ආණ්ඩුවේ ගමන, ආර්ථික වැඩපිළිවෙළ, 20 වැනි සංශෝධනය, ජනතා ප්‍රතිචාර, එ.ජා.ප නායකත්වය, පක්ෂ ප්‍රතිසංවිධානය, සුළු පක්ෂ සන්ධාන, බෞද්ධ ඡන්ද හා ඊළඟ කෘත්‍යාධිකාර මණ්ඩල රැස්වීම ගැන මෙවර සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ එ.ජා.පයේ කෑගල්ල දිස්ත්‍රික් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංදිත් සමරසිංහයි

ප්‍රශ්නය -ආණ්ඩුවට ඇමැති මණ්ඩල මධු සමයක් නැති බවත් වේගයෙන් වැඩ කළ යුතු බවත් අගමැතිවරයා පැවසුවා. ආණ්ඩුවේ මේ ගමනාරම්භය එ.ජා.පයට අනුව කවරාකාරද?
පිළිතුර - අපට ආණ්ඩුවේ ගමන පැහැදිලි නෑ. කැබිනට් මණ්ඩලය පත්කරගැනීමේ සිට ආණ්ඩුව කටයුතු කරමින් සිටින්නේ අත්තනෝමතිකවයි. පරිසරයට අහිතකර විදියට සංවර්ධන ව්‍යාපෘති කරන්න පටන්ගෙන තිබෙනවා. සිංහරාජය කියන්නේ ඒකට හොඳ උදාහරණයක්. පරිසරවේදීන් විරෝධය දක්වා තිබියදීත් ජනාධිපතිවරයා පවසන්නේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනියනවා කියලයි. එදා පරිසරය ආරක්ෂා කරනවා කියලා කියපු ආණ්ඩුව තමයි එහෙම ක්‍රියා කරන්නේ.

ප්‍රශ්නය -කොවිඩ් ගැනත් විපක්ෂය චෝදනා කළේ ඒ විදියට නේද?
පිළිතුර - එහෙම කිව්වට තවත් ආසාදිතයන් ඉන්න පුළුවන්. තවමත් ඒ සඳහා පැහැදිලි වැඩපිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ විෂය බාර ඇමැතිවරිය ඉදිරිපත් කරලා නැහැනේ. කරුණක් විදියට ගත්තාම ඒක අදටත් ප්‍රශ්නයක්.

ප්‍රශ්නය -එහෙත් ආර්ථිකය සම්බන්ධයෙන් රජය නිශ්චිතව කතා කරනවා. ඒක පිළිගන්නවද?
පිළිතුර - කතා කියනවා පේනවා. ඒත් ව්‍යාපාරිකයන්ට සහන ලබාදෙන්නේ කොහොමද කියලා කියන්නේ නෑනේ. සංචාරක ව්‍යාපාරය පොඩ්ඩක් බලන්න. ඒක දැන් බිංදුවටම වැටිලා තිබෙන්නේ. සංචාරක ව්‍යාපාරයේ නිරත බොහෝ දෙනකු තමන්ගෙ ව්‍යාපාර ආරම්භ කළේ ණය අරගෙන. ඒත් අමාරුවේ වැටිලා ඉන්න කර්මාන්තකරුවන්ට සහන දෙන්නේ කොහොමද කියලා කියන්නේ නෑනෙ. සහන දෙනවා කියලා කට වචනෙට කිව්වට මදි. ඔවුන් ආරක්ෂා කිරීමට වැඩපිළිවෙළක් ඕනෑ. ඇත්තටම මේ ආර්ථිකය ගොඩනගන්නෙ මොන විදියේ වැඩපිළිවෙළකින්ද කියලා ආණ්ඩුව කියලා නෑ.

ප්‍රශ්නය - ආණ්ඩුවට ඔබ මේ විදියට ඇඟිල්ල දිගු කළත් ජනතාව සෘජු තීරණ ගැනීම් ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කරන බවක් පේනවා. එතකොට ජනතාව වැරැදි ද?
පිළිතුර - ඔව්. ජනතාව ප්‍රශංසාමුඛව කතා කරනවා. මොකද ජනතාවට තවමත් මේ ආණ්ඩුව යන ගමන වැටහිලා නෑ. මේක අතිභයානක තත්ත්වයක්. 20 වැනි සංශෝධනය ගෙනාවාට පසුව අපේ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදයටත් පහරක් වදින්න පුළුවන්. ආණ්ඩුවට දැන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබෙනවා. අධික බලය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රශ්නයක්. පැවැති ආණ්ඩුවට මොන විවේචන කළත් මේ රටේ පහුගිය අවුරුදු පහේ මාධ්‍ය නිදහසක් කියලා දෙයක් තිබුණා. ඒක දැන් ක්‍රමයෙන් නැතිවෙමින් යනවා. ජනතාවට මේක වැටහෙන්නේ තව අවුරුදු දෙකක් විතර යද්දි.

ප්‍රශ්නය - නිදහස් ලංකාවේ පළමු වැනි ආණ්ඩුව හදපු එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ ඉඩ අහිමි කළෙත් ජනතාවම තමයි. ජනතාව එහෙම තීන්දුවක් ගත්තේ ඇයි?
පිළිතුර - ඒකට හේතුව නම් අපේ පක්ෂයේ දෙදරීමෙන් පාක්ෂිකයන්ට ඇති වූ කලකිරීමයි. ඒකට වගකියන්න ඕනෑ පක්ෂෙන් කඩාගෙන ගියපු අයයි. එක්කො පාක්ෂිකයන් ඡන්දය නොදී හිටියා. නැත්තන් අවලංගු කළා. හැබැයි කවදා හරි ජනතාවට එක්සත් ජාතික පක්ෂයේ වටිනාකම තේරේවි. රනිල්ට දිනන්න බෑ වැඩක් නෑ වගේ හැම කෙනාම විවේචන එල්ලකරන්නේ දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයටනෙ. හැබැයි ආර්ථිකය අර්බුදයට යද්දි ණය කන්දරාවක් කළමනාකරණය කරගෙන එතුමා කටයුතු කළ හැටි අපි දන්නවා. සමහරුන්ට දැන් අමතක වුණාට අරනායක නාය යෑම්, ගංවතුර ගැලීම් වගේ ස්වාභාවික ව්‍යසන සමග තමයි 2015දි බලයට ආපු ආණ්ඩුවට කටයුතු කරන්න වුණේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ හැම දෙයක්ම කළමනාකරණය කරගෙන වැඩ ටික කරගෙන ආවා. ඉතින් එතුමාගෙ වටිනාකමත් කල්යද්දි කාටත් තේරේවි.

ප්‍රශ්නය -කල්යද්දි වැටහේවි කියන්නේ ඇයි? වැඩ කළා නම් ජනතාව ඒකට සාධනීය ප්‍රතිචාරයක් නොදැක්වූවේ ඇයි?
පිළිතුර - අපි ඇත්ත කතා කරමු. වර්තමාන ආණ්ඩුව වගේ කරන වැඩවලට එදා ප්‍රචාරණයක් දුන්නේ නෑ. මාධ්‍යත් ඒවා හරියාකාරව ජනතාවට පෙන්නලා දුන්නේ නෑ. මාධ්‍ය නිදහස පාවිච්චි කළේ විවිධ න්‍යායපත්‍රවලට අනුව ආණ්ඩුවට ගහන්නනෙ. ජාතිවාදය අවුස්සලා වෙනම නායකයන් හදන්න රූපවාහිනී නාලිකා කීපයක්ම වැඩ කරගෙන ගියානේ. රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට කවදාවත් ආණ්ඩුවේ හොඳක් අහන්න දුන්නේම නෑ. ජනමාධ්‍ය ජනතාව රැගෙන ගියේ වෙනම පාරක. ජනතාවට ඇත්ත කියන්නේ නැති වුණාම හරි ප්‍රතිචාරයක් අපේක්ෂා කරන්නත් බෑ.  

ප්‍රශ්නය - යහපාලන ආණ්ඩුවේ ප්‍රමුඛතම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය වූ 19 වැනි සංශෝධනයටත් සංශෝධනයක් ගෙන එන බව ආණ්ඩුව කියනවා. ආණ්ඩුවේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වෑයම ගැන එ.ජා.ප ස්ථාවරය මොකක්ද?
පිළිතුර - 19 වැනි සංශෝධනය කියන්නේ මේ රටේ ඉතාම වටිනා ව්‍යවස්ථාවක්. මොකද තනි පුද්ගලයකුගේ ආධිපත්‍ය වෙනුවට මේ රටේ ජනතාවගේ ආධිපත්‍ය තහවුරු වුණේ එමගින්. ප්‍රජාතන්ත්‍රවාදය, ජනමාධ්‍ය නිදහස හා අධිකරණය ශක්තිමත් කර ස්වාධීන කොමිෂන් සභා හරහා රාජ්‍ය පරිපාලනය නිර්දේශපාලනීකරණය වුණේ එමගින්. මේ නිසා රාජ්‍ය පාලනයේ විනිවිදභාවයක් ඇතිවුණා. මේ කාරණා කෙතරම් දුරට ජනතාවට වැටහෙනවාද කියන එක ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් තොරතුරු දැනගැනීමේ පනතක් ආණ්ඩුවක් ගේන්නේ නෑ. ඒක ආණ්ඩුවකට අවාසියි. ඒත් අපි තොරතුරු පනතත් ගෙනාවා. ඒ නිසා ජනතාවට තොරතුරු දැනගැනීමේ නිදහස පුළුල් වූ හැටි ඔබලා මාධ්‍යවේදීන් හැටියට හොඳින්ම දන්නවනෙ. ඉතින් 20 වැනි සංශෝධනයක් ගෙනැල්ලා ඒ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදවලට හරස් කපාවිද කියන සැකය අපට දැන් මතුවෙලා තිබෙනවා.

ප්‍රශ්නය -ආණ්ඩුව එවැනි සැකසහිත පාරක ගියත් ඊට එරෙහිවන්නට එ.ජා.පයට තිබෙන්නේ එක පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයයි. එ.ජා.පය මේ අභියෝගයට මුහුණදෙන්නේ කොහොමද?
පිළිතුර - අපි එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කරනවා. අපි ඉදිරියට ගෙනෙන්නේ තරුණ නායකයෙක්. හිටපු නායකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතාත් අපට පාර කියාවි. මෙහෙමයි. මේ සටන පාර්ලිමේන්තුව තුළ කියලාම නෑ. අපට එලියෙත් වැඩ කොටසක් තිබෙනවා. පොඩ්ඩක් බලන්න. මේ අවුරුද්ද අවසන් වෙද්දි පාර්ලිමේන්තුවෙන් පිටත අපි විශාල බලවේගයක් නිර්මාණය කරනවා.

ප්‍රශ්නය -පාර්ලිමේන්තු බලයක් නැති පක්ෂයක් ප්‍රතිසංවිධානයකට යද්දි අලුත් උපක්‍රම ගැන හිතන්න වෙනවා නේද?
පිළිතුර - අනිවාර්යෙන්ම මේ අවුරුදු පහ ඇතුලත අපි අලුත් උපක්‍රම අනුගමනය කරනවා. ජනතාවට සමීප වෙන්නේ කෙසේද කියන කාරණය වගේම විශේෂයෙන්ම තරුණ තරුණියන්ගේ අභිලාශ හා සිතුම් පැතුම් සම්බන්ධයෙන් වැඩි බරක් තබන්නේ කෙසේ කියා අපි හොයනවා. ඒ ගමන ආරම්භ කරන්න අපි සියල්ල ලකලැහැස්ති කරලා තිබෙන්නේ. සමහර කාරණා ගැන දැන්ම කියන්න බෑ.
ප්‍රශ්නය -ලැබුණු එකම මන්ත්‍රී ධුරයටත් පත්වීමක් කරගන්න බැරි එ.ජා.පය අපිත් එක්ක හැප්පෙන්නේ කොහොමද කියලයි ආණ්ඩුවේ පිරිස් අහන්නේ?
පිළිතුර - අපි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. ඊළඟ නායකයා කවුද කියලා සාකච්ඡා වෙනවා. තරුණ නායකයෙක් අපි පත්කරන්නේ. එතැනදි රුවන් විජයවර්ධන මහතා තමයි ඉදිරියෙන්ම සිටින්නේ. ඔහු නිර්මල චරිතයක්. ඉතින් ඒ පත්කිරීමෙන් පසුව මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුවත් පුරවනවා. එතැන කිසි ප්‍රශ්නයක් නෑ.

ප්‍රශ්නය - රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් වන බව කිව්වේ පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා. ඒත් පසුව එය වැරැදි යැයි වාර්තා පළවුණා. එතකොට ඇත්ත මොකක්ද?
පිළිතුර - මේක රනිල් වික්‍රමසිංහ මහත්තයා මීට අවුරුදු දෙක තුනකට කලිනුත් කිව්වා. තමාගේ නායකත්වය රැගෙන තරුණයන් ඉදිරියට යා යුතු යැයි එතුමා පැහැදිලිව ප්‍රකාශ කළානෙ. සජිත් ප්‍රේමදාස මහතා ඇතුළුව කඩාගෙන ගියපු පිරිසට මේ දේවල් මැතිවරණයෙන් පසුව කළ යුතු යැයි පැහැදිලිව කිව්වා. ඒත් ඔවුන් ඊට ඇහුම්කන් දුන්නේ නෑ. ඉතින් දැන් අපි එතුමාගේ උපදෙස් අනුව එම වැඩපිළිවෙළ කරගෙන යනවා. හැබැයි ඒ වෙනස නායකත්වයට වගේම අනෙක් තනතුරුවලටත් අදාළ විය යුතුයි. මොකද අපි ගේන්න යන්නේ එක්සත් ජාතික පක්ෂයට තරුණ සිංහල බෞද්ධ නායකයෙක්. අපි පන්සල්වලින් ඈත් වූ බවටත් ස්වාමින් වහන්සේලාට නිසියාකාරව ආමන්ත්‍රණය නොකළ බවටත් පහුගිය කාලයේ චෝදනා එල්ල වුණා. ඉතින් ඒ වැඩපිළිවෙළ අපි හදාගෙන යනවා.

ප්‍රශ්නය -ඒ කියන්නේ මින් මතුවට සුළු ජාතික පක්ෂ සමග සන්ධාන නැහැ කියන එකද?
පිළිතුර - අපි මේ කියන්නේ ප්‍රමුඛතා ගැනයි. එක්සත් ජාතික පක්ෂයේ හිටපු සමහරක් මැති ඇමැතිවරුන් කළ ප්‍රකාශවලින් පක්ෂට වූ හානිය අපි දන්නවා. ඒ නිසා අපේ ගරුතර ස්වාමින් වහන්සේලාගෙන් මෙන්ම බෞද්ධ ජන සමාජයෙන් අපි ඈත්වුණා. එහෙම ප්‍රශ්න ගොඩක් තිබුණු බව ඔබලා දන්නවනෙ. අපි මේ ජාතිවාදයක් නෙවෙයි කතා කරන්නේ. බෞද්ධයා කියන්නේ සියලු දෙනාටම ආදරය කරන කෙනෙක්නෙ. ඉතින් අපි යන්න හදන්නේ එහෙම කාටත් ආදරය කරන ගමනක්. ඒකට වැරැදි අර්ථකතන දෙන්න එපා.  

ප්‍රශ්නය -ඔබ රුවන් විජයවර්ධන හිටපු ඇමැතිවරයා ගැන කියද්දි හිටපු කතානායක කරු ජයසූරිය මහතාත් පක්ෂ නායකත්වය බාරගන්නම් කියනවා. ඔහු ගැන සැලකීමක් නැද්ද?
පිළිතුර - කරු ජයසූරිය මහතාට අපි ගරු කරනවා. ඔහු විශාල සේවයක් කළ කෙනෙක්. හැබැයි 2015දි පාර්ලිමේන්තුවට තේරුණු පසුව එතුමා කතානායක විදියට නිර්පාක්ෂිකව ස්වාධීනව ඉන්නවා යැයි කිව්වා. පක්ෂ ප්‍රතිසංවිධානයට හැම මන්ත්‍රීවරයකුගෙන්ම රුපියල් පන්දහසක් අය කරද්දී එතුමා ඒක දුන්නේ නෑ. මොකද ව්‍යවස්ථා සභාවේ සභාපති හැටියට එතුමා පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කළා. දැන් එතුමා නායකත්වයට එනවා යැයි එලියේ සිට කියනවා. ඒක එතුමාගෙ මාධ්‍ය ඒකකයෙන් තමයි කියලා තිබෙන්නේ. අපට අවශ්‍ය වෙන්නේ නව දැක්මකින් ගමනක් යා හැකි තරුණ නායකයෙක්. ජනතාව එක්සත් ජාතික පක්ෂයට ඉල්ලන්නේ නිහතමානී වගේම විනිවිදභාවයක් තිබෙන කෙළින් නායකයෙක්. අපි ජනතාවට ඇහුම්කන් දිය යුතුයි. එපමණක් නෙවෙයි. ගෞරවනීය හාමුදුරුවන් වහන්සේලාට කන් දිය යුතුයි. පහුගිය දවස්වල අපි හිටියේ අනුරාධපුරයේ. අනුරාධපුරයේ වෙහෙර විහාරවල ස්වාමීන් වහන්සේලා සමග කතා කරද්දි උන්වහන්සේලාගේ ඉල්ලීම වුණේ රුවන් විජයවර්ධන මහතායි. ඉතින් මේ බෞද්ධ හඬ අපි තේරුම්ගන්න ඕනෑ.

ප්‍රශ්නය -එ.ජා.ප ප්‍රතිසංවිධානය සඳහා රුවන් විජයවර්ධන කමිටු වාර්තා නිර්දේශ ක්‍රියාත්මක කරන්නැයි පක්ෂයෙන් ගිය අයත් ඉල්ලීම් කළා. විජයවර්ධන කමිටු වාර්තා කලින්ම ක්‍රියාත්මක කළා නම් පක්ෂය බේරාගන්න තිබුණේ නැද්ද?
පිළිතුර - මමත් ඒ කමිටුවේ හිටියා. ඒ නිර්දේශ ක්‍රියාත්මක කරගෙන යද්දිනෙ විවිධ දේශපාලන අභිලාශ සඳහා ඇතැමුන් කටයුතු කළේ. ඒ කමිටු වාර්තාවෙ ඊළඟ නායකයා හැටියට අපි යෝජනා කළේ සජිත් ප්‍රේමදාස මහත්තයා. ඒ කමිටු වාර්තාව ක්‍රියාත්මක කරලා ලස්සනට එකට ඉඳගෙන වැඩ ටික කරගෙන යන්න තිබුණා. සජිත් මහත්තයා හදිස්සි වුණා. එතුමාව කුලප්පු කළා. අන්තිමේදි එතුමාව වෙන පැත්තකට උස්සාගෙන ගියා. හදිස්සිය නිසා සමහරු ඊට ඇහුම්කන් දුන්නේ නෑ. එහෙම නැත්තන් ලස්සනට වැඩ ටික කරගෙන යන්න තිබුණා.

(*** සංවාද සටහන -  බිඟුන් මේනක ගමගේ)