මේ දිනවල පරිසරය සහ සංවර්ධනය පිළිබඳව රටෙහි මතු වී ඇති සංවාදය සහ උනන්දුව පුළුල්ය. එහෙත් නො ගැඹුරු ය. ඇතැමෙකුට අනුව පරිසරය වටින්නේය, සංවර්ධනය නොවටින්නේ ය. එබැවින් පරිසරය උදෙසා සංවර්ධනය කැප කළ යුතුය. ඇතැමෙකුට අනුව පරිසරය නොවටින්නේ ය, සංවර්ධනය වටින්නේ ය. එම නිසා සංවර්ධනය වෙනුවෙන් පරිසරය කැපකළ යුතු ය. පරිසරය පිළිබඳ අර්බුදය සමහරුන්ට දේශපාලන මෙවලමකි. ඉන් ආණ්ඩුවට දමා ගසන බොහෝදෙනා ස්වකීය පාලන සමයන්හිදී ඍජුවමත්, විපක්ෂයට ගියවිටත් අනියම් සහචර සම්බන්ධතා පාවිච්චි කරමින් ජනයාට හොර රහසේත් සිදුකරන මහා පරිසර විනාශවල තීරණාත්මක හවුල්කරුවෝය. කලින් කලට ආණ්ඩු වෙනස් වුවද පරිසර හානි නම් ඒ කොයි ආණ්ඩුවක් යටතේවත් අඩු වුණේ නැත. එසේම බලය ලබා ගැනීමට පෙර මහා පරිසරවාදියෝ වූ කිසිවකුත් ආණ්ඩු හදාගත් පසු ඒ ප්‍රතිපත්තියේ පිහිටා කටයුතු නොකරති. එසේම පරිසරය වෙනුවෙන් කැපවෙන තනි පුද්ගලයන් හෝ තනි නායකයන් මිස ඒ වෙනුවෙන් අවංකව මැදිහත්වන ආණ්ඩු කවර කලකවත් දකින්නට ලැබුණේ නැත. එවැනි තත්ත්වයක් ඇතිවී දශක ගණනාවක් තිස්සේ නඩත්තුවන හේතුව කුමක්ද යන්න ගැන කෙටි පැහැදිලි කිරීමකට යාම මෙවර ‘කිවි දා දැක්මේ’ අරමුණ ය.

ඒ සඳහා බලපාන ප්‍රධාන හේතු තුනක් දැනට සටහන් කරමි. සංවර්ධනය පිළිබඳ යටත්විජිත සහ නග්න-කාර්මීකරණ කේන්ද්‍රීය දැක්ම තවමත් අප වැනි සමාජවල නඩත්තු වීම ඉන් එක හේතුවක් ය. ඒ දැක්ම මේ රටවල ස්ථාපිත කළ යටත් විජිත පාලකයන් ඒවා ප්‍රතික්ෂේප කොට බොහෝ කල් ය.

එහෙත් අප වැනි රටවල් ඒවා අලු‍ත් සහ අනාගතවාදී ඒවා යැයි ඉස් මුදුනින් පිළිගෙන නඩත්තු කිරීම ඛේදවාචකයක් ම ය. පසුගිය කිවි දා දැක්ම ලියූ, මාගේ පෞද්ගලික මිත්‍ර, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් වැනි අය සිටින්නේ එවැනි දැක්මක ය.

ඒ අනුව බලන විට යටත්විජිත පාලකයන් අතහැර ගිය හෝ වීසිකොට ගිය බොහෝ අබලි ක්‍රම සහ සංකල්ප තවමත් නඩත්තු කරන  අනුගමනය කරන මෙවැනි රටවල ජනයා අසතුටින් ය, අතහැර දැමූ රටවල ජනයා සතුටින් ය. අප මෙම සමීකරණය වෙනස් කළ යුතු ය.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ සමාජය (society for international development) පෙන්වා දෙන ආකාරයට සංවර්ධනය යනු වෘද්ධිය, ප්‍රගතිය, සාධනීය වෙනස්කම්, නිර්මාණය කරන හෝ භෞතික, ආර්ථික, පාරිසරික, සමාජ සහ ප්‍රජාමය සංඝටක එකතු කරන ක්‍රියාදාමයක් ය. සංවර්ධනයේ අරමුණ වන්නේ ජනයාගේ ජීවිතවල ගුණාත්මක භාවය ඉහළ නැංවීම සහ පාරිසරික සම්පත්වලට හානි නොකරමින් ප්‍රාදේශීය සහ කලාපීය ආදායම් සහ රැකියා අවස්ථා නිර්මාණය කිරීම හෝ පුළුල් කිරීම ය. සංවර්ධනය දෘශ්‍ය සහ ප්‍රයෝජනවත් දෙයක් වුවත් එය හදිසි හෝ කලබලකාරී කටයුත්තක් නොවේ. සිදුවිය යුත්තේ ගුණාත්මක වෙනසකි. එසේම එම වෙනස අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය කොන්දේසි ද නිර්මාණය කරගත යුතු ය.

අමාත්‍යසෙන් (Amartya Sen)  දක්වන ආකාරයට සංවර්ධනය යනු මෙවලමකි. ආර්ථික, සමාජ සහ පවුල් ක්‍රියාකාරකම් වැනි දෑට ඇති නිදහස තහවුරු කිරීම මගින්, ජනයාගේ හැකියා ඉහළ මට්ටමකට ළඟා කරවීම සඳහා එම මෙවලම භාවිතා කළ යුතු ය. මාර්තා නස්බෝම් (Martha Nussbaum)  සංවර්ධන මෙවලමක් ලෙස ස්ත්‍රීන් බලගැන්වීමේ අත්‍යවශ්‍යතාව අවධාරණය කළේය. ජෙෆ්රි සැච්ස් (Jeffrey Sachs)  වැනි බුද්ධිමතුන්ගේ අදහස වන්නේ (හදිසි විසඳුම් සොයා යන්නන් වැටෙන) දරිද්‍රතා උගුල්වල නොවැටී අනාගත පරම්පරා ගැන සිතමින් පාරිසරික සම්පත් ආරක්ෂා කරන තිරසාර සංවර්ධනයක් පිළිබඳව මානව අවධානය යොමුවිය යුතු බවය. මේ අදහස් එකක්වත් ප්‍රතික්ෂේප කළ නොහැකිය. එහෙත් අප වැනි රටවල් නග්න-කාර්මික සංවර්ධන යටත්විජිතවාදයක නොනවතින දඩ බිම් ය.

දෙවැන්න ලෙස මා දක්වන්නේ මෙරට රාජ්‍යය තවමත් ගුණාත්මක ආකාරයෙන් ජාලගතවී, සංවිධානය වී, ගොඩනැගී නොතිබීම යන හේතුව ය. ඊට උදාහරණයක් ගතහොත්, පස්සර 13 කණුවේ බස් අනතුර වනාහි සම්බන්ධීකරණයක් සහ වගවීමක් නැති රාජ්‍යයේ ප්‍රතිවිපාකයක් ය. මාර්ගයට ගල් පෙරලී මාස හයක් නම්, මාර්ග සංවර්ධන අධිකාරියකුත් ඇති රටක ඒවා මාස හයක් යනතුරුත් ඉවත්කොට නැත්නම්, එතැන අනතුරු ඇඟවීමේ සංඥා පුවරුත් නැත්නම්, බස් රථයේ රියදුරු ට එරෙහි පැමිණිලිවලට පොලීසිය රාජකාරී කොට නැත්නම්, මගී ප්‍රවාහන සේවා නිසිලෙස නියාමනය වන්නේත් නැත්නම්, ඇතැම් බස් හිමි චණ්ඩි මුදලාලිලා සමහර මාර්ගවල තනි අයිතිය භුක්ති විඳිනවානම්, ඉන් කියවෙන්නේ මේ රාජ්‍ය අර්බුදය ය.

රාජ්‍යයේ අරමුණ පිළිබඳව වූ සම්භාව්‍ය අර්ථ කෙරෙහි උතුරු යුරෝපය මේ මොහොතේ දක්වන කැමැත්ත සහ කැපවීම, කලක් යුරෝපීය යටත්විජිත ලෙස පැවති දකුණු ආසියාව නොසලකා හැරීම ඊට හේතුවය. දකුණු ආසියාවට ද ඒ පිළිබඳව වූ සම්භාව්‍ය දාර්ශනික උරුම ඇතිමුත් අප ඒවා ගණන් ගෙන නැත. 2021 මාර්තු 18 වැනි දින නිකුත් කළ ලෝක සතුටු දර්ශක වාර්තාවට අනුව අපේ රාජ්‍යයට 129 වැනි ස්ථානයත් ඉන්දියාවට 139 වැනි ස්ථානයත් ඇෆ්ගනිස්ථානයට 149 වැනි ස්ථානයත් හිමි වී ඇත්තේ ඒ නිසා ය. ෆින්ලන්තය, ඩෙන්මාර්කය, ස්විට්සර්ලන්තය, අයිස්ලන්තය, නෙදර්ලන්තය, නොර්වේ සහ ස්වීඩන් යන ඉහළ යුරෝපා රටවල් යනු ලෝක සතුටු වාර්තාවේ මුල් හතය.

“පරම ධනය සතුටය” යනුවෙන් සන්තුෂ්ටිය පිළිබඳ මුල්ම පැහැදිලි කිරීම කළේ දකුණු ආසියාවේ වැඩ විසූ බුදුන් වහන්සේය. ඊට සියවස් තුනකට පසු ග්‍රීසියේ විසූ ඇරිස්ටෝටල් ප්‍රකාශ කළේ ජනයාට ප්‍රීතිමත් සහ ගෞරවාන්විත ජීවිතයක් ලබා දීම රාජ්‍යයේ පරම අරමුණ බවය. උතුරු  යුරෝපය ඒ අරමුණ වෙනුවෙන් මේ මොහොතේ කැපවී කටයුතු කළද, දකුණු ආසියාව තම අතීත මහා උරුමය ගණනකටවත් අරගෙන නැත. කලට වැසි ලැබී කෙත්වතු සරුසාරවී ජනයා ප්‍රීතියෙන් සිටින දැහැමි රාජ්‍යයක් සහ රජෙකු ගැන වූ බෞද්ධයන්ගේ ප්‍රාර්ථනය තුළ ඇති අන්තර් සම්බන්ධය එනම්, සොබාදහම-ජනයාගේ සන්තුෂ්ටිය-දැහැමි ආණ්ඩුකරණය අතර ඇති බිඳිය නොහැකි අන්තර් සම්බන්ධය පිළිබඳව වූ මහා අර්ථයද අප තවම වටහාගෙන නැත.

 

බුදුන් සහ මහාවීර සමකාලීනව විසූ ඉන්දියාවද එතුමන්ලාගේ උරුමය අත්හැර බොහෝ කල් ය. යුරෝපය අතීතයේ උරුම මතුකර සතුට ළඟා කර ගනිත්දී දකුණු ආසියාව ඒ යුරෝපය අත්හරින අබලි කාර්මික සංවර්ධන සංකල්පවල අනුගාමිකයන් වී සිටී. එහෙත් මහාචාර්ය චරිත හේරත් වැනි අය එවැනි අනුගාමිකයන් බවට පත් නොවිය යුතු ය. මා මිත්‍ර චරිත සිය කිවි දා දැක්ම මගින් රොමෑන්තික (හැඟීම්බර/අරුමැසි) පරිසරවාදය අවතක්සේරු කොට ඇත. එහෙත් චරිත, පරිසරය පමණක් නොව දේශපාලන, ආර්ථික, අධ්‍යාපන, කලා, ඉංජිනේරු, තාක්ෂණික, වෙළඳපොළ, පාර්ලිමේන්තු සහ සියලු‍ මානව සම්බන්ධතා රොමෑන්තික එනම් හැඟීම්බර කලාප විය යුතුම ය. ඒ ක්‍ෂේත්‍ර රොමෑන්තික මිනිසුන්ගේ කලාප විය යුතු ය. අප ලෝකයක් සහ රටක් ලෙස අද ගෙවන්නේ  ඔය ක්‍ෂේත්‍ර සහ ඒවායේ මිනිසුන් රොමෑන්තික නොවීමේ කරුමය සහ වන්දිය ය.     

තෙවැනි හේතුව වන්නේ තිරසාර සංවර්ධනය වැනි බොහෝ නව සංවර්ධන කතිකා කැමැත්තෙන් ඇසුරු කිරීමට අප වැනි රටවල් තවමත් මැලිකමක් දැක්වීම ය. මේ රටේ ආණ්ඩු සහ නිලමක්කාරයන් දියුණු රටවලින් හැමදාම ගත්තේ ණය මිස ඒ රටවල දියුණු සංවර්ධන මොඩල, වටිනාකම් සහ ක්‍රියාකාරකම් නොවේ ය. ඒ නිසා අපි හැමදාම ණය උගුලක ය. තිරසාර සංවර්ධනය පිළිබඳ ගෝලීය නිල නිර්වචන ඉදිරිපත් වූයේ 1987 දී වුවත් අපේ රටේ ඒ පිළිබඳ කතිකාව දිගු අතීතයක් සහිත ග්‍රාමීය ව්‍යවහාරයකි. අප කුඩාකල, නාස්ති නොකර දේවල් පරිහරණය කළ යුතුය යන්න අම්මා කියා දුන්නේ අපූරු උපහැරණයක් යොදා ගනිමිනි. ‘ගැඩවිලා එයාගේ දරුවන්ට මහ පොළොව රැක කා කිව්වෙ මහපොළොව මදිවෙන නිසා නෙවේ, ඉස්සරහට ඉපදෙන ගැඩවිලොන්ටත් මහපොළොව ඉතුරු කරන්න ඕනි නිසා පුතේ’ යනු ඒ උපහැරණය ය. තිරසාර සංවර්ධනය ගැන විධිමත්, න්‍යායික සහ ශාස්ත්‍රීය සියලු‍ කතාවලින් කියන්නේ ඔය ටිකය. 

මෙම සියලු‍ පැහැදිලි කිරීම් මත පදනම්ව මා යෝජනා කරන්නේ සංවර්ධනය පිළිබඳ යටත්විජිත සහ නග්න පැරණි කාර්මික මොඩලයෙන් අප ගැලවිය යුතු බවය. ඊට උත්තේජනයක් ලෙස ලොව සතුටින්ම මිනිසුන් ඉන්නා  ෆින්ලන්තය, ඩෙන්මාර්කය, ස්විට්සර්ලන්තය, අයිස්ලන්තය, නෙදර්ලන්තය, නොර්වේ සහ ස්වීඩන් යන යුරෝපා රටවල්ම සිහියට නගාගැනීම යෝග්‍යය ය. එවිට නග්න කාර්මීකරණය සහ යටත්විජිත පාලකයන් විසින් අපේ සමාජවල වසර සියයකට පමණ පෙර සිට ඔබ්බවා මේ වන විට දෘෂ්ටිවාදයක් බවට පත්වී ඇති ඊනියා සංවර්ධන කතිකාවෙන් අපට නිදහස් විය හැකිය.

ඒ සඳහා නව සංවර්ධන සාක්ෂරතාවක් ද සමාජය විසින් වැඩිදියුණු කරගත යුතු ය. ඒ සඳහා ඇති ලොකුම බාධාව මෙරට පවතින අධ්‍යාපන ක්‍රමය ය. එබැවින් මොන්ටිසෝරියේ සිට විශ්වවිද්‍යාල දක්වා නඩත්තුවන යටත්විජිත සහ නග්න-කාර්මික සංවර්ධන කතිකාව අඩපණ කළ යුතුය. මේ සියලු‍ අධ්‍යාපන ආයතන ලෝකය දෙස බලන්නේ මා මුලින් කී යටත්විජිත රූකඩ ලෙස ය. ඒවා කපා ඔප මට්ටම් කරන්නෙත් එවැනි රූකඩ ය. හාස්‍යයට කරුණ වන්නේ අප වැනි රටවල් ඒවා ඉස්මුදුනින් පිළිගන්නේ සහ පිළිපදින්නේ ඒවයේ මුල් අයිතිකාර රටවල් ඒ සංවර්ධන මොඩල බොහෝ කලකට පෙර අත්හැර දමා තිබියදී වීම ය. එවැනි පසුබිමක චරිතගේ රොමෑන්තිකහරණය ට වඩා මා යෝජනා කරන සියලු‍ ක්‍ෂේත්‍රවල රොමෑන්තිකකරණය බලවත් කිරීම කාගේ කාගේත් යුතුකම ය. සමාජ වගකීමය.

 

(***)

 

කොළඹ විශ්වවිද්‍යාලයේ‍ 

දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශ​යේ,

ධම්ම දිසානායක