වෙසක් සඳ මෝදු වෙමින් තිබේ. ඒ සඳ සිසිලෙන් නැහැවුණු ගාලූ පාරේ, කටුබැද්ද, අඟුලාන මංසන්ධියේ ශ්‍රී ලංගම රියදුරු පාසල් භූමියේ බුදු තෙමඟුල සමරණු වස් අපූර්ව නිර්මාණයක් ලහි ලහියේ සූදානම් වෙයි. 1970 දශකයෙන් මෙපිටට ලංකාවේ නන් දෙසින්, නරඹන්නට පැමිණෙන ලක්‍ෂ සංඛ්‍යාත බෞද්ධයන්ගේ සිත් සතන් බුද්ධාලම්බන ප‍්‍රීතියෙන් පුරවාලූ එම නිර්මාණය බොහෝ දෙනෙකු හැදින්වූයේ ‘‘රත්මලානේ යෝධ පහන් කූඩුව’’ නමිනි. එහි නිර්මාතෘවරයා කලාභූෂණ සම්මානලාභී ගුණසේන කුරුකුළසූරිය මහතාය. මෙවරත් 42 වැනි වරටත් ඉදිකරනු ලබන එම දර්ශණීය යෝධ පහන් කූඩුව පිළිබඳව අකුරු කරනුවත් අපි එහි යන විටත් ඔහුට නිබඳ සහාය වන තවත් 20 ක පමණ ගෝල පරපුරක් සමග එම දැවැන්ත නිර්මාණය ඉදිකරමින් සිිටින අතරතුර මොහොතකට ඒගැන දැනුවත් කරන්නට ඔහු ඒ කටයුත්තෙන් නිදහස් විය.

‘‘සෑම වර්ෂයකම මා අතින් නිමවන මෙම දැවැන්ත නිර්මාණය දැක බලා ගන්නට කොළඹ, නුවර, ගාල්ල, මාතර, බදුල්ල, බණ්ඩාරවෙල, කුරුණෑගල, අනුරාධපුර, පොළොන්නරුව ආදී රටේ හතර දික්භාගයෙන්ම සැදැහැවත් බෞද්ධයන් පැමිණුනා, මට වයස අවුරුදු 12ක් තරම් වන පුංචි වයසක රත්මලාන මගේ නිවසේ ඉදිකළ තාක්‍ෂණයෙන් පරිපූර්ණ වූ ඒ නිර්මාණයට සිදුවූ ඛේදවාචකයෙන් ඉගෙනගත් පාඩමක ප‍්‍රතිඵලයක් විදියට දිනෙක ලංකාවේ විශාලතම අපූර්වතම කූඩුවක් ඉදිකරනවාය යන පන්නරය ජය අරගෙන පුරා වසර 42ක් මේ රටේ සැදැහැවත් බෞද්ධයන් පින වූ නිර්මාණයක් තමයි මේ යෝධ පහන් කූඩුව. 70 දශකයේ තිබුනේ මුද්‍රිත මාධ්‍ය පමණයි. නමුත් මා අද ඉන්න තැනට ගේන්න ඉන් පස්සෙ බිහිවුණු මුද්‍රිත හා විද්්‍යුත් මාධ්‍ය මට විශාල ශක්තියක් වුණා. ඒ වගේම එදා ඉදන් මේ රට පාලනය කළ සියලූ දේශපාලන ප‍්‍රභූවරුන් දේශපාලන භේදයකින් තොරව මට මේ ගමනට උදව් කළා.

‘‘මේ කූඩුව රත්මලානේ පටන් අරන්, බොරැුල්ල කැම්බල් පිටිය, රත්නපුර රෝහල් භූමිය, සීදුව හා බෙල්ලන්විල ආදී ප‍්‍රදේශ වල ඉදිකළා. මුල් කාලයේ කූඩුව ආවරණය කර ඇති ආවරණ සැකිල්ලට අවශ්‍ය යකඩ මට ලබා දුන්නේ මර්වින් ජේ.කුරේ කියන දේශපාලනඥයා. ඔහු නැරඹූ එම කූඩුවේ ආවරණ සැකිල්ල එදා ඉදිකර තිබුණේ උණ කණුවලින්. ඉන් පස්සෙ සීදුවේ මේ කූඩුව ඉදිකරද්දී නැසීගිය ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ මහතා විශාල සහයෝගයක් දුන්නා. ඔහු බෞද්ධයෙකු නොවුනත්, අද වන විට අප අතරින් වියෝ නොවුණා නම් මගේ මේ කූඩුව හැමදාමත් සීදුවෙන් මෙපිටට ගෙන ඒන්නට මට නොහැකි වන තරමට ඔහු මේ කූඩුවට වශී වී සිටියා.’’

කෙසඟ සිරුරකින් හෙබි කුලකුළසූරිය කලා කරුවානන්ගේ ක‍්‍රියාකාරිත්වය, ඉවසිලිමත් බව හා සංයමය ඉතා පැසසිය යුතුයි. එසේ නොවන්නට අඩි 60ක් පමණ උසින් යුත්, පරිවාර කූඩු සිය ගණනකින් යුත්, අනුරපුර, සීගිරි, පොළොන්නරු යුගවලට අයත් කලා සම්ප‍්‍රදායන් රකිමින් කළ සියුම් කැටයම් වලින් ඔපවත් වූ මෙවන් සුවිශේෂ නිර්මාණයක් කිරීම සිහිනයක්ය. විදුලි බුබුලූ 12000කින් විචිත‍්‍රණය වූ මෙම කූඩුවෙන් වසරක් පාසා ඉදිරිපත් වන්නේ බහුතරයක් අතින් නිර්මාණයවන ජාතක කතා වස්තුවකට වඩා එදිනෙදා සමාජයේ ජනතාව අත් විදින විවිධ ඛේදාන්තයන්ට පණිවුඩයක් ගෙනෙන නිර්මාණයක් සේම එම සමාජ යථාර්ථයන්ට යම් උදව්වක් සැලසෙන සමාජ ශෝධන කතාවස්තුවක්ය. ඒ වෙනුවෙන් වසර 30ක් පුරා මේ සියලූ කටයුතු වල අනුශාසකවරයකු ලෙස කටයුතු කරන රන්දොඹේ ධම්මිස්සර තිස්ස හිිමියන්ගෙන් ලැබෙන ශක්තිය අතිමහත්ය. යකඩ කඳන්, ලී දඬු හා කඩදාසි ඇතුළු විවිධ දේ හරහා නිර්මණය වන මෙම දර්ශනීය කූඩුව වෙනුවෙන් යොදාගත් යකඩ හැරෙන්නට ඉන් පරිබාහිර කිසිඳු දෙයක් ඊළඟ නිර්මාණයට ඔහු දායක කරගනු ලබන්නේ නැත. ඊට අමතරව මේ නිර්මාණයෙන් ලැබෙන ආදායමින් බහුතරයක් සමාජයේ අබාධිත, අසරණ පාර්ශවයන් නඩත්තු කරන්නට යෙදවීම ඉතාම පැසසුම් කටයුතුය. දින 10 පමණ කාලයක් පුරා පැවැත්වෙන මෙම කූඩු රාජයා නරඹන බොහෝ දෙනෙකුගේ මුවින් පිටවන ප‍්‍රසංශාත්මක වදන්වල ශක්තියෙන් ඔහු ‘70 දශකයේ සිට මේ දක්වා කිසිඳු ලෙඩ රෝගයකට ගොදුරුනොවී කිසිදු ඖෂධ පෙත්තක් පානය නොකරන්නට තරම් නිරෝගී හා ශක්තිමත් බව ඔහු ජීවිතයේ ලැබූ සොදුරු භාග්‍යයකි.

‘‘මගේ මේ නිර්මාණ මේ දේශයේ වගේම ජාත්‍යන්තරයෙත් ගෞරවයට පාත‍්‍ර වුණා. 2004 සිංගප්පූරුවේ මා ඉදිකළ මගේ නිර්මාණයට ලැබුණු ප‍්‍රතිචාර ඉතා ඉහළයි. ඔවුන්ට එහි ක‍්‍රියාකාරිත්වය හිතාගන්නට පවා බැරිවුණා. මම සතුටු වෙන්නේ හැම වසරකම මගේ මේ යෝධ පහන් කූඩුව, හින්දු, මුස්ලිම්, කතෝලික ඇතුළු විවිධ ආගමික භක්තිකයින්ද නැරඹුවා, ඔවුන් හැමකෙනෙක්ම මට හැම වසරකම හදවතින්ම සුභ පැතුවා. අද වන විට යුද්ධය අවසන් වෙලා. ඒ නිසා මේ වසරේ උතුරු නැගෙනහිර ජනතාව වගේම මේ රටේ විවිධ පළාත් වල ජනතාව බයෙන් සැකෙන් තොරව නිදහසේ මගේ නිර්මාණය රසවිඳියි කියා මම හිතෙනවා. ඒ වට පිටාව රටේ ඇතිකළ වත්මන් ජනාධිපතිතුමාටත් මම මගේ ප‍්‍රසාදය පුද කරනවා. මට කලා භූෂණ සම්මානය දුන් සංස්කෘතික ඇමැතිතුමාටත්  මම ගෞරව කරනවා.

මම හැම වසරකම වෙසක් උත්සවය වෙනුවෙන් මේ  නිර්මාණය ඉදිරිපත් කරළා. අවසන් වුණාම එය ගලවලා නැවතත් ඊළඟ වසරේ ජනවාරි මාසයේ ඉඳලා ඊළඟ නිර්මාණයට සූදානම් වෙනවා. මේ නිර්මාණය වෙනුවෙන් මහන්සිවෙලා මාස 6ක පමණ කාලය ඇතුළත මට හරියට නින්දක්, කැමක්, නෑමක් නැහැ. නමුත් නිර්මාණය අවසන් කර ජනතාව එය නැරඹීමෙන් මා ලබන තෘප්තිය මිල කරන්න බැහැ. කුඩා දරුවන්ගේ ඉඳන් මහල්ලා දක්වා මේ නිර්මාණය නරඹනවා. සමහර දෙමව්පියන් තමන්ගේ පුංචි දරුවන් මේ නිර්මාණය බලලා එතැනින් ඉවත් කරද්දී ඔවුන් කෑමොර දෙනවා. මම එයින් අහිංසක සතුටක් විඳිනවා. මා මේ නිර්මාණයට මහන්සි වන්නේ මුදල් සොයන පරමාර්ථයට වඩා මේ රටේ බෞද්ධයන්ගේ සිත් සතන් සුවපත් කරන්න. ඔවුන්ගේ ඒ මනසට පණිවුඩයක් දෙන්න. අද රටේ පුවත් පතක් පෙරලූවාම අම්මලා දුවලා තාත්තලා හා පවුල් සංස්ථාව අතර ඇතිවන ගැටුම් පුදුමාකාරයි. මෙවර මගේ කූඩුවේ තේමාවත් ඒ ගැටුම් වලට අපි කුමක් කළ යුතුද යන පණිවුඩයයි. මේ සියලූ කටයුතු වලට ශක්තිය දුන් විශාල පිරිසක් ඉන්නවා. බෙල්ලන්විල විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේ, මාහාමර්ග නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා, ජනාධිපති මාධ්‍ය ඒකකයේ ඞී.ඇම් බණ්ඩාර මහතා, ස්වර්ණවාහිනී ප‍්‍රවෘත්ති අංශයේ විධායක නිෂ්පාදක අනුර ප‍්‍රියදර්ශන මහතා, මගේ මේ කටයුත්තේදී බොහෝ කාලයක් විදුලි කාර්මික ශිල්පියෙකු ලෙස මට දායකත්වය දුන් පියාගේ අඩිපාරේ යමින් අදත් මෙම කූඩුවේ විශාල කර්තව්‍යයක් ඉටු කරන විදුලි ශිල්පී සුමින්ද ඉන්දික මහතා හා මේ නිර්මාණයට ඉතා කැමැත්තෙන් මාධ්‍ය ප‍්‍රචාරය ලබා දෙන සියලූම මුද්‍රිත මාධ්‍ය හා විද්්‍යුත් මාධය වලට මගේ ගෞරවණීය ස්තුතිය පිරිනැමෙනවා. කූඩුව මෙම මස 24 වැනිදා සිට දින 10ක් මහජන ප‍්‍රදර්ශනයට විවෘත වෙනවා.”
කළුවර ගිලගනිමින් තිබෙන එම නිර්මාණ භූමියේ ඒ සොඳුරු කලාකරුවාගෙන් සමුගන්නට පෙරාතුව ඔහුගේ අවසන් බලාපොරොත්තුව පිිළිබඳ මම විමසුවෙමි . ඔහුගෙන් ලැබුණේ අපූර්ව පිළිතුරකි.

 

රත්මලානේ යෝධ  පහන් කූඩුව නිර්මාතෘ ගුණදාස කුරුකුලසූරිය

 

‘‘දැන් මම බොහෝ කාලයක් මේ නිර්මාණය ජනතාව අතරට ගෙනාවා. නමුත් මගෙන් පස්සෙ මා වගේම දක්‍ෂතා තියෙන දරුවන් මේ රටේ ඉන්න පුළුවන්. එහෙම කියන්නේ මම මේ කටයුත්ත පටන් ගත්තේ වයස අවුරුදු 12 දී. ඉතින් මොරටුව වේල්ස් කුමර පිරිමි විදුහලේ විදුහල්පතිවරයා මගෙන් අපූර්ව ඉල්ලීමක් කළා. ඔහු කීවේ ඔබ වැනි දක්‍ෂතා තියෙන මගේ පාසලේ වගේම දිවයිනේ වෙනත් පාසල් වලත් මේ වගේ කටයුතු වලට දක්‍ෂතා තිබෙන දරුවන්ට කරන්න පුළුවන් කුමක්ද යන්නයි. මම පැහැදිලිව ඔහුට කීවා මගෙන් පස්සෙ මෙවැනි දේ මේ රටේ ජනතාව අතරට ගෙනියන්න දක්‍ෂතා තිබෙන දරුවෝ සූදානම් නම් ඊට ඒ දරුවන්ට ශිල්පය දෙන්න  මම සූදානම් කියලයි. ඒ වගේම මේ රටේ  ඕනෑම ප‍්‍රදේශයක පාසල් දරුවෙක් මේ වගේ දේට කැමතිනම් මාත් එක්ක එකතු වෙලා මම කරන මේ වැඩවලට දායක වෙලා මගෙන් යමක් ලබා ගන්න. මගෙන් පසුව මේ රටේ බෞද්ධයන්ගේ සිත්වල මම ඇති කළ ඒ සැඳහැවත් හැගීම ඒ සිත්වල නැවත වපුරන්න.”

සැබැවින්ම ඔහු කොතරම් නිවැරදිද? කොතරම් පිරිසිදුද. බුදුන් පය තැබූ මේ බිමේ බෞද්ධාගමිකයන්ගේ සිත් සතන් පහන් කරන්නට කුරුකුලසූරිය කලාකරුවානන් ගන්නා අප‍්‍රතිහත ධෛර්යයට අපි ආශිර්වාද කරමු.

 

සටහන : දුෂ්‍යන්ත කුමාර