IMG-LOGO

2024 මැයි මස 25 වන සෙනසුරාදා


රිසානා බේරාගන්න බැරිවුණේ ඇයි?

සවුදි අරාබියාවේදී පසුගිය 09 වැනි බදාදා මුළු ශ්‍රී ලංකාවම හඬවමින් අවාසනාවන්ත ලෙස මරණ දණ්ඩනයට ගොදුරුවූ රිසානා නෆික් නමැති ගෘහසේවිකාව පිළිබඳ නොයෙකුත් ප‍්‍රවෘත්ති අද අසන්නට දකින්නට ලැබේ. මැදපෙරදිගදී මරණීය දණ්ඩනයට නියම වූ පළමු ශ්‍රී ලාංකික සේවිකාවත් අවසාන ශ්‍රී ලාංකික සේවිකාවත් ඇය නොවේ. සිද්ධියක් ඇති වූ පසු ඒ පිළිබඳව එක් එක් අයට චෝදනා කිරීම සිරිතය. එහෙත් දැන් අප ඉන් ඔබ්බට ගොස් ඉදිරියේදී මෙවන් අවාසනාවන්ත සිද්ධීන් ඇති නොවීම පිණිස ගතයුතු පියවර කුමක්දැයි විමසා ඒ අනුව කටයුතු කිරීමෙන් රිසානාලා සිය ගණනකගේ ජීවිත බේරාගැනීමට හැකිවනු ඇත.

ඉරාකයේ සහ එක්සත් එමීර් රාජ්‍යයේ තානාපති කාර්යාලවල පළමු ලේකම් (කම්කරු) වශයෙන් සේවය කොට ලබා ඇති දැනුම හා අත්දැකීම් අනුසාරයෙන් ඒ පිළිබඳව ගතයුතු පියවර කීපයක් යෝජනා කිරීමට කැමැත්තෙමි.රිසානාට තිබූ චෝදනාව නම් 2005 මැයි 22 වැනි දින සවුදි අරාබියේ දවාද්මි නගරයේ නායිෆ් අල්-ඔතායිබි නමැති සේව්‍යයා (අරබාබි) යටතේ ගෘහ සේවිකාවක වශයෙන් සේවය කරමින් සිටියදී ඔහුගේ මාස 4ක සිඟිති දියණිය ඇගේ අතින් මරණයට පත්වීමය. සේව්‍යයා නොහොත් අරබාබා විසින් පොලිසියට කර ඇති පැමිණිල්ලේ සඳහන් වන්නේ ඔහුගේ බිරිඳ සමග ඇති කරගත් ආරාවුලක් මත ඇය විසින් තම දරුවා බෙල්ල මිරිකා මරා දැමූ බවය. එහෙත් ගෘහ සේවිකාව පවසා ඇත්තේ එවැනි දෙයක් සිදු නොවුන බවත් දරුවා මියගියේ කිරි පොවමින් සිටියදී කිරි හිරවීම නිසා බවත්ය.


ඇයට විරුද්ධව පොලිසිය විසින් නීතිමය පියවර ගනු ලැබුවේ එරට පවතින ”ඉස්ලාම් ෂරියා නීතිය” (Islamic Shariah Law) අනුවය. එම නීතිය මුස්ලිම් භක්තිකයින් විසින් ශුද්ධ වූ දේව නීතිය වශයෙන් හඳුන්වනු ලැබේ. අප වැනි ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල පවතින නීතිය මිනිසුන් විසින් නිර්මාණය කරන ලද්දක් වුවද ඉස්ලාම් භක්තිකයන් විශ්වාස කරන්නේ ”ඉස්ලාම් ෂරියා නීතිය” දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කොට ලොවට හඳුන්වා දුන් දේව නීතියක් බවය. එය දෙවියන් වහන්සේගේ නීතියක් බැවින් ඒ පිළිබඳව ප‍්‍රශ්න කිරීම හෝ විවේචනය කිරීම පාපයක් බව ඔවුහු සලකති. (එසේ වුවද බටහිර ආභාෂය ලැබූ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිගන්නා බොහෝ මුස්ලිම් රටවල් දැන් එම නීතියේ යම් යම් කොටස් පමණක් ගෙන තම රටට උචිත පරිදි නීති සකසා ඇත. ෂරියා නීතිය තදින්ම ක‍්‍රියාත්මක වන මැද පෙරදිග රටවල් අතර සවුදි අරාබියාව මුල් තැනක් ගනී).


එම නීතිය ගැන බොහෝ තර්ක විතර්ක ඉදිරිපත්වී ඇතත් එහි වැදගත් ලක්ෂණ ඇති බව බොහෝ දෙනා නොදනිති. පළමුකොටම නීතිය ඉදිරියේ සියළු දෙනාම එක සමාන බවත් යම් සැකකරුවකු වරදකරු බව අධිකරණය ඉදිරියේ ඔප්පුවන තුරු ඔහු හෝ ඇය නිදොස් පුද්ගලයකු වශයෙන් සැලකිය යුතු බවත් එහි සඳහන්වේ. එසේම තමාගේ නිදහස උදෙසා සාක්ෂි ඉදිරිපත් කිරීමටද ඒ සඳහා නීතිඥවරයකුගේ සහය ලබාගැනීමටද ඔහුට/ඇයට අයිතියක් ඇත. එහි තවත් වැදගත් ලක්ෂණයක් නම් කිසිම ප‍්‍රකාශයක් නොකර නිශ්ශබ්දව සිටීමට ඔවුන්ට අයිතිය ඇති අතර යම් ප‍්‍රකාශයක් කරන්නේ නම් එය බියවැද්දීමකින් හෝ බලපෑමකින් තොරව කිරීමට ඔවුන්ට නිදහස තිබිය යුතු බව සඳහන්වේ. ඒ අනුව බලපෑමෙන් හෝ බියවැද්දීමෙන් ලබාගන්නා පාපොච්චාරණයක නීතිමය වටිනාකමක් නැති බව පැහැදිලිය. අනෙක් අතට බලපෑමෙන් හෝ බියවැද්දීමෙන් තොරව කරන ලද පාපොච්චාරණය අධිකරණය ඉදිරියේ බලවත් නීතිමය ලියවිල්ලක් හෝ සාක්ෂියක් වශයෙන් සැලකිය යුතු බවද එම නීතියේම සඳහන්වේ.


නීතිය දේව නීතියක් වුවද එය ක‍්‍රියාත්මක කරනු ලබන්නේ මනුෂ්‍යයින් විසින් බැවින් අරබාබාගේ මුදල් හා අනෙකුත් බලපුළුවන්කාරකම් සහ සැකකාරියගේ අසරණකම ඉදිරියේ පොලිසිය කටයුතු කරන්නේ එම රටේ පැමිණිලිකරුගේ අවශ්‍යතාවය ඉටුවන පරිදි බව මම අත්දැකීමෙන් දනිමි. ඔවුන්ගේ අරමුණ කුමන ආකාරයෙන් හෝ විත්තිකරු/කාරිය වැරදිකරු වන පරිදි අවශ්‍ය සාක්ෂි රැුස්කීරිම හෝ නිර්මාණය කිරීමය. ඒ අනුව රිසානා නෆික්ට පොලිසියේදී අසාධාරණයක් වූවාය යන චෝදනාව ඉවත් කළ නොහැකි බව පෙනේ. විවිධ මාධ්‍ය තුළින් දැනගත් ආකාරයට රිසානාගේ සේව්‍යයා (අරබාබා) ඇය පොලිසියට භාරදී ඇත්තේ තම ළදරුවා නැතිවීමෙන් ඇතිවූ ශෝකය හා වේදනාව නිසා නිවස තුළ ඇයට දිය හැකි සියළු දඬුවම් දීමෙන් අනතුරුවය. පොලිසියේදීද අරබාබාගේ පෙරකී බලපුළුවන්කාරකම් ඉදිරියේ සුදුසුකම් නැති විදේශීය භාෂා පරිවර්තකයකුගේ සහය ඇතිව පොලිසිය ඇය බියගන්වා ඇය නොදන්නා අරාබි බසින් ලියන ලද පාපොච්චාරණයක් ඇය ලවා අත්සන් කරගත් බවද දැනගන්නට ඇත. මෙවන් අසරණ තත්ත්වයට ඇය පත්වීමට සිදුවූ හේතු මෙසේය.

 


13 - මුල් අවස්ථාවේදීම ඇයට තානාපති කාර්යාලයේ නිලධාරීන්ගේ සහ එහි භාෂා පරිවර්තකගේ සේවය හා ආරක්ෂාව නොලැබීම.
14 - ප‍්‍රකාශය සටහන් කරගත් භාෂාව වන අරාබි භාෂාව ගැන ඇයට දැනුමක් හෝ අවබෝධයක් නොමැතිවීම
15 - ඇගේ ලාබාල වයස සහ ඒ අවස්ථාවේදී ළදරුවා මියයාමෙන් හා විවිධ තාඩන පීඩනවලට ලක්වීමෙන් හිතේ ඇතිවූ තැතිගැන්ම හා බිය
16 - රටේ නීතිය වන ”ෂරියා නීතිය” පිළිබඳව අල්පමය දැනුමක්වත් නොමැතිවීම
17 - පොලිසියේ තර්ජන හා ගර්ජන මධ්‍යයේ තානාපති නිලධාරියෙකුගේ සහාය නැතිව ප‍්‍රකාශයක් කිරීමට නොහැකි බව පැවසීමට තරම් ආත්ම ශක්තියක් නැතිවීම
18 - මෙවැනි අවස්ථාවකදී ඇය කළයුතු ආකාරය පිළිබඳව ශී‍්‍ර ලංකාවේදී පූර්ව උපදෙස් ලැබී නොතිබීම

 

රිසානා නෆීක්

මුල් අවස්ථාවේදීම තානාපති කාර්යාලයේ නිලධාරින්ගේ සහ පරිවර්තකගේ සේවය ලැබුණා නම් තත්ත්වය බෙහෙවින් වෙනස් වීමට ඉඩ තිබුණ බව ඉහත සඳහන් කරුණුවලින් අනාවරණය වේ. එරට පොලිසිය තුළ මෙන්ම අධිකරණය තුළද තානාපති නිලධාරීන්ට ඉහළම ගෞරවයක් හා පිළිගැනීමක් ඇති නිසා මුල් අවස්ථාවේදී ඔවුන්ගේ සේවය හා ආරක්ෂාව ලැබුණා නම් තත්ත්වය බෙහෙවින් වෙනස්වීමට ඉඩතිබුණි.
එසේ නම් මුල් අවස්ථාවේදීම ඇයට තානාපති කාර්යාලයේ සේවය ලබානොදුන්නේ ඇයි? බොහෝ දෙනා ඒ පිළිබඳව තානාපති කාර්යාලයට සෘජුව ඇඟිල්ල දිගු කරති. එහෙත් තානාපති කාර්යාලයට අප‍්‍රමාදව කටයුතු කළ හැක්කේ පොලිසියත් තානාපති කාර්යාලයත් අතර ඍජු සම්බන්ධතාවයක් තිබේ නම් පමණක් බව අප තේරුම්ගත යුතුය. කුමන චෝදනාවක් මත විදේශීය සේවකයකු පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවත් ඒ බව පොලිසිය විසින් නිල වශයෙන් වහාම අදාළ තානාපති කාර්යාලයට දැන්විය යුතු බවට බැඳීමක් නැත. බොහෝ විට තානාපති කාර්යාලයට මෙම පුවත දැනගැනීමට ලැබෙන්නේ එහි සේවය කරන වෙනත් ශ්‍රී ලාංකිකයකු මාර්ගයෙන් හෝ පුවත් පතක මාර්ගයෙනි. එසේම උසාවියෙන් නඩු තීන්දුව දිමෙන්ද පසුවය. රිසානා සම්බන්ධයෙන්ද සිදුවී ඇත්තේ එයම බව දැනගන්නට ඇත.


මෙවැනිම ඉරණමකට මෙයට වසර ගණනාවකට ඉහතදී එක්සත් එමීර් රාජ්‍යයේදී ගෘහසේවිකාවක ලෙස සේවය කළ සිත්ති යුනිසා නමැති ගෘහ සේවිකාවට මුහුණදීමට සිදුවිය. ඇයට විරුද්ධව තිබූ චෝදනාවද වයස අවුරුදු 4ක ළදරුවකු ඝාතනය කිරීමය. ඒ පිළිබඳව මුලින්ම තානාපති කාර්යාලයට දැන ගැනීමට හැකි වුයේ අල් ඉත්තියාන් (Al Ittiyan)  සහ අල් බයාන් (Al Bayan)  අරාබි පුවත්පත්වල සහ සුප‍්‍රසිද්ධ ”කාලිජ් ටයිම්ස්” (Khaleej Times) ඉංග‍්‍රීසි පුවත්පතේ පළවී තිබූ වාර්තා මගිනි. එයද ඇය විසින් කරන ලද ”පාපොච්චාරණයක්” මත ඇය වරදකාරිය කරමින් නඩු තීන්දුව ප‍්‍රකාශ කිරීමෙන් පසුය.


මෙයින් පැහැදිලි වෙන්නේ සවුදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල දෙකක් තිබුණත් පවතින ක‍්‍රියාවලියේ දුර්වලකමත් වෙනත් ප‍්‍රායෝගික දුෂ්කරතාවයනුත් නිසා ශ්‍රී ලාංකික සේවකයකුට හෝ සේවිකාවකට මෙවන් බරපතළ අවස්ථාවකදී වුවද නිසි කලට තානාපති කාර්යාලයේ සේවය ලබාගැනීමට ඇති දුෂ්කරතාවයයි. ලැබී ඇති තොරතුරු අනුව ශ්‍රී ලාංකික සේවක සේවිකාවන් ලක්ෂ 10කට වැඩි ප‍්‍රමාණයක් එහි සේවය කරන අතර ඔවුන්ගේ සුබසාධනය පිළිබඳව සොයා බැලීමට සිටින්නේ නිලධාරීන් කීප දෙනෙකු පමණි. එමෙන්ම එරටේ විශාලත්වයද මෙයට බෙහෙවින් බලපායි. මුළු ශ්‍රී ලංකාවේම වර්ගප‍්‍රමාණය වර්ග සැතපුම් 25,332ක් (වර්ග කි.මී. 65610) වුවද සවුදි අරාබියේ වර්ග ප‍්‍රමාණය වර්ග සැතපුම් 865,000 (වර්ග කි.මී. 2,240,000)කි. මෙම සංඛ්‍යා සන්සන්දනය කිිරීමෙන් එරටේ විශාලත්වය මැනගත හැක. කොටින්ම අරාබි අර්ධද්වීපයේ 3/4ක භූමි භාගය හිමිවන්නේ සවුදි අරාබියටය. රටේ විශාලත්වය අනුව ෂරියා උසාවි 300කට වැඩි ප‍්‍රමාණයක් එරට ඇත.


මෙම තත්ත්වය උඩ කළ යුතු වන්නේ අඩු තරමින් මෙවැනි බරපතල චෝදනාවක් මත ශ්‍රී ලාංකිකයකු අත්අඩංගුවට ගත් වහාම අදාල තානාපති කාර්යාලයට දැන්විය යුතු බවටත් තානාපති නිලධාරියෙක් ඉදිරියේ මිස ඇගේ හෝ ඔහුගේ ප‍්‍රකාශයක් සටහන් කර නොගත යුතු බවටත් ගිවිසුමක්/සම්මුතියක් ඇති කර ගැනීමය. මෙය රාජ්‍ය මට්ටමින් හෝ ජාත්‍යන්තර වශයෙන් හෝ කිරීමට බැරිකමක් නැති බව මගේ විශ්වාසයයි.


රිසානා නිදහස් කර ගැනීම සඳහා තවත් ප‍්‍රබල සාක්ෂියක් තිබී ඇත. එනම් ඇය විසින් මෙම මරණය සිදු කළා යයි සඳහන් දිනය වන 2005 මැයි 22 වන විට ඇය වයස 18කට අඩු ලාබාල වයස්කාරියක වීමය. සවුදි රාජ්‍ය විසින්ද අත්සන් තබන ලද ”ළමා අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය” අනුව වයස අවුරුදු 18 අඩු අයකුට මරණ දණ්ඩනය පැමිණවීම තහනම්ය. එහෙත් එම කරුණ අධිකරණයේදී මතු කොට පිළිගත හැකි ලිඛිත සාක්ෂි මගින් එය සනාථ කිරීමට ඇගේ පාර්ශ්වයෙන් කිසිවකු නොසිටි නිසා ඒ අවස්ථාවද ඇයට ගිලිහී ගියේය. එම තත්ත්වය තහවුරු කිරීම සඳහා එවැනි විකල්ප සාක්ෂියක් නැති විට පොලිසිය විසින් හෝ උසාවිය විසින් හෝ පිළිගනු ලබන්නේ ගමන් බලපත‍්‍රයේ සහ අකාමා සහතිකයේ සඳහන් කරුණුය. තවද විකල්ප සාක්ෂි මගින් හෝ නියම වයස තහවුරු කළ යුතුව තිබුණේ නඩු තීන්දුව හෝ ඇපැල් තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීමට පෙරය.

මව සහ පියා


යම් චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවකු වූ අයකුට දිය යුතු දඬුවම ෂරියා නීතියේ පැහැදිලිව සඳහන් කොට ඇත. ඒ අනුව යම් ක‍්‍රියාවක් නිසා පීඩාවට පත්වූ පාර්ශ්වයකට තමා පීඩාවට පත්වූ ප‍්‍රමාණයටම එහි අධිකරණයකින් වරදකරුවූ පුද්ගලයකුට විරුද්ධව දඬුවම් ලබාදීමට අයිතියක් ඇත. මෙය ලෙයට ලෙය හෝ ජීවිතයට ජීවිතය යනුවෙන් හැඳින්වේ. (අරාබි භාෂාවෙන් මෙය හඳුන්වන්නේ Al Qisas නමිනි). ශුද්ධ වූ අල් කුරානයේ (Al Quran)සුරා මයිඩා (Sura Maidah) නම් 45 වැනි පරිච්ඡේදයේ (Verse 45) දඬුවම් පිළිබඳව ”ජීවිතයට ජීවිතයක්, ඇසට ඇසක්, නාසයට නාසයක්, කණට කණක්, දතට දතක්, තුවාලයට ඊට සමාන දඬුවමක්” යනුවෙන් විඝ‍්‍රහ කොට ඇත. මෙම කරුණු අනුව මරණ චෝදනාව මත ෂරියා අධිකරණයේදී (Shariah Court) වරදකරු වූ විත්තිකාරියට දිය හැකි එකම දඬුවම ”මරණ දඬුවම” (Death Sentence) බව පැහැදිලිය. සවුදි අරාබියාවේ මෙවන් අපරාධ නඩු පවා ජූරි සභාවක් ඉදිරියේ විභාග නොවන බැවින් තනිකර තීන්දුව රැඳී ඇත්තේ නඩුකාරකුමා අතේ බවද අප අමතක නොකළ යුතුය.


මෙම නඩු තීන්දුව 2007 ජුනි 16 දින ප‍්‍රකාශයට පත් වූ අතර ඒ පිළිබඳ ආරංචිය දැනගන්නට ලැබුණේ ඊට පසුව බව දැනගන්නට ඇත. ඒ සමගම එම ප‍්‍රදේශයේ සේවය කරමින් සිටි බැසිල් ප‍්‍රනාන්දු නමැති ශ්‍රී ලාංකිකයකු විසින් වහා ක‍්‍රියාත්මක වී කටේබ් අල් ශමාරි නම් සවුදි නීතිඥවරයකු මාර්ගයෙන් නඩු තීන්දුවට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් කළ බව මේ පිළිබඳව අන්තර්ජාලයේ ප‍්‍රවෘත්තියක් තුළින් දැනගන්නට ලැබුණි. බැසිල් ප‍්‍රනාන්දු මහතා ආසියා මානව හිමිකම් කොමිසමකට සම්බන්ධව කටයුතු කර ඇති අයකු බවද සඳහන්වේ. එම අවස්ථාවේදී තානාපති කාර්යාලයට ඒ ගැන දැනගැනීමට ලැබීමෙන් පසු තානාපති කාර්යාලයද කි‍්‍රයාත්මක වූ බව දැනගන්නට ඇත. එහෙත් අභියාචනා අධිකරණයේදීද සාමාන්‍යයෙන් සිදුවන පරිදි පහළ අධිකරණයේ දුන් තීන්දුව ස්ථිර වී ඇත.


ෂරියා නීතිය අනුව අධිකරණ ක‍්‍රියාවලිය  අවසන් වී යම් දඬුවමක් නියම කිරීමෙන් පසුව එම දඬුවම ලිහිල් කිරීමට කටයුතු කළ හැක්කේ පීඩාවට පත් අයට හෝ ඔහු/ඇය මිය ගොස් ඇත්නම්  ඔහුගේ/ඇගේ ළඟම ඥාතියාට පමණි. ඔහුගේ හෝ ඇගේ කැමැත්ත නැතිව රටේ පාලකයාට හෝ දඬුවම ලිහිල් කිරීමට බලයක් නැතිවීම මෙම නීතියේ විශේෂත්වයකි.


ඒ අනුව එම අවස්ථාව වනවිට වරදකාරිය නිදහස්කර ගැනීමට තිබූ එකම මාර්ගය පීඩාවට පත් දරුවාගේ ළඟම ඥාතිීන් වන දෙමාපියන්ගේ කැමැත්ත ලබාගැනීම පමණි. ඒ සඳහා සාමාන්‍යයෙන්  කෙරෙන්නේ රාජ්‍ය පාලකගේ  මාර්ගයෙන් හෝ පූජකවරුන් මාර්ගයෙන් හෝ වෙනත් පිළිගත් අයකුගේ මාර්ගයෙන් හෝ ආරාබියේ ”දියා”  (Blood Money) වශයෙන්  හදුන්වනු ලබන ලේ වන්දි මුදලක් ගෙවීමෙන් පීඩාවට පත්වූ අයගේ ලඟම ඥාතියාගේ අනුකම්පාව දිනාගෙන දඬුවම ලිහිල් කරවා ගැනීමයි. ඒ සඳහා අප ජනාධිපතිතුමා සවුදි රාජ්‍යයේ රජතුමා වෙත ඇය වෙනුවෙන් අභියාචනා දෙකක් ඉදිරිපත් කර තිබූ බව දැන ගන්නට ඇත. එම අභියාචන දෙකම තානාපති කාර්යාලය හරහා රජතුමා වෙත භාරදුන් බවද දැන ගන්නට ඇත. ඊට අමතරව නියෝජිත පිරිසක් ද එරට බලධාරීන් හා පීඩාවට පත්වූ දෙමාපියන් හමුවී වන්දි මුදලක් ගෙවීම සඳහා සාකච්ඡා කළ බවද දැන ගන්නට ඇත. එහෙත් කිසිම කොන්දේසියක් යටතේ වරදකාරියට සමාව දීමට දෙමාපියන් කැමති නොවූ බව දැන ගන්නට තිබේ. ඒ අනුව මුළුමහත්  ජනතාවම ඇගේ නිදහස බලාපොරොත්තු සිටි මොහොතක එනම් 2013 ජනවාරි 9 වැනිදා බදාදා මුළු ශ්‍රී ලංකාවම හඬවමින් ඇගේ හිස ගසාදමා මරණ දඬුවම ක‍්‍රියාත්මක කළ බව දැන ගන්නට ලැබුණි. මෙ අනුව ඇය මරණයෙන් බේරා ගැනීමට නොහැකි වූයේ මරණයට පත් ළදරුවාගේ ළඟම ඥාතීන්වන දෙමාපියන්ගේ සමාව ලබා ගැනීම පිණිස ගත් සියලූ උත්සහයන් අසාර්ථකවීම නිසා බව පෙනේ.


ෂරියා අධිකරණයේ දී රිසානාට මරණ දඬවම නියම වූයේ 2007 ජූනි 16 දිනය. ඇයගේ දඬුවම කි‍්‍රයාත්මක වූයේ 2013  ජනවාරි 9 වැනි දිනය. සාමාන්‍යයෙන් මරණ දඬුවම නියම කිරීමෙන් මාස 4කට හෝ 5කට පසුව  මරණ දඬුවම ක‍්‍රියාත්මක වන නමුත් රිසානා සම්බන්ධයෙන් එම දඬුවම ක‍්‍රියාත්මක වී ඇත්තේ දඬුවම නියම කොට වසර 5යි මාස 6 පසුව බව මේ අනුව පෙනේ. එසේ වූයේ රජයක් වශයෙන් ජනාධිපතිතුමා විසිනුත්  වෙනත් විවිධ සංවිධාන විසිනුත් වෙනත් විවිධ පාර්ශවයන් විසිනුත්  මේ පිළිබඳව කරන ලද යම්යම් අභියාචනා නිසා බව  විශ්වාස කිරීමට පුළුවන. එහෙත් වසර 5 1/2ක් වැනි දීර්ඝ කාලයක් තුළ මේ පිළිබඳව ගතයුතුව තිබූ ප‍්‍රධානම පියවර වන ළඟම ඥාතියාගේ කැමැත්ත ලබා ගැනීමට නොහැකිවීම අතිශය කනගාටුදායකය. මේ පිළිබඳව විචාරකයින් කියා සිටින්නේ ළඟම ඥාතියාගේ කැමැත්ත ලබාගැනීමේ අරමුණ සඳහා ප‍්‍රමාණවත් අවධානයක් යොමු නොකොට නිෂ්ඵල ව්‍යායාමයන් සඳහා වැඩි අවධානය යොමු කිරීම මෙයට හේතුව බවය. බොහෝ අය කටයුතු කොට ඇත්තේ එරට රජතුමාට මෙම අධිකරණ තීන්දුව වෙනස්කොට රිසානාට සමාව දීමට බලක් ඇතැයි යන වැරදි පදනම මත පිහිටා බව පෙනේ. ෂරියා නීතිය අනුව ළඟම ඥාතියාගේ කැමැත්ත නැතිව කිසිවකුටත් එම තීරණය වෙනස් කළ නොහැකි බව නැවතත් අවධාරණය කිරීමට කැමැත්තෙමි.


මෙවන් තත්ත්වයක් ඉදිරියේ දී ඇතිනොවීම පිණිස නොපමාව ගතයුතු පියවර කීපයක් යෝජනා කිරීමට කැමැත්තෙමි.
බාල වයස්කාරියක වන ඇයට මෙවන් අවසනාවන්ත තත්ත්වයකට මුහුණ පෑමට මූලිකව හේතුව වූයේ වැඩි වයසක් ඇතුළත් කොට ව්‍යාජ ගමන් බලපත‍්‍රයක් සකස් කොට ඇය රැකියාවක් සඳහා පිටරට යැවීම නිසාය. විවිධ හේතූන් නිසා ලාබාල තරුණියන් වැඩි වයසක් සඳහන් කොට විදේශ සේවය සඳහා යැවීම මෙන්ම වැඩි වයසක් ඇති අය අඩු වයසක්  සඳහන් කොට යැවීමද බොහෝ කාලයක සිට සිදුවන දෙයකි. ගමන් බලපත‍්‍රයක් නිකුත්් කිරීමේ දී ඉදිරිපත් කළ යුතු ලියවිලි අතර ජාතික හැඳුනුම්පත ද එක් ලියවිල්ලකි.  පුද්ගලයින් ලියාපදිංචි  කිරීමේ දෙපාර්තමේන්තුව විසින් එම හැඳුනුම්පත් නිකුත් කරනු ලබන්නේ උප්පැන්න සහතිකය, ග‍්‍රාම සේවක සහතිකය ආදී ලියවිලි පරීක්ෂා කිරීමෙන් පසුවය. එබැවින් ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කිරීමෙන් ව්‍යාජ  හැඳුනුම්  පතක් ලබාගත හැකිවා මෙන්ම ව්‍යාජ හැඳුනුම්පතක් ඉදිරිපත්  කිරීමෙන් ව්‍යාජ විදේශ ගමන් බලපත‍්‍රයක් ලබාගත හැක. මෙම දුෂණය කුමන අවස්ථාවක දී හෝ සිදුවීමට ඉඩ ඇත. රිසානා නපීක් වැනි වයස 18 නොඉක්මවූ තරුණියක  ව්‍යාජ ගමන් බලපත‍්‍ර මගින් විදේශ රැකියාව සඳහා යැවීමට හැකිවී ඇත්තේ මෙම දුෂණය නිසාය. ව්‍යාජ උප්පැන්න සහතික, ව්‍යාජ හැඳුනුම්පත් හා ව්‍යාජ විදේශ ගමන් බලපත් ඉතාමත් රහස්‍ය ලෙස සකසා සැපයීම යම් සංවිධානාත්මක පිරිසක් විසින් කරගෙන යන බවත් ඒ සඳහා අධික මුදලක් අය කරන බවත් අසන්නට ඇත. ඔවුන්ට මෙම කටයුතු ඉටුකරදීමට මැදහත් වෙන්නේ සමහරකුට ඒජන්සිකරුවන් හා තරැව්කරුවන් බවද පැවසේ. ඒ අනුව මෙයට සම්බන්ධ  සියලූම අය අනියම් ආකාරයෙන් මෙම අපරාධයට  වගකිව යුතුය. ඉදිරියේ දී මෙවන් තත්ත්වයන් ඇතිනොවීම පිණිස මා යෝජනා කරන්නේ මෙම දැරියට වැඩි වයසක් ඇතුළත් කොට ගමන් බලපත‍්‍රයක් නිකුත් වූයේ කෙසේද එයට වගකියයුත්තන් කවුද යන්න සොයාබලා ඔවුන්ට විරුද්ධව ගත හැකි උපරිම නීතිමය හා විනයානුකූල කියාමාර්ග ගත යුතු අතර ඉදිරියේ දී ව්‍යාජ ගමන් බලපත‍්‍ර නිකුත් කිරීම වැලැක්වීම සඳහා දැඩි පියවර ගතයුතු බවය.

 

රිසානාගේ කුඩා නිවස


මෙම පිරිස් විසින් ගමන් බලපත‍්‍රවල  ඡායාරූපය පවා වෙනස්කළ  අවස්ථා මා අබුඩාබි තානාපති කාර්යාලයේ සේවය කරන අවධියේ දී මට අසන්නට ලැබුණි. මෙය හඳුන්වනු ලබන්නේ ”ඔළුව” මාරු කිරීම යනුවෙනි. විවිධ හේතූන් නිසා මෙසේ  ”ඔළු” මාරු කිරීම සිදුවන අතර ඒ සඳහා අයකරන ගාස්තුව ද  අධික බව දැන ගන්නට ඇත. මෙවැනි ”ඔළු” මාරුවක් නිසා මා සේවය කළ කාලයේ කටාර් රාජ්‍යයේ දී සිදුවූ සිදුවීමක් මට මතකය. ප‍්‍රශ්නයට අදාල තරුණයා පැමිණ තිබුණේ වෙනත් අයකුගේ ගමන් බලපත‍්‍රයට තමාගේ ඡායාරූපය (ඔළුව)  ඇතුලත් කිරීමෙනි. ඔහු හදිසි අනතුරකින් මිය ගිය අතර ඔහුගේ බිරිඳ ඒ පිළිබඳව ලැබීමට නියමිතව තිබු වන්දිය ලබා ගැනීමට ඉදිරිපත් වුවාය. එහෙත් ”ඔළුව” අයිතිය තිබුණේ මියගිය ස්වාමිපුරුෂයාට වුවද කඳ (එනම් ගමන් බලපත‍්‍රයේ සඳහන් නම හා අනෙකුත් විස්තර) වෙන අයකුගේ  වූයෙන් නියම බිරිඳට වන්දිය ලබා ගැනීමට නොහැකිවූ අතර නීත්‍යානුකූලව එය ලබාගැනීමට හැකිවූයේ ඒ වන විටත් ජීවත්ව සිටි ගමන් බලපත‍්‍රය හිමි (එනම් කඳ හිමි) තරුණයාගේ බිරිඳටය. එය ඇයට ලැබුණු හදිසි ධන ලභයකි. නියම බිරිඳට ලක්ෂ ගණනක පාඩුවකි.)


ගෘහසේවය සඳහා තරුණියන් විදේශගත කිරීමට පෙර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මූලිකත්වයෙන් දින 21ක පුහුණුවක් ඔවුන්ට ලබාදෙන බව දැන ගන්නට ඇත. එහෙත් එම පුහුණු වැඩසටහනේ දී ඔවුන් යවන රටේ නීතිරීති පිළිබඳව මූලික දැනුමක් ලබාදෙන්නේ දැයි නොදනිමි. එසේ නොවන්නේ නම් එය පාඩම් මාලාවට ”ඉස්ලාම් ශරියා නීතිය” වැනි විෂයන් ඇතුළත් වියයුතු බව යෝජනා කරමි. නීතියේ බරපතලකම දැන සිටියොත් වැරදී මෙන්ම අත්වැරදී ද සිදුවීම බෙහෙවින් වලක්වා ගත හැක.


යම් බරපතල චෝදනාවක් මත ශ්‍රී ලාංකික සේවකයකු/ සේවිකාවක පොලිස් අත්අඩංගුවට ගතහොත් අදාල පොලිසිය විසින් වහාම ඒ බව තානාපති කාර්යාලයට දැන්විය යුතු බවටත් එම නිලධාරියකු පැමිණෙන තුරු ඇගෙන් හෝ ඇයගෙන් ප‍්‍රකාශයක් සටහන් කිරීම ප‍්‍රමාද කරන ලෙසටත් එරට සමග එකඟතාවයක් ඇතිකර ගත යුතුය.


යම් චෝදනාවක් මත කිසියම් අයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගත්කල ඒ පිළිබඳව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ද එහි යන සේවක සේවිකාවන්ට උපදෙස් දීම කළයුතු වන්නේය. නිදසුනක් වශයෙන් තානාපති කාර්යාලයේ නිලධාරියකු නැතිව තමන් නොදන්න භාෂාවෙන් ලබාගන්නා ප‍්‍රකාශයකට අත්සන් කිිරීම පතික්ෂේප කිරීමත් කුමන ආකාරයකින් හෝ සිද්ධිය හැකි ඉක්මනින් තානාපති කාර්යාලයට දන්වන ලෙසත් ඔවුන්ට උපදෙස් දිය යුතුය.
 මෙවන් ආරංචියක් දැනගත් වහාම තානපති නිලධාරීන් විසින් එයට ප‍්‍රමුඛත්වය දී හැකි ඉක්මනින් භාෂා පරිවර්තකයකු සමග අදාල පොලිස් ස්ථානයට ගොස් සේවකයාට හෝ සේවිකාවට සහය වන ලෙස තානාපති කාර්යාලවලට උපදෙස් නිකුත් කළ යුතුය.


වරදකට සැකපිට අත්අඩංගුවට ගන්නා සේවකයන් හෝ සේවිකාවන් වෙනුවෙන් නිසි නීති ආධාර ක‍්‍රමයක් තානාපති මට්ටමින් නැතිවීම ද බලවත් පාඩුවකි. මෙම තත්ත්වය නිසා බොහෝ විට විත්තිකරුවන් වෙනුවෙන් අ ධිකරණයේ පෙනී සිටිනුයේ එරට රජයේ නීතිඥයන්ය. ඔවුන් එම රජයේ වැටුප් ලබන සේවකයන් බැවින් ඔවුන්ගෙන් උසස් සේවයක් බලාපොරොත්තු විය නොහැක. සාමාන්‍යයෙන් පළපුරුදු දක්ෂ නීතිඥවරයකුට ලක්ෂ ගණනක් ගෙවීමට සිදුවේ. ඒ සඳහා තානාපති කාර්යාවලට ප‍්‍රතිපාදන සලසා නැති අතර එතරම් විශාල මුදලක් මේ සඳහා වැය කිරීමට අදාල සේවකයාට හෝ ඔහුගේ හෝ ඇයගේ දෙමාපියන්ට හැකියාවක් ඇතැයි සිතිය නොහැක. දැනට එරට සේවය කරන ශ්‍රී ලාංකිකයන් රහසේ මුදල් එකතුකොට මෙම තත්ත්වයට මුහුණ දෙන මුත් මුදල් ආධාර එකතු කිරීම අරාබි රටවල පවතින ඉස්ලාම් නීතියට පටහැනි ක‍්‍රියාවකි. එබැවින් මෙම තත්ත්වයට කෙලින්ම රජය මැදිහත්වී රජයේ වියදමින් නීති ආධාර සැපයීමට සුදුසු වැඩපිළිවෙලක් සැකසිය යුතු බව යෝජනා කරමි. කම්කරු සුබසාධක නිලධාරියාට අමතරව භාෂා දැනුම ඇති සුදුසු නීති නිලධාරියකුද තානාපති කාර්යාලයට අනුයුක්ත කිරීමද සුදුසු බව පෙනේ.


විදේශ සේවයේ නියුක්තව සිටින්නන් වනාහී මෙරටට විදේශීය විනිමය උපයාදෙන පිරිසකි. එවැනි අය රැක ගැනීම රජයේ මෙන්ම අප කාගේත්  වගකීමකි.

 
සරත් රුද්‍රිගු හිටපු පළමු ලේකම්
(කම්කරු)
(අබුඩාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය)



අදහස් (0)

රිසානා බේරාගන්න බැරිවුණේ ඇයි?

නිත්‍යා Saturday, 02 February 2013 03:13 PM

අපිත් අහන්නේ ඒක තමයි (ස)

:       0       0

ශාම් Monday, 28 January 2013 11:48 AM

ඒ මවයි පියයි අසාර උනා (දී)

:       0       0

ජනක. Sunday, 27 January 2013 06:32 PM

මේක තමයි ඇත්ත. අනෙක තමයි ප්‍රශ්නයක් වුණහම බේරගන්න බැරි රටවලට යන්න නරකයි. (නි)

:       0       0

විලේගොඩ Friday, 08 February 2013 09:39 AM

දන්නෝ දනිති , නෙදන්නෝ නොදනිති දන්නෝ නොගනිති , නොදන්නෝ ගනිති (ස)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 27 January 2013 07:06 PM

එයාලගේ ගෙවල් වල මෙහෙකාරකමට අපේ ගෙවල් වල කාන්තාවන් යවද්දී අපිට පිළිගැනීමක් තියෙයිද? (නි)

:       0       0

මධු Tuesday, 29 January 2013 12:44 PM

මම වගේ උනානම් ඉස්සෙල්ලාම කරන්නේ අපේ රටේ විදේශ තානාපති කාර්යාලයේ ඉන්න ප්‍රධානියා සමග හොදින් කතා කරලා බලනවා.. වැඩේ හොදින් බේරගන්න බලනවා.. නැත්නම් එහෙම තානාපති කාර්යාලයක් ලංකාවෙ තියෙන එකෙන් තේරුමක් නැහැනේ.. ලංකාවෙ සමහර අය නිසා තමයි අහිංසක මිනිසුන් දුක් විදිනවා.!(නු)

:       0       0

මුදිත Sunday, 27 January 2013 01:11 PM

පවු අසරණ කෙල්ල (දී)

:       0       0

දසුන් Sunday, 27 January 2013 08:16 PM

බිරින්දෑවරුන්ව රට යවලා සැමියා ගෙදරට වෙලා මත්පැන් බිබී ඉන්නවා. ඒක හුගක් ගෙවල් වල වෙන දෙයක්. (නි)

:       0       0

මොහාන් Monday, 28 January 2013 10:09 AM

අන්තිමේ කොහොම උනත් රිසානා නැති උනා (දී)

:       0       0

අනුර Sunday, 27 January 2013 02:28 PM

මෙයින් පෙනී යන්නේ රටකෙරෙහි ජාත්‍යන්තරයේ පිලිගැනීමයි..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

දිඹුලාගල සිංහයා - කිතලගම නාහිමි
2024 මැයි මස 25 37 0

රට, ජාතිය, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් කර මෙරට වැඩිම දරු පරපුරක්, සම්බුද්ධ ශාසනයට ඇතුළත් කරගත් දිඹුලාගල හාමුදුරුවන් හෙවත් මාතර කිතලගම ශ්


ජනපතිවරණයට උතුරු - දකුණ ඡන්ද සාධක
2024 මැයි මස 25 62 0

ලක්ෂ ගණනක් ජනතාව 2012 දී වීදි බැස ආණ්ඩුවට එරෙහිව මාස හතරක් පුරා අරගල කරන්නට පොළඹවමින් උත්සන්න වූ ආර්ථික අර්බුදය හේතුවෙන් රටපුරා අති බහුතරයකගේ සාම්ප්‍රද


පාසල් අසල මාර්ගවල රථවාහන පාලනයක් ඕනෑ
2024 මැයි මස 25 15 0

අනතුරු සිදු වන්නේ කල් ඇතිව දැනුම් දී නොවේ. එහෙත් ඇතැම් අනතුරු වළක්වාගත හැකිය. එයට එළැඹගත් සිහියෙන් ක්‍රියා තළ යුතුය. එසේම ඇතැම් අනතුරුවලට හේතුව නොසැලක


චිත්‍රපට අරමුදලක් වහාම ඕනෑ
2024 මැයි මස 24 311 0

ඔහු මෙරට සිනමාව, ටෙලිනාට්‍යය යන අංශ ද්විත්වයේ නිතරම තම අධ්‍යයන කටයුතු සිදුකරන නිර්මාණශීලී අධ්‍යක්ෂවරයෙකි. ‘‘සුදු කළු සහ අළු’’ යන සිනමා පටය නිර්මාණය ක


සංස්කෘතික විප්ලවයක අවශ්‍යතාව
2024 මැයි මස 24 156 2

ලෝක පූජිත භෞතික විද්‍යඥ සහ සාපේක්ෂතා න්‍යායේ නිර්මාතෘ ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සුප්‍රකට ප්‍රකාශයක් පහත එන පරිදි ය. “නූතන ලෝකයේ විද්‍යාත්මක අවශ්‍යතා


ජාතික ආරක්ෂාවේ සූදානම නිරන්තරයෙන් අවශ්‍යයි
2024 මැයි මස 24 152 0

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානයෙන් සිටීමේ වැදගත්කම අවධාරණය කෙරෙන සිද්ධියක් පසුගිය දින කිහිපය පුරාම අප පුවත්පත වාර්තා කළේ ය. එම සිදුවීම නම්, ඉන්දියා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 936 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2487 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2134 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site