එළඹෙන වසරේ (2020) අප්‍රේල් - මැයි මාස වන විට රට දැවැන්ත විදුලි අර්බුදයකට ගොදුරු විය හැකි අතර එය විදුලි කප්පාදුවක් දක්වා දුරදිග යා හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය දෙසැම්බර් 06 වැනිදා නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

ඒ නිවේදනයට හේතු වී ඇත්තේ ඊට පෙර දින (05) ලංකා විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගිතා කොමිසම හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කළ සාකච්ඡාවකි. නිවේදනයට අනුව ඒ සාකච්ඡාවේ දී අනාවරණය වී ඇත්තේ 2019 හා 2020 අවුරුදුවල දී ජාතික විදුලිබල පද්ධතියට එකතු විය යුතු මෙගාවොට් 100ක පමණ විදුලි ධාරිතාවක් එක් නොවීමය. එසේ අමතර ධාරිතාවක් එක් කළ හැකි සූර්යබල ශක්ති හා සුළං බල විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට විදුලිබල මණ්ඩලය හා අමාත්‍යාංශය කිසිදු පියවරක් ගෙන නොමැති බව ද ඒ නිවේදනයේ සඳහන් වෙයි. පසුගිය වසර පහේ දී සූර්ය බල විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අකර්මණ්‍ය කර තිබෙන බව ඒ සාකච්ඡාවේ දී අනාවරණය වූ බව ද ඒ නිවේදනයේ සඳහන් වෙයි.

 විදුලිබල අමාත්‍යාංශය මගින්ම නිකුත් කළ ඒ අපූරු නිවේදනය යහපාලන ආණ්ඩුවේ ශේෂ පත්‍රය රටට හෙළි කරන්නකි. එනම් සුළං හා සූර්ය බල විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඒ යුගයේ දී විදුලිබල අමාත්‍යාංශයත් විදුලිබල මණ්ඩලයත් කිසිදු පියවරක් ගෙන නොමැති බවය. කර තිබෙන්නේ ඒ ව්‍යාපෘති අකර්මණ්‍ය කිරීමය. එය විදුලිබල මණ්ඩලයටත් අදාළ අමාත්‍යාංශයටත් කදිම සහතිකයකි. විදුලිබල ක්ෂේත්‍රයේ උන්නතියට කිසිවක් නොකළත් ඒ අමාත්‍යාංශයේ හා මණ්ඩලයේ ලොකු කුඩා සේවකයන් හා නිලධාරීහු පඩි නඩි ඇතුළු සියලු වරප්‍රසාද ලබා ගත්හ. රට සවාරි ගියහ. ඔවුන් ඒ සියල්ලට වැය කළේ බැරි බර උසුලන  රටේ ජනතාවගේ මුදල්ය. අමාත්‍යාංශයේ හා මණ්ඩලයේ අදටත් ඒ නිලධරයන් සිටිනවා නිසැකය. එසේම නව ජනපතිගේ නායකත්වයෙන් යුතු පොහොට්ටු ආණ්ඩුවේ ද ඒ යහපාලන ආණ්ඩුවේ සිටි ඇමැතිවරු ද සිටිති. ඔවුහු එදත් ඇමැතිවරුය. අදත් ඇමැතිවරුය. ඒ නිසාම මේ ආණ්ඩු සමයේදීත් විදුලිබල ක්ෂේත්‍රයේ කිසිවක් නොවනු ඇතැයි යමෙකුට සැකයක් මතුවිය හැකිය. එහෙත් ජනතාව යහපත් වෙනසක් අපේක්ෂා කරති.

විදුලිබල ක්ෂේත්‍රයේ වෙනසක් ඇති කිරීමට එහි තිබෙන ප්‍රශ්න නිවැරැදිව හඳුනාගත යුතුය. මෙහිදී ප්‍රධාන වන්නේ ලංකා විදුලිබල මණ්ඩලයයි. ඒ මණ්ඩලය දැන් ප්‍රශ්න තුනකට මුහුණ දී සිටියි. බලශක්ති ඌණතාව, පද්ධති ඌණතාව හා මූල්‍යමය ඌණතාව ලෙස ඒ මණ්ඩලයේ සිටින දෑ හිතකාමී ඉංජිනේරුවෝ ඒ ප්‍රශ්න හඳුනාගෙන සිටිති. මහා පරිමාණ ජල විදුලි බලාගාර, පුනර්ජනනීය (කුඩා ජල, සුළං, සූර්ය හා දැව) හා තාප බලාගාර ලෙස වර්ග කීපයක බලාගාර දැන් රටේ පවතී. ඩීසල්, දැවි තෙල් හා ගල් අඟුරු තාප බලාගාර ලෙස පවතී. දැනට රටේ සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් ජලයෙන් නිපදවන්නේ සියයට 30ක් තරම් සුළු ප්‍රමාණයකි. ඉතිරි සියයට 70න් සියයට 60කටත් වැඩි ප්‍රමාණයක් නිපදවන්නේ ගල් අඟුරු, ඩීසල් හා දැවි තෙල්වලිනි. ජල විදුලි නිෂ්පාදනය වැසි සමයේ ඉහළ ගොස් නියං කාලයේ පහළ යයි. එවිට විදුලි හිඟයක් ඇති වෙයි. හිඟය පියවීමට හදිසියේ විදුලිය මිල දී ගනී. හදිසියේ විදුලිය මිලදී ගැනීම ආරම්භ වූයේ 1994 පැවැති මැතිවරණවලින් බලයට පත්වූ පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩු සමයේ 1996 දීය. එදා මෙදා බලයට පත්වූ සෑම ආණ්ඩුවක්ම හදිසි විදුලිය මිලදී ගත්තේය. 1996 සිට ගතවී තිබෙන කාලය අවුරුදු 23 කි. 2010දී බලයට පත්වූ මහින්ද රාජපක්ෂ රජය සමයේ ගල් අඟුරු බලාගාර සංකීර්ණයක් වූ නොරොච්චෝලේ ආරම්භ වුවද, අදටත් ඉල්ලුමට සැපයිය නොහැකිය. යහපාලන ආණ්ඩු සමයේ 2019දී විදුලිය කැපීම ද නැවත ඇරඹිණි.

ඉහත කී නිවේදනයෙන් අනතුරු අඟවන්නේ ද 2020 අප්‍රේල්, මැයි මාසවල දී යළි විදුලි කප්පාදුවක් ඇති විය හැකි බවටය. කප්පාදුව වළක්වා ගැනීමට හදිසියේ විදුලිය මිලදී ගන්නවා හැර වෙනත් විකල්පයක් නැති බව සත්‍යයකි. ඒ අර්ථයෙන් ඉහත කී නිවේදනය හදිසියේ විදුලිය මිලදී ගැනීම සඳහා පිට පොට ගැසීමක් ලෙස ද කෙනකුට අර්ථ දැක්විය හැකිය. එහෙත් ප්‍රශ්නයකට තිබෙන්නේ හදිසි විදුලිය මිල දී ගැනීම සඳහා පෞද්ගලික සමාගම් සමග ඇති කර ගන්නා ගිවිසුම්වල දී ගිවිසුම් ගත සමස්ත කාලය සඳහාම මුදල් ගෙවීමට එකඟ වීමය. දවසේ පැය 24න් ඉල්ලුම ඉහළ යන්නේ පැය 17 කදී පමණි. හදිසි විදුලිය අවශ්‍ය වන්නේ ඒ පැය 17 දීය. එසේ නම් ගිවිසුම්වලට එළඹිය යුත්තේ ඒ පැය 17දී පමණක් මුදල් ගෙවීමට ය. එහෙත් ලංවිම හා අමාත්‍යාංශ නිලධාරීන් සේම මහජන උපයෝගිතා කොමිසම ද ඒ ගැන මෙතෙක් සිතා නැත. එසේ සිතන්නට හෝ කටයුතු කරන්නට සැරසෙන බවක් ද නොපෙනෙයි.

විදුලිය මිල දී ගත යුත්තේ අවශ්‍යතාවක් තිබේ නම් පමණකි. අවශ්‍ය වේලාවට පමණකි. එහෙත්  විදුලිය නොගන්නා වේලාවන් සඳහාත් මුදල් ගෙවයි. එහි අනෙක් කාරණය වන්නේ බලාගාර පවත්වාගෙන යන සමාගම්වලින් පමණක් විදුලිය මිල දී ගැනීමය. ඒ සමාගම්වලින් විදුලිය මිලදී ගනිද්දී ඔවුනට මිලදී ගන්නා විදුලියට ගෙවනවාට අමතරව ඔවුන් බලාගාර පවත්වාගෙන යනවාට ද ගෙවීමට එකඟ වෙයි. ඒ සමාගම් තම බලාගාර පවත්වාගෙන යන්නේ ද ඩීසල් ජනක යන්ත්‍ර සංචිතයකින් මිස තනි ජනක යන්ත්‍රයකින් නොවේ. දැන් රට පුරා කිලෝ වොට් 500 කට වැඩියෙන් නිපදවිය හැකි විදුලිය ජනන යන්ත්‍ර 3000කට වැඩි ප්‍රමාණයක් පවතී. විදුලි බල මණ්ඩලයේ සැලසුම් අංශයේ  නිලධාරීන් සැලසුම් කළ යුත්තේ රට පුරා තිබෙන ඒ ජනන යන්ත්‍රවලින් විදුලිය මිලදී ගැනීමය. එය කල්තබා සැලසුම් කළ හැකිය. 2020 අප්‍රේල් මාසය එළඹීමට තවත් මාස තුනකට වැඩි කාලයක් තිබේ. කරනවා නම් ඒ කාලය හොඳටම ප්‍රමාණවත්ය. රට පුරා තිබෙන ඒ විදුලිය ජනන යන්ත්‍ර හිමියන්ගෙන් විදුලිය මිලදී ගතහොත් ගෙවන්නට සිදුවන්නේ මිලදී ගන්නා විදුලියට පමණකි. ඒ ජනන යන්ත්‍ර හිමියන්ට සමාගම්වලට ගෙවනවා සේ ජනක යන්ත්‍ර පවත්වාගෙන යනවාට ගෙවිය යුතු නොවේ.

එසේ කළහොත් හදිසි විදුලිය මිල දී ගැනීම සඳහා දැනට වැය වන මුදල මහා පරිමාණයකින් අවම කර ගත හැකිය. මණ්ඩලයේ සිටින දෑහිතකාමී ඉංජිනේරුවන් කියන්නේ මෙගාවොට් 2000ක් නිෂ්පාදනය කළ හැකි විදුලිය ජනන යන්ත්‍ර රට පුරා විසිරී පැතිරී තිබෙන බවය. එසේ නම් ලංවිම වෘත්තිකයන් දැන් කළ යුත්තේ ඒ දෙසට හැරීම නොවේද? පෞද්ගලික සමාගම්වලින්ම විදුලිය මිලදී ගත යුතුය කියා නීතියක් නම් නැත. සමාගම්වලින් විදුලිය මිලදී ගැනීමේදී සිදුවන අකටයුතු ද රැසකි. හොරණ ප්‍රදේශයේ තිබෙන එක් පෞද්ගලික බලාගාරයක් ගිවිසුම්ගත නියම කාලයේ දී ඉදිවූයේ නැත. ඉදිවූ පසුව ජනතා විරෝධය නිසා ඒ බලාගාරය වසා දැමීමට සිදුවිය. දැන් එහි විදුලිය නිපදවන්නේ නැත. ඒ නිසා මිල දී ගැනීමක් ද සිදු නොවෙයි. එහෙත් ඒ බලාගාරය පවත්වාගෙන යනවාට මණ්ඩලය ධාරිතා ගාස්තු ගෙවයි. ඒ කටයුතු එලෙස වන්නේ සැලසුම්වල වැරැදි නිසාය. ඒ වරද මණ්ඩලය සේම උපයෝගිතා කොමිසම මත ද පැටවෙයි. එහෙත් එහි වන්දිය ගෙවීමට සිදුවී තිබෙන්නේ ජනතාවටය. ඛේදවාදකය වන්නේ විදුලිය නැති ප්‍රදේශවල ජනතාවට ද ඒ වන්දියට උරදීමට සිදුවීමය.

විදුලි බල පද්ධතියේ තිබෙන ප්‍රශ්න නිසා හදිසි විදුලිය මිලදීගැනීම් මහා පරිමාණයෙන් කළ නොහැකිය. රට පුරා පිහිටි ජනක යන්ත්‍රවලින් කුඩා පරිමාණයෙන් විදුලිය මිලදී ගැනීමෙන් පද්ධතියට ප්‍රශ්නයක් නොවේ. රට පුරා තිබෙන ඒ බොහෝ විදුලිය ජනන යන්ත්‍ර අලුත්වැඩියාවට යා යුත්තේ පැය 20,000ක ධාවනයෙන් පසුය. ඒ පැය 20,000 දුවන්න අවුරුදු 30ක් වත් වැය වන බව ඒ පිළිබඳ විශේෂඥවරුන්ගේ මතයයි. එහෙත් අවුරුදු 30කට පසුව ඒ ජනන යන්ත්‍ර වැනසෙයි. ඒ ජනක යන්ත්‍රවලින් නිසි ප්‍රයෝජන නොගැනීම විදේශ විනිමය අපයෝජනය කිරීමකි. මක්නිසාද යත් මුදල් කන්දරාවක් පිටරට පටවා, ගෙන්වා ගත් ඒ යන්ත්‍රවලින් නිසි ප්‍රයෝජනයක් නොගැනීම අපරාධයක් වන හෙයිනි. ඒ ජනන යන්ත්‍රවලින් දැනට උපරිම ප්‍රයෝජනයක් නොගනී. නිසි ක්‍රියාකාරිත්වයකින් තොරව පැවැති විට ඒ යන්ත්‍ර ද විනාශ වෙයි. ඒ ජනක යන්ත්‍ර ක්‍රියාත්මක කරවන තරමට ඒවායේ හිමිකරුවන්ට වාසිය. ඒ පිළිබඳ විදුලිය ජනන යන්ත්‍ර හිමිකරුවන් දැනුවත් කර ඒවා රටටම ප්‍රයෝජනයක් ගත හැකි වන ලෙස භාවිත කිරීම ලංවිම වගකීමකි. එහෙත් මණ්ඩලයෙන් ඒ වගකීම් කිසිවක් ඉටු නොවෙයි. උපයෝගිතා කොමිසම ද නිහඬව සිටියි. හිරු එළියෙන් විදුලිය නිපදවන සෝලා ෆැනලය ද නිසි ලෙස භාවිත නොවන බව ඒ පිළිබඳ විශේෂඥයන්නේ අදහසයි. ඔවුන් කියන හැටියට සෝලා ෆැනලයකින් උපරිම ප්‍රයෝජන ගැනීමට එය නිශ්චිත තැනක සුදුසු ආනතියකින් සවි කළ යුතුය. එහෙත් ඒ  සම්බන්ධයෙන් ද ලංවිම නිසි පියවර ගෙන නැති  බවට චෝදනා එල්ල වෙයි.

2019 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවට අනුව 2017 දී ලංවිම ලැබූ පාඩුව (අලාභය) රුපියල් කෝටි 4,923කි. 2018දී එය රුපියල් කෝටි 3,045කි. 2018දී මණ්ඩලය සතු බැංකු ණය ප්‍රමාණය රුපියල් කෝටි 5,436කි. 2019 දී එය රුපියල් කෝටි 8,021ක් දක්වා ඉහළ නැඟ තිබේ. 1996 තෙක් ලාබ ලැබූ ලංවිම අද රටේ ආර්ථිකයේ රාක්ෂයකු වී සිටින්නේ හදිසි විදුලිය මිල දී ගැනීමේ නාමයෙන් යහමින් කළ දූෂණවල මහිමයෙනි. දකුණු පළාතේ පිහිටි පෞද්ගලික ඩීසල් බලාගාරයක් රුපියල් කෝටි 48කට මිලදී ගන්නැයි අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දී තිබිය දී එසේ නොකර අවුරුද්දකට රුපියල් කෝටි 60කට වැඩියෙන් ධාරිතා ගාස්තු ගෙවමින් තවත් අවුරුදු තුනක් ඒ  බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීමට ගිවිසුම දීර්ඝ කර තිබේ. බලාගාරය මිලදී  ගන්නැයි කීවේ රුපියල් කෝටි 48 කටය. එහෙත් එසේ නොකර ගිවිසුම් දීර්ඝ කළේ රටේ හා ජනතාවගේ යහපතට ද? කෝටි 60 අවුරුද්දක ධාරිතා ගාස්තුව පමණකි. මිලදී ගන්නා විදුලිය සඳහා වෙනම ගෙවිය යුතුය. ලංවිම ණය බර හා පාඩු ඉහළ යන්නේ මේ දූෂණ ක්‍රියා නිසා නොවේද? ගිවිසුම් කාලය නිම වූ පෞද්ගලික  බලාගාරයකට ජනන බලපත්‍රයක් නිකුත් කිරීම නීතියට පටහැනිය. එවැනි බලාගාරයකට ජනන බලපත්‍රයක් නිකුත් කිරීමට මහජන උපයෝගිතා කොමිසමට නීතියෙන් කිසිම බලයක් නැත. ජනන බලපත්‍රයක් නැති බලාගාරයකින් විදුලිය මිල දී ගන්නට ගිවිසුම් අත්සන් කිරීමට ලංවිමට ද නීතියෙන් අවසරයක් නැත. එසේ කිරීම නීතිය උල්ලංඝනය කිරීමකි. ජනන බලපත්‍රයක් නැති බලාගාරයකින් විදුලිය මිලදී ගැනීමට ගිවිසුම් අත්සන් කළ හැකි දැයි නීති නිලධාරිනිය නීතිපතිගෙන් උපදෙස් පැතූ විට ඇයට බලපෑම් කර නීතිපතිගෙන් කළ ඒ ඉල්ලීම ඉවත් කරවාගෙන තිබේ. අවසානයේ නීතියට අනුව රාජකාරි කරන්නට ගිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිගේ වැඩ තහනම් කර නීතියට පිටින් ගිවිසුම් අත්සන් කර තිබේ.

විදුලි බල මණ්ඩලයේ හා අමාත්‍යාංශයේ කටයුතු සිදුවී ඇත්තේ එලෙසිනි.

විදුලිය මිලදී ගැනීම සඳහා ලංවිම ඇති කර ගෙන තිබෙන බොහෝ ගිවිසුම් අනීතිකය. ලෝක සම්මතයට පටහැනිය. එක් සමාගමක් සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම අනුව ඒ සමාගමෙන් විදුලිය මිලදී ගැනීමට ගිවිසගෙන තිබෙන කාලය අවුරුදු 25කි. ඒ ගිවිසුමට අනුව ධාරිතා ගාස්තුව ක්‍රමයෙන් වැඩිවෙයි. විදුලිය යුනිට් එකක් සඳහා පළමු අවුරුද්දේ ගෙවිය යුතු ධාරිතා ගාස්තුව සත 13කි. එය ක්‍රමයෙන් යුනිට් එකක් සඳහා රුපියල් 13ක් දක්වා ඉහළ යයි. එය ගණනය කර ඇත්තේ සියයට 20කට වැඩි පොලී අනුපාතයක් මතය. මහා ණය බරක හා සුවිශාල අලාබයක ගිලී සිටින විදුලි බල මණ්ඩලයට මෙය දරගත නෙහැකිය.

තවත් එක් සමාගමකින් ලංවිම විදුලිය ඒකකයක් මිලදී ගන්නේ රුපියල් 35කටය. අඩු වියදමකින් විදුලිය නිෂ්පාදනය කළ හැකි ක්‍රම ගැන සේම අඩු මිලකට විදුලිය මිල දී ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රම හා විධි ගැන මනා දැනුමක් අවබෝධයක් හා පළපුරුද්දක් ඇති ලයිට් බාස්ලා නොවන විදුලි ඉංජිනේරුවන් මෙසේ කටයුතු කිරීමේ රහස් මොනවා දැයි සෙවීමේ වගකීම භාර දිය යුත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයටය. එසේ භාර දුන්නොත් රජයට අයත්ව තිබූ විදුලියට අදාළ එක් සමාගමක් පෞද්ගලික අයිතියට ගියේ කෙසේ දැයි ද සොයාගත හැකි වනු නියතය. ඒ ජාවාරම් හා දූෂණ කර තිබෙන්නේ රටේ නීතියට පිටිනි. එසේ කළ ඇතැම් අය අදටත් ඉහළ තැන්වල යෙහෙන් වැජඹෙති. ඒ බොහෝ අය අදටත් සිටින්නේ බලපෑම් කළ හැකි ඉහළ තැන්වලය. ඛේදවාචකය වන්නේ විදුලිබල ක්ෂේත්‍රයේ නියාමනය භාර වී සිටින මහජන උපයෝගිතා කොමිසම මර නින්දක සිටීමය. දැකලා ඇහැරෙව්වත් ඇහැරෙන්නේ නැතිකමය.

ගුණසිංහ හේරත්