රාජ්‍ය සමාගම් අධික පාඩු ලැබීම රටේ ආර්ථිකයට දරාගත නොහැකි විශාල බරකි. මෙවැනි පාඩු ලැබීම්වලට අවසානයේ කර ගසන්නේ ආණ්ඩුව හෝ දේශපාලන බලාධිකාරිය හෝ නොවේ. මෙරට බදු ගෙවන පොදු මහජනතාවය. තමන් මිලදී ගන්නා අල ගෙඩියේ ලූනු ගෙඩියේ සිට ඔවුහු වක්‍රාකාරයෙන් මේ බරට කර ගසති. එසේම තමන් ගෙවන බදු රාජ්‍ය සමාගම් පාඩු පියවීමට යොදවාගැනීම හරහා ඍජු ලෙස ඔවුහු මුදල් සූරා ගැනීමට ලක්වෙති.

රාජ්‍ය සමාගමක් වන ලංකා මිනරල් සෑන්ඩ්ස් ආයතනය මගින් ප්‍රදානය කෙරුණු ඉල්මනයිට් ඛනිජ වැලි මෙට්‍රික් ටොන් 85,000ක් අලෙවි කිරීමේ ටෙන්ඩරය යට පවතින අණ්ඩරයද ඉහත ආකාරයේ පාඩු ලැබීම්වලට කදිම උදාහරණයකි. කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති රැස්වීමේදී අදාළ ගනුදෙනුව පිළිබඳ වහාම විමර්ශනයක් පවත්වා ඒ පිළිබඳ වාර්තාවක් ලබාදෙන්නැයි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතාට දැනුම් දී තිබිණි. මේ විමර්ශනය අනුව හෙළිවන තොරතුරු කෝප් කමිටුවේ පරිහරණයට පමණක් සීමා නොකර එය ජනගත කිරීමද අවශ්‍යය. තම බදු මුදල් මකර කටට යන හැටි දැනගැනීමට මහජනතාවටද අයිතියක් ඇති බැවිනි.

රජයට රුපියල් කෝටි 30ක අධික පාඩුවක් සිදුවන ආකාරයට අදාළ ටෙන්ඩරය ප්‍රදානය කර ඇති බව කෝප් කමිටුවේ අදහස වී තිබේ. ඉල්මනයිට් ඛනිජ වැලි මෙට්‍රික් ටොන් එකකට අමෙරිකානු ඩොලර් 147ක මිලක් ඉදිරිපත් කළ ගැනුම්කරු තෝරා නොගෙන ටොන් එකකට ඩොලර් 165ක ඉහළ මිලක් ඉදිරිපත් කළ ගැනුම්කරුවකුට ටෙන්ඩරය ප්‍රදානය කිරීම හරහා මේ පාඩුව සිදුවී ඇතැයි කෝප් කමිටුව කියයි. ටෙන්ඩරය ලැබී ඇත්තේ ලැයිස්තුවේ තුන්වැනි ඉල්ලු‍ම්කරුට බවද සඳහන්ය. අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ටෙන්ඩර් අනුකමිටුවකින් මෙම විකිණීමට අදාළ අනුමැතිය ලබා දී ඇතැයි මිනරල් සෑන්ඩ්ස් ආයතන නිලධාරීන් ප්‍රකාශ කර තිබුණද කෝප් කමිටු සාමාජිකයන් ප්‍රකාශ කර තිබුණේ ආයතනයේ නිලධාරීන් අමාත්‍ය මණ්ඩලය පවා නොමග යැවීමට කටයුතු කර ඇති බවකි.

රාජ්‍ය ආයතනයක නිලධාරීන් පිරිසකට අමාත්‍ය මණ්ඩලය පවා නොමග යවමින් රටට කෝටි ගණනින් පාඩු කළ හැකි තත්ත්වයක් පවතී නම් එය වහාම වෙනස් විය යුතු රටට ඉතාම හානිදායක තත්ත්වයක් බව පෙන්වා දිය යුතුය. පළමු ගැනුම්කරුට නොදී තුන්වැනි ගැනුම්කරුට ටෙන්ඩරය ප්‍රදානය කිරීමට බලපෑ හේතු පැහැදිලි කිරීමට නිලධාරීන් අසමත් නම් එහි යට ඇත්තේ සැකසහිත කුණු ගනුදෙනුවක් බවට විවාදයක් නැත. විශේෂයෙන්ම ගනුදෙනුවට අදාළ කර්මාන්ත අමාත්‍යාංශය භාර ඇමැතිවරයා පවා නොමග යැවීමට සමත් නිලධාරීන් එම අමාත්‍යාංශය තුළ සිටිනවා නම් ඔවුන් කවුදැයි දැන්ම හඳුනාගැනීම අමාත්‍යවරයාගේම යහපතට හේතු වනු ඇත. නැත්නම් ඔවුන් අමාත්‍යවරයා තවදුරටත් නොමග යවමින් රජයට දිගින් දිගටම පාඩු සිදු කරනු ඇත.

අදාළ ගනුදෙනුව සිදුවී ඇත්තේ 2020 වසරේ ඔක්තෝබර් මාසයේ වුවද මේ වනතුරු එම ඉල්මනයිට් තොගය පුල්මුඩේ නිධියේ ගබඩා කර තිබෙන බවද මුදල් ගෙවා ඇත්තේ මෙට්‍රික් ටොන් හැටපන් දාහකට පමණක් බවටද හෙළි වී තිබිණි. ඒ අනුව තවත් මෙට්‍රික් ටොන් විසිදාහකට මුදල් අයකර ගැනීමටද නියමිතව තිබේ. එසේම ඉල්මනයිට් අපනයනකරුවන්ගේ තොග පැටවීම සඳහා මිනරල් සෑන්ඩ්ස් ආයතන සේවක පිරිස් යොදවාගැනීම සම්බන්ධයෙන්ද කෝප් කමිටුව අවධානය යොමුකර තිබිණි. මේ සියලු‍ අක්‍රමිකතා රාජ්‍ය සමාගමක සිදුවන විට ඒ පිළිබඳව විෂය භාර අමාත්‍යවරයා නොදැන සිටීම ඔහුගේ කාර්යක්ෂමභාවය ද ප්‍රශ්න කිරීමට ලක් කරයි.

රාජ්‍ය ආයතන ලාභදායී ලෙස පවත්වාගෙන යාමට අසමත් වන නිලධාරීන් සම්බන්ධයෙන් දැනට වඩා තදින් සොයා බැලීමට විධිමත් සැලැස්මක් තිබීම අවශ්‍ය බව මෙම සිද්ධිය මගින් දැඩිව පෙන්වා දී තිබේ. කෙසේ වුවද රාජ්‍ය ආයතන පාලනය කිරීම සඳහා යොදවාගනු ලබන්නේ ඒ සඳහා සුදුසුකම් ඇති ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දක්ෂයන් නොව දේශපාලන පත්වීම් ලබන නිලධාරීන් පිරිසක් වීම මෙවැනි අක්‍රමිකතාවලට දොර හැරදීමක් බවද මෙහිදී පෙන්වා දිය යුතුය. ආයතනවල සභාපතිවරුන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ද ඔවුන් විසින් ආයතනයට අනුයුක්ත කරනු ලබන නිලධාරීන් එක් පිරිසකි. ආයතනයේ ස්ථිරව රැකියාව කරන නිලධාරීන් තවත් පිරිසකි. මේ අය අතුරින් අමාත්‍ය මණ්ඩලය පවා නොමග යැවීමට කටයුතු කළේ කුමන නිලධාරීන් පිරිසදැයි හඳුනා ගැනීමටද කෝප් කමිටුවේ අවධානය යොමුවිය යුතු යැයි අපි සිතමු.

රටට විශාල ආදායම් උපයා දෙන ආයතනද මෙලෙස පාඩු සිදුවන ආකාරයෙන් කටයුතු කිරීම රටේ අවාසනාවක්ද ජනතාවගේ අවාසනාවක්ද කියා අපි නොදනිමු. එහෙත් මෙවැනි සැකසහිත ගනුදෙනුවල වගකීම් නිලධාරීන් මත පමණක් පටවා දේශපාලන අධිකාරියට නිදහස් විය නොහැකි බව අපගේ විශ්වාසයයි.

(***)