මහාචාර්ය - රොහාන් සමරජීව

සුපුරුදු දේශපාලන අඩපාලි එසේම තිබියදී මංගල සමරවීර ඇමැතිවරයාගේ මංගල අයවැය ගැන ආර්ථික විද්‍යා ක්‍ෂේත‍්‍රයෙහි යම්යම් සාධනීය අදහස් දැක්වීම් අපට දැකිය හැකි විය. විශේෂයෙන්ම විවිධ බරපතළ ප‍්‍රතිසංස්කරණ අරභයා දැඩි මතධාරී අදහස්ද මේ අතරේ තිබෙනු අපට පෙනී    යයි.

විශේෂයෙන්ම කෘෂිකාර්මික ක්‍ෂේත‍්‍රයෙහි ප‍්‍රතිසංස්කරණ හා රක්ෂණ ක්‍ෂේත‍්‍රයෙහි නව හඳුන්වාදීම් මේ අතරේ ප‍්‍රමුඛව පෙනේ. ඒ නිසා අයවැයෙහි අන්තර්ගත මෙකී විෂය කරුණු ගැන වචන හරඹවලින් ඔබ්බට ගොස් විමසීම වටනේය.

විවිධ බෝග වගාකිරීමට ඉඩ සැලසෙන පරිදි 1958 අංක 1 දරන කුඹුරු පනත සංශෝධනය කිරීමට 2018 අයවැයෙන් කර ඇති යෝජනාව ඇතැමුන්ගේ විවේචනයට භාජන වී තිබේ. එහෙත් ඒ විවේචනවල පදනම විමසුවහොත් අපට දැකිය හැකිවන්නේ කරුණු නොමදැන කළ අදහස් දැක්වීම හැටියටය.

බොහෝ දෙනකු නොදැන සිටියාට කරවිල, පතෝල, පිපිඤ්ඤා වැනි අප නොසිතන එළවළු මේ වනවිට යුරෝපයට අපනයනය කෙරේ. එය කෙරෙන්නේ යහපත් කෘෂිකර්ම පුහුණු යටතේ යුරෝපීය ප‍්‍රමිතියටය.

ප‍්‍රමිතිය සඳහා නිර්ණායක තිබේ. අවම කෘෂිරසායන භාවිතය ඊට එක් උදාහරණයකි. විද්‍යාත්මක ක‍්‍රමවේදයකින් සිදුකෙරෙන මෙම ක‍්‍රියාවලියට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ද නොමඳ උනන්දුවක් දක්වයි. මෙම වගාවට හොඳම ඉඩම් තිබෙන්නේ කුඹුරු ඉඩම්වලය.

එහෙත් ඊට ඉඩම් ලබාගැනීම පහසු කටයුත්තක් නොවේ. වී වගාවට භාවිත කළ ඉඩම් වෙනත් වගා සඳහා භාවිත කිරීමට පවතින පනතින් කිසියම් සීමා පැනැවීම ඊට හේතුවයි. 

ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ ගොවීන් කුඹුරු කිරීමෙන් පලක් නැතැයි යන තීරණයට පැමිණ තිබෙන්නේ දිගුකලකට පෙරය. ඔවුන් කෙසෙල් වගාවට ගියේ ඒ අනුවය. එහෙත් පවතින පනතේ නෛතික කරුණු නිසා එවැනි වගාවක්වත් පහසුවෙන් කළ හැකි නොවේ.

සැබැවින්ම මෙම පනත සංශෝධනයෙන් අදහස් කරන්නේ කෘෂි ව්‍යාපාරික කටයුතුවලට සුළු ගොවීන් අතරෙහි නව නැඹුරුවක් ඇතිකිරීමය. නොඑසේව ඇතැමුන් චෝදනා කරන්නා සේ කුඹුරු ගොවිතැන අධෛර්යමත් කිරීමක් නොවේ.

කොටින්ම තමන් වගාකරන්නේ මොනවාද යන තීරණය ගොවීන් සතුය. බෝග අපනයනය වඩා ලාභදායී බවට රටේ මතයක් ද ඇති අතර අපේ නිරීක්ෂණ අනුව එය සැබෑවක් යැයි ද කිවහැකිය. මේ ගැන චෝදනා නඟන්නන් බොහෝ දෙනෙකු කරුණු දක්වන්නේ හුදකලා කරුණක් හැටියට ගෙනය. එහෙත් මේ පනත සංශෝධනයට අදාළ සන්දර්භයක් තිබේ.

කෘෂිකර්මය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය යනුවෙන් ලෝක බැංකු ව්‍යාපෘතියක් තිබේ. එය ක‍්‍රියාත්මකවන්නේ කෘෂිකර්ම හා ප‍්‍රාථමික කර්මාන්ත යන අමාත්‍යාංශ දෙක මගිනි. අමෙරිකානු ඩොලර් මිලියන 125ක් වැනි විශාල මුදලක් ව්‍යාපෘතියට ලැබෙන අතර එහි අරමුණවන්නේ කුඩා බිම් කඩවල වැවිලි කටයුතුවල නිරත සුළුගොවීන් ජාත්‍යන්තර අගය දාමවලට සම්බන්ධ කිරීමෙන් මුදල් ඉපැයීමට පහසුකම් සැපයීමය.

මීට ආකෘතියක් තිබේ. කෘෂිකර්මයට උපකරණ හා ගබඩා වැනි පහසුකම් අවශ්‍යය. ගොවීන් සමූහයක් හෝ තනි තනියෙන් හෝ මෙම ව්‍යාපෘතියට 50%ක් ආයෝජනය කළ යුතුවේ. ඉතිරි 50% මෙම ව්‍යාපෘතියෙන් ප‍්‍රදානය කෙරේ. එය ණයක් නොවේ.

උදාහරණයකට කෘෂි උපකරණවලට රුපියල් ලක්ෂයක් වැයවන්නේ නම් රුපියල් 50,000ක් ව්‍යාපෘතියෙන් පිරිනැමේ. එය එතෙකින් අවසන් නොවේ. ඉතිරි රුපියල් 50,000 ගොවීන් සතු නොවන්නේ නම් එයද ප‍්‍රශ්නයකි. ව්‍යාපෘතිය එය ගැනද සංවේදීය. ඒ අනුව ඔවුන් ගොවීන්ට අවශ්‍ය එම මුදල ණයක් ලෙස බැංකු මගින් ලබාගැනීම සඳහා ඇපකරුවකු හැටියට ක‍්‍රියාත්මක වේ. එවිට ගොවීන්ට තිබෙන්නේ ණය ගෙවීමේ වගකීමයි.

ගම්මිරිස්වලට ලංකාව චිරාත් කාලයක් තිස්සේ ප‍්‍රසිද්ධය. එහෙත් එහි තත්ත්වය ඉහළ දමාගැනීමට අප උනන්දු නැත. කේරළය වැනි තැන්වලට ප‍්‍රමුඛතාව හිමිව ඇත්තේ එම අඩු උනන්දුව නිසාය. මෙවැනි ව්‍යාපෘති මගින් පැහැදිලිවම කෘෂිකර්මයේ පවතින අඩුපාඩු මඟහරවාගත හැකිය. අනෙක් අතට මෙම ව්‍යාපෘතිය මුළුමනින්ම අයවැය මත රඳාපවතින්නක් නොවේ. ආකෘතිය අයවැයෙහි පැවැතිය ද මුදල් තිබෙන්නේ එයින් පිටතය.

විශාල අවදානමක් දරාගෙන වගා කිරීම අපේ කෘෂිකර්මයේ ඇති තවත් දුර්වලතාවකි. මහා ගංවතුරක් නියඟයක් පැමිණි විට දේශපාලකයන් පහසුවෙන්ම කරන්නේ ආණ්ඩුවේ මුදල්වලින් කීයක් හෝ ගොවීන්ට දී අතපිසදා ගැනීමය. එහෙත් මෙවර අයවැයෙන් ඒ වෙනුවෙන් රක්ෂණ සංකල්පයක් ඉදිරිපත් කර ඇත.

ඉන්දියාව, කෙන්යාව ආදී රටවල ක‍්‍රියාත්මක වන මෙය ඉතාම නැවුම් රක්ෂණ සංකල්පයකි. රථවාහනයක් අනතුරට ලක් වූ විට කිසියම් තක්සේරුකරුවකු පැමිණ පාඩුව තක්සේරු කිරීම සිදුවේ. කෘෂි රක්ෂණය යන සංකල්පය අප රට තුළ පැවැතිය ද මෙම තක්සේරුකරණය ගැටලූවලින් ගහන ක්‍ෂේත‍්‍රයකි.

නිලධාරීන්ගේ අභිමතය ඊට මූලික ලෙස බලපා ඇත. එහෙත් නව යෝජනාවෙන් අලූත් සංකල්පයක් ඉදිරිපත් කර ඇත. W eather Index Crop Insurance ලෙස හැඳින්වෙන මෙම නව ක‍්‍රමය යටතේ වගා හයකට මුදල් වෙන්කර ඇත. ඒ නියමු ව්‍යාපෘතියක් හැටියටය. ප‍්‍රතිපත්ති අධ්‍යයන කේන්ද්‍රය මගින් මේ ගැන දීර්ඝකාලීනව අධ්‍යයන සිදුකළ අතර ජනතාව දැනුම්වත් කිරීම් ද සිදුවිය. මෙය ක‍්‍රියාත්මකවන්නේ කාලගුණ දත්ත දර්ශක හැටියට සලකාය. එනිසා අදාළ දත්ත ලබාගැනීමේ පහසුව තිබිය යුතුය. එනිසා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට උපකරණ සඳහා රුපියල් මිලියන 200ක් වෙන්කර ඇත.

මා මෙම කරුණ අවධාරණය කරන්නේ කෘෂිකර්ම ක්‍ෂේත‍්‍රයේ පවතින අවදානම අවම කිරීමට විෂය ක්‍ෂේත‍්‍ර දෙකක් ගළපමින් ප‍්‍රතිපත්ති සම්පාදනය කළ වටිනා අවස්ථාවක් නිසාය. බොහෝ ගොවීන්ගේ දරුවන් කෘෂිකර්මය ජීවන වෘත්තිය හැටියට තෝරා නොගන්නේ පියවරුන් විඳින දුක නිසා යැයි ප‍්‍රවාදයක් වේ. ඒ අනුව එම සාම්ප‍්‍රදායික ප‍්‍රශ්නයට නවීන ප‍්‍රතිපත්තිමය මෙවලමක් හැටියට මෙම යෝජනාව දැකිය හැකිය. ඒ අනුව කෘෂිකර්ම ක්‍ෂේත‍්‍රයෙහි කිසියම් නැවුම් ප‍්‍රවේශයක් ගැනීමට මේ අයවැයෙන් කටයුතු කර ඇතැයි අපට කිව හැකිය.

පාසල් යන දරුවන්ට කිසියම් වෛද්‍ය රක්ෂණ ආවරණයක් පසුගිය අයවැයෙන් යෝජනා කෙරිණි. මේ වසරේදී විශ්වවිද්‍යාල සිසුන්ටද එවැන්නක් යෝජනා කර ඇත. එය රජයේ රෝහල්වලට පමණක් සීමා නොවේ.

 

බෙහෙත් ගැනීමට අමතරව පරීක්ෂණ සඳහාද එය භාවිත කළ හැකිය. ඒ සංකල්පයම ජනාධිපති අරමුදල නැවත ඉදිරිපත් කර තිබේ. එය ඉතා වැදගත්ය. විශ‍්‍රාම සුවයෙන් සිටින කලාකරුවන් වැනි පිරිස්වලට ජනාධිපති අරමුදලෙන් සැලසෙන්නේ මහඟු සේවයකි. එයට අප කවුරුත් මනාපය. එහෙත් එයින් යම් ආධාරයක් ලබාගැනීමට සිදුවන්නේ යාප්පුවෙනි.

ඉල්ලීම් කරනු මිස අයිතීන් නැත. එහෙත් නව අයවැය යෝජනාවකින් කියැවෙන්නේ ආධාර ලැබීමේ ප‍්‍රවර්ගයට අයත් වන කලාකරුවන් ආදීන්ට රක්ෂණ ක‍්‍රමයක් සැකැසීමය. එනම් අදාළ ගෙවීම කරන්නේ ආණ්ඩුවෙනි. කලාකරුවන් නොවේ. යාප්පුව අනවශ්‍යය. නම්බුකාර ලෙස ප‍්‍රතිලාභ ලැබිය හැකි මෙම ක‍්‍රමවේදය වඩා යහපත් යැයි මම සිතමි.

අවාසනාවට සෑම යෝජනාවක්ම එසේ විද්වත් අධ්‍යයන මත පදනම්ව කර නැත. ඊට උදාහරණ දෙකක් ගනිමු. ජංගම දුරකතන කුලූනුවලට මාසයකට රුපියල් ලක්ෂ 2ක් වැනි විශාල බද්දක් පැනවීම ඊට පළමු උදාහරණයයි. ජංගම දුරකතන කුලූනු රටට දරාගත නොහැකි සංඛ්‍යාවක් ඇති බවත් එය සෞඛ්‍යයට අහිතකර බවත් ඊට අදාළ තර්කනයයි. එහෙත් මේ යෝජනාව සැකසීමේදී මෙම විෂයට අදාළ වගකීම් දරන රජයේ නිලධාරීන්ගේවත් සහාය ලබාගෙන නැති බවක් මට පෙනේ. ඊට හේතුව මෙයයි. මංගල සමරවීර මුදල් ඇමැතිවරයා අයවැය කතාවේ කිව්වේ කුලූනු 50,000ක් ඇති බවය.

ඊට අනුව රජයට වාර්ෂිකව ලැබෙන ආදායම රුපියල් බිලියන 120ක් විය යුතුය. එහෙත් ලේඛනයෙහි සඳහන්වන්නේ විදුලි සංදේශ ක්‍ෂේත‍්‍රයෙන්ම ලැබිය හැකි මුළු ආදායම රුපියල් බිලියන 15ක් බවය. එතැනම ඇත්තේ පටලැවිල්ලකි. අනෙක් අතට මේ කරුණ පසුපස ඇති තාක්ෂණික අනවබෝධයයි. කුලූනු රැසක් අපේ රටට අවශ්‍ය නැතැයි දැන් ඇතැම්හු කියමින් සිටිති. මුළු රටේම ජංගම දුරකතන කුලූනු නවයකින් ආවරණය කළ හැකි යැයි විදුලි ඉංජිනේරුවකු වූ පාඨලී චම්පික රණවක කළ ප‍්‍රකාශය එවැන්නකි.

ජංගම දුරකතන තාක්ෂණයට විදේශයන්හිදී භාවිතවන්නේ සෙලියුලර් යන වදනයි. සෙලියුලර් පැති අටකින් යුතු ෙසෙල දාමයකි. සමීපතම ෙසෙල දෙකේ එකම සංඛ්‍යාත පාවිච්චි කරන්නේ නැත. උදාහරණයකට කොල්ලූපිටියේ පාවිච්චි කරන සංඛ්‍යාතය බම්බලපිටියේ පාවිච්චි නොකළද වැල්ලවත්තේදී පාවිච්චි කෙරේ. මෙම තාක්ෂණයේ පදනම එයයි.

පැරැණි ක‍්‍රමය යටතේදී සිදුවුණේ සූරියකන්ද වැනි ස්ථානයක පිහිටු වූ කුලූනකින් හැකි උපරිම දුරකට සම්පේ‍්‍රෂණය කිරීමයි. එහෙත් අලූත් ක‍්‍රමය යටතේදී සිදුවන්නේ ඒ වෙනුවට බලය අඩු කිරීමය. සෞඛ්‍යය පැත්තෙන් බැලූ විට මෙය බලය අඩු තාක්ෂණයකි. එහෙත් එහි පදනම කුලූනු වැඩි සංඛ්‍යාවක් අවශ්‍ය බවය.

ඉංජිනේරුවන්ද විෂය නොදන්නේ නම් ඉංජිනේරුවන් නොවන මුදල් අමාත්‍යංශ නිලධාරීන්ගේ තත්ත්වය තවත් දරුණු වනු ඇත. මෙහි ඇත්තේ තනිකරම තාක්ෂණය නොදැන බදු ගැසීමකි. කාලගුණ දර්ශක මත පදනම් වූ කෘෂි රක්ෂණයේදී ආණ්ඩුව විමර්ශනශීලී වූයේ යම්සේ ද මෙම කරුණේදී දැකිය හැක්කේ ඊට හාත්පසින්ම වෙනස්ව නොදැනීම මතම පදනම් වූ තීන්දු ගැනීමකි.

දැන් අපි දෙවැනි උදාහරණයට යමු. ත‍්‍රිරෝද රථය යනු අද වනවිට අපේ ජන ජීවිතයට ඉතා සමීප වාහනයකි. ඈත පළාත්වලට යනවිට බොහෝ ගොවීන්ට ත‍්‍රිරෝද රථයක් ඇත. ඇඹුල ගෙනියන්නේ ද එමගිනි. අයවැයෙන් පැවැසෙන්නේ විදුලි බලයෙන් ධාවනය කෙරෙන ත‍්‍රිරෝද රථ ධෛර්යමත් කරමින් ඞීසල් ත‍්‍රිරෝද රථ අධෛර්යමත් කෙරෙන බවය. එය හොඳය. මන්දයත් ඞීසල් මගින් විමෝචනය වන දේ වායු දුෂණයට ප‍්‍රධාන සාධකයක් වන නිසාය. ඇදුම රෝගීන්ට එය ඉතා නරකය. එහෙත් බොහෝ දෙනකුගේ ඇස නොගැසුණු කරුණක්ද මෙහි අන්තර්ගත වේ. ඒ ත‍්‍රිරෝද රථ නියාමනයට කොමිසමක් පිහිටුවීමයි.

මෙය කිසිසේත්ම දුරදිග කල්පනා කරගත් තීන්දුවක් විය නොහැකිය. මන්දයත් ප‍්‍රවාහන කටයුතු පවතින ව්‍යවස්ථාවෙන් පැවැරී ඇත්තේ පළාත් සභාවලට වන බැවිනි. උදාහරණයකට බස්නාහිර පළාතේ බස් රථවලට බලපත‍්‍ර දෙන්නේ නියාමනය කරන්නේ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියයි. ජාතික ප‍්‍රවාහනය අයත්වන්නේ යාපනය කොළඹ වැනි නගරාන්තර ගමන් මඟකදීය. ත‍්‍රිරෝද රථ අංගණ ගතහොත් ඒවා පාලනය කරනු ලබන්නේ නගරසභා විසිනි. ආසන්න පොලිස් ස්ථානය සමඟ ඒවාට ඇත්තේ සමීප සම්බන්ධයකි. මේ සියල්ල බිම් මට්ටමේ ප‍්‍රාදේශීය ආණ්ඩු සමඟ සම්බන්ධ කාරණාය.

මෙවැනි තත්ත්වයක එවැනි රථ වාහනවලට ජාතික කොමිසමක් පිහිටුවීම ව්‍යවස්ථාවට එරෙහිය. අනෙක් අතට අප දැන් සිටින්නේ බලය විමධ්‍යගත කෙරෙන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ගැන සාකච්ඡා කාලයකය. එවැනි මොහොතක කිලෝමීටර කිහිපයක් එහාමෙහා ධාවනය කෙරෙන වාහනයක් මධ්‍යම ආණ්ඩුව මගින් පාලනය කෙරෙන යාන්ත‍්‍රණයක් සකස් කිරීමේ දේශපාලනය ප‍්‍රශ්නකාරීය. කොටින්ම කිවහොත් මෙමගින් කෙරී ඇත්තේ බලය විමධ්‍යගත කිරීමේ මූලික සංකල්පයටම පටහැණි යෝජනාවක් අයවැයට රිංගවීමය.

මේ වසරේ සිට වසර 23ක් ඇතුළත හෙවත් 2040 වනවිට ලංකාවේ ධාවනය කෙරෙන සියලූම රථ වාහන විදුලියෙන් ධාවනය වන රථ වාහන බවට පරිවර්තනය කරන බව මෙවර අයවැයෙන් නිර්භීත ලෙස සඳහන් කර තිබේ. නීලහරිත අයවැය යන තේමාව යටතේ එය විස්තර කෙරේ.

පරිසර හිතකාමීව යම්කිසි දර්ශනයක් මෙමගින් ඉදිරිපත් කර තිබේ. ඊට මාද කැමැතිය. විදුලි බලයෙන් ධාවනය කෙරෙන රථ වාහනවලට බදු අයකිරීම් අඩු කිරීමෙන් එකී පිළිවෙත ඉන් නොනැවතී ධෛර්යමත් කිරීමටද ආණ්ඩුව කටයුතු කර තිබේ.

අනෙක් අතට සුපිරි වාහනවලට වැඩි බදු අයකිරීම් ද යෝජනා කර ඇත. ඒ අනුව දිගුකාලීන හා කෙටිකාලීන වශයෙන් යෝජනා දෙවර්ගයම මෙහි අන්තර්ගතය. විරුද්ධ පක්ෂය, පළාත් සභා, දේශපාලන විපක්ෂ බලවේග ඇතුළුව සමස්ත ජනතාව මෙය විශ්වාසනීය ඉලක්කයක් හැටියට සැලකුවහොත් සිය හැසිරීම ඒ අනුව වෙනස්කිරීමට පටන්ගනී. රථ වාහන පද්ධතියක් යනු ජීව පද්ධතියකි.

ලංකාවට පළමු පෙට‍්‍රල් රථ වාහන පැමිණෙන 20වැනි සියවසේ මුලදී ඒවාට සෑහෙන තරම් ඉන්ධන ලබාගැනීමට ඉන්ධනහල් සෑමතැනම තිබෙන්නට නැතිවා ඇත. මේ නිසා ග‍්‍රාමීය පෙදෙස්වලට යද්දී අතිරික්ත ඉන්ධන ළඟ තබාගැනීම අවශ්‍යවන්නට ඇත. එහෙත් අද එවැනි තත්ත්වයක් නැත. එහි අර්ථය පද්ධතිය නිර්මාණය වී ඇති බවයි. අද විදුලි මෝටර් රථ භාවිතා කරන්නන් කල්පනා කරන්නේ එදා පෙට‍්‍රල් වාහන හිමිකරුවන් මෙනි. එහෙත් 2040 ඉලක්කය සමඟ පද්ධතිය සැකැසීමට පසුබිම සැකැසේ.

මේ නිසා විද්‍යුත් ආරෝපණහල් ඉදිකිරීමට ආයෝජනය කිරීමට කැමැත්තක් ව්‍යාපාරිකයන් තුළ ඇතිවේ. ඒ අනුව අවශ්‍ය පසුබිම රජය සකසා තිබේ. එහෙත් තව පිරිසක් අසන්නේ රටේ අවශ්‍යතාවට සෑහිය හැකි තරමින් විදුලි ජනනයක් සිදුවේද යන්නයි. සැබැවින්ම විදුලි බල ජනනයේ ලොකු ප‍්‍රශ්නයක් තිබේ. ඊට හේතුව අපේ දීර්ඝකාලීන සැලැසුම් අනුව සාම්පූර්හි විදුලි බලාගාරයක් මේ වනවිට පිහිටුවා තිබිය යුතු වුවත් එය අහෝසි කිරීමට ආණ්ඩුව ප‍්‍රතිපත්තිමය තීන්දුවක් ගැනීමය.

ස්වභාවික වායු බලගාරයක් ඒ වෙනුවට පිහිටුවිය යුතු වුවත් ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලිය තුළ දැනටමත් එය ප‍්‍රමාදය. එනිසා 2018 වනවිට විදුලි හිඟයක් ඇතිවන බවක් අපට පෙනේ. ඒ නිසා අයවැයේ ඉලක්ක සාර්ථක කරගැනීමට නම් විදුලි බල ක්‍ෂේත‍්‍රය වඩාත් යහපත් දිශාවකට තල්ලූ කිරීම උදෙසා කඩිනම් පියවර ගැනීමට ආණ්ඩුව උත්සුක විය යුතුවේ.

මේ ආදී ලෙස ගත්විට ආණ්ඩුව ප‍්‍රතිපත්තිමය වශයෙන් දිගු දුර ඉලක්ක සහිතව යෝජනා ඉදිරිපත් කළ තැන් කීපයක්ම 2018 අයවැය විමර්ශනයේදී අපේ ඇස ගැටේ. අයවැය කතාවේදී මංගල සමරවීර ඇමැතිවරයා පැවැසුවේ රජය මිනිසුන්ට මත්ස්‍යයකු වෙනුවට බිලී පිත්තක් ලබාදීමේ ප‍්‍රතිපත්තිය අනුගමනය කරන බවය. බොහෝ දෙනෙකු බලන්නේ අයවැයෙන් තමන්ට ලබාදී ඇත්තේ මොනවාද කියාය.

සැබැවින්ම මෙවර අයවැයෙන් අරමුණු කරගෙන ඇත්තේ අපේ ආර්ථික තත්ත්වය දියුණු කරගැනීමට අවශ්‍ය සහාය, මෙවලම්, ක‍්‍රමවේදය සැකැසීමය. එය ලේඛනවලින් ඔබ්බට ගෙන ගොස් මහ පොළොවේ යථාර්ථයක් කිරීමද ආණ්ඩුවේ වගකීමය.

 

සටහන : බිඟුන් මේනක ගමගේ