‘‘ඔබට වෛද්‍යවරයකුගේ බෙහෙත් තුණ්ඩුව කියවා ගැනීමට තරම් ඔහුගේ අත්අකුරු පැහැදිලි නොවන්නට පුළුවන. එහෙත් ඔහුගේ අය කිරීමේ තුණ්ඩුව ඔබට ඉතා පැහැදිලිව ලියා ලැබෙනු ඇත.’’ - (අර්ල් විල්සන්)
සයිටම් ආයතනය වසා දමන තෙක් සටන අත්නොහරින බවට සපථ කළ වෛද්‍ය සංගමයේ ලොක්කෝ සතියකට පමණ ඉහතින් සටන පාවා දුන්හ. ඊට දින කිහිපයකට පෙර ඔවුන් සිතූයේ ඒකාබද්ධ විපක්ෂයේ කිහිප දෙනෙකු සමඟ ජ.වි.පෙ ද, පෙරටුගාමීන්ද, හරියාකාර සාමාජිකත්වයක් නැති විපක්ෂයේ වෘත්තීය සමිති නායකයන් කිහිප දෙනකුද වාඩි කරවාගෙන මාධ්‍ය අමතා ඔවුන්ගේ කොන්දේසි ඉදිරිපත් කිරීමෙන් ආණ්ඩුව බිය වැද්දිය හැකියැයි කියාය.
අඛණ්ඩ වෛද්‍ය වැඩ වර්ජනයක්ද සයිටම් වැසීම නොවන්නේ නම් ආණ්ඩුව පෙරළීම සම්බන්ධ කොන්දේසිද පනවා දෙදිනක් යත්ම ඔවුන්ට සිදුවූයේ කෙසේ හෝ වර්ජන තීන්දුව හකුලා ගෙන රෙදි පිටින් ගෙදර යා හැකි ලෙස ආණ්ඩුව සමඟ සයිටම් සටන අතහැරීමේ සම්මුතියකට පැමිණීමටය.
ඒ වෙනුවෙන් අගමැති හමුවීමට කිහිප දෙනෙකුට පින්සෙන්ඩුවන්නට ඔවුන්ට සිදුවිය. සාකච්ඡාවට එකඟ වූයේද අගමැතිවරයාගේ කොන්දේසිවලට යටත්වය. වෛද්‍යවරුන්ගේ සංගමයේ නායක දෙපළට පමණක් සෞඛ්‍ය ඇමැතිවරයාද වාඩි වූ සාකච්ඡාවට අවසර ලැබිණ. සාකච්ඡා අවසන් කරන්නට සිදුවූයේද ආණ්ඩුවේ කොන්දේසි පිළිගෙන නැවත වර්ජනය නොකරන බව ප‍්‍රකාශ කරමින්ය. ඒ වෙනුවෙන් වෛද්‍ය සංගමයේ ලොක්කෝ දෙපළ අන්තරේ සිසු නායකයන් සහ ඔවුන්ගේ හවුලට පැමිණි පෙරටුගාමීන් සහ ජ.වි.පෙ ද පාවා දුන්හ. අධිකරණයටද අපහාස කරමින්, වෛද්‍ය පීඨ හා අනෙක් විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යාපනයද හය මාසයකට වැඩි කාලයක් අඩාල කරමින් නිරන්තර සමාජ හිරිහැරයක් ලෙස ව්‍යසනකාරීව හැසිරුණු වෛද්‍ය සංගමයේ ලොක්කන්ට නිවටයන් ලෙස පසුබසින්නට සිදුවූයේ අන් කිසිවක් නිසා නොව, සයිටම් විරෝධය සාධාරණය කළ හැකි කිසිදු තර්කයක් ඉදිරිපත් නොකළ හෙයිනි. ඉදිරිපත් කළ කරුණු පවා ව්‍යාජ හා විකෘති කළ තොරතුරු වූයෙනි.
කලෙක නම්බුකාර වැදගත් වෘත්තියක් වූ වෛද්‍ය වෘත්තිය ඔවුන්ගේ සංගමයේ වත්මන් නායකයන් මේ වැනි අසරණ අපත තත්ත්වයකට ඇද දැමූයේ තමන් වෙත ආරූඪ කරගත් අසීමිත මෝඩ උද්ධච්ඡකම නිසාවෙනි. වෛද්‍ය සංගමයේ මේ නායක රොත්තට අවශ්‍ය වූයේ ඔවුන්ගේ තීන්දු තීරණවලට පිටින් කිසිවක් නොවන හයිකාර බලයක් තහවුරුකර ගැනීමටය. ඒ වෙනුවෙන් ඔවුහු වෛද්‍යවරුන් යනු සෞඛ්‍ය සේවාවේ සියල්ල දන්නා සියල්ල කළ හැකි එකම බලවත් වෘත්තිය යැයි සමාජ මතයක් ඇති කිරීමට උත්සාහ කළෝය. එහෙත් වෛද්‍ය වෘත්තිය එවැන්නක් නොවේ.
ඒ ගැන ඉතාම හොඳ පැහැදිලි කිරීම කරනු ලැබූයේ පසුගිය ජූලි 04 වන දින ලංකාදීප සමඟ ‘‘නොමග යන සයිටම් විරෝධය’’ යැයි ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ප‍්‍රදීප් ද සිල්වා කළ සාකච්ඡාවෙහිය. ඔහු පැහැදිලි කරන අයුරු එම්.බී.බී.එස්. වෛද්‍යවරයා ‘‘මැටි ගුලියක්’’ වැනිය. ඔහු හෝ ඇය විවිධ කාර්ය සඳහා පුහුණු කළ යුතුය. නිර්වින්දන විශේෂඥයකු ලෙස පුහුණු කළ විට ඔහුට හෝ ඇයට කළ හැක්කේ නිර්වින්දන කාර්යය පමණි. ඔවුන්ට ශල්‍යකර්ම කළ නොහැකි යැයි ඔහු පැහැදිලි කර තිබිණ. එවැනි බොහෝ කරුණු කාරණා සමගින් ඔහු කියා තිබුණේ වෛද්‍ය සංගමයේ නායකයන් කියන ආකාරයට එම්.බී.බී.එස්. වෛද්‍යවරුන්ට ඕනෑම කාර්යයක් කළ හැකිය යන කතාව වැරැදි බවය.
එබැවින් වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධ ඇත්ත ප‍්‍රශ්නයක් ඇත. දැනට රජයේ වෛද්‍ය සේවයේ ඉන්නා සියලූ වෛද්‍යවරුන් ගැන කතා කළහොත් එම්.බී.බී.එස්. වෛද්‍යවරුන් 18,345 ඔහු කියන ‘‘මැටි ගුලි’’ පමණය. ඔවුන්ට වෛද්‍ය නලාව භාවිත කරන්නටත් රුධිර පීඩනය බැලීමටත් සාමාන්‍ය ලෙඩට බෙහෙත් තුණ්ඩුවක් ලියා දීමටත් වඩා වැඩි දෙයක් කළ නොහැක. යටත්විජිත සමයේ එවැනි කාර්ය සඳහා හර්කියුලස් රොබින්සන් ආණ්ඩුකාරයා 1869 දී සහකාර වෛද්‍ය නිලධර සේවාවක් ආරම්භ කළේය. ඔවුන් පුහුණු කිරීම සඳහා සිවිල් වෛද්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානියා වූ වෛද්‍ය ඩබ්ලියු.ආර්. කින්සි 1870 දී කොළඹ වෛද්‍ය පාසල පිහිටු වූයේය.
සහකාර වෛද්‍ය නිලධාරීන් මෙන් සරල වෛද්‍ය ප‍්‍රතිකාර හා උපදෙස් දීමට වඩා යමක් කිරීමට එම්.බී.බී.එස්. උපාධිලාභී වෛද්‍යවරුන්, අලූතින් පුහුණුවී විශේෂඥයන් ලෙස සුදුසුකම් ලැබිය යුතුය. එවැනි විශේෂඥයන් 2017 පෙබරවාරි වනවිට රාජ්‍ය සේවයේ සිටියේ 1,739 කි. ඒ අතර රටට අවශ්‍ය බොහෝ විශේෂඥයන් අවශ්‍ය ප‍්‍රමාණයෙන් නොවිණ. නිදසුන් ලෙස, ළමා ස්නායු විශේෂඥවරුන් ඉන්නේ වෛද්‍ය සංගමයේ සභාපති පාදෙණියද ඇතුළුව 05 ක් පමණි. ස්නායූ ශල්‍ය වෛද්‍ය විශේෂඥයන් ඇත්තේ 12 කි. ළමා ශල්‍ය වෛද්‍ය විශේෂඥයන් 15 කි. ඇස්-කන්-නාස ශල්‍ය වෛද්‍ය විශේෂඥයන් ඇත්තේ 39 කි. එවැනි අත්‍යවශ්‍ය විශේෂඥ කාර්ය සඳහා අවශ්‍ය විශේෂඥයන් දුසිමකට හමාරකට වැඩි නැති විශේෂඥ ක්ෂේත‍්‍ර තවත් ගණනාවක් ඇත. ඒවගේම කිසිදු විශේෂඥයකු නැති ‘‘ජ්‍යෙෂ්ඨ පුද්ගල ප‍්‍රතිකාර’’ (මෙය ඉංගී‍්‍රසියෙන් zGeriatricsZ ලෙස හැඳින්වේ. ශීඝ‍්‍රයෙන් මහලූවන අපේ සමාජයට එය අත්‍යවශ්‍ය විශේෂඥතාවකි.) එවැනි ක්ෂේත‍්‍ර තව ඇත. අපේ වෛද්‍ය සේවාවේ විශේෂඥ පුහුණු කිරීම් කෙරෙන්නේ සමාජයීය අවශ්‍යතා අනුව නොවේ. එය සිදුවන්නේ එක් එක් පුද්ගලයාගේ අභිමතය හා උනන්දුව අනුවය. දෙවැන්න, විශේෂඥ වෛද්‍යවරුන් අති බහුතරය සේවය කරන්නේ කොළඹ, මහනුවර, ගාල්ල වැනි ප‍්‍රධාන නගරවල ය.
මේ වෛද්‍ය සේවාවේ 3,000 ට වැඩි පිරිසක් පශ්චාත් උපාධි අධ්‍යයනය සඳහා වැටුප් සහිත නිවාඩු සමගින් සේවයෙන් නිදහස්ව එම පාඨමාලා සම්පූර්ණ නොකර වසර ගණන් ඔවුන්ගේ පෞද්ගලික කාර්යයන්වල නියැලෙන්නේ යැයි චෝදනා ඇත. එසේ අවුරුදු ගණන් එක දිගට නිදහස්ව ඉන්නේ කෙසේදැයි තවත් ප‍්‍රශ්නයකි. එයට ඇතැම්විට උත්තරයක් විය හැක්කේ, සෞඛ්‍ය අමාත්‍යාංශ ඉහළ නිලධාරීන් වෛද්‍යවරුන් වීමය. තොරතුරු දැනගැනීමේ පනත යටතේ හෝ ඔවුහු සෞඛ්‍ය පරිපාලනයේ ඉන්නා වෛද්‍යවරුන් විශාල සංඛ්‍යාව ගැන තොරතුරු ලබා නොදෙති.
වෛද්‍යවරුන් එලෙසින් තැන තැන ඔවුන්ගේ වෘත්තියෙන් බැහැර කාර්යවල නිරතවන අතර, ඉතිරි එම්.බී.බී.එස්. වෛද්‍යවරුන්ට තනිව රෝහල් වාට්ටුවක් හෝ පවත්වා ගෙන යා නොහැක. ඒ වෙනුවෙන් ඔවුන්ට හෙදියන්, ඖෂධවේදීන්, වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන් වැනි අතුරු සෞඛ්‍ය සේවාව සහාය පමණක් නොව, සනීපාරක්ෂක කම්කරුවන්ගේ සේවයද අවශ්‍ය වන්නේය. එහෙත් ඔවුන් වැඩ වර්ජනය කළ හැම විටම මේ අතුරු වෛද්‍ය සේවා විසින් රෝහල් වාට්ටු පවත්වා ගති.
එබැවින් දැන් ප‍්‍රශ්නය ඇසිය යුත්තේ මෙවැනි වෛද්‍යවරුන් කුමටද යනුවෙනි. රෝහල්වල විශේෂ කාර්යක්ද නැති, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තුවල කාර්යාල සේවාවේ නිරත වන්නට වසර 05 ක ඉතා දියුණු පුහුණුවක් යැයි පවසන එම්.බී.බී.එස්. වෛද්‍යවරුන් හැදීමට මහජනතාව මුදල් වැය කළ යුතුද? එයට උත්තර ලබා දෙන අතීත අත්දැකීම් අපමණ ඇත.
අප ඉතා ආඩම්බරයෙන් කතා කරන අපගේ ඉතා ඉහළ සෞඛ්‍ය තත්ත්වය අප ලබා ගත්තේ එම්.බී.බී.එස්. වෛද්‍යවරුන්ගේ සේවය මත නොවේ. රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විජිත ද සිල්වා සහ කඩුගන්නාව දිස්ති‍්‍රක් රෝහලේ වෛද්‍ය මහින්ද ලියනගේ ඇමෙරිකාවේ ඩියුක් විශ්වවිද්‍යාලයේ ප‍්‍රජා සහ පවුල් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ දෙදෙනකු සමග කළ පර්යේෂණ වාර්තාවක් 2013 මැයි මාසයේදී ‘‘අන්තර් වෘත්තීය සේවා සඟරාවෙහි’’ ^Journal of Interprofessional Care& පළ කරනු ලැබිණ. එහි සඳහන් වන්නේ 1869 දී ආරම්භ කෙරුණු සහකාර වෛද්‍ය නිලධර සේවාව ‘‘පුහුණු කිරීමේ පාඨමාලාව වෛද්‍ය පාසලෙහි වසරක පුහුණුවෙන් පසු 06 මසක සායනික පුහුණුවකින් සමන්විත විය. එහි විෂයන් වූයේ ශරීරයේ ව්‍යුහය හා කි‍්‍රයාකාරිත්වය, පෝෂණය, ජීවවිද්‍යා රසායනය, ඖෂධවේදය, ශුද්‍ර ජීව විද්‍යාව, ප‍්‍රජා සෞඛ්‍යය, ශල්‍ය වෛද්‍ය, ළමා වෛද්‍ය විද්‍යාව, ප‍්‍රසව හා නාරි වෛද්‍ය වැනි විෂයන්ය’’ යනුවෙනි.
එවැනි අධ්‍යාපනයක් හා පුහුණුවක් සමගින් ‘‘වසර 150 ක පමණ කාලයක් සහකාර වෛද්‍ය නිලධරයන් ශී‍්‍ර ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයෙහි අත්‍යවශ්‍ය සේවාවක් විය. මේ කාලය පුරා, රට පුරා පිහිටි මාතෘ නිවාස (380 පමණ) සහ බොහෝ රජයේ මධ්‍යම බෙහෙත් ශාලා සහකාර වෛද්‍ය නිලධාරීන් හා ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන් විසින් පවත්වාගෙන යනු ලැබිණ. ඊට අමතරව, ඇතැම් ග‍්‍රාමීය සහ පර්යන්ත රෝහල් ඔවුන් යටතේ පැවතිණි’’ යැයි එම පර්යේෂණ වාර්තාවෙහි සඳහන් වන්නේය. ඒවගේම එම වාර්තාවට අනුව, එම්.බී.බී.එස්. වෛද්‍යවරුන් මෙම සහකාර වෛද්‍ය නිලධරයන්ට වඩා සංඛ්‍යාත්මකව වැඩි වූයේ 1960 න් පසුවය.
ඒ සමඟ මෙයද කියවිය යුතුය. 2016 පළ කෙරුණු ලෝක සෞඛ්‍ය සංවිධානයේ ‘‘ශී‍්‍ර ලංකාවේ මහජන සෞඛ්‍ය සේවාවේ සාර්ථකත්වය’’ මැයෙන් වූ වාර්තාවට අනුව, ‘‘ඉතා දියුණු පුහුණුවක් ලැබූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, පවුල් සෞඛ්‍ය සේවිකාවෝ සහ ග‍්‍රාමීය ස්වේච්ඡා කි‍්‍රයාධරයෝ ඇතුළු පිරිස, පුළුල් වෛද්‍ය ප‍්‍රතිකාර ව්‍යාපාර දියත් කිරීම සඳහා ප‍්‍රජා සජීවීකරණ වැඩසටහන් ඉතා සාර්ථකව කි‍්‍රයත්මක කළහ.’’ එමගින් ඔප්පු කෙරෙන්නේ, අප ඉහළ සෞඛ්‍ය තත්ත්වයක් සහතික කරගෙන ඇත්තේ මහජන සෞඛ්‍ය සේවාවේ මෙම පුහුණු සේවකයන් මගින් මිස සේවයට වාර්තා කිරීමේදී පැමිණීමේ ලේඛනයක්වත් අත්සන් නොතබා අතිකාල සේවය වෙනුවෙන්ද වැටුප් ලබන, වැඩිමනත් පෞද්ගලික වෛද්‍ය සේවයේ සහ චැනල් සේවාවේදී හමුවන වෛද්‍යවරුන් සමගින් නොවන බවය.
එය ඉතා හොඳින් අවබෝධ කරගත හැක්කේ, මැලේරියාව, බරවා රෝගය, පෝලියෝව වැනි වසංගත තුරන් කිරීමට අතීතයේ දායක වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකයන්, පවුල් සෞඛ්‍ය සේවිකාවන් සහ ග‍්‍රාමීය ස්වේච්ඡා කි‍්‍රයාධරයන් ඇතුළු පිරිස් අමතක කරමින් ලොකු වැදගත්කමක් සමඟින් හැදූ සියල්ල කළ හැකි යැයි සිතා සිටින එම්.බී.බී.එස්. වෛද්‍යවරුන් සමඟ වර්තමානයේ අප ඩෙංගු උවදුරට ගොදුරුව ඉන්නා බැව් මතක් කරගත් විටය.
එවගේම අප අද බුක්ති විඳින ඉහළ සෞඛ්‍ය තත්ත්වයට 1943 සිට කි‍්‍රයාත්මක වූ ජාතික අධ්‍යාපනය විසින් බිහි කළ ඉහළ සාක්ෂරතාව සහිත සමාජයේ සෞඛ්‍ය හා සනීපාරක්ෂාව පිළිබඳ දැනුවත්වීම්, පානීය ජලය හා සනීපාරක්ෂක පහසුකම් සුලභවීම අනෙක් සාධක විය. ඒ සියල්ල රෝහල් සේවාවට පිටතින් එකතු වූ සාධනීය සාධකය.
එවැනි ප‍්‍රජා මූලික සෞඛ්‍ය සේවාවක් සමඟ වූ සහකාර වෛද්‍ය නිලධර සේවාව චීනයේ කි‍්‍රයාත්මක වූ ‘‘පා ගමන් යන’’ වෛද්‍යවරුන් වැනි විය. ස්පාඤ්ඤයේ සහ ඔවුන්ගේ ඇතැම් යටත්විජිත කොලනිවල පැවති ‘‘ප‍්‍රැක්ටිකාන්තෙ’’ වෛද්‍ය සේවය වැනි විය. එම සේවා 1960 වන විට ඇමෙරිකාවේත්, මහ බි‍්‍රතාන්‍යයේත් කැනඩාවෙත් ඕස්ත්‍රේලියාවෙත් ‘‘වෛද්‍ය සහකාරීන්’’ ලෙස තව දුරටත් දියුණු කරනු ලැබිණ. එවැනි අතරමැදි වෛද්‍ය සේවාවක් දියුණු කිරීමේ තර්කය වූයේ, ප‍්‍රජා මූලික හා ප‍්‍රාථමික සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන් එම්.බී.බී.එස්. උපාධිලාභී වෛද්‍යවරුන් බිහි කිරීමට වැය කරන්නාවූ විශාල මුදල වෙනුවට එම කාර්ය අඩුවක් නැතිව ඉටුකර ගත හැකි සහකාර වෛද්‍ය නිලධරයන් බිහි කිරීම සමාජයට අතිශය වාසිදායී යන්නය. ඉහතින් උපුටා දැක්වුනු පර්යේෂණ වාර්තාව එය සනාථ කරන්නේ, ‘‘අවුරුදු 150 ක් ග‍්‍රාමීය සමාජයට මනා සෞඛ්‍ය සේවාවක් ලබා දුන්නේත් ඒවායේ රෝහල්වල සිටි වෛද්‍යවරුන් වූයේත් බාහිර රෝගී සායනවල සේවය කරනු ලැබූයේත් සහකාර වෛද්‍ය නිලධරයන්’’ යැයි තබන සටහන මගින් ය. එම පුහුණුව සමග සහකාර වෛද්‍ය නිලධර වෘත්තිය ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග විසින් 1995 දී අවසන් කරනු ලැබූයේද ඒ වනවිට විවෘත වෙළඳපොළ ආර්ථිකයෙහි සියලූ වාසි ලබන්නට උත්සාහ කළ වෛද්‍යවරුන්ගේ බලපෑම මතය.
පසුගිය දශක දෙකකට වැඩි කාලයක සිට වෛද්‍යවරුන්ගේ සංගමය සෞඛ්‍ය සේවාවේ ප‍්‍රධාන බලධාරීන් ලෙස ඉස්මතු වන්නට පියවර ගත්තේ විවෘත වෙළඳපොළෙහි වාසිය වෙනුවෙනි. වෛද්‍යවරයා ‘‘මහා ජීවකයෙකු’’ ලෙස පුම්බනු ලැබූයේත් ඒ වෙනුවෙනි. විවෘත වෙළඳපොළ සමඟ රෝගියා හා වෛද්‍යවරයා අතර ගොඩනැඟුණු මුදල් මත සෘජුව තීන්දු වූ සම්බන්ධයද එයට දායක වූවකි. මේ විවෘත වෙළඳපොළෙහි වෛද්‍යවරුන් ගොඩනගා ගත් පැවැත්ම අතිශය ආත්මාර්ථකාමී, කුහක සහ වෘත්තිමය වශයෙන් සදාචාර විරෝධී පැවැත්මකි.
සයිටම් විරෝධය පරාජයවීමත් සමග මේ සියල්ල ප‍්‍රශ්න කළ යුතු පසුබිම නිර්මාණයවී ඇත. ඒ වෙනුවෙන් මූලික කාරණා දෙකක් අවධාරණය කළ යුතුය.
පළමුවැන්න, ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාවේ කාර්යය හා එහි සංයුතිය පිළිබඳ ප‍්‍රශ්නය ය. වෛද්‍ය සභාව ප‍්‍රතිපත්ති සකසන සභාවක් නොවේ. ජනතාව ආණ්ඩු පත් කරන්නේ ප‍්‍රතිපත්ති සැකසීම වෙනුවෙනි. වෛද්‍ය සභාව අවශ්‍ය වන්නේ සෞඛ්‍ය සේවාවේ ඉතා කාර්යක්ෂම නියාමන කාර්ය සඳහා පමණි. එබැවින්ම එය වෛද්‍යවරුන්ට පමණක් සීමා නොවිය යුතුය. ඉතා පුළුල් නියෝජනයක් සහිත වෛද්‍ය සභාවක් හැදීමට දියුණු ලෝකයේ ඕනෑ තරම් අත්දැකීම් ඇත. දැන් වහා කළ යුත්තේ ඒ සඳහා අවශ්‍ය පරිදි සෞඛ්‍ය පනතද සංශෝධනය කර අලූත් වෛද්‍ය සභාවක් පිහිටුවීමේ කාර්යය ඉක්මන් කිරීමය.
දෙවැන්න, විශාල මුදල් නාස්තියක් සහිත එම්.බී.බී.එස්. වෛද්‍යවරුන් හැදීම වෙනුවට මහජන සෞඛ්‍ය සේවය මුල් කරගන්නා වෛද්‍ය අධ්‍යාපනයක් ගැන අලූතින් සිතීමය. යටත්විජිත සමයේ ආරම්භ කළ සහකාර වෛද්‍ය සේවාව වඩා දියුණු හා ප‍්‍රායෝගික පුහුණුවක් සමගින් යළි ආරම්භ කිරීම ගැන වහා අවධානය යොමු කළ යුතුව ඇත. ඒවගේම මහජන සෞඛ්‍ය පරීක්ෂකයන්, පවුල් සෞඛ්‍ය සේවිකාවන් වැනි සේවා දියුණු කිරීම වෙත වැඩි අවධානයක් තිබිය යුතුය. රෝහල් වෙත පැමිණෙන රෝගීන් සංඛ්‍යාව අඩු කරන්නා වූ මහජන සෞඛ්‍ය සේවාවක් හැදීමට මිස, එම්.බී.බී.එස්. වෛද්‍යවරුන් වැඩියෙන් හැදීමේ වෛද්‍ය අධ්‍යාපනයක් අපට අවශ්‍ය නැත.
-කුසල් පෙරේරා විිසිනි
COMMENTS
ඉතාම පහත්ලෙස වෛද්‍ය වෘත්තිය හෙළාදකින්නකි. කවුරුන් අරබයාද යැයි නොදනී. කෙසේවෙතත් පාදෙණිය මැතිතුමා, ලේකම් තුමාගෙන් මෙයට නිසි පිළිතුරක් ලැබේවා !!!
සයිටම් ගොඩදා වෛද්‍ය වෘත්තිය විනාශ කිරීමේ වත්මන් රජයේ උත්සාහයට කඩේයනවා..
මේවගේ දොස්තරවරයෙක් වෙන්න බැහැ මැතිතුමා. වෛද්‍යවරයෙක් වෙන්න වසර 7ක් වත් අඩුම තරමේ ඉගෙන ගතයුතුය. හැමදාම අධ්‍යයන කටයුතු කළයුතුය. ඔබ අහලා නැද්ද රජකම හෝ වෙදකම කියා... මම ඉන්නේ ඩුබායි වල. අපිට අසනීපයකට බෙහෙත් ගන්න යන්න වෙලා තියෙන්නේ ඉන්දියානු දොස්තරවරු ලඟට. නැතිනම් පාකිස්තානු දොස්තරලා ලඟට. අපිට තේරෙනවා ලංකාවේ දොස්තරලගේ රඟේ...
මා සිතන හැටියට සයිටම් විරෝධය පරාජවීමට ප්‍රධන හේතුව නම් ඊට සාධාරණ පදනමක් නැති වීමයි. අද ලංකාවේ කළමනාකරණය, ගණකාධිකරණය, ඉංජිනේරු, පරිගණක, නීතිය වැනි රටේ ඉල්ලුමක් ඇති ක්ෂේත්‍ර වලට පුද්ගලික අංශයෙන් උපාධි ලබා ගත හැකි අතර, වෛද්‍ය අධ්‍යාපනය සඳහා පමණක් සමහරු විරෝධය දක්වති. මේ විරෝධතා සටනේ ඇත්තේ, තමන්ගේ ගෝත්‍රය රැකීමේ මුහුණුවරක් පමණයි. යමෙක් සිතනවානම්, '80 ගණන් වල මෙන් පෙළපාලි යාමෙන් රජය බිය ගැන්විය හැකියි කීම මුලාවක් පමණි. අප හොඳින් සිහි තබාගත යුතු දෙය නම්, වර්තමාන දේශපාලන වාතාවරණය '80 ගණන් වලට වඩා බොහෝ වෙනස් වන අතර, අද රජයක් පෙරළිය හැක්කේ මහජන ඡන්දයකින් පමණක් බව. යම් හෙයකින් සයිටම් ආයතනය ජනසතු කළත්, අද ඇති දේශපාලන චින්තනයට අනුව අනාගතයේදී තවත් මෙවැනි පුද්ගලික ආයතන ඇතිවීම වැලැක්විය නොහැකිය.
හරිම පහත් විදියට ආණ්ඩුවටම කඩේ ගියපු දෙයක් කියලයි මට නම් කියන්න තියෙන්නේ...
මේක තමයි අද වෛද්‍ය වෘත්තියේ සැබෑ තත්වය. අපට මේවා එදිනෙදා දැකගන්න පුළුවන්.
එම්.බී.බී.එස් එපා නම් සයිටම් එකත් එපා කියලා කියන්න බැරිද?
විශ්ව විද්‍යාලේ යන්න බැරිවුණාට දේශපාලකයින්ගේ ළමයි හා හිතවතුන්ගේ ළමයි නිකම්ම දොස්තරලා බවට පත්වෙනවා. දැන් සහකාර වෛද්‍යවරු වෙනුවට පහසුවෙන් සයිටම් වෛද්‍යවරු බිහි කිරීමට දඟලන්නේ මෙම බලවත් උදවියයි. ලෝකය දියුණු වනවිට රැකියා සඳහා අවම සුදුසුකම් ඉහල යාම වැලැක්විය නොහැක.
මේ හොර නඩේ පරාද කරපු එකම තමා හොඳේ.
දයාබර ලංකාදීප පාඨකයනි, මෙය කියවන ඕනෑම අයෙකුට පෙනෙන දෙයක් නම් සයිටම් වලට කැමති අය විසින් ලියූ දෙයක් වගයි. අප ජීවත් වන්නේ රටක ගාමක බලවේගයක් වන වෘත්තීයවේදීන් සහ ඔවුන්ගේ මතය නොසලකා හරින, අඩු අධ්‍යාපනයක් සහ තාක්ෂණික දැනුමක් සහිත 225ක් අතින් පාලනය වන, ඔවුන්ගේ වුවමනාවලට පවතින රටකයි..අපි ඉන්නේ. සයිටම් යනු වෛද්‍ය අධ්‍යාපනයේ මූලික හර පද්ධති උල්ලංඝණය කළ ඒ සම්බන්ධ ප්‍රමාණික උගතුන් විසින් ප්‍රතික්ෂේප කල තැනකි.
මොන පුද්ගලික විශ්ව විද්‍යාල තිබුණත් වෛද්‍ය විද්‍යාව යනු අතිශය ප්‍රවේසම් වෙන්න ඕන විෂයක්... ඕක ඔය කියන තරම් ලෙහෙසි නැහැ. වෛද්‍යවරයෙකු දෙන බෙහෙත බොන්නේ ඔහු තුළ තිබෙන වෘත්තීය විශ්වසය මතයි. කෙටියෙන් කියනවා නම් ඔහුට අප අපේ ජීවිතය බාරදෙනවා. මේක ඔය අනිත් ඒවා වගේ සසඳන්න එපා. කොහොම වුණත් සයිටම් යනු මුල ඉඳලම හරි තැනක් නෙවෙයි.
වෛද්ය වර්ජනයක් වන අවස්ථාවක වාට්ටුවල එම වර්ජනය සිදු නොවන බවත්, එම කාලයට අතුරු වෛද්‍යවරුන් වාට්ටු බලාගන්නා බවත් කියන මෙතුමා දැනට අතුරු වෛද්‍යවරුන් වාට්ටුවල නැති බව නොදැනීම කණගාටු දායකය.
මට කියන්න ඇත්තේ ඔබට අසනීපයක් වූ විටක මා වැනි මැටි ගුලි වෙත නොපැමිණෙන ලෙසයි........
ලංකාවේ ඉන්න බටහිර වෛද්‍යවරු කලේ අපේ පාරම්පරික සිංහල සුව සේවාව විනාශ කිරීම තුලින් තමාගේ මඩිය තර කර ගැනීමට මග පාදා ගැනීමක් පමණි.
එම්.බී.බී.එස්. උපාධිය ගැන දැනුම මැනවින් අවබෝධ වෙනවා. වෛද්‍යවරු වාට්ටුවේ වැඩ වර්ජනය කලේ කවදාද? (සායන සහ බාහිර රෝගී අංශ නම් වර්ජනය කලා) ... වෛද්‍යවරු නැති වෙලාවට හෙදියන් සහ අනෙකුත් වෘත්තිකයින් වාට්ටුවල ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරාලු. ඒ හින්දා වෛද්‍යවරු අවශ්‍ය නැහැලු... පුළුවන් නම් එහෙම ප්‍රතිකාර දුන්නා කියන වෙනත් වෘත්තිකයෙක් ගෙනල්ලා පෙන්නන්න...
දොස්තර මහත්තුරු ඉතාමත් කුහක විදිහට වැඩ කරන්න ගිහින් පැරදුනා කියන එක ඇත්තක් - කොහොම නමුත් මේ අය වර්ජනය කරන වෙලාවට කිසියම් විකල්පයක් අවශ්‍යමයි ඒ සදහා සහකාර වෛද්‍යවරු නැවත පුහුණු කිරීම හොද අදහසක්
මේ වගේ මෝඩ අය ඉන්නකම් ලංකාව කවදාවත් දියුණු වෙන්නේ නෑ.. ලංකාවේ දොස්තරලා කරන සේවය ගැන ඉරිසියානම් ඒ අයගෙන් බෙහෙත් නොගෙන ඉන්න.
මේ ලිපිය කියවන විට යමෙකුට හිතෙන්න පුළුවන් ලේඛකයා මෝඩයෙක් හෝ පිස්සෙක් බව. මම හිතන්නේ එය එසේ නොවන බවයි. ඔහු හිතා මතා සත්‍යය විකෘති කර ඇත්තේ මේ පිළිබඳව වැඩි දැනුමක් නැති ජනතාව නොමග යැවීමටයි. ඔහුටත් නොතේරෙන දේ තමයි මේ කියන විදියට සයිටම් එකෙන් දොස්තරලා බිහිකිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි.
සෞඛ්‍ය වෙළදපලක් කරගෙන ජනතාව සුරාකන ගමන් වෛද්‍ය වරු කරන මේ නාඩගන් ඔවුන්ටම කවදාහෝ පරාවලල්ලක් වේවි මොන අපරාදයක්ද මේ ය කරන්නේ හැමදාම වර්ජන
තව අවරුදු 20කින් පමණ ලංකාවේ සෞඛ්‍ය දර්ශක ටිකත් පහල වැටෙද්දී කට්ටියට තේරෙයි.
වෘත්තීමය ඊර්ෂ්‍යාවට හොදම නිදසුනක් සපයන ලිපියක්.. අන්න අරෙහෙ තව වාහන ගන්න පරිපුරක ඇස්තමේන්තු ගෙනත්...
අපරාදේ හාර්ට් ට්‍රාන්ස්ප්ලන්ට් එක මෙයාට කියලා කරවන්න තිබ්බේ..
කවදාද මේ ගව රැල ගාල්කරන්නේ ?
දොස්තරලට විතරක් නෙවෙයි, ලංකාවේ විශ්ව විද්‍යාල වලින් පිටවන කාටත් විශේෂ පුහුණු වලින් තොරව "කල හැක්කක් නොමැත"
මේ කතාව පිටුපස තවත් අයෙකු සිටින බව පෙනෙනවා... නමුත් ප්‍රශ්නය වන්නේ සමාජය නොමග යැවීමයි.
සයිටම් එකට විරුද්ධ ව්‍යාපාරය ආරම්භ කිරීමට හේතුව දොස්තරලගේ මුදල් තණ්හාව නැති වීමට හේතුවත් ඔවුන්ගේ මුදල් තන්හාව, වර්ජනයක් කරනකොට රජයේ ඉස්පිරිතාල වල විතරක් ඒක කරලා පුද්ගලික බෙහෙත් ශාලා වල මුදලට වෙදකම් කරන්න බැහැ
මට හිනා යන කාරණාව නම් ඇයි මේ ධනවතුන්ගේ සහ බලවතුන්ගේ ළමයි මිලියන ගණනින් වියදම් කරලා මැටි ගොඩක් වෙන්න දඟලන්නේ කියන එක.
ශ්‍රී ලංකාවේ වැඩි දෙනාට සෞඛ්‍යය ගැන වැඩි දැනුමක් නැහැ. හෙම්බිරිස්සාවට දුවනවා ඩිස්පෙන්සරියට තුන් පාරක් විතර. දියුණු රටවල හෙම්බිරිස්සාවට, සුළු උණට මිනිස්සු ඩිස්පෙන්සරියට යන්නේ නැහැ. ඔවුන් දන්නවා සිරුරින්ම එම රෝග සුව කරන බව. ඉතින් ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට මේවා කියලා දිය යුතුයි. එත් එක්කම ශ්‍රී ලංකවේ ප්‍රිවෙන්ටිව් මෙඩිසින් වැඩි දියුණු කල යුතුයි. ඒවා සිදුකළ පසු ඉතිරි වන රෝග සඳහා දොස්තර කෙනෙක් හමුවීම අවශ්‍යයි. නමුත් ලංකාවේ දැන් තියෙන්නේ නොදියුණු මානසිකත්වයෙන් දොස්තර සොයාගෙන දිවීමක්. දොස්තරලා මේක මිනිස්සුන්ට අවබෝධ කරලා දෙන්න ඕන... තමන්ගේ ව්‍යාපාරයට අවාසියක් ඉන් වුණත්. වැඩි දෙනාගේ දැනගැනීම පිණිස, සමහර දියුණු රටවල ඉන්නේ විශේෂඥවරු විතරයි.
වැදගත් ලිපියක්.
මේකේ දාල තියෙන කමෙන්ට් වල තියෙනවා M .B . B . S . උපාධියෙන් හදන්නේ මැටි ගොඩක් නම් එය ලොකු ගණන් වියදම් කරලා මැටි උපාධිය ගන්නේ කියල. සරලම පිළිතුර ගිහින් නවලෝකේ හරි වෙනත් පෞද්ගලික රෝහලක බලන්න බදු නැතුව ඔය මැටි දොස්තරලා සල්ලි හොයන හැටි. ඕක තමා දැනට තියෙන හොඳම අදායම් මාර්ගය. පුළුවන නම් නෑ කියන්න. දුප්පතුන්ගේ මුදල්වලින් පිනට නිදහස් අධ්‍යාපනේ අරන් ඒ දුප්පතුන්ටම බෙහෙත් කරන්න ලක්ෂ ගණනින් අය කරන හිතක් පපුවන් නැති කාලකන්නි වෘතියක් ගැන කතා කරන්නත් අප්පිරියයි. දොස්තරලගේ දරුවන්ට වත් ඔය ගන්න සල්ලි වලින් හරි යනවද දන්නේ නෑ. මැරුණට පස්සේ දොස්තරලට යන්න වෙනම අපායක් ඇති.
දොස්තර මහත්තුරුන්ට බැනල අදහස් දාන අය වගේද? තමන් ඉගෙන ගත්තෙ නැති වුනාට දොස්තර මහත්තුරු මොනව කරන්නද?