IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මී මුරේ පාර නාය ගියත් තැපැල් මහත්තයා වැඩ

     දිට්වා සුළි කුණාටුවේ පසු විපරම් කතා බොහෝය. ඒවා මතුපිටින් මහ වැස්සට හා කඳුවලට යට නොවුණ කතන්දරය. මේ එවන් කතාවකි.

කඳුකරයටම අකාරුණික වූ මහ වැස්ස මීමුරේ ජනතාව ප්‍රාණ ඇපකරුවන් බවට පත් කළේ ගම්මානයට ප්‍රවේශ වීමට තිබූ සියලු මාවත් මහ වැස්සත්, කඳු නාය යෑම්වලිනුත් අවහිර කරමිනි. මේ මොහොත වන විටද ආපදාවෙන් පසු මුදා නොගත් ප්‍රදේශයක් බවට පත්වූ මීමුරේ ගමට පිවිසීමේ ප්‍රධාන මාර්ගය ආශ්‍රිතව ස්ථාන 54 ක් නාය යෑම්වලට ලක්ව ඇති අතර මීමුරේ ගම්වැසියන් හුදෙකලා වී අදට මාසයක කාලයකි.

        ආර්ථිකය මෙන්ම සාමාන්‍ය ජීවන රටාවද උඩු යටිකුරු වී තිබෙන මීමුරේ ගම්වැසියන්ට තවමත් අවශ්‍ය ආහාර, වෛද්‍ය පහසුකම් ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය ලබා දෙන්නේ ගුවන් මගින් ය. මී මුරේ ගම්මානයේ අපට නොඇසෙන නොපෙනෙන කතා බොහෝය. ඒවා ප්‍රාතිහාර්ය නොව ශක්තිවන්ත මිනිසුන්ගේ ධෛර්ය සම්පන්න කතාය.

නාය ගිය කඳු මතින් මීමුරේ ගමට ගිය තැපැල් මහත්තයා

ඔහු  හතළිස් දෙහැවිරිදි දඹගොල්ලේ වලව්වේ විජිත බණ්ඩාර ය. විජිත බණ්ඩාර දෙදරු පියෙකි.  මීමුරේ ගම්මානයට නිතිපතා ලියුම් රැගෙන යන තැපැල් මහතා ඔහුය. දඹගොල්ල ප්‍රදේශයේ පදිංචි විජිත තැපැල් මහතෙකු ලෙස ස්ථිර සේවයට බැඳුණේ 2017දීය. එතැන් පටන් රාජකාරිය දේව කාරිය ලෙස ඉටු කරන විජිත මීමුරේ ගම්මානයට ලියුම් රැගෙන යන්නේ වසර දෙකකට අධික කාලයක සිටය. විජිත කතාවට මුලපිරුවේ කවුරුත් දන්නා තැපැල් වංගුවෙන්ම ය.

 “මීමුරේ ගම්මානයට ලියුම් ප්‍රවාහනය සුද්දාගේ කාලේ පටන් ඉතා අසීරු කටයුත්තක්. හේතුව තමයි හරි හැටි මං මාවත් නොමැති වීම සහ ප්‍රවාහන පහසුකම් නොමැති වීම. තෙල්දෙණිය තමයි අපේ ප්‍රධාන තැපැල් කන්තෝරුව. එතනින් ලියුම් ටික රංගල උපතැපැල් කාර්යාලයට එවනවා. මීමුරේ ගමට ආසන්නම නගරය රංගල.  ඒත් රංගල තැපැල් කන්තෝරුවට මීමුරේ  ඉඳලා කිලෝ මීටර් 22ක් තියෙනවා.  මේ දුර තනිව පයින් එක්කෙනෙකුට යන්න අමාරු නිසා දෙන්නෙක් එක්ක තමයි මේ රාජකාරිය කරන්නේ. රංගලින් එන තැපැල් මහත්තයා කිලෝ මීටර් 11 ක් පා ගමනින් මී මුරේ දෙසට එනවා. මීමුරේ ඉඳන් මමත් කිලෝ මීටර් 11ක් රංගල පැත්තට යනවා. අපි දෙන්නාම චැටල් වංගුව කියන තැනදි මුණගැහිලා පාර්සල් දෙක හුවමාරු කරගන්නවා. අදටත් මේ වංගුව තැපැල් වංගුව ලෙස ප්‍රසිද්ධ වෙලා තියෙනවා.  ඔය විදිහට තමයි මීමුරේ ගමට තැපැල් යන්නේ. ගමන කොයිතරම් දුෂ්කර වුණත් මම මේක බොහොම ආසාවෙන්, අවංකව කරන රස්සාවක්. ”

 වෘත්තිය ගමනේ අසීරුතම කාල සීමාවට විජිතට මුහුණ දෙන්නට සිදු වූයේ පසුගියදා ඇති වූ ස්වාභාවික අපදා තත්වයත් සමඟය.  මීමුරේ ගමට පිවිසීමට තිබූ එකම මාර්ගයත් මහා වැස්සෙන් නාය ගොස්ය. ගමට යන ලියුම් කෙසේ හෝ රැගෙන යා යුතුමය. ජීවිත අවදානම ඇස්පනාපිටය. විජිතට ආපසු හැරිය හැකි වුණත් ඔහු සිය රාජකාරිය වෙනුවෙන් ඉදිරියට තැබූ අඩිය ආපස්සට නොගත්තේය.

        “ 27 මහවැස්සත් එක්ක පාරවල් නාය ගියාට පස්සේ ගමට යන්නේ කොහොමද කියලා හිතාගන්නවත් බැරි වුණා. ඇත්තම කියනවා නම් ගම විතරමයි ඉතුරු වෙලා තිබුණේ. ගමට පාරක් ඉතුරු වෙලා තිබුණේ නැහැ. නමුත් ගමට ලියුම් ටික ගෙනියන්නත් ඕන. ගමන දුෂ්කර වුණ නිසා මීමුරේ තැපැල් මල්ල රංගල කන්තෝරුවට නොයවා හුන්නස්ගිරිය කන්තෝරුවට ගෙන්නවා ගන්න හැකියාව ලැබුණා.

හුන්නස්ගිරිය මගේ පදිංචි ගමේ ඉඳන් මීමුරේ තැපැල් කන්තෝරුවට කිලෝ මීටර් 32 ක් තියෙනවා. ගිහින් එන්න කිලෝ මීටර් 64 ක්.  පස්සේ නිලධාරි මහත්තුරුත් සමඟ කතා කරලා අපහසුතා ගැන සලකා බලලා වෙනදා උදේ ගිහින් හවස තනිව ආව ගමන අපි දෙන්නෙක් එක්ක මාරුවෙන් මාරුවට රාජකාරි කරන්න පටන් ගත්තා.

 වැස්සයි නාය යෑමයි එක්ක දවස් තුනක් විතර ගමට යන්න බැරුව හිටියා. වැස්ස පොඩ්ඩක් අඩු වුණ නිසා කඳු නාය යෑමේ අවදානම තිබුණත් අපි 5 වෙනිදා ඉඳලා නැවත රාජකාරි පටන් ගත්තා. 5 වැනිදා තමයි මගේ ජීවිතේ අභියෝගාත්මක ගමනට මුහුණ දුන්නේ කිව්වොත් හරි.

            5 වැනිදා රජකාරි පටන් ගත්ත දවසෙම හුන්නස්ගිරියේ ඉඳලා කිලෝ මීටර් 9 ක් පමණ දුරට තමයි වාහනයක යන්න ලැබුණේ. එතන ඉඳලා මීමුරේ තැපැල් කන්තොරුවට යනකම් කිලෝ මීටර් 23 ක් යන්න වුණේ පයින්. මේ විදිහට දවස් 6-7 ක් ගියා.”

 

මහ ඝන වනාන්තර මැදින් නොනවතින වැස්ස විජිතට ගෙන දුන්  අභියෝගය වචනයෙන් විස්තර කළ නොහැකිය. වැස්ස පමණක් නොව ඒ කඳු  යළි යළිත් කඩා නොවැටේ කියා ඔහුට සහතියක් නැත.  පපුවට  තුරුලු කරගත්  ලියුම් මල්ලත් , ලියුම් මල්ල  පපුවට තියා ගැට ගසා ගත් ලණු කැරැල්ලත්  ඇරෙන්නට  විජිතට තිබුණේ ආත්ම ශක්තියත් තමන් කළ පිනක බල මහිමයත් පමණකි.

    " මුල් දවස් දෙක තුන සමහර තැන්වලින්  තනියම පාරවල්  සුද්ද කරගෙන තමයි ගමට ගියේ. මේ ගමනේ අවදානම සියයට සීයයි. ඒ වෙනකොට නවනගල, කොබෝනිල්ල මේ ග්‍රාම සේවා වසම්වල ජනතාව ගම්වලින් අයින් කරලා සුරැකුම් මධ්‍යස්ථානවලට යොමු කරලා තිබුණේ.  එක පැත්තකින් මීදුම, වැස්ස එනවා, සමහර තැන්වල පාර පේන්නේ නැති තරමට මීදුම,  සමහර වෙලාවට එක පාරටම පරිසරයම අඳුරු වෙනවා ,මිනිස් පුළුටක් නැහැ. බය කියන එක නොදැනුණ වෙලාවක් නැහැ.

 මහ වැස්සේ අඩුවකුත් නැහැ. රේන්කොට් එකට අමතරව ඉටි කොළේකිනුත් ආවරණය කරගෙන තමයි මම ගියේ. ගමට ගිය පළමු දවසේ යද්දි එක තැනක් තිබුණා පාර තිබුණ තැනක්වත් හොයා ගන්න නැහැ.  මම එතනට ඇවිත් විනාඩි පහක් විතර කල්පනා කළා කොහොමද එගොඩ වෙන්නේ කියලා. ඇත්තටම මට ආපහු හැරිලා යන්න හිතුණා. අඩිය පස්සට තියන්න හිතුණත් මම මේ ලියුම් ටික අරගෙන නොගිහින් කෙනකුගේ ජීවිතේට අතපසු වීමක් වුණොත් මට ඒක ජීවිත කාලෙම බලපානවා. මට ඒ ගැන හිතුණාම ආපහු හැරෙන්න හිතුණේ නැහැ.”

 

 

කැඩිච්ච ලයිට් කම්බි දෙකක් අටවගෙන බඩටත් ලණුවකුත් දාලා එක පැත්තක් කම්බියේ ගැට ගහල නෙළුම් කොළෙ උඩ කොරවක්ක යනවා වගේ තමයි  ඔයෙන් එගොඩ වුණේ

     “  අවදානම අරන් කොහොම හරි යනවා කියලා හිතාගෙන එගොඩ වෙන්න විදිහක් කල්පනා කළා. නාය ගිය තැනින්ම ලයිට් කණු කඩාගෙන ගිය කම්බි තිබුණා. යන්න තැනක් නැති නිසා  ඔයෙන්  තමයි එහා පැත්තට යන්න වුණේ.  අඩි 150 ක විතර  දුරක් ඔය මැදින් එගොඩ වෙන්න තිබුණා. වතුර ප්‍රමාණය වැඩියි. ගල් ලිස්සනවා.  ලිස්සුවොත් අල්ලගන්වත් ගලක් නෑ. ඒ තරමට දියසෙවෙල. කැඩිච්ච ලයිට් කම්බි දෙකක් අටවගෙන බඩටත් ලණුවකුත් දාලා එක පැත්තක් කම්බියේ ගැට ගහල නෙළුම් කොළෙ උඩ කොරවක්ක යනවා වගේ තමයි  ඔයෙන් එගොඩ වුණේ.”

       “  පය ලිස්සලා දැන් වැටෙයි වැටෙයි කියලා බය කියන දේ උපරිමෙන්ම තිබුණා. අල්ලාගෙන යන කම්බිය අතහැරෙන්න තියෙන ඉඩකඩ වැඩියි. දෙයියෝ ම තමයි සිහි වුණේ. ඔයෙන් ගොඩ වෙද්දි ලිස්සලා ගියා නම් මරණෙවත් හොයාගන්න බෑ එතන. සමහර තැන්වල වැල්වල එල්ලිලා එගොඩ වෙන්න වුණා. වැල් කඩන් වැටිලා සියපාරකට වඩා වැටුණා. සමහර තැන්වල ඉනක් හරියට විතර මඩ, වෙච්ච තුවාල ප්‍රමාණය අනන්තයි, කාපු කූඩැල්ලෝ ප්‍රමාණය අනන්තයි.

      කඩෙන් පොලිතින් අරන් මල්ලක් හදාගෙන ඉටි මල්ලේ දෙපැත්තෙන් ලණුවක් දාලා ඒක පපුවට තියලා ගැටහලා තමයි ලියුම් ටික නොතෙමී අරන් ගියේ. මගේ ජීවිතේටත් වඩා මම ලියුම් ටික ආරක්ෂා කළා. මට කොච්චර තුවාල වුණත් එක ලියුමකටවත් හානි වෙන්න නම් දුන්නේ නැහැ.

           මගේ රැකියාවෙ ලොකු වටිනාකමක් නොපෙනුණාට සමහර විට මනුස්සයෙකුගේ ජීවිතේ තීරණාත්මක දෙයක් මේ ලියුම් අස්සේ රැඳිලා තියෙන්න පුළුවන්. වටිනා සහතිකයක්, සම්මුඛ පරීක්ෂණයකට ලියුමක්, පත්වීම් ලියුමක්, දරුවකුගේ අධ්‍යාපනික ලේඛනයක් තියෙන්න පුළුවන්. ඒ නිසා ලියුම් ටික අංක එකට තියාගෙන මගේ ආරක්ෂාව දෙකට තියාගෙන තමයි මේ ගමන ගියේ. ”

   රැකියාවේ සුව පහසුව, සැප හොයන බොහෝ මිනිසුන් අතර විජිත රාජ්‍ය සේවයට ණය නැති මිනිසෙකු බව ඔහුගේ කතාවේ දරාගත් අත්දැකීම් ප්‍රමාණවත්ය. විජිත වසර කිහිපයක සිට ඖෂධ ලබා ගන්නා හෘද රෝගියෙකි.  සමහර දිනවලට දවසටම බෙහෙත් පෙත්තට  පීල්ලකින් උගුරට හලා ගන්නා වතුර ටික පමණි. කුසට හරි ආහාරයක්, නින්දක් නැතිව රාජකාරිය දේවකාරියක්  ලෙස කරන මිනිසුන් අද විරළය. සිටිනවා නම් ඒ විජිත කෙනෙක්ම ය.

  “දැනටත් ගම ඇතුළට කිලෝ මීටර් 20 ක් විතරම පයින් තමයි යන්න තියෙන්නේ.  උදේ 8 ට විතර හුන්නස්ගිරියෙන් මීමුරේ ගමට යද්දි හවස 4 -5 විතර වෙන අවස්ථාත් තිබුණා. ගමට ගියාම දැන් එක දවසින් ආපස්සට එන්න බැරි නිසා තැපැල් කන්තෝරුවේ මේසේ උඩ කාඩ්බෝඩ් එකක් එලන් නිදාගන ඉඳලා පහුවෙනිදා උදේම ආයේ හුන්නස්ගිරි එනවා. එහෙම තමයි රාකාරිය මේ ටිකේම කරගෙන යන්නේ. කෑම එකක් උදේට ගෙදරින් අරන් යනවා. පහුවැනිදා එනකම්ම කන්න නැහැ කියලා දන්න නිසා උදේට අරන් යන කෑම එක කන්නේ කෑම එක නරක් වෙන්න ඔන්න මෙන්න තියලා හවස්ම වෙලා ම.  දවසට එක වේලයි කෑවේ. වැඩි පුරම බඩ පුරවා ගත්තේ වතුර බීලා. බඩගින්නක් ඇල්ලුවම හොඳ හුස්මක් අරන් වතුර ටිකක් ගැහුව්වාම පණ ගහලා එනවා. මම බඩගින්න ගැන හිතුවෙම නැහැ. ඒ ගමට ගියාම මිනිස්සුන්ට කරන්ට් එක නැහැ. කන්න බොන්න නෑ.  මට එහේ මිනිසුන්ගෙන් තේ එකක්වත් ඉල්ලන්න හිතදෙන් නැහැ. 

මේ රස්සාව හිතුණ හිතුණ වෙලාවට කරන්න බැහැ. අපි දිනපතා යා යුතුමයි. මට තියෙන දුෂ්කරතා මම තාවකාලිකව හිතින් යටපත් කරගෙන මේක මගේ යුතුකමක් කියලා හිතාගෙන රජකාරිය කළා. රාජකාරි මට්ටමින් මීමුරේ ගමට ගියේ තැපෑල තමයි. ගමේ නාය ගිය තැන් මුලින්ම දැක්කෙත් මම. කොයිතරම් අපහසුතා තිබුණත් රාජකාරිය පැහැර හිරින්න මට හිත දුන්නේම නැහැ. මීමුරේ සුන්දරයි. ඒ සුන්දර ගමට ගිය අසුන්දර ගමනක් වුණත් සුන්දර විදිහට යනවා කියලා හිතාගෙන මම හිත හදාගත්තා. ඒ වගේම අපෙන් විය යුතු සේවාව අඩුවක් නැතුව කළා කියන සතුට මට තියෙනවා. මට ආධාර දෙන්න වත්කමක් නැහැ. හැබැයි මගේ සේවාව සැපයුවා කියන යුතුකම ඉටු කිරීමේ සතුට තියෙනවා.  මම හදෘ රෝගියෙක්,  අවශ්‍ය බෙහෙතුත් අරන් තමයි මම ගියේ.  බය ලොකුවට දැනෙන්න හොඳත් නැහැ කියලා කියනවානේ, බය දැනුණත් මම ඕනවට වැඩිය හිතන්න යන්නේ නැහැ. කොච්චර දුෂ්කර වුණත් මම සුබවාදීව හිතලා ගමන ගියා.”

නදීෂා අතුකෝරළ 

 



අදහස් (1)

මී මුරේ පාර නාය ගියත් තැපැල් මහත්තයා වැඩ

MARIKKAR Tuesday, 30 December 2025 02:20 PM

මෙම විජිත බණ්ඩාර මහත්තයාගේ කතාව කියනකොට මට අපූරු හිත් සැනසූමක් ආවා. විජිත මහත්තයා වගේ රත්තරං මිනිස්සු මේ රටේ ඉන්නතාක්කල් රට කවදාවත් වැයටන්නේ නෑ, විජිත මහත්තයාට දෙවි පිහිටයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site