ලංකාවට හෝ ආණ්ඩුවට එරෙහිව ජිනීවා යෝජනාව ඒමේ පසුබිම කුමක්ද? එය පරාජයවීමෙන් ලංකාවට අත්වන ඉරණම කුමක්ද? උගත් පාඩම් කොමිෂන් නිර්දේශ ක‍්‍රියාත්මක කර රට අනතුරින් ගලවා ගන්නට ආණ්ඩුව සූදානම්ද ආදී කරුණු ගැන වැවිලි කර්මාන්ත හා මානව හිමිකම් ඇමැති මහින්ද සමරසිංහගේ මතවාදයි මේ. ප‍්‍රශ්නය:- ආණ්ඩුවත් රටත් දේශීය හා ජාත්‍යන්තර ලෙස ගිනියම්වූ පසුබිමක් තියෙන්නේ. ජිනීවා යෝජනාව හා ලංකාව ලැබූ පරාජය ගැන ඔබේ මූලික විග‍්‍රහය කුමක්ද? පිළිතුර:- යුද්ධය යන කාලේ හෝ ඉන් පසුව ලංකාව තුළ ප‍්‍රශ්න ඇති වුණා නම් ඒවා රට ඇතුළේ විසඳා ගැනීම කළ යුතු බවයි ආණ්ඩුවේ ස්ථාවරය වුණේ. අපේ ප‍්‍රශ්න ජාත්‍යන්තරයට ගෙන යාම ගැන අපි විරුද්ධයි. ඒ පදනම අදත් එහෙමයි. මේවා ලෝකයට ගෙනියන්න ඇතැම් අය කටයුතු කළේ ඇයි. ඔවුන්ට  ඕනෑ ලංකාවේ සාමය ඇති කරන්න අපට සහය දෙන්න නෙවෙයි. ආණ්ඩුව යන ගමන කඩාකප්පල් කරලා රට අස්ථාවර කරලා ඒ අයගේ දේශපාලන හා වෙනත් අරමුණු ඉටු කරගන්නයි බලන්නේ.   ප‍්‍රශ්නය:- ඔබ මේ චෝදනා කරන්නේ විපක්ෂයටද දෙමළ ඩයස්පෝරාවටද විදේශ රටවල ආණ්ඩු වලටද?. පිළිතුර:- ආණ්ඩුව ශක්තිමත්. ජනාධිපතිතුමාගේ ජනප‍්‍රියතාව 2/3 ක බලය, නොසෙල්වී තිබෙනවා. ඡුන්ද ප‍්‍රතිඵල තුළින් ජනතාවත් ආණ්ඩුව සමග බව සනාථ වෙනවා. එජාපය දෙකඩවෙලා ඇතුළේ විශාල ගැටුම් ඇති කරගෙන නිසා අද විපක්ෂයකුත් නැහැ. මේ නිසයි විපක්ෂය විසින් මොන ක‍්‍රමයකට හරි ආණ්ඩුව දුබල කරන්න හදන්නේ. ප‍්‍රශ්නය:- විපක්ෂයේ වගකීම ආණ්ඩුවේ නිරුවත එළිකරලා ආණ්ඩුව අපහසුතාවයට ලක් කර බලය පිටුපස හඹා යාම මිසක් මොන විපක්ෂයද ආණ්ඩුව ශක්තිමත් කරන්නේ. පිළිතුර:- ඒක මම නැහැ කියන්නෙ නෑ. ඒත් මෙතැනදී ඔවුන් රටේ හා ජනතා අභිවෘද්ධිය මෙන්ම රටේ ප‍්‍රතිරූපය උගස් කරලා ක‍්‍රියාකිරීම අනුමත කරන්න පුළුවන්ද? රටට අවාසි කිරීම අනුමත කරන්න පුළුවන්ද?   ප‍්‍රශ්නය:- 1987 භීෂණ කාලෙත් ලංකාවට එරෙහිව ජිනීවාවල ප‍්‍රශ්න ආවා. එවකට විපක්ෂයේ ප‍්‍රබලයන් එනම් අද මේ රටේ ප‍්‍රබලයන් ඡායාරූපත් අරන් ජිනීවා ගියේ නැද්ද? ඒත් මෙවර ලංකාවේ විපක්ෂයේ කිසිම පක්ෂයක් ජිනීවා ගියේ නෑ නේද? පිළිතුර:- එදා දකුණේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කටයුතු සිදුවුණාම හමුදා රටේ සාමය ඇති කරන්න වගකීම බාර අරන් ක‍්‍රියා කළාම මානව හිමිකම් ගැන ප‍්‍රශ්න ඇති වුණාම ඒවා ජාත්‍යන්තරයට ගෙනගිහිං අගතියට පත් අයට සාධාරණයක් ඉටු කරන්න වෑයමක් එවකට විපක්ෂය කළා. ඒත් මෙතැන ප‍්‍රශ්නය තියෙන්නේ රට බෙදන්න හැදීමයි. එවැනි පිරිසකට එරෙහිව ක‍්‍ර‍්‍රියා කළ හමුදාවකට චෝදනා එල්ල වෙන්න ඉඩ දෙන්න නරකයි. රට වසර 30 ක් ත‍්‍රස්තවාදීන් අස්ථාවර කළා. තව දුරටත් රට අස්ථාවර කරන්න ක‍්‍රියා කිරීම යුක්ති සහගතද? අසීරුවෙන් දිනාගත් නිදහසට අභියෝග කිරීම හරිද? අපේ හමුදාව ත‍්‍රස්තවාදය නැති කරන්න මිසක් අපේම ජනතාවගේ මානව හිමිකම් හිතා මතා කඩන්න කිසිම උත්සාහයක් කළේ නෑ. හමුදාව කළ ජීවිත පරිත්‍යාගය විසිකරලා ඔවුන්ට බොරු චෝදනා දාලා ඩොලර් වලට යටවෙලා රටට අහිතකර දේ කරන පිරිසක් අද ඉන්නවා. මේ උත්සාහයේ යම් දේශපාලන අරමුණුත් තිබෙනවා. ආණ්ඩුවක් ලෙස ඒ අභියෝග වලට මුහුණ දීලා රටට හා රණවිරුවන්ට අගෞරවයක් හා ජාත්‍යන්තර බලපෑම් ඒමට එරෙහිව අප ක‍්‍රියා කරනවා. ජාත්‍යන්තරවත් රටට එරෙහි කුමන්ත‍්‍රණයක් තියෙනවා.   ප‍්‍රශ්නය:- මේ ආණ්ඩුව ලංකාවේ ත‍්‍රස්තවාදය මර්දනය කළ නිසා ජාත්‍යන්තරය ලංකාව යටපත් කර මර්දනය කරන්නට හදන බව ආණ්ඩුවේ විග‍්‍රහයයි. ඇත්ත ඒකද? යුද්ධය දිනන්නට ඉන්දියාව, ඇමෙරිකාව, බි‍්‍රතාන්‍ය ඇතුළු අය විශාල සහායක් දුන්නෙ නැද්ද. තාක්ෂණ හා බුද්ධිමය සහය වගේම ආයුධත් දී කොටි හා බැංකු ගිණුම් තහනම් කළා. 2005 සිට මේ දක්වා ආණ්ඩුව තුළ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී මර්දනකාරී පාලනය නේද අද ලෝකය විසින් ප‍්‍රශ්න කරන්නේ. පිළිතුර:- අද ලංකාවට ගහන බොහෝ රටවල ප‍්‍රධාන ව්‍යාපාරය අවි නිෂ්පාදනය හා වෙළෙඳාමයි. යුද්ධ නවත්වන්න නෙවෙයි දිගටම කරන්නයි ඔවුන් බලන්නේ. දෙපැත්තටම අවි දීමත් ඔවුන් කරනවා. කියුබා තානාපති මානව හිමිකම් එකේ දී කිව්වේ ලංකාවට අවි 40% ක් දීලා තියෙන්නෙ ඇමෙරිකාව බවයි. දෙපැත්තටම අවි විකුණු බවත් සංඛ්‍යා ලේඛණ ඇතිව ඔහු කිව්වා. යුද්ධ තව කරන්න මිසක් නැති කිරීම මොවුන්ගේ අරමුණ නොවෙයි.   ප‍්‍රශ්නය:- ඒත් කොටි හා බැංකු ගිණුම් තහනම් කර ජාත්‍යන්තරය අපට සහය දුන්නෙ නැද්ද? පිළිතුර:- කදිර්ගාමර් මහතාගේ වෑයම නිසයි ඇමෙරිකාව හා යුරෝපා රටවල ඒක ක‍්‍රියාත්මක වුණේ. හමුදාවේ යුද මෙහෙයුම් අන්තිම මොහොතේ නතර කරන්නත් ඔවුන් කොච්චර උත්සාහ කළාද? මෙහේ තානාපති කෙනෙක් අපට කිව්වා එයාලගෙ නැව් ගෙනැත් යාපනේ ජනතාව ත‍්‍රිමලේට ගෙනත් දෙන්නම් කියලා. ජනතාව අතරට කොටි නායකයොත් දාලා ඔවුන් මුහුදෙදි වෙනත් නැව්වලට මාරුකිරීමේ සැලසුම් තිබුණාද නැද්ද කවුද දන්නේ. ආණ්ඩුවක් හැටියට එවැනි විශාල කැපවීම් කරලා අභියෝග මැදිනුයි යුද්ධය දිනුවේ. ඒ ජයග‍්‍රහණය ගැන ඇතැමුන්ට යම් ඊර්ෂ්‍යාවක් ඇතිවී තිබෙනවා. රණවිරුවන් අමාරුවේ වැටුණත් තම අරමුණු ඉටු කරගන්න සමහරු හදන්නේ ඒකයි.   ප‍්‍රශ්නය:- ඒත් හමුදා වලට එරෙහිව ක‍්‍රියා කරන්නේ වෙන අයද ආණ්ඩුවේම දැයි ප‍්‍රශ්න කරන්න වෙනවා. යුද්ධයේ නියමුවා දේශපාලන පළිගැනීම්වලට හිරේ දමා ඇති බවට ආණ්ඩුවට චෝදනා එල්ල වෙනවා. එසේම යුද්ධයේ අන්තිම කාලේ හමුදා මානව හිමිකම් කඩ කළා නම් ඒ ගැන පරීක්ෂණ කර දඬුවම් කිරීමට යුද අධිකරණයකුත් ඇති කරන බවට ආණ්ඩුව ප‍්‍රතිඥා දී තියෙනවා නේද? පිළිතුර:- රණවිරුවන් පාවා දෙන්න ආණ්ඩුව ක‍්‍රියා කරන බව ඔළුව තිබෙන කාටවත් කියන්න බෑ. රණවිරුවන් කළ පරිත්‍යාගය නිසා අපි ඔවුන් රකිනවා. ඒකෙ දෙකක් නෑ. අනික අපේ හමුදාවට අපේම ජනතාවගේ මානව හිමිකම් කඩන්න කිසිම අපේක්ෂාවක් තිබුණෙ නෑ. ඇත්ත ඒකයි.   ප‍්‍රශ්නය:- ලංකාවේ ත‍්‍රස්තවාදය නිම කළ කාලේ යුරෝපා රටවල් ලංකාවට එරෙහිව මානව හිමිකම් ගැන ගෙනා ජිනීවා යෝජනාව වෙනුවට ඔබ ලංකාවේ මිත‍්‍ර රටවල් හා එක්ව වෙනත් යෝජනාවක් ගෙනත් එය ජයගත්තා. එහෙව් අතීතයක් තිබියදී අපි මෙවර පරාජය වුණේ ඇයි.? පිළිතුර:- එදා හා අද තත්ත්වය හුඟක් වෙනස්. එදා ඇමෙරිකාව මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වය අරන් තිබුණෙ නෑ. ඔවුන් කවුරු කැමැති හෝ අකමැති පැති කීපයකින් බලවත්ම රටයි. ඔවුන්ට සමහර තැන්වල කළ හැකි දේ අසීමිතයි. එදා ඇමෙරිකාව වෙන රටවල යුද්ධ කරපු ආකාරය නිසා මානව හිමිකම් ප‍්‍රශ්නයෙන් ඇමෙරිකාව වසන් වෙලයි හිටියේ. ඔබාමා ජනාධිපතිතුමා ආවාමයි දැන් ඒ පැත්තත් බලන්නේ. 2009 දී ඉන්දියාව අපිත් එකක් හිටියා. මෙවරත් ඉන්දියානු අගමැති ලෝක් සභාවේදී ප‍්‍රකාශය කරන්න කලින් ලංකාව ඡන්දයකින් හෝ දෙකකින් දිනන තත්ත්වයක් තිබුණේ. ඒ ප‍්‍රකාශය නොකර ඔවුන් අපට විරුද්ධව ඡන්දය දුන්නත් ලංකාවට මෙච්චර හානියක් වෙන්නෙ නෑ. මොකද ඉන්දියාව පැය 72 කට පෙර කළ ප‍්‍රකාශය ගැන බොහෝ රටවල් හිතන්න ගත්තා. ඒත් රටවල් 47 න් 23 ක් ඇමෙරිකාවට පක්ෂ වුණේ නෑ.   ප‍්‍රශ්නය:- 77 දී ජේ.ආර්. ඉන්දියානු සාධකය වරද්දාගෙන මේ රටට ත‍්‍රස්තවාදීන් පුහුණු කරලා ඉන්දියාවෙන් අපිත් සමග කැඳවා ගෙන රටට විශාල විපතක් කළා. මේ ආණ්ඩුව දැන් ඊටත් වැඩි ප‍්‍රමාණයකින් ඉන්දියාව වරද්දාගෙන තිබෙනවා. 13+ කියමින් ඔවුන් දිගටම ගොනාට ඇන්දීම හෑල්ලූ කිරීම ආදිය නිසා ඉන්දියාව වෙලාව බලලා ලංකාවට ”ෂොට්” එක දුන්නා. ඔබේ ප‍්‍රතිචාර....? පිළිතුර:- ඉන්දියාව ඇමෙරිකාවත් එක්ක එකතු වෙලා ක‍්‍රියා කළ ආකාරය ගැන ඉන්දියාව තුළ ලොකු සංවාදයක් බෙදීමක් තිබෙනවා. ළඟම රටකට එරෙහි යෝජනාවක් ඇමෙරිකාව හා බටහිර රටවල් ගෙනාවාම ඉන්දියව ඒ පැත්ත ගත්තේ ඇයි කියලා අහන අය ඉන්නවා. ජනමාධ්‍යයක් ඒ සංවාදය ගෙනියනවා. මොන හේතුමත ඒ තීන්දුව ඉන්දියාව ගත්තද කියන එක ගැන මම කියන්න දන්නෙ නෑ. ඉන්දියාවයි ඒක පැහැදිලි කළ යුත්තේ. අපි ඒ තීන්දුව ගැන කනගාටු වෙනවා. ඉන්දියාව එක්ක අපිට හැප්පෙන්න වුවමනා නෑ. අපට ඔවුන් වගේම ඔවුන්ට අපිත් ඉතා වැදගත් වේවි. ඉන්දියාව එක්ක සබඳතා වහාම තර කර ගත යුතුයි කියන තැනයි මම ඉන්නේ.   ප‍්‍රශ්නය:- 2009 දී ජිනීවා වලදී ඔබ ලෝකය ජයගත් වෙලාවේ ලබාදුන් පොරොන්දු ඉටුකරමින් ඔබ ලබාදුන් අවස්ථාවෙන් ආණ්ඩුව ප‍්‍රයෝජන නොගැනීම මෙවර පරාජයට මුල නේද? පිළිතුර:- ඒ තර්කය මම ප‍්‍රතික්ෂේප කරනවා. 2009 ඉඳලා අපි විශාල ප‍්‍රගතියක් හැම පැත්තෙන්ම ගත්තා. ලංකාව ලබා ඇති ප‍්‍රගතිය අමතක කරලා වෙනත් හේතු මතයි මෙවර ජිනීවා යෝජනාව ගෙනාවේ. අපේ ප‍්‍රගතිය සමාලෝචනය කළා නම් අපට එරෙහි යෝජනාවක් ගේන්න ඉඩ ලැබෙන්නෙ නෑ. අවශ්‍යතාවක් මතුවෙන්නෙත් නෑ. ඒ තරම් වැඩ කොටසක් අපි කරල තියෙනවා. බිම් බෝම්බ ඉවත් කිරීම, එල්.ටී.ටී.ඊ. අය පුනරුත්ථාපනය කරලා සමාජගත කිරීම යළි පදිංචිය, ඡන්ද පැවැත්වීම, උතුරු නැගෙනහිර සංවර්ධනය ආදී කටයුතු වලින් අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදීව ක‍්‍රියා කරන්න සියලූ ජනතාව වෙනුවෙන් පෙනී සිටින ආණ්ඩුවක් බව ඔප්පු කළා. ඔවුන් 2009 ලංකාවට පැරදුණු මොහොතේ ඉඳලා අපට ‘රිටර්න්’ එක දෙන්නයි බලා සිටියේ. පරාද වෙලා ලැජ්ජාවකට පත්වෙලයි ඔවුන් හිටියේ ඒ වෛරය හා ලජ්ජාවයි මෙවර පිරිමහ ගත්තේ. මෙදා ඇමෙරිකාව යුරෝපයටත් පණිවිඩයක් දීල තියෙන්නේ. එනම් ඔයාලට 2009 දී බැරිවූ දේ අපි කරලා පෙන්නුවා ඒ නිසා අපි නැතුව ඔයාලා ට කිසිම හයියක් නෑ කියන පණිවිඩයත් ඇමෙරිකාව යුරෝපයට දුන්නා.   ප‍්‍රශ්නය:- ඇමෙරිකාව හා යුරෝපය එකතු වෙලා ලංකාවට ‘රිටර්න්’ එකක් දුන්නා නම් ලංකා ආණ්ඩුව ඒ සඳහා ඔවුන්ට විශාල සහයාක් ලබාදීලා තියෙනවා. නේද? ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම්, යහපාලනය, මාධ්‍ය නිදහස, නායයාම, සුදු වෑන් සංස්කෘතිය, නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම, උතුරට විසඳුමක් නොදීම, ස්වාධීන 17 අහෝසි කර ඒකාධිපති 18 ගෙන ඒම, අවි දරන පිරිස් හා ඝාතන අද මේ රට තුළ ඔඩු දුවලා. ආණ්ඩුව නේද ජාත්‍යන්තරයට මේ තුරුම්පු ලබා දුන්නේ. පිළිතුර:- ලංකාවට එරෙහි යෝජනාවක් ගේන්න ඔබ මතු කළ ගැටලූ පදනම නම් ඒ වගේ යෝජනා විශාල ප‍්‍රමාණයක් ඇමෙරිකාවට විරුද්ධව ගේන්න වෙනවා. ඇෆ්ගනිස්ථානයේදී, ඉරාකයේදී, ඇමෙරිකා හා බටහිර හමුදා ක‍්‍රියාකර හැටි බලන්න. ඒව නොවෙයි කලින් ලැබූ පරාජය වහගන්නයි ඔවුන් මූලිකත්වය දුන්නේ.   ප‍්‍රශ්නය:- ලංකා ආණ්ඩුවට එරෙහිව ඇමෙරිකාව මෙවර ජිනීවාහිදී ගේන්න හැදු මුල් යෝජනාවේ තිබුණේ මානව හිමිකම් කඩමින් එක්සත් ජාතීන්ගේ නීති හා සම්මුති කඩ කිරීම්වලට හා ලංකාව තුළ යහපාලනය ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැළලීමට විරුද්ධවයි. ඔබ මෙවර ලංකා කණ්ඩායමේ ප‍්‍රධානියා ලෙස ප‍්‍රකාශ කළේ උගත් පාඩම් නිර්දේශ ක‍්‍රියාත්මක කරන බවයි. ඇමෙරිකාව පසුව මුල් යෝජනාව වෙනුවට නව යෝජනාව ලෙස ඇමෙරිකාව ගෙනාවේ උගත් පාඩම් නිර්දේශ හා යුද්ධයේ අන්තිම කාලේ මානව හිමිකම් කඩවීම පරීක්ෂා කිරීමට ලංකා ජනාධිපති හා බැංකි මූන් අතර 2009දී ඇතිවූ එකඟතාව ක‍්‍රියාත්මක කරන ලෙසයි. මේ යෝජනාවට ලංකාව හරි නම් ඡන්දය දිය යුතු බවත් උගත් පාඩම් නිර්දේශ අවංකව ක‍්‍රියාත්මක නොකරන නිසා ආණ්ඩුව ඊට විරුද්ධවූ බවට ඇති මතය ගැන මොකද කියන්නේ. පිළිතුර:- ඒක නොවෙයි මෙතැන ප‍්‍රශ්නයක් හැටියට ඇති වුණේ. ඔය යෝජනාවේ ඔවුන් මොනවා දැම්මත් අපි මුල ඉඳලම හිටියේ ලංකාව ගැන යෝජනාවක් අවශ්‍ය නැහැ කියන තැනයි. අපේ ප‍්‍රගතිය ලබාගන්න අපට කල් අවශ්‍ය බවත් අපේ ස්ථාවරය වුණා. මොකද උගත් පාඩම් වාර්තාව ඇවිත් තාම මාස 03 යි. එවැනි කෙටි කලකින් ප‍්‍රාතිහාර්යය පාන්න බැහැ. ඒ නිසා ඇමෙරිකාව ගෙනාවේ අසාධාරණ යෝජනාවක් බව අපේ ප‍්‍රතිපත්තිමය ස්ථාවරය වුණා. අපේ ප‍්‍රශ්න ජාත්‍යන්තරයට ගෙන යාමට හා ඔවුන්ගේ මැදිහත්වීමට විරුද්ධවයි අපි හිටියේ. ජාත්‍යන්තරයට අපේ ප‍්‍රශ්න ගියාම ඔවුන් ඒක අතට ගන්නවා. මොකද ලෝකයේ බොහෝ සංවිධාන ඔවුන් අතේයි තියෙන්නේ. ඔවුන් පවත්වන පරීක්ෂණයක් ස්වාධීන නැහැ. බගවතී කොමිසම ලංකාවට ඇවිත් උදලාගම කොමිසමට බලපෑම් කරලා වාර්තා පිට කරලා නොයෙක් දේවල් කළා. අන්තිමේ බගවතී මහතා ඊට විරුද්ධව ඉල්ලා අස්වුණා. ඉන්දියාවේ විනිශ්චයකාරතුමෙක් ලෙස මෙයාලා වැරදි වැඩක් කරන බව පෙනිලයි ඔහු ඒ තීන්දුව ගත්තේ. ඇතැම් ජාත්‍යන්තර පරීක්ෂණ පවත්වන අය නොවෙයි වාර්තා ලියන්නේ.  ඕනෑ  ඕනෑ විදියට වාර්තා ලියල පරීක්ෂණ කරපු අය අත්සන් කරල එළියට දානවා. දරුස්මාන් එකත් ඒ වගෙයි. එවැනි දේවල් වලට ගොදුරු වෙන්න අපි සූදානම් නෑ.   ප‍්‍රශ්නය:- උගත් පාඩම් නිර්දේශ ආණ්ඩුව ක‍්‍රියාත්මක කරනවද නැද්ද? පිළිතුර:- ඒක ආණ්ඩුව පත්කළ කොමිසමක් ඒ නිර්දේශ එන්නත් කලින් ඊට අදාළ කටයුතු ආණ්ඩුව ක‍්‍රියාත්මක කිරීම ආරම්භ කරලයි තිබුණේ. ඒ වැඩ පිළිවෙළ ඉදිරියටම ගෙනියනවා. බොහෝ සිද්ධි ගැන ආණ්ඩුව තව දුරටත් පරීක්ෂණ කළ යුතු බවත් මේ වාර්තාවේ තිබෙනවා. ඒවාත් අපි පටන් අරන් තියෙන්නේ. යුද හා නාවික හමුදා පරීක්ෂණ අධිකරණ මට්ටමෙන් හා නීතිපති දෙපාර්තමේන්තුවේ පරීක්ෂණත් යනවා. ඒවා ඔක්කොම කරලා කරුණු එකතු කරලා තමයි ඊළඟට ගන්නා පියවර තීන්දු කරන්න වෙන්නේ. නැතුව උගත් පාඩම් වාර්තාවේ සියලූ නිර්දේශ ක‍්‍රියාත්මක කළ යුතුයි කියලා එකක් නෑ. බොහෝ නිර්දේශ කළ හැකියි. සමහර ඒවා ගැන තවත් පරීක්ෂණ කරලයි අන්තිම තීන්දුවට ගන්න වෙන්නේ.
සංවාද මෙහෙවර - අශෝක ජයතුංග