පසුගිය ඉරිදා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙවා දැමුයේ අතීත සැමරුම් රැසක් මැදය. එදින ඔහු සිටියේ, සීතල දියතලාවේ පිහිටා තිබෙන ශ්‍රී ලංකා මිලිටරි පුහුණු ඇකඩමියේය. (පෙර යුද හමුදා පුහුණු මධ්‍යස්ථානය)

ගෙවුණු අප්‍රේල් මාසයේ සිට ගතහොත්, ඊට වසර 50 කට පෙර, 1971 වසරේ දී, දියතලාව හමුදා පුහුණු මධ්‍යස්ථානයට පැමිණි කෙඩෙට් නිලධාරීන් 30 දෙනාගේ කණ්ඩායමේ, ගෝඨාභය රාජපක්ෂ ද, එක් සාමාජිකයෙක් විය. සිය මිතුරු කෙඩෙට් නිලධාරීන් සමග එදා ගෙවූ කාලය සිහිකරමින් ඔහු, පුහුණු මධ්‍යස්ථානයේ තැන්තැන්වල සක්මන් කළේ ය.

ජනපතිවරයාගේ පැමිණීම හදිසියේ සිදුවූවක් නොවීය. එදා පුහුණුව ලැබූ කෙඩෙට් නිලධාරීන් 30 දෙනාගෙන්, අද රටේ සිටින්නෝ එකට එක්කර තිබූ කුඩා පරිමානයේ උත්සව අවස්ථාවක් එදින සංවිධානය කර තිබිණ. 

ඕස්ටේ්‍රලියාවේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත්වන ඇතැමුන්ට, කෝවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව තිබිණ. 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව සිටිය ද, ඔවුන්ගේ බිරින්දැෑවරු මෙම අවස්ථාවට සහභාගීව සිටියහ. 

සමස්තයක් ලෙස ගතහොත්, එදා එම කෙඩෙට් නිලධාරීන් 30 දෙනාගේ කණ්ඩායමේ සියලුම දෙනා පාහේ මේජර් ජනරාල් නිලය දක්වාම උසස්වීම් ලැබ තිබුණු අතර, ඇතැමෙක් සිටියේ සේවය නිමකර විශ්‍රාම ගොසිනි. 

රජයේ තනතුරු හොබවමින් සිටියෝ ද, ඔවුන් අතර වූහ. දක්ෂ යුද හමුදා නිලධාරියෙක් ලෙස මෙන්ම මහත්මයෙක් ලෙසත් සියලුදෙනා අතර ප්‍රසාදයට පත්ව සිටින මේජර් ජනරාල් කේ.බී.එගොඩවෙල (එගී) මහතා මෙම හමුවට එක්ව සිටි අය අතර කැපී පෙනිණ. 

ඔහු සිටියේ ඉතා සතුටිනි. හිටපු යුද හමුදාපති ජනරාල් තිස්ස (බුල්) වීරතුංගගේ හමුදා සහායක ලෙස සේවය කළ එගොඩවෙල මහතා, ජනපති ගෝඨාභය මහතාගේ විවාහ දිනය දා ඔහුගේ දෙවන මනමාලයා ද විය. වර්තමානයේ ඔහු හොබවන්නේ ද ඒ හා සමාන තනතුරකි. ජනපති ලේකම් කාර්යාලයේ පරිපාලන සහ මෙහෙයුම් කටයුතු පිළිබද අධ්‍යක්ෂ ජනරාල්වරයා වන්නේ එගොඩවෙල මහතාය. 

උදයේ පැවැති රැස්වීමක් සමග දිනය ආරම්භ විය.  

විශ්‍රාමික මේජර් ජනරාල් නන්දසිරි මල්ලවආරච්චි (දිළිදු අයවලුන්ගෙනුත් දිළිදුතම අයවලුන් 100,000ක් තෝරාගෙන, ජාතික සංවර්ධනය සදහා වන විවිධ කටයුතුවල යෙදවීම සදහා ඔවුන් පුහුණු කරවීම සම්බන්ධයෙන් වන බහුකාර්ය කාර්යසාධන බලකායේ ප්‍රධානී) පැමිණීමේ කතාව කළේ ය. 

එදා දවස් සිහිකරමින් අදහස් දැක්වූ හෙතෙම, කැඩෙට් නිලධාරී සී 51185 අංකය දැරූ ගෝඨාභය රාජපක්ෂ, අද රටේ මුල් පුරවැසියා බවට පත්ව සිටින්නේයැයි පැවසුවේ ය. ගෝඨාභය රාජපක්ෂ, සිය පූර්වාදර්ශී චරිතය ලෙස නොයෙක් විට හදුන්වාදුන්නේ ජනරාල් විජය විමලරත්න මහතා යැයි පැවසූ මල්ලවආරච්චි, ඔහු සහ ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා යන දෙපළම අද ජීවතුන් අතර නැතැයි කීවේ ය. 

ඔවුන් හා සම තවත් නිලධාරියෙක්, කර්නල් ටී. ස්ටීවන් මහතා ගැන ද, ඔහු සදහන් කළේ ය. ස්ටීවන්, ඔහුගේ මරණයෙන් පසුව මේජර් ජනරාල්ධූරයට උසස් කැරිණි. 

පෙර සදහන් කළ හමුදාවේ ජේ්‍යෂ්ඨ නිලධාරීන් දෙදෙනා, එවක කොටි ගරිල්ලා පාලනය යටතේ පැවැති යාපනය මුදවා ගැනීමට සැළසුම් සකස් කරමින් සිටි අතර, පුනරින්හි නොගැඹුරු දියකඩිති ඔස්සේ යුද හමුදාව යාපනය දක්වා මෙහෙයවීම ඔවුන්ගේ අදහස වුනි. නමුත්, එම සැළසුම ක්‍රියාත්මක කිරීමට මත්තෙන් කොබ්බෑකඩුව සහ විමලරත්න දෙදෙනම, බිම් බෝම්බයකට හසුව ජීවිතක්ෂයට පත්වූහ.

කොටි ත්‍රස්තයින්ට එරෙහි යුද්ධය ජයග්‍රහණය කරා මෙහෙවිය හැකි වූයේ ගෝඨාභය රාජපක්ෂගේ සංකල්ප සහ මූලෝපායන් නිසා බව විශ්‍රාමික මේජර් ජනරාල් මල්ලවආරච්චි පැවසුවේ ය. 

කතාවේ බර මදක් අඩු කරමින් ඔහු, සංගීතඥයෙක් මෙන්ම සංගීත අධ්‍යක්ෂවරයෙක් ලෙසත් දස්කම් පෙන්වූ කෙඩෙට් සගයෙක් ගැන සිහිපත් කළේ ය. නවකයින් බදවා ගැනීමේ දී, ගැයුණු ගීතයක ගායකයා වූයේ ඔහු යැයි පැවසූ මල්ලවාරච්චි මහතා, ඔහු නැසී ගිය පසු එම ගීතය ද, නැසී ගිය බව කීවේ ය. එයට හේතුව වී තිබුණේ කිසිවෙක් එම ගීතයේ පදමාලාව ලියාගෙන හෝ මතක තබාගෙන නොසිටීමය. 

වරක් ලාහුගල වනයේ පුහුණු සැසියක් පැවැත්වෙන අතරතුර, මෙම සංගීතකාමී හමුදා නිලධාරියා අතුරුදන්ව තිබේ. වහාම පුහුණු සැසිය නවතා ඔහුව සොයා මෙහෙයුම් ආරම්භ කිරීමට කටයුතු කර තිබෙන අතර, රැයක් පුරාම සෙවූව ද ඔහුව සොයාගැනීමට හැකියාවක් ලැබී නොමැත. නමුත් පසුදා උදය පාන්දරම ඔහු නැවත කදවුරට පැමිණ තිබේ. 

නිදහසට කරුණ ලෙස ඔහු කියා තිබෙන්නේ තමා වළසෙකුට හසුවූ බවත්, දිවි බේරාගැනීමට තමා නින්දේ සිටින්නේ යැයි වළසාට ඇඟවූ බවත්ය.

“මොන තරම් හිත හොද සතෙක් වෙන්න ඇති ද, ඒ වළහා” යැයි මල්ලවආරච්චි මහතා පැවසුවේ සභාවෙන් නැගුණු සිනාහඩ මධ්‍යයේය.

‘නට්ක්‍රැකර්’ යැයි හැදින්වුණු තවත් සැසියකින් නිලධාරීන්ව පුහුණුකර තිබෙන්නේ මාලිමාව භාවිතයෙන් මගසොයා ගැනීමටය. එසේ පැවැති එක් සැසියක දී, එක් සාමාජිකයෙක් අතුරුදන්ව ඇත. ඔහුව සොයා සෙවුම් කණ්ඩායම් යෙදවුණත් පලක් නොමැතිව ඇති තැන, සෙවුම් කලාපය ආලෝකවත් වන සේ මෝටාර් උණ්ඩ දෙකක් එකක් පසුපස එකක් අහසට යවන්නටත් කටයුතු කෙරී තිබේ. එම නිලධාරියා සියදිවි නසාගන්නට ඇතැයි බියක් පැවති අතර, අඩුම තරමින් කැඩෙට් අංශය භාරව සිටි සාර්ජන්ට් මේජර්වරයා සිතා සිට ඇත්තේ එළෙසය.

“ඒත් මේ හාදයා ඊළග දවසේ උදැෑසනම අපි ඔක්කොම පුදුමයට පත්කරමින් ඔහුගේ සැහැල්ලු මැෂින් තුවක්කුත් අතින් අරගෙනම කදවුරට ඇතුළු වුනා. මාලිමාවෙන් මගසොයා කෙරෙන පුහුණු වැඩසටහන් සාමාන්‍යයෙන් එක දවසකින්, ඊළග දවස දක්වාම දිගු වෙනවා. වෙලා තිබුණේ මේ හාදයාට ඊළග දවසේ අලුයම් කාලයේ නින්ද ගොස් තිබීම. එයා කදවුරට ආවේ හරියට මොකුත් වුනේ නැහැ වගේ. ඒත් එයාට මුලු ලකුණු හිමිවුනා. හැබැයි, එයාගේ අලුත් අදහසට තෑග්ගක් හැටියට ලොකු බරකුත් පිටේ එල්ලගෙන පිට්ටනිය වගේ දුවන්නත් (ඩි්‍රල්) වුනා” යයිද නන්ද මල්ලවාරච්චි මහතා කීවේය. 

තමාට විනය සහ කළමණාකරනය ඉගැන්වූයේ මෙම ආයතනය බව ජනපති ගෝඨාභය මහතා පැවසුවේ ය. ඒ ගැන තමා ආඩම්බර වන බවත්, එසේ උගත් දේවල්, ජනපතිවරයා වශයෙන් අදද භාවිතයේ යොදවන බවත්, ඔහු කීවේ අත්පොලසන් හඩ මධ්‍යයේය.

උත්සවයට සමගාමීව ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විවෘත රාත්‍රී ආහාර වේලක් සංවිධානය කර තිබිණ. ජනපතිවරයාගේ අසුනට දකුණු පසින් ජනරාල් සිල්වා ද, වම් පසින් විශ්‍රාමික මේජර් ජනරාල් නිහාල් මාරම්බරේ මහතා ද, අසුන්ගෙන සිටියෝ ය. අනෙක් මේසවල, විශ්‍රාමික මේජර් ජනරාල් සුසිල් චන්ද්‍රපාල, ලලිත් දවුලගල, අයිවන් දසනායක, විශ්‍රාමික කපිතාන් ඩෙව්ටොම් අලුවිහාරේ, ලක්ෂ්මන් වීරක්කොඩි, විශ්‍රාමික මේජර් ජයන්ත වීරසිංහ යන මහත්වරු සහ ඔවුන්ගේ බිරින්දැෑවරු අසුන්ගෙන සිටියහ. යුද හමුදා සංගීත කණ්ඩායම නොයෙක් සිංහල ගීත වයමින්, පරිසරය සංගිතවත් කළේ ය. රාත්‍රී ආහාර වේල මැදියම් රැය පසුවන තෙක්ම පැවැතිණ.

පසුදින හිමිදිරි උදයේම ජනපතිවරයා හෙලිකොප්ටර යානාවක නැගී හල්දුම්මුල්ල බලා ගියේ, ගම සමග පිළිසදර වැඩසටහන යටතේ එම ප්‍රදේශය බැහැදැකීමෙන් පසුව ගැනුණු පියවර ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන්නේ ද, යන්න විමසීමටය. කුමරතැන්න වසමේ අක්කර 100 කට අදාළව ගැනුණු පියවර සම්බන්ධයෙන් විමසුමට ලක් කිරීම සදහා තමා එසේ ගිය බව ජනපතිවරයා පැවසුවේ ය.

“මාර්ග කාපට්කර තිබෙන අයුරු, ගමනාගමන පහසුකම් වැඩිදියුණු කර තිබෙන අයුරු, අලිවැට ගසා තිබෙන අයුරු දැකීමෙන් මම සතුටට පත්වුණා” යැයි ඔහු පසුව ට්විටර් පණිවුඩයක් තබා තිබිණ.

මෙසේ ගම සමග පිළිසඳර වැඩසටහන්වල දී, ගැනීමට තීරණය වන පියවර අදාළ පරිදිම ගැනෙනවා ද, යන්න සොයා බැලීමට ඔහු දැනටමත් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කාර්යසාධන බලකායක් පත් කිරීමට පියවර ගෙන තිබේ.

ද සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි
පරිවර්තනය - කෝවිද ගුණසේකර