ප්‍රවීණ කවියකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, තීරුලිපි රචකයකු ආදී වශයෙන් සාහිත්‍ය ක්ෂේත්‍රයේ විවිධ අංශවලින් දායකත්වය සපයා ඇති බුද්ධදාස ගලප්පත්තිගේ නවතම කෙටිකතා සංග්‍රහය ‘ජීවන සුසුම’ නමින් සරසවි ප්‍රකාශනයක් ලෙස ප්‍රකාශයට පත්විය. මේ සංවාදය පැවැත්වෙන්නේ එය නිමිති කොටගෙනය.

දොළොස්මහේ පහන, කැටපත් පවුර, පාර වසා ඇත, රැජිනක් හැඬුවාය, දෙදෙනාම දියණියෝ, නිශ්චලයි රාත්‍රිය, තුරුලිය අකුරුවිය, කැටුව එන්නෙමි, දවස හෙටයි වැනි කාට්‍ය සංග්‍රහ ද ඔහුගේ සහෘද සටහන්, එදවස සොදුරුමය, කවිමිහිර වැනි තීරු ලිපි එකතු ද මෙරට පාඨකයා අතර වඩාත් ජනප්‍රියය. ගලප්පත්ති මහතා කෙටිකතා සංග්‍රහයක් පළකරන්නේ 2017 දී ‘මැදියමක කළුවර’ කෙටිකතා සංග්‍රහය පළ කළ පසුය.


•ඔබේ මේ කතා සංග්‍රහයේ කතා ප්‍රේමය, රාගය, පිය විප්පයෝගයන් ඇතුළු ස්ත්‍රී-පුරුෂ මනෝභාවයන් බොහොමයක් ගැඹුරින් හා කලාත්මකව විමසන ඒවා. මේ කතා නිර්මාණය වීමට ඔබේ සමාජ හා පුද්ගල කියැවීම බලපෑවේ කොහොමද?
ඇත්තටම මේ කතාවල ඇතුළත් මානව සබඳතා, ප්‍රිය විප්පයෝගවල ස්වභාවයන් ආදියත්, චරිත ආදියත් මට අඩු වැඩි වශයෙන් මුණ ගැසුණ දේවල් ඒවා ඒ විදිහටම නැතත් ඔවුන්ගේ චරිත ස්වභාවයන් මේ කතාවල ගැබ්ව තිබෙනවා. බොහෝ වෙලාවට පාඨකයාටත් තේරෙයි ඒ අය කියවන මේ චරිත ඔවුන්ටත් හමුවෙලා තියෙනවා කියලා.

• කතුවරයා සැඟවී සිට චරිතවලට නිදහසේ වැඩෙන්නටදී ඇති ඉඩකඩ මේ කතා පාඨක ප්‍රියවීමට විශේෂ හේතුවක් වී තිබෙනවා. නවකතාව, කෙටිකතාව ඇතුළු නිර්මාණ රචනයේදී චරිත නිරූපණ කාර්යයේ වැදගත්කම ඔබ දකින්නේ කොහොමද?
මූලික වශයෙන්ම නවකතාවක, කෙටිකතාවක චරිත නිරූපණය තමයි වඩාත් වැදගත් වෙන්නෙ. චරිත ගොඩනැගීම වඩා සාර්ථක වුණොත් තමයි පාඨකයා ඒ චරිත කෙරෙහි විශ්වාසය තබන්නෙ. මම බොහෝ වෙලාවට උත්සාහ කරන්නේ කිසියම් චරිතයක් හැසිරෙන ස්වභාවය අඳුනාගෙන මගේ මැදිහත්වීමකින් තොරව නිදහසේ ගොඩනඟන්නයි. එහෙම නැතිව ඒ චරිතයට යම් යම් සීමා පනවන්න මා උත්සාහ ගන්නේ නෑ. කිසියම් චරිතයක් නිදැල්ලේ නිදහසේ හැසිරීම මගින් එහි සැබෑ ක්‍රියාකාරකම් මතු වෙනවා.
එහෙම නැතුව කතුවරයා වශයෙන් මගේ මැදිහත්වීමක් ඒ සඳහා නැහැ. අනිත් එක මේ එක කතාවකවත් කළු-සුදු චරිත කියල කිසිම චරිතයක් වෙන්කරන්න බෑ. මේ හැම චරිතයක්ම සංකීර්ණ මනෝභාව, ගති ලක්ෂණ සහිතයි.
ලෝකයේ ශ්‍රේෂ්ඨ නවකතාකරුවන් කෙටිකතාකරුවන් කවුරු වුණත් ඔවුන් බොහෝදෙනා චරිත නිරූපණයට වැඩි අවධානයක් යොමු කළා. චරිත ගොඩනැඟෙන ආකාරය දුර්වල වුණොත් කතාවේ කූඨප්‍රාප්තිය සඳහා පාඨකයා රඳවාගැනීම අපහසු වෙනවා.

• ඔබ මේ කතා ගොඩනැගීමේදී චරිතවලට පණදෙන බස්වහරක් යොදාගැනීම කැපී පෙනෙනවා. ඒත් අද බොහෝ නිර්මාණවල තේමාත්මක ගැඹුරක් දැකිය හැකිවුවත් ආයෝග්‍ය නීරස භාෂා භාවිතය නිසා ඒවා අසාර්ථකවී ඇති බවට ඇතැම් විචාරකයන් චෝදනා කරනවා. නූතන නිර්මාණ නිතර කියවන කෙනකු හැටියට මේ ගැන මොකද හිතෙන්නේ?
කිසියම් සාහිත්‍ය නිර්මාණයක ප්‍රකාශන මෙවලම බවට පත්වෙන්නෙ භාෂාව. චරිතයේ ස්වභාවය, චරිතය ජීවත්වන පරිසරය අනුව භාෂා භාවිතය විවිධ වෙන්න පුළුවන්. චරිතයේ ස්වභාවය අනුව ඊට ගැළපෙන භාෂාව ගැන කතුවරයාට මනා අවබෝධයක්, දැනුමක් තියෙන්න ඕනෑ. එහෙම නොවුණොත් ඒ චරිතය ස්වාභාවිකව ගොඩනැඟෙන්නේ නෑ.
කියැවීමේ රුචියත් පාඨකයා බැඳ තබාගැනීමට ප්‍රධාන වශයෙන් බලපාන දෙයක්. ඔබ තියනවා වගේ මේ කතා සංග්‍රහයේදී මට ලැබුණ ප්‍රතිචාර අනුව ඊට ගැළපෙන භාෂා භාවිතයක් යොදා ගැනීමට හැකියාව ලැබී ඇතැයි සිතෙනවා. ඒ උචිත බස සොයා සපයා ගන්නට කතුවරයාට මහන්සි වෙන්න වෙනවා.
නූතන සාහිත්‍ය නිර්මාණවල භාෂා භාවිතය ගැන ඔබ ඇහුවා. මටත් හිතෙන්නේ දැන් බොහෝ සාහිත්‍ය නිර්මාණවල භාෂාව එක්කො ගොරහැඩියි. නැත්නම් අනුචිතයි. එහෙම වුණාම චරිතය ගැන ඇති පාඨක විශ්වාසය බිඳ වැටෙනවා.

• මේ පොත පළවන්නට පෙර ඔබ අවසන් වරට කෙටිකතා සංග්‍රහයක් පළ කරන්නේ 2017 වසරේදී. මෙයින් පෙනෙන්නේ කෙටිකතා රචනය කාලයක් අරගෙන කළ යුතු සංකීර්ණ කටයුත්තක් බවයි. කොහොමද කෙටිකතාව කියන මාධ්‍යය ඔබ නවකයන්ට හඳුන්වලා දෙන්නේ?
ජයලත් මනෝරත්තයන් සමඟ මා කළ මුල්ම කෙටිකතා සංග්‍රහය පළවුණේ 1975 දී. එතන ඉඳල මේ දක්වාම මා අතින් සංග්‍රහවුණේ කෙටිකතා කෘති පහක් පමණයි. ඇත්තටම ඒක ඒ තරම් සරල වැඩක් නොවෙයි.
කෙටිකතාව කියන සාහිත්‍යාංගය පෙර දවසට වඩා වර්ධනයක් අත්පත් කරගෙන තිබෙනවා. කෙටිකතාවට යොමුවූ තරුණ පිරිසකුත් සිටින බව පේනවා. ඒත් කවියට තරම් තරුණ පිරිසක් කෙටිකතාවට යොමුවී ඇති බවක් පෙනෙන්නට නැහැ.
තමන් විඳින දෙයක් පොදු පාඨකයා අතරේ බෙදාහරින්න තරම් අගයක් තියෙනවානම් පමණයි මා නම් යමක් ලියන්න උත්සාහ කරන්නෙ.
කෙටිකතාව කියන සාහිත්‍යාංගයට කවර නිර්වචන පදනම්වී තිබුණත් ඒ සිදුවීම හෝ ඒ කෙටිකතාව තුළ අපි ගොඩනඟන චරිත හරහා ජීවිතය දකින්න ඕනෑ. මම නම් හිතන්නෙ ඕනෑම නිර්මාණයකින් සිදුවිය යුත්තේ එයයි. මෑත කාලීන කෙටිකතාකරුවන් පවා ජීවිතය ප්‍රශ්න කිරීමට විනිවිද දැකීමට කෙටිකතා කලාව උපයෝගී කරගත් බව පෙනෙන්නට තිබුණා.
ඇත්තටම කෙටිකතාව කියන්නෙ සංකීර්ණ මාධ්‍යයක්. කෙටිකතා කලාව කියන එක මූලිකව හඳුනාගෙන එයින් අර්ථවත් හා අපූර්ව ජීවිතානුභූතියක් රසිකයාට පිරිනමන්න පුළුවන්නම් එය තමයි වැදගත් වෙන්නෙ. ඇත්තටම මෙය ගැඹුරින් හැදෑරිය යුතු සියුම් කලා මාධ්‍යයක්.

• ඒත් කෙටිකතාව සම්බන්ධ වත්මන් විචාරක මැදිහත්වීම ගැන සතුටු වෙන්න පුළුවන්ද?
විචාරක මැදිහත්වීම සතුටුවෙන මට්ටමක තියනව කියල බෑ. විචාරකයො කෙටිකතාව වගේ අගනා සාහිත්‍ය මාධ්‍යයක් පැත්තකට දාලා තියෙන්නෙ ඇයි කියල මට නම් තේරෙන්නෙ නෑ. කවිය ගැන කතාවෙනවා තරම් කෙටිකතාව ගැන සංවාද මතුවෙන බවත් පෙනෙන්නට නැහැ.
ඇත්තටම කතා කලාවක් හැටියට කෙටිකතාවෙන් අගනා ජීවන විවරණයක් මතු කරන්න පුළුවන්. ඒ කලාංගයෙන් ප්‍රයෝජන ගැනීමයි වැදගත්.

• ඔබ අපේ රටේ සාහිත්‍යයේ නව පරපුර ගැන නිතර කතා කරන කෙනෙක්. ඒත් අපේ ප්‍රවීණ සාහිත්‍යධරයන් බහුතරය නූතන පරම්පරාවේ නිර්මාණ ගැන වැඩිපුර කතා කරන්නේ සතුටින් - ප්‍රසාදයෙන් නෙවෙයි නේද?
ඇත්තටම සාහිත්‍යයේ වැඩිහිටි පරම්පරාව තුළ කල්ලිවාද, ගුරුකුල, කණ්ඩායම් බෙදීම් තියෙන බව මම දන්නවා. ඒ වගේම ඒ ඇතැම් පිරිස් අතර කුහකකමකුත් තියනවා. මගේ අත්දැකීම අනුව නම් 70-80 දශකවල අපේ කෙටිකතා ගැන විචාරකයෝ කතා කළේ අපිව හඳුනගෙන නෙවෙයි. ඒ විචාරකයො ඒ නිර්මාණවල හොඳ ලක්ෂණ වගේම අඩුපාඩු පෙන්වාදුන්නා. ඒත් අද ඒ විනිවිද භාවයෙන් යුතු මැදහත් විචාරය කෝ?
අද සමහරු නවකයකුගේ කෘතියක් අගය කරන්න ඊට නිසි තැන දෙන්න හරියට අදි මදි කරන ගතියක් තියනවා. ඇත්තටම ඒක එහෙම වෙන්න ඕනෑ නෑ.
ඒත් අදටත් අපට හැකි පමණ විචාරයෙන් ඒ දායකත්වය මැදහත්ව දෙන්න උත්සාහ දරනවා. එයින් අනෙක් විචාරකයන්ට දොරටුවක් විවර වෙනවා. නිර්මාණකරුවකුට විචාරකයකුගේ තක්සේරුව හරිම වටිනවා.
    
කොහොම වුණත් විචාරකයාගේ භූමිකාව එදාට වඩා අද බොහෝ සේ වෙනස් වෙලා. සාහිත්‍ය විචාරයට ඇඳුනුම්කම් ගාවගන්න එක වැරදියි. වැදගත් වන්නේ කෘතිය පමණයි.  එදා රෙජී සිරිවර්ධන වැනි විචාරකයන් තමන්ගෙ විචාරක කාර්යභාරය අදීනව, මැදහත්ව කළා. ඒ විචාරක පරපුර අද කොහේද කියලා ප්‍රශ්න කරන්න වෙලා. අද සාහිත්‍යයට මාධ්‍යයේ ඉඩකඩ සීමාවීමත් මේ සඳහා බලපානවා ඇති. එදා පුවත්පත්වලින් සාහිත්‍යයට විචාරයට ලොකු ඉඩක් දීලා තිබුණා. ඇතැම් විද්‍යුත් මාධ්‍යවල නම් ඉඩක් ඇත්තෙම නෑ. මාධ්‍යයට සාහිත්‍යය වැදගත් නෑ වගේ තමයි පේන්නෙ. විචාරය කඩාවැටීමට හේතුවක් තමයි විචාරකයන්ගේ මතවාද පළකරන්න තැනක් නැතිවීම. කොහොමත් දැන් සාහිත්‍ය විචාරය කල්ලිවාදයට යටවෙලා වගේ පේන්නෙ.

 

(***)
(සංවාද සටහන - ගාමිණි කන්දේපොළ)