විගණන කොමිසම හා ප්‍රසම්පාදන කොමිසම අහෝසි කිරීම, ව්‍යවස්ථා සභාව, 20ට රහස් ඡන්දයක් ගැනීම, ආංශික අධීක්ෂණ කාරක සභා, කැබිනට් විෂය වෙනස් කිරීම්, ආර්ථික නිදහස, ආනයන සීමා කිරීම හා වරාය නගරයේ භාවිතය ගැන මෙවර ‘‘සඳුදා හමුවෙන්’’ අදහස් දක්වන්නේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතායි.

ප්‍රශ්නය:- විසි වැනි සංශෝධනයෙන් සිදුවන්නේ නැවතත් 19ට පෙර තිබූ තත්ත්වයට යාමක් බැවින් විගණන කොමිසම අහෝසි වුණත් විගණකාධිපතිවරයා පෙර පරිදි කටයුතු කරන බව අධිකරණ ඇමැතිවරයා පසුගිය ‘සඳුදා හමුව’ට පැවසුවා. මේ මතය සමග ඔබ එකඟද?
පිළිතුර - 19 වැනි සංශෝධනයෙන් විගණකාධිපතිවරයාට ආයතන විගණනයේදී ගිණුම් ඇතුළුව ආයතනය විගණනය කළ හැකි බව සඳහන් වෙනවා. බැඳුම්කර ගනුදෙනුවේදී විගණකාධිපතිවරයා ගිණුම්වලින් ඔබ්බට ගොස් විගණනය කළේ මේ පැතිරුණු බලය නිසයි. 19ට කලින් එහෙම හැකියාවක් තිබුණේ නෑ. 20න් උත්සාහ කරන්නේ එය නැති කරන්නයි. අනෙක් කරුණ ආයතනවලින් වියදම් කරන්නේ මිනිස්සුන්ගෙ බදු සල්ලි. ආණ්ඩු හම්බකරන්නේ නෑ. මිනිස්සුන්ගෙ සල්ලි වියදම් කරද්දි ඒවා හොයලා බලන්න මිනිස්සු විසින්ම පත්කරන ලද පාර්ලිමේන්තුවට බලය දීලා තිබෙනවා. තමන්ගෙ සල්ලි හොරකම් කරනවද බලන්න මිනිස්සුන්ට අයිතියක් තිබෙනවා. විස්සෙන් කරන්නේ ඒ අයිතිය නැති කරන එකයි. පිට සමාගම්වලින් කරන විගණනය පාර්ලිමේන්තුවට එන්නේ නෑ.  

ප්‍රශ්නය - සියලුම සමාගම් සිය වාර්ෂික වාර්තා කොටස්කාරයන්ටත් සමාගම් රෙජිස්ට්‍රාර්ටත් යවන බැවින් ප්‍රශ්නයක් ඇති නොවන බව අධිකරණ ඇමැතිවරයාගේ අදහසයි. සමාගම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුත්තේ සමාගම් නීතිය බවට ඔහු පළ කරන අදහස ගැන ඔබ හිතන්නේ මොකක්ද?
පිළිතුර - මහජනයාගේ බදු සල්ලිවලින් නඩත්තු නොවන සමාගම් ගැන නෙවෙයිනෙ මේ කියන්නේ. උදාහරණයකට ලංකා කෝල් සමාගම ගන්න. ගල් අඟුරුවලට කෝටි ප්‍රකෝටි ගණනින් මිලදී ගැනීම් කරන තැනක්. ඒවාට පාවිච්චි කරන්නේ බදු සල්ලි. ඒවා පාර්ලිමේන්තුවෙන් හොයන්න ඕනෑ නෑ කියල කියන්නේ කොහොමද?  ඒක තමයි මම කියන්නේ. පාර්ලිමේන්තුවට වග කියන විගණකාධිපතිවරයා කෝප්, කෝපා කමිටුවල වාඩිවෙලා කරුණු දැක්වුවාට විස්සෙන් පසුව මහජන මුදල් ගැන එහෙම වගකීමක් නෑ. ප්‍රසම්පාදන කොමිසමත් නැතිවෙන නිසා මිලදීගැනීම් ගැන හොයන්න බැරි වෙයි.

ප්‍රශ්නය - ටෙන්ඩර් කැඳවීම් සම්බන්ධයෙන් 1996 සහ 2006 නිර්දේශ ප්‍රමාණවත් බවත් අවශ්‍ය අයකුට අධිකරණය දක්වා ගොස් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් අභියෝග කළ හැකි බැවින් ප්‍රසම්පාදන කොමිසමකට අර්ථයක් නැති බවත් ආණ්ඩුවේ තර්කයයි. ප්‍රසම්පාදන කොමිසම අහෝසිය මිනිසුන්ට බලපානවද?
පිළිතුර - වැඩිපුරම දූෂණ වංචා වෙන්නේ මිලදීගැනීම්වලදි කියල අපි කවුරුත් දන්නවා. ගුවන් යානා වේවා බොර තෙල් වේවා මිලදී ගැනීම් කරන්නේ මිනිස්සුන්ගේ සල්ලිවලින්. ඉතින් ඒවා හොයන්න ඕනෑ නැද්ද? මේවා පෞද්ගලික ධනය නම් රුපියල් පනහට ගන්න පුළුවන් භාණ්ඩයක් හෝ සේවාවක් රුපියල් අසූවට ගත්තත් අපට කමක් නෑ. මෙහෙමයි. අධිකරණ ඇමැතිවරයා කොමිෂන් කන්නද කියලත් ඇහුවනෙ. කොමිෂන් සභා ගැන එහෙම ආකල්පයක් තිබෙන පුද්ගලයන්ගෙන් ඊට වැඩි දෙයක් අපේක්ෂා කරන්න බෑ. එයාලා පටන්ගන්නෙම කොමිෂන්වලින් ඇති වැඩක් නෑ කියලයි. මේ ලෝකේ තිබෙන සියලුම දේ කන්න බෑනේ. එහෙම ගත්තොත් අපට ප්‍රජාතන්ත්‍රවාදයත් ස්වාධීන අධිකරණයත් මාධ්‍ය නිදහසත් කන්නද කියල අහන්න පුළුවන්. හැබැයි මේ සෙල්ලම් කරන්නේ මහජන බදු මුදල් එක්ක.

ප්‍රශ්නය - ව්‍යවස්ථා සභාවට පස් දෙනෙකු පත්කරද්දී අගමැතිවරයා හා විපක්ෂ නායකවරයාගේ එකඟත්වයෙන් විය යුතු වුවත් මේ විපක්ෂ නායකවරයාට හා අගමැතිවරයාට එය කළ හැකිදැයි ආණ්ඩුව ප්‍රශ්න කරනවා. ව්‍යවස්ථා සභාව වෙනුවට පාර්ලිමේන්තු සභා ක්‍රමයට යන්න ස.ජ.බලවේගය සූදානම් ද?
පිළිතුර - දැන් මෙහෙමනේ. පුළුවන්ද බැරිද කියලා බලන්න උත්සාහ කරන්න එපැයි. උත්සාහයක් නැතිව සම්පූර්ණයෙන් බැහැර කිරීම වැරැදියිනෙ. අනෙක් අතට සජිත් ප්‍රේමදාස මහතාම ඉන්න ව්‍යවස්ථා සභාවෙන් පත්කිරීම් කරල නැද්ද? ඕවා බොරු කතා. මොකද ඉහළ තනතුරුවලට පත්කිරීම් කරලා තිබෙනවා. පාර්ලිමේන්තු සභාවේ ව්‍යවස්ථා සභාවේ මෙන් නිර්දේශ නෑ. එයට කළහැක්කේ නිරීක්ෂණ ඉදිරිපත් කිරීම පමණයි. මේක විශාල වෙනසක්. මේ සියල්ල සිදුවෙන්නේ එක පුද්ගලයකුගේ අතට සියලු බලය ගන්නයි. දියුණු රටවල් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී වෙද්දී නොදියුණු අප්‍රිකාවේ දකුණු ඇමෙරිකාවේ රටවල් වගේ වෙන්නයි මේ හදන්නේ.     

ප්‍රශ්නය - යහපාලන ආණ්ඩුවේ එ.ජා.ප නිර්මාණයක් වූ ආංශික අධීක්ෂණ කාරක සභා තාවකාලිකව අහෝසි කිරීමට ආණ්ඩුව පියවර ගත්තා. ඒ වෙනුවට පෙර පරිදි අමාත්‍යාංශ උපදේශන කාරක සභා පිහිටුවීමේ සැලැස්මක් ගැන මාධ්‍ය වාර්තා පළවෙනවා. ඇත්තටම ආංශික අධීක්ෂණ කාරක සභා පැවැතිය යුතු ද?
පිළිතුර - ආංශික අධීක්ෂණ කාරක සභාවලින් තමයි පාර්ලිමේන්තුව ශක්තිමත් කළේ. කැබිනට්ටුවෙන් පනතක් සම්මත කළාට පසු පළමු කියැවීමට දාන්න කලින් අධීක්ෂණ කාරක සභාවට දැම්මා. ඊට අදාළව ගැටලු තිබෙනවා නම් හොයල බලන්න දුන්නා. ඒකෙන් වුණේ අමාත්‍යාංශ මගින් ගන්නා ප්‍රතිපත්තිමය තීරණවලදී විපක්ෂයටත් පොදුවේ මහජන නියෝජිතයන්ටත් ප්‍රතිපත්ති සම්පාදනයට අවස්ථාව දීමයි. ආණ්ඩුවක් නිවැරැදි දේ කරනවා නම් ආංශික අධීක්ෂණ කාරක සභාවලට බයවෙන්න ඕනෑ නෑ. ආංශික අධීක්ෂණ කාරක සභා අහෝසි කිරීමෙන් කරන්නේ පාර්ලිමේන්තුවේ බලය ශුන්‍ය කිරීමනෙ. රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවටයි පොදු ව්‍යාපාර කාරක සභාවටයි කළෙත් ඒක. ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලුම රටවල මේ කාරක සභාවල මුල් පුටු තිබෙන්නේ විපක්ෂයට. ඒක අපි දුන්නා. සුනිල් හඳුන්නෙත්ති මහත්තයට කෝප් එක දීලා බන්දුල ගුණවර්ධන මහත්තයට කෝපා දුන්නා. බන්දුල ගුණවර්ධන නොගත්තම ලසන්ත අලගියවැන්නට දුන්නේ. හැබැයි මේ ගොල්ලන්ට ඕනෑ රබර් සීල් එකක් බවට පත් වූ පාර්ලිමේන්තුවක්. ඒකට තමයි මේ පාර කපන්නේ.

ප්‍රශ්නය - පාර්ලිමේන්තුවේ බලය විධායකය විසින් උදුරාගනු ලබන බවට දිගින් දිගටම ඔබ චෝදනා කරනවා. විපක්ෂයේ ප්‍රධාන පක්ෂය හැටියට ව්‍යවස්ථාදායක බලය ආරක්ෂා කරගැනීමට සමගි ජනබලවේගය ප්‍රමාණවත් මැදිහත්වීමක් කරනවද?
පිළිතුර - ජනතාව වෙනුවෙන් සටන් කිරීමට අපි හැම ප්‍රයත්නයක්ම දරනවා. මොකද වෙන්නෙ කියල ජනතාව අපෙන් අහනවා. පනස් හතර දෙනෙක් හිටියට අපි සීයක වැඩ කරනවා. අපි තමයි විස්සට සංයුක්තව විරෝධය පටන්ගත්තේ. වෙන කවුරුත් නෙවෙයි. විස්ස සභාගත දිනයේ පටන්ම අපි පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් ඊට විරෝධය දැක්වුවා. අපි රට පුරා යමින් විරෝධය දක්වනවා. එය කොතරම් ජනතාව අතරට ගිහින්ද කිව්වොත් ආණ්ඩුවේ සමහරුත් එය සමග එකතු වී විරෝධය පානවා. මොකද ජනාධිපතිවරයා පත්කිරීමට ඡන්ද සියයට 52ක් ලැබුණත් ජනාධිපති ධුරයෙන් ඉතිරි කොටස නිරූපණය වෙන්නේ නෑ. හැබැයි පාර්ලිමේන්තුව කියන්නෙ ඒකට නෙවෙයි කියලත් ඔවුන් දන්නවා. ප්‍රමාණවත් ප්‍රතිශතය නොලද කොටස ඉවත් කළත් මහජන ඡන්දයෙන් සියයට අනූ පහක පමණ පිරිසක් පක්ෂ විපක්ෂ දෙකේම එතැන නියෝජනය වෙනවා. මේ නියෝජනයට තේරුමක් නැති කරල එක පුද්ගලයකු බලය ගැනීමට දරන තැත ගැන ජනතාව වගේම ආණ්ඩුවේ පිරිසුත් ඉන්නෙ කලකිරීමෙන්.

ප්‍රශ්නය - විස්ස රහස් ඡන්දයකින් සම්මත කරගන්නැයි පැෆ්රල් සංවිධානය ඉල්ලනවා. එවැනි ක්‍රමයක් ගැන ඔබ හිතන්නේ මොකක්ද? හෘද සාක්ෂියට වැඩි අවස්ථාවක් ලැබේවිද?
පිළිතුර - මම දන්නා තරමින් පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයක් තියන්න පුළුවන් කතානායක තෝරන එකට විතරයි. රහස් ඡන්දයකට ආණ්ඩුව සූදානම් නම් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග වෙනස් කර එය කිරීමට අවස්ථාව තිබෙනවා.

ප්‍රශ්නය - ජනතා ප්‍රශ්න ජනතාව හමුවටම ගොස් විමසීමට ‘ගම සමග පිළිසඳර’ කියලා ජනාධිපතිවරයා වැඩපිළිවෙළක් ආරම්භ කළා. ඒ සමගම නැවත සිදුවන අමාත්‍යාංශ විෂය වෙනස්වීම්වලින් ඉතිහාසයේ පළමු වතාවට ජනාධිපති ලේකම් කාර්යාලය අමාත්‍යාංශයක මට්ටමට ආයතන හා විෂය පවරාගත්තා. ජනාධිපතිවරයා කේන්ද්‍රගත වූ මේ වෙනස ගැන ඔබ හිතන්නේ මොකක්ද?
පිළිතුර - එක තැනකට බලය කේන්ද්‍ර කිරීමේ නොයකුත් අවධි තමයි අපි දකින්නේ. ජනාධිපතිවරයාට අවශ්‍ය වී තිබෙන්නේ සම්පූර්ණ බලය තමන්ගේ අතට ගන්නයි. මේක හරිද වැරැදිද කියන එක ගැන අපිට වාද කරන්න පුළුවන්. හැබැයි චක්‍රලේඛ අවශ්‍ය නෑය මම කිව්වොත් ඒක තමයි නීතිය කියලා කිව්වනෙ. ව්‍යවස්ථාදායකයේ කාර්යභාරය තමයි මේ අභියෝගයට ලක්වෙන්නේ. නීතියක් සම්පාදනය කළාට පස්සේ ඊට අදාළ නියමනය, රෙගුලාසි, චක්‍රලේඛ එය සමග ගැටගැසෙනවා. විධායකයට තිබෙන්නේ සම්පාදනය කළ නීතිය ක්‍රියාවේ යෙදීමයි. විධායකය එතැනින් ඔබ්බට ගිහින් නීතිය සම්පාදනය කරන්නත් යනවා නම් ඒක විශාල අර්බුදයක්.

ප්‍රශ්නය - ආර්ථික නිදහස නැති සමාජයක දේශපාලන නිදහසෙන් පලක් නෑ කියන කතාව ආණ්ඩුවේ නායකයන් කියන දෙයක්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ 78 මූලික ව්‍යවස්ථාව දෙසට නැවත තල්ලුවීමටත් ඔවුන් එම තර්කය ඉදිරිපත් කරනවා. ආණ්ඩුවේ දර්ශනය ඔබ දකින්නේ කොහොමද?
පිළිතුර - ආර්ථික නිදහස කියන්නේ ජනතාව ආණ්ඩුවෙන් බල කරන දේ කිරීමට නෙවෙයි. පුරවැසියාට තමන්ගේ ආර්ථික කටයුතු නිදහසේ කරගෙන යෑමට අවශ්‍ය පරිසරය සැකැසීමයි. ව්‍යාපාර කිරීමට පරිසරය සැකැසීමයි. ආනයනය තහනම් කිරීම ආර්ථික නිදහස නෙවෙයි. අරක බෑ මේක බෑ කියල වාරණ දැමීම ආර්ථික නිදහස නෙවෙයි. මේ ආණ්ඩුව ආවට පස්සේ ආර්ථික නිදහස අඩුවෙලාද වැඩිවෙලාද කියලා ජනතාවට පේනවා. පරාක්‍රමබාහු රජතුමාගේ කාලේ පටන්ම මේ රට වෙළෙඳ කේන්ද්‍රස්ථානයක්. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි හැමෝමත් මෙහේට ආවේ වෙළෙඳ කේන්ද්‍රස්ථානයක් නිසයි. ඊළඟ අවුරුදු කීපයේ දියුණු වෙන්නේ මේ භූගෝලීය කලාපය කියලා මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද? අපේ රටේ ආර්ථිකය සංවර්ධනයේ අනාගතය තීරණය වෙන්නේ ඉන්දීය සාගරයේ කටයුතු අනුවයි. අපට ආනයනයයි අපනයනයයි කරන්න බැරි නම් අපි කේන්ද්‍රස්ථානයක් වෙන්නේ කොහොමද? බොහෝ වෙලාවට ආනයනය කරන්නේ අපනයනයට අවශ්‍ය නිෂ්පාදන අමුද්‍රව්‍ය ආදියයි. අපනයන ආයෝජන කලාප තිබෙනවා. ඒවාට ආනයන කරනවා. අගය එකතු කරනවා. අපනයනය කරනවා. මේ ලෝකය එදාට වඩා ගොඩක් වෙනස්. දැන් තිබෙන්නේ කලාපීය නිෂ්පාදන ජාල. එක භාණ්ඩයක් නිෂ්පාදනයට රටවල් කීපයක් අතර ආනයන අපනයන කීප වරක් සිදුවෙනවා. එතකොට අපි මේ රට වටේට තාප්ප බැන්ඳොත් ඒ ආනයන අපනයන ක්‍රියාවලියට හරස් වීමක්. මේ රටේ ආර්ථිකය දියුණු කිරීමට නම් රට වටේට තාප්ප බැඳිය යුතු යැයි මොවුන් විශ්වාස කරනවා. මම දකින්නේ ඒක නෙවෙයි. රට දියුණු කිරීමට නම් අපි මේ රටේ සිට ලෝකයට පාලම් බැඳිය යුතුයි. දේශීය ව්‍යවසායකයා දියුණු කිරීමට නම් ලෝකය සමග සම්බන්ධ විය යුතුයි.

ප්‍රශ්නය- ආනයන සීමා පැනවීමේදී ආණ්ඩුව කියන්නේ ආනයන ආදේශකවලට යොමු විය යුතු බව නේද?
පිළිතුර- බොරුනෙ. ඔය මහ ලොකුවට කතා කළ මිනිස්සු කහ නවත්තලා දැන් හාල් පිටරටින් ගෙන්නන්න හදන්නේ. දේශීය ආර්ථිකය ගොඩ නඟන මිනිහෙක් කොහොමද හාල් පිට රටින් ගේන්නේ. වී මෙට්‍රික් ටොන් ලක්ෂ පනහක් නිෂ්පාදනය කරල තිබියදී ඇයි ගෙන්නන්නෙ. මහා පරිමාණ හාල්මෝල්කාරයො ඉස්සරහා දණ ගහලා කුඩා හා මධ්‍ය පරිමාණයේ හාල් නිෂ්පාදකයන් නැතිභංගස්ථාන කරන ගමන් තමයි ඔය කතා කියන්නේ. ඒ නිසා ඔය දේශීය ආර්ථික කතා නිකන් විහිළු විතරයි. කොළඹ පුරා වෙළෙඳ සංකීර්ණ හදනවා. ඒවායේ විකුණන්න භාණ්ඩ නෑ. දේශීය කර්මාන්තකරුවන්ට අපි අතදෙන්න ඕනෑ. මම පවා මිලදී ගන්නේ හැමතිස්සේම දේශීය නිෂ්පාදනයි. හැබැයි ආනයනය කියන්නේ අපනයනයේ අනෙක් පැත්ත බව තේරුම් ගත යුතුයි.   

ප්‍රශ්නය - වරාය නගරය ඉදිරියේදී මෙරට ප්‍රධාන ආදායම් මඟ බවට පත්වනු ඇතැයි අගමැතිවරයා පවසද්දී එහි ඉදිකිරීම් කළ සමාගම් ඉලක්ක කරගනිමින් ඇමෙරිකානු සම්බාධක පැනවෙනවා. මේ සමග ඇමෙරිකානු සහ චීන රාජ්‍යතාන්ත්‍රික හමුවීම් ඉහළ යමින් තිබෙනවා. අපේ ආර්ථික පිළිවෙත හා ගැට ගැහුණු විදෙස් පිළිවෙත නිසියාකාරව කළමනාකරණය වී තිබෙනවද?
පිළිතුර- මම විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමැතිවරයා හැටියට කලක් කටයුතු කළ නිසා මේ සිදුවන දේවල් ගැන යම් අදහසක් තිබෙනවා. අපේ විදෙස් පිළිවෙත ෆ්‍රෙන්ඞ්ෂිප් විත් ඕල් එන්මිටි විත් නන්. (සියල්ලන් සමග මිත්‍රත්වය. කිසිවෙකුත් සමග සතුරු නෑ.) වරාය නගරයේ නීතිමය පැත්ත හා ආයෝජන දිරිගැන්වීම් සඳහා කවර ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුදැයි බලන්න තේරීම් කාරක සභාවක් පත්කර තිබුණා. එහි සභාපති වුණේ මම. නීතිපති දෙපාර්තමේන්තුවේ හා පුද්ගලික අංශයේ නීතිඥවරුන් විවිධ උපදේශකයන් එක්ව අපි එහි නීති රාමුව සකසා අගමැතිවරයාට බාරදුන්නා. මගේ අදහස වී තිබුණේ මෙය සේවා සඳහා විශේෂ ආර්ථික කලාපයක් හැටියට ශ්‍රේණිගත කර ඉදිරියට යාමයි. කොළඹ වරාය නගරය මූල්‍ය නගරයක් පමණක් කියන එකට මම එකඟ වුණේ නෑ. මොකද මේ ලෝකයේ මූල්‍ය නගර සිය ගණනක් ආරම්භ කළත් ටෝකියෝ, ඩුබායි, හොංකොං වගේ කීපයකට හැර සෙසු ඒවාට ඉදිරියට එන්න ලැබිලා නෑ. මම කියන්නේ මේක වරාය නගරයට වඩා දැනුම හා සේවා නගරයක්. ලෝකයේ තිබෙන හොඳම රෝහලක් ශ්‍රවණාගාරයක් තිබෙන තැනක්. වරාය නගරය අපේ ඉදිරි සංවර්ධනයට විශාල රුකුලක් වේවි. මම කියන්නේ ඒ වැඩවලදි විදේශ ප්‍රතිපත්තිය නිවැරැදිව තුලනය කරගන්න ඕනෑ. එතැනදි ඉන්දියාවයි ඇමෙරිකාවයි චීනයයි බැලන්ස් කරගන්න අපට පුළුවන් වෙන්න ඕනෑ.

(*** සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ)