IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


යහපත් සමාජයකට පදනමක්

දහනමවැනි සහ විසිවැනි සියවස්වල පාඨක ආකර්ෂණය උපරිමව දිනාගත් ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල්ගේ ෂර්ලොක් හෝම්ස් කතාමාලාව, එම වකවානුවේදී ජනතාව තුළ අධිකරණ විද්‍යාව පිළිබඳව කුතුහලයක් සහ උත්තේජනයක් ඇති කිරීමට සමත් විය.  මෑත කාලීනව අපරාධ විද්‍යාව සම්බන්ධ විවිධ රූපවාහිනී වැඩසටහන්, පර් යේෂණ කෘති, නවකතා ආදිය හේතුවෙන් සමාජය තුළ අධිකරණ විද්‍යාව පිළිබඳව යම් පිබිදීමක් ඇතිවී තිබේ. අධිකරණ විද්‍යාත්මක විශ්ලේෂණ අවැසි වන්නේ මනුෂ්‍ය ඝාතනයක්, වෙඩි තැබීමක් වැනි අපරාධයක දී පමණක් බව පොදු සමාජ මතයයි.

එහෙත් අධිකරණ විද්‍යාව යන්න එදිනෙදා ජීවිතයේ සංසිද්ධි, පුද්ගලයන් සමග නිරතුරුව බැඳී පවතින පුළුල් වපසරියක පැතිර පවත්නා ක්ෂේත්‍රයකි. ඇතැම්විට දැනුවත්ව හෝ නොදැනුවත්ව අධිකරණ විද්‍යාත්මක සාක්ෂි සමග අපි එදිනෙදා ජීවිතයේදී ගනුදෙනු කරන්නෙමු. පුරවැසියන් වශයෙන් සමාජයේදී අපට අත්‍යවශ්‍ය වන අධිකරණ විද්‍යාව මෙන්ම සමාජයේ යහපැවැත්ම උදෙසා අධිකරණ විද්‍යාඥයාගෙන් ඉටුවන කාර්යභාරය පිළිබඳව මෙම ලිපියෙන් සාකච්ඡා කෙරේ.

නීති කෘත්‍ය සඳහා උපයෝගී කරගනු ලබන විද්‍යාව අධිකරණ විද්‍යාවයි. එය රසායන, භෞතික, ජීව, වෛද්‍ය, දන්ත වෛද්‍ය, භූගර්භ, පරිගණක, සංඛ්‍යාලේඛන, මානව, පුරාවිද්‍යා ආදී විවිධ විද්‍යා ක්ෂේත්‍ර ආවරණය වන පුළුල් විෂය පද්ධතියකි.  අපරාධ නඩු මෙන්ම සිවිල් නඩු විභාගයේ දී අධිකරණ විද්‍යාත්මක විශ්ලේෂණ උපකාරී වෙයි.

අපරාධයකට අදාළව එකතු කරගන්නා හෝ ඉදිරිපත් කරන සාක්ෂි මත පදනම්ව විශ්ලේෂණ සිදුකර එම ප්‍රතිඵල අධිකරණ වෙත ඉදිරිපත් කර පැහැදිලි කිරීම අධිකරණ විද්‍යාඥයාගේ මුඛ්‍ය කාර්යභාරය වේ. අධිකරණ විද්‍යාඥයා සාක්ෂි විශ්ලේෂණයේ මෙන්ම එම ප්‍රතිඵල අධිකරණය හමුවේ පැහැදිලි කිරීමේ ද ප්‍රවීණයකු විය යුතුය. 

වර්තමානයේ ශ්‍රී ලංකාවේ අධිකරණ වෙත අධිකරණ විද්‍යාත්මක සේවය ලබාදෙන එකම රාජ්‍ය ආයතනය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවයි. ගිනි අවි සහ වෙඩි ද්‍රව්‍ය, ගිනි ගැනීම් , පුපුරණ ද්‍රව්‍ය සහ පිපිරීම්, අන්තරාදායක මත්ද්‍රව්‍ය, වස සහ විසවීම් (ධූලක විද්‍යා), රුධිරය සහ වෙනත් කායික තරල (මස්තු විද්‍යා), ඩීඑන්ඒ පරීක්ෂණ, සැක කටයුතු ලේඛන, ඩිජිටල් අපරාධ විමර්ශනය, වාහන අනතුරු සහ විවිධ අපරාධ විමර්ශනය ලෙස පැතිකඩ කිහිපයක් ඔස්සේ  රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සිය අධිකරණ විද්‍යා සේවා ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය වෙතටත්, එමගින් සමස්ත සමාජයටත් ලබාදේ.

මෙතෙක් කලක් සමාජයේ බහුලව භාවිතයට ගැනුණු හෙරොයින්, ගංජා වැනි අන්තරායකාරී මත්ද්‍රව්‍ය  අභිබවමින් මෙත්ඇම්ෆටමීන් (සාමාන්‍ය ව්‍යවහාරයේදී අයිස්) සමාජය භයානක ලෙස ආක්‍රමණය කරමින් සිටී. තාක්ෂණයේ දියුණුවත් සමග අන්තර්ජාල ඇණවුම් ඔස්සේ විවිධ නව මනෝවර්තක මත්ද්‍රව්‍ය රට තුළට ඇතුළුවීම හඳුනාගත හැක. මෙසේ රට තුළට ඇතුළුවන සැකකටයුතු ද්‍රව්‍ය, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අවස්ථාවල එහි අඩංගු මත්ද්‍රව්‍ය හඳුනාගැනීමටත්, එහි හානිදායක බව පිළිබඳව අදාළ පාර්ශව දැනුවත් කිරීමටත් අධිකරණ විද්‍යාඥයන් කටයුතු කර තිබේ. කවර ආකාරයක මත්ද්‍රව්‍යයක් වුවද, එය පුද්ගලයකුගේ ශාරීරික මෙන්ම මානසික සෞඛ්‍ය පිරිහීමට ලක්කරයි. සුරක්ෂිත අනාගත පරපුරක් වෙනුවෙන් විනාශකාරී මත් උවදුර තුරන් කිරීමට දායකවීම සෑම පුරවැසියකුගේම යුතුකමක් මෙන්ම වගකීමක්ද වෙයි. එමෙන්ම මෙම අධිකරණ විද්‍යාඥයන් ශ්‍රී ලංකාව තුළ අත්අඩංගුවට ගනු ලබන විශාල ප්‍රමාණවල අන්තරාදායක මත්ද්‍රව්‍ය විශ්ලේෂණය කර අධිකරණ වෙත වාර්තා ලබාදෙමින් යුක්තිය පසිඳලීමේ කාර්යාවලිය කාර්යක්ෂමව ඉටුකිරීමට සිය දායකත්වය ලබාදේ.

වෙඩි තැබීමක් වැනි අපරාධයක් සිදුවූ අවස්ථාවකදී, එම අපරාධය විසඳීම සඳහා අධිකරණ විද්‍යාඥයෙක් සිය දායකත්වය ලබාදෙන්නේ කෙසේද? වෙඩි තැබීම සඳහා භාවිතා කරන ලද බවට සැක කරන ගිනි අවිය යහපත් ක්‍රියාකාරිත්වයේ පවතින්නක්ද  නැද්ද යන්න මූලිකවම විමසා බැලේ. මන්ද යත්, නීති කෘත්‍යයේදී, යහපත් ක්‍රියාකාරි තත්ත්වයේ පවතින සහ එසේ නොවන ගිනි අවි සඳහා කටයුතු වන්නේ දෙයාකාරයකට බැවිනි. ගිනි අවි, එහි ක්‍රියාකාරිත්වය අනුව වර්ගීකරණය කිරීමක් කරනු ලබයි. එය පතරොම් තුවක්කු, රිවෝල්වර, පිස්තෝල, බහුවාර තුවක්කු, ස්වයංක්‍රීය සහ ස්වයංක්‍රීය නොවන ගිනිඅවි ආදී ලෙස සංකීර්ණ කාණ්ඩගත කිරීමකි. ඉදිරිපත් කරන ලද ගිනිඅවිය කුමන රටේ නිෂ්පාදනයක්ද, එය අයත් වන වර්ගය සහ අනුඅංකය විමසීම අවශ්‍ය වේ. ඇතැම් විට මෙම අනුඅංකය විකෘති කිරීමකට ලක්ව ඇත්නම් එය ප්‍රතිස්ථාපනය කිරීම අධිකරණ විද්‍යාඥයා සිදුකරනු ලබයි. ගිනි අවිය සමග පතරොම් කොපු  සහ වෙඩි තැබූ උණ්ඩ ඉදිරිපත් වූ විට, එහි සීරීම් ලකුණු සන්සන්දනය වැනි සංකීර්ණ සහ විශේෂඥභාවය අත්‍යවශ්‍ය ක්‍රියාවලියක් මගින් වෙඩි තැබීම සිදුකළ අවිය හදුනාගැනීම සිදුකෙරේ. 2006 වර්ෂයේදී මුතූර්හි සිදුවූ රාජ්‍ය නොවන සංවිධානයක සේවකයන්ගේ සමූල ඝාතනය, 2013 වර්ෂයේදී පානීය ජල ප්‍රශ්නයක් සම්බන්ධව රතුපස්වල වෙඩි තැබීම යනාදී සිද්ධි මෙරට අධිකරණ විද්‍යාඥයාගේ විශේෂඥභාවය තහවුරු වූ අවස්ථා වෙයි. 

නිවසක, සේවා ස්ථානයක , පොදු ස්ථානයක හෝ වාහනයක ගිනි ගැනීමක් සිදුවූ විට පැන නගින ප්‍රථම ගැටලුව වනුයේ එය සිතාමතා කරන ලද ගිනි තැබීමක්ද නැතහොත් අහඹු ලෙස හෝ ස්වභාවිකව හටගත්තක්ද යන්නයි. මේ ගැටලුව විසඳීමට අධිකරණ විද්‍යාඥයා උපකාර කරයි. ස්ථානීය පරීක්ෂාව සිදුකර ලබාගන්නා සාක්ෂි විශ්ලේෂණය කිරීමෙන්, එය ගිනි තැබීමක්ද, අහඹු හෝ ස්වභාවිකව හටගත්තක්ද, ගින්න හටගැනීමට හේතුව, ගිනි උත්තේජකය ආදී කරුණු අනාවරණය කර ගැනීමට පුළුවන. කාලයේ වැලි තලාවේ සැඟව යා හැකිව තිබූ ඇතැම් ගිනි ගැනීම් සම්බන්ධ අපරාධ නිරාවරණය කර වැරදිකරුවන් හඳුනාගැනීමට අධිකරණ විද්‍යාඥයා මහඟු මෙහෙයක් ඉටුකර ඇත.

එමෙන්ම පසුගිය තිස් වසරක සිවිල් යුද සමයේ දිවයින තුළ විවිධ ස්ථානවල සිදුවූ පිපිරීම්වල පශ්චාත් පිපිරීම් විමර්ශන සිදුකර, අධිකරණ විශේෂඥයන් විසින් විශාල මෙහෙයක් ඉටුකර තිබේ. 2019 වර්ෂයේ සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන ඉතා විශාල ප්‍රමාණයක් සිදුකර ඒ සම්බන්ධ වාර්තා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ ගිනි සහ පිපිරුම් විශේෂඥයන් විසිනි.

පශ්චාත් මරණ පරීක්ෂණයක දී, විෂ ශරීරගතවීමක් හෝ ඖෂධ අධිමාත්‍රාවක් පිළිබඳව සැක සහිත තත්ත්වයක් වුවහොත්, අධිකරණ වෛද්‍ය නිලධාරී විසින් එය ධූලක විද්‍යා අංශයේ අධිකරණ විද්‍යා  විශේෂඥයන් වෙත යොමුකරනු ලබයි.

ඖෂධ අධිමාත්‍රාවෙන් ලබාදීමෙන් පුද්ගලයන් නිද්‍රාවට පත්කර විවිධ මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ සිදුකොට තිබූ අපරාධ අවස්ථා හඳුනාගැනීමට අධිකරණ ධූලක විද්‍යාව උපකාරී විය. පසුගිය කාල වකවානුව තුළ සමාජයේ මහත් ආන්දෝලනයට තුඩුදුන් ඝාතන, සියදිවි හානිකරගැනීම් සහ මරණවල අභිරහස් විසඳීමට අධිකරණ ධූලක විද්‍යා විශේෂඥයා ඉමහත් දායකත්වයක් ලබාදී තිබේ.

අධිකරණ විද්‍යා ක්ෂේත්‍රයේ නවතම මානය වන ඩී එන් ඒ තාක්ෂණය හෙවත් ජාන තාක්ෂණය මගින් කායික තරලවල පුද්ගල අනන්‍යතාව තහවුරු කරගැනීමට පුළුවන. එක් එක් පුද්ගලයාට මව්පිය දෙදෙනාගෙන්ම හිමිවන, ඔහුටම ආවේණික ජාන පැතිකඩක්/ සං‍යුතියක් (DNA Profiling) තිබේ. (සර්වසම නිවුන්නුන්ට හැර). එසේ හෙයින් අපරාධ ස්ථානයක හමුවෙන කායික තරල, හිසකෙස්, අස්ථි ආදී සාක්ෂිවල ඩී එන් ඒ, සැක කටයුතු පුද්ගලන්ගේ ඩී එන් ඒ සමග සන්සන්දනය කිරීමෙන් එම අපරාධයට සම්බන්ධ පුද්ගලයන්ගේ අනන්‍යතාව තහවුරු කිරීමට අධිකරණ මස්තු විද්‍යාඥයා සමත් වේ.  එසේම පීතෘත්වය, මාතෘත්වය පිළිබඳව ගැටලුකාරී අවස්ථාවල නිවැරදි දෙමව්පියන් හඳුනාගැනීමටත්, නීතිවිරෝධී ගබ්සා සහ උපතේදී දරුවන් රහසින් මරාදමන සාපරාධී අවස්ථාවල මව්පියන් හඳුනාගැනීමටත් අධිකරණ ඩී එන් ඒ පරීක්ෂණ මහත් සේ ඉවහල් වේ.

ව්‍යාජ දේපළ ඔප්පු සහ ගමන් බලපත්‍ර වංචනික හා අනුකාරක මුදල් නෝට්ටු පිළිබඳ අධිකරණ විද්‍යාත්මක විමර්ශන කරනුයේ අධිකරණ විද්‍යාඥයායි. සැක කටයුතු ලේඛනයක් ලෙස හදුන්වන්නේ මුල් ලේඛනය වෙනස් කරමින් එය අසත්‍ය ලේඛනයක් බවට පත්කිරීම සහ භාවිතයේ පවතින ලේඛනයක් ව්‍යාජ ලෙස සැකසීමයි. අත් අකුරු සහ අත්සන් එක් එක් පුද්ගලයාට ආවේණික ලක්ෂණ සහිත අනන්‍යතාවක් ඇති දෙයක් ලෙස හඳුනාගෙන තිබේ. අධිකරණ විද්‍යාත්මක කටයුතුවලදී, විශේෂඥයන් විසින් ලේඛනවල අත් අකුරු සහ අත්සන් පරීක්ෂා කර අසත්‍ය සහ ව්‍යාජ ලේඛන හඳුනාගනු ලබයි.

ඩිජිටල් අපරාධ විමර්ශනය ශ්‍රී ලංකාවේ අධිකරණ විද්‍යා ක්ෂේත්‍රයට එක්වූ නවතම ක්ෂේත්‍රයයි. ඕනෑම අපරාධයකට සම්බන්ධව යොදාගනු ලැබූ දත්ත ගබඩා කිරීමේ උපාංග (පරිගණක, ලැප්ටොප් පරිගණක, දෘඪ තැටි ආදිය) වලින් එම දත්ත ආපසු ලබාගෙන ඒවා විශ්ලේෂණය කර අපරාධ විසඳීමට සහායවීම කරනු ලබයි. ව්‍යාජ මුදල් නෝට්ටු, ත්‍රස්තවාදය සම්බන්ධ අපරාධ, අන්තර්ජාලයට අනවසරයෙන් එක්කරන අසැබි ඡායාරූප හා වීඩියෝ පට, කටහඬ හඳුනාගැනීමේ පරීක්ෂණ, මුහුණු සන්සන්දනය කිරීමේ පරීක්ෂණ ආදිය ඩිජිටල් අපරාධ විමර්ශනය යටතේ සිදුකෙරේ. 

පිළිගත් ක්‍රියාදාමයට පටහැනිව රට තුළට වාහන ආනයනය කර රජයට බදු මුදල් වංචා කිරීම, වාහන සොරකම් කර එහි අනන්‍යතාව වෙනස් කිරීම, නීතිවිරෝධී ලෙස ගෙන්වන වාහනවල අංක තහඩු වෙනස් කර භාවිතා කිරීම වැනි වාහන සම්බන්ධ අපරාධ විසඳීමට අධිකරණ විද්‍යාඥයා විශාල මෙහෙවරක් ඉටුකරයි. මෙහිදී වාහනවල චැසි අංක, එන්ජින් අංක විශ්ලේෂණය කර ඒවා ව්‍යාජ ලෙස සකසන ලද්දක්ද යන්න හඳුනාගෙන වාහනවල අනන්‍යතාව තහවුරු කෙරේ.

අධිකරණ විද්‍යාව හරහා එම ක්ෂේත්‍රයේ නියැලෙන විශේෂඥයන් රට තුළ සිදුවන විවිධ අපරාධ විමර්ශනය කර වින්දිතයන්ට සාධාරණය ඉටුකිරීම සඳහා සිය අපක්ෂපාතී සේවය ලබාදේ. අධිකරණ විද්‍යා විශේෂඥයා විසින් යුක්තිය පසිඳලීමේ කර්තව්‍ය සඳහා ඉමහත් දායකත්වයක් ලබාදෙන බව අවිවාදිතය. සාධාරණ, යුක්තිගරුක සමාජයක් උදෙසා ශ්‍රී ලංකාවේ අධිකරණ විද්‍යා විශේෂඥයන් විසින් නිහඬවූත්, අභිමානවූත් සේවයක් ඉටුකරනු ලබයි.

(***)
ජ්‍යෙෂ්ඨ සහකාර රසපරීක්ෂක
කාංචනා රත්නපාල



අදහස් (0)

යහපත් සමාජයකට පදනමක්

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අරුවක්කාලු කසළ ව්‍යාපෘතියට කණකොකා හඬයිද?
2024 ජුලි මස 26 237 0

ගෝලීය ලෙස ගත්කල කසළ ගැටලු‍ව ප්‍රමුඛය. එය නාගරීකරණය සහ පරිභෝජනය සමග එක්ව පවතින ප්‍රශ්නයකි. පරිභෝජනය සහ නිෂ්පාදනය ඉහළ යන තරමට කසළ ප්‍රශ්නය ඉහළ යන බව නිශ්


ජනාධිපතිවරණ සටන් පාඨය කුමක් වේද?
2024 ජුලි මස 26 116 0

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. නොනිල වශයෙන් කියවෙන්නේ සැප්. 21 දිනයේ එය පැවැත්වෙන බවය. කොහොමටත් ජුලි 17 දිනෙන් පසුව ඉද


ලංකාවේ මුල්ම වැව් බැම්මේ වටිනාකම නොදන්නා නිලධාරීහු
2024 ජුලි මස 26 245 0

වසර තුන්දහසක පමණ ශ්‍රී ලාංකීය වාරි ඉතිහාසයේ ප්‍රථම වැව වශයෙන් සැලකෙන බසවක්කුලම වැවේ බැම්ම අවසරයකින් තොරව කාපට් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින


විසිදෙක සුබද? අසුබද?
2024 ජුලි මස 25 133 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආ ව්‍යවස්ථාවේ “වසර හයක්” යන්න වෙනුවට ‘වසර පහක්’ යන්න ආදේශ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිර


කොතරම් උපාධි ලැබුවත් සාරධර්ම නැත්නම් වැඩක් නෑ
2024 ජුලි මස 25 613 3

එංගලන්තයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු වන පුතකු සහ ඇමෙරිකාවේ ඉහළ රැකියාවක නිරත පුතකු සිටින 90 හැවිරිදි මවක එම පුතුන් දෙදෙනා නොසලකා හැරීම නිසා මාලබේ ප්‍රදේ


මාසයක්ම කියවූ ලොකුම සෙල්ලිපියේ ඇත්තේ මොනවාද?
2024 ජුලි මස 24 4824 3

සාහිත්‍ය මූලාශ්‍ර මෙන්ම පුරා විද්‍යා මූලාශ්‍ර ද ශ්‍රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීමට වැදගත් වේ. පුරා විද්‍යා මූලාශ්‍ර අතර කාසි, නටබුන් හා සෙල්ලිපි ප්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1157 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site