අමෙරිකාවේ John Hopkin විශ්ව විද්‍යාලය විසින් සතිපතා නිකුත් කෙරෙන ගෝලීය උද්දමන පුවරුවට අනුව 2022 අප්‍රේල් 21 වන විට තුර්කිය, සුඩානය සහ වෙනිසියුලාව අභිබවා යමින් එහි 3 වැනි ස්ථානයේ ශ්‍රී ලංකාව ස්ථානගත කර ඇත. එයට අනුව වාර්ෂික උද්ධමනය සියයට 119 දක්වා ඉහළ ගොස් ඇත. අර්බුදය උග්‍ර වන විට අප්‍රේල් මාසයේ දී උද්ධමනය සියයට 30 දක්වා ඉහළ ගියේ ය. එම උද්ධමනය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ සම්බන්ධයෙන් ගත් විට සියයට 50 ඉක්මවයි. අපගේ සමස්ත රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 100 ඉක්මවා ගොස් ඇති අතර එය 1960 වර්ෂයේදී සියයට 25 ලෙස පැවතුණි. 1960, අපගේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 200 කි. දැන් එය මැදි ආදායම් රටකට සමීප වී ඇත. ශ්‍රී ලංකා රුපියල ශීඝ්‍රයෙන් අවප්‍රමාණය වීමත් සමඟ රුපියල සහ ඩොලරය අතර විශාල පරතරයක් ඇති විය.

ශ්‍රී ලංකාවේ ණය 2019 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 86.8 ක් වූ නමුත් දැන් එය ආසන්න වශයෙන් සියයට 109 දක්වා ළඟා වී තිබේ (2021). විදේශ ණය ඇමෙරිකානු ඩොලර් බිලියන 51 දක්වා ඉහළ ගොස් ඇත. අපනයන ආදායම අනුව ගත්කල 2019 දී විදේශ ණය සියයට 350දක්වා ඉහළ ගොස් ඇති අතර එය පිරිහෙමින් පවතින ආර්ථිකයක භයානක මට්ටමකි. පසුගිය වසර දෙක තුළ ආනයන වටිනාකම අපනයන වටිනාකමට වඩා සියයට 100 වැඩි වී ඇත. දැන් රට ද්‍රවශීලතාවේ හිඟකම සහ බංකොලොත්භාවය යන දෙකෙහිම දැවැන්ත මූල්‍ය අර්බුදයකට මුහුණ දෙමින් සිටී. මාර්තු මාසයේ දී රුපියල සියයට 40කට වඩා අවප්‍රමාණය විය. විදේශ විනිමය සංචිතය ශුන්‍ය මට්ටමේ පවතී. 2022 සිට 2026 දක්වා ප්‍රක්ෂේපිත ණය සේවාව වාර්ෂිකව ඩොලර් බිලියන 8 ක් ලෙස පවතී. මෙය රටට ඔරොත්තු නොදෙන මට්ටමකි.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ආර්ථික ක්‍ෂේත්‍රයෙන් මතු වූ හුදකලා ප්‍රශ්නයක් නොව, පසුගිය දශක එකහමාරක කාලය තුළ ඔද්දල් වෙමින් පැවති දේශපාලන අර්බුදවල ප්‍රතිඵලයක් ලෙස ඇති වූවකි. දූෂිත පාලකයන් සහ මහ බැංකුවේ සහ භාණ්ඩාගාරයේ නිලධාරීන්ට එරෙහිව නැගෙන කෝපය නිසා පුරවැසියන්ගෙන් වැඩි සහයෝගයක් නොමැතිව ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට මුල්‍ය බලධාරීන් උත්සාහ දරමින් සිටින බව පෙනෙන්නට ඇත. පවුල් ඒකාධිකාරයෙන් ජනතාව කලකිරීමට පත්කර ඇත. ආර්ථික පරිහානියට හේතු වූ කරුණු හඳුනා ගැනීම මෙහි දී වැදගත්ය.

1. චීනයට ඩොලර් බිලියන 3.38 ක් ඇතුළුව ශ්‍රී ලංකාවේ විදේශ ණය ඇමෙරිකානු ඩොලර් බිලියන 51 දක්වා ඉහළ ගොස් ඇත. චීන ණය මුළු ණය වගකීම්වලින් සියයට 10 කි. BRI (Belt and Road Initiative) ව්‍යාපෘති සඳහා චීන ණය දෙන්නන් විසින් වැය කරන ලද මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 11 කි. ව්‍යාපෘති සඳහා චීනයෙන් වාණිජ ණය අනුපාතිකය මත ණය ගැනීම ශ්‍රී ලංකා ආර්ථිකයට ඔරොත්තු නොදේ. මන්ද ඒවායින් බොහොමයක් ඵලදායි නොවන සහ නිසරු ව්‍යාපෘතීන් වීමයි. උදාහරණ ලෙස හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ, නෙළුම් කුලුන ආදිය පෙන්වා දිය හැක.

2. අධිවේගී මාර්ග වැනි ව්‍යාපෘති සඳහා විදේශ ණය ලබා ගැනීමේ දී සහ කොන්ත්‍රාත්තු ලබාදීමේ දී ආණ්ඩුවේ ගනුදෙනුවල විනිවිදභාවයක් නොතිබීම.

3. පසුගිය වසර 15 තුළ මහ බැංකු අධිපතිවරුන් විසින් අනුගමනය කරන ලද නොසැලකිලිමත් සහ නොමේරූ මූල්‍ය ප්‍රතිපත්තිය මෙන්ම බොහෝ ගනුදෙනු බැලූ බැල්මට පෙනෙන පරිදිම දූෂිත සහ රටට අවාසිදායක ඒවා වීම. උදාහරණ ලෙස ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුව, හෙජින් ගනුදෙනුව, ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීම යනාදිය පෙන්වා දිය හැක. මහ බැංකුවේ වැරදි පරිපාලනය සහ වංක හැසිරීම රුපියල අස්ථාවර වීමට හේතු වී තිබේ. සුදුසුකම් නොමැති හෙංචයියන් අධිපතිවරුන් ලෙස පත්කිරීම ඊට මූලික හේතුව විය.

4. 2020 දී ඉහළ ආදායම් ලබන්නන් සඳහා කිසිවකුත් නොඉල්ලූ බදු සහන ලබාදීම මගින් වසරකට රුපියල් බිලියන 500-550 අතර ප්‍රමාණයක් භාණ්ඩාගාරයට අහිමි විය. එය පසුගිය වසර දෙක තුළ එවකට පැවති අදාළ විනිමය අනුපාතිකයට අනුව දළ වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 7 ක ප්‍රමාණයකි.

5. රසායනික පොහොර තහනම් කිරීමට හෝ ආනයනය නොකිරීමට ගත් අත්තනෝමතික සහ වගකීම් විරහිත තීරණය නිසා වී සහ අනෙකුත් කෘෂිකාර්මික නිෂ්පාදන අස්වැන්න දළ වශයෙන් සියයට 40-50 දක්වා අඩු වී රට අන්ත අසරණ තත්ත්වයකට ඇද දමා තිබීම.

6. මුදල්, විදුලිබල හා බලශක්ති, අධ්‍යාපන, සෞඛ්‍ය, මහාමාර්ග යනා දී ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය වන බොහෝ අමාත්‍යාංශවලට කිසිදු හැකියාවකින් තොර තැනැත්තන් ඇමතිවරුන් ලෙස පත් කිරීම. එසේම ආර්ථික සංවර්ධනයට අත්‍යවශ්‍ය ආයතනවලට සුදුසුකම් නොලත් වංක සහ දූෂිත දේශපාලන හෙංචයියන් පත් කිරීමත් වත්මන් අර්බුදය තවත් උග්‍ර කිරීමට හේතු විය.

7. 2021 මුලදී ආර්ථිකය පාලනයෙන් ඔබ්බට යන බව වටහා ගැනීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හි සහාය ලබා ගැනීමට මුල්‍ය බලධාරීන් අසමත් වීම අර්බදය උග්‍රවීමට බලපෑවේය.

8. මූල්‍ය ස්ථාවරත්වය බිඳ වැටෙන බව පෙනි පෙනී අසීමාන්තික ලෙස මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම.

9. බෙලහීන හා අසංවිධානාත්මක රාජ්‍ය සේවය ආර්ථිකයට අධික බරක් විය. ඵලදායිතාව සඳහා එහි දායකත්වය අවම බව පෙනේ.

පිරිහී ගොස් ඇති ආර්ථිකයෙන් කඩිනමින් ගොඩ ඒම සහ ජනතාවට අත්‍යවශ්‍ය අවශ්‍යතා සපයා රට ස්ථාවර කිරීම ප්‍රමුඛ අවශ්‍යතාව වේ. රජය මිත්‍ර රටවල් වන, ප්‍රධාන වශයෙන් ඉන්දියාව සහ චීනයෙන් ආධාර ලබාගෙන ඇතත්, භූ-දේශපාලන ගැටුම් යම් ප්‍රමාණයකට බාධාවක් බවට පත්ව ඇත. දැන් රජය අවසානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඉල්ලා ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මීට පෙර 16 වතාවක් ශ්‍රී ලංකාවට සහාය ලබා දී ඇතත්, ශ්‍රී ලංකා ආර්ථිකය අයාලේ යාම නිරන්තරයෙන් ම සිදුවෙමින් පවතී. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ තවත් බොහෝ මූල්‍ය ආයතනවල සහාය අපට ලැබුණ ද, සේවා අංශය පුළු‍ල් කිරීම නිසා අපගේ කෘෂිකාර්මික හා කාර්මික අංශයෙන් ක්‍රමයෙන් හැකිලී ගොස් ඇත. විවිධ අංශ මගින් දළ දේශීය නිෂ්පාදිතයට දක්වන දායකත්වය පහත පරිදි පවතී.

කෘෂිකර්මය        සියයට 8.3

කර්මාන්ත         සියයට 26.2

සේවා    සියයට 59.6

දැඩි ලෙස පුළුල්ව පවතින සේවා අංශයේ ප්‍රතිඵලයක් වශයෙන්, ආර්ථිකයේ හෝ භූ දේශපාලන පරිසරයේ සරල කැළඹීමක දී පවා ආර්ථිකය තිගැස්සෙන සුළුය. පසුගිය දශක දෙක තුළ රාජ්‍යයට ප්‍රතිපත්ති සම්පාදකයන් නොවූ බවත්, ජාතික අවශ්‍යතා නොසලකා හරිමින් දේශපාලන අවශ්‍යතා මත රජය තීරණ ගත් බවත් කනගාටුදායක ලෙස සඳහන් කළ යුතුය.

මේ වන විට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ, ඉන්ධන, ගෑස් ආදිය හිඟකම, විදේශ විනිමය හිඟය වැනි ක්ෂේත්‍ර රැසකින් රට දුෂ්කරතා අත්විඳිමින් සිටී. දේශපාලකයන්ගේ සහ නිලධාරීන්ගේ අධික දූෂණය රට අවුල් සහගත තත්ත්වයකට ගෙන ගොස් ඇත. දේශපාලන අස්ථාවරත්වය සහ ව්‍යාකූලත්වය වඩාත් උග්‍ර අතට පත්ව ඇත. රට වැටී ඇති මඩ ගොහොරුවෙන් ගොඩ ගැනීමේ හදිසි අවශ්‍යතාව මතුව ඇත. අපට කඩිනමින් අවශ්‍ය ප්‍රතිසංස්කරණ කෙටි කාලීන සහ දිගු කාලීන උපාය මාර්ග ලෙස වර්ග දෙකකි.

 

කෙටි කාලීන පියවර

1. පවතින සමාජ අර්බුදය සහ ආර්ථික අර්බුදය යන දෙකම විසඳීමේ ප්‍රධාන සාධකය දේශපාලන ස්ථාවරත්වයයි. විනිවිද පෙනෙන මූල්‍ය විනයක් ඇති කිරීමට රජය දක්වන කැමැත්ත සැලකිය යුතු ලෙස වැදගත් වේ. ආණ්ඩුව දූෂණයෙන් තොර බව සාමාන්‍ය ජනතාවට ඒත්තු ගැන්වීමට සහ විනිවිදභාවයෙන් යුතුව ගනුදෙනුවල නිරත වන බව ඔප්පු කිරීමට අපොහසත් වුවහොත් කුමන ආණ්ඩුවකට හෝ එම ඉලක්කය සපුරා ගැනීමට නොහැකිය.

2. පොලී අනුපාත වැඩි කිරීම. (දැනටමත් සිදු කර ඇත)

3. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ඇතිව ණය සහ ණය පොලී ප්‍රතිව්‍යුහගත කිරීම සහ ණය ගෙවීම් තාවකාලික ලෙස අත්හිටුවීම මූල්‍ය බලධාරීන්ගේ ප්‍රමුඛ කාර්යය විය යුතුය. ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර මුළු ණය ප්‍රමාණයෙන් සියයට 36 ක් වන අතර ආසියානු සංවර්ධන බංකුවේ බහුපාර්ශ්වික ණය දෙවැනි ඉහළ අගය ගනී. එය සියයට 14 කි.

විදේශීය හා දේශීය ණය වගකීම් කළමනාකරණයට ඇතුළත් විය යුත්තේ, (අ) ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීම. (දැනටමත් සිදුකර ඇත). (ආ) ණය සහ පොලී ගෙවීම් නැවත සාකච්ඡා කර ප්‍රතිව්‍යුහගත කිරීම. (ඇ) SWAP ණය ගනුදෙනු අලු‍ත් කිරීම සහ දීර්ඝ කිරීම.

ඈ) වාණිජ ණය පොලී අනුපාත සහ ඵලදායී නොවන ව්‍යාපෘති මත හෝ ජාතික ආර්ථිකයට දායක නොවන ව්‍යාපෘති සදහා ගෙන ඇති ණය වලින් කොටසක් කපා හැරීමට අවධාරණය කිරීම.

4. අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සීමිත කාලයක් සඳහා ආනයනය කිරීම සම්පූර්ණයෙන් තහනම් කිරීම. බලධාරීන් එවැනි ප්‍රතිපත්තියක් ප්‍රකාශ කර ඇතත්, බලගතු දේශපාලනඥයන් සමඟ සමීප සබඳතා ඇති ආනයනකරුවන් එවැනි භාණ්ඩ අලෙවි කිරීමට තම වෙළෙඳ කුටිවල ප්‍රදර්ශනය කරන්නේ ජනතාවගේ විශ්වාසය බිඳ දමමින් බවත් පෙනෙන්නට තිබේ.

5. වෙළෙඳ ශේෂයේ හිඟය විසඳීම අතිශය ලෙස හදිසි කාරණයකි. එය නිරාකරණය කිරීමට නීතිය පමණක් උපකාර නොවනු ඇති බවට සැකයක් නැත. ව්‍යාපාරිකයන්ගේ සහ සංක්‍රමණිකයන්ගේ නොමසුරු සහයෝගය කාලීන අවශ්‍යතාවකි.

6. ස්ථාපිත බැංකු ක්‍රමයෙන් ඈත් වෙමින් ආනයනකරුවන් මෙන්ම අපනයනකරුවන් විසින් අනුගමනය කරනු ලබන හවාලා සහ උණ්ඩියල් වැනි අවිධිමත් මුදල් ගනුදෙනු සම්පූර්ණයෙන් නතර කළ යුතුය. එම අක්‍රමික ගනුදෙනු හේතුවෙන්  බැංකුවලට ලැබිය යුතු ඩොලර් ප්‍රමාණය නොලැබී යනවා පමණක් නොව, රුපියල දුර්වල කරමින් රටේ විදේශ විනිමය හිඟය ද ඇති කරයි. හවාලා සහ උන්ඩියල් යනු සම්ප්‍රදායික බැංකු ක්‍රම වලින් පරිබාහිරව පවතින විකල්ප ප්‍රේෂණ නාලිකාවක් වන අතර, බොහෝ ශ්‍රී ලාංකිකයන් තම ඉපැයීම් බැංකු මගහැර එමගින් කිරීමට යැවීමට පුරුදු වී ඇත.

7. ශ්‍රී ලාංකික විදේශ ශ්‍රමිකයන් ද බැංකු හරහා තම ප්‍රේෂණ එවීම වෙනුවට එවැනි අවිධිමත් මුදල් ගනුදෙනු ක්‍රමයට යොමුව ඇත. එවැනි අතරමැදියන්ගෙන් සමහරක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සෘජුවම සම්බන්ධ වී ඔවුන්ගේ නීති විරෝධී සහ අයථා ලෙස උපයාගත් මුදල් විදේශයන්හි ඩොලර්වලින් නීත්‍යානුකූල කර ගනී.

8. ඇතැම් සංක්‍රමණිකයන් සහ ශ්‍රමිකයන් තම ප්‍රේෂණ මෙරටට නොඑවන්නේ දූෂිත පාලකයන්ට විරෝධය පළකිරීමක් ලෙසින් බව මූල්‍ය බලධාරීන් අවධානයට ගත යුතුව ඇත. මීට පෙර මෙවැනි ශ්‍රමිකයන්ගෙන් මසකට ඇමෙරිකානු ඩොලර් මිලියන 600 ක් පමණ රටට ලැබෙමින් තිබුණ ද, දැන් මසකට ලැබෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 250 ක පමණ මුදලක් පමණක් වන අතර එයට හේතුව ජනතාවගේ විශ්වාසය දිනාගැනීමට පාලකයන්ට නොහැකි වී තිබීමයි. වෙළඳ ශේෂයේ හිඟය පියවීම සඳහා මෙය අතිශය හදිසි කාරණයක් ලෙස සැලකිය යුතුය.

9. 2019 දී පැවතියා මෙන් ඉහළ ආදායම් ලබන්නන් මත සෘජු බදු පැනවීමට වහාම බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග ගත යුතුය.

10. වත්මන් දුබල ආර්ථිකය කළමනාකරණය කිරීම සඳහා නව අයවැයක් ඉදිරිපත් කළ යුතු අතර ව්‍යාපෘති සඳහා වූ ප්‍රාග්ධන වියදම් ප්‍රමා ද කළ යුතුය.

 

දිගුකාලීන පියවර

1. අපනයනය ඉලක්ක කරගත් නිෂ්පාදන දිරිමත් කිරීම සදහා බදු සහන ලබා දීම සහ යටිතල පහසුකම් සැපයීම මගින් අපනයන වැඩිකර ගැනීම.

2. අපනයන නිෂ්පාදන භාණ්ඩ සඳහා අගයන් එකතු කිරීම.

3. වසර 5 ක් තුළ දළ දේශීය නිෂ්පාදිතයට කෘෂිකර්ම අංශයේ දායකත්වය සියයට 8.3 සිට සියයට 14 දක්වා ද කාර්මික අංශයේ දායකත්වය සියයට 26.2 සිට සියයට 34 දක්වා ද (ආසන්න වශයෙන්) වැඩි කිරීමට ක්‍රමානුකූලව පියවර ගැනීමට රාජ්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම.

4. පාඩු ලබන ප්‍රධාන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම.

අ) ලංකා විදුලිබල මණ්ඩලය රු. 2020 දක්වා පාඩුව රු. බිලියන 308 කි.

ආ) ශ්‍රී ලංකන් එයාර්ලයින් රු. 2021 පෙබරවාරි දක්වා පාඩුව රු. බිලියන 374 කි.

ඇ) ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව රු. 2020 දක්වා පාඩුව රු. බිලියන 331 කි.

5. ජාතික ආර්ථිකයේ තිරසාරභාවයට දායකත්වය ලබාදීම සහතික කිරීම සඳහා රාජ්‍ය සේවා අංශය ප්‍රතිව්‍යුහගත කිරීම.

6. කෘෂිකාර්මික හා කාර්මික අංශවල තිරසාර සංවර්ධනය සඳහා සංවර්ධන බැංකු පිහිටුවීම. රජයට අයත් ලංකා බැංකුව සහ මහජන බැංකුව ආරම්භයේ දී කාර්මික හා කෘෂිකාර්මික අංශවල ඉලක්ක සපුරා ගැනීම සඳහා ආරම්භ කළ අතර අපේක්ෂිත මට්ටම් කරා ළඟා වූ නමුත් ලිබරල් ආර්ථිකය හඳුන්වා දීමෙන් පසු එම බැංකු දෙක වැඩිම ලාභය ඉපයීමේ තරගයේ යෙදී සිටින පෞද්ගලික බැංකුකරුවන් සමග තරග වැදීම ආරම්භ කළේය.  එම බැංකු පිහිටුවූයේ කුමන අරමුණක් සඳහා ද යන්න පවා අමතක වී ඇත.

7. අයවැය හිඟය කපා හැරීම. අයවැය හිඟය 2020 දී සියයට 11.1 දක්වා ඉහළ ගොස් ඇති අතර, 2017 දී එය සියයට 5.5, කි. එය සමස්ත ආර්ථිකයේ දුර්වල මූල්‍ය කළමනාකරණයක් පෙන්නුම් කරයි.

8. සියලු‍ම රාජ්‍ය ආයතනවල පත්වීම් සඳහා දැඩි ක්‍රියා පටිපාටියක් අනුගමනය කිරීම සහ පත් කරන්නන් නියම කර ඇති අවම සුදුසුකම් සපුරා ඇති බව සහතික කිරීම.

9. වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමේ පනත සංශෝධනය කිරීම හෝ දේශපාලනඥයන්, නිලධාරීන් සහ රජයේ කොන්ත්‍රාත්කරුවන් අධීක්ෂණය කිරීම සහ ඔවුන්ගේ ගනුදෙනු විනිවිදභාවයෙන් යුක්ත බව සහතික කිරීම සඳහා නව නීති පැනවීම.

10. පෞද්ගලික අංශයටත් අල්ලස් ලබා ගැනීම පිළිබඳව නීති අනුකූල කිරීම.

11. ශ්‍රී ලංකා රේගුව පූර්ණ ප්‍රතිව්‍යහගත කිරීමක් සිදු කිරීම. දැනට රේගුවෙන් ජාතික ආර්ථිකයට ලැබිය යුතු ආදායමෙන් විශාල කොටසක් නොයෙකුත් හේතු මත නොලැබීයන බව ප්‍රකටව පෙනෙන්නට ඇත.

 

(***)