රාජ්‍ය තාන්ත්‍රිකත්වය යන්න අර්ථ දක්වා ඇති ආකාර රැසකි. ඒ අතරින් සමහරක් වෙත අවධානය යොමුකිරීම වටනේය. දෙවන ලෝක යුද සමයේ බ්‍රිතාන්‍යයේ අගමැතිවරයාව සිටි වින්ස්ටන්ට් චර්චිල් පැවසුවේ රාජ්‍ය තාන්ත්‍රිකත්වය යනු කෙනකුට අපායට යන්නැයි කෝපයෙන් නොව, ඔහු එහි යන්නේ කෙසේදැයි මග අසන තරමට කියා සිටීමේ කලාව බවය. ඇමරිකා ජාතික තිරපිටපත් රචකයකු, නළුවකු සහ මාධ්‍යවේදියකු වන විල් රොජර්ස් වරක් පැවසුවේ, පහරදීමට ගලක් සොයාගන්නා තෙක් හොඳ සතා, හොඳ සතා යැයි කියමින් කෙනෙක් සුරතල් කිරීමේ කලාව රාජ්‍ය තාන්ත්‍රිකත්වය බවයි.

ජර්මනියේ ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් රාජ්‍ය තාන්ත්‍රිකත්වය හඳුන්වාදී තිබෙන්නේ මෙසේය. “රාජ්‍ය තාන්ත්‍රිකත්වය අවසන් වන තැන, යුද්ධයේ ආරම්භයයි”

ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සැලකීමේ දී නම් පෙනෙන්නට තිබෙන්නේ මේ එකදු හෝ අර්ථකථනයක් ඒවාට නොගැළපෙන බවය. විදෙස් රටවලට කොළඹින් පත්කර යවන දූතයන් බොහෝමයක් කර තිබෙන්නේ සිය ආරාධිතයාගේ මෙන්ම තමන්ගේ ද, අරමුණු ඉටුකර ගැනීමය. දේශපාලනමය මැදිහත්වීමක් හරහා පත්වීම් ලද ඇතැමුන් අපකීර්තිමත් ලෙස හැසිරුණු අවස්ථා එමටය. යුද්ධයෙන් පීඩිතව සිටින එක්තරා රටකට පත් කැරුණු එවන් දූතයෙක්, මුදල් ඉතිරි කරගැනීමේ අදහසින් සිය හෝටල් කාමරයේ සිටම ආහාර පිසමින් සිට ඇත. ආහාරයට යොදන අමු මිරිස් අවසන් වීම නිසා ඔහු කර ඇත්තේ හෝටලයේ කුස්සියට ගොස් ඒවා ඉල්ලා සිටීමය.

දැන්, විදෙස් රටවල තානාපතිවරුන්  පත්කිරීමට ශ්‍රී ලංකාව අනුගමනය කරන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ගැටලු මතුව ඇත. ආණ්ඩු දෙකක්, කැනඩාව සහ සෞදි අරාබිය, එම රටවලට පත් කෙරුණු ශ්‍රී ලංකා තානාපතිවරුන්ගේ පත්වීම් පිළිගෙන නැත.

 

ජගත් මානව හිමිකම් කවුන්සිල සැසිවාර

තානාපතිවරුන් පත්කිරීම සම්බන්ධව මෙවන් තත්ත්වයක් නිර්මාණයව තිබෙන්නේ නවදිල්ලිය, ඔටාවා සහ රියාද් සමග ශ්‍රී ලංකාව ඉතා සමීප සබඳතාවක් පවත්වාගැනීම ඉතාම වැදගත් වකවානුවක බව අවධානයට ගත යුතුය. විශේෂයෙන්, නුදුරේදීම ජගත් මානව හිමිකම් කවුන්සිලයට මුහුණදීමට ශ්‍රී ලංකාවට සිදුව තිබෙන තත්ත්වයක, වඩා වැදගත් වන්නේ නවදිල්ලියයි. ඇමරිකාවේ නව ජනපති ජෝ බයිඩන්ගේ රජයේ ඉහළම තනතුරු 20කට වඩා වැඩි ගණනකට පත්ව සිටින්නේ ඉන්දියානු සම්භවයක් ඇති ඇමරිකා ජාතිකයන් බව මෙහිදී සිහියට ගත යුතු වන අතර, එම තනතුරු බොහෝමයක් ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් යන විෂයන් හා අදාළ වෙයි. ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනා ඉදිරිපත් කිරීමට පෙරමුණ ගත්තේ ඇමරිකා එක්සත් ජනපදය බව ශ්‍රී ලංකාව අමතක නොකළ යුතුය. එම යෝජනාවලට අදාළව, ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳ විවරණයක් ලබන පෙබරවාරි මස 24 වැනිදා සිදුකිරීමට නියමිත අතර, එය සිදුවන්නේ අපේක්ෂාවෙන් සිටියාට වඩා කලිනි. නව යෝජනා ඉදිරිපත් කිරීම බොහෝ විට මාර්තු 18 වැනි බ්‍රහස්පතින්දා මධ්‍යහ්නයේ දී, සිදුවනු ඇත.

කොළඹ සහ නවදිල්ලිය අතර සබඳතාවල ස්වභාවය වර්තමානයේ තරමක් රළුය. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කරන්නැයි ද, පළාත් සභා මැතිවරණය පවත්වන්නැයි ද, ඔවුහු ඉල්ලා ඇත්තාහ.

ජිනීවාහි ජගත් මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට මුහුණදීමට සූදානම්වීමක් ලෙස ගන්නා එක් පියවරක් රජය පසුගිය සිකුරාදා ප්‍රකාශයට පත් කළේ ය. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කරමින්, පහත දැක්වෙන කරුණු කාරණා විමර්ශනයට සහ විමසුමට ලක්කිරීම සඳහා ත්‍රිපුද්ගල විමර්ශන කොමිසමක් පත්කරන බව ප්‍රකාශ කළේ ය.

අ. මානව හිමිකම් උල්ලංඝනය කිරීම් විමර්ශනය පිණිස කලින් පත්කරන ලද පරීක්ෂණ කොමිෂන් සභා සහ කමිටු විසින් බරපතළ ගණයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, බරපතළ ගණයේ අන්තර්ජාතික මානුෂීය නීති කඩකිරීම් සහ වෙනත් එවැනි බරපතළ වැරදි අනාවරණය කරගෙන තිබේදැයි සොයා බැලීම

ආ. එකී පරීක්ෂණ කොමිෂන් සභා සහ කමිටු විසින් අනාවරණය කරගත් මානව හිමිකම් සහ මානුෂීය නීති කඩකිරීම් සහ වෙනත් එවැනි වැරදි සම්බන්ධ තොරතුරු කවරේදැයි හඳුනාගැනීම සහ ඒ මත පදනම්ව ගතයුතු ක්‍රියාමාර්ග නිර්දේශ කොට තිබේදැයි සොයා බැලීම

ඇ. එකී නිර්දේශ අරබයා පවත්නා නීතිය ප්‍රකාරව මෙතෙක් ක්‍රියාකාර ඇති ආකාරය හා වත්මන් රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූලව එකී නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තවදුරටත් ගතයුතු පියවර නිශ්චය කිරීම

ඇ. පළමුවැනි සහ දෙවැනි ඡේදවලට අනුකූලව අවශ්‍ය පියවර ගනිමින් තිබේදැයි අධීක්ෂණය

 

කොමිසමේ සභාපතිවරයා ලෙස පත්කර තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් මහතාය. ඔහු මීට පෙර ජගත් මානව හිමිකම් කවුන්සිලය හමුවට ගිය ශ්‍රී ලංකා දූත කණ්ඩායම්වල සාමාජිකයෙක් ලෙස කටයුතු කර අත්දැකීම් තිබෙන අයෙකි. විශ්‍රාමික පොලිස්පතිවරයෙක් වන චන්ද්‍රා ප්‍රනාන්දු, විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම්වරයෙක් වන නිමල් අබේසිරි යන මහත්වරු කොමිසමේ අනෙක් සාමාජිකයෝය. මාස 6ක් ඇතුළත කොමිසමේ අවසන් වාර්තාව භාරදෙන ලෙස ඔවුන්ට දැනුම් දී, තිබේ. කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් පසු ස්ථාපිත කරනු ලැබූ උගත් පාඩම් හා සංහිඳියා කොමිසමෙන් පසුව පත්කැරෙන, එවන් පසුබිමක් ඇති දෙවැනි කොමිසම මෙය වේ.

ජනපති ගෝඨාභය රාජපක්ෂ පිහිටුවා තිබෙන විමර්ශන කොමිසම සම්පූර්ණයෙන්ම වෙනත් මාවතකට මෙම ගැටලුව ගෙන යන බවක් පෙනෙන්නට ඇත. දැනටමත් ප්‍රමාදව ඇතත්, සොයා බැලිය යුතු පළමු දෙය වන්නේ බරපතළ මට්ටමේ මානව හිමිකම් කඩවීම් හෝ අන්තර්ජාතික මානවවාදී නීතියේ කඩවීම් හෝ සිදුව ඇතිදැයි යන්න සහතික ලෙසම සොයාගැනීමය. වර්තමාන රජයේ ප්‍රතිපත්ති අනුව සහ රටේ පවත්නා නීති අනුව, එවැනි දේ සිදුව ඇතිනම් ඒ සම්බන්ධයෙන් ගත යුතුව තිබෙන පියවර හඳුනාගැනීම රජයේ අදහසයි. ක්‍රියාත්මක කිරීම මේ දක්වා ප්‍රමාද වුවත්, මෙම විමර්ශනය සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ගෙවුණු වසරේ දී ජගත් මානව හිමිකම් කවුන්සිලය දැනුම්වත් කළේ ය. ඔහු එසේ කළේ, එක්සත් ජනපදය ඉදිරිපත් කර තිබූ යෝජනාවලියට දක්වා තිබූ සම අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත්වන බව නිවේදනය කළායින් පසුවය.

සියලු කාරණා අන්තර්ගත වන, දේශීයව නිර්මාණය කැර ක්‍රියාත්මක කැරෙන, සංහිඳියාවේ සහ වගවීමේ ක්‍රියාවලියක් හරහා මෙම චෝදනා විමසුමට ලක් කිරීමට රජය කටයුතු කරන බව ඔහු පැවසුවේ ය.

මෙතැන නැගෙන වැදගත්ම පැනය වන්නේ රජය අනුගමනය කිරීමට යන පියවර, ගැටලුවේ ප්‍රධාන හවුල්කරුවන් වන ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47ක් නැතහොත් බටහිර රාජ්‍ය, පිළිගනී ද, යන්නය. නම සඳහන් නොකිරීමේ පොරොන්දුව මත අදහස් දැක්වූ බටහිර රාජ්‍ය තාන්ත්‍රිකයෙක් මෙසේ පැවසුවේ ය.

ඔවුන් දැන් උත්සාහ කරනවා මුල ඉඳලාම පටන් ගන්න. විනිවිදභාවය පවතිනවාය කියා බොරුවක් කරන්නට වගේ හදන්නේ. මොකද, දැනටමත් බොහෝ දේ සිදුව හමාරයි.

කෙසේවුවත්, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සන්ඩේ ටයිම්ස් හා අදහස් දක්වමින්, මීට අමතරව තවත් පියවර කිහිපයක්ම ගැනීමට නියමිත යැයි සඳහන් කළ මුත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළේ ය. රාජ්‍ය තාන්ත්‍රික පත්කිරීම් සම්බන්ධයෙන් විමසා සිටි විට,

ඒවා අභ්‍යන්තර කාරණා යැයි කී ඔහු, ඒ පිළිබඳව ද, අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළේ ය.

එවන් එක් පියවරක් වන්නේ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් යැයි දිගු කාලයක් පුරාවට සිරගත කර සිටින, ඇතැම් අවස්ථාවල වසර 10කට ආසන්න කාලයක්, පුද්ගලයන් විවරණයකට යටත් කිරීම බව සන්ඩේ ටයිම්ස් හට දැනගැනීමට හැකිවිය. එයින් ඇතැමෙක් සම්බන්ධව දැනටමත් නීතිය යටතේ කටයුතු කැරෙමින් පැවතියත්, බොහෝ දෙනෙක් එවැන්නකට යටත් කර නැත. මෙකී පුද්ගලයන් සම්බන්ධයෙන් අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කරන්නැයි නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දී, තිබේ. ආතතිය අවම කරන්නට ප්‍රමාද වී ගැනෙන උත්සාහයක් වෙතත්, මෙය රජය අනුගමනය කරන්නට යන නව පියවරක ආරම්භය යැයි කෙනෙක් පැවසුවහොත් එහි වරදක් නැත. අනෙක් පසට හැරුණහොත්, චෝදනා නොමැතිව සිරගත කර සිටින්නවුන් නිදහස් කිරීම, ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන කොරෝනා වසංගත තත්ත්වය හමුවේ සිරගෙවල්වල තදබදය අවම කරගැනීමට ගතහැකිව තිබූ කදිම පියවරක් වන්නට තිබිණ.

 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්ගේ වාර්තාව

මෙසේ ත්‍රිපුද්ගල විමර්ශන කොමිසමක් පත් කෙරෙන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිෂෙල් බැෂෙලට්, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන වාර්තාව ලබන සතියේ නිකුත් කිරීමට නියමිතව තිබෙන පසුබිමකය. 2021 පෙබරවාරි මස 22 වැනිදා සිට මාර්තු මස 19 වැනිදා දක්වා පැවැත්වෙන ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය ඉලක්ක කරගෙන මෙම වාර්තාව නිකුත් කැරෙන අතර, එහි කෙටුම්පතක් පසුගිය වසරේ නොවැම්බර් මස 22 වැනිදා කොළඹ විදේශ කටයුතු අමාත්‍යංශය වෙත භාරදෙනු ලැබිණ. එයින් මතුකර තිබූ කරුණු සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේ ලිඛිත අදහස් 2020 දෙසැම්බර් මස 28 වැනිදා එම වාර්තාවට ඇතුළත් කැරිණි. පසුගිය 7 වැනිදා අන්තර්ජාලය ඔස්සේ පැවැති සාකච්ඡාවක දී, විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීහු වාර්තාවේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් ජිනීවාහි සිටි ජගත් මානව හිමිකම් කවුන්සිලයේ නිලධාරීන් සමග සාකච්ඡා කළෝ ය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී, 40/1 යෝජනාවලියට අදාළව යටතේ අනුමත කැරුණු පරිදි, අතිරේක අන්තර්ජාතික මානව හිමිකම් නිලධාරියකුට වීසා බලපත් ලබාදීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර නැතැයි පිටු 17කින් යුතු මෙම වාර්තාවේ සඳහන් වේ. 2019 අගෝස්තු මාසයේ සිට මානව හිමිකම් සම්බන්ධයෙන් වන කරුණු කාරණා සොයාබැලීම සඳහා ජගත් මානව හිමිකම් කවුන්සිලයේ අනුමැතිය ඇතිව යොදවන පුද්ගලයන් කිසිවකුවත් ශ්‍රී ලංකාවට පැමිණ නැති බවද, එම වාර්තාවේ දැක්වේ.

ශ්‍රී ලංකාවේ පැවැති බෙදුම්වාදී අරගලයේ ඉතිහාසය ගැනත් සඳහන් වන මෙම වාර්තාවෙන්, පහත දේවල්වලට නැවතීමේ තිත තැබිය යුතුව ඇති බවට අවධානය යොමු කර තිබේ. සිවිල් කටයුතුවලට ආරක්ෂක අංශ සිදුකරන මැදිහත්වීම් නවතා දැමිය යුතුව ඇත. ආරක්ෂක අංශ වගවීමකට යටත් කළ යුතුව ඇත. එපමණක් නොව ආරක්ෂක ක්ෂේත්‍රයට වෙනස්කම් සිදුකළ යුතුව ඇත. එහෙත් සිවිල් පාලන කටයුතු ඉතා ගැඹුරින් මෙන්ම ඉතා වේගයෙන් මිලිටරිකරණය වෙමින් පවතින බවක් මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරිය 2020 පෙබරවාරි මාසයේ දී, ජගත් මානව හිමිකම් කවුන්සිලයට පළමු වතාවට වාර්තා කළ පරිදි විශේෂයෙන්ම කොරෝනා වසංගත තත්ත්වය යටතේ, දැකගන්නට තිබේ.

කොරෝනා වසංගත තත්ත්වය සම්බන්ධයෙන් ද, අදහස් දක්වා ඇති මෙම වාර්තාවේ මෙසේ සඳහන්ය.

මුස්ලිම් ප්‍රජාව මුහුණදෙමින් සිටි ආන්තිකකරණයේ සහ වෙනස්කර සැලකීමේ පිළිවෙත තවදුරටත් විස්තාරණය කෙරෙන පරිද්දෙන්, ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දන වැඩපිළිවෙළින් ආගමික නිදහසට බලපෑමක් එල්ල කර තිබෙන බව මෙම වාර්තාවෙන් අවධානයට ලක් කැරේ. මරණයට පත්වන පුද්ගලයෙක් කොරෝනා ආසාදිතයෙක් ලෙස හඳුනාගැනෙන්නේ නම් එම මෘත දේහ ආදාහනය කිරීමට රජය ගෙන තිබෙන තීරණය හමුවේ මුස්ලිම් ජාතිකයන්ට, ආගමානුකූලව මෘත දේහයන් භූමදානය කිරීමට ඔවුන්ට තිබෙන අයිතිය අනුව ක්‍රියා කිරීමට තිබෙන අවස්ථාවට බාධා පැමිණ තිබීම නිසාවෙන්, ආගම අනුව සුළුතර ජනකොටස්වලට අයත්වන ප්‍රජාවට අසාධාරණ බලපෑමක් එල්ලව තිබෙන බව සහ ඔවුන් අතර කලකිරීම සහ ආතතිය වර්ධනයව තිබෙන තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බවක් පෙනෙන්නට තිබීම කෙරේ මානව හිමිකම් සම්බන්ධයෙන් වන මහකොමසාරිස්වරියගේ අවධානය යොමුව තිබේ. මෙවන් ප්‍රතිපත්තියක් අනුගමනය කැරෙන්නේ මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් පවතින අවදානම් සහගත තත්ත්වය සහ විද්‍යාත්මක සාක්කි පදනම් කරගෙන යැයි රජය මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරියගේ කාර්යාලයට සහතික කර ඇතත්, කොරෝනා ආසාදිතයන්ගේ මෘතදේහ බැහැර කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කර තිබෙන මාර්ගෝපදේශවලට අනුව භූමදානය කිරීම යනු සංස්කෘතිය හා බැඳී තිබෙන තීරණයක් ය, යැයි සඳහන්ව තිබීම කෙරේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරියගේ අවධානය යොමුව ඇත. පොදුවේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයන් කොරෝනා වාහකයන් ලෙස හඳුන්වාදෙනු ලැබෙන තත්ත්වයක ද, පවතී. 2020 ජූනි මාසයේ දී, මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරිය මේ කාරණය ජගත් මානව හිමිකම් කවුන්සිලයේ අවධානයට යොමු කළා ය.

මෙම පසුබිම යටතේ, ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ඇලීනා බී ටෙප්ලිට්ස් පසුගිය සිකුරාදා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මෙසේ සඳහන් කළා ය.

1955 දී, ශ්‍රී ලංකාව අපරානුමත කළ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශයේ 18 වැනි වගන්තියේ, ඉගැන්වීම, ප්‍රගුණ කිරීම, වන්දනාව හා පිළිපැදීමෙන් තමන්ගේ ආගම හෝ විශ්වාසය විද්‍යමාන කිරීමට සියලුදෙනාට අයිතිය ඇති බව සඳහන් වේ. කොරෝනා හරහා ගෝලීය අභියෝග ඇතිව තිබේ. එහෙත් අපගේ දයානුකම්පාව සහ අනෙක් අයගේ විශ්වාසය කෙරෙහි ඇති ගරුත්වය ඉන් අහිමිකර නොගත යුතුය. අපි මේ වසංගතය හේතුවෙන් තමන්ගේ ආදරණීයයන් අහිමි වූ සියලුම පවුල් සමගින් සිටින්නෙමු. ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ හා අනුකූලව ඔවුන්ගේ ඇදහිලි පිළිපැදීම සඳහා අවසරදීමෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් සහ අභිමානය සඳහා ගරු කළ යුතුවේ.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන මානව හිමිකම් මහකොමසාරිස්වරියගේ වාර්තාව නිකුත් කිරීමට ඔන්න මෙන්න තිබිය දී, කොළඹ ඇමරිකා තානාපතිනිය මෙවන් පණිවිඩයක් පළකිරීම අවධානයට ගත යුතුය.

වාර්තාවෙන් සිදුකර තිබෙන නිගමන සහ ඉදිරිපත් කර තිබෙන නිර්දේශ ඉතා වැදගත් මෙන්ම ඉතා දුර අනාගතය දක්වාම විහිදෙන බවත් හඳුනාගත හැකිය. වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය ජගත් මානව හිමිකම් කවුන්සිල සැසිවාරවල දී, ප්‍රකාශයට පත්කරන බව විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරියෙක් පැවසුවේ ය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරියගේ මෙම වාර්තාවේ පිටපතක් ලබාගැනීමට සන්ඩේ ටයිම්ස් හට හැකිවිය. එහි අන්තර්ගත කරුණු පහත පරිදිය.

යුද්දය අවසන්ව වසර 12කට ආසන්න කාලයක් ගතව ඇතත්, වගවීම සහ සංහිඳියාව වෙනුවෙන් දේශීය මට්ටමින් ගැනුණු පියවර සහ අනුගමනය කැරුණු ක්‍රමවේද ප්‍රතිඵල පෙන්වීමට අපොහොසත්ව තිබෙන්නේ, වගකිවයුත්තන් තවදුරටත් ආරක්ෂා කැරෙන පරිදි සහ ඒ නිසාම වගවීම සහ සංහිඳියාව ඇති කිරීමට ස්ථාපිත කැර තිබෙන ක්‍රමවේද කෙරේ වින්දිතයන්ගේ අවිශ්වාසය තවදුරටත් වර්ධනය වීමට ඉඩ හැරෙන පරිදිය. අතීතය සම්පූර්ණයෙන්ම අමතක කර දමා තිබෙන පිළිවෙතක් ශ්‍රී ලංකාව තවදුරටත් අනුගමනය කරමින් සිටින අතර, එම පසුබිම යටතේ සත්‍ය අනාවරණය කරගැනීම සඳහා ගැනෙන උත්සාහය ව්‍යර්ථ කැරෙන, අතීතයේ සිදුව තිබෙන අපරාධ හිතලු පමණය යැයි රජයේ ඉහළම නිලධාරීන් ඒවා කිසිදු අයුරකින් පිළිනොගන්නා පරිසරයක් නිර්මාණයව තිබේ. මෙය සෘජුවම වර්තමානයට මෙන්ම අනාගතයටත් බලපානා තත්ත්වයකි. නැගී තිබෙන චෝදනා විමර්ශනය කිරීම සඳහා කිසිදු හෝ යාන්ත්‍රණයක් හඳුන්වාදීමටවත්, ආරක්ෂක ක්ෂේත්‍රයට සිදුකළ යුතුව තිබෙන වෙනස්කම් ඒ අයුරින් කිරීමටවත්, උත්සාහයක් ගෙන නොතිබීම, රාජ්‍ය තන්ත්‍රයට සහ එහි ඇතැම් සාමාජිකයන්ට එල්ලව තිබෙන බරපතළ අපරාධය සහ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් වන චෝදනාවල පදනම් සහගතභාවය තවදුරටත් තහවුරු කිරීමේ සමත්ය. විධායක බලය විමසුමට සහ තුළනයට ලක් කිරීම සඳහා 2015 වසරේ දී, හඳුන්වාදුන් වෙනස්කම් නැවත හරවා තිබෙන්නේ අධිකරණයේ සහ අනෙක් ප්‍රධාන ආයතනවල ස්වාධීනත්වය තවදුරටත් සේදී යන පරිද්දෙන්ය.

සුළුතර ජනකොටස් කෙරේ ගෞරවය ඇති කිරීමේ සහ ඔවුන් සමග සංහිඳියාව වර්ධනය කිරීමේ පොරොන්දුව පෙරදැරිව ජාතික මට්ටමින් මුල් පියවර ගැවුණු ක්‍රියාවලිය ආපසු හරවා තිබේ. 30/1 යෝජනාවලියෙන් පොරොන්දු වූ, ‘නැවත සිදුනොවන බවට වන සහතිකයන් දිනාගැනීම‘ පසෙක තබා ශ්‍රී ලංකාව යොමුව තිබෙන වර්තමාන දිශානතිය සැලකිල්ලට ගැනීමේ දී, බරපතළ මට්ටමේ මානව හිමිකම් උල්ලංඝනයන් සිදුවූ සහ සිදුවන තැනට ප්‍රතිපත්ති සකස් කැරෙන සහ ක්‍රියාකාරකම් සිදුවන තැනට වේදිකාව සකස් වෙමින් පවතින බවක් පෙනෙන්නට තිබේ. කොරෝනා වසංගත තත්ත්වය එල්ල කර තිබෙන තර්ජනය මානව හිමිකම් මහකොමසාරිස්වරිය සම්පූර්ණයෙන්ම පිළිගන්නා මුත්, පසුගිය වසරේ සිට ඉදිරියට පැමිණෙමින් තිබෙන ප්‍රවණතා ඉතාම බරපතළ බව දැක්විය යුතුය. රටේ මානව හිමිකම්වල තත්ත්වය ඉතා බරපතළ ලෙසම සේදී යන, අනාගතයේ එම මානව හිමිකම් තවතවත් උල්ලංඝනය කෙරෙනු ඇති බව කියන, කල්තබාම කැරෙන අනතුරු ඇඟවීමක් ලෙස එම ප්‍රවණතා හඳුනාගත හැකිය. මෙනිසාම එවන් තත්ත්වයක් මැඩපැවැත්වා ගැනීමට දැඩි පියවර ගත යුතුව ඇත. 2030 න්‍යාය පත්‍රය වෙනුවෙන් කැපවන බව රජය කියා සිටිය ද, ජාතික මට්ටමින් අනුගමනය කැරෙන දැක්මෙන් සහ රජයේ ප්‍රතිපත්තිවලින් දෙමළ සහ මුස්ලිම් ජන ප්‍රජාව වැඩි වැඩියෙන් ආන්තිකකරණය කැරෙන සහ ඔවුන්ට වෙනස්කර සලකන, තත්ත්වයක් පැවැතීමත් ඒ අතරවාරයේ රජයේ ඉහළම රාජ්‍ය නිලධාරීන් බෙදීම් ඇතිකරවීමේ සහ අනෙක් ජන කොටස් හෙළාදැකෙන පන්නයේ ප්‍රකාශයන් නැවත නැවතත් නිකුත් කරමින් සිටීමත් හමුවේ, රටේ විවිධ ජනකොට්ඨාස අතර දැනටමත් පවතින ඨ්‍රැවීකරණය තවදුරටත් වර්ධනය වීමේ සහ ප්‍රචණ්ඩත්වය කුළු ගැන්වෙන වාතාවරණයක් නිර්මාණය වීමේ රතු එළිය දල්වයි.

2019 වසරේ පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග ප්‍රකාශයට පත් කැරුණු හදිසි තත්ත්වය, රාජ්‍ය යාන්ත්‍රණය වඩ වඩාත් මිලිටරිකරණය කැරෙන තත්ත්වයක් දක්වා වර්ධනයව තිබෙන බව මානව හිමිකම් මහකොමසාරිස්වරියගේ හැඟීමයි. දැනට සේවයේ සිටින සහ හිටපු ආරක්ෂක අංශ සාමාජිකයන් සිවිල් පරිපාලන සේවයේ ඉහළ තනතුරුවලට අනුයුක්ත කිරීමට රජය කටයුතු කර තිබෙන අතර, එම ඇතැම් පුද්ගලයන්ට පැහැදිලි ලෙසම යුද අපරාධ චෝදනා නැගී තිබේ. ඒ අතරවාරයේම, සිවිල් පරිපාලන යාන්ත්‍රණයට සමාන්තරව සිවිල් ජනතාවගේ කටයුතුවලට අතපොවන කාර්යසාධක බලකා සහ කොමිසම් ස්ථාපිත කිරීමටත් රජය කටයුතු කර ඇත. පාලනයකට නතුකර තිබූ විධායකයේ බලතල 20වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා නැවත නිදහස් කර තිබීම, ප්‍රජාතන්ත්‍රවාදීව පාලන කටයුතු සිදුවීමට එල්ල කරන්නේ තර්ජනයකි.

සිවිල් සමාජයට, ස්වාධීන මාධ්‍යත් ඇතුළුව, වඩාත් ක්‍රියාකාරීවීමට පසුගිය වසර කිහිපයේ දී, නිර්මාණය වූ පුළුල් අවකාශය ශීඝ්‍රයෙන් හැකිළෙමින් පවතින්නේ යැයි මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරිය තැතිගැන්මට පත්ව සිටී. මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින්නවුන්, නීතිඥයන්, මාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාධරයන් සහ මානව හිමිකම් උල්ලංඝනය වීමට ලක්වූ වින්දිතයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඉලක්ක කරගෙන කැරෙන සියලුම ආකාරයන්ගේ රහසිගත සොයාබැලීම්, රාජ්‍ය නිලධාරීන් පැමිණ කරන ඔවුන් බියගැන්වීම් සහ ඔවුන්ට නොයෙක් ආකාරයෙන් කරන හිංසාවන්, වහාම නවත්වන ලෙස මහ කොමසාරිස්වරිය උදක්ම ඉල්ලා සිටින්නීය. රටේ නීතියට යටත්ව දැනටමත් කටයුතු කරමින් සිටින සිවිල් සමාජ සංවිධාන තවත් නෛතික සීමාවලට යටත් කිරීමෙන් වැළකෙන ලෙස ද, මහකොමසාරිස්වරිය ඉල්ලා සිටින්නීය.

මේ ආකාරයට නැවත වතාවක් ජගත් මානව හිමිකම් කවුන්සිලය සිටින්නේ ශ්‍රී ලංකාව පිළිබඳව වන එහි කටයුතු සම්බන්ධයෙන් ඉතාම වැදගත් මෙන්ම බැරෑරුම් හැරවුම් ලක්ෂ්‍යකය. දේශීය මට්ටමින් ක්‍රියාත්මක කරන බව කියූ වගවීමේ සහ සංහිඳියාවේ යාන්ත්‍රණයට 30/1 යෝජනාවලියෙන් නිර්දේශ කර තිබූ පරිදි, දෙවරක්ම ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට ජගත් මානව හිමිකම් කවුන්සිලය කටයුතු කළේ ය. එහෙත් එසේ ලබාදුන් පොරොන්දු පෙරදැරිව, අන්තර්ජාතික අපරාධ සහ බරපතළ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් වන චෝදනා අර්ථාන්විත වගවීමේ ක්‍රියාවලියකට යටත් කිරීමට අපොහොසත් බව මෙන්ම උනන්දුවක් නොමැති බවත් ශ්‍රී ලංකා රජය පෙන්වා දී, ඇත. ඒ වෙනුවට ඔවුන්ගේ අවධානය යොමුව තිබෙන්නේ හානිපූර්ණය කිරීමේ සහ සංවර්ධනයේ ක්‍රියාවලියකටය. එහෙත් එවැන්නක් යටතේ සිදුවන්නේ, සත්‍ය දැනගැනීමට සහ යුක්තිය ඉටුවනු ලැබීමට වින්දිතයන්ට ඇති අයිතියට තර්ජනයක් එල්ලවීම සහ අපරාධවලට වගකිවයුත්තන් තවදුරටත් ආරක්ෂා කෙරෙන තත්ත්වයක් නිර්මාණය වීමය.

ඉතා වැදගත් කරුණු 3ක් මත පිහිටා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට ජගත් මානව හිමිකම් කවුන්සිලය කටයුතු කළ යුතු වේ. අතීතයේ සිදුවූ අමිහිරි  සිදුවීම්වලට මුහුණදුන් ගණනින් දහ දහස් ගණක් වන අය, ඔවුන්ගේ සහකරුවන් සහ සහකාරියන්, දෙමාපියන්, දරුවන් සහ ඥාතීන් අදටත් එනිසා දුක්විඳිමින් සිටීමත්, තමන්ගේ ආදරණීයයන්ට සත්‍ය වශයෙන්ම කුමක් සිදුවූයේ දැයි සොයමින් අදටත් වෙහෙසන, ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටින සහ නිසි හානිපූර්ණ ප්‍රතිලාභයක් ලබාදිය යුතුව තිබෙන සියලුම ජනකොටස්වලට අයත් ජනතාව සම්බන්ධයෙනුත්, සාධනීය පියවරක් ගැනීමට අපොහොසත්වී තිබීම ඉන් පළමුවැන්නයි. තිරසාර සාමයක් පවත්වාගැනීමට මෙන්ම 2030 න්‍යාය පත්‍රය ප්‍රකාරව මානව සහ ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරාගැනීමට ඉතාම වැදගත් වන උසස් මට්ටමේ වගවීමේ සහ සංහිඳියාවේ යාන්ත්‍රණය ස්ථාපිත කිරීමට අපොහොසත්වී තිබීම සහ එනිසාම ශ්‍රී ලංකාවේ නැවත නැවතත් සිදුවූ මානව හිමිකම් කඩවීම් සහ ගැටුම් ඉදිරි අනාගතයේත් එලෙසම ඇතිවීමට ඉඩකඩ සැලැස්වෙන පරිදි, එම බීජ වපුරා හැරීමට ඉඩ සලස්වා තිබීම දෙවැන්නයි.

අවසාන වශයෙන්, මෙම වාර්තාවෙන් පෙන්වා දී, තිබෙන ප්‍රවණතා නැවත වතාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ තබන්නේ වැදගත් අභියෝගයකි. එය විශේෂයෙන්ම, ගැටුම් වළක්වාගැනීමේ අරමුණ ඇතිව ක්‍රියාත්මක වන ජගත් මානව හිමිකම් කොමිසමට ද, අදාළවන්නකි. 2009 වසරේ ශ්‍රී ලංකාවේ වූ සිදුවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන් කළ ස්වාධීන විවරණයකින් ගැටුම් අවසන් වූ පසුව නැවත එවැනි තත්ත්වයක් ඇතිවීමට තුඩුදිය හැකි අවස්ථා හා සිදුවීම් වළක්වාගනු වස් රජය අනුගමනය කළ ‘වළක්වාගැනීමේ න්‍යායපත්‍රයේ‘ බරපතළ කඩාවැටීමක් සිදුව තිබෙන බව නිගමනය කැරිණ. මෙවැනි වැරදීම් නැවත නොකිරීමට අන්තර්ජාතික ප්‍රජාව වගබලා ගත යුතුව තිබෙන අතර, මින් පෙර එවැන්නක් සිදුව තිබෙන හෙයින්, වෙනත් සන්දර්භයන්ගේ සිදුවන බරපතළ ගණයේ මානව හිමිකම් කඩකිරීම් සහ අපරාධ සම්බන්ධයෙන් අදාළ පාර්ශව වගවීමේ තැනකට පත්කරවීමට අන්තර්ජාතික ප්‍රජාවට තිබෙන හැකියාව දෙවැනි තැනට ඇද දමන අවස්ථාවක් බවට පත්කළ හැකි පරිද්දෙන්, එකී සිදුවීම දඩමීමා කරගැනීමට අවස්ථාවක් නොදිය යුතුය.

2030 න්‍යාය පත්‍රයට කැපවන බවට රජය කර තිබෙන ප්‍රකාශය සම්බන්ධයෙන් ද, සාමය ගොඩනගා ගැනීම, හානිපූර්ණය සහ ප්‍රතිසංස්ථාපනය වෙනුවෙන් යම් ක්‍රියාමාර්ග ගෙන තිබීම සම්බන්ධයෙන් ද, මහ කොමසාරිස්වරියට තිබෙන්නේ ප්‍රසාදයකි. එහෙත්, ශ්‍රී ලංකාවට නියමාකාරයෙන් තිරසාර සංවර්ධනයක් සහ සාමයක් අත්කරගත හැක්කේ සිවිල් සමාජ අවකාශයට ක්‍රියාකාරී වීමට අවස්ථාව පවතින බව සහතික කළහොත් සහ වැරදිවලට වගකිවයුත්තන් සෑම අවස්ථාවකම ආරක්ෂාව සලසා ගැනීමේ තත්ත්වය වෙනස් කළහොත් පමණකි. කෙසේවුවත්, 30/1 යෝජනාවලියෙන් සිය අනුග්‍රාහකත්වය ඉවත් කරගැනීමත්, එම යෝජනාවලිය ප්‍රකාරව අර්ථවත් පියවර ගැනීමට අපොහොසත්ව තිබීමත් හමුවේ, ඉහත සඳහන් කළ වැරදිවලට වගකිවයුත්තන් සෑම විටම ආරක්ෂාව සලසා ගැනීමේ ගැටලුව දේශීය සංක්‍රාන්තික අධිකරණ ක්‍රියාවලියක් හරහා අවසානයක් කිරීමට තිබූ අවස්ථාවට තිබූ අවකාශය ශ්‍රී ලංකා රජය, සැලකිය යුතු මට්ටමකින් අවුරාගෙන තිබේ.

වර්තමාන ප්‍රවණතා හමුවේ, රජය ගන්නා නව පියවර ද, ඇතුළත් වන පරිදි ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය අධීක්ෂණය කිරීමට ජගත් මානව හිමිකම් කවුන්සිලය දැනට ක්‍රියාත්මක කර තිබෙන අධීක්ෂණ යාන්ත්‍රණය වඩා පුළුල් කරන ලෙස සහ වගවීම තහවුරු කිරීමට තිබෙන අවස්ථා අන්තර්ජාතික තලයට ඉදිරිපත් කිරීමට විධිමත් සහ කාර්යක්ෂම සැලසුමක් සකස් කරන ලෙස, එම කවුන්සිලයෙන් මානව හිමිකම් මහකොමසාරිස්වරිය ඉල්ලා සිටින්නීය.

අපරාධමය කටයුතු පිළිබඳව වගවීම තහවුරු කිරීම සහ වින්දිතයන්ට සහන සැලසීම වඩ වඩාත් ඉදිරියට ගෙන ඒම සඳහා අනුගමනය කළ හැකි විකල්ප රැසක් සාමාජික රටවලට ඇත. ශ්‍රී ලංකාවේ තත්ත්වය අන්තර්ජාතික අධිකරණයේ අවධානයට යොමුකිරීමට අවැසි අමතර පියවර ගැනීමට අමතරව, ශ්‍රී ලංකාවේ සියලුම පාර්ශව සිදුකර තිබෙන අන්තර්ජාතික මට්ටමේ අපරාධ සාමාජික රටවල ජාතික අධිකරණ හමුවේම විමර්ශනයට ලක් කැරෙන සහ වගකිවයුත්තන්ට දඬුවම් නියම කැරෙන තැනට යුක්තිය සහ සාධාරණත්වය විශ්වීය වශයෙන් පසිඳලිය යුතු, ස්ථාපිත කළ යුතු දෙයක්ය යන මූලධර්මය යටතේ, ගෙන්වීමටත් සාමාජික රටවලට හැකියාව තිබේ. මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ කාර්යාලය සමගත්, වින්දිතයන් සහ ඔවුන්ගේ නියෝජිතයන් සමගත් අත්වැල් බැඳගෙන, අන්තර්ජාතික මට්ටමින් ගිනිය හැකි අපරාධ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමෙනුත්, එවන් උත්සාහයන් ඉදිරියට ගෙන යාම සඳහා ආධාර ලබාදීමෙනුත්, වගවීම සඳහා වන අවකාශය තවත් පුළුල් කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමටත් සාමාජික රටවලට හැකියාව තිබේ.

ඉලක්කගත සම්බාධක පැනවීමට ද, සාමාජික රටවලට හැකියාව ඇත. බරපතළ මට්ටමේ මානව හිමිකම් කඩකිරීම් හෝ වෙනත් අපයෝජන සිදුකර තිබෙන එවැනි දේවලට වගකිව යුතු රාජ්‍ය නිලධාරීන්ගේ දේපළ කැටි කිරීමට සහ ඔවුන්ට එදිරිව සංචාරක තහනම් පැනවීමට අවස්ථාව තිබේ. ඊට අමතරව, වින්දිතයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ප්‍රායෝගික ප්‍රතිලාභ ලබාදීම වෙනුවෙන් වන පියවරවලට සහයෝගය දැක්වීමටත් සාමාජික රටවලට අවස්ථාව තිබේ.

 

නිර්දේශ

මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරිය ශ්‍රී ලංකා රජයට පහත නිර්දේශ ඉදිරිපත් කරයි.

කිසිදු කෙනෙක් වෙනස් කර නොසැලකෙන, සියලුදෙනාගේම මානව හිමිකම් ආරක්ෂා කැරෙන සහ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රයට අනුකූල වන, සියලු අංශ ඇතුළත් බහුවිධ දැක්මක් ශ්‍රී ලංකාව අරබයා ඉදිරිපත් කිරීම සහ එය ප්‍රවර්ධනය කිරීම

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණය සහ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවලි මගින් නිර්දේශ කර තිබෙන පරිදි, ව්‍යවස්ථාමය සහ අධිකරණමය වෙනස්කම් සිදුකැරෙන බව සහතික කිරීම

වදහිංසා පැමිණවීම, ලිංගික හිංසනයන් සිදුකිරීම සහ වෙනත් මානව හිමිකම් කඩකිරීම් තනහම් බවත්, එවැන්නක් සිදුවුවහොත් ඒ සම්බන්ධයෙන් ක්‍රමවත් විමර්ශනයක් පවත්වා දඬුවම් කැරෙන බවත් සඳහන් ප්‍රසිද්ධ නිවේදනයක් ආරක්ෂක අංශයේ සියලුම අංශවලට, බුද්ධි අංශවලට සහ පොලිසියට නිකුත් කිරීම

මානව හිමිකම් ක්‍රියාධරයන්, සමාජ ක්‍රියාකාරීන් සහ මානව හිමිකම් කඩවූ වින්දිතයන් ඉලක්ක කරගෙන සිදුවන සියලුම ආකාරයේ රහසිගත සොයාබැලීම්, අපහසුතාවට පත්කිරීම් සහ පලිගැනීම් වහාම නවත්වන ලෙස සියලුම ආරක්ෂක අංශවලට නියෝග කිරීම

වදහිංසා පැමිණවීම් සහ අයුතු ලෙස සැලකීම් ඇතුළු බරපතළ මට්ටමේ අන්තර්ජාතික මානවවාදී නීතිය කඩවී ඇති සිදුවීම් සහ බරපතළ ලෙස මානව හිමිකම් කඩවී තිබෙන බවට නැගී තිබෙන චෝදනා යන සියල්ල වහාම පූර්ණ සහ අපක්ෂපාතී විමර්ශනයකට යටත් කිරීම, දඬුවම් පැමිණවීම සහ දිගු කාලයක් තිස්සේ ඇදෙමින් පවතින ප්‍රධාන මට්ටමෙහි ලා සැලකිය හැකි එවන් සිදුවීම්වලට ප්‍රමුඛත්වය ලබාදීම

මානව හිමිකම් කඩකිරීම් සිදුකර ඇතැයි සනාථව තිබෙන ආරක්ෂක අංශ සාමාජිකයන් සහ රාජ්‍ය නිලධාරීන්, පිළිගත් මානව හිමිකම් පිළිවෙත් ප්‍රකාරව ඔවුන්ගේ තනතුරුවලින් ඉවත් කිරීම. වගවීම ශක්තිමත් කිරීමට සහ සිවිල් ජනතාව සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු ඒ අදාළ පරිදි සිදුවන බව සහතික කිරීමට හැකිවන පරිදි, ආරක්ෂක අංශයට වෙනස්කම් සිදුකිරීම

ස්වාධීනව කටයුතු කිරීමට සහ ප්‍රමාණවත් මූලාශ්‍ර ලබාගැනීමට හැකිවන පරිදි මානව හිමිකම් කොමිසමට ආරක්ෂක විධිවිධාන හඳුන්වාදීම

අතුරුදන් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් වන කාර්යාලය සහ හානිපූර්ණය සම්බන්ධයෙන් වන කාර්යාලයට කාර්යක්ෂමව ක්‍රියාත්මක විය හැකි බව සහතික කැරෙන පරිසරයක් පවතින බව සහතික කිරීම. අලුතින් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට යටත් කිරීම, එම පනත අන්තර්ජාතිකව පිළිගත් හොඳම පියවර සහ පිළිවෙත් අනුගමනය කැරෙන නව නීතියකින් ප්‍රතිස්ථාපනය කරන තෙක් යම් කාලසීමාවකට නැවැත්වීම

දඬුවම් නියමව සිටින්නට ජනපතිවරයා සමාව ලබාදීමේ ක්‍රියාවලිය විධිමත් ක්‍රියාවලියකට එවන් තීරණයක් අධිකරණමය විවරණයකට යටත් කිරීම සහ බරපතළ මට්ටමේ මානව හිමිකම් කඩවීම් සිදුව තිබීමේ සහ අන්තර්ජාතික මානවවාදී නීතිය කඩව තිබීමේ සිදුවීම් එසේ සමාව ලබාදීම්වලට ඇතුළත් නොවන බව සහතික කිරීම වැනි, යටත් කිරීම

විශේෂ දූතයන්ට රටට ඇතුල්වීම වෙනුවෙන් කර තිබෙන ආරාධනය එපරිද්දෙන්ම පවත්වා ගනිමින්, එම සංචාර සැලසුම් කිරීම. ප්‍රඥප්තිවලට එළැඹ තිබෙන ව්‍යුහ සමග හොඳ සබඳතාවක් පවත්වා ගැනීම සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ යාන්ත්‍රණය සිදුකර තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා මානව හිමිකම් මහකොමසාරිස්වරියගේ කාර්යාලයෙන් තාක්ෂණික සහාය ලබාගැනීම.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ තත්ත්වය පිළිබඳ දැනට මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරියගේ කාර්යාලය සිදුකරන අධීක්ෂණ පුළුල් කරන ලෙස, වගවීමට සහ සංහිඳියාවට අදාළව අත්කරගෙන තිබෙන ප්‍රගතිය ද අධීක්ෂණය කැරෙන පරිදි, මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරියගේ කාර්යාලයෙන් ඉල්ලා සිටීම සහ එම කාරණා පිළිබඳව දෛනිකව ජගත් මානව හිමිකම් කවුන්සිලයට වාර්තා කරන ලෙස ඉල්ලා සිටීම.

වගවීම සම්බන්ධයෙන් වන අනාගත ක්‍රියාවලීන්ට අදාළ කරගත හැකි සාක්කි එකතු කිරීමට සහ සංරක්ෂණය කිරීමටත්, වින්දිතයන් සහ දිවි ගලවාගත්තවුන් වෙනුවෙන් පෙනීසිටීමටත්, මේ හා සම්බන්ධව සාමාජික රටවල සිදුවන අධිකරණ ක්‍රියාවලීන්ට සහාය දැක්වීමටත්, ගොඩනැගෙන වෙනම ව්‍යුහයකට ආධාර කිරීම.

ශ්‍රී ලංකාවේ සියලුම පාර්ශ්ව සිදුකර තිබෙන අන්තර්ජාතික මට්ටමේ අපරාධ සාමාජික රටවල ජාතික අධිකරණ හමුවේම විමර්ශනයට ලක් කැරෙන සහ වගකිවයුත්තන්ට දඬුවම් නියම කැරෙන තැනට යුක්තිය සහ සාධාරණත්වය විශ්වීය වශයෙන් පසිඳලිය යුතු, ස්ථාපිත කළ යුතු දෙයක්ය, යන මූලධර්මය යටතේ, ගෙන්වීම සඳහා වින්දිතයන් සහ ඔවුන්ගේ නියෝජිතයින් සමග සහයෝගයෙන් කටයුතු කිරීම.

පලිගැනීම්වලට ලක්වෙමින් සිටින පුද්ගලයන් ආරක්ෂා කිරීමට සහ වදහිංසනයට ලක්වීමේ හෝ බරපතළ මට්ටමකින් මානව හිමිකම් කඩවීමේ සැබෑ තර්ජනයක සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් අදාළ නිසි පියවර ගැනීමට හැකිවන පරිදි ශ්‍රී ලංකා ජාතිකයන්ට අදාළව පවතින සරණාගත ක්‍රියාවලි විවරණය කිරීම.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතනවලට මානව හිමිකම් මහකොමසාරිස්වරිය මෙම නිර්දේශ ඉදිරිපත් කරයි.

ශ්‍රී ලංකාව සමග එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රතිපත්තිමය වශයෙන් සහ වැඩසටහන්මය වශයෙන් සම්බන්ධවන අවස්ථා සියල්ලකටම, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් අදාළ පියවර ගතයුතු යැයි ජගත් මහලේකම්වරයා නිකුත් කර තිබෙන නිවේදනය මාර්ගෝපදේශයක් වන බව සහතික කිරීම.

2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රයට අදාළව, සියලු දෙනා ඇතුළත් වන බව, වෙනස් කොට සැලකීමක් සිදුනොවන බව සහ කාර්යක්ෂම වගවිය යුතු සහ සියලු කරුණු කාරණා ආවරණය කැරෙන ආයතන ඇතිකිරීමට සහාය දක්වන බව, යන මූලධර්ම යටතේ සියලුම සංවර්ධන වැඩසටහන් ස්ථාපනය කැරෙන්නේ යැයි සහතික කිරීම.

මානව හිමිකම් ආරක්ෂා කිරීමේ වගකීම ආරක්ෂක අමාත්‍යංශය හෝ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශය යටතේ පවතින ආරක්ෂක අංශ සහ සියලුම ආරක්ෂක ව්‍යුහයන්ට දැඩිව අන්තර්ග්‍රහණය කිරීම.

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා තර කිරීම අභියෝගයක් වුව ද, එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවලට ශ්‍රී ලංකාව ලබාදෙන දායකත්වය දැනට ඒ සම්බන්ධයෙන් පවත්නා විවරණ ක්‍රියාවලිය යටතේම තබා ගැනීම සහ එරටින් අනුයුක්ත කැරෙන පුද්ගලයන්ගේ පසුබිම පිරික්සා බැලෙන පද්ධති ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීම.

වාර්තාවෙන් සිදුකර තිබෙන නිර්දේශ අනාගතයේ ද, දුරකට විහිදෙන බව පැහැදිලිය. අන්තර්ජාතික වශයෙන් ශ්‍රී ලංකාව සම්බන්ධව ගැනීමට අපේක්ෂිත පියවර ද, මානව හිමිකම් මහකොමසාරිස්වරියගේ වාර්තාවෙන් පැහැදිලිව දක්වා තිබෙන අතර, ඒවා ශ්‍රී ලංකාවේ රජය වෙනස්වූයේ යැයි වෙනස් වන්නේ නැත. අන්තර්ජාතික මට්ටමෙහි ලා සැලකිය හැකි අපරාධ සහ බරපතළ මට්ටමේ මානව හිමිකම් උල්ලංඝනය වීම් විමසුමට ලක් කිරීම සඳහා අන්තර්ජාතික මට්ටමින් අදාළ වන අර්ථාන්විත ක්‍රියාවලියක් අනුගමනය කරන තැනට ශ්‍රී ලංකාව තල්ලු කරන්නැයි ඉල්ලීමක් මෙම වාර්තාව හරහා ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර තිබේ. එවන් ක්‍රියාවලියක් අනුගමනය කිරීමට ශ්‍රී ලංකාව මේ දක්වාම අපොහොසත්ව ඇත.

මෙම පසුබිම යටතේ අනුගමනය කිරීමට නිර්දේශ කර තිබෙන පියවර අතර, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ පවත්නා තත්ත්වය අන්තර්ජාතික යුද අධිකරණය හමුවට යොමු කරන්නැයි කර තිබෙන නිර්දේශයක් ද, වේ. එය, මෙම ගැටලුව නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය හමුවට ඉදිරිපත් කිරීමට ඉඩ තිබෙන බවට පැහැදිලි ඉඟියකි. මෙරට දෙමළ දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජ කණ්ඩායම් කිහිපයක් මීට දින කිහිපයකට පෙර මෙවැනිම ඉල්ලීමක් එක්සත් ජාතීන්ට ඉදිරිපත් කළේ ය. විශ්වීය යුක්තිය සහ සාධාරණත්වය යන මූලධර්මය යටතේ සාමාජික රටවල ජාතික අධිකරණයන් හමුවේ ශ්‍රී ලංකාවේ සියලු පාර්ශ්ව සිදුකර තිබෙන යුද අපරාධ සහ මානව හිමිකම් කඩවීමේ චෝදනා විභාග කළ හැකි යැයි ද, මානව හිමිකම් මහකොමසාරිස්වරියගේ වාර්තාවෙන් පෙන්වා දී ඇත. සංචාරක තහනම්, දේපළ කැටි කිරීම් වැනි ඉලක්කගත සම්බාධකයන් පැනවීම ආදී වෙනත් දඬුවම් සම්බන්ධයෙන් ද, වාර්තාවෙන් අවධානය යොමුකර තිබෙන අතර, මේ සියල්ල ඉතා බරපතළ ලෙස සැලකිල්ලට ගතයුතු කාරණාය.

දඬුවම් පැමිණවීමේ දී, රාජ්‍ය නිලධාරීන්ට අමතරව වෙනත් පාර්ශව යැයි හඳුන්වාදීමක් ද, සිදුකර තිබේ. එයින් අදහස් කෙරෙන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පියවර ගැනීමක් යැයි සිතිය හැකිය. එම සංවිධානය සිය තහනම් සංවිධාන ලැයිස්තුවට ඇතුළත් කිරීමට රටවල් 32ක් කටයුතු කර ඇතත්, එල්.ටී.ටී.ඊය එම රටවල සිටම ක්‍රියාත්මක වෙමින් පවතින බව සිහියේ තබාගත යුතුය.

බෙදුම්වාදී යුද සමයේ අන්තර්ජාතික මානවවාදී නීතිය බරපතළ මට්ටමින් උල්ලංඝනය වුණු අවස්ථා ඒ නයින් ගත්කල, යුද අපරාධ ලෙසම සැලකිය හැකි අවස්ථාවලට, පිළිගත හැකි චෝදනා පවතින බවට ගෙවුණු වසර කිහිපයේ නැවත නැවතත් මතුවූ හඬ ඒ අයුරින්ම ජගත් මානව හිමිකම් මහකොමසාරිස්වරියගේ මෙම වාර්තාවෙන් ද, නැගෙතත්, එම චෝදනා තෘප්ත කැරෙන පැහැදිලි, ප්‍රබල සාක්කි තවමත් සොයාගැනීමට නොහැකිව තිබීම හමුවේ එකී චෝදනාවල පදනම් සහගතභාවය පිළිබඳව ඇත්තේ ගැටලුවකි. කෙසේ වුවත්, අදාළ පාර්ශ්ව සමග එක්ව කටයුතු කර මෙම ගැටලුවට අවසානයක් ළඟා කරලීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළ යුතුවම ඇත. මෙම ව්‍යායාමය අන්තර්ජාතික වශයෙන් එල්ල කිරීමට මාන බැලෙන දේශපාලන ප්‍රහාරයක් වන නිසාවෙන්ම, එයින් ගැලවී ගැනීම උදෙසා පරෙස්සම් සහගතව මෙන්ම බරපතළ මට්ටමින්, විවිධ පාර්ශ්ව සමග සංවාදයේ යෙදීමට හා එකඟතා ඇතිකර ගැනීමට ශ්‍රී ලංකා රජයට සිදුවනු නිසැකය.

(***)

සන්ඩේ ටයිම්ස්  දේශපාලන විශ්ලේෂක විසිනි

පරිවර්තනය:- කෝවිද ගුණසේකර