IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හසළ බස හා කසළ බස

වචනයේ විශ්ව ව්‍යාපී ශක්තියත් විශ්ව ජන පරිකල්පනය, චින්තනය හා අධ්‍යාත්මය කෙරෙහි ඉන් වන බලපෑමත් අත්‍යන්ත නිර්මාණාත්මකව ප්‍රකාශ වන ප්‍රබල කාව්‍ය රචනයක් ඇත. එය වූ කලී 1398 මහා භාරතයේ ජනිත විශ්ව විශ්‍රැත මහාකවි කබීර්තුමා විසින් විරචිත කෘතියකි. ඔහු සුෆී දර්ශනය පාදක කොටගෙන නිර්මාණකරණයෙහි නිරත වූ​වෙකි. මුල් අරාබි  කාව්‍ය රචනයේ ඉංග්‍රීසි පරිවර්තනයයි මේ. වචනයේ මහිමය අරබයා එමගින් කෙරෙන ප්‍රකාශනයෙහි ප්‍රබලත්වය බලත්වා.
 
''Find the word know the word
you are nothing but rhe word
word is sky, word is hell,
word is in the cell and in the cosmos,
word dwells in speech, word dwells in        hearing
words fancy and build the image

එය මෙසේ නගම් හෙළයට
‘සොයනු මැන වචනය - දැන ගනු මැනවි වචනය,
ඔබම මිස අනිකක් නොවේ වචනය

ආකාසයයි වචනය - පාතාලයයි වචනය
කුටිය තුළ වචනය - විශ්වය තුළ ද වචනය
බසෙහි ඇත වචනය - සවනත තුළ ද වචනය
කල්පනා රූ මවයි වචනය’
සියල්ලම උපත ලද්දේ වචනයෙන් බව කබීර් කවීන්ද්‍රයෝ උත්කර්ෂයෙන් ප්‍රකාශ කරති.

''O wise men, realise the word,
The word from which everything was born get at it,
The word is the guru, The word is the deeiple,
rarely does one know it''

එයද හෙළයට නඟා දක්වම්,
‘‘වටහා ගනු මැනවි නැණැති මිනිසුනි, වචනය
අල්ලා ගනු මැනවි සියලු දෑ බිහි කළ වචනය
වචනය වේය ගුරු-වචනයම වේ සිසු,
එබැව් දන්නෝ දුලබය.

කබීර් කවීන්ද්‍රයාණන්ගේ කාව්‍යයෙන් මහත් සේ ආභාසය හා ආවේශය ලද්දෙකි. වංග මහා කවි රබීන්ද්‍රනාථ ඨාකූර් තුමෝ, ඔහුගේ කාව්‍ය රචනා මගින් ද වචනයේ දීප්තිය මනා කොට උද්දීප්ත වෙයි. ඔහුටම ආවේණික වචන මහිමය ප්‍රබල ලෙස ප්‍රකට වෙයි.

චීන දාර්ශනික කොන්ෆියුසියස් (551-479) තුමාගේ එම නමේ අරුත ‘කොං නමැති ආචාර්යවරයා’ යනුයි. ප්‍රායෝගික ආචාර ධර්මයන්හි වැදගත් කම අරබයා එතුමන් ප්‍රකාශ කළ අදහස් ඒකරාශි කළ ස්වකීය ශිෂ්‍යයෝ උද්ධෘත සංග්‍රහයක්  (Analects) කළහ. කොන්ෆියුසියානු දර්ශනය බිහි වූයේ එය පාදක කරගෙනය. ‘අපිරිසිදු බස අසංවරයට මුල වෙයි’ යනු කොන්ෆියුසියස් තුමාගේ සුප්‍රකට ප්‍රකාශකයකි.

වචනයේ උතුම්කම ගැන බුදුන් වහන්සේ විසින් දේශිත ගාථා ධර්මයක් ධම්මපද කෘතියෙහි සහස්ස වග්ගයෙහි එයි.

‘සහස්සමපි චේ වාචා
අනත්ථ පද සංහිතා
ඒතං අත්ථ පදං සෙය්‍යෝ
යං සුත්වා උපසම්මති’
එහි අරුත මෙසේය.

‘අවැඩ සිදු කරන වචන දාහක් වුව ද උතුම් නැත. මිනිසාට සංයමය ඇති කරන එක වචනය ද උතුම්ය’

වචන භාවිතයේ අලංකාරයත් එහිම අසංවරයත් මගේ පාඨමාලාවේ ශිෂ්‍යයන්ට ඒත්තු ගන්වනු පිණිස කලකට පෙර මම ආදර්ශ සටහනක් සකස් කළෙමි. වචන භාවිතයේ අලංකාර අසංවර භේදය සංසන්දනාත්මකව නිරූපණය කරන එම ආදර්ශ පාඨ සටහන එදාට වඩා අදට අතිශය අර්ථවත් වෙතියි උදක්ම විශ්වාස කරමි.

මුලින්ම සඳහන් වන අලංකාර ගද්‍ය පාඨය ම විසින් මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ‘මළවුන්ගේ අවුරුදු දා’ නවකතාවෙන් උපුටා ගන්නා ලද්දකි. ඊට අයත් රමණීය භාෂා භාවිතය වෙනස් කිරීමට ම විසින් සම්පාදනය කොට ගන්නා  ලද සෙසු බස් වහර එම මුල් පාඨය සමග සසඳමින් කියවන ඔබ භාෂාවට සංවේදී සහෘදයෙක් නම් සනාතන සත්‍යයක් වන එක් ආප්ත වාක්‍යයක්, ඔබට ප්‍රබල ලෙස ප්‍රත්‍යක්ෂ වනු ඒකාන්තය. මේ ඒ ආප්ත වාක්‍යයයි.

''Meanings are in people, not in words'' (තේරුම් ඇත්තේ මිනිසා තුළ මිස වචන තුළ නොවේ) මෙහි ගැඹුරු අදහස කුමක් ද? ‘භාෂා භ්‍රෂ්ටයාට අශිෂ්ට භාෂාව විශිෂ්ටය, භාෂා ශ්‍රේෂ්ඨයාට අශිෂ්ට භාෂාව ප්‍රදුෂ්ටය’
විපරීත භාෂා භාවිතය පිළිබිඹු කරන කැටපතක් වැනි මගේ අර ආදර්ශ භාෂා සටහන සාවධානව කියවන ලෙස දැන් මම ඔබට ආදරයෙන් ආරාධනය කරමි.

‘එදා රාත්‍රියෙහි රුප්පාවල හිඳගෙන ගී ගයමින් රමණය කළ නුවරුන් අතර ප්‍රීති ප්‍රමෝද්‍යයෙන් විසඥ වූ කලක් මෙන් නිහඬව ඔහු සමග සක්මන් කරමින් හුන් වේලෙහි අප දෙදෙනා සුපින ලොවක සැරිසරන්නවුන් සේ පෙනුණ ද මතු මත්තෙහි කුමක් වෙතත් යොවුන් වියෙහි මේ සේ සා ආස්වාද විඳින්ට ලැබීම මහත් භාග්‍යයක් යැයි මම කල්පනා කළෙමි.

(මළවුන්ගේ  අවුරුදුදා 1974 ජූනි - 65 පිටුව)
‘එදා රෑ ගස් යට ඉඳගෙන සින්දු කිය කියා රස වින්ද නගරේ මිනිස්සු අස්සෙ, සතුටෙන් මත්වෙලා වගේ, කතාවක් බහක් නැතුව ඔහුත් එක්ක ඇවිද ඇවිද උන්නු වෙලාවෙ, අපි දෙන්න සිහින ලෝකෙක ඇවිද ඇවිද ඉන්නව වගේ පෙනුණත් ඉස්සරහට මොනව උණත් තරුණ කාලෙ මට මේ විදියෙ රසයක් විඳින්න ලැබිච්ච එක ලොකු වාසනාවක්ය කියල මං කල්පනා කළා.

‘එදා රෑ ගස්යට ඉඳන් සින්දු ගගහ ආතල් එකේ හිටපු ටවුමෙ ජොලි පොරවල් ඉන්න තැන්වලින් රිංගල නියම සොමියෙ සද්දයක් බද්දයක් නැතුව අපේ පොරත් එක්ක ගාට ගාට යන වෙලාවෙ හරියට අපි දෙන්න දිවිය ලෝකෙ කරක් ගහනව වගේ පෙනුණත් හෙට මොන නස්පැත්තියක් වෙලා ගියත් මේ ජොලි වයසෙ මට මේ විදියට සොමියෙ ඉන්න ලැබිච්ච එක කොච්චර වාසනාවක් ද කියලා මං කල්පනා කළා’.

‘එදා නයිට් ටයිම් එකේ ට්‍රීස් යට ඉඳගෙන සින්ග් කර කර එන්ජෝයි කරපු ටවුන් එකේ මෑන්ස්ල පාස් කරගෙන ෆුල් හැපි මූඩ් එකේ ෆුලී සයිලන්ස් පිට බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක වෝක් කර කර හිටපු ටයිම් එකේ අපි දෙන්න ඩ්‍රීම් වර්ල්ඩ් එකක වෝර්ක් එකක් දානව වගේ පෙනුණත් ෆියුචර් රිසල්ට්ස් මොනව වුණත් මේ යන්ග් ඒජ් එකේ මේ විදියට එන්ජෝයි කරන්න ලැබිච්ච මං කොච්චර ලකී ද කියල මට හිතුණා’

(***)



අදහස් (3)

හසළ බස හා කසළ බස

Royfedricks Wednesday, 18 August 2021 03:18 PM

විශ්ව විද්‍යාලයක සේවය කළ ඇතැමුන් ව්‍යාකරණ නොදනී. ඔහුගේ ගෝලයෝ පාසල්වල උගන්වති.

:       0       0

RaveendraThursday, 19 August 2021 09:37 AM

ඔබගේ අදහස් නිවැරදිය. එපමණක්ද නොව එක එක ජරා නාලිකා සමග සේවය කරන නිවේදක නිවෙදිකාවන්ගේ භාෂා ඥාණය මෙන්ම මධ්‍යයේ කෙල පැමිණි යයි තමන්ම වියන්ගයෙන් කියාගන්නා සමහරක් මාධ්‍යවේදීන් .

:       0       0

රවි Thursday, 19 August 2021 04:48 PM

ස්තූතියි. හඩු බසින් පාඨකයාගේ නැණ මන වනසන කිහිප දෙනෙකුවත් නිවැරැදි කරන්නට ඔබට පිළිවන් වුණොත් මහ පිනක්....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31133 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13262 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10952 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 50 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 883 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 265 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site