විද්‍යොදය විශ්වවිද්‍යාලයේ නිර්මාතෘ අතිපූජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නායක ස්වාමීන්වහන්සේගේ 58 වැනි ගුණානුස්මරණ පූජෝත්සවය මේ මස 17 වැනිදාට යෙදී තිබුණි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ස්ථාපිත ශ්‍රී සෝරත පිළිරුවට අද (19) උදෑසන 8.30ට ජ’පුර උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග ප්‍රධාන විශ්වවිද්‍යාල විද්වතුන්ගේ ප්‍රධානත්වයෙන් පුෂ්පෝපහාරයක් පැවැත්වෙයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

පණ්ඩිත ශිරෝමණි අතිගරු වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන් අපවත් වී ජුලි 17 වැනිදාට පනස් අට වර්ෂයක් සපිරෙයි. උන්වහන්සේ අපේ වර්තමාන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නිර්මාතෘවරයාණෝ වෙති. එදා උන්වහන්සේ 1959 දී විද්‍යොදය විශ්වවිද්‍යාලය නමින් අපේ විශ්වවිද්‍යාලය ආරම්භ කළහ.

විසිවන සියවසේ මැදභාගය වනවිටත් සිංහල භාෂාවෙන් ඉගෙනගන්නට විශ්වවිද්‍යාලයක් අප රටේ නොතිබිණි. ඒ අඩුව පුරවාලමින් සෝරත නාහිමියෝ විද්‍යොදය විශ්වවිද්‍යාලය නිර්මාණය කළහ. නිදහස් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය භාර අමාත්‍යවරයාව සිටි ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතාගේ පුරෝගාමීත්වයෙන් මෙරට පාසල් අධ්‍යාපනයේ මාධ්‍යය සිංහල භාෂාව බවට පත්වූ බව අපි දනිමු. එසේ සිංහල භාෂාවෙන් පාසල් අධ්‍යාපනය නිම කළ ශ්‍රී ලාංකේය දරුවන්ට සිංහලෙන් ඉගෙනගන්නට විශ්වවිද්‍යාලයයක් තිබුණේ නැත. තත් කාලීන අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි විජයානන්ද දහනායක මහතාගේ මෙහෙයවීම මත ඒ වනවිට මෙරට කීර්තිමත් අධ්‍යාපනස්ථාන සේ වැජඹුණු විද්‍යොදය හා විද්‍යාලංකාර පිරිවෙන් දෙක විශ්වවිද්‍යාල තත්ත්වයට පත් කිරීමට රජය පියවර ගත්තේය. වර්ෂ 1873 දී අතිගරු හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් විසින් කොළඹ මාලිගාකන්දේ ආරම්භ කළ විද්‍යොදය පිරිවෙණෙහි පස්වන පරිවෙණාධිපති ධුරයට 1957 දී පත්ව සිටි වැලිවිටියේ සෝරත නාහිමිපාණන්වහන්සේ අවශ්‍ය කටයුතු සම්පාදනය කොට විද්‍යොදය පිරිවෙණ විශ්වවිද්‍යාලයක් බවට පත් කළහ. උන්වහන්සේම එහි ප්‍රථම උපකුලපති ධුරය හෙබවූහ. එහෙත් ඒ සඳහා උන්වහන්සේ භාවිත කළේ ‘විශ්වවිද්‍යාලයාධිපති’ යන නාමයයි.

විද්‍යොදය විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමෙන් සෝරත නාහිමියන් බලාපොරොත්තු වූයේ රටේ සංවර්ධනයට උරදිය හැකි ගුණ නැණ සපිරි බෞද්ධ සංස්කෘතිය තුළ හැදී වැඩුණු ලංකාපුත්‍රයින් පිරිසක් බිහිකරලීමයි. ඒ සඳහා විශ්වවිද්‍යාලයේ භෞතික දියුණුව ගැන උන්වහන්සේ උනන්දු වූහ.

ඒ අනුව විද්‍යොදය පිරිවෙන් පරිශ්‍රයේ අවම යටිතල පහසුකම් ඇතිව ආරම්භ කළ විශ්වවිද්‍යාලය 1961 දී ගංගොඩවිලට ගෙන ඒමට සැලසුම් කළහ. ඒ අනුව පැපිලියානේ සුනේත්‍රාමහාදේවි පිරිවෙන් විහාරාධිපති ධුරය දැරූ සිය ශිෂ්‍යයකු ද වූ මැදගොඩ සුමනතිස්ස හිමියන්ගේ අනුග්‍රහයෙන් ලබාගත් භූමියෙහි ඉදිවෙමින් පැවැති නව ගොඩනැගිලි සංකීර්ණයේ විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට සෝරත නාහිමියෝ කටයුතු කළහ. මුලින්ම කුඩා දේශන ශාලාවකින් හා කාමර කිහිපයකින් යුත් ගොඩනැගිල්ලක් තැනවූ අතර පසුව වසර දෙකක් ඇතුළත ප්‍රථම තුන්මහල් සුමංගල මන්දිරය, ඥානේශ්වර ශාලාව හා උපකුලපති නිල නිවෙස ආදී ගොඩනැගිලි නිර්මාණය කරවූහ.

විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මක බව කෙරෙහි උනන්දු වූ සෝරත නාහිමියෝ රටට අවශ්‍ය භාෂා, කලා, දර්ශන, විද්‍යා ආදිය ගැන විමසිලිමත් වූහ. පාලි, සංස්කෘත, සිංහල ආදී භාෂා වෙනුවෙන් භාෂා පීඨ ඇරැඹූ අතර ථේරවාද හා මහායාන බුද්ධ ධර්මයත් බෞද්ධ සංස්කෘතියත් හැදෑරීමට බුද්ධ ධර්ම පීඨය ඇරැඹූහ. ඉංග්‍රීසි භාෂාව අනිවාර්යය විෂයයක් බවට පත් කළහ. ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතිය තුළ සියලු රටවැසියා ජීවත් විය යුතු බව පිළිගත් උන්වහන්සේ විශ්වවිද්‍යාලයේ සියලු ශිෂ්‍යයන් විසින් මෙරට බෞද්ධ සංස්කෘතිය හදාළ යුතු බවට නිර්දේශ සැපැයූහ.

ඒ වනවිට මෙරට තිබූ ලංකා විශ්වවිද්‍යාලයේ විෂයමාලාවට වඩා වෙනස් විෂයමාලාවක් ස්වකීය විශ්වවිද්‍යාලය තුළ ඉගැන්වීමට සෝරත නාහිමියෝ උනන්දු වූහ. ඒ අනුව රාජ්‍ය පරිපාලනය පිළිබඳ වෙනම අධ්‍යයන අංශයක් හඳුන්වා දෙන ලදී. සෝරත නාහිමියන්ගේ ඒ දූරදර්ශී ක්‍රියාවේ ප්‍රතිඵල දවසින් දවස ඉහළ ගොස් වර්තමානය වනවිට ආසියාවේ විශිෂ්ටතම කළමනාකරණ පීඨය උන්වහන්සේ ආරම්භ කළ විද්‍යොදය විශ්වවිද්‍යාලයේ වර්තමාන පිළිබිඹුව වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් බිහි වී තිබේ. එපමණක් නොව ආයුර්වේදය ආදී විද්‍යාවන් ද විද්‍යොදය විශ්වවිද්‍යාලයේ විෂයමාලාවට එක් කිරීමට සෝරත නාහිමියෝ යොමු වූහ. අද වනවිට එවන් විෂයය සංවර්ධනය වී ව්‍යවහාරික විද්‍යා, වෛද්‍ය විද්‍යා, සමසෞඛ්‍ය, තාක්ෂණ, ඉංජිනේරු ආදී විවිධ ව්‍යවහාරික ක්ෂේත්‍ර කරා විහිදී ගොස් ඇත.

ස්වකීය විශ්වවිද්‍යාලයෙන් බිහිවන උපාධිධරයන් තුළ දැනුම සේම ආකල්ප ද සංවර්ධනය වී තිබිය යුතු බව සෝරත නාහිමියෝ විශ්වාස කළහ. කළ ගුණ දත යුතු බව තරයේ විශ්වාස කළ උන්වහන්සේ ඒ බව සිය විශ්වවිද්‍යාල ප්‍රජාව තුළ ද ඇති කරවීමට අවශ්‍ය පියවර ගත්හ. විශ්වවිද්‍යාලය බවට පත් වූ විද්‍යොදය පිරිවෙණ ආරම්භ කළ අතිගරු හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ පිළිරුවක් විශ්වවිද්‍යාලයට පිවිසෙන ප්‍රධාන ප්‍රවේශයෙහි පිහිටුවාලූයේ එහෙයිනි. එපමණක් නොව අභිනවයෙන් ඉදිකළ මහල් ගොඩනැගිල්ල ශ්‍රී සුමංගල මන්දිරය නමිනුත්, අනෙක් ගොඩනැගිලි ඥානේශ්වර හා රතනසාර නමිනුත් නම් කරන ලද්දේ විද්‍යොදය පිරිවෙණේ වැඩසිටි පරිවේණාධිපතීන්වහන්සේලා සිහිවනු පිණිසය. මහත් පරිශ්‍රමයකින් සම්පාදනය කළ සිංහල ශබ්දකෝෂය ද ‘ශ්‍රී සුමංගල ශබ්දකෝෂය’ සේ නම් කළේ ද ඒ සඳහාමය.

වැලිවිටියේ සෝරත නාහිමියෝ එකල මෙරට සිටි කීර්තිධර පඬිරුවන වූහ. 1954 දී ත්‍රිපිටක පෙළ පොත් සංස්කරණ හා පරිවර්තනය කිරීමේ මණ්ඩලයේ සභාපති පදවිය ද උන්වහන්සේට හිමි විය. එය උන්වහන්සේගේ අග්‍රගණ්‍ය පාණ්ඩිත්‍යයේ ඵලයකි. ඒ මහා පඬිවරයා 1897 මැයි 23 වන දින චන්ද්‍රදාස කුමාර සිරිවර්ධන නමින් වෛද්‍යාචාර්ය දෝන් ජොහෑනිස් කුමාර සිර්වර්ධන පියාටත් ඇලිස් අමරසිංහ මවටත් දාව ඉපිද 1912 ඔක්තෝබර් 15 වන දින වැලිවිටියේ සෝරත නමින් පැවිදි වී 1917 දී විද්‍යොදය පිරිවෙණට ඇතුළත්ව සිංහල, පාලි, සංස්කෘත, ඉතිහාසය, තර්ක න්‍යාය, ව්‍යාකරණ, ඡන්දස් ආදී ශාස්ත්‍ර විධීන් ද ධර්මය හා විනය ද හදාරා 1923 ප්‍රාචීන පණ්ඩිත උපාධිය උභයශේඛර ස්වර්ණ මුද්‍රිකාව ලබමින් උසස් ලෙස සමත්ව ඒ වර්ෂයේදීම එහි ආචාර්ය පදවියකට ද 1936 දී උපප්‍රධානාචාර්ය ධුරයට ද 1957 දී පරිවේණාධිපති ධුරයට ද පත්වූහ. ඒ අතරතුර 1941 දී කල්කටා විශ්වවිද්‍යාලයෙන් ද උන්වහන්සේ ශාස්ත්‍ර හැදෑරූහ.

වැලිවිටියේ සෝරත නාහිමියෝ එකල ලක්දිව විද්වතුන් අතර ඉහළින් වැජඹුණහ. උන්වහන්සේගේ ගැඹුරු පාණ්ඩිත්‍යය හා භාෂා නෛපුණ්‍යය පුදුම සහගතය. ශ්‍රී සුමංගල ශබ්දකෝෂය හා සංස්කෘත ශබ්දාර්ණවය උන්වහන්සේ සම්පාදනය කළ ශබ්දකෝෂ දෙකකි. කව්සිළුමිණ සංස්කරණය හා කල්පලතා ව්‍යාඛ්‍යාව වෘත්තරත්නාකර සරලා ව්‍යාඛාව, සෞන්දරනන්ද ව්‍යාඛ්‍යා, එලු සඳැස් ලකුණ, මයුර සංදේශ විස්තර වර්ණනාව, බුත්සරණ ගැටපද විවරණ, අමාවතුර ගැටපද විවරණය, කථාතරංගණී, කථාමෘතය, චන්ද්‍රදාසගේ පාසල් දවස, සාහිත්‍ය සේවය, ගිරා සංදේශ විස්තර වර්ණනාව, හංස සංදේශ විස්තර වර්ණනාව, පූජාවලී ගැටපද විවරණය, කුශ ජාතක කාව්‍ය සංග්‍රහය, කාව්‍යශේඛර ගැටපද විවරණය, දළදාපහන ආදී සංස්කරණ, පරිවර්තන හා විවරණ සෝරත නාහිමියන්ගේ පාණ්ඩිත්‍යය හෙළිකරන ග්‍රන්ථයෝ වෙති. උන්වහන්සේගේ මේ ශාස්ත්‍රීය සේවය වෙනුවෙන් ‘සාහිත්‍ය චක්‍රවර්ති’ උපාධිය ද පිරිනමන ලදී.

අතිගරු වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියෝ 1963 ජුලි මස 17 වන දින අපවත් වූහ. ශ්‍රී සෝරත නාහිමිපාණන් වහන්සේගේ ආයු කාලය වසර හැට හයකි. එහෙත් උන්වහන්සේ වසර දහස් ගණනක් පවතින මහා කාර්යභාරයක් ඉටුකළහ. සෝරත නාහිමියෝ අප රටෙහි සිංහල භාෂාවෙන් ඉගෙනගත හැකි පළමු විශ්වවිද්‍යාලය ආරම්භ කර ඉතා ටික කලකින් එය භෞතිකව දියුණු කර රටට අවශ්‍ය ගුණ නැණ සපිරි පුරවැසියන් බිහිකරලන විශේෂ අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දුන්හ. ඒ විශ්වවිද්‍යාලය පාලනය කළහ. ග්‍රන්ථ සංස්කරණය කළහ. ඒවාට ව්‍යාඛ්‍යා සැපැයූහ. විවරණ ඉදිරිපත් කළහ. ශබ්දකෝෂ තැනූහ. නිර්මාණාත්මක ග්‍රන්ථ සම්පාදනය කළහ. ත්‍රිපිටක ග්‍රන්ථ සංස්කරණ හා පරිවර්තන මණ්ඩලයේ සභාපති ධුරයත් සංඝනායක ධුරයත් නලාගස්දෙණිය විහාරස්ථානයේ අධිපති ධුරයත් දැරූහ. එහි දායකයන් වෙනුවෙන් ආගමික කටයුතු ද කළහ. ශ්‍රී සෝරත නාහිමියන්ගේ චරිතයෙන් අප වටහාගත යුත්තේ උදාර චරිත ඇති ශ්‍රේෂ්ඨ පුද්ගලයන් මෙලොව කෙටි කලක් ජීවත් වුවත් දිගු කල් පවතින කටයුතු රැසක් සම්පූර්ණ කරන බවයි.

පණ්ඩිත ශිරෝමණී වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමිපාණන් වහන්සේට නිවන් සුව අත්වේවා.

(***)
මහාචාර්ය
මැදගම්පිටියේ විජිතධම්ම හිමි