සංගීත ලෝකයේ , නාට්‍ය ලෝකයේ , සිනමා ලෝකයේ ‘“මාස්ටර්” කෙනෙකු ලෙස සම්මානයට පාත්‍ර වීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. සංගීත ලොවේ “මාස්ටර් වූයේ ‘අමරදේව මාස්ටර්” ය. එහෙත් එතුමා අද ජීවතුන් අතර නැත. තවස් මාස්ටර් කෙනෙකු පසුගිය සතියේ අප අතරින් සමුගත්තේය. ඔහු මාස්ටර් වූයේ චිත්රකලා ලෝකයේය. ඔහු නමින් ‘“බන්දුල මාස්ටර්”ය. කොයි කවුරුත් දන්නා “බන්දුල හරිශ්චන්ද්‍ර” නම් මහා චිත්රශිල්පියාය.

බන්දුල හරිශ්චද්රයන් තම සදාතනික මතකයන් තබා ඇත්තේ චිත්‍රකතා ලෝකයටත් වඩා පවුල් සෞඛ්‍ය මධ්‍යස්ථාන වල බව කිවහොත් නිවැරදිය.
දරුවන්ට මව්කිරි දීම, පෝලියෝ එන්නත දීම, ගර්භනී මාතාවන්ට උපදෙස් ආදී බොහෝ පෝස්ටර්වල නිර්මාණකරු මේ බන්දුල හරිශ්චද්රන්යන් ය.
බන්දුල හරිශ්චද්රන්යන් සිය ළමා කාලය ගෙවා ඇති අයුරැ ඔහුගේම වචනයෙන් මෙසේය.
‘“මගේ පියා මියයන විට මට වයස අවුරුදු 9යි. ඔහු මියයන විටත් දුප්පත් වඩු කාර්මිකයෙක්. අපි හිටියෙත් කුලියට. අපිට කියලා කිසිම දේපොළක් තිබුණේ නැහැ. පසුව අම්මා තමයි මුළු පවුලම නඩත්තු කළේ. අම්මත් පසුව අසනීපවූ නිසා අපි තුන්දෙනාට තුන් පොළක ඉන්න සිදුවුණා. මම සයමසක් පාසලට නොගිහින් හිටියා. ඒ කාලයේ මම කඩේක අත්උදව්වට ගියා. අම්මට ටිකක් සනීප වී පරිසරය වෙනස් වුණාට පස්සේ නැවත පාසලට ගියා.”
“ඒ තාක් පාසල්වල චිත්‍රකර්මය උගන්වන ගුරුවරු හිටියෙ නැහැ. එදා 7 හෝ 8 ශ්‍රේණි වලදි චිත්රපාඩම වෙලාවේ දී ගුරුතුමා චිත්‍රයක් අඳින්න කියන කොටම මම අඳින්නේ වෙළෙඳපොළක්. නමුත් ඒ අය ඒවා අගයන්නේ නැහැ. ඒ අය නිතරම කියන්නේ යම් පුද්ගලයෙකුගේ රූපයක් අඳින්න කියලා. ඒ හින්දා මම අපේ පාසලේ බිත්තියේ එල්ලා තිබුණු ආරම්භක කළමනාකරුගේ රූපය චිත්‍රයට නැගුවා. පසුව මගේ ගුරුතුමිය විදුහල්පතිතුමාට එය පෙන්නුවා. විදුහල්පතිතුමා මට ලියුම් තුණ්ඩුවක් දීලා කිව්වා, ගමේ යම් මහත්තයෙක් ළඟට යන්න කියා. ඉන් අනතුරුව මාපලගම විපුලසාර හිමිගේ කලාපෙරමුණේ උපසභාපති ළඟට ගොස් විවිධ කලා නිර්මාණ කළා. ”
බන්දුල හරිශ්චන්ද්‍රයන් චිත්‍ර ලෝකයට පිවිසෙන්නේ එසේය.
තමාගේ නිවස පිහිටි වලානේ ගෙදර අසළම එකල තිබුණේ අලි ඇතුන් විවේක ගන්නා ඇත්ගාලයි. අලි රජුන් අලි මවුන් අලි පැංචන් දිහා බල බලා බන්දුල ඉරට පින්සලෙන් අලි සිත්තම් මැව්වේය. මේ පස් වියැති දරුවා වට පිට සැරිසරන කුරුල්ලන් ද, බල්ලන් ද, මොනරුන්ද, පූසන් ද, සිතුවමට නගන හැටි මනරම් විය. ඉරටු පින්සලෙන් වැලිමළුවේ රූප මැව්වේ බන්දුල දරුවාය.
බන්දුල හරිස්චන්ද්‍රයන් තමන් චිත්‍රකතා ශිල්පියෙකු වූ ආකාරය එදා සිහිපත් කළ අන්දම අදත් මතකය.
“මම වීදිය බණ්ඩාර කතාව චිත්රකතාවක් විදියට සකස් කරල එක කොටසක් ඇඳලා ‘’දවස’ පුවත්පතට තැපැල් කළා. එවකට එහි විශේෂාංග කතුවරයා ලෙස සේවය කළ පියල් වික්‍රමසිංහ මහත්මයා මට එන්න කියලා ලියුමක් එවලා තිබුණා. ඒත් ගියාට පස්සේ ‘දවස ආයතනයෙන් මට කිව්වේ දවසකින් අවසන් වෙන කතාවක් රිවිරැසේ එක පිටුවකට අඳින්න කියලා.
ඉතින් මට ලංකාදීපෙට ‘’සමාජ සමයං’ නිර්මාණය කළ හෙන්රි තෙන්නකෝන්ට කතාවක් ලියාදෙන ලෙස කිව්වා. එයා කළේ කතාවක් ලියා දෙනවා වෙනුවට මාව ලේක්හවුස් ආයතනයට එක්ක යන එක.”
“අපි එතනට ගිහින් ඉස්සෙල්ම හමුවුණේ ජයවිලාල් විලේගොඩ මහත්තයා. විලේගොඩ මහත්මයා මාව දිණමිණ කර්තෘ ඇම්.ඒ. ද සිල්වා මහත්මය ළඟට එක්ක ගියා. ජාතක කතාවක් ඇසුරෙන් එක දවසින් ඉවර වෙන කතාවක් ඇඳගෙන එන්න කියලා සිල්වා මහත්මයා කිව්වා. විලේගොඩ ගේ සිනමා අතිරේකයෙත් මා චිත්‍ර ඇන්දා. ඔහු දවසක් මගේ චිත්‍ර දැකලා කීවා ’ඇයි මනුස්සයෝ, හේවුඩ් එකට ගිහින් අවුරුදු දෙකේ පාඨමාලාව කරනවා. තමුන්ට ගුරුපත්වීමක් ගන්න පුළුවන්’ කියලා. ඊට පස්සේ මම සෙනසුරාදා දිනවල ඒ පාඨමාලාවට ගියා. එතැනදී හොඳින් ඉගෙනුම ලැබුවාට පස්සෙ මට චිත්රකලා ගුරුවරයෙක් ලෙස පත්වීම ලැබුණේ වැලිමඩ හාලිඇල මහා විද්‍යාලයට.”
ලේක්හවුසියේ ගතකල කාලය බන්දුල හරිශ්චද්රයන්ගේ ස්වර්ණමය යුගයයි. මේ සමය චිත්රශිල්පී යුගයක ඇරඹුම විය. දයා රාජපක්ෂ, තලංගම ප්‍රේමදාස වැන්නන් ලේක්හවුසියට ගොඩවිය. බන්දුල හරිස්චන්ද්රට වඩා ජ්‍යෙෂ්ඨ චිත්‍ර ශිල්පියෙකු වූ සුසිල් ප්‍රේමරත්න ලේක්හවුසියෙන් ඉවත්ව ලංකාදීපයට ගෙවැදි තිබුණේය. ජනක රත්නායක, වික්‍රම වැනි නව පෙළක් රිවිරැස තුළින් මතුවිය.
කෙසේ නමුත් බන්දුලගේ අනන්‍යතාවය ලේක්හවුසිය තුළින් ඉස්මතු විය. ලේක්හවුසියේ පුවත්පත් අළෙවිය වැඩිවීමට තමන්ගේ චිත්‍රකතා වලින් වූ බලපෑම ඔහු සටහන් තබා ඇත්තේ මෙසේය.

“එක දවසක් ’‘දිනමිණ’ පත්‍රයේ කර්තෘ මට එයාගේ කාර්යාලයට එන්න කියලා පණිවිඩයක් එවලා තිබුණා. මමත් හිතේ නොසන්සුන්තාවයකින් එතුමා මුණ ගැහෙන්න ගියා. එතකොට එතුමා වචනයක්වත් කතා නොකොට මට ලියුම් කවරයක යමක් දාලා මගේ අතට දුන්නා දැන් මගේ හිතට මේක ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා මාව ඒ කාලේ විශේෂාංග කර්තෘවරයා වශයෙන් හිටපු සිසිල් ඉලංගරත්න මහතාට මේ බව කීවා. එතකොට ඔහු මට ලියුම් කවරය විවෘත කරලා බලන්න කියා කීවා. බැලින්නම් සල්ලි. මම ඇහුවා ඇයි කියලා. එතකොට එයා කීවේ ඔයාගේ චිත්‍රකතාව නිසා පත්තරයේ අළෙවිය දෙගුණයක් වගේ වැඩි වෙලා තියෙනවා. ඒ නිසා ආයතනයෙන් ඔයාට දෙන සුළු තෑග්ගක් මේ කියලා. ඒ කතාව තමයි ‘’නළ දමයන්ති’ අපේ රටේ මුලින්ම වර්ණයෙන් ඉදිරිපත් කළ චිත්‍ර කතාවත් එයයි.”
මෙරට සිංහල පත්රකලාව සහ චිත්‍රකතා අතර සහ සම්බන්ධය බන්දුල හරිස්චන්ද්‍රයන් විග්රහ කළ ආකාරය තාර්කිය බවක් ගනී.
“පුවත්පතක පිටු අතර විචිත්රභාවය රැකගන්නත්, කෙටිකතා හෝ වෙනස් විශේෂාංග ලිපි කෙරේ අවධානය යොමු කරවන්නත්, චිත්‍රශිල්පියෙකුට විශේෂ බලපෑමක් කළ හැකිවා වගේම, පුවත්පතක අළෙවිය රැකගන්නත් අළෙවිය වැඩිකරගන්නත් චිත්‍ර ශිල්පියෙකුට සෑහෙන බලපෑමක් කළහැකි බව මා අත්දැක තිබෙනවා. පෙරතිබූ ලංකාදීප හා ඉරිදා ලංකාදීප පත්‍රවල චිත්‍රකතා පළ වූ නමුත්, ඒ කාලයේ ලේක්හවුස් සිංහල පුවත්පත්වල චිත්‍රකතා පළවුණේ කලාතුරකින්. ඉඳහිට බටහිර රටවලින් ගෙනා ටාර්සන් වැනි චිත්‍ර කතා සිංහල දෙබස් රිංගවලා පළකළා මට මතකයි.”
“ජී.එල්. ගෞතමදාස, තලංගම ජයසිංහ වැනි අතිදක්ෂ චිත්‍ර ශිල්පීන් සිටියදී ත් ’සිළුමිණ’ පත්තරයේ වුණත් චිත්‍ර කතාවක් පළවුණේ, දේශපාලන කාටූනයක් පළවූයේ ඉඳහිටයි. එවැනි පසුබිමක් තිබිය දී ආධූනිකයෙකු වූ මා ලවා ජාතක කතා චිත්‍රකතා හැටියට පළකරන්නට ඇම්.ඒ. ද සිල්වා දිනමිණ ප්‍රධාන කර්තෘතුමා උත්සාහ කළා. ඔහු මට කීවා පේලි දෙක තුනකින් ඉවර කරන්නට පුළුවන් ජාතක කතා කීපයක් අඳින්න කියලා. ඇම්.ඒ. ද සිල්වා මහතා ගත් උත්සාහය සාර්ථකවේ යැයි මා හිතුවේ නෑ. නමුත් ජාතක කතා, සද්ධර්ම රත්නාවලියේ බණකතා, ඉන්දීය සාහිත්‍යයේ ‘’සකුන්තලා’ ‘’නල දමයන්ති’ වැනි චිත්‍රකතා එක දිගටම චිත්‍රකතා හැටියට අඳින්නට මට ඉඩ ලැබුණා. චිත්‍ර මාධ්‍යයෙන් මේ සාහිත්‍යය කියන්නට ලැබීමෙන් ළමා හා තරුණ උදවිය වගේම වැඩිහිටි අයගේත් චිත්‍ර කතාවට ඇති ලන්සුව වැඩි වුණා. ”
බන්දුල හරිශ්චන්ද්‍රයන් දැඩි ආර්ථික ස්ථාවරයක සිටි පුද්ගලයෙකි. ඔහු වරක් පවසා සිටියේ තමන් චිත්‍රකතා නිසා ආදායම් බදු ගෙවන්නට පටන් ගත්තේ වයස අවුරුදු 26 සිට බවය.
බන්දුල හරිශ්චන්ද්‍රගේ චිත්‍රකතාව කෙතරම් සමාජීය වෙනසක් ඇති කළේදැයි සාක්ෂාත් වූයේ, ඔහුගේ ‘සිංහබාහු’ චිත්‍රකතා සහ ‘මංගලා’ චිත්‍ර කතාව තුළිනි. සිළුමිණෙහි පළ වූ ‘සිංහබාහු’ නිසා මහාචාර්ය සරත්චන්ද්‍රගේ සිංහබාහු නාට්‍යයෙහි ජන අවධානය ප්‍රබල තත්ත්වයක් විය.
‘මංගලා’ ටී.බී. ඉලංගරත්නගේ එම නමින් පොත දිනමිණට චිත්‍ර කතාවකට චිත්රනය කිරීමක් විය. ලේක්හවුස් ප්රකාශනයක් වූ ‘මංගලා’ විකුණාගත නොහැකිවෙතැයි සිතා චිත්‍රකතාව නතර කරන්නැයි බලපෑම් ආවද බන්දුලගේ චිත්‍ර කතාව නිසා ‘මංගලා විකිණීම වැඩිවෙන ලදි. චිත්‍රපට හැරුණු විට පාඨක ඇස පිනවන්නට එදා තිබුණේ චිත්රකතාවම පමණක් බව කාටත් මතකය. අද ටෙලිනාට්‍ය විසින් තමන් පාදක කරගන්න පොත ජනප්‍රිය කරනවා මෙන්ම, එදා බන්දුලයන්ගේ චිත්‍රපොත පාඨකයන් අතරම ගෙනයන බවට මින් ප්‍රථම වරට සමාජ අත්දැකීමක් පොත් ප්‍රකාශකයින්ට ප්‍රථම වරට ලබාදෙන ලද්දේ බන්දුල හරිශ්චන්ද්‍ර විසිනි.

1970 සමගි පෙරමුණ ආණ්ඩුව බලයට පත්වන්නේ මේ අතරය. ඒත් දේශපාලන පෙරළිකාරයින් බන්දුල හරිශ්චන්ද්රයන්ට අත තියන්නට ගියේ නැත.
1972ලේක්හවුසිය සමග පෙරමුණු රජය විසින් ජනසතු කිරීමත් සමග තත්ත්වය උග්‍ර විය. බන්දුල හරිශ්චන්ද්‍ර චිත්‍රකතා කලාව ජනප්‍රිය කිරීමේ ප්‍රතිඵලය ලෙස ලේක්හවුස් පාලනයට කදිම ව්‍යාපාර ආයෝජනයක් යෝජනා කරන ලදී. ඒ චිත්රකතාම ඇතුළත් පුවත් පතක් ඇරඹිමටය. ‘සතුට’ ඇරඹුණේ එලෙසය. එය ලංකාවේ පලමු චිත්‍රකතා පුවත්පත විය. එය මුද්‍රණය කරන ලද්දේ ලෙටර්ප්රේස් ක්රමයටය. විජය පුවත්පත් සමාගම ආරම්භ කිරීමේ දී සතුට නාමය ලේක්හවුසියට අත්හැරීමට සිදුවිය. විජය පුවත්පත් සමාගමේ ආරම්භක පුවත්පත් වූයේ සතුට, විජය, සිරිකත හා සිසුමිණ ය. අන්තිමට ලේක්හවුසිය සතුට නාමය ‘’මධුර’ ලෙස වෙනස් කරගන්නා ලදී.
ලේක්හවුසියෙන් තමන්ට වූ අසාධාරණය බන්දුල හරිශ්චන්ද්‍රයන් සඳහන් කළේ මෙසේය.
“මේ වෙනකොට මම ලේක්හවුස් එකට ඇවිත් අවුරුදු 13 ක්. සතයක් පඩි වැඩි කළේ නෑ. මම පස්සෙ ස්ථිර පත්වීමකුත් ඉල්ලුවා. ඒත් දුන්නේ නෑ. මම ඉල්ලුව තැනට නුසුදුසු කෙනෙක් පිටින් ගත්තා. ඇත්තටම මට කලකිරීමක් ඇතිවුණා. මම කවදත් ගැටුම් වලට කැමති කෙනෙක් නොවේ. මම එදාම කිව්වා, මම තව මාසයකින් අස්වෙනවා කියලා. මේ කතාව කටින් කට ගියා. එතකොට කැමිලස් පෙරේරාත් අයින්වෙලා උන්නේ. එයාගේ සිළුමිණ කාටුන් වලින් සමගි පෙරමුණු රජයට පහර වැදුණ හින්දා එයාව අයින් කරානේ. එතකොට චිත්‍රකතා කොච්චර ජනප්‍රියද කිව්වොත් අලුත් පත්තරයක් පටන් ගත්තා ‘සිත්තර’ කියලා. මම ලේක්හවුස් එකේ වැඩ කළා. මාව ස්ථිර කළේ 1978 දි. ඒත් මාව ස්ථිර කරපු අවුරුද්දෙම මම ලේක්හවුස් ආයතනයෙන් ඉල්ලා අස්වුණා.”
ලංකාවේ ප්‍රථම වරට ඕෆ්සෙට් ක්‍රමයට පත්‍රයක් මුද්‍රණය කළේ සමන් මුද්‍රණාලයයි. 1957 ඔක්තෝබ ර් 15 වෙනි දින ‘මේලා’ නමින් නිකුත් වූ මෙම කලාසංග්රහය ටැබ්ලොයිඩ් ප්‍රමාණයේ පත්‍රයක් විය. එහි සංස්කාරවරයා වූයේ ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍රය. ඔහු පසුව ජනප්‍රිය නලුවෙකු විය. සමන් මුද්‍රණාලයේ ‘අකල් මරණයත් සමග ඕෆ්සෙට් ක්‍රමය ගැන සාමාන්‍ය මහජනයා කතාබහ කිරීම ද ටිකෙන් ටික අඩු වී ගියේය.
එහෙත් ඊළඟ පියවරේ දී ඕෆ්සෙට් ක්රමයේ පත්තර ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ජනප්‍රිය කරවීමේ ගෞරවය හිමිවන්නේ මල්ටිපැක්ස් (ලංකා) සමාගමටය. නමින්ම කිවහොත් එහි අධ්‍යක්ෂවරයෙකු වන හරිස් හුළුගල්ල ටය.
1974 දී චින්තක ජයසේන ඕෆ්සෙට් ක්රමයේ චිත්‍රකතා පත්‍රයක් පිළිබඳ අදහස හරිස් හුළුගල්ලේ ගේ හිසට ඇතුළු කළේය . එහි ප්‍රතිඵලය වූයේ චින්තක ජයසේනගේ කර්තෘත්වයෙන් 1975 ඔක්තෝබර් 20 වෙනිදා ’සිත්තර’ නමින් පත්‍රයක් බිහිවීමය. බන්දුල හරිශ්චන්ද්‍ර එහි පතාක යෝධයෙකු විය. එය ලංකාවේ ප්‍රථම වෛවර්ණ ඕෆ්සෙට් චිත්‍රකතා පත්‍රය විය. ලංකාවේ මුල්ම චිත්‍රකතා පත්‍රය ‘සතුට වූවත්, එවකට එය මුද්‍රණය කරන ලද්දේ ලෙටර්ප්රේස් රෝටරි ක්රමයටය.
පිටපත් 35,000 න් පටන් ගත් ‘සිත්තර අන්තිමේ දී පිටපත් දෙලක්ෂය ද ඉක්මවා ගියේය. විශේෂ අවස්ථාවලදී ලක්ෂ 3 1/2 ද ඉක්මවිය. සිත්තර අච්චුගැසීම සල්ලි අච්චු ගැසීමට සමාන කිරීමට තරම් විග්‍රහයක් එකල විය.
මල්ටිපැක්ස් ආයතනයෙන් සිත්තර, සුහද, ස්වර්ණ නමින් චිත්‍රකතා පත්තර තුනක් පලකරන ලදී. ‘ස්වර්ණ’ චිත්‍රකතා පත්තරයේ කතුවරයා වූයේ බන්දුල හරිශ්චන්ද්‍රය.
බන්දුල මාස්ටර් විවාහ වුණේ කෙසේදැයි දිනක් පුවත්පත් කලාවේදියෙකු ප්‍රශ්නයක් නගා තිබුණි.
“ලේක්හවුස් ආවට පස්සේ සමහර දවස් තිබුණා, එක දිගට දවස් දෙක තුන ගෙදර නොගියපු. හුඟක් දවස්වල නිදිවරලා බස් එකේ නින්ද යනවා. හෝල්ට් එක පහුවෙලා පානදුරටම ගිහින්, ආපහු වලානට පයින් එනකොට රෑ දෙගොඩ හරිය පහුවෙලා. ඒ වෙනකොට මගේ අයියත් ලෙඩ ඇඳේ. අවුරුදු 15 ක් තිස්සේ ලෙඩ වෙලා හිටි අයියා, වයසක අම්මා වගේම නංගිත් බලාගෙන - අර විදියට දිවා රෑ නැතිව චිත්‍ර අඳින එක හරි වෙහෙසක් වුණා. අම්මා කොච්චර කිව්වත්, විවාහය ගැන මගේ කිසිම හැඟීමක් ඇති නොවුණේ ඔය සංකීර්ණ ජීවිතේ නිසා.”
“කොහොම හරි මං අන්තිමට විවාහ වෙන්න තීරණය කළෙත්, අම්මා සතුටු කරන්න. කුසුම් මගේ රසිකාවියක්. ලේක්හවුස් ඉන්න කාලේ ඈ මගේ චිත්‍ර ගැන බොහෝ උනන්දු වූ කෙනෙක්. හොඳම දේ ඇයත් චිත්‍ර කලාවට දක්ෂවීම. අම්මා විවාහය ගැන හුඟක් බල කළේ ඈ හුඟක් අසනීප වුණු වෙලාවෙ. ඒ වෙලාවෙ මං තීරණයක් ගත්තා. මට මතක් වුණේ කුසුම්. හැබැයි එතකොට මට අවුරුදු 40 යි. මුලින්ම ඈ මගේ යෝජනාව ප්‍රතික්ෂේප කළේ මගේ වයස නිසා නොවෙයි. වෙනත් හේතුවක් නිසා”
“වෛද්‍යවරු කුසුම්ට විවාහ වෙන්න එපා කියලා තිබුණා. ‘ඕනෑම මොහොතක ඇවිත් රෝහල්ගත වෙන්න. සැත්කමක් කරන්න වෙනවා. ඔබේ හදවතේ සිදුරක්. වෛද්‍ය කාඩ්පත නිතරම ළඟ තබාගන්න’ යනුවෙනුයි ඈට ලැබී තිබුණු උපදේශය වී තිබුණේ.”
බන්දුල මාස්ටර් විවාහ වූයේ කුසුම් මංගලිකා සමගය. ඇය විවාහයෙන් පසුව පුවත්පතකට පවසා තිබුණේ තමන් දෙදෙනාගේ කේන්දර කොහෙත්ම නොගැලපුණ බවය. 1940 මැයි 24 දින උපන් බන්දුල මාස්ටර් 2026 පසුගිය සතියේ මියයන තුරුම සිය බිරිඳත්, දියණියත් සමග සාර්ථක හා ප්‍රීතිමත් ගෘහ ජීවිතයක් ගත කළ පුද්ගලයෙකු විය.
නල දමයන්ති, පෙතිගෝමර, බේබද්දා, හේලෝ, කස පහර, සත්වෙනි දවස, සකුන්තලා, පෙනිලෝපා, මංගලා, නයනා, මනුතාපය, තනිතරුව, ආදී කතා මෙන්ම සද්ධර්මරත්නාවලිය, සද්ධර්මාලංකාරය, අරාබි නිසොල්ලාසය මෙන්ම කතා සිරිත් සාගරය ඇසුරෙන් ද මෙම චිත්‍රකතා නිර්මාණය කර - කොටස් වශයෙන් පළවු දින චිත්‍රකතා 200 ක් පමණ බන්දුල හරිශ්චන්ද්‍රයන් විසින් කළ නිර්මාණය.
ඔහු ටී.බී ඉලංගරත්න, අයි.එම්.ආර්. ඊරියගොල්ල, කේ.ජී.කරුණාතිලක ගේ පොත් වලට පිටකවර ඇන්දේය. මේ අයුරින් බලනවිට - චිත්රශිල්පියා ආගම, දර්ශනය, සාහිත්‍යය යනාදී සියල්ලක් ගැන දැනුමක් හා අවබෝධයක් සහිතව සිටිය යුතුයි.
“ඒ කාලේ ලේක්හවුසියේ හිටියා අමුතු හීන්දෑරි කොල්ලෙක්. මම ඒ කොල්ලගේ ස්වරූපයට තරමක් සමාන වන ලෙසින් ‘හත්වෙනිදවස චිත්‍ර කතාවේ කොල්ලාගේ චිත්‍රය ඇන්දා. ඒක බලපු සුබසිංහ මහත්තයා දැකපු ගමන් කීවා ’අයිසේ, මේ ඇඳලා තියෙන්නේ, රුවන් තරස්වින් නේ’ කියලා. මාත් කීවා. ඔව් මිනිහගේ ස්වරූපයට තමයි ඇන්ඳෙ කියලා.
බන්දුල හරිශ්චන්ද්‍රයන් තම චිත්‍රකතා වලට පාදකවූ චරිත විග්රහ කළ ඉතිහාසය දැන් ඉතිං අතීතයට එක්වී හමාරය.
ජනප්‍රිය නිලියක ගෙන් තමන්ගේ ප්‍රියතම නිලිය ගැන ඇසුවොත් පිළිතුරු ලබාගැනීම දුෂ්කර කටයුත්තකි. එහෙත් බන්දුල මාස්ටර් තමන්ගේ ප්‍රියතම චිත්‍ර ශිල්පීන් ගැන හෙළිදරව් කළේ කිසිම පැකිලීමක් නැතිවය.
“මගේ ප්‍රියතම චිත්රශිල්පියා අංක එක, සෝලියස් මැන්දිස්. වික්‍රමනායක සහ ජනක රත්නායකට ත් මම කැමතියි. ඒ වගේම විශේෂයෙන්ම ශාන්ත කේ. හේරත් ගැනත් කතා කළ යුතුයි. ඔහු ඉරි ගොඩක් උපයෝගි කරගෙන කරණු ලබන නිර්මාණයක්, ඉතා සුළු රේඛා ප්‍රමාණයකින් නිම කිරීමේ දක්ෂයෙක්. ඒ හැරුණුවිට නවපරපුරේ වසන්ත ශ්‍රීනාත් ට සහ කුමුදු පීරීස්ට ත් මම කැමතියි.”
බන්දුල මාස්ටර්ගේ ස්ථාවරය වූයේ - තමන් ආධ්‍යාත්මික විමුක්තිය ලැබුවේ, චිත්‍රකලාවෙන් නොව බුදුදහමින් බවය. කලාවෙන් ජීවත්වීමට යමක් ඉපයීම පිණිස සෞන්දර්්‍යාත්මක දෙයක් ඉදිරිපත් කිරීම සිදු කෙරැණු බව බන්දුල මාස්ටර්ගේ මතවාදය විය. නැවත ඉපදීම ගැන බන්දුල මාස්ටර් එදා කියූ වැකියක්, බන්දුල හරිශ්චන්ද්‍ර නම් ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පියාට උපහාරයක් ලෙස උපුටා දක්වමි.
“මා නැවත ඉපදීමක් ගැන විශ්වාස කරන්නේවත්, නැවත ඉපදීමක් නැතැයි කියන්නේවත් නෑ. ඒත් නැවත ඉපදුණොත් චිත්‍ර ශිල්පියෙක් වෙන්න නම් මම කැමති නෑ.”
මහින්ද රණවීර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd