කෑම එතීම සඳහා භාවිත කරන දිරාපත් නොවන පොලිතීන් (ලන්චි ෂීට්) නිෂ්පාදනය හා බෙදා හැරීම ලබන 1 වැනිදා සිට තහනම් කරන බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත් පත ඉකුත් දා වාර්තා කළේය. දැනට නිෂ්පාදනය කර ඇති ප්‍රමාණය පමණක් අලෙවිය සඳහා මාසයක සහන කාලයක් ලබා දෙන බවත් ඉන් පසුව නිෂ්පාදනය, අලෙවිය හා භාවිත කළ හැක්කේ දිරාපත් වන ජෛව හායනික ලන්ච් සීට් පමණක් බවත් අමාත්‍යවරයා පැවසු බව ද එම ප්‍රවෘත්තියෙහි සඳහන්ය.

පරිසරයට අදාළව බොහෝ නීතිරීති සම්මත කර ගත්ත ද ඒවායින් බොහෝමයක් ක්‍රියාත්මක තලයේ නොපැවතීම අප රටේ පරිසර ප්‍රශ්න උග්‍ර කරවන්නකි. පාරිසරික විගණනය පිළිබඳව ඉදිරිපත් කරන ලද වාර්තාවකට අනුව 2017 වසරේ පුනරුදය පාරිසරක ජාතික සංරක්ෂණ වැඩ සටහන යටතේ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණයට අදාළව පරිසරයට හානි කරන පුද්ගලයන්ගෙන් වන්දි අය කළ යුතු බව දක්වා තිබේ. ඒ අනුව 2015 සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා රුපියල් මිලියන 50 ක මුදලක් ද 2016 වසරට රුපියල් මිලියන 100 ක් ද 2017 වසරට රුපියල් මිලියන 200 ක් ද අය කර ගැනීමට ඇස්තමේන්තු කර ඇත. එහෙත් ඒසා මුදල් සම්භාරයෙන් එක ශතයක් හෝ අයකර නොමැති බව එම විගණන වාර්තාවේ සඳහන්ය.

එයින් කියැවෙන අනික් කාරණය වන්නේ එකී පරිසර සංහාරකයන් ද තවමත් නිරුපද්‍රිව යෙහෙන් වැජඹෙන බවය. ඒ අනුව මෙරට පරිසර නීති පද්ධතිය තරම් දුර්වල නොන්ඩි ගසන වෙනත් නීති පද්ධතියක් නොමැති තරම්ය.

ලන්ච් ෂීට් පරිසරයට සිදු කරන හානිය අතිශයින්ම බරපතළය. මෙම ලන්ච් ෂීට් ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකිය. ඒ අනුව පාවිච්චි කරන ලද ලන්ච් ෂීට් සීයයට සීයයක්ම පරිසරයට මුසු වේ. සංඛ්‍යා ලේඛනවලට අනුව දිනකට පරිසරයට මුදා හරින ලන්ච් ෂීට් සංඛ්‍යාව මිලියන 2 ත් 4 ත් අතර ගණනකි. ගම් වදින අලින් මිය ගිය පසු කරන පරීක්ෂණ වලදී අලින්ගේ උදරයේ තිබී ලන්චි ෂීට් බොහෝ ප්‍රමාණයක් සොයා ගත් අවස්ථා එමටය.

එම අලින්ගේ මරණය ඉක්මන් වීමට එය ප්‍රධාන හේතුවකි. ආහාර නොදිරීමට ලන්ච් ෂීට් හේතු වන්නා සේම ලන්ච් ෂීට් හි අන්තර් ගත විෂ කාබන් එම මරණ ඉක්මන් කරවයි.

ලන්ච් ෂීට්වල දූවිල්ලක ආකාරයෙන් යමක් පවතී. අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව දූවිල්ලක් ස්වභාවයෙන් ඇති එම ද්‍රව්‍ය උග්‍ර පිළිකාකාරකයකි. ලන්ච් ෂීට් නියමිත ප්‍රමාණයට කපා ගැනීමේ දී ඉවත් වන ප්ලාස්ටික් දූවිලි ආහාර සමගින්ම මිනිසාගේ කුස තුළට ගමන් කරයි. මෙම ප්ලාස්ටික් දුවිල්ල ඛනිජ තෙල් වල අතුරු නිෂ්පාදනයකි. මේවා යෑමෙන් ඇති වන ඵල විපාක මොනවා දැයි තේරුම් ගැනීම අසිරු නැත.

ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳ ජාලයකට සම්බන්ධ ආයතන දෙකකින් වසරකට ෂොපින් බෑග් බිලියනයක් පරිභෝගිකයන්ට නිකුත් කරන බව පරීක්ෂණයක දී අනාවරණය වී තිබේ. බොහෝ සුපිරි වෙළෙඳ සැල් වල දී ද්‍රව්‍ය දහයක් මිලදී ගත හොත් ඒ සඳහා ෂොපින් බෑග් දහයක් නිකුත් කරනු ලැබේ. අවසානයේ දී මේවා මහ මඟ කාණු පද්ධතියටම එකතු වේ. පැයකට වට වැස්සකට දණක් තෙක් ජලය පිරෙන නගර නිර්මාණය වන්නේ ඒ අනුවය. කෙළවරක් නැති පාරිසරික ප්‍රශ්න ඇති වන්නේ කෙසේ දැයි ඒ අනුව පැහැදිලිය.

ලන්ච් ෂීට් තහනම වචනයට පමණක් සීමා නොවිය යුතුය. තහනම නොතකා ලබන 1 වැනිදා සිට ලන්ච් ෂීට් නිපදවන ආයතන ගැන සොයා බැලීමට මධ්‍යම පරිසර අධිකාරිය හා පාරිභෝගික සේවා අධිකාරිය වැටලීම් සිදු කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළ බව අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. තහනම නොතකන ආයතනවලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ඇමැතිවරයා පවසා තිබේ.

අපි ජාතියක් වශයෙන් සංහාරයෙන් පසුව සංරක්ෂණය සම්බන්ධයෙන් අවධානය යොමු කරන ජාතියක් වීමු. ලන්ච් ෂීට්හි ඇති බරපතළ සෞඛ්‍ය ප්‍රශ්න හා පාරිසරික ප්‍රශ්න සම්බන්ධයෙන් අපගේ අවධානය යොමු වන්නේ දැන්ය. සැබැවින්ම දශක ගණනාවක් පිළිකා කාරක සහිතව අපි ආහාර අනුභව කර ති​බේ. සෑම නගරයකින්ම මහරගම අපේක්ෂා රෝහල කරා ධාවනය කෙරෙන බස් රථ දැකීමට හැකි වීම එහි අවසන් ප්‍රතිඵලය වේ. අප ජාතියක් ලෙස කෙතරම් රෝගී වී ඇද්දැයි එමගින් පැහැදිලිය. ‘‘ආරෝග්‍යා පරමා ලාබා’’ යැයි අදහන ජාතියකට එම තත්ත්වය යහපත් නොවන බව ඒකාන්ත සත්‍යයකි.

ලන්ච් ෂීට්වලට අමතරව පොලිතීන් හා ප්ලාස්ටික් වලින් නිෂ්පාදනය කරනු ලබන වර්ග 8 ක් තහනම් කිරීම කෙරෙහි ද අමාත්‍යාවරයාගේ අවධානයට යොමු වී තිබේ. ඒ අනුව වරක් භාවිත කර ඉවත ලන බීම බට, තනි භාවිත ප්ලාස්ටික් හැඳි, ගෑරුප්පු, යෝගට් හැඳි හා පිහි, පරිමාව 400 x 500 කට වඩා අඩු සිලිසිලි බෑග්, ප්ලාස්ටික් ඉඳිආප්ප වට්ටි, සුවඳ කූරු හා පහන් තිර ඇසුරුම්, ප්ලාස්ටික් මල්මාලා, කෝප්ප ආදිය ද එම තහනම් ලැයිස්තුවට අයත්ය. සැබැවින්ම රටේ ජනතාවගේ සෞඛ්‍ය ගැන හිතන්නේ නම් කල් නොයවාම මේ තහනම් ක්‍රියාත්මක කළ යුතුය.

(***)