(මනුල වික්‍රම)

වසර පහකට පෙර ජොනි බට්ටන් ගැලවූ අලිමංකඩින් 2024 වන විට ලුණු අපනයනය කිරීමට රජය සැළසුම් කර ඇත. මේ දිනවල පවතින දැඩි හිරු රශ්මියත් සමඟ අලිමංකඩ සුදෝ සුදු පැහැයෙන් බැබලෙන්නේ ලුණු අස්වැන්නෙනි. 

සිරිලක රට වටා මුහුද ය. ඒ අතර ලුණු මිදෙන කරදිය ඇති තැන් බොහෝ ය. ඒ ස්වභාදහමේ දායාදයෙන් අප මෙතෙක් නිසි ප්‍රයෝජනය ගෙන නැති සැටියකි.

එසේ පවසන්නේ ජාතික අවශ්‍යතාවයෙන් අපි තවමත් 20% ලුණු පිටරටින් ගෙන්වන නිසාය. එවන් තත්ත්වයකට මුහුණ දී සිටින්නා වූ   අප 2024 වන විට ලුණු අපනයනය කරන්නා වූ රටක් බවට පත්වන ඉලක්කයක එල්බ සිටීම සතුටට කරුණකි. ඒ ඉලක්කය ජය ගැනුමට කරදියෙනුත් දාදියෙනුත්  නැහැවී  කඩියන් සේ කඩිසර වු  මේ ජීවිත හා දොඩමළු වූ මොහොතකි.

‘‘මම දෙහිවල ප්‍රදේශයේ ඉපදිලා මෙහෙ කසාද බැඳලා ජීවත් වෙනවා. මහත්තයාට රස්සාවක් නෑ. දරුවන් තුන් දෙනෙක් ජීවත්කරන එක අමාරු වැඩක්. ඒත් ලුණු ලේවායේ රස්සාව හින්දා දැන් ආර්ථික ප්‍රශ්න විසඳාගෙන සතුටින් ජීවත්වෙනවා.‘‘ යයි පැවැසුවේ කිලිනොච්චියේ පදිංචි සිරියලතා යි. සිරියලතා වැනි සිය ගණනක් කිලිනොච්චිය ප්‍රදේශයේ රැකියා විරහිත වුවන් අද ජීවිකාව සරිකරලන්නේ ලුණුලේවායේ වැඩ කිරීමෙනි.

1938 ඇරඹි ශ්‍රී ලංකා ලුණු සංස්ථාව  විවිධ පරිවර්තනයන්ට ලක්ව 2002 දි කැබිනට් අනුමැතියක් මත මාන්තෙයි ලුණු සමාගම බවට පත්විය. අලිමංකඩ දරුණු සටන් ඇවිලෙන සමයේ ලුණු ලේවායේ කටයුතු අඩාල විය. එහි එවකට සිටි සේවකයෝ කඳවුරුගතව ජීවත්ව පසුව විශ්‍රාම ගියහ.

2009 යුද්ධය නිමාවන විට සටන්කළ දෙපිරිස විසින් ලේවාය බිම් බෝම්බ සහිත යුද පිටියක් බවට පත්කර තිබිණි. බිම්බෝම්බ ඉවත් කිරීමේ රජයේ ඉලක්ක සපුරාලමින් ඩෑෂ් සංවිධානය විසින් එම ස්ථානය බෝම්බ විරහිත ස්ථානයක් බවට පත්කරන
ලදි. 

අක්කර 750ක භූමිභාගයක් ලුණු ලේවායට අයත්වේ. එය රජය සතු තනි අයිතියේ ඇති එකම ලුණු ලේවායයි. පසුගිය වසර කිහිපයේම මාන්තෙයි ලුණු සමාගමේ අලිමංකඩ ලුණු ලේවාය  ලුණු මෙට්‍රික් ටොන් 18000 ක ඉලක්කයක් සපුරාගත්තේ ය. මේ වසරේද ලුණු අස්වැනු නෙළීමේ සමය  දැන් උදාවී ඇති අතර  විශාල සේවක පිරිසක් රැකියා අවස්ථා ද හිමි කරගනිමින් මධ්‍යාහ්නයේ  ලුණු අස්වනු එකතුකරන අයුරු මේ දිනවල පෙනෙන්නට තිබේ. 

ශ්‍රී ලංකාවේ සෙසු ලේවායන්ද  ඇතුලුව දැනට වාර්ෂිකව ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කෙරෙන ලුණු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 160 000 කි. එයින් ජාතික අවශ්‍යතාවය සපුරාගත නොහැකි බැවින් මුළු අවශ්‍යතාවයෙන් 20% විස්සක් ආනයනය කෙරේ.  මාන්තෙයි ලුණු සමාගමේ ඉලක්කය 2024 වන විට ශ්‍රී ලංකාව ලුණු වලින් ස්වයංපෝෂීත වීමෙන් පසු ලුණු අපනයනය කිරීමයි. අද අප දකින දේ එම ඉලක්කයේ පෙරමඟ සලකුණු පෙන්වයි.

ලෝකයේ සෑම රටකටම ලුණු අවශ්‍යය. ශ්‍රී ලංකාවේ ජාතික ලුණු අවශ්‍යතාවයෙන් ආහාරපාන සඳහා යොදාගන්නේ 6% කි. අනෙක් සියල්ල විවිධ කර්මාන්ත සඳහා ය. 

ලෝකයේ ඇති කර්මාන්ත අතරින් 14,000 ක් කර්මාන්ත වර්ග වලට ලුණු අවශ්‍ය වීමෙන් ලුණුවල වටිනාකම සිතාගත හැකිය. ඒ ගැන මාන්තෙයි ලුණු සමාගමේ සභාපති එම්.එම්.අමීන් මහතා පැවසුවේ මෙවැන්නකි.

‘‘මාන්තෙයි සමාගමට මන්නාරම නගරයේත් අක්කර 150 ක ලුණු ලේවායක් තිබෙනවා. අලිමංකඩ අක්කර 750 ක්. ‘‘

‘‘අලිමංකඩ ලුණුවල විශේෂත්වය තමා ඒවා ඉතා පිරිසුදු සුදු පාට වීම. අනෙක් හැම ලේවායේම නියම  සුදු පාට නෑ. මේ නිසා අපට අලිමංකඩ ලුණු ඉතා වැදගත්. ‘‘

‘‘අපේ රටට අවශ්‍ය වාර්ෂික ලුණු ප්‍රමාණයෙන් 20% ක් පාකිස්තානය, ඉන්දියාව හා චීනය ආදී රටවලින් ගෙනඑනවා. රට වටේම මුහුද තිබිලත් අපට රටට අවශ්‍ය ලුණු ටිකවත් නිපදවාගන්න බැරිවීම ලැජ්ජාවක්. ඒ නිසා අපි ඉලක්කයක් ඇතිව වැඩ කරනවා.
ඒ තමා 2022 වෙද්දී රටට අවශ්‍ය ලුණු ටික මේ රටේම නිෂ්පාදනය කරලා ආනයනය නැවැත්වීම.‘‘

‘‘දෙවන ඉලක්කය තමා 2024 වෙද්දී ලුණු අපනයන කිරීම. ඉතිං ඒ සඳහා නිකම්ම ඉක්කයක් තිබුණාට මදි. අපට අයත් තවත් ලේවායක් මේ ආසන්නයේම තිබෙනවා.ඒකේ නම කුරුජාතිවු. එකේ වැඩ පටන්ගත්තාම අපට නිෂ්පාදන ධාරිතාව වැඩිකරන්න පුළුවන්.

කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති තුමාගේ උපදෙස් මත අපි ඒ සැලැස්ම ක්‍රියාත්මක කරනවා. ‘‘ යයි මාන්තෙයි ලුණු සමාගමේ සභාපති එම්.එම්.අමීන් මහතා පැවසීය. 

මේ සැලැස්මත් සමඟ උතුරට ඇති ලොකුම ප්‍රශ්නය වන රැකියා හිගයට යම් විසඳුමක් ලැබෙමින් තිබේ.  යුද සමයේ අපමණ පීඩා විඳ ඉන් අනතුරුව   ද ජලහිඟය, අධික උණුසුම, ප්‍රවාහන දුෂ්කරතා හා දුගී බව ආදී පීඩාවන්ගෙන් ජීවිත  පටන්ගත්  මේ ජනයාට ලුණු සැදීම මහා භාග්‍යකි. 

යුද්ධයේ අතුරු ඵලයක් වූ පාසල් අධ්‍යාපනය කඩාකප්පල් වීම නිසා වෙනත් රැකියාවක් සොයාගත නොහැකි වීම මීට තවත් හේතුවකි. මේ බොහෝ දෙනාගේ ශරීරාංගයකට හානිවී තිබීම මේ අතර දැකිය හැකි සුලභ දෙයකි.

වැසි සමයේ ලුණු ලේවායේ කටයුතු නතරවීමේ දී මෙම අයට තමන්ගේ කෘෂි කාර්මික කටයුතු කරගෙනයාමට ඉඩසැළසීම තවත් වාසියකි.

ධර්මපුරම් පදිංචි මහේන්ද්‍ර රාසා එක් ඇසක් අහිමි 46 හැවිරිදි සිවිදරු පියෙකි. පිළිවෙලින් පාසලේ 4,9,10,12 ශ්‍රේණිවල ඉගෙනුම ලබන ඔහුගේ දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සඳහා මේ රැකියාවෙන් සැලසෙන්නේ මහත් අත්වැලක් බව  ඔහු කියයි.

‘‘යුද්ධ කාලේ දී විඳපු දුක් ගැන කතාකරලා වැඩක් නෑ. දැන් මේ රස්සාව කරන නිසා සන්තෝසෙන් ඉන්නවා. වැස්ස කාලේට මාස ගාණක් මෙහෙ වැඩනෑ. ඒ කාලෙට ගොවිතැන් වැඩ කරනවා. හරක් ඇතිකරනවා. දැන් කරදර  නෑ හොඳයි.‘‘ යයි මහේන්ද්‍ර රාසා මහතා කීවේය. 

ජනේද්‍රන් ප්‍රශක්ති (44) මහත්මිය පැවැසුවේ මෙවැන්නකි.

‘‘ මමත් 2015 සිටම මෙහෙ වැඩ. මට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා.
ඒ අයව රස්සා කරන්න මට මේ රස්සාව මහා හයියක්. සන්තෝසෙන් ඉන්නවා කියලා තමා කියන්න වෙන්නේ.‘‘ යනුවෙනි.

තමාටද ජිවිතය මෙම රැකියාව ශක්තියක් වූ බව වට්ටකච්චියේ පදිංචි  44 හැවිරිදි කේ.යුවරාසා මහතා පවසයි. කෝණාවේලි පිදංචි ආර්.සිරියලතා(36) ද කීවේ තම පවුලේ ජීවිකාව වෙනුවෙන් ලුණු ලේවායෙන් පිහිට සැලසුණු බවකි.

‘‘ මට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා.මීට කලින් අමාරුවෙන් ජිවත්වුණාට දැන් සතුටින් ඉන්නවා.‘‘ යයි ඇය කිවා ය.