IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


සෞඛ්‍ය සේවා ගැටලු අවබෝධයකින් විසඳාගනිමු

සෞඛ්‍ය සේවාවට අයත් වෘත්තීන් 14ක් සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩල විසින් මෙහෙයවනු ලැබූ වැඩවර්ජනය ඊයේ (06) නිම විය. සෞඛ්‍ය ඇමැතිවරිය සහ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඉල්ලීම්වලට අදාළ කැබිනට් පත්‍රිකාව මීළඟ කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමට ලබාදුන් පොරොන්දුවට අනුව අදාළ තීරණය ගත් බව ප්‍රකාශ විය.

මෙම වැඩවර්ජනයට මුලපිරුණේ තම ඉල්ලීම් හතෙන් පහකටම විසඳුම් ලැබීම හේතුවෙන් හෙද සංගම් මගින් දියත් කරන ලද ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටවූ බව රාජ්‍ය එක්සත් හෙද සේවා සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සිකුරාදා (02) පස්වරුවේ කළ ප්‍රකාශයෙන් පසුවය. එම ප්‍රකාශයේ තීන්ත වියැකෙන්නටත් පෙර සෞඛ්‍ය සේවා අංශ 14කින් ඊළඟ වෙඩිමුරය එල්ල විය.

වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් හැරුණුවිට සෞඛ්‍ය සේවාවට අයත් සෙසු සියලු‍ම තීරණාත්මක අංශ මේ වැඩවර්ජනය හේතුවෙන් අකර්මණ්‍ය විය. පසුගිය සතියේ දින දෙකකදී හෙද සංගම් මගින් මෙහෙයවනු ලැබූ ලෙඩ නිවාඩු දැමීම හේතුවෙන් රටේ රෝගීන් අති විශාල පිරිසක් මහත් අසරණභාවයට පත්ව සිටියහ. ඔවුන් තමන් ඉල්ලීම් දිනාගෙන සටන අවසන් කළ බවට කරන ප්‍රකාශයේ යටි පෙළෙන් කියැවෙන්නේ රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගැනීමට එන අහිංසක රෝගීන් ප්‍රාණ ඇපයට ගෙන තම අවශ්‍යතා ඉටුකරගත් බවය.

වෛද්‍ය සංගමයද මේ ආකාරයටම මීට පෙර තම අවශ්‍යතා ඉටුකර ගත්තේය. මේ වර්ජන හේතුවෙන් අසරණ වන රෝගීන් අතර කොරෝනා සම්බන්ධ රෝගීන් පමණක් නොව වෙනත් රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට රජයේ රෝහල් කරා පැමිණෙන රෝගීහු විශාල පිරිසක්ද සිටියහ. එම සටන ජයග්‍රහණයකින් කෙළවර වීමෙන් පසුව ඇරඹී ඊයේ අවසන් කෙරුණු අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණට අයත් සමිති 14ක් සහ රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩල මගින් දියත් කළ සටනේ වින්දිතයන් බවට පත් වන්නෝද රෝගීහුමය.

අතුරු වෛද්‍ය සේවා වෘත්තීය සමිති නායකයන් ප්‍රකාශ කළේ හෙද සේවාවට පමණක් සුවිශේෂ වරප්‍රසාද ලබාදීමට විරෝධය දැක්වීම සඳහා තමන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වූ බවය. හෙද වර්ජනය විසඳීම සඳහා හෙද සේවාවට උසස්වීම් ක්‍රමවේදයක් ලබාදීම, මාණ්ඩලික තත්ත්වය ලබාදීම සහ නිලඇඳුම් දීමනා ඉහළ දැමීමට ගත් තීන්දු හේතුවෙන් තමන් නියෝජනය කරන සමාන්තර ශ්‍රේණිවලට එම වරප්‍රසාද නොලැබී යාම මේ ගැටලු‍වට හේතුව බවද අදාළ සමිති නායකයන් විසින් පෙන්වා දී තිබිණි. එහෙත් කනගාටුවට කාරණය නම් මේ වෘත්තීය සමිති සටන් හේතුවෙන් රටේ අහිංසක රෝගීන්ගේ වරප්‍රසාද නොලැබී යාමේ වගකීම දැරීමට කිසිවකුත් නොසිටීමය. ඇතැම් රෝගීන්ට ජීවත්වීමේ වරප්‍රසාදය පවා අහිමි වී යාමට මෙවැනි වර්ජන හේතුවන බවද පෙන්වා දිය යුතුය.

එය කෙසේ වුවද සෞඛ්‍ය සේවාව වැනි රටේ ජනතාවගේ පැවැත්ම සහතික කරන වෘත්තීය සමිති සමඟ ගනුදෙනු කිරීමේදී රජයේ බලධාරීන්ද මීට වඩා පවතින යථාර්ථය පිළිබඳව ප්‍රමාණවත් අවබෝධයකින් ක්‍රියා කළ යුතුය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ එක් සේවාවකට වරප්‍රසාද ලබාදෙන විට එවැනිම ගැටලු‍වලින් පීඩා විඳින සෙසු වෛද්‍ය සේවාද සමාන වරප්‍රසාද ඉල්ලා සිටීම බලාපොරොත්තු විය යුත්තකි. හෙද සේවා සංගම් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාව සංවිධානය කළ බලධාරීන් මේ තත්ත්වය පෙන්වා දිය යුතුව තිබිණි. එය පෙන්වාදීම පමණක් ප්‍රමාණවත් නැත. අපේ රට දැන් සිටින්නේ ආර්ථික ගිනි කන්දක් මතය. ඒ යථාර්ථය මේ රටේ සියලු‍ වෘත්තීය සමිති නායකයන්ට පෙන්වාදීම ආණ්ඩුවේ වගකීමක් බව අපගේ වැටහීමය.

වරප්‍රසාද වෙනුවෙන් සටන් වැදීම වෘත්තීය සමිතිවල අයිතියකි. ඒ අයිතිය ක්‍රියාත්මක කරන හැමවිටම ඉල්ලීම් සහ වරප්‍රසාද ලබාදීමට පියවර ගතහොත් රට මේ අර්බුදකාරී අවස්ථාවේ ඉදිරියට ගෙන යාම බරපතළ ගැටලු‍වක් වනු ඇත. සේවාව කොතරම් අත්‍යාවශ්‍ය වුවද රටේ පවතින සැබෑ තත්ත්වය පිළිබඳව එම වෘත්තීය සමිතිවලට අවබෝධ කර දීම හැර මේ අවස්ථාවේදී ආණ්ඩුවට ගත හැකි වෙනත් මගක් නැත. එක් වෘත්තීය සමිතියකට පමණක් සවන් දී ඔවුන්ගේ ඉල්ලීම් ඉටුකිරීම ඇවිළෙන ගින්නට පිදුරු දැමීමකට දෙවැනි නැත.

කොරෝනා මර්දන කටයුතුවලටද මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දැඩි බලපෑමක් ඇතිකරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කළ ප්‍රකාශයකට අනුව පැහැදිලි වෙයි. කොරෝනා මර්දන ක්ෂේත්‍රවලට අදාළ පිරිසක්ද වර්ජනයට සම්බන්ධව සිටින බවද මේ හේතුවෙන් පී.සී.ආර්. සහ ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීම අඩුවන බවද ඔහු පෙන්වා දී තිබිණි.

කොළඹ, ගාල්ල, මාතර, ත්‍රිකුණාමලේ දිස්ත්‍රික්ක හතරද ඇතුළුව විවිධ ප්‍රදේශවලින් භයානක සැර ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ආසාදිත 14 දෙනකු සොයාගෙන ඇති පසුබිමක මෙවැනි තත්ත්වයක් උද්ගත වීම බරපතළ හානියකි. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මියද අනතුරු අඟවා තිබුණේ ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියේ තරම තව සති 10කින් බලාගත හැකිවනු ඇති බවටය.

පවතින මේ තත්ත්වය පිළිබඳව සැබෑ අවබෝධයකින් ක්‍රියා කිරීම වෘත්තීය සමිති නායකයන්ගේ සේම රටේ නායකයන්ගේද වගකීමය. එවැනි අවබෝධයකින් ක්‍රියා කළා නම් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ එක් සංගමයකට අදාළ ගැටලු‍ විසඳීමෙන් සියල්ල පාලනය කරගත හැකිවනු ඇතැයි කිසිම බලධාරියකු නොසිතනු ඇත.

එසේම මැති ඇමැතිවරුන්ද “අපට මුදල් තිබෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ” වැනි අභූත ප්‍රකාශ කිරීමෙන් වැළකී ජනතාවට යථාර්ථය පහදා දීමට කටයුතු කළ හැකි නම් මේ කොරෝනා වසංගතය පාලනය කර ගන්නා තුරු හෝ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීම වළක්වා ගැනීමට හැකිවනු ඇත. එය අතුරු වෛද්‍ය සේවාවට පමණක් නොව රටේ සෑම වෘත්තීය සමිතියකටම අදාළ කරගත යුතු බවද පෙන්වා දීමට කැමැත්තෙමු.



අදහස් (0)

සෞඛ්‍ය සේවා ගැටලු අවබෝධයකින් විසඳාගනිමු

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30561 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12561 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10907 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 794 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 244 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 889 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site