ලිබරල්වාදය සම්බන්ධ ලිපිමාලාවේ තවත් කොටසට අපි පැමිණ සිටින්නෙමු. වහල්භාවය සහ එහි පසුකාලීන තත්ත්වය ෆැන්සිස් ෆුකුයාමා මැනවින් විග්‍රහ කර තිබේ. නවීන ස්වාභාවික විද්‍යාව සොයාගැනීමද වහලුන්ගේ බව ෆුකුයාමාගේ අදහසය. රදළ පැළැන්තිය පරදවා ධනවාදී ජීවන ක්‍රමය ජයලැබීම ගැනද ඔහු සඳහන් කරයි. මේ එම විද්වතාගේ අදහස් මත කෙරෙන පැහැදිලි කිරීමේ දිගුවකි.

 

සමකාලීන සමාජ විද්‍යාවෙන් නවීකරණ ක්‍රියාදාමය විස්තර කර තිබේ. එය තේරුම් ගත හැක්කේ කෙසේද? හේතු මගින් මඟ පෙන්වනලද සහ ආත්මයේ ආශාවන් සඳහා තිබෙන කොටසෙහි ක්‍රමානුකූල ජයග්‍රහණයක් ලෙස එම නවීකරණ ක්‍රියාදාමය තේරුම්ගත හැකිය. ආර්ථික නවීකරණයකට නවීන සමාජ ව්‍යුහ සකස් කිරීම සහ නිලධාරීන් බිහිකිරීම පමණක් නොව රදළ පැළැන්තියේ ජීවන ක්‍රමය පරදවා ධනවාදී ජීවන ක්‍රමය සදාචාරාත්මක ජයක් ලැබිය යුතුය. හෝබ්ස්ට අනුව පැරැණි රදළ පැළැන්තිය සාමකාමී ලෙස ඔවුන්ගේ ජීවිතයට ද්‍රව්‍යමය දෑ අසීමිතව එකතුකරගැනීමට යොමුවූ ආකාරයක් දැකගත හැකිය. ජපානය වැනි රටවල් නවීකරණය වීමේදී සමුරායි හෝ රණශූර පැළැන්තිය වෙළෙඳ වයාපාරිකයන් බවට පත්කිරීම මෙයට උදාහරණයකි.

සමකාලීන දේශපාලන ශබ්ද කෝෂයේ ‘හඳුනාගැනීම සඳහා අරගලය’ යන්න කොටසක් නොවේ. මැකිවේල් නම් දේශපාලනික දාර්ශනිකයාගේ ‘මහිමය සඳහා ආශාව’ යන සංකල්පය තවදුරටත් පිළිගත් පෞද්ගලික අරමුණු අතර තිබෙන්නක් වශයෙන් සලකන්නේ නැත. එය අප ප්‍රතික්ෂේප කරන අයගේ ලක්ෂණයකි. එසේ නැතිනම් හිට්ලර්, ස්ටාලිං හෝ සදාම් හුසේන් ආදී අයගේ ලක්ෂණයක් වශයෙන් සැලකේ. ‘මෙගලතීම්යා’ එනම් උසස් යැයි පිළිගැනීමට ඇති ආශාව එදිනෙදා ජිවිතයේදී විවිධ ස්වරූප වලින් දක්නට පුළුවන. එහෙත් කෙනකු හඳුන්වාදීමේදී එය සදාචාරාත්මකව පරාජයවී ඇති ලක්ෂණයකි. අද ඒ වෙනුවට ‘අයිසොතීමියා’ එනම් සියලුදෙනා එක හා සමාන මිනිසුන් වශයෙන් පිළිගැනීමට ඇති ආශාව ප්‍රමුඛවී තිබේ.

අද අපේ පෞද්ගලික ඉලක්ක ප්‍රකාශ කිරීමට පිළිගැනීම සහ තයිමෝස් යන වචන භාවිත කරන්නේ නැත. ඒ වෙනුවට ගරුත්වය, ගෞරවය, ආත්ම ගෞරවය සහ ආත්ම අභිමානය යන වචන අපි නිතරම භාවිත කරන්නෙමු. මෙවැනි සංකල්ප දේශපාලන ජිවිත තුළ විනිවිද ගොස් ඇත. එය විසිවැනි සියවසේ අගභාගයේදී ලෝකයේ පුරා සිදුවූ ප්‍රජතාන්ත්‍රවාදී පරිවර්තනය තේරුම් ගැනීමට අත්‍යවශ්‍ය කරුණකි.

අවුරුදු දහස් ගණනකට පෙර ඇතිවූ ස්වාමියා සහ වහල් සමාජ සම්බන්ධතාව ප්‍රංශ විප්ලවය දක්වා දකින්නට ලැබුණි. ඇලෙක්සැන්ඩර් කොජේව් හෝ හේගල් වහලුන් සම්බන්ධයෙන් කතා කරන විට එවැන්නන් වශයෙන් හැඳින්වූයේ කවුරුන්ද යන්නත් වටහාගත යුතුය. පසුව නීතියෙන් වහලුන් වශයෙන් හඳුන්වාදුන් අය පමණක් නොව මිනිසුන්ගේ ගරුත්වය නොපිළිගන්නා සියලු මිනිස්සු වහල්ලු වශයෙන් හඳුන්වනු ලැබුහ. මුල් වකවානුවේදී තම ස්වාමියා තෘප්තිමත් කිරීමට වැඩකළේ මරණ බිය නිසාය. එහෙත් අවසානයේදී තම ශ්‍රමය පිළිබඳව තිබූ අරමුණ වෙනුවෙන් වැඩ කළ බව පෙනෙන්නට තිබේ. දඬුවමට ඇති බිය වෙනුවට වගකීම සහ ආත්ම විනය පිළිබඳ හැඟීමකින් වැඩ කිරීමට ඔවුහු යොමුවූහ. මේ ආකාරයට වැඩ පිළිබඳ ආචාරධර්ම වර්ධනයවීමට පටන් ගත්තේය.

ස්වභාවධර්මය පරිවර්තනය කිරීමට මනුෂ්‍යයාට ඇති හැකියාව වහලුන් තේරුම් ගත්තේ වැඩ කිරීමෙනි. එනම් ස්වභාවධර්මයේ තිබෙන ද්‍රව්‍ය පාවිච්චි කර ඒවා වෙනත් දෙයකට නැති නම් වෙනත් අදහසක් හෝ සංකල්පයක් පදනම් කරගෙන වෙනස් කිරීමට හැකියාවක් තිබෙන බවය. වහල්ලු විවිධ මෙවලම් භාවිතා කළහ. එම මෙවලම් භාවිතයෙන් තවත් මෙවලම් හැදීමට ඔවුන්ට හැකිවුණි. ඒ අනුව ඔවුහු තාක්ෂණය සොයාගත්හ.

නවීන ස්වාභාවික විද්‍යාව සියලු දේ තිබෙන ස්වාමිවරුන්ගේ සොයා ගැනීමක් නොව වහලුන්ගේ සොයාගැනීමකි. විද්‍යාව හා තාක්ෂණ හරහා ස්වභාවය වෙනස් කිරීමට හැකි බව වහල්ලු තේරුම් ගත්හ. එමගින් භෞතික වාතාවරණය පමණක් නොව තම ස්වභාවය වෙනස් කර ගැනීමට හැකි බවද ඔවුහු වටහා ගත්හ. වැඩකිරීම නිදහස නියෝජනය කළේය. ස්වාභාවික තීරණය ජයගැනීමට මිනිසාට ඇති හැකියාව එමගින් ප්‍රදර්ශනයවීම එයට හේතුවය.

පෞද්ගලික දේපළ පිළිබඳව හේගල් දැරුවේ ලෝකේට :ඛදජනැ*වඩා වෙනස් අදහසකි. ලෝකේට අනුව මිනිසා දේපළ ලබාගත්තේ ඔහුගේ ආශාවන් තෘප්තිමත් කර ගැනීමටය. හේගල් එය දුටුවේ මිනිසා මූර්තිමත් කරන වස්තුවක් වශයෙනි. නිවසක්, වාහනයක් හෝ බිම් කොටසක් අත්කර ගැනීම එයට උදාහරණයක් වශයෙන් පෙන්නා දෙන්නට පුළුවන. මිනිසා විසින් දේපළක් අත්පත් කර ගැනීමෙන් තෘප්තියක් ලබන්නේ එම දේපළෙන් තම අවශ්‍යතාව පිරිමැසීම පමණක් නිසා නොව අනෙකුත් මිනිසුන් එය පිළිගන්නා නිසාය. හේගල්, ලෝකේ සහ මැඩිසම් පෞද්ගලික දේපළ ආරක්ෂා කිරීම සිවිල් සමාජයේ නීතිමය අවශ්‍යතාවක් ලෙස සලකා තිබේ. දේපළ පිළිගැනීම ඓතිහාසික අරගලයේ එක් අවස්ථාවක් ලෙස හේගල් පෙන්නාදී තිබේ. ඒ වගේම ‘තයිමොස්’ තෘප්තියට පත්කරන, ආශාවන් තෘප්තියට පත්කරවන්නක් වශයෙන් ඔහු සලකා ඇත.

නිදහස සහ සමානතා මූලධර්මය යුරෝපය සෙසු රටවලට ගෙනගියේ නැපෝලියන්ගේ විජයග්‍රාහී හමුදාවය. හෝබ්ස් සහ ලෝකේ යන දේශපාලන විද්වතුන්ට සහ ඔවුන්ගේ අනුගාමිකයන්ට ලිබරල් සමාජය යනු කිසියම් ස්වාභාවික අයිතීන් ඇති පුද්ගලයන් අතර සමාජ ගිවිසුමකි. ඉන් ප්‍රධාන වන්නේ ජීවිතයට ඇති අයිතියයි. එනම් ස්වයං රක්ෂණයයි. ඒ වගේම සතුට හඹායෑමයි. එනම් පෞද්ගලික දේපළවලට ඇති අයිතියයි.

එයට පටහැනිව හේගල්ට ලිබරල් සමාජය යනු එකිනෙකා පිළිගැනීමට පුරවැසියන් අතර අන්‍යොන්‍ය සහ සමාන එකඟතාවකි. ‘හොබීසියන්’ සහ ‘ලොකීයන්’ ලිබරල්වාදය සංවේදී ස්වයං අවශ්‍යතා හඹායෑමක් ලෙස අර්ථකථනය කරන්නට පුළුවන. හිගේලියන් ලිබර්වාදය, පිළිගැනීම හඹායාමක් ලෙස දැකිය හැකිය. ලිබරල්වාදය යනු හුදෙක්ම මුදල් ඉපදවීමට ඇති නිදහස සහ අපේ ජීවිතවල ආශාවන් තෘප්තිමත් කිරීම නොවේ. වඩාත් වැදගත් වන්නේ අපේ අභිමානයට නැතිනම් ගරුත්වයට ඇති පිළිගැනීමය. මුළුමනින්ම පාහේ ප්‍රංශ විප්ලවයට ප්‍රථම තිබූ සෑම සමාජයකම එනම් රාජාණ්ඩුවක හෝ වංශාධිපතිත්වයක එක පුද්ගලයකු එනම් රජු හෝ පුද්ගලයන් කිහිප දෙනකු එනම් පාලක පැළැන්තිය හෝ ප්‍රභූ පැළැන්තිය පමණක් පිළිගැනීමට ලක්වුණි.

තවත් හරවත් කොටසක් මීළඟ ලිපියෙන් කියවමු.

සටහන  - චමින්ද මුණසිංහ