මෙවර කිවිදා දැක්මෙන් මා සාකච්ඡා කරන්නේ යෝජිත වරාය නගරය ආර්ථික කොමිසම පනත හරහා ගොඩනැගී ඇති සංවාදය පිළිබඳවය. මේ දිනවල හදිසි කොරෝනා තත්ත්වය හමුවේ යම් ආකාරයකට යට ගොස් තිබෙන නමුත් පසුගිය සති කීපයේ දේශපාලන අවකාශයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වූයේ වරාය නගරය සම්බන්ධයෙන් යෝජනා වී ඇති පනත් කෙටුම්පත පිළිබඳවය.

මේ පනත පාර්ලිමේන්තුවේ සභාගත කෙරුණේ අප්‍රේල් මාසයේ දෙවැනි සතියේය. ඒ අවස්ථාවේ සිට මේ පනත සම්බන්ධයෙන් නීතිය පැත්තෙන් කරුණු කියන්නට සමහරු උසාවි ගොස් ඇති අතර තවත් සමහරු බරපතළ ආකාරයේ දේශපාලනික සාකච්ඡාවක් සමාජ මාධ්‍ය තුළ ආරම්භ කර ඇත්තාහ. නෛතික කරුණු සම්බන්ධයෙන් ගරු අධිකරණයේ ගොනුවී ඇති නඩු පිළිබඳව කිසිදු කාරණයක් සාකච්ඡා කිරීම මගේ මේ ලිපියේ අරමුණ නොවන බව මුලින් ම අවධාරණය කළ යුතුය. මා මෙහිදී සාකච්ඡා කරන්නේ මේ ප්‍රශ්නය පිළිබඳව මතුවී ඇති දේශපාලන සාකච්ඡා කීපයක් පිළිබඳවය.

වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පිළිබඳව පනත් කෙටුම්පත සභාගත වූ දිනයේ සිට මේ දක්වා ඒ පිළිබඳව මතුවී ඇති විවේචන විවිධ දේශපාලන හා දර්ශනික ආස්ථානයන් නියෝජනය වෙන බව සැබෑවක්ය. එහෙත් මා මේ ලිපියෙන් මතු කරන්නට බලාපොරොත්තු වන්නේ ඒ පිළිබඳව ඉදිරිපත් වී ඇති අදහස් තුනක් පිළිබඳවය. මේ අදහස් තුන මගේ ගණන් බැලීම අනුව නම්කළ හැක්කේ එකක් අති වාමාංෂිකවාදය මගින් මතුවෙන විවේචනය කියාය. අනෙක ඌණතිවාදී ජාතිකවාදය මගින් මතුකරන විවේචනය කියාය. තුන්වැනි එකට මා කියන්නේ පටු දේශපාලන අවස්ථාවාදය විසින් මතුකරන විවේචනයය කියාය. ඒ නිසා කෙටියෙන් කිවහොත් මේ ලිපියෙන් අභිමුඛ කරන්නේ මගේ තේරුම් ගැනීමට අනුව වාමවාදය (leftism) ජාතිකවාදය (nationalism)  සහ අවස්ථාවාදය (opportunistism) යන පදනම් මත සිට වරාය නගරය පනත ගැන මතු කරන විවේචන තුනක් පිළිබඳවය.  

මේ විවේචන පිළිබඳව කථා කරන්නට පෙර වරාය නගරය කියන්නේ කුමක්ද කියන කාරණය ගැන කරුණු කීපයක් පැහැදිලි කර ගැනීම අවශ්‍යය. ඉහතින් සඳහන් කළ සමහර විවේචකයන් මේ පිළිබඳව මූලික කරුණු පවා වරදවා තේරුම් ගනිමින් සිටින නිසා රටේ ජනතාවගේ පැත්තෙන් ඒ කාරණය පැහැදිලි කර ගැනීම වැදගත්ය.

අපේ රට ඉතිහාසයේ සිටම ප්‍රසිද්ධියට පත්වී ඇත්තේ වරාය ආශ්‍රයෙන් බව කවුරුත් දන්නා කාරණයක්ය. කොළම්තොටට රටේ ප්‍රමුඛත්වය ලැබුණේත් කොළඹ වරාය නිසාය. ඒ කෙසේ වෙතත් මේ වරාය ආශ්‍රය කර ගනිමින් ගොඩනගන වරාය නගරය පිළිබඳව අදහස මුලින්ම මතුවුණේ 2010 පත්වූ රජය කාලයේය. ඒ අනුව 2012 සිට මේ ව්‍යාපෘතිය ආරම්භ විය. එයින් අදහස් කළේ මුහුදින් කොටසක් පුරවා ඉදිකරන අලුත් නගරයක් ගොඩනැගීමය.

මේ වන විට ඒ මූලික ගොඩකිරීමේ අදියර නිමාවට පත්වී ඇති අතර මෙතැනින් ඉදිරියට මේ ව්‍යාපෘතිය ගෙනයාමේ ක්‍රියාදාමය 2017 වර්ෂයේ සිටම මේ දක්වා පසුගිය ආණ්ඩුවත් වර්තමාන ආණ්ඩුවත් යන ආණ්ඩු දෙකම උත්සාහ ගිනිමින් සිටින බව කීම නිවැරදිය. මේ මුහුද ගොඩකිරීම සඳහා ගිවිසුම් ගතව වැඩ කළේ CHEC Port City Colombo යන චීන සමාගම විසින් වන අතර ඒ සඳහා ඔවුන් විසින් මේ වන විට ඇ.ඩො. බිලියන 1.4 මුදලක් ආයෝජනය කර ඇත. මේ මුදල ලංකාවේ මුදල්වලින් ගතහොත් රුපියල් බිලියන 250 අධික විශාල මුදලක්ය. මෙසේ ගොඩකරන ලද වරාය නගරයේ සම්පූර්ණ භූමි ප්‍රදේශය හෙක්ටයාර් 269 හෙවත් අක්කර 664 කි. මෙයින් ගොඩනැගිලි සැදිය හැකි භූමි ප්‍රදේශය ආසන්න වශයෙන් හෙක්. 178 (අක්. 439) පමණ වන අතර අනෙක් හෙක්. 91 (අක්. 225) යෙදවිය යුත්තේ මහා මාර්ග, වෙරළ, උද්‍යාන, ඇළ මාර්ග ආදී පොදු පහසුකම් සඳහාය.

ගොඩනැගිලි සහ වෙනත් ව්‍යාපාරික ආයෝජන සඳහා සුදුසු හෙක්. 178 (අක්. 439) න් හෙක්. 116 (අක්. 286) ආයෝජකයන් ගෙන්වා ගනිමින් සංවර්ධනය කිරීම සඳහා මුල් චීන සමාගමට වසර 99 ක් සඳහා බදු වශයෙන් ලබා දීමට තීරණය කර ඇත. (මේ තීරණය ගනු ලැබුවේ පසුගිය යහපාලනය යැයි කියා ගත් රජය කාලයේ බවද මෙහිදී සඳහන් කළ යුතුය.) ගොඩනැගිලි සැදිය හැකි ඉතිරි ඉඩම් ප්‍රමාණය ඒ කියන්නේ හෙක්. 62 (අක්. 153) ප්‍රමාණය ආයෝජකයන් මගින් සංවර්ධනය කරන්නේ ශ්‍රී ලංකා රජයේ ඍජු මැදිහත්වීම හරහාය.
 
දැන් මේ අලුත් වරාය නගරය ආර්ථික කොමිසම මගින් යෝජනා කරන්නේ මේ කියන සමස්ත ඉඩම් ප්‍රමාණය ඇතුළත් කලාපය (චීන සමාගම මගින් ආයෝජකයන් ගෙනෙනු ලබන අක්. 286 සහ ඍජුව ලංකා රජය ගෙනෙන ආයෝජනවලින් සංවර්ධන වන අක්. 153 යන සම්පූර්ණ කලාපය) පාලනය කිරීම සඳහා රටේ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන කොමිසමක් පිහිටුවීමය.
මූලික වශයෙන් ම මේ වරාය නගරය පිහිටුවීමේ වාසිය රටේ ආර්ථිකයට ගත හැකි ආකාරයෙන් ඒ භූමිය සඳහා නීති සකස් කිරීම මිස හුදු නීති හදන්නන්වාලේ මේ නීතිය හැදීමේ කිසිදු තේරුමක් නැති බව මගේ මතයයි. ඒ කියන්නේ වරාය නගරය ලෙසින් අලුතින් පිරවූ බිමක් රටේ කොටසක් බවට පත් කරන්නට තීරණය ගත්තේ රටට තවත් හෙක්. 178 බිමක් මදිවී තිබුණ නිසා නොවන බව තේරුම් ගැනීමය. ඉතාමත් පැහැදිලිව කිවහොත් මේ බිම මුහුද ගොඩකර නිර්මාණය කළේ රටට මදි පාඩු වූ බිම්කඩක් රටේ කොළඹ දිස්ත්‍රික්කයට එකතු කිරීමේ පරමාර්ථයෙන් නොවේ. මේ ගොඩකිරීම සිදු කළේම ඒ කියන ආර්ථික සංවර්ධනයේ අවශ්‍යතාව නිසා මිස හුදු මුහුද පිරවීමක් සඳහා නොවන බව පිළිගැනීම මෙහිදී සිදුවිය යුතු අංක එකේ අවශ්‍යතාවයි.

අනෙක් කාරණය වන්නේ මේ වරාය නගරය ගැන ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය යන දෙපක්ෂයම පසුගිය මැතිවරණවලදී ජනතාව සමග ගොඩනගා ගත් සමාජ සම්මුතිය වන්නේත් මෙම භූමිය රටේ විශේෂ ආර්ථික කලාපයක් ලෙසින් නෛතිකව පිහිටුවන බවයි. මේ පිළිබඳව පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රකාශයේ ඉතාමත් පැහැදිලිව සඳහන් වී තිබූ අතර සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රකාශයේ ඊටත් වඩා නිශ්චිතව මේ කාරණය පැහැදිලි කර තිබූ බව සඳහන් කළ යුත්තේ වර්තමානයේ විපක්ෂයේ අය කියන කරන දේවල්වල තිබෙන අවස්ථාවාදී තත්ත්වය නිසාය. ප්‍රේමදස මහතාගේ මැතිවරණ ප්‍රකාශයේ 35 වැනි පිටුවේ සඳහන්ව තිබුණේ ‘කොළඹ වරාය නගර සීමාව ආවරණය වන පරිදි සේවා සඳහා විශේෂ ආර්ථික කලාපයක් නිර්මාණය කරන්නටත් ඒ සඳහා ආයෝජන වේගවත් කරන නීති ඇතුළත් පනතක්’ (අවධාරණය මගේ) ගෙනෙන බවත්ය.

දැන් ආණ්ඩුවේ වරාය නගර කොමිෂන් සභා පනත අපි කියවිය යුත්තේ මේ සන්දර්භය තුළය. ආණ්ඩුවේ උත්සාහය වන්නේ මේ කියන නව නීතිය යටතට චීනයේ ආයෝජන සහ ලංකාවේ ආයෝජන ගොනුකර ගත් නව ආකෘතියක් යටතේ මෙම කලාපය කළමනාකරණය කිරීමය.

මේ පිළිබඳව මා මුලින් සඳහන් කළ කණ්ඩායම් තුනේ  විවේචන පිළිබඳව සිතිය යුත්තේ මෙම තත්ත්වය යටතේය.

මුලින්ම අපේ රටේ සිටින සමහර වාමවාදීන් තවමත් සිටින්නේ වෙළෙඳපොළ ක්‍රමයෙන් එළියට ගොස් සංවිධානගත විය හැකි ආකෘතියක් පිළිබඳව පරණ කොමියුනිස්ට්වාදයේ තැටිය සිතේ තියාගෙනය. වාමවාදයේ න්‍යායයන් මත පදනම් වෙමින් වරාය නගරය කොමිසම ගැන ලියන ධම්ම දිසානායක, සුමනසිරි ලියනගේ වැනි මිතුරන් මේ දවස්වල තර්ක කරන්නේ වෙළෙඳපොළ ධනවාදයේ මූලිකාංග මුලින් උපුටා දමා හදන සමාජයක් පිළිබඳව සිතේ තියාගෙනය. එවැනි අධිභෞතිකවාදයක් සිතේ තබා ගනිමින් 1977 පසු ඇතිවූ සියලු තත්ත්වයන් විවේචනය කිරීමෙන් ඒ අතිවාමවාදය සිදුකරන්නේ හුදු අහිංසක විවේචකයන්ගේ කණ්ඩායමක් නිර්මාණය කරමින් රට පිළිබඳව සන්තාපයට පත්වීම හුරු කිරීම පමණක් බව මගේ තේරුම් ගැනීමය. වෙළෙඳපොළ ධනවාදය ලෝකයේ පහළවූ හොඳම විකල්පය හෝ අවසානම විසඳුම නොවන  බව සැබෑවක්ය. එසේ නමුත් ඒ වෙළෙඳපොළ අවකාශය තුළ සිට ගත යුතු ප්‍රතිපත්තිමය අලුත්වීම් පසෙකට තල්ලු කරමින් රටේ තත්ත්වය පිළිබඳව සන්තාපය බෙදාහැරීමෙන් හෝ හුදු වාමාංශික කවි ගායනා කිරීමෙන් හෝ පමණක් රට මුහුණදෙන වර්තමාන ආර්ථික අභියෝග ජයගැනීමේ හැකියාවක් නැති බව සිහියට ගැනීම මෙහිදී ඉතාමත් වැදගත්ය.

දෙවනුව ජාතිකවාදය පැත්තෙන් වරාය නගරය කොමිසම පනත ගැන ඉදිරිපත් වෙන තර්කය මගින් පෙන්නුම් කරන්නේ ජාතික රාජ්‍ය සීමාව තුළ මතුවිය හැකි ‘එළියෙන් එන අනතුර’ පිළිබඳ තමන් නිෂ්පාදනය කරන මතවාදයේ ඇති බරපතළභාවයයි. චීනයෙන් එන බලපෑමක් හෝ චීනයට යටත්වීමක් ලෙසින් මේ කාරණය පාට කරන්නේ ඉහතින් සඳහන් කළ ‘අනෙකාගේ පැවැත්ම විසින් තමන් නිෂ්පාදනය කරගන්නා’ සහ ඒ සඳහා ඇතිකර ගත්  ‘බිය’ විසින් ගොඩනගනු ලබන තර්කයක් මතින්ය. ජනාධිපති විසින් පත්කරනු ලබන කොමිසමක් යටතට චීනයේ ආයෝජන සහිත අක්. 286 පත් කිරීම යටත්වීමක් ලෙසින් තේරුම් ගැනීම වැරදි සහගත බව පමණක් නොව උපක්‍රමිකව බැලීමේ නොහැකියාවක් ලෙසින් ද පෙනෙන බව මගේ මතයය. බොහෝ කරුණු සම්බන්ධව යම් ආකාරයක මධ්‍යස්ථ කෝණයකින් බැලූ විජයදාස රාජපක්ෂ මහතා වැනි අය මේ මතවාදයට ගමන් කිරීම ඉතාමත් කනගාටුදායකය.

තුන්වැනිව මේ කාරණය සම්බන්ධව විපක්ෂයේ දේශපාලනයේ සිටින සමහරුන් වැඩ කරන්නේ සම්පූර්ණයෙන්ම අවස්ථාවාදී ස්ථාවරයක සිට බව මගේ නිරීක්ෂණයය. ස්වකීය මැතිවරණ ප්‍රකාශයේ මෙයටත් වඩා බලසම්පන්න සහ වෙනමම ආකෘතියක් මගින් වරාය මූල්‍ය නගරය කළමනාකරණය කරන්නට සමාජය සමග සම්මුතියක් ඉල්ලූ විපක්ෂයේ අය මේ වන විට මෙම පනතට විරුද්ධ වන්නේ තමන්ගේ රජයකින් එය සිදුනොවන නිසා මිස වෙනත් කාරණයක් නිසා නොවේ. එක් විශ්ලේෂකයකුගේ ලිපියකින් උපුටා කිවහොත් මෙයට කියන්නේ දේශපාලන කුහකත්වය (Political hypocrisy)  මිස වෙන යමක් නොවේ. තමන්ගේ ජීවිත කාලයම පළාත් සභාවලටත් එහා යන ව්‍යුහයකට බලය බෙදන්නට වෙහෙසුනු ඇතැම්හු මේ පනතට විරුද්ධවන්නේ රටේ ඒකීයභාවයට එයින් පහරක් වදින නිසා යැයි කීම විහිලුවක් පමණක් නොව දේශපාලන වංචනිකත්වයක් ද වන බව මගේ යෝජනාවය. මේ අවස්ථාවාදයේ නියෝජනය පැරණි ආණ්ඩුවේ සිටි උපදේශකයන් ගණනාවකගේ හඬින් මතුවෙන්නට පටන් ගෙන තිබෙන බව ද පෙනෙන්නට තිබේ.

අපට එරෙහි මතවාදයේ සිටින නමුත් මේ අවස්ථාවාදයෙන් මිදී දේශපාලනය කරන තවත් ලේඛකයකු විසින් මතු කරන ලද කාරණයක් වන්නේ මේ බොහෝ ෆෙඩරල්වාදීන්ගේ දේශපාලනයේ විරුද්ධාභාෂය (Paradox in politics) වරාය නගරයට ඔවුන්ගේ එරෙහිවීමෙන් පෙන්නුම් කරන බවය. එය මේ සම්බන්ධයෙන් මතුකළ වැදගත් නිරීක්ෂණයක් බව කිව යුතු අතර මේ පනත සම්බන්ධයෙන් සිදුවිය හැකි ඵලදායී සංවාදයක් ගොඩනැගිය හැක්කේ නූතනවාදී සහ ධනවාදී මතවාද සමගින් මිස අතිවාමවාදී උනතික - ජාතිකවාදී සහ දේශපාලන අවස්ථාවාදී තර්ක සමගින් නොවන බව මගේ මතයය.

(***)
(මහාචාර්ය - චරිත හේරත්)