡාවට භාජන වී ඇත.

2005-2015 කාලය තුළ මේ ආකාරයේ ප්‍රතිව්‍යුහගත කිරීම් නොතිබුණු නමුත් සංවර්ධන ව්‍යාපෘති හා ණය ලබා ගැනීම් හරහා කළ ජාතික මූල්‍ය කළමනාකරණයේ ගැටලුකාරීත්වය හේතුවෙන් රාජ්‍ය ව්‍යාපාර අර්බුදයට ගිය අවස්ථා රාශියක් විය.
මීළඟ පිම්ම කුමක් ද?

වත්මන් රජයේ 2023 අයවැයෙන් කියා ඇත්තේ ටෙලිකොම්, රක්ෂණ සංස්ථාවත් ඇතුළුව රාජ්‍ය ව්‍යාපාර ‘‘ප්‍රතිව්‍යුහගත කරන’’ බවය. මේ ප්‍රතිව්‍යුහගත කිරීම යන වචනයේ තේරුම මේ වන විට වෙනස්වී හමාරය. මේ කියන්නේ ‘‘මිතුරන් අතරේ බෙදා දෙනවා’’ වැනි තේරුමක්ය. ජනාධිපතිවරයා ඇතුලත්මුදලි දේශනයේදී කීවේ මුදල් සම්බන්ධ ආයතන හැරුණු විට රජය බිස්නස්වලින් ඉවත් විය යුතු බවයි. එසේම විදුලි බල ක්ෂේත්‍රයේ බරපතළ වෙනසක් සිදු කරන බවට කියවෙන කැබිනට් තීරණයක්ද පසුගිය සතියේ ගත් බව වාර්තා විය.

මගේ තේරුම් ගැනීම අනුව වත්මන් රජයේ උත්සාහය වන්නේ ලාභ ලැබීම හෝ පාඩු ලැබීම පදනම් කරන්නේ නැතිව රජයේ ව්‍යවසාය රජයෙන් ඉවත් කිරීමට බවයි.

මෙම උත්සාහය සමග ගැට ගැසී ඇති එක් ප්‍රශ්නයක් වන්නේ රජයට බිස්නස් බැරිද යන කාරණයයි. එහි දෙවැනි ප්‍රශ්නය වන්නේ රජය තබා ගත යුතු ව්‍යාපාර කවරේද යන්නයි. තුන්වැනි ප්‍රශ්නය වන්නේ රජය තබා නොගත යුතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම විවෘත හා දූෂිත නොවන අයුරින් කරන්නේ කෙසේද යන්නයි.

මේ ප්‍රශ්න 03 නිවැරදිව විභාග කරන්නේ නැතිව, රාජ්‍ය ව්‍යවසාය ‘මිතුරන් අතරේ බෙදාදීමේ’ වැඩ පිළිවෙළක් ඉදිරියට ඒමට දරන උත්සාහය පරාජයට පත් කළ යුතු බව මගේ මතයයි.

මහාචාර්ය චරිත හේරත්



අදහස් (3)

ආණ්ඩුවට බිස්නස් බැරිද?

ජයේ Friday, 02 December 2022 03:01 PM

මගේ ප්‍රණාමය!

:       2       4

රාජේශ් ඛන්නා Sunday, 04 December 2022 10:57 AM

රජයේ ආයතනයක් පාඩු ලබන විට එම පාඩුව පියවීමට මහජනයා මත එම බර පැටවේ. රජයේ නොවන ආයතනයක් පාඩු ලබන විට එම බර මහජනයා මත පැටවෙන්නේ නැත. එහෙත් එය රටේ සමස්ථ ආදායමට සෘණ ලෙස බලපායි. රජයේ හෝ රජයේ නොවන ආයතනයක් ලාබ ලබමින් පවත්වා ගෙනයන්නේ නම් එමගින් රටට ලැබෙන ආදායම රටක අනාගතයට ඉතාම වැදගත් කරුණකි. එය විදේශ විනිමය උපයන ආදායමක් නම් එහි වටිනාකම ඉමහත්ය. වෘත්තීය සමිති මගින් සිදුවිය යුත්තේ මෙම සමස්ථ ආදායම උපරිමයක් දක්වා වැඩිකරළීමට එම ආයතනවලට සහාය වී සේවකයින්ට සහ රටේ සමස්ථ ජනතාවටම උපරිම වශයෙන් සහන ලැබීමට කටයුතු කිරීමකි. අප රටේ නොවන්නේ ද එයයි. රජයකින් සිදුවිය යුත්තේ කාලයට උචිත ශක්තිමත් මූල්‍යමය නීති පද්ධතියක් ක්‍රියාත්මක කරමින් ආයතන සහ සේවකයින් මෙන්ම රටේ ආදායම සුරක්‍ෂිත කිරීමකි. රබර් වත්තක වැඩ කරන සේවකයා රුපියලෙන් වැටුප ලැබුවද රට වෙනුවෙන් උපයන්නේ විදේශ විනිමයකි. එම සේවකයාට ජන සවිය වැනි ආධාරයක් ලබා දීමෙන් ඔහු රබර් වත්තේ වැඩ කිරීම නවතයි. විදේශයකින් ණයට මුදල් ගෙන සේවකයාට ආධාරය ලබා දුන් දේශපාලකයා සේවකයාගේ ඡන්දය සොරාගෙන තමන්ගේ අනාගතය සරු කරගන්නා අතර රටටම ලැබෙමින් තිබූ විදේශ විනිමයට හෙනහුරා ලැබීම නොතකයි.

:       0       7

Cisco Wednesday, 07 December 2022 02:42 PM

උදාහරන ලෙස IOLC සහ චීන සමාගම් බොහොමයක් එම රටවල රාජ්‍ය ව්‍යවසායන්. ඒවා ලාභ උපයන හැටි ලංකාවේද උදාහරන ඇත. හරි පුද්ගලයන් එහි කළමණාකාරිත්වයට පත්කර දූෂණ වංචා වලට අවංකව වැට බැන්දනම් ලාභ ලබනු ඇත. ලංකාවේ හැම ආයතනයකටම ප්‍රධානියා ලෙස පත් කරන්නේ එක්කෝ පැරදුනු දේශපාලුවෙක් නැත්නම් හෙංචයියෙක්. ඒ මිනිස්සු ව්‍යාපාර ගැන මෙලෝ හසරක් දන්නෙ නැහැ. ඉතින් පාඩුයි කිව්වම හරිද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 440 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මැතිවරණ ප්‍රතිඵල පුරසාරම්
2025 මැයි මස 10 351 0

ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.


පළාත් පාලන ආයතන අනාගතය
2025 මැයි මස 09 168 1

පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා


අරගලය ඉතිරි කළ වෙනස
2025 මැයි මස 09 361 0

අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව


ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 532 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 1162 2

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1237 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1515 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 394 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site