අප වෙළඳපොළට ලබා දිය යුතු වැදගත්කම කොපමණක් ද සහ රාජ්‍යයට ලබා දිය යුතු වැදගත්කම කොපමණක් ද යන්න අපේ රටේ දේශපාලනයේ මතුවන විශේෂ ගැටලුවක් බව ඉතාමත් පැහැදිලිය. මේ ගැටලුව මේ ආකාරයෙන් මතුවුණේ 1977 අලුත් ආර්ථික ක්‍රමයක් මේ රටේ ඇතිවීමත් සමගය. මෙහිදී ඉදිරිපත් වෙන කාරණය වන්නේ වෙළෙඳපොළ ස්වාධීන ආකාරයෙන් ක්‍රියාත්මකවීමට ඉඩ ලබා දිය යුතු ද එසේත් නැතහොත් රාජ්‍යයේ භාරකාරිත්වය සෑම ක්ෂේත්‍රයකටම විසිර විය යුතු ද යන්නයි. එකල අපේ රටේ වාමාංශික ව්‍යාපාරය යම් තරමකින් අදට වඩා ශක්තිමත් තත්ත්වයක සිටි නිසා රාජ්‍යයේ ආධිපත්‍ය සහ පංගුකාරිත්වය පිළිබඳව විශාල සාකච්ඡාවක් 80 දශකයේ අධ්‍යයන ක්ෂේත්‍රයේ මතුවී තිබුණ බව ද සත්‍යයක්ය. මගේ මිතුරන් වන සුමනසිරි ලියනගේ සහ ධම්ම දිසානායක වැනි අය අදටත් රසබර අයුරින් දේශනා කරන්නේ මේ වාමාංශිකවාදයේ තිබූ පැරැණි උත්තේජනයන්ය. එහෙත් ඒ උත්තේජනයෙන් රටක ආර්ථිකය කළමනාකරණය කළ හැකි ද යන්න මෙහිදී අපේ සාකච්ඡාවට භාජන විය යුතු වැදගත්ම කාරණයය.  

 

මෙවර කිවිදා දැක්මෙන් මා සාකච්ඡා  කරන්නේ රාජ්‍යයේ සහ වෙළෙඳපොළේ වර්තමානයේ මතුවී තිබෙන ගැටලුකාරිත්වයන් කීපයක් පිළිබඳවය.

මේ දවස්වල මාධ්‍ය අවකාශයේ මතුවී ඇති පොල්තෙල් පිළිබඳ ගැටලුව, හාල් පිළිබඳ ගැටලුව, සීනි පිළිබඳ ගැටලුව වැනි ගැටලු ගණනාවක්ම පදනම් වෙන්නේ මා මුලින් සඳහන් කළ රාජ්‍යයේ භූමිකාව සහ වෙළෙඳපොළේ භූමිකාව පිළිබඳවය. නිදහස් වෙළෙඳාම මගින් සමාජයට බරපතළ අනර්ථයක් ගොඩනැගෙන බව සමහරු තර්ක කරන්නේ මාධ්‍ය අවකාශයේ ඉහත සඳහන් සිද්ධි පිළිබඳව ඉදිරිපත් වෙන කතා ඇසූ විටය. වෙළෙඳපොළ නිසි පරිදි කළමනාකරණයක් සිදු කළ නොහැකි නම් මේ ගැටලුකාරිත්ව මගින් රටේ ජනතාවට විශාල ව්‍යසනයක් ඇතිවිය හැකි බව මේ බොහෝ කතාවලින් පෙන්නුම් කරන පිළිතුරය. එහෙත් මේවායේ සෑබෑ තත්ත්වය කුමක්ද යන කාරණය පිළිබඳ නිසි තක්සේරුවක් මේ ගැටලු ගැන සමාජ මාධ්‍යයේ කතා කරන අයට තිබේද යන්න ගැන විමසිය යුතු බව මගේ අදහසය.

තවත් පැත්තකින් ප්‍රමිති ආයතනය පාරිභෝගික අධිකාරිය ශ්‍රී ලංකා රේගුව වැනි ආයතනවල ක්‍රියාකාරිත්වය පිළිබඳව පසුගිය දවස්වල මතු වූ සමහර සංවාද සම්බන්ධ වෙන්නේ ද  මේ කියන රාජ්‍යයේ වගකීම සහ වපසරිය යන ක්ෂේත්‍රයටය. මේ කාරණා දෙකට අමතරව තවත් සමහරුන් සිතන්නේ වෙළෙඳපොළ යනු රාජ්‍යයේ බරපතළ පාලනයට ලක් කළ යුතු ක්ෂේත්‍රයක් කියාය.

වෙළෙදාම කියන්නේම යම් ආකාරයක අපුලක් ඇති දෙයක් ලෙසින් අපේ රටේ සමහරුන් සිතන බවත් සත්‍යයක්ය. ඒ කියන්නේ වෙළෙන්දා කියන්නේ යම් ආකාරයක නොකළ යුත්තක් කරන තැනැත්තෙක් වගේ හැඟීමක් සමහරුන් තුළ ඉතිහාසයේ සිටම පැවති බවය.  ඒ අය සිතන්නේ වෙළෙන්දා යනු හැම විටම ‘මංපහරන්නෙකු’ වගේ කල්පනාවක්ය. මේ නිසාම අපේ සමාජයේ තිබෙන මුල් බැසගත් අදහසක් ලෙසින් මේ කියන වෙළෙඳපොළට එරෙහිවීමේ තර්කය පදනම් වන බව පැහැදිලිය. වෙළෙඳපොළ  මගින් සමාජයේ නිෂ්පාදන සහ සේවා බෙදීයාම සහ සෑම සාමාජිකයකුටම ස්වකීය හැකියා සමගින් එයට (වෙළෙඳපොළට) සම්බන්ධවීමේ ඉඩ පවතින බව ද මෙහිදී මතුවෙන ප්‍රතිතර්කය. එහෙත් අපේ සමාජයේ සාම්ප්‍රදායිකව පිළිගැනී ඇති වෙළෙඳාම නුසුදුසු වැඩක් වේ යැයි මතය සමාජයේ විශාල කලාපයක විසිරී පවතින අදහසක් බව ඉතාමත් පැහැදිලිය.

වෙළෙඳපොළ සහ රාජ්‍යය පිළිබඳව මේ දිනවල මතුවී තිබෙන සංවාදය ද තරමක් විමර්ශනයට භාජන කළ යුතු බව මගේ අදහසය. එසේ විමර්ශනශීලි විය යුත්තේ මේ කාරණය පිළිබඳව සමාජයේ තිබෙන යටි අදහස් බරපතළ  ආකාරයේ මිථ්‍යා දෘෂ්ටීන් රාශියක් නිර්මාණය කිරීමේ හැකියාව තිබෙන නිසාය. තවත් පැත්තකින් මේ වෙළෙඳපොළ විරෝධය සහ රාජ්‍ය ආරක්ෂණවාදය සමහර අවස්ථාවල ජාතිකවාදය සමගින් සම්බන්ධ වෙන අවස්ථා නිතරම පෙන්නුම් කෙරෙමින් තිබේ. තත්ත්වය එසේ වූ විට එවැනි ජාතිකවාදී කෝණයකින් වෙළෙඳපොළ දෙස බැලීමෙන් සිදු කරන බලපෑම ද ඉතාමත් බරපතළ බව අප හොඳින් අත් දැක ඇති කාරණයක්ය. මේ නිසාම මේ ගැටලුව (රාජ්‍යයේ සහ වෙළෙඳපොළේ භූමිකාව) පිළිබඳව සාකච්ජා කිරීම ඉතාමත් වැදගත්ය.

මේ සම්බන්ධව මතුවී ඇති පළමු වැදගත් කාරණයක් වන්නේ රජයේ සමහර ආයතන මගින් සිදුවිය යුතු නියාමනය මීට වඩා ශක්තිමත් කළ යුතු බවය. ඒ මතය ඉදිරිපත් කරන අයට අනුව රජයේ නියාමනය සිදුකරන  ආයතනවල ශක්තිමත්භාවය නොමැතිවීම නිසා අද වන විට බරපතළ ආකාරයේ පරිසර හා ආර්ථික හානි සිදුවෙමින් පවතින බව ඉදිරිපත් වී ඇත. මේ අදහස පළල් අර්ථයෙන් සලකා බැලීමේ දී යම් සත්‍යයක් ඒ තුළ තිබෙන බව ද පැහැදිලිය. එහෙත් රාජ්‍ය නියාමනය මගින් පමණක් වෙළෙඳපොළ සම්බන්ධයෙන් සිදුකළ හැකි බලපෑම කොපමණක් ද යන්න පැහැදිලිව තවමත් අප කවුරුවත් දන්නේ නැත”  නියාමනය කියන්නේ සම්පූර්ණයෙන්ම වෙළෙඳපොළ ආකෘති කඩා වැටෙන්නට ඉඩ හරින ආකාරයෙන් තද පාලනයක් ඒ ඒ ක්ෂේත්‍රවල ගොඩනැගීම යැයි සමහරුන් කල්පනා කරන බව ද සත්‍යයක්ය. ජනතාවගේ ජීවන අවශ්‍යතා අතරින් පරිසර සාධකයට විශේෂ තැනක් ලබා දිය යුතු බව සත්‍යයක්ය. එහෙත් මෙහිදී අවධානයට ගත යුතු කාරණය වන්නේ ඒ පරිසර සාධකය ආරක්ෂා කිරීම ඌනතිවාදයක් ලෙසින් එක් අන්තයකට පමණක් තල්ලුවීමෙන් සිදුවෙන්නේ සියලු ආකාරයේ සංවර්ධන උත්සාහයන් අඩපණවීම බවය. මානව ශිෂ්ටාචාරය පුරා පෙන්නුම් කෙරෙන මිනිසා සහ පරිසරය  අතර පවතින සම්බන්ධතාව ස්ථානගත කළ යුතු ඉසව්ව පිළිබඳ ගැටලුකාරිත්වය  මේ ප්‍රශ්නය සමගින් ගැට ගැසී ඇති බව පැහැදිලිය.

මීළඟට මෙහිදී  මතුවී ඇති කාරණය වන්නේ රේගුව වැනි ආයතනවල ඇති අනුමැතිය දීමේ ක්‍රමවේද තවත් ශක්තිමත් කළ යුතු ද යන ප්‍රශ්නයයි. ඒ මගින් පෙන්නුම් කරන්නේ රට තුළට පැමිණෙන භාණ්ඩ නිසි ආකාරයෙන් නියාමනයවීමක් රේගුව වැනි ආයතනවලින් සිදු නොවෙන බවය. මේ අදහස නිසා සමහරුන් කරන්නේ රේගුවේ බලය වැඩිවන ආකාරයට අවශ්‍ය නෛතික තත්ත්වය වර්ධනය කිරීමට යෝජනා කිරීමය. මේ නෛතික ප්‍රතිපාදන තර්කයේ ඇති නොපෙනෙන පැත්තක් වන්නේ ඒ මගින් රටේ වෙළෙඳපොළට සිදුකරන බලපෑම පිළිබඳව පාලනයක් රටට නොමැතිවීමේ අනතුරයි. මේ තත්ත්වය හේතුවෙන් සමහර අවස්ථාවල මතුවී ඇති තත්ත්වය වන්නේ අවශ්‍ය කරන පාරිභෝජන භාණ්ඩ සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ රටට පැමිණීමේ හිඟයක් නිර්මාණය වීමය. තවත් පැත්තකින් මේ රේගුව මගින් පාලනය කිරීමේ ක්‍රමය මගින් මුදාහරින නෛතික බලය නිදහස් වෙළඳාමේ යෙදී සිටින සමහරුන් ඒ ඒ ක්ෂේත්‍ර තුළින් ඉවත් කිරීමටත් හේතු විය හැකි බව මගේ අදහසය.

තුන්වෙනුව වැදගත් වෙන කාරණය වන්නේ රාජ්‍යයේ නියාමන අධිකාරිත්වයක් නොමැතිව වෙළෙඳපොළක් ගමන් කිරීම ඉතාමත් භයානක බව පිළිගනිමින්ම මේ කියන රාජ්‍යයේ නියාමනය පදනම් කරගත යුතු ක්ෂේත්‍ර කවරේ ද යන්න විමසා බැලීමය. වෙළෙඳාම සම්බන්ධයෙන් සිදුවන මූලික නියාමන ආකෘතියෙන් ඔබ්බට ගොසින් සිදුකරන සමහර සීමා කිරීම් සමහර අවස්ථාවල ඉදිරිපත් වෙන්නේ විදේශ මුදල් රටින් එළියට ගමන් කිරීම පාලනය කිරීමේ පැත්තෙන්ය. එවැනි අවස්ථාවල ඒ ක්‍රියාමාර්ගයේ යම් සාධාරණත්වක් ඇති බව නිවැරැදිය.

ඇතැමෙක් කියන්නේ වෙළෙඳපොළ යනු සම්පූර්ණයෙන්ම රාජ්‍යයේ පාලනය තුළ තබා ගත යුතු දෙයක් කියාය. විශේෂයෙන්ම මා මුලින් කියූ වාමාංශික ව්‍යාපාරයේ දැනට ශේෂවී ඇති බුද්ධිමතුන් පිරිසක් මේ අදහස ඉදිරිපත් කරන බව පෙනී යන කාරණයකි. ඔවුන් අදහස් කරන්නේ රටේ සම්පත් ආරක්ෂා කරගනිමින් රාජ්‍යයේ පාලනය යටතේ සිදුකරන මධ්‍යගත පාලනයක් මිස වෙළෙඳපොළට නිදහසේ සැරිසරන්නට ඉඩ ලබා දීම වැරදි ක්‍රියාවක් බවය. මේ අදහස දේශපාලනයක් ලෙසින් 70 දශකයේ රට තුළ විශාල ආන්දෝලනයක් ඇති කළ බව ඉතාමත් ප්‍රසිද්ධ කාරණයක්ය. මධ්‍යගතව වෙළෙඳපොළ පාලනය කිරීමේ හැකියාවක් මේ නිදහස් වෙළෙඳපොළ ක්‍රමය තුළ ලෝක පරිමාණව ගත්තත් කළ හැකි දෙයක් නොවන බව මගේ මතයය.

වෙළෙඳපොළ ද එසේත් නැතිනම් රාජ්‍යයේ බරපතළ මධ්‍යගත පාලනය ද යන මේ බෙදීම හුදු වෙළෙඳපොළ  ඍජු කාරණවලින් ඔබ්බට යන අවස්ථාද්‍ දකින්නට තිබෙන බව මෙහිදී අපේ අවධානයට ගැනීම මෙහිදී වැදගත්ය. ආයෝජන අවස්ථා වර්ධනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දීමේ අරමුණෙන් ඇති කරන සමහර නෛතික පහසුකම් පවා මේ වෙළෙඳපොළට එරෙහි බලවේග විසින් ප්‍රශ්නයට ලක් කරන අවස්ථා තිබෙන බව මෙහිදී පෙන්නා දිය යුතු කාරණයක්ය. මේ දිනවල සාකච්ඡා  මට්ටමින් පවතින වරාය නගරය සඳහා වූ නෛතික පනත් කෙටුම්පත වැනි දේවල් මෙහිදී සමහරුන්ගේ විවේචනයට ලක් වෙන්නේ ඉහත සඳහන් රාජ්‍ය කේන්ද්‍රියවාදයේ බරපතළකම හේතුවෙන්ය.

අපි වෙළෙඳපොළට ලබාදෙන ඉඩ සහ රාජ්‍යයේ වපසරිය පිළිබඳව ඇති මේ පරස්පරය පිළිබඳව පළල් ආකාරයෙන් සිතීම අපේ වැනි රටක ආර්ථික ජයග්‍රහණ වෙනුවෙන් අත්‍යවශ්‍ය බව මගේ යෝජනාවය.


(***)
(මහාචාර්ය - චරිත හේරත්)