(බිඟුන් මේනක ගමගේ සහ තරිඳු ජයවර්ධන)

(bingungamage88@gmail.com,tharindudld@gmail.com)

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වනාහි පසුගිය කාලයේ මෙරට අධ්‍යාපනයේ කඩාවැටීම පෙන්නුම් කෙරුණු එක් කැඩපතක් බවට පත්ව තිබිණි. පහ වසර ශිෂ්‍යත්වයේ පටන් උසස් පෙළ විභාගය දක්වා ප‍්‍රමිතියකට විභාගය පවත්වාගැනීමට ඇති නොහැකියාව ඊට මූලිකව බලපෑවේය.

එසේ ආ ගමනේ තවත් ගෞරවනීය සංධිස්ථානයක් පසුකිරීමට විභාග දෙපාර්තමේන්තුවට පසුගිය 24 වැනිදා හැකිව තිබේ. ඒ රාජ්‍ය පරිපාලන සේවයේ 3 පංතියට නිලධාරින් බඳවාගැනීමේ විවෘත තරඟ විභාගයේ බුද්ධි පරීක්ෂණයෙන් ද දෙපාර්තමේන්තුව අසමත් වීමෙනි. මෙවර ඊට බලපා ඇත්තේ පී.උමාශංකර් නමැත්තෙකු වෙළෙඳ පොළට නිකුත් කළ අනුමාන ප‍්‍රශ්න පත‍්‍රයක බුද්ධි පරීක්ෂණ ප‍්‍රශ්න පත‍්‍රයේ ප‍්‍රශ්න 22 ක් ගෙඩි පිටින් තිබීමය.

රාජ්‍ය පරිපාලන සේවයට නවකයන් 211 දෙනෙකු බඳවාගැනීම සඳහා සැප්තැම්බර් 24 වැනිදා පැවැති මෙම විභාගයට 14 000 කට අධික අපේක්ෂක අපේක්ෂිකාවෝ පිරිසක් අයැදුම් කළහ. සාමාන්‍ය පරිදි විභාගය වෙනදා මෙන් පැවැති අතර විභාගය අතරතුරේ කිසිදු ප‍්‍රශ්නයක් පැන නැගුණේ නැත. ප‍්‍රශ්න උද්ගතවීමට පටන්ගත්තේ විභාගය හමාර කළ ඇත්තන් නිවෙස් බලා ගොස් පැය කීපයකිනි.

‘‘විභාගෙ දවසේ ගෙදර ඇවිත් හවස පහට විතර ෆේස් බුක් එකේ තිබෙන අපේ ගෘප් එකට පොටෝස් වගයක් දාලා තිබුණා. ඒවායෙ තිබුණේ දෙමළ මාධ්‍ය ප‍්‍රශ්න වගයක්. ඒවාදාලා තිබුණේ මඩකලපුවේ ගුරුවරයෙක්. අපි දවල් ලිව්වපේපර් එකේ ප‍්‍රශ්නමයි කියලා කිසියම් පුද්ගලයෙක් ෆේස් බුක් එකට දාපු පෝස්ට් එකක පොටෝස් තමයි මේ විදියට දාලා තිබුණේ. සංඛ්‍යා රටා, කුලක හා රූප සටහන් හඳුනාගත්තත් අකුරු නොදන්න නිසා පස්සේ අපි දෙමළ මිතුරන් ළවා ඒක පරීක්ෂා කළා. මේ අනුමාන ප‍්‍රශ්න පත‍්‍රයේ තිබෙන ප‍්‍රශ්නවලින් 22 ක් එහෙම්පිටින්ම විභාග ප‍්‍රශ්න පත‍්‍රයේ තිබුණු බව එතකොට අපි දැනගත්තා. ’’

මේ කතාව කියන්නේ පසුගිය සැප්තැම්බර් 24 වැනිදා පැවැති රාජ්‍ය පරිපාලන සේවයේ 3 පංතියට නිලධාරින් බඳවාගැනීමේ විවෘත තරඟ විභාගයේ බුද්ධි පරීක්ෂණයට පෙනී සිටි උපාධිධාරියෙකි.

‘‘සිද්ධිය දැනගත්ත ගමන් විභාගෙ ලියපු බහුතරයක් ලංකාවේ හැම පැත්තෙන්ම විභාග දෙපාර්තමේන්තුවට කෝල් කළා. පිංතූර ෆැක්ස් කළා. රාජ්‍ය පරිපාලන සේවා විවෘත විභාගයේ ප‍්‍රශ්න 35 කුත් සීමිත විභාගයේ ප‍්‍රශ්න 12 කුත් පී.උමාශංකර් නමැත්තා නිකුත් කළ අනුමාන ප‍්‍රශ්න පත‍්‍ර පොතක තිබෙන බව සොයාගන්නට අපට හැකිවුණා.

ඒ පොතත් රැගෙන 26 වැනිදා විභාග කොමසාරිස්වරයා මුණගැහෙන්න අපි ගියේ ඊට පසුවයි. අපි ඔහුට ලිඛිතව පැමිණිලි කළා. ප‍්‍රශ්නයක් ඇති බවත් මේ ගැන හොයන්න ඊට පෙර දිනයේම කමිටුවක් පත් කළ බවත් විභාග කොමසාරිස්වරයා අපට කිව්වා. අපට සාධාරණයක් කරන්නට ඔහු පොරොන්දු වුණා.

ඉන්පසුව අපි විගණකාධිපතිවරයාටත් පැමිණිලි කළා’’ පරිපාලන සේවා අපේක්ෂකයන්ගේ පැමිණිල්ලෙන් පසු දින විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කළේය.

එයින් ඔහු අවධාරණය කර තිබුණේ කිසිදු ප‍්‍රශ්න පත‍්‍ර පිටවීමක් සිදුවී නැති බවය. විභාග යට පෙනී සිටි සිසුන් හා කොමසාරිස්වරයා අතර සාකච්ඡාවේදී ඔහු දිගින් දිගටම කියා සිට ඇත්තේ බුද්ධි පරීක්ෂණ පසුගිය ප‍්‍රශ්න පත‍්‍ර අතිශය රහසිගත බවත් ඒවා කිසිදු අයුරකින් දෙපාර්තමේන්තුවෙන් පිටතට නිකුත් නොවන බවත්ය. පසුගිය ප‍්‍රශ්න පත‍්‍ර ඇසුරෙන් මෙම දමිළ මාධ්‍ය ප‍්‍රශ්න පත‍්‍රය සකසා තිබූ  කියන්නට ද ඒ අතර ඔහු උත්සාහ කළේය.

කෙසේ වෙතත් කොමසාරිස්වරයාගේ නිවේදනයෙන් පැය හතළිස් අටක් යද්දී රාජ්‍ය පරිපාලන ඇමැතිවරයා නියෝග කර තිබුණේ ශ‍්‍රී ලංකා පරිපාලන සේවා විවෘත තරඟ විභාගයේ බුද්ධි පරීක්ෂණය යළි පැවැත්විමටය. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා මාධ්‍යට පැවැසුවේ පසුගිය 24 වැනිදා පැවති විභාගයේදි ලබා දුන් ප‍්‍රශ්න පත‍්‍රයේ, උපකාරක පන්ති ගුරුවරයෙකුගේ පොතක තිබු ප‍්‍රශ්න 15 ක් ඇතුළත්ව තිබීමෙන් උද්ගත වූ ගැටළුව මීට හේතු වූ බව ය.

මෙමගින් විභාග අපේක්ෂකයින් පිරිසකට අසාධාරණයක් සිදුවන බැවින් නැවත විභාගය පැවැත්විමට සිදුවන බව කී ලේකම්වරයා තමා විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන් පැවැති විභාගය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇති බවද අවධාරණය කළේය.

මේ සිදුවීමේදී විභාග කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කරන්නට උත්සාහ කරන්නේ ප‍්‍රශ්න පත‍්‍ර සකසන ක‍්‍රමවේදය ගැනය. පසුගිය ප‍්‍රශ්න පත‍්‍ර අනුසාරයෙන් එය සැකැසෙන බව ඔහු කියයි. එය අපට තේරුම් ගත හැකිය. ඒ ගැන විවාදයක් නැත. එහෙත් ඔහු නොකියන්නේ ප‍්‍රශ්න 35 ක් ගියේ කොහොමද කියන එකය. ප‍්‍රශ්න 60 ක පත‍්‍රයකින් ප‍්‍රශ්න 35 කට නිවැරැදිව පිළිතුරු සැපයීමෙන් අදාළ අනුමාන ප‍්‍රශ්න පත‍්‍ර ලැබූවන් ටක්කෙටම සමත් වන බව පැහැදිලිය.

කෙසේ වෙතත් කොමසාරිස්වරයාගේ පළමු ප‍්‍රකාශය ඇත්ත නම් ඊළඟට සිදුවිය හැක්කේ කුමක් ද? උමාශංකර්ගේ පොත අනුසාරයෙන් මෙවර ප‍්‍රශ්න පත‍්‍රය සකසා තිබීම ද? විය හැක්කේ මේ දෙකෙන් එකකි. එසේත් නැතිනම් වීමට ඉඩ ඇත්තේ එකම එක දෙයකි. ඒ උමාශංකර්ට පරචිත්ත විජානන ඥානය තිබීමය. මන්දයත් ප‍්‍රශ්න පත‍්‍රයක් සැකැසීමේ ක‍්‍රියාවලිය යනු හුදු එක් පුද්ගලයකුට බාර කටයුත්තක් නොවන නිසාය. ඒ සඳහා ප‍්‍රශ්න පත‍්‍ර සැකැසීමේ මණ්ඩලයක්ම වේ. එනිසා අප දන්නා ටියුෂන් කලාවත් ජාතික විභාග සම්බන්ධ ආසන්න අතීතයේ අමිහිරි අත්දැකීමුත් සමව ගෙන බලද්දී උමාශංකර්ට එවැන්නක් ඇතැයි උපකල්පනය කළ නොහැකිය.

ලංකා ගුරු සංගමය පවසන ආකාරයට මෙවැනි විභාගයක් පැවැත්වීමට දළ වශයෙන් රුපියල් ලක්ෂ විසි පහක පමණ මුදලක් වැය වේ. නැවත විභාගයක් පවත්වන තැනට සිදුවීමක් වී ඇතිනම් එහි වගකීම යා යුත්තේ විභාග දෙපාර්තමේන්තුවටය.

එනම් වරද රජය අතය. එහෙත් දැන් නැවත විභාගයක් පැවැත්වීම සඳහා වැයවන්නේ විභාගකොමසාරිස්ගේ පෞද්ගලික ධනය ද? ඇමැතිවරයාගේ පෞද්ගලික ධනය ද? නැත. ඒ මේ රටේ පොදු ජනයාගේ බදු මුදල්ය. එසේ නම් සිදුව ඇත්තේ කුමක් ද? රජයේ වැරැදිවලට මහජනතාවට වට දෙකකින් බැට කන්නටය. එක් අතෙකින් සිය කාලයත් මුදලූත් ශ‍්‍රමයත් වැය කර වෙහෙස මහන්සි වී පෙනී සිටි විභාගයට නැවත වරක් පෙනීසිටීම ද නියම පරිප්පුවකි.

අනෙක් අතට දෙවැනි වරටත් පැවැත්වෙන විභාගයට දෙවැනි වරටත් මුදල් වෙන්කරන්නේ ද මහජනතාවගේ සාක්කුවෙන්ම වෙන්කරගත් පංගුවෙනි. බලධාරින් මේ  සමච්චලයට ගෙනඇත්තේ සාමාන්‍ය ජනයාය. දිගු කලක් තිස්සේ විශ්වාසය රැකගත් ආයතනයකින් මෙබඳු වරදක් වී නම් එය ගැන යම් පමණක මැදහත් සිතින් සිතන්නට ඉඩ තිබිණ.

එහෙත් විභාග දෙපාර්තමේන්තුව විභාගවලින් ෆේල් වන්නේ අදක ඊයේක නොවේ. දිගු කලක් තිස්සේය. ඒ නිසා මෙම සිදුවීම ගැන බරපතල අවධානයක් යොමු කළ යුතුය. මේ කඩාවැටෙන්නේ හුදු විභාග දෙපාර්තමේන්තුව ගැන විශ්වාසය නොවේ. මේ රටේ ගෞරවනීය රාජ්‍ය සේවයට සුදුස්සන් පත්කරගැනීමේ ක‍්‍රමවේදය පිළිබඳ විශ්වාසයයි. ලංකා ගුරු සංගමය පවසන පරිදි විභාග යන විෂයට අදාළව ප‍්‍රාමාණික දැනුමක් ලබාදීමේ අරමුණෙන් පශ්චාත් උපාධි සඳහා සැළකිය යුතු පිරිසකට අධ්‍යාපන අමාත්‍යංශය මගින් විදෙස් ශිෂ්‍යත්ව පිරිනමා තිබේ. එහෙත් ඒ පශ්චාත් උපාධිලාභීහු අද ස්ථානගතව සිටින්නේ විභාග ක‍්‍රියාවලියට අදාළ වගකීම් දරන තැන්වල නොවේ. මේ, අධ්‍යාපන ඇමැතිවරයාගේ අවධානය නොමදව ලක් විය යුතු කරුණකි.

‘‘අපි විභාගය ලිව්වේ සෑහෙන්න මහන්සි වෙලා. ඒත් විභාග දෙපාර්තමේන්තුවට මේ තත්ත්වය ගැන ලොකුකණගාටුවක් ඇති බවක් පෙනෙන්නේ නෑ. මෙවැනි දෙයක් සිදු වී ඇති බව දැනගත්තෙත් අන්තර්ජාලය නිසයි. නැතිනම් අපි කවුරුවත් දන්නෙත් නෑ. විභාගය සාධාරණව පැවැත්වුණා කියලනෙ අපි හිතන්නෙත්. දැන් නැවත විභාගයකට මුහුණ දෙන්න අපට සිදුවෙලා. ඒක නොලිව්වත් අපට වෙන්නේ අසාධාරණයක්. ඒක ලිවීමෙන් සාධාරණයක් වෙනවා කියලා බලධාරින් හිතනවා නම් ඒකත් වැරැදියි. මොකද ගිය වාරයේ අපට තිබූ ප‍්‍රතිපලය

මෙවර නොලැබෙන්න පුළුවන්.’’ විභාගයට පෙනී සිටි උපාධිධාරියෝ දැන් නැවතත් විභාග අපේක්ෂකයෝ ය. සැබැවින්ම ඔවුන්ගේ මේ කණස්සල්ලත් විවේචනයත් හේතුයුක්තය. කුමක් වුවත් ඔවුන්ට එමගින් සර්ව සාධාරණයක් වේ යැයි කීම තාර්කික නැත.

පසුගිය කාලයේදී ප‍්‍රශ්න පත‍්‍ර පිටවීමේ සිදුවීම්වලදී විභාග කොමසාරිස් ජනරාල් පුෂ්පකුමාර මහතා නොවලහා කළ කාරියක් විය. ඒ, අදාළ විමර්ශන රහස් පොලිසියට බාර කර අතපිසදා ගැනීමය. අභ්‍යන්තර පරීක්ෂණ යැයි කියමින් කොමසාරිස්වරයා සිදුකරන දේවල ප‍්‍රගතියක් ද මේ සංසාරයේ බාහිර ලෝකයට ප‍්‍රකාශ වී ද නැත. පහ වසර ශිෂ්‍යත්ව ප‍්‍රශ්නයේදී සාමාන්‍ය පෙළ විද්‍යා ප‍්‍රශ්න පත‍්‍ර ප‍්‍රශ්නයේදී ආදී වශයෙන් ඊට  ඕනෑ තරම් උදාහරණ ද දැක්විය හැකිය. කෙසේ වෙතත් මෙවර ද කමිටුවක් පත්කර විමර්ශනයක් කරන්නට ඔහු පසුබට වී නැත.

දැන් අප පුල පුලා බලාසිටිය යුත්තේ කමිටු වාර්තාව එනතුරුය. මන්දයත්, උමාශංකර්ට පරචිත්ත විජානන ඥානය තිබේද නැද්ද යන්න සැක හැර දැනගැනීමට හැක්කේ එමගින් වන නිසාය.

 

රුපියල් ලක්ෂ විසි පහක පමණ නාස්තියක් - ලංකා ගුරු සංගමයේ ලේකම් ඡොශප් ස්ටාලින්

ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ කියලා ප‍්‍රධාන විභාග තුනක් තිබෙනවා. මේ තුනම ලංකාවේ සිසු සිසුවියන්ගේ ඉරණම තීන්දු කරන කඩඉම් විභාගයි. මීට අමතරව ජනතාවට තනතුරු කරා යෑමට ඉඩ ප‍්‍රස්ථා සලසන විභාග ගණනාවක් පැවැත්වීම විභාග දෙපාර්තමේන්තුවට පැවැරෙනවා. යහපාලනය කියන්නෙම හෙංචයියන් වෙනුවට විධිමත් විභාග හරහා සුදුස්සන් තේරීමටයි.

විභාග දුෂිත නම් විභාග දෙපාර්තමේන්තුව මේ වගේ වගකීම් විරහිතව කටයුතු කරනවා නම් එය බරපතළ ප‍්‍රශ්නයක්. මෙවැනි විභාගයක් නැවත පැවැත්වීමට රුපියල් ලක්ෂ විසි පහක පමණ මුදලක් වැය වෙනවා. එතකොට මේකට කවුද වගකියන්නේ? මේ නාස්තිකාර වියදම දරන්නේ කවුද? මේවා ජනතාවගේ සල්ලි. පරිපාලන විභාගය කියන්නේ ඊට මුහුණ දෙන සියලූ දෙනාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක්.

ජනාධිපති ලේකම් දක්වා වූ ඉහළ තනතුරුවලට එන සියල්ලන් සිය ජීවිත වෙනස් කරගැනීමේදී මේ විභාග පාදක කරගත්තා. අධ්‍යාපන ඇමැතිවරයා මෙවර ශිෂ්‍යත්ව විභාගයේදි පැහැදිලිවම ඒ ගැන වාර්තාවක් කැඳවන බව කිව්වා. එහෙත් කැඳවපු වාර්තාවක් නෑ. වෙච්ච දේකුත් නෑ.

විභාගවල තරඟකාරීත්වය ක‍්‍රමානුකූලව වැඩිවෙද්දී විභාග වංචාවල සූක්ෂ්මභාවයත් වැඩිවෙලා. එතකොට විභාග දෙපාර්තමේන්තුව ඒ ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. එහෙත් අපට එහෙම පේන්නේ නෑ. හොඳම උදාහරණය උසස් පෙළ විභාගයේදී අධිතාක්ෂණික ක‍්‍රම මගින් විභාග වංචා කිරීමයි. අදාළ ටියුෂන් ගුරවරුයා ප‍්‍රශ්න පත‍්‍රය මුද්‍රණය කර බෙදා හැරියේ නැත්නම් ඒක දන්නෙත් නෑ. ඒ විදියට අපි නොදන්න සිදුවීම් විභාගවලදී කොච්චර වෙනවා ඇතිද? එවැනි සිදුවීම්වලට ඇතැම් විට විභාග දෙපාර්තමේන්තුව ගන්නා පියවරෙන් වෙන්නෙත් මුදල් නාස්තියක් විතරයි. විභාග දෙපාර්තමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් විභාග ක‍්‍රියාවලියට අදාළව පශ්චාත් උපාධි ආදී වැඩිදුර අධ්‍යාපනය සඳහා කැනඩාව,  ඕස්ටේ‍්‍රලියාව ආදී විදේශයන්ට යැව්වා. විභාග සම්බන්ධයෙන් මේ පාඨමාලා හැදෑරීම් කළේ ජනතා බදු මුදල්වලින් වුණත් අද ඔවුන් දෙපාර්තමේන්තුවේ නෑ. එක්කෝ ඒ අය එතැනින් ඉවත් කරලා.

නැතිනම් ඉවත් වෙලා. එනිසා මේ සමස්ත ක‍්‍රියාදාමය ගැන සෙවිය යුතුයි. මේ විභාග සංස්කෘතිය කෙතරම් පිරිහීමකට ලක්වෙලාද කිවහොත් පෞද්ගලික ආයතනයකින් නිකුත් කරන ප‍්‍රශ්න පත‍්‍ර පොතක අධීක්ෂක හැටියට නම සඳහන් වන්නේ හිටපු විභාග කොමසාරිස් අනුර එදිරිසිංහ මහතාගේ නමයි. විභාග පිළිබඳ විශ්වාසය බිඳවැටීමෙන් සිදුවන්නේ මේ රටේ තරුණ පරපුරේ බලාපොරොත්තු ද බිඳවැටීමයි. තරුණ පරපුරේ අපේක්ෂාභංග වීමේ අනිටු ඵලය ගැන අපි අමුතුවෙන් කිවයුතු නෑ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

වීමර්ශන තවම අවසන් නැහැ පසුව තීරණයක් ගන්නවා - විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර

ප‍්‍රශ්නය - රාජ්‍ය පරිපාලන විභාගයේ බුද්ධි පරීක්ෂණය ප‍්‍රශ්නපත‍්‍රය නැවත තියන්න තීරණය කළේ ඇයි?

පිළිතුර - ඔව් අපි ඒක නැවත තියන්න තීරණය කළා.

ප‍්‍රශ්නය -- ඇයි එහෙම තීරණයක් ගත්තේ?

පිළිතුර - ඒකේ සමර ප‍්‍රශ්න පරණ ප‍්‍රශ්නපත්තරවල තිබුණු ඒවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් අපට ලිඛිතව දැනුම් දීලා තියෙනවා නැවත තියන්න කියලා.

ප‍්‍රශ්නය - ප‍්‍රශ්න 35ක්ම පරණ ප‍්‍රශ්නපත්තරවලින් ද අරගෙන තියෙන්නේ?

පිළිතුර - ප‍්‍රශ්න ගණන තවම දන්නේ නෑ.

ප‍්‍රශ්නය - ඔබ කිසිම දෙයක් සොයා නොබලද කළින් නිවේදනයක් නිකුත් කළේ?

පිළිතුර - මම නිකුත් කළේ ප‍්‍රශ්න පත්තරේ පිට වෙලා නැහැ කියලයි. ඇත්තටම පිට වෙලා නැහැ.

ප‍්‍රශ්නය - පිටවෙලා නැතිනම් ප‍්‍රශ්න පත්තරේ හදන්න ප‍්‍රශ්න 35ක්ම ගත්තේ උමාශංකර්ගේ පොතෙන්ද?

පිළිතුර - නැහැ. පරණ ප‍්‍රශ්නපත්තරවලින් අරගෙන තියෙන්නේ.

ප‍්‍රශ්නය - උමාශංකර්ගේ පොතට පරණ ප‍්‍රශ්න කොහෙන්ද?

පිළිතුර - තවම විමර්ශන අවසන් නැහැ.

ප‍්‍රශ්නය - පරණ ප‍්‍රශ්න පත්තර පොත් ගහන්න පුලූවන්ද?

පිළිතුර - බැහැ

ප‍්‍රශ්නය - එහෙනම් කොහොමද උමාශංකර්ට පරණ ප‍්‍රශ්න පත්තර ගියේ?

පිළිතුර - ඒ ගැන විමර්ශනය කරනවා. මුලින්ම ඒවා අධ්‍යයනය කරන්න  ඕනෑ.

ප‍්‍රශ්නය - පරණ ප‍්‍රශ්න පත්තරවලින් ප‍්‍රශ්න අරගෙන ප‍්‍රශ්න පත්තර හදන්න පුළුවන්ද?

පිළිතුර - එහෙම ගෙඩිය පිටින් අරගෙන ප‍්‍රශ්න පත්තර හදන්න බැහැ.

ප‍්‍රශ්නය - මීට කලින් හැම වෙලේම ප‍්‍රශ්න පත්තර ප‍්‍රශ්න ආපු ගමන් රහස් පොලිසියට බාර දෙනවා. මේකත් බාර දුන්නේ නැද්ද?

පිළිතුර - ප‍්‍රශ්න පත්තර පිටවෙලා නම් තමයි බාර දෙන්නේ. මේකේ පිට වෙලා නැහැ.

ප‍්‍රශ්නය - ඉතින් පරණ ප‍්‍රශ්න පත්තර පිට වෙලා නැද්ද?

පිළිතුර - තවම පරීක්ෂණ අවසන් නැහැ.

ප‍්‍රශ්නය - පරීක්ෂණ අවසන් නැතිනම් නැවත ප‍්‍රශ්න පත්තරය තියන්න තීරණය කළේ කොහොමද ?

පිළිතුර - මූලික පරීක්ෂණයෙන් එය තීරණය කළා. මෙය සිදුවූ ආකාරය ගැන විමර්ශන තවම අවසන් නැහැ. අවසන් වූ පසු තීරණයක් ගන්නවා.

ප‍්‍රශ්නය - විභාගය නැවත තියන්න කොපමණ මුදලක් වැය වෙනවද?

පිළිතුර - තවම ඒක කියන්න බැහැ.

ප‍්‍රශ්නය - අහෝසි කළ ප‍්‍රශ්න පත‍්‍රය තියන්න කොච්චර වියදම් වුණාද?

පිළිතුර - ඒ ගැන කියන්න අමාරුයි

ප‍්‍රශ්නය - නැවත තියන්න යන වියදම අය කර ගන්නේ කාගෙන්ද?

පිළිතුර - විමර්ශන අවසන් නැහැ. තවම කියන්න අමාරුයි.