(ජයතිලක ද සිල්වා)

කෝපයෙන් මත් වූ විට අනුන් කුමක් කරන්නේ ද යන වග පසෙක තබා තමන් කුමක් කරන්නේ ද යන වගවත් අපි නොදනිමු. බොහෝ විට හදිසි කෝපය නිවී ගිය පසු තමන් කළ දේ ගැන අපම කනගාටු වන අවස්ථා ද එමට ය. කෝපය ඇවිළීමත් සමඟ ඉතිරි වන්නේ තිරශ්චීන සංවේදනා පමණකි. බොහෝ අපරාධ සිදු වන්නේ එවිය.

හුදකලා පුද්ගලයන් මෙන්ම කණ්ඩායම් නැතහොත් ජනරාශි ද අපරාධවලට පෙළැඹෙන්නේ එපරිද්දෙන් සිහි බුද්ධිය නැතිකමෙනි. ජාතිවාදය නමැති හලාහල විෂ පෙවූ කළ ඔවුන් අතින් කෙතරම් මහා අපරාධ සිදු කැරෙත් ද යන්න පිළිබඳ අපට හොඳ මතකයක් පවතී. ඉතා මෑත දී ද අපි එය අත් දුටුවෙමු.

බොහෝ දෙනා සංහිඳියාව දේශනා කරත්. එහි ගුණ වණත්. එහෙත් ශ‍්‍රාවකයෝ බීරි අලින්ට වීණා වයන්නා සේ නෑසූ කනින් සිටිත්. මන් ද යත්, ඔවුන් සිහි බුද්ධියෙන් නොවන හෙයිනි. සිහි බුද්ධියෙන් සලකා බලන කල මෑත මහත් ආන්දෝලනයන්ට විෂය කැරැගත් බොහෝ සිදුවීම්, මහා ගැටුම්වල පෙර නිමිති සේ කණ කොක් හඬ තැලූ බොහෝ සිදුවීම් ඒ සා කලබල නොවිය යුතු සාමාන්‍ය දේ බව නිදසුන් සහිතව සාධනය මෙම ලිපියෙහි අරමුණය.

පළමුවෙන්ම, දේශපාලනඥයන්ගේ සිට උගතුන්, පඬිවරුන්, ධර්මධර විනයධර යතිවරුන් සහ මහමඟ මයික‍්‍රෆෝනයට හඬ මුසු කරන්නවුන් දක්වා උදහසට පත් කළ වවුනියාවෙහි ජාතික ධජය නොඑස වූ පළාත් ඇමැතිගේ චර්යාව ගන්න. සැබැවින්ම එය එක් පුද්ගලයකුගේ එක් ක‍්‍රියාවක් පමණකි. එවන් ක‍්‍රියා පෙළක් සිදු වූයේ නැත. එය හුදකලා වූවකි.

දිය තලියෙහි කිඹුලන් දැකිය යුතු නැත. ජාතික ධජය පිළිබඳ අප මතකය ඈතට ගෙන ගිය හොත් 1948 පෙබරවාරි 4 වැනි දින මෙරටට ඩොමිනියන් ආණ්ඩු ක‍්‍ර‍්‍රමය පිළිගැන්වුණු දින නිදහස් දිනය ලෙස නොපිළිගත් වාමාංශිකයෝ එදා ජාතික ධජයට ගරු බුහුමන් නොකළහ. එදා කිසිවෙක් ඔවුනට දේශද්‍රෝහී ලේබල් ඇලවූයේ නැත. ගැරැහූයේ නැත. එය නීත්‍යනුකූල විරෝධයක් සේ පිළිගත්හ.

උතුරු පළාත් ඇමැති වරදක් කෙළේ නම් ඒ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව රකින්නට පොරොන්දු ව සිටි රජයේ සේවකයකුගේ වගකීමක් පැහැර හැරීම විය හැකිය. ඊට රාජකාරි මට්ටමෙහි විනය ක‍්‍රියාමාර්ග ගත හැකිව තිබිණි. පොරොන්දු ගැන කියන්නට ඇත්තේ ඒවා කැඞීම ජාතික පුරුද්දක් බවයි. බොහෝ බෞද්ධයෝ යටත් පිරිසෙයින් මසකට වරක් වත් පන්සිල් ගනිත්. එහෙත් ඉඩ ලද පළමු සැණින්ම එම පොරොන්දු පහම කඩ කරත්. දේශපාලකයන්ගේ පොරොන්දු ගැන නොකිව මනාය.

කලකට පෙර ජාතික ගීය දෙමළ බසින් ගායනා කැරීමට එරෙහිව ද මහත් කලබැගෑනියක් කළහ.  එයින් සිංහලයට වූ හානියක් නැති බවත් ඔවුහු අමතක කළහ.

එසේම රණවිරුවන් අධිකරණයට කැඳවතැ යි ජනතාව උසිගැන්වීම සඳහා මහත් ඝෝෂාවක් කරනු ලැබේ. එහෙත් ලක්ෂ ගණනක් වන ආරක්ෂක හමුදා සාමාජිකයන් එසේ කැඳවන්නේ නැත. කැඳවන්නේ යුද පිටියෙන් බැහැර නිරායුධ පුරවැසියන්ට එරෙහිව අපරාධ කළැ යි චෝදනා ලද්දවුන් පමණකි. එනම් අතළොස්සක් පමණකි.

මෙය අද ඊයේ පටන්ගත් අලූත් දෙයක් නොවේ. පේ‍්‍රමවතී මනම්පේරි ඝාතනය, ක‍්‍රිෂාන්ති කුමාරස්වාමි ඝාතනය ආදිය නිදසුන්ය. චූදිතයන්ට සිය නිදොස් බව අධිකරණයෙහි දී සනාථ කළ හැකිය. පූර්ණ නඩු විභාගයක් අවසානයෙහි මිස කැන්ගරු උසාවියක දඬුවම් දීමක් නැත.

හමුදාවෙහි පමණක් නොව භික්ෂු ශාසනයෙහි සහ පූජක වරිගයා අතර පවා වරදකරුවන් සිටින්නට පිළිවනි. ඔවුන් තෝරා බේරා වරදට දඬුවම් දීමෙන් ශාසනයට මෙන්ම හමුදාවලට ද සිය කීර්තිනාමය සහ ගෞරවය රැක ගත හැකිය. 

කෙළෙහි ගුණ නාමයෙන් වරදට දඬුවම් නොදී මුක්තිය ප‍්‍රදානයක් ශිෂ්ට ජාතීන්ගේ ලෝකචාරයෙහි නැත. කලක් තිස්සේ දිග් ගැස්සුනු යුද්ධයක මෙන් ජය උරුමය බෙදා ගන්නට හවුල්කරුවන් නැතිව තනිවම ලෝක පරිමාණ ෆැසිස්ට් හමුදා සමඟ සටන් මෙහෙයවා සිය රටවැසියන් මිලියන 20කගේ පමණ ජීවිත පරිත්‍යාගයෙන් ලෝකයම නිදහස් කැර දුන් ජෝසප් ස්ටාලින්ට පවා වරදට දඬුවම් පමුණුවන ලද බව සිහිපත් කළ යුතුය. පුංචි ස්ටාලින් ලා ගැන නොකිව මනාය.

වරදෙහි බැඳුණු භික්ෂූන්ට දඬුවම් පැමිණවීම ද යහපාලන ආණ්ඩුව හා පුරා කියා පටන් ගත් දෙයක් නොවේ. සෝමාරාමලා, බුද්ධරක්ඛිතලා ගැන අමතක ද?

දශක ගණනාවක් පුරා මෙරට දේශපාලකයන්ගේ කියුම් කෙරුම් සම කළ හැකි වන්නේ ජනතාවගේ සැබෑ ප‍්‍රශ්න යටපත් කරමින් ඔවුන් අයාලේ යවන මගඩි නාටකයකටය. බොහෝ විට කිසියම් දේශපාලකයකුගේ කට කැඩිච්ච කතාවක් පස්සේ දඩබල්ලන් මෙන් පැන්නීමෙන් ජනතාවට පහත් විනෝදයක් සැපැයීමට මිස ජනතා ප‍්‍රශ්නවලට සාධාරණ පිළියම් සෙවීමක් නැත.

විටෙක හිටපු ජනපතිනියගේ අත්බෑගයක් පිළිබඳවත්, විටෙක තවත් කාගේ දෝ දුරස්ථ පාලකයක් ගැනත්, විටෙක නැති බිල්ලන් මවමින් ජනතාව නොමඟ යවන්නටත් රඟපෑ ආන්දෝලනාත්මක ජවනිකා සිහි ගන්වන්න. නිදසුනකට ජාතික ප‍්‍රශ්නයට විසඳුම් සොයනු වෙනුවට කවර හෝ සිල්ලර සිද්ධියක් දඩමීමා කැරැ ගනිමින් ඇතැම් දේශපාලකයෝත් ජනමාධ්‍යයත් මහත් ඝෝෂාවකින් සමාජයම වෙළා ගනිත්. ඒ ඔස්සේ සති ගණනාවක් ගත කරත්.

සිදුවන්නේ කුමක්දැයි විචාරා බලන්නට සිහි බුද්ධිය නැති කළ ජනතාවට ද නොපිළිවනි. එහෙයින් ජනතාව රැවැටීම ද පාලකයන්ට පහසුය. ඇට රාත්තල් අටට, හඳෙන් හාල්වලට, කරට රන්මාල අතට බේරේස්ලට් සාක්කුවට සල්ලි, විජ්ජා රැකියා දසලක්ෂ ආදී පොරොන්දු ඔවුන් ගිල දමන්නේ මාළුන් බිලී පිත්තේ ඇම ගිලින්නාක් මෙනි.

කලක් තිස්සේ මෙරට මෝරා ගිය දේශපාලන සංස්කෘතිය කෙසේ ද යත් නීතිය බලාත්මක කරන ආයතන සහ නිලධරයන් ද තවමත් අකර්මණ්‍ය වන අවස්ථා එමටය. අසරණ රොහින්ගියා සරණාගත කඳවුරට පහර දෙන ජන සමූහය ඉදිරියේ පොලිසිය රාජකාරිය අතපසු කෙළේ සහ ප‍්‍රහාරකයන්ට රැකවරණය දුන්නේ එබැවිනි.

සිරුරෙහි බුදු රුව හණ ගසා සිටි සංචාරක කාන්තාවක් බලහත්කාරයෙන් අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කරන්නට පොලිසියත් අධිකරණයත් කැන්ගරු නීතියක් අතට ගත්තේ එහෙයිනි. වැලිකඩ හිරගෙදර සිදු විනැයි කියන කැරැල්ලේ දී බන්ධනාගාර නිලධාරීන් මෙන්ම සන්නද්ධ හමුදා සාමාජිකයන් ද නීතියෙන් බැහැර විනැ යි චෝදනා නැඟෙන්නේ එහෙයිනි.

සියල්ල දරුවන් සඳහා යැයි දේශපාලකයෝත්, පඬිවරුත්, පූජකයෝත් හැමදා දෙසති. එහෙත් අප දරුවන්ට දෙන ආදර්ශය කුමක් ද? බහ තෝරන වියෙහි සිටම බොරුව උගන්වති. උප්පැන්නය පවා  හොරට හදා දරුවන් පාසල් යවන්නට තැත් කරති.

බාලාංශයේ සිටම එකිනෙකා පරයන තරගයකට හුරු කරවති. දරුවන්ගේ ළමා කාලය නාස්ති කරති. ජාති ආගම් කුලමල භේද ඔවුන්ගේ හිසට දමා ඒවා දුෂණය කරති. අනුන්ගේ දුකට සංවේදී පරපුරක් නො තනති. ආත්මාර්ථයම පෙරමුණට ගෙන එති. මේවා සිහි බුද්ධියෙන් තොර සමාජයක ලක්ෂණ නොවන්නේ ද?

එහෙයින් සිහි බුද්ධිය ඇති සමාජයක් වුවමනාය. සන්හිඳියාව, සාමය, සංවර්ධනය, සෞභාග්‍යය කැඳවා ගත හැකි වන්නේ එවිට පමණකි, මවුපියන්, වැඩිහිටියන්, ගුරුවරුන්, ආගමික දේශපාලන නායකයන් සියල්ලන්ම අසමත්ව ඇති සැටියෙකි. වෙනස ඔවුන්ගෙන් පටන්ගත යුතුයි.