IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


සයිටම් ගැටළුව

මේ යහපාලන ආණ්ඩුවට නිවට ආණ්ඩුවක් ලෙස සලන්නේ පාරට බහින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයත් (අන්තරේ),රජයේ වෛද්‍ය සංගමයත් පමණක් නොවේ. මේ ආණ්ඩුව නිවට යැයි දැන් සාමාන්‍ය ජනයාද කියති. පසුගිය ජුනි 21 වන බදාදා දින, අන්තරේ කැඳවූ ‘‘සයිටම්’’ විරෝධී පෙළපාළිය සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදී ගොඩනැගිල්ලටද අලාභහානි කළ ප‍්‍රවෘත්තිය ඇසූ පසු, එය බොහෝ දෙනෙකු කියූවකි. ‘‘අවුරුදු 02 ක් තිස්සේ  ඕක විසඳගන්න බැරිවුන ආණ්ඩුවක්නෙ’’ යන මතය දැන් පොදු මතයකි.

මේ විරෝධතාවල ආරම්භය වූයේ සයිටම් ආයතනය විසින් මුදලට ලබා දෙන වෛද්‍ය උපාධිය තත්ත්වයෙන් බාල උපාධියක් වන්නේ යැයි එම සිසුන් වෛද්‍යවරුන් ලෙස වෛද්‍ය මණ්ඩලයේ ලියා පදිංචි කිරීමට විරුද්ධවය. ඊළඟට එය වෛද්‍ය උපාධිය මුදලට අලෙවි කිරීමට විරුද්ධ උද්ඝෝෂණයකට හරවා ගනු ලැබිණ. ඉන් පසු ඒ සටන් පාඨය වෙනස්කර නිදහස් අධ්‍යාපනය රැක ගැනීමේ සටනක් බවට පත්කර ගැනුණි. අවුරුද්දක් යත්ම එය ‘‘සයිටම්’’ ආයතනය අහෝසි කිරීමේ නොනැවතෙන උද්ඝෝෂණයක් විය. විශ්ව විද්‍යාල සිසු සිසුවියන් සති පතා පාරට කැඳවන විරෝධතාවක් බවට පත් කැරිණි. පසුගිය බදාදා සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩාවැදුණු පසු දැන් එය ආණ්ඩු පෙරළන සටනකි.

රාජපක්ෂ පාලන කාලයේ සයිටම් ප‍්‍රශ්නය තිබුණාට එයට විරෝධයක් නොතිබුණි. මහාචාර්ය කාලෝ ෆොන්සේකා ද එකල විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමෙහි සභිකයකු ලෙස එය අනුමත කර තිබිණි. රජයේ වෛද්‍ය සංගමයේ සභාපති පාදෙනියගේ ප‍්‍රධානත්වයෙන් ඔවුන්ගේ සංගමය කමිටුවක් පත්කර ඉදිරිපත් කළ වාර්තාවේ ඇත්තේ ද සයිටම් වෛද්‍ය පීඨයේ වෛද්‍ය පුහුණුව පිළිබඳ අඩු පාඩු කිහිපයකි. එබැවින් රාජපක්ෂ යුගයේ ඒවා සම්පූර්ණ කරවා ගන්නට ඉඩ තිබිණි.

වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු විසින් ඒවා සම්පූර්ණ කිරීමට ඒ කාලයේ අවශ්‍ය පියවර ගෙන නැත. රාජපක්ෂ ආණ්ඩුවද පැහැදිලි පියවර නොගත්තේය. සිදුවූයේ ලියාපදිංචිය වෙනුවෙන් විවිධ උප්පරවැට්ටි කිරීමකි. මේ ආණ්ඩුව වසර දෙකහමාරකට පෙර 2015 ජනවාරියේ බලයට පැමිණියේ රාජපක්ෂ පව් කන්දරාව සමඟ මේ පාපය ද කර ගසා ගෙනය. ඒ සියලූ පව් සමා කළ හැකි බලයක් තමන් සතුව ඇතැයි මේ දේශපාලන නායකයෝ මැතිවරණයේදී ජනතාවට සහතික වූහ.

එහෙත් ඔවුන් සයිටම් ආරවුල අර්බූදයක් වනතෙක් කිසිදු පැහැදිලි නිශ්චිත තීන්දුවක් මත කි‍්‍රයාත්මක පියවර තබා නැත. සයිටම් ආරවුල විකාරශීලී අර්බුදයකට හේතුවූ මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ ධුර කාලය අවසන් වූ පසුවත් සෞඛ්‍ය ඇමති ඔහු නැවත වෛද්‍ය මණ්ඩලයේ සභාපති ලෙස 6 මසක කාලයකට පත් කළේය. වෛද්‍ය සංගමයේ නායක නඩයට ඔහු අවනත වූ බවක් ඉන් කියැවුනි. සයිටම් අර්බූදය තව දිග්ගැස්සෙන්නට එයද හේතුවක් විය. එවැනි නොවිසඳුණු ආරවුලක් තිබියදීත් මුදල් වැයකර තමන්ගේ දරුවන් එහි වෛද්‍ය උපාධිය ලබන්නට යොමු කළ මවුපියන් වෙනුවෙන් කනගාටු නොවුණාට එහි ඉගෙන ගන්නා සිසු සිසුවියන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් නොකළ යුතුය. මේ ආණ්ඩුව ඒ වගකීම බාර ගන්නේ ද නැත.

එබැවින් පසුගිය කාලය පුරා ශිෂ්‍යයෝ සටන් පාඨ වෙනස් කරමින් නිතරම පාරේ විරෝධතා පැවැත් වූහ. වෛද්‍ය සංගමය ආණ්ඩුවට තර්ජනය කරමින් තැන තැන වර්ජනය කළහ. පොලීසිය පාරවල් හරස් කළහ. සාමාන්‍ය ජනතාව බැණ බැණ හවසට ගෙදර ගියහ. ආණ්ඩුව වටපිට බලමින් කල් මරන්නේය.

මේ සයිටම් විරෝධයේ දේශපාලනය තේරුම් ගැනීමට විශ්වවිද්‍යෙල හා සිසුවන්ගේ ඇත්ත ප‍්‍රශ්න අන්තරේ විසින් අතහැර දැමීම උපකාර වන්නකි. යල් පිනූ පාඨ මාලා, බාල වර්ගයේ අධ්‍යයන සම්පත්, නවීකරණය නොවන පුස්තකාල වැනි මූලික ගැටලූ ගැන ඔවුන්ගේ කිසිදු අවධානයක් නැත. ඔවුන් හවුල් වන්නේ වෛද්‍ය සංගමයේ විරෝධයටය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායකත්වය සයිටම් ප‍්‍රශ්නය එළියට ගෙනෙන්නේත් 2012 ජනවාරි 2 වැනි දින ශී‍්‍ර ලංකා වෛද්‍ය මණ්ඩලයේ සභාපති ලෙස පත් කෙරුණු මහාචාර්ය කාලෝ ෆොන්සේකා සයිටම් ප‍්‍රශ්නයට අත තබන්නේත් 2015 ජනවාරි ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පැරදී මාස 8 ට පමණ පසුවය. රාජපක්ෂ පාලන කාලයේ අතට නොගත් සයිටම් විරෝධය රාජපක්ෂ පැරදුණු පසු අතට ගැනීමේ දේශපාලනය ගැන අලූතෙන් නොලීවාට ඉන් ඔවුන්ගේ දේශපාලනයේ හැඩරුව හා වර්ණය මනාව පෙනෙන්නකි.

අන්තරේ සයිටම් විරෝධයට හවුල් වන්නේ ඉන් පසුවය. පෙරටුගාමීන් හා ජ.වි.පෙ අතර විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලය තහවුරු කර ගැනීමේ තරගය වෙනුවෙන් සයිටම් විරෝධය මුල්වන්නේය. ඒ විරෝධයන්ගෙන් සයිටම් ගැටලූවට කිසිදු බලපෑමක් නොතිබිණ. විශ්ව විද්‍යාලවලට සීමාවී කළ ඒ විරෝධයන්ගේ කිසිදු බලපෑමක් නොතිබූ බව, කොළඹ වෛද්‍ය පීඨය ඉදිරියේ අඩ වසරකට කිට්ටු කාලයක් කළු බැනර් එල්ලාගෙන අට්ටාලයකට ගොඩවී ඉන්නා සිසු සිසුවියන් කිහිප දෙනාගෙන් මැනිය හැක. එබැවින් ඔවුන්ට සිදුවූයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විරෝධයට හවුල්වන්නටය. එයට මුලපුරන්නේද පෙරටුගාමීන්ය. ඔවුන්ට ජ.වි.පෙ. අභිබවා එසවිය හැකි බලයක් පෙන්වීමට අවශ්‍ය වූයෙනි. 

ඒ ගනුදෙනුව සමග වෛ නිලධාරීන්ගේ සංගමයේ නායකයින්ටද අමතර හයියක් ලැබිණ. එබැවින් ඔවුහුද සයිටම් විරෝධයේ ගමන් මග වෙනස් කළහ. ආරම්භක ඉල්ලීමේ දිගටම සිටියා නම්, සයිටම් ප‍්‍රශ්නය කෙටියෙන් ගොඩින් බේරා ගත හැකිව තිබිණ. එහෙත් ඔවුන්ගේ ආණ්ඩු විරෝධයට එය නොගැළපුනකි. එබැවින් සටන් පාඨ සහ ඉල්ලීම් වෙනස් කරමින් සයිටම් විරෝධය ඇදගෙන යාමට ඔවුන්ට අන්තරේ පිහිට  වැදගත් විය.

එලෙසින් පුළුල් අධ්‍යාපන අරගලයක් ලෙස සයිටම් විරෝධය ස්ථානගතකර අන්තරේ එයට හවුල් කර ගැනීමේදී, පෙරටුගාමීන්ට තිබූ වාසිය වූයේ, වර්තමාන ජ.වි.පෙ. නායකයන් එවැනි දිගු ඇදෙන වීදි සටන්වල රැුඳී සිටින්නට තිබූ නොසූදානමය. වර්තමාන ජ.වි.පෙ. නායකයන්ගේ පසුගිය අවුරුදු 15 ක පමණ දේශපාලන භාවිතයේ පැහැදිලි පරිවර්තනයක් සිදුව ඇත. අවුරුදු 13 ට පෙර 2004 අපේ‍්‍රල් මහ මැතිවරණයෙන් ජ.වි.පෙ. මන්තී‍්‍රවරුන් 10 ක් තේරී පත් වූ පසු ප‍්‍රචාරය වූයේ ජ.වි.පෙ. මන්ත‍්‍රීවරුන් කිසිවකු පාර්ලිමේන්තුවේ සුපිරි අවන්හල හෝ පෞද්ගලික වාහන වැනි අධි සුඛෝපභෝගී වරප‍්‍රසාද බුක්ති නොවිඳින බවය. ප‍්‍රසිද්ධ කතාව වූයේ ඔවුන් පාර්ලිමේන්තුවේදී කන්නේ ගෙදරින් ගෙනෙන බත් පැකට්ටුව වාහනයක තබාගෙනය යන්නයි. කෙසේ මුත් මේ වනවිට එවැනි කිසිදු අල්පේච්ඡු ජීවිතයක ලක්ෂණ ඉතිරිව නැත. ඔවුන්ගේ සමාජ ජීවිතයද දැන් ඉහළ මැද පාන්තික ජීවිතයකි. මේ නායකයන් සියල්ලෝම දැන් වයස අවුරුදු 40 ඉක්මවූ පවුල් වගකීම් ඇති මැදිවයසේ මහත්වරුය. ඔවුන්ට අවුරුදු 25 ට පෙර කැලෑ පැන කළ ‘‘විප්ලව’’ දැන් කළ නොහැක. මේ ජ.වි.පෙ. නායකයින්ට අන්තරේ සිසුවන් මෙන් මාස ගණන් ඇද ගෙන යන වීදිසටන්වත් දැන් ඔරොත්තු දෙන්නේ නැත.

පෙරටුගාමීන් ඔවුන්ගේ බලය විශ්වවිද්‍යාලවල තහවුරු කර ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායක කල්ලියෙහි දේශපාලනයට හවුල්වන්නේ වත්මන් ජ.වි.පෙ. නායකයන්ගේ ඒ සීමාවන් සතු වාසිය මත ය. රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ නායක කල්ලියේ වසන් වූ දේශපාලනයට අවශ්‍ය ලෙස සටන් පාඨ සහ ඉල්ලීම් අලූත් වූයේද කෙදිනකවත් නොකෙරෙන සයිටම් ආයතනය වසා දැමීමේ ඉල්ලීම අන්තරේ අතට ගන්නේද නැවත ජ.වි.පෙ.ට ඒ පරණ ගමන යා නොහැකි බව හොඳින් දන්නා හෙයිනි. ඒ සමග ජ.වි.පෙ. ඉතිරිව ඉන්නේ ආණ්ඩුවට විරුද්ධව සයිටම් විරෝධය සහ සිසු මර්දනය ප‍්‍රචාරක වශයෙන් යොදා ගැනීමේ තැන පමණය. ඒ වෙනුවෙන් හැකි තරම් ඝෝෂාකාරීව පාර්ලිමේන්තුව යොදා ගැනීමෙහිය.

පෙරටුගාමීන්ට මෙහෙය විය හැකි අන්තරේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් නායකත්වයටද පාරේ දිග හැරිය හැකි සිසු බලයක් වන හෙයින් ඒ සන්ධානය සයිටම් විරෝධයේ වීදිබලය වන්නේය. එනමුත් ඒ සන්ධානය විසින් මාස ගණනාවක් පුරා විශ්වවිද්‍යාල සිසුන් කොළඹ පාරවල දක්කා ගෙන යාමෙන් දිනාගත් කිසිත් නැත. එබැවින් විශ්වවිද්‍යාල සිසුන් පාරට මුදා හැරෙන හැමවිටම කලින් වාරයට වඩා වැඩි හයියක් වැඩි බලයක් පෙන්වීමට අන්තරේ නායකයන්ට සිදු විය. ඒ වැඩි හයිය, වැඩි බලය ඔවුන්ට පෙන්විය හැකි වූයේ ආණ්ඩුව විසින් විරෝධතා පාලනය කිරීමට යොදා ගන්නා පොලීසිය සමඟ ඇති කර ගන්නා ගැටුම් ඔස්සේය. ඉන් ඇතිවන තුවාල ප‍්‍රදර්ශනය කිරීමෙන් ලබා ගන්නා අනුකම්පාව මතය.

එහෙත් ඊට සමාන්තරව විරෝධයන්ට හවුල් වන්නට වෛද්‍යවරුන් දැන සිටියේ වර්ජනය කිරීමට හා ප‍්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වීමට පමණි. ජනතාව හා ගනුදෙනු කිරීමට නොවේ. එබැවින් වෛද්‍ය වර්ජන හා සිසුන්ගේ වීදි සටන් එක තැන පල්වන ස්වරූපයක් පසුගිය මාස කිහිපයේ දැකිය හැකි විය. ඒ අතර, අධිකරණයට යොමු කෙරුණු සයිටම් අර්බූදය වෛද්‍ය සංගමයේ නායක කල්ලියෙහි සහ මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ ප‍්‍රධානත්වයෙන් වන ශී‍්‍ර ලංකා වෛද්‍ය මණ්ඩලයේ දේශපාලනයට ගැළපෙන ආකාරයේ තීරණයකින් කෙළවර නොවන බැව් වඩාත් පැහැදිලි වූවකි. එබැවින් වෛද්‍ය සංගම් නායකයන්ටත් සම්මුතියකට ඉඩ නොතබා සටන් පාඨ පාරට රැගෙන ආ අන්තරේටත් ඔවුන්ගේ විරෝධතා වඩා වේගවත් කිරීමට සිදුවිය.

ඒ හේතුවෙන් ඔවුන් දැන් පැමිණ ඇත්තේ හැකි පමණින් ආණ්ඩුව අස්ථාවර කිරීමේ තීන්දුවකටය. ආණ්ඩුව අස්ථාවර කිරීමේ පෙරටුගාමීන් දන්නා එකම සූත‍්‍රය වන්නේ අරාජිකත්වය ය. පසුගිය වසරේ අපේ‍්‍රල් මාසයේ ද ඔවුන්ගේ නායකයකු වන ගුණරත්නම්ගේ පුරවැසි භාවය යළි දිනා ගැනීම වෙනුවෙන් පෙරටුගාමීහු පොලීසිය හා ගැටී ආගමන විගමන දෙපාර්තමේන්තුවට බලහත්කාරයෙන් ඇතුළු වූහ. ඒ වෙනුවෙන්ද ඔවුන් යොදා ගනු ලැබුයේ අන්තරේ පිරිස් බලය ය.

අරාජිකත්වය ජ.වි.පෙ. දේශපාලනයේ ප‍්‍රධාන ආවේණික ලක්ෂණයක් වූවකි. 1987 ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව ශී‍්‍ර.ල.නි.ප. සමගින් පෙළපාළි ගිය ජ.වි.පෙ. කි‍්‍රයාකාරීන් ඔවුන්ගේ විරෝධය එදා සටහන් කෙරුවේ ලයිට් කණු කඩා, බස්වලට සහ රජයේ ගොඩනැගිලිවලට පහර දීමෙනි. වෘත්තීය සමිති ආභාසයක් නොවුනු සහ වෘත්තීය සමිති සංවිධානය කිරීමට අවසරයක් නොතිබූ 80 දසකයෙහි, ගමෙන් නිදහස් වෙළඳ කලාපවලට ගාල් කෙරුණු තරුණ ශ‍්‍රමය එදා ඔවුන්ගේ විරෝධතා සඳහා යොදාගත්තේද වතුර ටැංකි මත සත්‍යග‍්‍රහ කිරීම, කළමනාකරුවන් ප‍්‍රාණඇපයට ගැනීම වැනි අරාජික විරෝධයන්ය. ජ.වි.පෙ. පාර්ලිමේන්තු දේශපාලනයේ සුව පහසුව සමග පැළපදියම් වූයෙන් එය දැන් ඇත්තේ පෙරටුගාමී දේශපාලනයෙහි ය. රජයේ කාර්යාලවලට කඩා පැන අලාභ හානි කිරීමේ ඔවුන්ගේ දේශපාලනය ඒ අරාජික උරුමය විදහාපාන්නකි.

දැන් මේ දෙපිරිස පැමිණ ඇත්තේ බරපතළ හෙයියම්මාරුවකටය. අන්තරේ දේශපාලන නායකයන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදීමෙන් සිදුවූ අකරතැබ්බය නිසා යළි එවැනි ශිෂ්‍ය විරෝධයකට වහා අතගැසිය නොහැක. වෛද්‍ය සංගමයේ ප‍්‍රධානීන්ට ඔවුන් තීන්දු කළ අඛණ්ඩ වර්ජනය දිගටම කි‍්‍රයාත්මක කළ නොහැක්කකි. ඔවුන්ගේ වර්ජන අසාර්ථකය. තැන් තැන්වල වර්ජනය කෙරුණද, එය දින කිහිපයකට වඩා ඇදගෙන යා නොහැක්කකි. ඔවුන්ගේ පෞද්ගලික වෛද්‍ය සේවාද වර්ජන කාලයේ අත හරින්නට දැන් සිදුව ඇති හෙයින් 18,000 ක් පමණ වෛද්‍යවරුන් අතුරින් වර්ජනයට හවුල්ව ඇත්තේ 3,000 ක් පමණය. අතිශය ආත්මාර්ථකාමී වෘත්තියක් බවට පත්ව ඇති වෛද්‍ය වෘත්තියට එවැනි කැප කිරීම් කළ නොහැකිය.

වෛද්‍ය සංගමයේ නායක කල්ලියට ඒ අතර ඔවුන්ගේ සංගමයේ නියෝජිත සම්මේලනයට පසුගිය සති අන්තයේදී මුහුණ දෙන්නටද සිදුවිය. විකල්ප කණ්ඩායම් සියල්ලගේ සාමාජිකත්වය අත්හිටුවා තිබියදීත් තුවාල සහිත, විසඳුම් පෙනෙන තෙක් මානයේ නැති බරපතළ ආරවුලක් සමගින් ඔවුන්ට නියෝජිත සම්මේලනයකට යා නොහැකි විය. එනිසා ඔවුහු වහා ජනාධිපති හමුව මුහුණයි, රැවුලයි බේරා ගන්නා, අවසන් විසඳුමක් නොවන තාවකාලික විරාමයකට එකඟව, වර්ජන තීන්දුව අතහැරියහ. ජනාධිපති ලේකම් විසින් පැමිණි එකඟත්වය කඩ කෙරුවයි සම්මේලනය අවසන් වූ වහා නැවත වර්ජනය කිරීමට සිදුවිය හැකියැයි වෛද්‍ය සංගම් නායකයින් කියන්නේ ඔවුන්ට එකවර සයිටම් අතහැරිය නොහැකි හෙයිනි.

වෛද්‍ය සංගමය සයිටම් අතහැරිය විට, අන්තරේට සිදුවනු ඇත්තේ කුමක්ද? වෛද්‍ය සංගම් නායකයින්ට ඔවුන්ගේ ගමන කෙළවර කරන්නට සිදුවන විට ඔවුන් අන්තරේ පෙරටුගාමී දේශපාලනයට සිදුවන්නේ කවරක්දැයි ගණන් නොබලනු ඇත. වෛද්‍ය පීඨ ශිෂ්‍යයින්ට සිදුවන්නේ කුමක්දැයි ගණන් බලන්නට ද ඔවුන්ට වුවමනාවක් නැත. මෙය සතියකින් දෙකකින් නිමා වන්නක් ද නොවේ.

එනමුත් මෙය ඉක්මන් කළ හැක්කේ රටේ ජනතාවටය. රජයේ වෛද්‍ය සේවාව ඔවුන්ගේ බදු මුදලින් නඩත්තු කරන්නක් බව ජනතාව තේරුම් ගන්නා ප‍්‍රමාණයට අවසන් තීන්දුව ඉක්මන් කළ හැක. අයාලේ යන රජයේ වෛද්‍යවරුන්ට තම රාජකාරිය පිළිබඳව අවසන් තීන්දුවක් ගන්නට යැයි රෝහල්වලට ගොසින් කියන්නේ නම් සයිටම් අර්බුදය නිට්ටාවට සුව කරගත හැකිය.   



අදහස් (9)

සයිටම් ගැටළුව

wedage Wednesday, 28 June 2017 07:56 AM

රජයේ දොස්තරවරුන්ට රාජකාරිය උගන්වන්ට ජනතාවට පුළුවන්නම් දොස්තරවරු මොකටද? ජනතාවටම තමන්ගේ බෙහෙත් සොයා ගත හැක.

:       1449       2251

WijebahuThursday, 29 June 2017 12:55 AM

රාජෙයේ වෛද්‍ය සංගමය්ස්අ වුරුදු දෙකක ළමයෙකුට සම කල හැක. ලොලිපොප් ඉල්ලා ලැබුනනෙ නැතිවිට බිම පෙරලි පෙරලි අඩන ළදරුවෙක් වැනිය.

:       284       137

චන්දා Wednesday, 28 June 2017 10:25 AM

මේ ලිපිය බැලුවහම කාලෝචිත එකක් වෙන්නත් පුළුවන්...

:       155       8

සෙනෙවි Thursday, 29 June 2017 05:59 AM

මේ වගේ දේවල් නොවෙන්නත් පුළුවන්....

:       177       110

dingirala Wednesday, 28 June 2017 11:33 AM

මේ ලිපිය ඉතාමත් හරවත් සහ ප්‍රබුද්ධ එකක්.... එය සයිටම් ප්‍රශ්නය පිළිබඳව අපක්ෂපාති විවරණයක්. වෛද්‍ය සංගමයේත් ඒ වගේම පෙරටුගාමී සහ ජ.වි.පෙ. ඉන්න තර්ක කාරයන්ට මොලය කලඳක් හෝ ඇත්නම් මේ ලිපිය දෙතුන් වතාවක් කියවා හෝ තේරුම් ගැනීමට අපහසු නම් තේරුම් ගත් කෙනකුගෙන් අසා දැනගෙන හෝ කටයුතු කළොත් රටේ තරුණ ලේ වැගිරීමක් වළක්වා ගන්න පුළුවන් වේවි...!!! ඒත් එම ටිකිරි ලපටි මොළවලට මෙහි කියවා ඇති දේවල් තේරුම් ගන්නට අපොහොසත් වුණොත් වැඩි කලක් නොගොසින්ම තරුණ ජීවිත රාශියක විනාශය රටට දැකගත හැකිවනු ඇත.

:       1846       2235

lalitha Thursday, 29 June 2017 02:04 AM

මේක රටට ගෙනා අනවශ්‍ය ප්‍රශ්නයක්, මේකට මුලින්ම වග කියන්න ඕනේ කලින් තිබු ආණ්ඩුව, ඊට පස්සේ මේ ආණ්ඩුව, ඉට හේතුව මේ ආණ්ඩුව බලය ගත්තේ පරණ ආණ්ඩුවේ වැරදි නිවැරදි කරනවා කියල. ඒ නිසා මේ ආණ්ඩුවත් වැරදි, ගිය ආණ්ඩුවත් වැරදි, ඔය දෙකේම ඉන්නේ එකම නඩේ, . කැලේ මාරු වුනාට කොටියාගේ පුල්ලි වෙනස් වෙන්නේ නැහැ

:       45       339

ලුම්බිණි Friday, 30 June 2017 04:34 AM

"අයාලේ යන රජයේ වෛද්‍යවරුන්ට තම රාජකාරිය පිළිබඳව අවසන් තීන්දුවක් ගන්නට යැයි රෝහල්වලට ගොසින් කියන්නේ නම් සයිටම් අර්බුදය නිට්ටාවට සුව කරගත හැකිය" හරියට හරි. මේ ගොල්ලන්ට පාඩමක් උගන්වන එක මහජනයාගේ යුතු කමක්.

:       84       182

rohana Friday, 30 June 2017 04:47 AM

අැයි මේ අයට 2011ට පෙර මේකට විරුද්ධ වෙන්න බැරිවුනේ? අැයි ඉතින් එහෙම වුණා නම් ජීවිතත් අවදානම් වෙනවා. අත්සනක් ගන්න ඕන වුණොත් පිස්තොලේ කටට තියල එක ගන්නේ.... අපි දන්නවා අනිකුත් තැන්වල කොහොමද විද්‍යා සභාවේ අනුමත කරගත්ත හැටි.

:       206       330

jagath Saturday, 01 July 2017 12:51 AM

උක්ත ලිපිය කලකට පසු SAITM අර්බුදය ගැන ලියවුන අපක්ෂපාතී විග්‍රහයක්. ඒවුනාට මේ වගේ ප්‍රබුද්ධ ලිපියක අන්තර්ගතය තේරුම් ගන්න තරම් මේ ප්‍රශ්නයේදී මස් රාත්තලම ඉල්ලා හඬනගන වලිප්පු විප්ලව වාදීන් සමත් වෙයිද? ඔවුනට ඕනේ සෛටම් අර්බුදය විසදන්න නොවෙයි. ඒ අර්බුදය පිටින් ගිහින් රට අරාජික කොට දේශපාලන වාසියක් ගන්නයි. .මෙයට හවුල් වී ඇති පාර්ශව තුනම තුල ඇත්තේ සැඟවුන කුහක සහ ආත්මාර්තකාමී අරමුණු පමණයි. ඒබව සිසුන් තේරුම් නොගන්න එක රටේ විනාශයයි.

:       0       165

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මන්ත්‍රීවරුන්ගෙන් සියයට 60කට වඩා මගේ මිතුරන් - ’’ක්ලබ් වසන්ත’’
2024 ජුලි මස 09 6155 8

අතුරුගිරිය ඔරුවල සිදු වූ වෙඩි තැබීමෙන් ව්‍යාපාරිකුවූ ක්ලබ් වසන්ත නොහොත් සුරේෂ් වසන්ත පෙරේරා, ඊයේ (08) මියගිය අතර ලංකාදීප යූ ටියුබ් නාලිකාවේ ධනූට කියන්න


ෂැංග්හයි සහයෝගීතාව යුරේසියාවට
2024 ජුලි මස 02 404 1

ෂැංග්හයි සහයෝගීතා සංවිධානයේ (SCO) සාමාජික රටවල රාජ්‍ය නායක සමුළුව, ජූලි 3 සහ 4 දෙදින කසක්ස්තානයේ, ඇස්තානා අගනුවර දී පැවැත්වෙයි. මෙය, ෂැංග්හයි සහයෝගීතා සංවි


‘පන්නෛයි පක්කම්’ කියමින් දකුණ ඇල්ලූ උතුරේ ටික්ටොක් තරුව ශෝජන්
2024 මැයි මස 10 2103 1

මම සිංහල වේග රිද්මයේ ගීතත් අහනවා. එහෙම අහපු ගීතයක් තමයි “මේ කමනි” ගීතය. ඒ ගීතයේ සංගීතයට මං ආස වුණා. මුලදී මම ඒ ගීතයට බටහිර නර්තනයක් ඉදිරිපත් කළා. පස්සේ මට


මල් විකුණගන්න කිලෝමීටර් 4-5 ක් උඩට පහළට දුවනවා, දවසකට කිලෝමීටර් 15-20 ක් දුවනවා ඇති - චීනය දිනූ ලංකාවේ මල් කුමාරයා කියන කතාව
2024 මැයි මස 07 5548 5

චීනයේ කෝටි 13කට අධික පිරිසකගේ සිත් සොරාගත් ශ්‍රී ලංකාවේ මල් කුමාරයෙකු පිළිබඳව තොරතුරු මේ දිනවල මෙරට හා විදෙස් රටවල විවිධ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් කතා



දියමන්තියෙන් බැබළෙන බොස්ට්වානාවෙන් ඉගෙනගනිමු
2024 ජනවාරි මස 29 3904 1

ආර්ථික වශයෙන් දිළිඳු රාජ්‍යයන් ඒවා සතු විභවයන් පාවිච්චි කර දියුණුව කරා ගමන් ගන්නා ආකාරය පැහැදිලි කරන්නේ අප්‍රිකානු කලාපයේ බැබළෙන ආර්ථිකයකට හිමිකම්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1154 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site