කොළඹ වීදි කළඑළි කරමින් ගංගාරාමයේ නවම් මහා පෙරහර හෙට දවසේදී වීදි බසින්නට සියල්ල සූදානම්ය. ගිමන් හරින්නට ඉසිඹුවක් සොයාගත නොහැකි තරමට ගංගාරාම පුදබිමේ යතිවරයාණන් වහන්සේලා ඇතුළු සියලූ දෙනාම කාර්ය බහුල වී ඇත්තේ අංශූ මාත‍්‍රයක්වත් අඩුවක් නැතුව පෙරහර පැවැත්වීමේ භාරදූර වගකීම ඒ සියලූ දෙනාගේම දෙවුර මත අඩු-වැඩි වශයෙන් පැටවී ඇති හෙයිනි. ඒ කලබලකාරිත්වය දකින්නට නොලැබෙන්නේ ගංගාරාමය සෙවනේ සුවෙන් සැපෙන් ඇති දැඩි වෙන පුංචි ඇතින්නිය ගංගාටත් සැමගේම සුරතලූන් වූ බලූ රංචුවටත් පමණකැයි මොහොතකට මට සිතුණි. ”ඉතින් අවසරයි අපේ පොඩි හාමුදුරුවනේ.” ගංගාරාමයේ පිවිසුම් ද්වාරය අබියස හිඳගෙන වචනයක් හෝ කතා කරන්නට ඉස්පාසුවක් නැතිනම් මුව පුරා හිතවත් කමින් හිනාවෙන ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ ආශිර්වාදයත් රැගෙන අපි ගංගාරාම පන්සල් භූමියට පිවිසුනෙමු. ඉකුත් සතියේ කොළඹ නවම් මහා පෙරහරේ ඉතිහාසය පිළිබඳව කතා කළ අප මේ සතියේ කතා කරන්නේ නවම් මහා පෙරහරේ පෙළගැස්ම පිළිබඳවය. අංග 160කින් සමන්විත කොළඹ නවම් මහා පෙරහරේ අංග 130කට ආසන්න සංඛ්‍යාවක් ඉතා සුවිශේෂි කොට සලකයි. පෙරහර මාවතේ පෙළ ගැසී ගමන් අරඹන කොළඹ නවම් මහා පෙරහර ජේම්ස් පීරිස් මාවත, ජිනරතන පාර, ලේක් චන්ද්‍රවංකය, නැවත ජිනරතන පාර, ජේම්ස් පීරිස් මාවත, නවම් මාවත, උත්තරානන්ද මාවත, පෙරහර මාවත, ජෙම්ස් පීරිස් මාවත, ජිනරතන පාර ඔස්සේ ගංගාරාම විහාරස්ථානයට ගොඩ වදින්නට නියමිතය. මෙවර පැවැත්වෙන්නේ 33 වැනි කොළඹ නවම් මහා පෙරහරයි. එතැනදී කිවයුතු සුවිශේෂි යැයි හැඟේන කාරණාවක්ද තිබේ. එනම් මේ 33 වසර පුරාවටම අඛණ්ඩව ගංගාරාමයේ නවම් මහා පෙරහර බලන්නට පැමිණි විදේශිකයන් සිටීමයි. සංස්කෘතික කලා අංග රැසකත්, ප‍්‍රසංශනීය ස්වයං විනයකත්, මහා සංවිධාන ශක්තියකත්, අපූර්වතම නාට්‍ය වින්‍යාසයකින් යුතු සෞන්දර්යාත්මක පෙළහරකත් ප‍්‍රතිබිම්බයත් බඳුවූ කොළඹ නවම් මහා පෙරහර ආරම්භයට පෙර සත් දිනක් මුළුල්ලේ මල් පෙරහර පවත්වයි. සරල ලෙස කිවහොත් මල් පෙරහර යනු තෙල් මල් ආදිය රැගෙන ධාතු කරඬුවද වඩමවමින් පවත්වන පෙරහරයි. ඉකුත් 30 වැනිදා අරැඹි මල් පෙරහරේ අවසන් දිනය වන්නේ පස් වැනිදා වූ අද දිනයයි. මල් පෙරහර පැවැත්වීම ගංගාරාමයේ නවම් මහා පෙරහරට පූර්ව ආශිර්වාදයක් කොට සලකයි. ගංගාරාමයේ පෙරහර පිළිබඳව කතා කරද්දී ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් යන ප‍්‍රතාපවත් චරිතය ගැන මෙන්ම පෙරහරේ සංවිධාන කටයුතුවලට සහාය දෙමින් උපරිම කැපවීමකින් කටයුතු කරන ජිනරතන කාර්මික විද්‍යාලයේ සිසු පිරිස පිළිබඳවද වචනයක් කතා නොකළොත් එය අඩුවක් යැයි සිතේ. පෙරහර ආරම්භයට පෙර උදෑසන සැරසූ රථයක නැගී ගමන් කරන යතිවරයාණන් වහන්සේලා වැලි සමඟ මිශ‍්‍ර කළ කාසිත්, පිරිත් වතුරත් මුළු පෙරහර මාර්ගයම ආවරණය වනසේ ඉසිනු ලැබේ. පෙරහර ආරම්භ වන්නේ 6 වැනිදා සවස 7.00ට පමණය. අතීතයේදී කොළඹ නවම් මහා පෙරහරේ නැටුම් සඳහා සහභාගි වූයේ පුරුෂ පක්‍ෂය පමණි. පසුකාලීනව එම සම්ප‍්‍රදාය වෙනස් වී ගිය අතර පසුගිය වසරේ දෙමළ, මුස්ලිම් ආදී ජන කොටස් නියෝජනය කරමින් ද නර්තන කණ්ඩායම් මෙම පෙරහරට සහභාගි වූහ. මෙවර කොළඹ නවම් මහා පෙරහරට අලි ඇතුන් 60කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි කරවා ගන්නට නියමිතය. සවස 3.30 වෙද්දී අලංකාර සැරසිලි සහිත වස්ත‍්‍ර අලි ඇතුන්ට ඇන්දවීම ආරම්භ කරයි. කොළඹ ගංගාරාමය සතු සජීවි සම්පතක් වන ගංගා ඇතින්න මෙවරද කොළඹ නවම් මහා පෙරහරේ ගමන් කරන්නට නියමිතය. කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ ලැගුම් ගන්නා අලි ඇතුන් පෙරහරට සූදානම් වීම සඳහා පෙළ ගැසී ගංගාරාම පුද බිමට පැමිණෙයි. කෑමෙන් බීමෙන්  සප්පායම් වෙන උන් ඊළඟට තම රාජකාරිය සඳහා සූදානම් කෙරේ. ධාතුන් වහන්සේ වඩම්මවන්නට සුදුසු කීකරු උස තේජස් පෙනුම සහිත ඇතු තෝරා ගන්නේ පැමිණෙන අලි ඇතුන් නිරීක්‍ෂණයකොට බලාය. ඇත් ගොව්වන්ටද සරමක් කමිසයක් ඇතුළු තමන්ට වුවමනා කළමනා තෑගි ලෙස ලැබෙයි. එමෙන්ම පෙරහර ආරම්භයට පෙර සීමා මාලකයේ වැඩ හිඳුවා ඇති ධාතුන් වහන්සේ සහිත කරඬුව බෝධීන් වහන්සේගේ ළඟට වඩම්මවනු ලැබේ. එහි සිටින සියලූ පිරිස පංචශීලයෙහි සමාදන් කර ප‍්‍රධාන ආරාධිතයාට පිළිගැනීමේ කතාවක් ලබාදේ. මෙවර කොළඹ නවම් මහා පෙරහැරේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාය. රටේ ජන නායකයා මෙන්ම විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාද මෙම අවස්ථාවට ඇරියුම් ලැබීම වැදගත් සිද්ධියකි. ධාතුන් වහන්සේ තැන්පත් කළ කරඬුව ඇතු පිට තැන්පත් කරන්නේද ප‍්‍රධාන ආරාධිතයා විසිනි. පෙරහරේ ආරම්භක වෙඩිල්ල පත්තු කරන්නේ මෙම ධාතු කරඬුව ඇතු පිට තැන්පත් කිරීමත් සමඟමය. මෙම පෙරහරේ මුලින්ම ගමන් කරන්නේ පොලිස් පෙර ගමන් රථයක් වීමද තවත් විශේෂත්වයකි. එය මහා සන්නිවේදන උපක‍්‍රමයක් ලෙසද ප‍්‍රයෝජනවත් වේ. උත්සව අවස්ථාවලදී අඳින පොලිස් නිල ඇඳුමෙන් සැරසී පොලිස් නිලධාරීන් මෙහි ගමන් කරයි. මගදී අවහිරයක් ගැටලූවක් වෙත්නම් පන්සල් භූමියේ සිටින පොලිස් නිලධාරීන්ට ඔවුන් තම පණිවිඩ හුවමාරු යන්ත‍්‍ර මගින් ඒ බව දැනුම් දෙන අතර බාධාවකින් තොරව පෙරහර පැවැත්වීමට මෙම පෙර ගමන් රථයේ ගමන උදවුවක් වෙයි. කස කාරයන්, ප‍්‍රාර්ථනා රථය, බෞද්ධ කොඩි, ජාතික කොඩි, පළාත් කොඩි, විලක්කු ඊළඟට පෙරහරේ ගමන් කරයි. නවම් මහා පෙරහර යන නාම පුවරව රැගත් පිරිස ගමන් කරන්නේ ඉන් අනතුරුවය. ඊළඟට හේවිසි කණ්ඩායමත්, බෞද්ධ කොඩි රැගත් කණ්ඩායමත් නැවත හේවිසි මේ ආදී වශයෙන් කොඩි කණ්ඩායම් කීපය පිළිවෙළින් ගමන්කරයි. පෙරහරේ පණිවිඩය රැගත් පෙරමුණෙ රාළ පුස්කොළ පොතක් රැගෙන ගමන් කරයි. අලින්ට නායකයා වූ ගජනායක නිලමේ ඉන් අනතුරුව ඇතා පිට නැගී ගමනේ යෙදෙයි. අලින්ගේ සීමාව අවසානය සටහන්  වෙන්නේ කරඬුව වඩම්මවන ඇතාගෙනි. උඩරට, පහතරට, සබරගමු ආදී නර්තන සම්ප‍්‍රදායන් සියල්ලේ සුසංයෝජනයෙන් සංස්කෘතික හැඩතල මවාලන නවම් මහා පෙරහර ආතත, විතත, විත තාතත, ඝණ, සුසිර යන පංචතූර්ය නාදයන් වෙන් වෙන් වශයෙන් ඇසෙන්නට වාදනය කරන අපූරු පිළිවෙතක් අනුගමනය කරයි. එය වින්දනය උදෙසා ලබා දෙන මහඟු ඉඩහසරක් වැන්න. පෙරහරේ දිග තොකෙත්ද යත් බේරේ වැව වටේට පෙළ ගැස්සුවොත් ඒ වට ප‍්‍රමාණයම ආවරණය වෙන තරම් එහි වපසරිය විසල් වෙයි. බෞද්ධ කොඩියේ ෂඞ් වර්ණ වෙන් වෙන් වශයෙන් ගත් කොඩි රැගත් පිරිසක් ගමන් කිරීමද මේ පෙරහරේ දක්නට ලැබෙන තවත් අලංකාරවත් දසුනකි. කොළඹ නවම් මහා පෙරහර සඳහා විශාල මුදලක් වැයවුවත් එහි ඇති සංස්කෘතික හා සෞන්දර්යාත්මක වටිනාකමත්,  එමගින් පෙරහරට සහභාගි වෙන විවිධ කණ්ඩායම්වලට ඇති වෙන ශුභසාධනයත් පිළිබඳව සලකා බලද්දී පෙරහර සතුව ඇත්තේ අමිල වටිනාකමකි. සම්බුදු ගුණ දෙව්ලොවට    ඇසේවා සම්බුදු ගුණයට දෙවියො    වඩිත්වා සම්බුදු ගුණයට ලොව නතු    වේවා සම්බුදු ගුණයෙන් සැනසුම     දේවා සව්සත වෙත බුදු පිහිට    ලැබේවා දෙව් රැක වරණින් සැපත     සැදේවා මවුපියො දූ දරු කැළ සැන     සේවා සව් සිරියෙන් සිරිලක සරු    වේවා මේ ආදී ප‍්‍රාර්ථනා කවි සවන් දහම් රසයෙන් පුරවන්නේ ගංගාරාමයේ නවම් මහා පෙරහරේ දීය. වදනට ගොනු කළ නොහැකි තරමේ තවත් බොහෝ අංග රැසකින් මේ පෙරහර විචිත‍්‍රවත් වෙයි. ලියා තැබීමට වඩා පැමිණ බැලීමම  යෙහෙකැයි සිතේ. මේ මහ පෙරහර මංගල්‍යයෙන් ඉනික්බිති 8 වැනිදා සවස යතිවරයාණන් වහන්සේලාත් දායක පිරිසත් බෝධි පූජාවක් පවත්වා අවසානයේ කතරගම, විෂ්ණු දේවාලය අබියසට ගොස් කරණීය මෙත්ත සූත‍්‍රය සජ්ඣායනා කර දෙවියන්ට පින් අනුමෝදන් කිරීම ආදී කටයුතු සිදුකර පෙරහර සම්බන්ධ සියලූ කටයුතු නිමා කෙරේ.

මගපෙන්වීම - කොළඹ හුණුපිටිය ගංගාරාමවාසී ආචාර්ය පල්ලේගම රතනසාර හිමි

සටහන - සංජීවිකා සමරතුංග
ගංගාරාමාධිපති ආචාර්ය ගල්බොඩ  සිරි ඤාණිස්සර හිමි