ශ්‍රී ලාංකික විහාර වංශ කතාවේ අසමසම පරිච්ඡේදයක් ලෙස දෙස් විදෙස් බෞද්ධ සම්භාවනාවට පාත්‍ර වූ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාර පුරාණය වූ කලී දශක ගණනාවක අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන්නකි. කිසිදු ජාති, ආගම්, කුල, ගෝත්‍ර, වර්ණවාදයකින් තොරව බෞද්ධ දර්ශනයේ අකලංක වූත් නිර්මල වූත් සාර චින්තනය උදෙසා පරමාදර්ශී සෙනසුනක් බඳු වූ ගංගාරාමයේ දොරටුව එදා මෙදා ඉතිහාසය තුළ කා වෙනුවෙනුත් විවර වූවකි. එහෙයින්ම ගංගාරාමයේ වැඩ විසූ සහ වැඩ වෙසෙන යතිවරයාණන් වහන්සේලාගේ මනුෂ්‍යත්වය පෙර දැරි වූ අපිරිමිත පරාර්ථකාමි ගුණ සමුදාය තුඩ තුඩ පැතිර ගියේ යම් සේද, එපමණකටම ගංගාරාමය අපේම පන්සල ලෙස සියලු ජන හදවත් හි මහා ඉඩ හසරක් නිබඳවම වෙන් කර ගැනිණි.

ශාසනයටත්, ජාතියටත්, මනුෂ්‍යත්වයටත් හදවතින්ම භක්ත්‍යාදරය දැක්වූ යතිවරයාණන් වහන්සේලා ගංගාරාම ඉතිහාසය මුළුල්ලේම එහි නායක යතිවර පදවි දැරූහ.

මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙණ පිහිටුවා වදාළ පණ්ඩිත ශිරෝමණී හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියන්ගේ භික්ෂු උරුමය රැඳි මේ පින් බිමේ වැඩ විසූ මාගොඩ ඥානිස්සර නා හිමි සහ මොරොන්තුඩුවේ ධම්මානන්ද නාහිමි යන මහා යතිවරයාණන් වහන්සේලා ශ්‍රී පාදස්ථානයේ නායක හිමි පදවි දරන්නට තරම් භාග්‍යවත් වූහ. හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියන්ගේ සඟ පරම්පරාවේ උරුමය දෙවුර දරමින් ගංගාරාමයේ විහාරාධිපති ලෙස අද වැඩ සිටින්නේ කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ධුරය හොබවන ආචාර්ය ගල්බොඩ ඥානිස්සර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේය.

ගංගාරාම විහාරස්ථානය අපේ පන්සල ලෙස ජන මන පොබයන්නට හේතු වන්නේ එය හුදෙක් ආගමික හෝ ශාසනික මෙහෙවර අරමුණු කරගත් පුද බිමක් පමණක්ම නොවන හෙයිනි. ජාතික, ආගමික හා සංස්කෘතික වශයෙන් ගංගාරාමය කේන්ද්‍ර කරගෙන ඇති වූ නවමු පුනරුදය වදනින් විවරණය කළ නොහැකි තරමට සුවිසල්ය. පාසල් හැර ගිය දරුවන් සුමගට ගැනීමෙහිලා සුවිශේෂී කාර්යභාරයක් අදටත් මැනවින් ඉටු කරන ගංගාරාමය ඊට අත්පොත් තැබුවේ 1978 වසරේ ශ්‍රී ජිනරතන කාර්මික පුහුණු පාසල ආරම්භ කරමිනි.

විශේෂයෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය) පෙළ විභාග කඩ ඉම ජයගත නොහැකි වූ දරුවන් ජීවිතය තුළ යන මඟ හසරක් නැතුව අතරමං වීම වළක්වන අභිලාෂය පෙරදැරිව ආරම්භ කළ ශ්‍රී ජිනරතන කාර්මික පුහුණු පාසලෙන් විවිධ පාඨමාලා සාර්ථකව හදාරා නික්ම ගිය දරුවන් සංඛ්‍යාව ලක්ෂ හයකට ආසන්නය. ජපානය, කොරියාව, තායිවානය, හොංකොං ආදී රටවලත් දේශීය වශයෙන් අපේ රටේ විවිධ ව්‍යාපාර ක්ෂේත්‍රවලත්, ස්වයං රැකියාවලත් නියුතුව ඔවුහු ජීවිතය ජයගත්හ.

කොළඹට පෙරහරක් නොතිබුණු යුගයක නවම් මහා පෙරහර ආරම්භ කර ඉතාමත් උත්කර්ෂවත් මහා සංස්කෘතික මංගල්‍යයක් පවත්වන්නට ගංගාරාම විහාරයට අනුපමේය හැකියාවක් ලැබුණි. ගංගාරාමයේ නවම් මහා පෙරහර නැරඹීමේ අභිලාෂය පෙරදැරිවම  නවම් මාසයේ ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයෝ සිටිති. එසේම කොළඹට තොරණක් නොතිබූ යුගයක කාර්මික විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු දරුවන් එක්ව තොරණ ඉදිකර පසුකාලීනව එය බේරේ වැව කේන්ද්‍ර කරගෙන බුද්ධ රශ්මි වෙසක් කලාපය ලෙස නව සංස්කෘතික ප්‍රබෝධයකට මං පෙත් විවර කරනු ලැබීය. වැඩිම ජනගහනයක් සපැමිණෙන වෙසක් කලාපය බවට එය පරිවර්තනය වීමට ගත වූයේ ඉතාමත් සුළු කාලයකි.

ශාසනික වශයෙන් ගත් විට පිරිවෙන් සංවර්ධනය, කුඩා සාමණේර හිමිවරුන්ට ශිෂ්‍යත්ව ලබාදීම, උන්වහනසේලාගේ ප්‍රාචීන විභාග සඳහා යොමු කිරීම, ඒ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාගේ අනාගතය ශක්තිමත් කරනු වස් පැහැදිලි භික්ෂු නායකත්වයක් ලබා දීම වැනි සුවිසල් මෙහෙවරක් වෙනුවෙන් ද ගංගාරාමය කැප විය.

මෙවැනි අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන ගංගාරාමය අද නවමු සමාජ මෙහෙවරකට තම දායකත්වය ලබා දී තිබේ. විශේෂයෙන් කෘෂිකර්මාන්තය, වාරි කර්මාන්තය, පරිසර පද්ධතිය, ධීවර කර්මාන්තය ඇතුළු සුළු කර්මාන්ත මෙන්ම ගෘහස්ථ කර්මාන්ත වෙනුවෙන් ඒ කර්මාන්තයන්හි නියැලෙන අයට අවශ්‍ය ශක්තිය, දැනුම, තාක්ෂණික ඥානය හා අවශ්‍ය උදව් උපකාර ලබාදීමේ අරමුණින් ගංගාරාම විහාරස්ථ දායක සභාව තම අනුපමේය දායකත්වය ලබාදීමය. පැවිදි ගිහි දෙපාර්ශ්වයම ඒ සත් ගුණවත් කාර්යයේ දී පෙරටුගාමී මෙහෙවරක් ඉටු කරයි.

1987 වර්ෂයේ කාර්මික විද්‍යාලය කළුගල් කැටයම් නිර්මාණ ශිල්පීන් ශ්‍රී ලංකාව තුළ බිහි කිරීමෙහිලා ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලය නව පාඨමාලාවක් ස්ථාපිත කළේය.. එම පාඨමාලාව කළුගල් කැටයම්කරුවන් පුහුණු කිරීමේ පාඨමාලාවට උපදේශකයන් ගෙන ඒමට ගල්බොඩ ඥානිස්සර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ඉන්දියාවේ මහබලිපුරම් ප්‍රදේශයට වැඩම කළහ..

මහබලිපුරම් දක්වා චෙන්නායි සිට ටැක්සියකින් යන ගමනේ දී ගංගාරාමයේ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දුටුවේ ත්‍රී බෑන්ඩ් නමින් වූ දෙයකි. ඒ කුමක් දැයි ටැක්සි රියැදුරුගෙන් විමසූ විට එය විස්තර කරන්නට ටැක්සි රියැදුරු නොදැන සිටියත්, දහවල් දානය වැළඳීමට ආපන ශාලාවකට වැඩි වේළේ එහි කළමනාකරුගෙන් උන්වහන්සේ ඒ ගැන විමසූහ. පරිසරය රැක ගැනීම ආර්ථික සංවර්ධනය සහ පුද්ගල සංවර්ධනය වෙනුවෙන් ගසක් රැකගන්නේ කෙසේද යන්න පිළිබඳ ඒ සංකල්පයෙන් විස්තර වන බව උන්වහන්සේ දැනගත්හ.

ගස් බැංකුව යන සංකල්පය උන්වහන්සේ ලංකාවට ගෙන ආවේ ඒ ඔස්සේය. අක්කර 900ක වත්තක් භද්‍රාවති පුණ්‍ය අරමුදල මගින් සංවර්ධනය කර උන්වහන්සේ මුළු දකුණු පළාතටම ඇට සහ පැළ බෙදා දීමේ මධ්‍යස්ථානයක් අකුරැස්සේ ආරම්භ කළහ. අද එම වත්තේ මහෝගනී ගස් හය ලක්ෂයක්, තේක්ක ගස් හැත්තෑ දහසක්, අගාවුඩ් ගස් ලක්ෂයක් එහි වගා කර තිබේ. අද දකුණු පළාතේ අක්කර සියයට වැඩි භූමි ප්‍රදේශයන්හි කිරි සහ කෘෂි ගොවිපොළවල් 12ක් ආරම්භ කර තිබේ. අඩු කාල සීමාවක් තුළ වැඩි පලදාවක් ලබා දෙන බෝග වර්ග රෝපණය කර එහි අස්වැන්නෙන් ගමක් සංවර්ධනය කිරීමේ කටයුත්තට අද ගංගාරාමය දායකත්වය ලබා දී ඇත. පැළය පොහොර ආදී වගාවට අවශ්‍ය සියලු දේ ඔවුන් වෙත ලබා දෙයි.

තව ද කෘෂිකර්මාන්තය පිළිබඳව එම පළාතේ ජනතාවට අවශ්‍ය දැනුම සම්පාදනය කරනු වස් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් කෘෂිකර්මාන්තය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් ආරම්භ කර තිබේ. එම පාඨමාලාවට අදාළ ප්‍රායෝගික පුහුණුව ලබා දෙන්නේ ගංගාරාම විහාරස්ථානයට අයත් ගොවිපොළවලිනි. පැළ තවාන් කිරීම කාබනික පොහොර සෑදීම, වගාවෙන් අනතුරුව අස්වැන්න නෙළාගන්න ආකාරය සුරක්ෂිත ලෙස ඒවා ප්‍රවාහනය කරන ආකාරය, ඇසුරුම් කරන ආකාරය ආදී බොහෝ සිද්ධාන්ත පිළිබඳ එම පාඨමාලාව ඔස්සේ දැනුම්වත් කෙරේ.

මේ සියලු මෙහෙවර අතරතුර සෞභාග්‍යයේ දැක්ම සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෘෂිකර්මාන්තය වෙනුවෙන් ඉටු කරන්නට අරමුණු කරගත් කාර්යයන් වඩාත් සාධනීය තලයකට ගෙන ඒමට දරන ප්‍රයන්තයට අවැසි සන්නිවේදනමය දායකත්වය පිරිනමමින් මේ මහ පොළොවේ කිරුලු නොපලන් රජවරු වෙනුවෙන් අපි නවමු සත්කාරයක් උදෙසා පෙළ ගැසුනෙමු.

ඩයලොග් ආයතනය නිර්ලෝභීව මෙම ජාතික කර්තව්‍යයට තම දායකත්වය සපයයි. ටෙලිකොම් ආයතනය ද මේ දැවැන්ත කාර්යයේ දී ගංගාරාමය සමග අත්වැල් බැඳගත්තේය.

අපේ සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය, ඒ හා බැඳි කෙම් ක්‍රම, අපේ කෘෂි සංස්කෘතිය, වැවයි දාගැබයි, පන්සලයි යන සංකල්පයේ උත්තුංග වටිනාකම, පෙර රජ දවස සහල් අපනයනය කළ මේ සාර භූමියේ වටිනාකම අවධාරණය කිරීම මේ සන්නිවේදන ක්‍රියාදාමයේ මුඛ්‍ය පරමාර්ථයයි. ගොවියාට වැඩි මිලක් ලබාදෙන නාගරික ව්‍යවසායකයන් හඳුන්වා දීම, දරුවන්ගේ ගුණධර්ම, චාරිත්‍ර වාරිත්‍ර, වගා කිරීම, ගෘහණියන්ගේ ශ්‍රමය වඩා ඵලදායි ඉසව් කරා යොමු කිරීම, වාරි කර්මාන්තය වැව් කර්මාන්තය, පරිසරය සුරැකීමේ වටිනාකම ආදී තේමාවන් ඔස්සේ ඉදිරි පරපුර දැනුවත් කිරීම ද මේ සන්නිවේදන ක්‍රියාදාමයේ තවත් අභිලාෂයකි..

කෘෂිකර්මාන්තය තේමා කරගනිමින් ඒ ඔස්සේ යා වෙන ජන මන ගැහෙන රිද්මයට සාර සුභාවිත අයුරින් ආමන්ත්‍රණය කිරීම හරිත ටී.වී. සන්නිවේදන ක්‍රියාදාමයේ ඒකායන පරමාර්ථයයි.

 

(***)
ගංගාරාම විහාරස්ථානයෙන් නිකුත් කරන ලද නිවේදනයක් ඇසුරිනි