ගුරු හා විදුහල්පති සංගම් 17ක් අධ්‍යාපන කටයුතුවලින් ඉවත්ව සිටී. මෙම ක්‍රියාදාමය අඛණ්ඩව ගෙනයන බවද ඔවුහු කියති. අධ්‍යාපන ඇමැතිවරයා හා ගුරු හා විදුහල්පති සංගම් නියෝජිතයන් අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ පෙරේදා පැවැති සාකච්ඡාව අසාර්ථක යැයි එම නියෝජිතයන් පැවසූ බව අප පුවත්පත ඊයේ වාර්තා කළේය. තවත් සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණි. එම සාකච්ඡාද විසඳුමකින් තොරව අවසන් විය.

අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මාධ්‍ය අමතමින් ප්‍රකාශ කර සිටියේ අ.පො.ස. උසස් පෙළ විභාගය හා පහ වසර ශිෂ්‍යත්ව විභාගය ලබන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බවය. එමෙන්ම සීමිත සංඛ්‍යාවක් සිසුන් සිටින පාසල් යළි විවෘත කිරීම කෙරෙහිද අවධානය යොමු වී ඇතිබවද මාධ්‍ය වාර්තාවන්හි සඳහන්ය.

පාසැල් වැසී වසර එක හමාරකට ආසන්න වෙමින් පවතී. තිස් වසරක යුද්ධය පැවැති සමයේදී හෝ තරුණ කැරලි පුපුරා ගිය සමයන් හිදී ද මෙතුවක් කල් පාසල් වසා තිබුණේ නැත. මෙම පරිසරය තුළ උසස් පෙළ විභාගය හා පහ වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා දින නියමවීමත්, පාසල් යළි විවෘත කිරීම කෙරෙහි අවධානය යොමුවීමත් මහත් අස්වැසිල්ලට හේතුවකි. එසේ වුවත් වර්ජනයට එක් වී සිටින ගුරු- විදුහල්පති සංගම් පවසන්නේ පාසල් නැවත විවෘත කළද තම ගැටලු නිරාකරණය කරනතුරු වර්ජනය අත් නොහරින බවය.

විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයේ සභාපති නිමල් මුදුන්කොටුව මහතා මාධ්‍ය අමතමින් කියා තිබුණේ. ‘‘ගුරුවරුන්ගේ විදුහල්පතිවරුන්ගේ සහ අධ්‍යාපනඥයන්ගේ වැටුප් විෂමතාව වසර 24ක් තිස්සේ පවතින එකක්. 1997 වසරේ බී.සී. පෙරේරා වැටුප් කොමිසමේ වාර්තාවෙන් සියලු රජයේ සේවකයන්ට සියයට 60ක වැටුප් වැඩිවීමක් ලබා දුන්නා. ගුරුවරුන්ගේ, අධ්‍යාපනඥයන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් වැඩිවීම පිළිබඳව පසුව දැනුම් දෙන බව කිව්වා. ඒ දැනුම්දීම තවමත් නෑ. අපි 2007 වසරේ උසස්පෙළ විභාගය වර්ජනය කළා.

ශ්‍රේෂ්ඨාධිකරණය පවා පිළිගත්තා අපට වැටුප් විෂමතාවක් තිබෙන බව. ඒත් තවම විසඳුමක් නෑ’’ යනුවෙනි.

ගුරුවරයා යනු සකලාකාර වෘත්තීන්ට අයත් මිනිස් සම්පත නිර්මාණය කරන්නාය. එහෙයින්ම සෑම ක්ෂේත්‍රයකට ඉහළින් ගුරු වෘත්තිය ඉහළින්ම වැජඹේ. එය ගරු සාඩම්බර වෘත්තියකි. අභිමානවත් වෘත්තියකි. ඒ ගුරුවරයාට සමාජය තුළ සුවිශේෂී වැදගත්කමක් හිමිව තිබෙන්නේද එහෙයිනි. එමෙන්ම එම ගුරුවරයාට අභිමානයෙන් මෙන්ම තෘප්තිමත් මනසකින් යුතුව සිය වෘත්තියෙහි නියැළීමට නිර්බාධක පරිසරයක් නිර්මාණය වී තිබිය යුතුය. ගුරුවරයාට සටන් බිමට පිවිස තම ඉල්ලීම දිනා ගැනීමට සිදුවී තිබෙන්නේ නම් එය ගුරු වෘත්තිය හෑල්ලු කිරීමකි. මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමු විය යුතුය.

අවධානය යොමු කළ යුතු විශේෂ කාරණාවක්ද තිබේ. ‘‘තැටිය රත් වූ වෙලාවේ රොටිය පුච්චා ගැනීම’’ වර්තමාන දේශපාලනයේ අලුත් ප්‍රවණතාවකි. වසර එක හමාරකට ආසන්න කාලයක් පුරා පාසැල් වසා තිබෙන පරිසරයක පාසල් යළි විවෘත කර ගැනීමේ නොතිත් පිපාසය පිටාර ගලමින් තිබෙන මොහොතක බලධාරින් ගල ග්‍රහණයෙන් ගෙන තම ඉල්ලීම් ගෙඩිය පිටින්ම දිනා ගැනීමට වෘත්තීය සමිති ක්‍රියාකරමින් සිටින්නේද යන සාධාරණ ප්‍රශ්නය මෙහිදී නිතැතින්ම පැන නගී.

ගුරුවරුන්ගේ, විදුහල්පතිවරුන්ගේ හා අධ්‍යාපනඥයන්ගේ වැටුප් විෂමතා ප්‍රශ්නයට වසර 24කි. වසර 24ක් පුරා මෙම ගැටලුව විසඳීමට ක්‍රියා නොකළ සෑම වර්ණයකටම අයත් බලධාරින් ලජ්ජා විය යුතුය. එමෙන්ම ඉතිහාසයේ මෙතෙක් හමු නොවූ දවස් ගෙවා දමමින් සිටින පැයක එම තත්ත්වයටම පළිහක් කර ගනිමින් තම ඉල්ලීම් දිනා ගැනීමට බඩගිනි සිංහයන් මෙන් ක්‍රියාකරන වෘත්තීය සමිතිද අතිශයින්ම කල්පනාකාරී විය යුතුය.

අපගේ දුවා දරුවන් මේ ගෙවාදමමින් සිටින්නේ මානව ඉතිහාසයේ මෙතෙක් හමු වූ අවාසනාවන්තම යුගයකි. අනාගතය සම්බන්ධයෙන් ඔවුන්ගේ සිත්වල පිපී තිබූ සිහින එකින් එක පරවෙමින් තිබේ. ඒ දරුවන්ට තම අනාගතය සම්බන්ධයෙන් ඇත්තේ දැඩි තැතිගැන්මකි. ඒ අනාගත අවදානම ඔවුන්ට හොඳින්ම දැනෙන හෙයිනි. එහෙයින් මේ මොහොතේ ඔවුන්ගේ ඒකාන්ත ප්‍රාර්ථනය තම අධ්‍යාපන කටයුතු කෙසේ හෝ කරගෙන යාමේ පරිසරයකි. දහදුක් විඳිමින් ඔවුන් වෙහෙසෙන්නේ ඒ වෙනුවෙනි. වර්ජන ක්‍රියා මාර්ගය ඔවුන්ගේ ළය විනිවිදින කිණිසි තුඩක් බවට පත්ව තිබෙන්නේ එහෙයිනි.

මෙබඳු පරිසරයක මානව දයාවෙන් පිරිපුන් දරුවකු බලාපොරොත්තු විය නොහැකිය. සමාජයට අප්‍රමාණ ලෙස වෛරකරන විෂම මනසක් සහිත දරුවකු අපට බලාපොරොත්තු වීමට සිදුවේ. රටේ අනාගතය බාර වන්නේ මෙම දූ පුතුන්ටය. ඒ අනුව රටේ අනාගතය කෙබඳු වේදැයි සිතා ගැනීම අසීරු නැත. එම නිසාම බලධාරීන් මෙන්ම වෘත්තීය සමිතිද මැදට පැමිණ මෙම  ප්‍රශ්නය විසඳාගත යුතුය.

(***)