දිනය 1985 මැයි 14යි. විල්පත්තු ජාතික උද්‍යානයේ හුනුවිලගම මූලස්ථාන කාර්යාලය සිරිත් පරිදි පෙ.ව. 6.00 ට විවෘත විය. උද්‍යානය නැරඹීමට පැමිණෙන මහජනයාට මග පෙන්වීමේ රාජකාරිය සඳහා සූදානම්ව වනසත්ව නියාමක නිලධාරීහු සහ මාර්ගෝපදේශකයෝ කාර්යාලයට වාර්තාකොට සිටිති. අනිකුත් නිලධාරීහුද පෙ.ව. 8.30 වන විට සුපුරුදු රාජකාරිවල නියැලී සිටියහ. පෙ.ව. 8.45 පමණ වන විට හමුදා නිල ඇඳුම් ඇඳගත් තරුණයන් කණ්ඩායමක් රැගත් බස් රථයක් පැමිණ කාර්යලය ඉදිරිපිට නතර කළේය. ක්‍ෂණිකව බස් රථයෙන් එළියට පැනගත් තරුණයන් අත තිබූ ස්වයංක‍්‍රීය ගිනි අවි කාර්යාලයට එල්ල කරගෙන දෙමළෙන් සහ  සිංහලෙන් කතා කරමින් ”අත් ඔසවාපල්ලා” යයි කෑගසන්නට වූහ. ඒ විල්පත්තු ජාතික උද්‍යානයට එල්.ටී.ටී.ඊ. ප‍්‍රහාරය එල්ලවූ දිනයයි. එම ම්ලේච්ඡු ප‍්‍රහාරයෙන් වනජීවී නිලධාරීන් හා සේවකයින් උද්‍යානයේ තැන තැන 26 දෙනකු ඝාතනය විය. විල්පත්තුවට ප‍්‍රහාර එල්ල කිරීමට පෙර එදින පාන්දර අනුරාධපුරයට කඩා වැදුණු එම ත‍්‍රස්තයෝ අනුරාධපුර නගරය සහ ශ්‍රී මහා බෝධි මළුව එකම ලේ විලක් කළහ. මෙම සිදුවීමත් සමග දින නියමයක් නොමැතිව උද්‍යානය වසා දැමිනි. සියලූ වනජීවී නිලධාරීන් සේවස්ථානවලින් ඉවත්වූ අතර එතැන් සිට උද්‍යානය ශ්‍රී ලංකා යුද හමුදාවේ පාලනයට යටත් විය. මෙසේ වසා දැමුණු විල්පත්තුව යළි මහජනයාට විවෘත වූයේ 2010.පෙබ. 10 දිනයි. කෙසේ වෙතත් මේ වන විට කිසිම බියකින් සැකයකින් තොරව උද්‍යානය නැරඹීමට සහ රාත‍්‍රී උද්‍යාන බංගලාවක නතරවී නගරබද ජීවිතයෙන් ඈත්ව දින දෙක තුනක් තම දරුවන් යහළු යෙහෙලියන් සමග සොබා දහමේ සිරිය නැරඹීමට සහ අත්විඳීමට ශ්‍රී ලංකාවාසීන්ට අවස්ථාව උදාවී තිබේ. ස්වභාවික විල්ලූ රාශියක් පැවතීම නිසා මෙම ප‍්‍රදේශයට විල්පත්තුව යන නම යෙදී තිබේ. පත්තුව ගම්හෝ වසම් කීපයක් එකතුවී සෑදෙන සීමා නියමයකි.

ළඟා විය හැකි මාර්ග

විල්පත්තු උද්‍යාන කාර්යාලයට ළඟාවිය හැකි ප‍්‍රධාන මාර්ග දෙකකි. කොළඹ සිට යන කණ්ඩායමකට මීගමුව, හලාවත, පුත්තලම, තබ්බෝව හරහා විල්පත්තු උද්‍යානයට හැරෙන තිඹිරිවැව (විල්පත්තු) හන්දියට පැමිණ එතැනින් හැරී උද්‍යාන කාර්යාලයට යා හැකිය. එම මාර්ගයේ කොළඹ සිට විල්පත්තු හන්දියට දුර කි.මී. 90කි. එතැන් සිට උද්‍යාන කාර්යාලයට දුර කි.මී. 8 කි. අනුරධපුරයේ සිට යන්නේ නම් නොච්චියාගම හරහා විල්පත්තු හන්දියට දුර කි.මී. 38 කි.  

ඉතිහාසය

ශ්‍රී ලාංකිකයන්ගේ පිළිගත් මතය අනුව විල්පත්තුව සිංහල ජාතියට පදනම වැටුණු ඓතිහාසික භූමියකි. ලංකාවේ ඉතිහාසය ආරම්භ වන්නේ විජය කුමරු විල්පත්තුවේ එක් මායිමක් වන ”තම්බපන්නි” නොහොත් ”කුදිරමලෙයි” වරායට අහම්බෙන් ගොඩ බැසීමත් සමගය. විජය කුමාරයා කුවේනිය ආවාහ කරගත් ඇගේ මාලිගයේ නටබුන් අදටත් කුදිරමලේ සහ කාලිවිල්ලූ පෙදෙසේ දක්නට ලැබේ. විල්පත්තුව නැරඹීමට යන අයට මෙම ස්ථාන කරා යාමට මාර්ගයක් සකසා තිබේ. මීට වසර 2000 පමණ පෙර දුටුගැමුණු රජුගේ පුත් සාලිය කුමරු සිය හීනකුල මනමාලිය වූ අශෝකමාලා සමග ජීවත්වූ බව කියන වීරන්දාගොඩ හෙවත් විලඳාගොඩ රාජධානිය පිහිටා ඇත්තේද විල්පත්තු උද්‍යානයට දකුණු දෙසින් පිහිටි ඉහළ පුලියන්කුලම ගම්මානයට සැතපුම් 3 1/2 පමණ උතුරින් බව සඳහන්වෙයි.

විල්ලූ පද්ධතිය

විල්පත්තු ජාතික උද්‍යානයේ අසාමාන්‍ය භූගෝල විද්‍යාත්මක ලක්ෂණයක් වනුයේ ස්වභාවික වූත් නොගැඹුරු විල් හෙවත් විල්ලූ විශාල සංඛ්‍යාවක් තිබීමය. විල්ලූ පද්ධතිය උද්‍යානයට ලබා දෙනුයේ චමත්කාර ජනක දර්ශනයකි. දීර්ඝ නියං සමයේදී උද්‍යානයේ වන සතුනට ජලය සැපයෙන එකම මූලය විල්ලූය. මෙම ආරක්ෂිත භූමියෙහි විල්ලූ 40 පමණ තිබේ. ප‍්‍රධාන ඒවා මෙසේය. බොරුපන්, නෙලූම්, නමඩ, පනික්කා, ඇතා, ආලම්, තිඹිරි,තලවිල, කාන්ජුරන්, මරෙයි, පෙරියනාග, කතරම්පු, කුඹුක්, මනවිල, කාලි, කුඩා පතැස්ස, උඩප්පු, සෙන්ගපාදු, කාක්කාරිය, දෙමට, කුමුටු, මහ පතැස්ස , කට්ටකන්දල්කුලම්ය, සින්නඋප්පු, විශාලතම විල්ලූව වන කොක්කාරියද ලූණුවිල සින්නඋප්පු ඇතුළු විල් කීපයක ජලය ලූණු සහිතය. අනිකුත් විල්ලූවල පවතින්නේ මෘදු ජලය බැවින් වියළි සමයේ ඒවා ආශ‍්‍රිතව පිපාසයෙන් පෙළෙන වන සතුන් දැකිය හැකිය. ඉන් බොහොමයක් ඡුායරූපගත කිරීමට පැමිණෙන වනජීවී ලෝලීන් හට කදිම ස්ථාන වෙයි.

වනසතුන්

විල්පත්තු උද්‍යානය කවදත් දිවියන් හා වලසුන් නිරතුරුවම දැකිය හැකි ස්ථානයක් හැටියට ප‍්‍රසිද්ධය. වැසි දිනවල වලසුන් හුඹස් බිඳ ඒවා තුළ සිටින වේයන් බුදින අවස්ථා මා දැක තිබේ. විල්ලූ ආශ‍්‍රිත ප‍්‍රදේශවල සැඟවී සිටින දිවියන් තණ බුදින මුව රංචුවක් මැදට පැන තිත්මුවකු බෙල්ලෙන් ඩැහැගෙන වන ලැහැබ දෙසට ඇදගෙන යන විටදී හුස්මක් ගැනීමට දිවියා කට ඇරිය අවස්ථාවක මුවා ක්‍ෂණයකින් පැන ගිය හාස්‍යජනක අවස්ථාවක් ඡායාරූප ගත කළ අයෙක් 1968 වර්ෂයේ මා එහි සේවය කළ දිනක ඡායාරූපය මට පෙන්වීය. තවත් වරක් වල් ඌරන් රංචුවක් මැදට පැන පැටවකු ඩැහැගැනීමට තැත්කළ අවස්ථාවක ඌරු රංචුව විසින් දිවියා වටකරගෙන මිය යන තුරුම පහර දෙන ලදී. විල්පත්තුව වාසභූමි කොටගත් අනිකුත් ක්‍ෂිරපායි සතුන් වන්නේ ගෝනා, වැලිමුවා, මීමින්නා කුළුහරකා, දඬුලේනා කලවැද්දා, හිවලා, වඳුරා (Grey langur)  උරුලෑවා (Golden palm Civet)  ය. විල්පත්තුවේ අලි රංචු දැකිය හැක්කේ කලාතුරකිනි. එහෙත් විල්ලූ ප‍්‍රදේශයෙන් බැහැර තනි අලියන් හෝ අලි දෙදෙනා තුන්දෙනා හමුවන අවස්ථා තිබේ. අලි රංචු දැකිය හැක්කේ සවස් යාමයේ උද්‍යානයට දකුණින් පිහිටා ඇති තබ්බෝව වැවේදීය. විෂකුරු සර්පයන් වන නයා පොළඟා කරවලා, මෙහි ජීවත් වුවත් සතුන් නැරඹීමට පැමිණෙන මහජනයාට ඔවුන්ගෙන් අවදානමක් නැත. ලූණු සහිත විල්ලූ හැරෙන්නට අනිකුත් සෑම විල්ලූවකම පාහේ කිඹුලා ජීවත්වේ. උද්‍යානයේ බටහිර සීමාව (Marinturies)වෙරළ ආශ‍්‍රිත මහ මුහුදේ මුහුදු ඌරා (Dugong)සහ කැස්බෑවා ජීවත් වුවත් දෛනික අමුත්තන් හට උන් දැක ගත හැකි නොවේ. මීට අමතරව වර්ණවත්වූ ඇඹලකොකා (Painted stork) දෑ තුඩුවා (Isbis) හැඳි කොකා  (Spoonbill)  කළපු කොකා (Eastern grey heron) දියකාවා (Cormorant  ඇතුළු විවිධ පක්ෂීන් විශේෂ මෙහිදී පහසුවෙන් ඡායාරූප ගත කළ හැකිය. සර්පරාජාලියා (Serpeant eagle) ලූල් මාරලා (Fish eagle) ආදී උකුස්සන් මා නිරීක්ෂණය කොට ඇති අනෙකුත් පක්ෂීන්ය. විල්පත්තුවේ මුවා සහ ගෝනා  (Sambur) ගැන ලියන විටදී එහි 1956 වසරේ සිදුවී ඇති විශේෂ සිද්ධියක් සිහියට නැගේ. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු 2500 වැනි බුද්ධ ජයන්තිය සැමරීමේ උත්සවය ශ්‍රී ලංකාවේ මිහින්තලයේ පවත්වන්නට යෙදින. උත්සවයට සහභාගිවීමට පැමිණි රාජ්‍ය නායකයන් අතර නේපාලයේ මහේන්ද්‍ර රජු ද විය. උත්සවයට පෙර දින රජතුමා බිසව සහ ආරක්ෂක නිලධාරීන් විල්පත්තු උද්‍යානයේ සංචාරයක් සඳහා ගියෝය. උද්‍යාන ගේට්ටුවෙන් ඇතුළු වන විටත් කළුවර වැටී ඇත. ටික දුරක් යන විට ජීප් රථවලින් විහිදෙන කෘත‍්‍රිම විදුලි ආලෝකය හේතුවෙන් පාර මැද සිටි ගෝනකු ඇස් අන්දවී ඒ මේ අතර හැරෙන්නට විය. මෙය දුටු මහේන්ද්‍ර රජු ආරක්ෂක නිලධාරීන් අත තිබූ රයිපලයක් උදුරාගෙන ගෝනාට එක වෙඩිල්ලක් තැබීය. එම උණ්ඩය ගෝනාගේ ඇස් දෙක අතරින් නළල පසාරු කරගෙන ගොස් ගෝනා මැරී වැටිණ. බෞද්ධ උත්සවයකට ප‍්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූ රජතුමා පුන් පොහෝ දිනක ගෝනකු වෙඩි තැබීමේ සිද්ධිය පසුදින ප‍්‍රවෘත්ති පත‍්‍ර සියල්ලේම පළවිය. සිද්ධියට පසු දින මහේ්න්ද්‍ර රජතුමා උත්සවයට සහභාගි වී නේපාලය බලා යන ලද්දේ එතුමන්ට ආරාධනය කළ ශ්‍රී ලංකා අග‍්‍රාමාත්‍යවරයා දැඩි අසීරුවට පත් කරමිනි.

වෘක්ෂ ලතාදිය

ලංකාවේ වියළි කලාපයට පොදුවූ සියලූම ගස් විශේෂ මෙම උද්‍යානයේදී දැකිය හැකිය. පලූ වීර, බුරුත, වෑවරණ, හල්මිල්ල, කලූවර, තෙළඹු ආදී දැවමය වටිනාකමකින් යුත් ගස් දැව සොරුන්ගෙන් ආරක්ෂා කර ගැනීම නිලධාරීන්ට අභියෝගයක්ව පවතී. උද්‍යානයේ කොල්ලන්කනත්ත ප‍්‍රදේශයේ තිබෙන විශේෂ වූ ගසක් පිළිබඳව සටහනක් තැබිය යුතුය. එනම් ”බැ ඕබැබ්” (Baobab Adansonia digitata) ගස පිළිබඳවයි. මෙම ශාකය ආදී යුගයේ අරාබි වෙළෙන්දන් විසින් අප‍්‍රිකාවෙන් ගෙන එන ලද්දකි. මෙම ගස් 65 ක් විල්පත්තු උද්‍යානයේ සහ ඉන් පිටත මන්නාරම අසල ඇති බව මා එහි සේවය කළ වකවානුවේ නිරීක්ෂණය කොට තිබේ.

මාර්ග පද්ධතිය

උද්‍යානයේ මාර්ග පද්ධතිය දළ වශයෙන් කි.මී. 300 කි. මාර්ග බොහොමයක් වැලි සහිතය. කෙසේ වෙතත් වන සතුන් නැරඹීමට යාම සඳහා රෝද 04 ක‍්‍රියා කරන (4 Wheel Drive) ජීප් හෝ කැබ් රථයක් අවශ්‍ය වේ. යාල උද්‍යානයේ මෙන් කාර් හෝ වෑන් රථ මෙහි ධාවනය කළ නොහැක. එවැනි රථවලින් උද්‍යාන කාර්යාලය දක්වා යන අයට ගේට්ටුව යාබද ස්ථාන (පෞද්ගලික) කිහිපයකින් කුලියට ජීප් හෝ කැබ් රථ ලබාගත හැකිය. උද්‍යානයට පිවිසීමේ බලපත‍්‍ර නිකුත් කරනුයේ උද්‍යාන කාර්යාලයෙන්ය. මාර්ගෝපදේශකයකු ද එහිදී ලබාදෙනු ඇත. අය කරන ගාස්තු පහත පරිදිය. ලංකාවේ පදිංචි නේවාසික අයගෙන් එක් අයකුට දිනකට රුපියල් 60 බැගිනි. එක් කණ්ඩායමකට මාර්ගෝපදේශ ගාස්තුව රු. 300 කි. වාහන ඇතුල් කිරීමේ ගාස්තුව ජීප් හෝ කැබ් රථයක් වෙනුවෙන් රු. 250 ක් වන අතර බස් වෑන් කාර් රථ ධාවනය කළ නොහැකිය. විදේශික අමුත්තන්ගෙන් දිනකට එක් අයකු වෙනුවෙන් ඩොලර් 15 ක් ඇතුළුවීමේ ගාස්තුව අය කරන අතර කණ්ඩායමටම මාර්ගෝපදේශක ගාස්තුව ඩොලර් 8 කි. වාහන ඇතුල් කිරීමේ ගාස්තුව බස් හෝ ජීප් රථයකට රු. 250 ක් බැගිනි. උද්‍යාන කාර්යාලයෙන් අමුත්තන් සඳහා වාහන ලබාදෙනු නොලැබේ.  

සංචාරකයන් සඳහා නවාතැන් පහසුකම්

උද්‍යානය වසා දැමීමට පෙර විල්පත්තු උද්‍යානයේ සංචාරක බංගලා 10 ක් පවත්වාගෙන ගියද මේ වන විට ක‍්‍රියාත්මක වන්නේ තලවිල, මනවිල, පනික්කවිල, කොක්මොටේ නැමැති බංගලා 04 පමණකි. ඒවායේ නවාතැන් සඳහා වෙන් කිරීම් භාරගනු ලබන්නේ බත්තරමුල්ල පිහිටි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කාර්යාලය (දුරකතන අංකය 0112888585-86 මගින් පමණකි. සෑම බංගලාවකම සේවකයන් දෙදෙනෙකු සේවය කිරීමට සූදානමින් සිටින අතර සියලූම අමු ආහාර ද්‍රව්‍ය කණ්ඩායම විසින් රැගෙන යා යුතුය. සංචාරක බංගලාවල පදිංචියට යන අයට ආහාරය සඳහා අලූත් මාලූ කරවල        ”පූකුලම” නමැති ස්ථානයේ පිහිටි ධීවර වාඩියෙන් මිලදී ගත හැකිය. බංගලාවල ශීතකරණ නොමැත. සියලූම බංගලාවල 10 දෙනෙකුට පහසුකම් තිබේ. ඇඳන් 10 කි. මීට අමතරව තොරතුරු ඉහත දුරකථනයට කතා කිරීමෙන් ලබාගත හැකිය.  

පොම්පරිප්පුව

විල්පත්තුව ගැන ලියන ලිපියක එහි වැදගත් ස්ථානයක් වන ”පොම්පරිප්පුව” ගැන සඳහන් නොවන්නේ නම් එය අඩුවකි. එබැවින් විස්තරය සංක්ෂිප්තව සඳහන් වෙයි. පොම්පරිප්පුව විල්පත්තු උද්‍යානයේ දකුණූ සීමාවට ආසන්නව පුත්තලමට කි.මි. 32 උතුරින්ද මන්නාරම සිට කි.මී. 82 දකුණින්ද මුහුදු වෙරළ සිට කි.මී. 6 1/2 ඈතින් පිහිටා තිබේ. පොම්පරිප්පුව යන්නෙහි අර්ථය ”රන්වන් තැනිතලා” යන්නය. ඉන් අදහස් කළේ මෝරා සශ‍්‍රීකව වැඩුණු කෙත්වතුය. මධ්‍යම කඳුකරයේ මාතලේ කඳුවල සිට ගලනා කලාඔය ගංගාවේ ”ඩෙල්ටාවේ” පොම්පරිප්පුව පිහිටා ඇත. සහස‍්‍රක ගණනාවක් ගංගාවේ ගලා ආ රොන්මඩ තැන්පත්වීම නිසා මෙය ආදි යුගයේ සිට ඉතා සශී‍්‍රකව වී වගාව කළ ජනාකීර්ණ ප‍්‍රදේශයක්ව පැවතී ඇත. පොම්පරිප්පුවලින් සොයාගනු ලැබූ පැරණි සුසාන භූමියක් නිසා මෙකල හොඳින් එය ප‍්‍රකටය. ශ්‍රී ලංකාවේ වෙනත් ප‍්‍රදේශයක භාවිතයේ නැති අසාමාන්‍ය මරණ චාරිත‍්‍රයක් වන මිනීමුට්ටි වළලෑම් පොම්පරිප්පු සුසාන භූමියේදී හමුවී තිබේ. 1929 සිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සිදුකළ කැණීම්වලදී පොළව මතුපිට සිට අඩියක් යට තිබී මිනී වළ දමා තිබූ මුට්ටි 12 ක් මුලින්ම ඉවතට ගන්නා ලදී. ඒවා රතු - හා කළු පැහැති වූ අතර ඒවා තුළ තිබී මිනිස් ඇටසැකිලි කැබිලි හමුවී ඇත. වැඩිදුරටත් කැණීම් කිරීමෙන් පොම්පරිප්පු සොහොන් බිම අක්කර තුන හතරක් ආවරණය වූ බවත් දළ වශයෙන් එවැනි මිනී වළලෑම් 8000 සිදුකොට ඇති බවත් ඇස්තමේන්තු කොට තිබේ. උද්‍යානය නැරඹීමට යන අයට පොම්පරිප්පුව නැරඹීමට වාහනවලින් යා හැකි මාර්ගයක් ඇත.  

පරණ මන්නාරම් පාර

1938 වසරේ විල්පත්තු ජාතික උද්‍යානය ප‍්‍රකාශයට පත් කිරීමටත් පෙර සිටම පැවැති පරණ මන්නාරම් පාර ගැන සටහනක් නොතැබීම අඩුවකි. පුත්තලම සිට එළුවන්කුලම කලාඔය හරහා උද්‍යානය මතින් මන්නාරම දක්වා පැවැති මෙය එකල කරත්ත පාරකි. එම පාර බහුලවම පාවිච්චි කරන ලද්දේ මන්නාරම මරිච්චිකට්ටිය ආදී ප‍්‍රදේශවල සිට මස් සඳහා එල හරකුන් රැගෙන පා ගමනින් එළුවන්කුලමට ගිය වැසියන් විසිනි. එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්ත ප‍්‍රහාර උත්සන්න වීමත් සමග විල්පත්තු උද්‍යානයේ ලැගුම්ගත් ශ්‍රී ලංකා යුද හමුදාව ”පරණ මන්නාරම් පාර” වෙනුවට අඩි 100 පමණ පළල් වූ නව මාර්ගයක් කපා තිබේ. මේ වන විට එම මාර්ගයේ මහජනයා වෙනුවෙන් ශ්‍රීලංගම බස් රථයක් ධාවනය වේ. උද්‍යානය නැරඹීමට යන ඔබට අවශ්‍ය වන්නේ නම් එම මාර්ගයේ මන්නාරම හෝ පුත්තලම දක්වා ගොස් ආපසු පැමිණිය හැකිය.  

තර්ජන සහ ආරක්ෂක වැඩ පිළිවෙළ

මෙම උද්‍යානය වටාම ඇත්තේ දිනෙන් දින සංවර්ධනය වන ගම්ය. මෙම ගම්වල නීතිගරුක වැසියන් බොහොමයක් සිටිතත් ඇතැම්විට නීතිය අභිබවා යන අය අනවසරයෙන් උද්‍යානයට ඇතුල් වී වනසතුන් දඩයම් කිරීම, ගස් කැපීම වගා කිරීම වැනි තහනම් ක‍්‍රියා කරනු ලැබේ. ඔවුන්ට විරුද්ධව නීතිය ක‍්‍රියාවට නැංවීම සඳහා උද්‍යාන මායිම් දිගේ තැනින් තැන වනජීවී නිලධාරීන් ස්ථාන ගතකොට ඇත. ඇතැම් අවස්ථාවල උද්‍යානයේ වෙසෙන අලින් අවට ගම්මානවලට සංක‍්‍රමණය වී භෝග විනාශ කරන බැවින් උන් ආපසු වනෝද්‍යානය තුළට පලවා හැරීම ඉහත සඳහන් කළ වනජීවී නිලධාරීන්ගේ රාජකාරි වගකීමක්ව පවතී.  

වගකීම

විල්පත්තු ජාතික උද්‍යානය අද දින ජීවත්වන ශ්‍රී ලංකාවාසීන්ට පමණක් නොව අපෙන් පසු බිහිවන අනාගත පරම්පරාවට ද අයත් වස්තුවකි. එම වස්තුව සමග බැඳී පවතින ආර්ථික විනෝදාත්මක සංස්කෘතික හා ස්වභාව සෞන්දර්යාත්මක වටිනාකම් වත්මන් පරපුර විසින් හොඳින් වටහාගෙන එය අනාගත පරම්පරාව වෙනුවෙන් ආරක්ෂාකොට තැබීම ඔවුන්ගේ වගකීම බව අවසන් වශයෙන් සඳහන් කළ යුතුය. තිත් මුවකු ගිලින පිඹුරෙක් ඇඹල කොකා දිවියන් ජෝඩුව විල්පත්තුව හිටපු වනෝද්‍යානභාරකරු සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශ‍්‍රාමික නියෝජ්‍ය අධ්‍යක්ෂ එඞ්මන්ඞ් විල්සන්