සිංහල හා දෙමළ ජන සමාජයේ සහජීවනය ඇති කිරීම සඳහා සාහිත්‍යයෙන් ඉමහත් මෙහෙවරක් සිදු කරමින් සිටින ආචාර්ය, දෙමළ පණ්ඩිත් මඩුළුගිරියේ විජේරත්න මහතා තම නිර්මාණ වෙනුවෙන් අවස්ථා ගණනාවකදී රාජ්‍ය සාහිත්‍ය සම්මානය ඇතුළු විවිධ සම්මානාදියෙන් පිදුම් ලැබූ අයෙකි. ස්වතන්ත්‍ර නිර්මාණ බොහොමයක් ලියා පළ කළ ඔහු සිංහල කෘති දෙමළ බසටත්, දෙමළ කෘති සිංහල බසටත් පරිවර්තනය කරමින් සිංහල දෙමළ ජන සමාජය තුළ අන්‍යොන්‍ය වශයෙන් එම නිර්මාණ ප්‍රචලිත කිරීමට වැඩි දායකත්වයක් දුන් අයෙකි. විජේරත්න මහතාගේ නවතම ස්වතන්ත්‍ර කෘතිය ‘යමරජුගේ රාත්‍රිය’ නමැති කෙටිකතා සංග්‍රහයයි. එය ඔහුගේ අටවැනි කෙටිකතා සංග්‍රහයයි. දශක පහක පමණ පැවැති ශ්‍රී ලාංකික සමාජ යථාර්ථය මේ සංග්‍රහයේ බොහෝ කෙටිකතා තුළින් විනිවිද දැකීමට පාඨකයාට හැකියාව ලැබෙයි. මතු දැක්වෙන්නේ මේ කෘතිය සම්බන්ධව මඩුළුගිරියේ විජේරත්න මහතා සමග අප කළ සංවාදයක සටහනකි.

ඔබේ නවතම කෙටිකතා සංග්‍රහය වන ‘යමරජුගේ රාත්‍රිය’ කෘතියට විවිධ සමාජීය හා පුද්ගල අත්දැකීම් බලපා ඇති බව පෙනෙනවා. මේ අත්දැකීම්වල විශේෂතා සහ ඒ අත්දැකීම් ප්‍රතිනිර්මාණය කිරීමේදී ඔබ ගත් වෙහෙස ගැන මුලින්ම කතා කරමු?
“ශ්‍රී ලාංකික සිංහල කෙටිකතාවේ ප්‍රභවය සිදුවන්නේ වී.ඩී. ද ලැනරෝල් මහතා 1923 දී දිනමිණ පුවත්පතට ලියූ කෙටිකතාවකින් බව මහාචාර්ය කුලතිලක කුමාරසිංහ මහතා පවසනවා. එදා සිට අද වනතුරු වසර 98ක් ගෙවිලා ගිහින්. ශත වර්ෂයකට ආසන්නයි. එදා මෙදාතුර කෙටිකතාකරුවන් රාශියක් බිහි වී සිටිනවා. මේ සෑම කෙටිකතාකරුවකුගේම නිර්මාණ දෙස බැලුවාම පෙනෙන්නේ ඔවුන්ටත් ඒ නිර්මාණ සඳහා බහුලව බලපා තිබෙන්නේ සමාජ අත්දැකීම්.

මම බොහෝ විට පැරැණි බණ කතා සාහිත්‍යය, විදේශීය කෙටිකතා වැඩිපුර පරිශීලනය කරනවා. එසේම පුවත්පත්වලට ආධුනිකයන් ලියන කෙටිකතා කියවා බලනවා. ඇතැම් කෙටිකතා කතන්දර ස්වරූපයේ ඒවා. ඒත් කෙටිකතාව කියන්නේ කතන්දරයක් නොවෙයි. මහාචාර්ය කුලතිලක කුමාරසිංහයන්ගේ අදහසට අනුව නූතන කෙටිකතාවට කතාවක් ඇත්තෙත් නෑ. නැත්තෙත් නෑ. එහෙම බලනකොට ‘යමරජුගේ රාත්‍රිය’ සංග්‍රහයේ කෙටිකතා අවුරුදු දහයක් තිස්සේ ලියූ කතාවලින් තෝරා බේරාගත් ඒවා. එබඳු කතා නවයක් මේ සංග්‍රහයට ඇතුළත්.
මේ අත්දැකීම් සමාජගත කරන විට ඇත්තෙන්ම වෙහෙසක් දරන්න වෙනවා. අනෙක අත්දැකීමක් ලැබුණාට පස්සේ ඒක හිතේ කාලයක් වැඩෙන්න හරින්න ඕනෑ. අත්දැකීමක් ලැබුණ පළියට ලියන්න බෑ. අනෙක වර්ග භේදයකින් තොරව මුළු ලංකාවේම විවිධ මිනිසුන් මට ඇසුරු කරන්න ලැබෙනවා. ඔවුන්ගේ සංස්කෘතීන් ගැන මට අවබෝධයක් තිබෙනවා.
කෙටිකතාවක චරිත ගොඩනැගීම ඉතාම වැදගත් හා සංකීර්ණ කාර්යයක්. ඒ චරිත ඔවුන්ට ආවේණික සමාජයත් එක්ක ක්‍රියා කරන හැටි, හිතන පතන හැටි ගැන කතුවරයාට දැනුමක් තේරුමක් තියෙන්න ඕනෑ. මම ඒ ගැන සැලකිලිමත් වුණා. එහි සාර්ථක අසාර්ථකකම් ගැන විමසීම පාඨකයන්ට සහ විචාරකයන්ට අදාළ කාරණයක්.”

● නූතන කෙටිකතාව පැරැණි ගතානුගතික රටාවෙන් මිදී නව මගකට පැමිණ ඇති බව පෙනෙනවා. අපේ පැරැණි කෙටිකතාව සහ නූතන කෙටිකතාවේ වෙනස්කම් ගැන ඔබ මොකද හිතන්නේ?
“ඒ කාලයේ ලංකාවේ තිබුණ සමාජය නොවෙයි දැන් තියෙන්නේ. එදාට වඩා සමාජය දියුණුයි. සංකීර්ණයි. ඒ නිසාම මේ සමාජ වෙනසත් එක්ක කෙටිකතාවත් වෙනස් වීම ස්වාභාවිකයි. එදා ලැනරෝල් මහතා, මාර්ටින් වික්‍රමසිංහ මහතා, ටී.ජී.ඩබ්ලිව්. ද සිල්වා මහතා, හේමපාල මුනිදාස මහතා, ජී.බී. සේනානායක මහතා, ගුණදාස අමරසේකර මහතා, කේ. ජයතිලක මහතා, මඩවල එස්. රත්නායක මහතා වැනි අය එදා සමාජය හොඳින් ස්පර්ශ කොට ඒ සමාජයට ගැළැපෙන ලෙස කතා ගොඩනැගුවා. ඒවා ගතානුගතිකයි කියන්න බෑ.
ඊට පස්සෙ කාලෙ ඒ.වී. සුරවීර මහතා, ඇරැව්වල නන්දිමිත්‍ර මහතා, ජයතිලක කම්මැල්ලවීර මහතා, ගුණසේන විතාන මහතා, සෝමරත්න බාලසූරිය මහතා, පියසීලි විජේමාන්න මහත්මිය, කීර්ති වැලිසරගේ මහතා වැනි අය ඔවුන් ජීවත්වන සමාජයේ ලක්ෂණ සූක්ෂම ලෙස මතුකරමින් කතා ලිව්වා. දැන් තාක්ෂණය දියුණු වෙලා. ජංගම දුරකතනය හා නොයෙක් තාක්ෂණික මෙවලම් අද බහුලයි. අද කෙටිකතාව මේ තාක්ෂණයට අනුවයි ලියැවෙන්නේ.
මම ලියන්න පටන්ගත්තෙ 1980 සිට. මගේ පළමු කෙටිකතා සංග්‍රහය වුණේ ‘බොල් විනා වියක් නැත’ කතා සංග්‍රහයයි. අද වනවිට මම කෙටිකතා සංග්‍රහ අටක් රචනා කොට තිබෙනවා. එදා සිට මේ දක්වා සමාජයේ සිදු වූ වෙනස්කම් මේ කතා සංග්‍රහ අටට ක්‍රමිකව බලපෑ බවයි මගේ අදහස.”

● ඔබේ කෙටිකතා මෙන්ම වෙනත් බොහෝ නිර්මාණ සිංහල දෙමළ ජනවාර්ගික සමගිය මතු කිරීමට බොහෝ සේ දායක වුණා. ලේඛකයකු හැටියට බොහෝ කාලයක් මේ නිර්මාණවලින් ඔබ ගත් වෙහෙස සමාජගත වී ඒවායින් ප්‍රතිඵල ලැබී ඇතැයි සිතනවා ද?
“ඒක වැදගත් කාරණයක්. 60–70 දශකවල තමයි නූතන දෙමළ සාහිත්‍යය සිංහලට පරිවර්තනය මා අරඹන්නේ. 80 දශකයේ දෙමළ සමාජය ගැන මුලින්ම කෙටිකතා ලිව්වේ ගුණසේන විතාන මහතායි. ඒත් 1930 දී ඇරැඹි දෙමළ කෙටිකතාවේ මා දුටුවා සිංහල සුළු චරිත. ඒවා සම්පූර්ණ චරිත නොවෙයි. ඒත් විතාන මහතා දෙමළ සමාජය ඇසුරු කරලයි ලිව්වේ. ඔහුගේ ‘තෙයියනේ’ කෙටි කතාව ඊට හොඳම උදාහරණයක්. එසේම ඔහුගේ ‘ඉස්දීන් සහෝදරයා’, ‘යාපනයට පාලමක්’ වගේ නිර්මාණ මට මේ වෙලාවේ මතකයට එනවා.
මුලින්ම සිංහල කෙටි කතා දෙමළ බසට නැඟුවේ ‘තොම්පු කනගරත්නම්’ කියන ලේඛකයා. ඔහු ‘සේදුබත්දනම්’ නමින් සිංහල කෙටිකතා අටක් දෙමළ සමාජයට හඳුන්වා දී තිබෙනවා. එය පළවුණේ 1978 වසරේ. ඊට පස්සෙ මා විසින් පරිවර්තනය කරන ලද ‘වලෛ’ කෙටිකතා සංග්‍රහය තුළින් සිංහල කෙටිකතාකරුවන් හත්දෙනෙක් දෙමළ සමාජයට හඳුන්වා දුන්නා.
මේ වෙනකොට දෙමළ බසින් සිංහල බසට පරිවර්තනය කරන්න බොහෝ අය ඉන්නවා. ඒ නිසා ඒ කාලයේ මා ඇරැඹූ පරිවර්තන කාර්යය ගැන දැන් මට සතුටක් තිබෙනවා. මේක සාධනීය ප්‍රතිඵලයක්. ඒත් සෑහීමට පත්වෙන්න බැරි එක කාරණාවක් තියෙනවා. ඒ තමයි, රජය තවමත් මේ ගැන වැඩි උනන්දුවක් නොදැක්වීම. විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන ශිෂ්‍යයකුට දෙමළ ප්‍රශ්න පත්‍රයක් වගේම සිංහල ප්‍රශ්න පත්‍රයක් ලබාදීලා ඒකට ලකුණක් දෙකක් දෙන්න පුළුවන්. එහෙම වුණොත් හැමදෙනාම සිංහල දෙමළ භාෂා සාහිත්‍යය ගැන උනන්දු වෙයි.
අනෙක මා 1996 වසරේ සිටම කියන කතාවක් තමයි ලාංකික දෙමළ සාහිත්‍යයේ කෘතියකට සහ සිංහල සාහිත්‍යයේ කෘතියකට ද්විභාෂිකව පරිවර්තනය වූ හොඳම පොතට හිමි සම්මානයක් පිරිනැමිය හැකි බව. ලෝකයේ බොහෝ රටවල ඒ ඒ භාෂාවලට පරිවර්තනය වන කෘතිවලට සම්මාන දෙනවා. ඒත් අපේ රටේ මේ තියෙන තත්ත්වය මත අපි කොහොම ද සෑහීමකට පත්වන්නේ. යන්තමට හෝ සතුටු වෙන්න පුළුවන් කාරණය වන්නේ වර්තමානයේ දෙමළ සිංහල පරිවර්තකයන් කිහිපදෙනෙක් බිහි වී සිටීම ගැන පමණයි.”

● අපි අදටත් බටහිර හා වෙනත් ලේඛකයන් ගැන දීර්ඝ වශයෙන් කතා කරනවා. ඒත් අපේම රටේ දෙමළ ලේඛකයන් ගැන සිංහල සමාජයත්, සිංහල ලේඛකයන් ගැන දෙමළ සමාජයත් අන්‍යොන්‍ය වශයෙන් පවත්නා දැනුම අවබෝධය අල්පයි. ඇත්තටම මෙය කනගාටුවට කරුණක් නේද?
“ඇත්තෙන්ම ඔව්. අපි විදෙස් සාහිත්‍යකරුවන් හොඳින් දන්නවා. ඔවුන්ගේ නිර්මාණ හා විචාර භාවිතාවන් ගැන නිතර කතා කරනවා. ඒත් ලංකාවේ දෙමළ ලේඛකයන් ගැන සිංහල සමාජය දන්නෙත් නෑ. සිංහල ලේඛකයන් ගැන දෙමළ සමාජය දන්නෙත් නෑ. පොදු සමාජීය තියා සාහිත්‍ය ක්ෂේත්‍රයට අයත් අයවත් අන්‍යොන්‍ය වශයෙන් ඔවුනොවුන් හා ඔවුනොවුන්ගේ නිර්මාණ හඳුනන්නේ නෑ. මෙය ශෝචනීය තත්ත්වයක්.
සිංහල ලේඛකයන් ගැන දෙමළෙන් හඳුන්වා දුන්නාට ඩොමිනික් ජීවා මහතාට දෙමළ සමාජයේ සමහර අය දෝෂාරෝපණය කළා. සිංහල සමාජයේ එහෙම නොවුණත් දෙමළ සමාජය ගැන සාහිත්‍යයෙන් කතා කිරීම ප්‍රමාණවත් නෑ. වර්තමානයේ මුහුණුපොතෙන් යම් යම් හඳුන්වාදීම් සිදු කෙරුණත් මෙය යම් ශාස්ත්‍රීය මට්ටමකින් සිදුවීම වැදගත්. කුමාරතුංග මුනිදාස, මාර්ටින් වික්‍රමසිංහ, ජී.බී. සේනානායක, කේ. ජයතිලක, මහගමසේකර වගේ චරිත අපේ රටේ දෙමළ සාහිත්‍යයෙත් ඉන්නවා. එස්. ගනේෂලිංගන්, කේ. ඩැනියල්, තෙනියාන්, සේ. යෝගනාදන්, නොයෙල් නඩේසන්, මහාකවි, මුරුගයියන්, ඉලංගයර්කෝන්, වරදන්, සී. වෛත්‍යලිංගම්, අ.ත. කන්දසාමි වගේ ලේඛකයන් ඒ අතර වැදගත්. මේ අයගෙන් කී දෙනෙක් ගැන සිංහල සමාජය දන්නවා ද?
වර්තමාන පරම්පරාවට මේ ලේඛකයන් ගැන හඳුන්වා දීමට උත්සාහ ගැනීමයි වැදගත්. ලංකාවේ ලේඛකයන් කවර භාෂාවකින් ලේඛනයේ යෙදුණත් ඒ සියල්ල ලාංකික සාහිත්‍යයටයි අයත් වන්නේ. මේ කාට හරි නොබෙල් තෑග්ගක් ලැබුණොත් ඒකෙ ගෞරවය ලැබෙන්නෙ මුළු මාතෘ භූමියටමයි. එතැනදී සිංහල ද දෙමළ ද කියලා භේදයක් නෑ.”

● පැරැණි සිංහල ගද්‍ය, පද්‍ය සාහිත්‍යයේ වර්ධනයට වගේම සිංහල භාෂාවේ දියුණුවට දෙමළ භාෂාවේ සහ සාහිත්‍යයේ ලොකු බලපෑමක් ලැබී තිබෙනවා නේද?
“පැහැදිලිවම. පැරැණි දකුණු ඉන්දියානු සාහිත්‍ය කෘති අපේ සාහිත්‍යයට බෙහෙවින්ම බලපෑවා. අපේ පැරැණි පඬිවරු ඒවා සිංහල බසට අනුවර්තනය කළා. පරිවර්තනය කළා. උදාහරණයක් හැටියට ‘තිරුක්කුරල්’ කෘතිය විසිහාමි ගොරොක්ගොඩ මහත්මිය සිංහලට නැගුවා. ‘වීරසෝලියම්’ කෘතිය අපේ ‘සිදත් සඟරාවට’ බලපා තිබෙනවා. එසේම පත්තුපට්ටු, පළමොළිනාණුරු, කුරුන්නොකෛ, පෙරුන්නොකෛ, සිලප්පදිකාරම් - මනිමේකලෛ, පන්කුපාඩල්, අහනානූරු, පොරුනානූරු වැනි දෙමළ සාහිත්‍යයේ පැරැණි කෘති බොහොමයක් සිංහල සාහිත්‍ය කෘති සඳහා බලපෑවා.
සිලප්පදිකාරම් - මනිමේකලෛ අපේ පත්තිනි හෑල්ලට බලපෑවා. රාමායනය කෘතිය අපේ මහා කාව්‍යවලට බලපෑවා. නාලචියාර් කෘතිය අපේ ‘වදන් කවි පොත’ට බලපෑවා. ලෝකෝපකාරයට බලපෑවෙ පළමොළිනාණුරු කියන පොත. නීති වේන්බා කියන කෘතිය අපේ සුභාෂිතයට බලපෑවා. හිස්සැල්ලේ ධම්මරතන හිමියන් පවසන පරිදි දෙමළ පැරැණි කෘති රාශියක් සිංහල බසින් ලියැවුණු ථූපවංශය, බුත්සරණ, සසදාවත, මුවදෙව්දාවත, පූජාවලිය, දළදා සිරිත වැනි කෘති ගණනාවකට බලපාලා තියෙනවා. ඇත්තටම මේක වෙනම සාකච්ඡා කළ යුතු මාතෘකාවක්. හිස්සැල්ලේ ධම්මරතන හිමි, මහාචාර්ය සුනිල් ආරියරත්න වැනි වියතුන් මේ ගැන පර් යේෂණ කරලා තියෙනවා. ඒත් තව තවත් මේ ගැන පර් යේෂණ සිදුවිය යුතු බවයි මගේ අදහස.”

(*** සංවාද සටහන ගාමිණි කන්දේපොළ)