කොරෝනා රෝග ව්‍යාප්තිය සමඟ ජනතාවට සහන සැලසීම සඳහා රජය ගෙනගිය වැඩපිළිවෙළත්, එහිදී මතුවූ ප්‍රශ්න, ගැටලු‍ ආදිය ගැනත් කෙරෙන විග්‍රහයකි මේ. එම කාර්යයේදී රජය විසින් පත්කළ කාර්යසාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා සමග මෙම කටයුතු මෙහෙයැවූ ගාමිණී සෙනරත් මහතා තම අත්දැකීම් විස්තර කළේ මෙසේය.

කොරෝනා රෝගය ලෝක ව්‍යාප්ත වසංගතයක් බවට පත්වෙමින් තිබියදී ඒ ගැන කල්තබාම පියවර ගත් රටවලින් ශ්‍රී ලංකාව ප්‍රමුඛස්ථානයේ සිටී. ගිය දෙසැම්බර් හා ජනවාරි මාසවල සෙමින් ව්‍යාප්ත වන්නට පටන් ගත් කොරෝනා රෝගය ලෝකයම ගිලගන්නට සැරසෙන විටදී ශ්‍රී ලංකා ජනාධිපතිතුමා ඒ සඳහා කාර්යසාධන බලකායක් පත් කළේය. ගිය මාර්තු මාසය මෙහිදී තීරණාත්මක විය. මාර්තු 11 දින ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා රෝගය ලෝක ව්‍යාප්ත වසංගතයක් ලෙස නම් කළේය. ඒ දිනයේම ශ්‍රී ලංකාවේ සංචාරක මඟපෙන්වන්නකු ප්‍රථම වරට මෙරට සමාජයෙන් හමුවූ කොරෝනා රෝගියා ලෙස වාර්තා විය.

ඒ සමඟ ආණ්ඩුව ක්ෂණිකවම ක්‍රියාමාර්ග ගත් අතර මාර්තු 18 දින රට වසා දමමින් ඇඳිරි නීතිය දීපව්‍යාප්තව ක්‍රියාත්මක කළේය. ඒ සමඟ යම් අර්බුදකාරී තත්ත්වයක් හට ගැනුණි. ඇඳිරි නීතියෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම වහා කළ යුතු විය. ජනතාවට අවශ්‍ය ආහාරපාන, බේත්හේත් ඇතුළු අනෙක් අවශ්‍යතා සම්පූර්ණ කිරීම කඩිනමින් සංවිධානය කරන්නට හැකිවූයේ අප කල් තබාම සූදානම්ව සිටි නිසාය. බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ මෙම කාර්යසාධන බලකායේ මෙහෙයුම් කටයුතුවලට මාද එක්ව සිටි නිසා අපි දවසේ පැය 24ම රාජකාරි කරමින් මුළු දිවයිනම ආවරණය වන ලෙස සහන සැලසීමේ වැඩපිළිවෙළක් සංවිධානය කළෙමු. ඒ සඳහා ආණ්ඩුකාරවරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සිට ගමේ ග්‍රාමසේවා නිලධාරීවරයා දක්වා සෑම තරාතිරමකම උදව් අපට ලැබිණි.

කාර්යසාධන බලකාය ක්‍රියාත්මක කිරීමේදී ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් අපට මාර්ගෝපදේශ සැපයූ අතර තීන්දු ගන්නට නිදහස දී තිබිණි. ඒ අනුව අප මුලින්ම අවධානය යොමුකළේ ජනතාවට අත්‍යවශ්‍ය සේවා සැපයීමටයි. මහ මැතිවරණය සඳහා රජය විසුරුවා හැර තිබිණි. පළාත් සභාද අක්‍රිය තත්ත්වයකය. ක්‍රියාත්මක වූයේ භාරකාර ආණ්ඩුවකි. මෙවන් අවස්ථාවක ආපදාවක් කළමනාකරණය කිරීම ඉතාමත් දුෂ්කර කටයුත්තකි. පසුගිය වසර 5ක කාලය තුළ රටේ රාජ්‍ය සේවකයන් තීන්දු ගන්නට බිය වන තැනට පත්කරනු ලැබ සිටි බැවින් බොහෝ දෙනා තීන්දු ගන්නේ නැත. ඒ කෙසේ වුවත් නිලධාරීන්ගේ බිය සැක නැතිවන ආකාරයට ක්‍රියාකරමින් කාර්යසාධන බලකාය යටතේ කමිටු ගණනාවක් පිහිටුවනු ලැබීය. ආහාර සැපයීමේ සිට බොහෝ සහන සියලු‍ කටයුතු සංවිධානය වූයේ ඒවා මගිනි. කොළඹ සිට ගම දක්වාම අපේ මෙහෙයුම් යාන්ත්‍රණය ක්‍රියාත්මක විය. බැසිල් රාජපක්ෂ මහතා දිවයිනේ සියලු‍ උපදිසාපතිවරුන්ට හා ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ට පෞද්ගලිකව දුරකතනයෙන් අමතා උපදෙස් දීමද විශේෂයකි. ගමේ කටයුතු සම්පූර්ණයෙන්ම ග්‍රාමනිලධාරි ප්‍රමුඛ ගමේ නිලධාරීන් පස්දෙනාට පැවරුණි.
ඉහළම තරාතිරමේ නිලධාරීන්ගේ ආදර්ශවත් කැපවීම ගැනද මෙහිදී සඳහන් කරනු වටී. අරලියගහ මැදුරේ අග්‍රාමාත්‍ය කාර්යාලයට සම්බන්ධ නිලධාරීන්ගෙන් සීයට 79 ක් ඇඳිරි නීති කාලයෙත් දිනපතා (සතියේ දින 7ම) සේවයට වාර්තා කිරීම ප්‍රශංසා කටයුතුය. මේ අයට අමතරව මෙම කාර්යාලයට සම්බන්ධ නැති රාජ්‍ය නිලධාරිහුද විශ්‍රාමික රාජ්‍ය සේවකයෝද කිසිදු දීමනාවක් නොලබා සේවය කළෝය.
සහන සැලසීමේ කාර්යයේදී වඩාත්ම ආන්දෝලනයට ලක්වූයේත් දේශපාලන අංශවල කතාබහට ලක්වූයේත් රු. 5,000ක දීමනාව ගෙවීමේ වැඩසටහනයි. මගේ දැනීමේ හැටියට එම වැඩසටහන ඉතා සාර්ථකව සිදුවිය. මාසයකට රුපියල් කෝටි 3000 (බිලියන 30)ත් මෙම වැඩසටහන යටතේ බෙදාහැරිණි. අපට ඒ සම්බන්ධව ලැබුණ පැමිණිලිවල සඳහන් වූයේ රු. 5,000 නොලැබුණා යන්න නොවේ. ඇතැමුන්ට රු. 5,000ක් ලැබෙද්දී තවත් පවුල්වලට රු. 10,000ක් හෝ 15,000ක් ලැබුණ බවට වූ පැමිණිලිය. අප මේ ගැන සොයා බැලීමේදී ඊට සැබෑ හේතුව සොයාගැනිණි. රුපියල් 5,000 ලබාදීමට තැනූ නිර්ණායකවල සමෘද්ධිලාභීන්, වැඩිහිටි දීමනාව ලබන්නන්, වකුගඩු රෝගීන්, රැකියා අහිමිවූවන් ආදී ක්ෂේත්‍ර රැසකට මෙම දීමනාව හිමිවිය. ඇතැම් නිවෙස්වල වැඩිහිටියන්, රෝගීන් සහ සමෘද්ධිලාභීන් යන තුන්කොටසම සිටියහොත් ඒ හැම කෙනකුටම රුපියල් 5,000 බැගින් ලැබුණි. එවිට රු.10,000ක් හෝ 15,000ක් සමහර නිවෙස්වලට ලැබී තිබුණ බව වාර්තා විය. එසේම ජීවනෝපාය අහිමිවූවන්ට ආධාර ලබාදීමේදී රැකියා කරන අයටත් බස්රථ වැනි ව්‍යාපාර කරන අයටත් ජීවනෝපාය අහිමි වූවන් ලෙස මේ ආධාරය හිමිවිය. එවිට ඇතැමුන් පොහොසත් අයටත්, ආධාර දුන් බවට චෝදනාවක් එල්ල කළේය. එහෙත් අප ආධාර ප්‍රදානය කළේ අපේ නිර්ණායකවලට ඇතුළත් වන සමාජයේ පුරවැසියන්ට පොදුවේය.

රු.5000ක ආධාර වැඩසටහන දේශපාලනීකරණය කළා යැයි ඇතැම් දේශපාලන පක්ෂ විසින් චෝදනාවක් නඟා ඇත. මේ කාරණය ගැන චක්‍රලේඛයක් මගින්ම ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් හෝ ප්‍රාදේශීය සභා මන්ත්‍රීන්ගේ කොට්ඨාස මට්ටමින් ප්‍රාදේශීය කමිටු පිහිටුවා ගන්නා ලෙස දන්වා තිබිණ. පක්ෂ භේදයකින් තොරව ඒ කටයුතු කරන ලෙස උපදෙස් දුනි. පළාත් පාලන කොට්ඨාස නියෝජිතයා මේ කමිටුවේ නිත්‍ය සාමාජිකයකු කෙරිණි. ඒ හැර ගමේ සිටින නිලධාරීහු පස්දෙනා සුදුස්සන්ගේ ලැයිස්තු හදති. එහි කිසිම දේශපාලනයක් නැති බව සඳහන් කළ යුතුයි. ඒ කමිටුවට පළාත් පාලන නියෝජිතයන් ඇතුළත් වන්නේ කිසිම දේශපාලන පක්ෂ පදනමකින් නොවේ. ඔහු පළාතේ ජනතාවගේ මහජන නියෝජිතයාය. ඔහු ආධාර දිය යුතු අය දනී. දැන් උදාහරණයට කොළඹ මහ නගර සභාව ගනිමු. වත්මන් ආණ්ඩුව නියෝජනය කරන පක්ෂයට පළාත් පාලන මන්ත්‍රීන් හතර පස් දෙනකුට වඩා නැත. ඉතිරි සියල්ලෝම එක්සත් ජාතික පක්ෂයේ නැත්නම් සුළු ජාතික පක්ෂවල අයය. මේ කමිටු නියෝජනය කරන්නෝ ඔවුහුය. ඒ අය හරියට මේ වැඩේ කරන බව රජයේ විශ්වාසයයි.

මේ ගැන මැතිවරණ කොමිසම අප වෙත ලිපියක්ද එවා තිබිණි. අපි ඒ ගැන පසුව කරුණු පැහැදිලි කළෙමු. එසේ පළාත් පාලන නියෝජිතයන් සිටියාට ඔවුන්ට තනි තීරණ ගන්න බැරිය. එයත් කිවයුතුය. කෙසේ හෝ දැනට තිබෙන ප්‍රශ්නය මේ කමිටු මගින් ගෙවනු ලබන රු. 5,000 දීමනාව ජූනි මාසය සඳහාත් ගෙවන්නේද යන්නයි. මැයි මාසය සඳහා අදාළ මුදල් මේ වනවිටත් ගෙවා තිබේ. මැතිවරණ කොමිසමේ මගපෙන්වීම් අනුව ජූනි මාසය සඳහා මෙම දීමනාව ගෙවන්නේද නැත්ද යන්න ගැන රජය තවමත් අප කමිටුවට දැනුම් දීමක් කර නැත. ඒ නිසා අප සිටින්නේ රජය ලබාදෙන ඕනෑම තීරණයක් ක්‍රියාත්මක කිරීමට සූදානමිනි. එහෙත් විශේෂයෙන් නැවතත් අවධාරණය කළ යුත්තේ රු. 5000 ගෙවීමේ වැඩපිළිවෙළ අප කමිටුව විසින් කිසිසේත්ම දේශපාලනීකරණයට ලක්කොට නැති බවය.

මේ කටයුතු කෙරෙන අතර රජයේ ආර්ථික පුනර්ජීවනය සහ ජීවනෝපාය සංවර්ධනයට වෙනම කාර්යසාධන බලකායක් පත්කර ඇත. එයත් බැසිල් රාජපක්ෂ මහතා යටතේ ක්‍රියාත්මක වෙයි. කොරෝනා වසංගතය මර්දනය කළාට පසුව රට ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියන කාරණාව නව කාර්යසාධන බලකාය සලකා බලයි. රට ආර්ථික වශයෙන් නගාසිටුවීම මේ කමිටුවේ මූලික අරමුණයි. දැනට තිබෙන හැටියට කොරෝනා වසංගතය ඉක්මනට රටෙන් සහමුලින් තුරන් වෙයි කියා සිතීම අසීරුය. ඒ නිසා අපට මේ වසංගත තත්ත්වය තිබියදී වුවත් ආර්ථිකය සක්‍රීය ලෙස පවත්වාගන්නට සිද්ධ වෙයි. මේ තත්ත්වයට ගැළපෙන්න ව්‍යාපාර කොහොමද හැඩගස්වන්නේ කියා බැලිය යුතුයි. ඒ සඳහා ආයෝජන මණ්ඩලය වගේම නිදහස් වෙළෙඳ කලාපවල කම්හල් පවත්වාගෙන යාමට මාර්ග උපදේශ සකස් කර ඇත. සෞඛ්‍ය අංශ ඊට උදව් කර ඇත. මේ තත්ත්වය තිබියදී රටපුරා තිබෙන අපනයන ආශ්‍රිත කර්මාන්ත 25% ක් 30% ක් විතර ක්‍රියාත්මක කරන්නට ඉඩ සැලසීමයි අපේ මූලික පියවර වුණේ.

ඒ වැඩසටහන ඉතාම සාර්ථකය. ආයෝජන මණ්ඩලය යටතේ නිදහස් වෙළෙඳ කලාපවල ආයෝජන කම්හල් 285ක් ඇත. ඉන් 265ක් දැන් නැවතත් ක්‍රියාත්මකය. අද වනවිට සේවක සංඛ්‍යාවේ පැමිණීම  සියයට 56% මට්ටමේ පවත්වා ගනිමින් මේ කටයුතු ආරම්භ විය. කලාපයෙන් පිටත ආයෝජන මණ්ඩල කර්මාන්තශාලා ගතහොත් ඒවායින් 91% ක්ම ක්‍රියාත්මකය. එය විශාල ජයග්‍රහණයකි. ඒ සඳහා අපි දිගටම උදව් කළෙමු. අමුද්‍රව්‍ය පැත්තෙන්. ආරක්ෂාව, සෞඛ්‍ය, විදුලිය, ජලය වැනි පහසුකම් සැපයීමට පවා අපේ බලකාය මැදිහත් විය. දිස්ත්‍රික් අතර ගමන් කිරීමටත් ඒ අයට අපි බලපත්‍ර ලබා දුනිමු.

රටම ආවරණය වන විධියට මේ වැඩ සැලසුම් දියත් කර ඇත. සාමාන්‍යයෙන් ජනතාව අතර ඒ තරම් අවධානයට ලක් නොවන තොරණ ගසන්නන්, කායවර්ධන මධ්‍යස්ථානවල හිමිකරුවන්, බාබර් සැලු‍න්වල උදවිය වැනි සමාජයේ විවිධ ක්ෂේත්‍රවල සාමාජිකයන් අප වෙත කැඳවා ඔවුන්ට අවශ්‍ය සහන පහසුකම් සැලසීමට පියවර ගත්තේය. තොරණ ගසන අයටත් ණය ක්‍රමයක් ඇති කිරීම විශේෂය.

මෙලෙස ජීවනෝපාය හා ආර්ථික සංවර්ධන කටයුතු කරගෙන යන අතරතුර පාසල් අධ්‍යාපනය, ටියුෂන් පන්ති වැනි දේවල් පවත්වාගෙන යාම ගැනත් සමාජ අවධානය යොමු වී තිබේ. ඒ සඳහා ජනාධිපතිතුමා වෙනම කාර්යසාධන බලකායක් පටන් ගත්තේය. දැනට රටපුරා දරුවන්ට දුරස්ථ අධ්‍යාපනය හඳුන්වා දී ඇත. පරිගණක තාක්ෂණය ඔස්සේ පාසල් දරුවන්ට හා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට අධ්‍යයනය ලබාදීම ආරම්භ කර ඇත. එය 80%ක් සාර්ථකය. ඒත් දුෂ්කර පාසල්වල පරිගණක තාක්ෂණය හා විදුලිය වගේ ප්‍රශ්න ඇති බව වාර්තා වෙයි. ඉදිරියේදී ඒවාද සංවර්ධනය කළ යුතුයි. පාසල් පටන්ගත් පසු ජල පහසුව නැති පාසල්වලට බවුසර් මගින් හෝ ජලය සපයාදී සෞඛ්‍යාරක්ෂිතව අත්සෝදා ගැනීම වැනි කටයුතුවලට යම් වැඩපිළිවෙළක් කිරීමට දැනටමත් මූලික සැලසුම් සකසා හමාරය.

කොරෝනා සහන වැඩසටහන ක්‍රමානුකූලව වර්ධනය වූවකි. අප මුලින් තීන්දු කළේ ජනතාවට එකවර රු. 15,000 මුදලක් ලබාදී කටයුතු අවසන් කරන්නටය. එහෙත් එය ප්‍රමාණවත් නොවූ නිසා මාස තුනක සහන වැඩසටහනක් සැලසුම් කළෙමු. ඒ සහන වැඩසටහන දිගටම කරගෙන යන්නට තීන්දු කර ඇත. එහෙත් රුපියල් 5,000 ලබාදීමේ වැඩකටයුත්ත යට කී ලෙස අමාත්‍ය මණ්ඩල තීන්දුව අනුව ක්‍රියාත්මක කිරීම හෝ නොකිරීම රජයේ අදහසය. කොරෝනා වසංගතයෙන් රට නිදහස් වනතුරුම මේ සහන සමාජයට අවශ්‍යය. පසුගිය ඇඳිරිනීති කාලය තුළ රජය කවර අසීරුකම් මධ්‍යයේ වුවද ආහාරපාන, බේත්හේත් සැපයුම් ජාලයක් රට තුළ ක්‍රියාත්මක කළේය. යම් යම් අඩුපාඩු ඇතත් අපේ වැඩපිළිවෙළ බෙහෙවින්ම සාර්ථකය. රටේ ජනතාවට ආහාර හෝ බෙහෙත්, ජලය, විදුලිය හෝ වෙනත් අත්‍යවශ්‍ය සේවා හිඟපාඩු වූ බවක් නොපෙනුණි.

කොරෝනා රෝගය ක්ෂේත්‍ර දෙකකට සීමාවීම නිසා දැන් රටේ හදිසි තත්ත්වයක් නැත. නාවික සෙබළුන්ගෙන් හා නිරෝධායන මධ්‍යස්ථානවලින් පමණක් රෝගීන් වාර්තාවීම පසුගිය දිනවල සිදුවීම අප ලද ජයග්‍රහණයකි. ඒ නිසා ඉදිරියේදී රට තුළ යම් සහනදායී තත්ත්වයක් අපේක්ෂා කෙරේ. එම නිසා දැන් ඇඳිරිනීතිය ද සෑහෙන දුරට ලිහිල් කර ඇත. ඉදිරියේදී පැවැත්වෙන පොසොන් උත්සවයද සරල හා චාම් ලෙස අභ්‍යන්තර ආගමික වත්වත්වලට පමණක් සීමාකරන ලෙස රජය ඉල්ලා සිටී.

ලොව මහා බලවත් රටවලට පවා කොරෝනා වසංගතය මේ ආකාරයට පාලනය කරගන්නට නොහැකි වී තිබියදී අප රටේ ජනාධිපතිතුමා, අගමැතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව දවසේ පැය 24 පුරාම කැපවී මෙම මහා ව්‍යසනයෙන් රටත් ජනතාවත් බේරාගන්නට ගත් අපරිමිත උත්සාහය පලදරන්නට නම් ජනතාව තවදුරටත් කැපවී සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියා කරනු ඇත යන්න රජයේ අපේක්ෂාවයි.

(*** සටහන - රන්ජිත් ආනන්ද ජයසිංහ)