වසර 2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය මෙරට රාජ්‍යය ඇතුළුව රට වැසියෝ ඉතා ඉහළින් සමරමින් සිටිති. සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම සඳහා විවිධ බෞද්ධ කටයුතු ඉටුකරමින් සිටිති. ඒ සියල්ල අතරේ 2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් නිමැවූ සුවිශාලම කාර්යය ලෙස ”සිරි ගෞතම සම්බුද්ධරාජ මාලිගාව” හඳුන්වා දිය හැකිය. පොල්ගහවෙල වඩුවාව මහමෙව්නාව භාවනා අසපුවෙහි කොටසක බුදුන් වහන්සේ උදෙසා ඉදිවූ මෙම සුවිසල් සම්බුද්ධ රාජ මාලිගාව නිර්මාණය කර තිබේ. මහමෙව්නා භාවනා අසපු සේම මෙම අපූරු මාලිගයද මෙරට ප‍්‍රකට ධර්මධර භික්ෂුවක ලෙස බෞද්ධ ජනහද දිනා සිටින කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන්ගේ නිර්මාණයකි. අලව්ව පොල්ගහවෙල ප‍්‍රධාන මාර්ගයේ යාන්ගල්මෝදර දුම්රිය හරස් මාර්ගය අසලින් විහිදෙන මාර්ගයේ කිලෝමීටර් තුනහමාරකට ආසන්න දුරක් ගියවිට මහමෙව්නා භාවනා අසපුව හමුවේ. මෙය ඥාණානන්ද හිමියන් විසින් ඉදිකරවනු ලැබූ මෙරට ප‍්‍රථම මහමෙව්නා අසපුව ලෙසද හැඳින්වේ. අක්කර විස්සකට ආසන්න ස්වභාවික සෞන්දර්යයෙන් පිරි කඳුකර බිම් පෙදෙසක සම්බුද්ධ රාජමාලිගය ඉදිකර තිබේ. ඉන්දියාවේ අශෝක අධිරාජයා විසින් නිර්මාණය කරන ලද ධර්ම චක‍්‍රය සහිතවූ දැවැන්තව ඉදිවූ දොරටුවකින් සිරිගෞතම රාජමාලිගයට පිවිසිය යුතුවේ. ඉන් අනතුරුව තවත් දැවැන්ත පියගැට පෙළක් ඔස්සේ නැගගොස් මාලිගා පරිශ‍්‍රයට පිවිසීමට පුළුවන. මහල් දෙකකින් යුක්ත වන ආකාරයට නිමවූ මෙම රාජමාලිගාව අප ගෞතම බුදුන් වහන්සේ උදෙසා නිර්මාණය කොට තිබේ. මෙහි නිමවා තිබෙන සෑම මූර්තියකින්ම, චිත‍්‍රයකින්ම කියැවෙන්නේ අප ගෞතම බුදුන්වහන්සේ බුද්ධත්වයට පත්වීම දක්වා වූ කතා පුවතය. රාජමාලිගාවට ඇතුළුවන ප‍්‍රධාන දොරටුවට දකුණු පසින් දිස්වන්නේ බෝසතාණන් වහන්සේ බුද්ධත්වය පතා වෙස්සන්තර ආත්ම භාවයේදී මහ පොළොව කම්පා කරවමින් දන්දෙන ආකාරයේ දැවැන්ත මූර්ති නිර්මාණයකි. ප‍්‍රධාන දොරටුවද කොස් සහ කළුවර දැවයෙන් කැටයම් සහිතව නිමවූ අපූරු නිර්මාණයකි. මෙම දැවැන්ත උළුවස්ස උඩ කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම යන සිව් බුදුවරුන් වැඩහිඳිති. ප‍්‍රධාන දොරටුවෙන් මාලිගයට පා තබන විටම නෙතසිත බුද්ධාලම්භන ප‍්‍රීතියෙන් ඔද වැඩෙන අනගිභවනීය ගෞතම බුදුන්වහන්සේ සම්බුද්ධත්වය ලබමින් වැඩ හිඳින අපූරු දර්ශනය නෙත් ඉදිරිපිටම දිස්වේ. දඟකාර ඇත් පෙළකින් මතුවන පූජාසනය සහිත වූ වජ‍්‍රාසනය මත බුදුන්වහන්සේ වැඩ සිටින අතර, මෙය එක්වරම දිස්වන්නේ බුදුන්වහන්සේ අහසෙහි වැඩ සිටින ආකාරයයි. ඒ තරමටම මනස්කාන්ත ලෙස සිරිගෞතම සම්බුද්ධරාජ මාලිගාවෙහි ප‍්‍රධාන කොටස ලෙස හැඳින්වෙන මෙම පහත මාලය නිමවා ඇත. වජ‍්‍රාසනය මත වැඩ සිටින බුදුන්වහන්සේ දෙපසින් මිහිකතගේ වන්දනාවත්, දෙව්බඹුන්ගේ ප‍්‍රීතිඝෝෂා සහිත නර්තන සිතුවම් කොට ඇත. මීට අමතරව එම මාලිගා ශාලාවෙහි දෙපස බුදුන්ගේ පුරිසධම්ම සාරථි ගුණයට අදාළ සිදුවීම් සහ ඉහළ කොටසෙහි මහා සමයද මැනැවින් සිතුවම් කොට ඇත. මේ සිතුවම් සියල්ලම මෙතෙක් අප දැක තිබෙන බෞද්ධ සිතුවම්වලින් බැහැරව නව අරුතක් ගෙන දෙමින් නිර්මාණය කර තිබීමද විශේෂත්වයකි. ප‍්‍රධාන දොරටුවෙන් මාලිගාවට ඇතුළු වී වම්පස බැලූවිට අසිරිමත් බෝසත් උපත සහ එදෙස ඉමහත් සතුටින් බලා සිටින සක්දෙවිඳුන්ගේ රුව අපූරුවට අඹා ඇත. ඉන් අනෙක් පස සන්තුසිත දිව්‍ය රාජයාද, ඝටීකාර බ‍්‍රහ්මරාජයාද නිර්මාණය කොට ඇත. ඒ ආසන්නයේම ධුතාංගධාරීන්ගෙන් අග‍්‍රවූ මහා කසුප් මහරහතන් වහන්සේගේ සහ මිගාසනය මත දම්සක් පැවතුම් මුද්‍රාවෙන් යුක්ත වූ අලංකාර සම්බුද්ධ රාජාණන් වහන්සේගේ ජීවමාන අයුරින් දිස්වන ප‍්‍රතිමාය. මීළඟට ප‍්‍රධාන පිළිම වහන්සේට දකුණු පසින් පිරිනිවන් මුද්‍රාවෙන් සැතපෙන පිළිම වහන්සේය. කළුවර දැවයෙන් නිමවූ සුදු හඳුන් මලින් සුවඳවත්වූ වෘක්ෂ දෙකක් පිරිනිවන් මංචකය වටා ඉදිකර පවතී. උඩුමහලෙහි ප‍්‍රධාන කොටස් දෙකක් වන අතර එහි ප‍්‍රධාන කොටස නම් කෙරෙන්නේ වැඩහිඳින මාලිගාව ලෙසය. එහි සඳුන් දැවයෙන්, රනින් නිමවූ බුද්ධ ප‍්‍රතිමා සේම සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ හිඳිති. මෙම කොටස විවෘත කෙරෙන්නේ සුවිශේෂී අවස්ථාවලදී පමණි. අනෙක් කොටස නම් කෙරෙන්නේ පත්තිරිප්පුව ලෙසය. මෙම කොටස භික්ෂූන් වහන්සේලාට භාවනානුයෝගීව විසීම වෙනුවෙන්ම නිමකොට ඇත. එම ස්ථානයෙහි කොටසක දුෂ්කර ක‍්‍රියාවෙහි යෙදෙමින් අධිෂ්ඨානශීලීව වැඩවෙසෙන බෝසතාණෝය. බුදුරැස් ඉහළට විහිදෙන ආකාරය පෙන්නුම් කරවා බෞද්ධ ධජපතාක රැසක් උඩුමහලෙහි සිට ඉහළට නංවා ඇත. එසේම උඩුමහලෙහි දෙපස සම්බුදු පෙළහර නමින් සිටි ඉරියව්වෙන් වැඩසිටින පිළිමවහන්සේලා නිමවා තිබෙන්නේ පහළ සිටින සැදැහැවතුන්ට ආශිර්වාද පිරිනමන අයුරු පෙන්නුම් කරමින්ය. මීට අමතරව එළිමහනෙහි තවත් බුද්ධ ප‍්‍රතිමා ද දේවතා රූප ද, රහතන් වහන්සේලාගේ රූප ද අඹා ඇත. ස්වභාවික ගලක් යොදාගෙන මහින්දාගමනයද නිමවා තිබේ. මීට අමතරව සිංහ, රාජාලි සහ අඩක් මිනිස් අශ්ව රූප නිර්මාණය කර තිබීම බෞද්ධ සිතට දැනෙන නුහුරු දර්ශනයකි. පැය ගණනක් එකම ඉරියව්වෙන් හිඳ ඇසිපිය නොහෙළා බලා සිටිය හැකි ආකාරයට මෙම රාජ මාලිගාවේ සියලූම නිර්මාණයන් කර තිබීම විශේෂත්වයකි. මේ සඳහා වැයවී ඇති මුදල අති විශාලය. අඩි 107 ක් උසැති සම්බුද්ධරාජ මාලිගාව වසරක් වැනි කෙටි කාලයකදී නිමවා අවසන් කිරීමට හැකි වීමද සුවිශේෂී කරුණකි.කිරිබත්ගොඩ ඥාණානන්ද සිත්හී මැවුනු මේ අපූරු නිර්මාණය දෙවැනි වන්නේ උතුම් දළදා වහන්සේ වැඩ සිටින මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පමණක් යැයි කිවහොත් එය අතිශයෝක්තියක්ද නොවනු ඇත. මේ සියල්ල සඳහා අවශ්‍ය ආධාර, උපකාර, දායකත්වය ලැබුණේ මහමෙව්නා භාවනා අසපුවල ධර්ම කටයුතු පිළිබඳව පැහැදුනු දෙස්, විදෙස් බෞද්ධ ජනතාවගෙන් බව මහමෙව්නාවේ හිමිවරු පවසති. ජනාධිපති මහින්ද රාජපක්ෂ, කථානායක චමල් රාජපක්ෂ මහත්වරු ඇතුළු දෙස්, විදෙස්, ගිහි පැවිදි විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් විවෘත කෙරුණු ගෞතම බුදු හිමියන් උදෙසා පිදුණු මෙය අපූරු නිර්මාණයකි.
සේයාරූ හා සටහන -   පුෂ්පකුමාර ජයරත්න
තුසිත දිව්‍යරාජයා මහා කාශ්‍යප තෙරුන් වහන්සේ  ප‍්‍රධාන බුද්ධ ප‍්‍රතිමාව සම්බුදු පෙළහර ගෞතම සම්බුද්ධරාජ මාලිගාව