මෙරට රජකම් කළ මහසෙන් රජු හා කාලිංග දේශයේ ගුහසීව රජු අතර ඇතිවූ මිතුදමක ප‍්‍රතිඵලයක් ලෙස ගුහසීව රජුගේ දියණිය වන හේමමාලා කුමරිය හා සරණ බැඳුණු ‘දන්ත’ නම් කුමරු දෙපළ විසින් දළදා වහන්සේ මෙරටට රැගෙන එන ලද බව ඉතිහාසයෙහි සඳහන් වෙයි.

 

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර අගෝස්තු 11 වැනි දින ප‍්‍රථම කුඹල් පෙරහරෙන් ආරම්භ කෙරෙයි.
අගෝස්තු 15 දින දක්වා කූඹල් පෙරහර පැවැත්වෙයි.
අගෝස්තු 16 ප‍්‍රථම රන්දෝලි පෙරහර ආරම්භ කෙරෙයි.
අගෝස්තු 20 අවසන් රන්දෝලි පෙරහර

 

මහසෙන් රජතුමාගේ පුතු වූ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු සමයේ දළදා වහන්සේ ලංකාවට වැඩම කරවා ‘රජුගේ අණින් රන්මිණියෙන් තැනූ කරඬුවක. ‘දළදා වහන්සේ තැන්පත්කොට අලංකාර ධාතු ගර්භයක තබා ‘දළදා ප‍්‍රදර්ශනයක්ද කර ඇති බව සඳහන්ය. එතැන් පටන් ශ්‍රී ලාංකීය බොදුනුවන් පමණක් නොව සමස්ත ලෝක බෞද්ධ ප‍්‍රජාවගේ පූජෝපහාරයට පාත‍්‍ර වූ අති පූජනීය ‘ශ්‍රී දළදා වහන්සේ වෙත’ පූජෝපහාරයක් වශයෙන් මෙරට පාලනය කළ සෑම රජකෙනෙකුම මහනුවර ඇසළ පෙරහර පවත්වා දළදා සමිඳුන්ට ‘පූජෝපහාර දැක්වූහ.’

දළදා වහන්සේ උදෙසා කෙරෙන සෑම වත් පිළිවෙත් මෙන්ම පූජා ද දළදා වහන්සේ මෙරටට වැඩම කළදා පටන් අද දක්වා සියලූ රජවරුන්ගේ අණින් මෙරට විසූ රාජ රාජ මහාමාත්‍යාදීන් මෙන්ම රට වැස්සන්ද අඛණ්ඩව කරගෙන ගිය බව ‘‘ ඉපැරණි ග‍්‍රන්ථයන්හි සටහන් වෙති.

බි‍්‍රතාන්‍යය අධිරාජ්‍යයෙහි පස්වැනි ජෝර්ජ් රජුගේ ජ්‍යෙෂ්ඨ පුත් එඞ්වඞ් ඇල්බර්ට් ක‍්‍රිශ්ටියන් ජෝර්ජ් ඇන්ඩෲ පැටි‍්‍රක් ඬේවිඞ් කුමරු වෙනුවෙන් විශේෂ දළදා දැක්මක් පවත්වා අලි ඇතුන් 150කින් යුත් දර්ශනීය පෙරහරක්ද පවත්වා තිබේ. එදා සිට අද දක්වා කන්ද උඩරට පුරවරය සිසාරා දළදා සමිඳුන්ගේ පහසලත් මුදු සුළඟින් බොදු බැතිමත්හු අපිරිමිත සුවයක් වින්දාය.

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වැඩ සිටින ‘ශ්‍රී දළදා වහන්සේ ඉදිරියේ හිස නැමූ, දණ නැමූ රාජ්‍ය නායකයකු නැති තරම්ය.

රාජ්‍ය අනුග‍්‍රහය ලබමින් ඓතිහාසික මහනුවර පුරවරයේ වැඩ සිටින ශ්‍රී දළදා සමිඳුන් උදෙසා පවත්වන පුජෝපහාර දළදා පෙරහර අතීන රජ සමයේ සිට චාරිත‍්‍රානුකූලව පැවැත්වීමට එකල මෙරට පාලනය කළ සෑම රජකෙනෙක්ම කටයුතු යෙදුහ.

දළදා වහන්සේ පිළිබඳව හාස්කම් ඓශ්චර්යය, අතීතයේ සිට බොහෝ දෙනකු විසින් ඉපැරණි පොත පතෙහි සඳහන් කර තිබේ. ශ්‍රී දළදා සමිඳුන් උදෙසා කෙරෙන ‘‘විවිධ චාරිත‍්‍ර විධි පුරාණය රජ දවසේ සිට අද දක්වා නොවෙනස්ව සිදු වෙති.

ශ්‍රී දළදා වහන්සේගේ භාරකාරත්වය දරණුයේ මල්වතු අස්ගිරි උභය විහාර පාර්ශවයන්හි මහා නායක හිමි පාණන් වහන්සේලා දෙනම සහ රජදවසේ සිට දළදා සමිඳුන්ගේ නිල භාරකාරත්වය දරණ ‘දියවඩන නිළමේ විසින්ය.

මෙරට සිංහල රාජ වංශය අවසන් වූ පසුව ලංකාවේ පාලනය අත්පත් කරගත් ඉංග‍්‍රීසි පාලකයන්ද (1815 මාර්තු 02 වැනි දින ලංකාව සම්පූර්ණයෙන්ම ඉංගී‍්‍රසීන්ගේ යටත් විජිතයක් බවට පත්විය.)

ඉංග‍්‍රීසීන්ගේ පාලන සමයේ වුවද ශ්‍රී දළදා සමිඳුන් වෙත ගෞරව පුද පූජා පවත්වා ඇති බව ඉතිහාසයෙහි සඳහන් වෙයි.

දෙවැනි පරාක‍්‍රමබාහු රජතෙමේ රජකමට පත් වීමෙන් පසු ‘දළදා සමිඳුන් වහන්සේ භක්තියෙන් රැක ගනිමින් ආගමික වතාවත් ඉටුකළ බව මහාවංශයෙහි සඳහන්ය. රජතුමා තම මාළිගය ආසන්නයේම රම්‍ය වූ මන්දිරයක් සාදවා රන් රිදී මුතු මැණික්වලින් සකසන ලද ‘මිණි රන්කරඬුවක් තනා දළදා සමිඳුන් එහි තැන්පත්කොට පුජා  කළ බව සඳහන් වේ.

තමන්ට සිතැඟි පරිදි දළදා සමිඳුන් වැඳ පුදා ගන්නට පුණ්‍ය සිතක් පහළ වූ පරාක‍්‍රමබාහු රජතුමා ‘රන් කරඬු තුනක් සකසා ‘දළදා සමිඳුන් තැන්පත් කර විශේෂ පූජෝපහාර පවත්වා දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගනිමින් ලංකාව ආක‍්‍රමණය කරන්නට පැමිණි ‘පරසතු මැඩලා යුද්ධය ජයගත් බවත්” ‘මහාවංශයෙහි දළදා පුද පැවැත්වීම වශයෙන් සඳහන් කර තිබේ.

මෙරට පාලනය කළ සියලූ රජවරුන් දළදා වහන්සේට දැක්වූයේ අසීමිත ගෞරවයකි. රාජ අණින් ශ්‍රී දළදා සමිඳුන්ට දිනපතා පුද පූජා පැවැත්වීමට ඒ සඳහාම විශේෂ වූ සේවක පිරිස් පත් කරනු ලැබුවේද මෙරට පාලනය කරන  ලද රජවරුන් විසින්මය.

ඉංග‍්‍රීසින් විසින් මෙරට රජකරන ලද අවසාන රජතුමා වන ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජු සිංහාසනයෙන් පහකර 1815 මාර්තු මස 02 වැනි දින මුළු ලංකාවම බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිතයක් බවට පත් කර ගත් පසු වුවද ඉංග‍්‍රීසි පාලකයන් දළදා වහන්සේ ආරක්‍ෂාකොට, දළදා වහන්සේගේ කටයුතු සිංහල ජනතාවගෙන් යුත් මණ්ඩලයක් පත්කර  තිබේ. එම මණ්ඩලයට දියවඩන නිළමේ, මල්වතු අස්ගිරි පාර්ශවයන්හි ප‍්‍රධාන නායක හිමිවරු උඩුනුවර යටිනුවර දුම්බර, හාරිස්පත්තුව යන ප‍්‍රදේශවල රටේ මහත්තුරු හා මහනුවර සතර මහා දේවාලවල සහ සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිළමේවරුන්ගෙන් සමන්විත විය. එහෙත් 1848 ඇති වූ කැරැුල්ල සමග ඉංග‍්‍රීසීන් විසින් දළදා වහන්සේගේ භාර කාරත්වය යළින් ඔවුන් භාරයට ගනුලැබ ඇත.

1853 වසරේදී ඉංග‍්‍රීසි පාලකයන් දළදා වහන්සේ යළිත් වතාවක් මල්වතු අස්ගිරි මහානායක හිමිපාණන් වහන්සේලාට සහ දියවඩන නිළමේතුමන් භාරයට පවරන ලදී. එදා සිට මේ දක්වා මහනුවර ශ්‍රී දළදා වහන්සේගේ අයිතිය එලෙසම පවතී.

දළදා වහන්සේ රාජ්‍යත්ව හිමිකාරත්වයේ පූජනීය වස්තුවක් බවට අතීතයේ සිට මෙරට පාලනය කළ පාලකයන් මැනවින් අවබෝධ කරගෙන සිටි බව පැරණි ග‍්‍රන්ථයන්හි සඳහන් වෙයි. වත්මන් රජයද ශ්‍රී දළදා මාළිගාව හා එහි වැඩ සිටින ශ්‍රී දළදා සමිඳුන් සුරක්‍ෂිත කිරීමට නිරන්තරයෙන් බැදී සිටී.

දළදා සමිඳුන්ට පුජෝපහාර පිණිස සෑම වසරකම පවත්වනු ලබන දළදා පෙරහරට රජය විසින් උපරිම ආරක්‍ෂාව මෙන්ම අවශ්‍ය සියලූ රාජ්‍ය අංශයන්හි උපරිම සහායද ලබාදෙන්නේ දළදා සමිඳුන් රාජ්‍යත්වයේ සංකේතය බවට අතීත රජ දවසේ පටන් පැවති සිරිතක් නිසා බව පැරැණියෝ පවසති. අද ද ඒ මතය එලෙසම පවතී.

රටට විපත් ගෙනදෙන සෑම අවස්ථාවකදීම දළදා සමිඳුන්ගේ ආශිර්වාදය අපේක්‍ෂා කරන බොදුනුවෝ මෙන්ම රාජ්‍ය පාලකයෝ හා රටේ අනෙකුත් ප‍්‍රභූවරු දළදා සමිඳුන් වැඩ සිටින මාළිගයේ කුටියට පැමිණ දළදා සමිඳුන්ට පුද පූජා පවත්වති.

පළමුවන විමලධර්මසූරිය රජතුමාගේ රාජ්‍ය සමයේ  සබරගමුව පළාතේ දෙල්ගමුව විහාරයේ තැනක වැඩ සිඳුවා සිටි දළදා වහන්සේ මනරම් වූ දෙමහල් දංගෙයක් කරවා දළදා වහන්සේ එහි තැන්පත් කර නිරත්තර පුද පූජා පවත්වා ලක්දිව උපසම්පදා භික්‍ෂූන් වහන්සේලා නොමැති බව දැන මෙරටට උපසම්පදා භික්‍ෂූන් වහන්සේලා වැඩමකොට උපස්ථානකොට මහවැලි ගඟ ගැටඹේ තොටෙහි සීමා මාලක තනවා මෙරට භික්‍ෂූන් වහන්සේලා උපසම්පදාකර්මයෙහි පිහිටුවා තිබේ. විමලධර්මසූරිය රජතුමා දළදා වහන්සේ උදෙසා දළදා මාළිගයක් සෑදු බව මහාවංශ ග‍්‍රන්ථයේ සඳහන්කොට තිබේ.

දළදා වහන්සේ මෙරට විසූ රජවරුන් අතිවිශාල පිරිසකගේ ගරු බුහුමනට මෙන්ම පුද පූජාවටද ලක් වූ අනර්ඝ පූජනීය වස්තුවක් වූ බව ඉතිහාස පොත්වල සඳහන් කර තිබේ.

වීර පරාක‍්‍රම නරේන්ද්‍ර සිංහ රජ සමයේ දළදා සමිඳුන් උදෙසා අදටත් දක්නට ලැබෙන දෙමහල් දළදා මාළිගාව ඉදිකර දළදා වහන්සේ තැන්පත් කර පුද පූජා පවත්වා ඇති බව ඉතිහාසය කරුණු දක්වයි. අනතුරුව රාජ්‍යත්වයට පත් වූ  රජවරු පවා දළදා වහන්සේට පුද පූජා පවත්වා ‘දළදා වහන්සේ ආරක්‍ෂා කළහ.’
කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේද වාර්ෂිකව ඇසළ පෙරහර පැවැත්වීමට ‘එම රජතෙමේ කටයුතු කර ඇත.

දළදා වහන්සේට පුද පිණිස රජ  දවසේ සිට පවත්වනු ලබන ‘දළදා පෙරහර ඇසළ මාසයේ අඛණ්ඩව පවත්වමින් රටටත් රට වැස්සන්ටත් ආශිර්වාද ලබා ගැනීම නිරත්තරයෙන් සිදු වෙති.

අතීත රජවරුන් විසින් පවා ආරම්භ කරමින් පවත්ගෙන යනු ලැබූ මහනුවර පුරවරයේ දළදා පෙරහර නරඹන්නට ලොව පුරා ‘සංචාරකයෝ මහනුවර පුරවරයට පැමිණෙති.

ඇසළ පෙරහර සියැසින් දැක බලා ගැනීමේ අපල උපද්‍රව දුරු වී තම ජීවිතයට සෞභාග්‍ය උදාවන බව ‘‘අතීතයේ ’’ සිට පැවත එන මතයයි.

දළදා පෙරහර තරම් මහනුවර වැස්සන්ට සමීප වූ තවත් කිසිදු පෙරහරක්  නැති තරම්ය.

අතීතයේ මෙරට පාලනය කළ රජ දරුවන් දළදා සමිඳුන් වෙත පුද කරන ලද භක්තිය අති මහත්ය. දළදා වහන්සේ වෙත පූජා කරන ලද රන්රිදී මුතු මැණික් ආදී ‘පූජා භාණ්ඩ එවකට සතුරු ග‍්‍රහණයට පත්වූවද දළදා සමිඳුන්ට කිිසිදු උපද්‍රවයක් කරන්නට සතුරු සේනාවන්ට හෝ කිසිදු බලවේගයකට නොහැකි වූ බව ඉතිහාස ග‍්‍රන්ථයන්හි සඳහන් වෙයි.

දළදා වහන්සේගේ ප‍්‍රාතිහාර්ය දළදා පෙරහර හා බැඳේ. එම ප‍්‍රාතිහාර්ය අත් දුටු අත් දකින ලද පැරැණියෝ අද ද මහනුවර ඇසළ පෙරහර පිළිබඳව කථා කරනු ලබන්නේ පුණ්‍යවන්ත වූ හැඟීමකිනි.

දළදාවහන්සේ වැඩ සිටින කරඬුව වෙතින් පිටත වැඩම කරවන මොහොතේ මුළු මහනුවරම වැසි දියෙන් පිරෙයි. වසර හතළිහක් (වසර 40, තිස්සේ එකී ඓශ්චර්යය අත් විඳ ඇත්තෙමි.

අතීතයේ මහනුවර පුරවරයට ‘දළදා වැස්ස පතිත වූයේද’ දළදා සමිඳුන්ගේ එකී ඓශ්චර්යය හේතුවෙනි. දළදා සමිඳුන් උදෙසා පෙරහර පවත්වන්නට ප‍්‍රථම කුඹල් පෙරහර ආරම්භ කිරීම සඳහා දෙවියන්ට ආශිර්වාද කොට පෙරහර කරඬුව දළදා සමිඳුන් වැඩ සිටින කුටියෙන් පිටතට වැඩම කරවන මොහොතේදී ද මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ‍්‍රය අවට වැසි පතිත වීම නුවර වැස්සන්ට විශ්මය දනවන්නක් නොව, ඔවුන්ගේ සිතට ආශිර්වාද හැඟීම් ඇති කරවන්නකි.

දළදා වහන්සේ වැඩ සිඳුවා තිබෙන්නා වූ රන් කරඬුවල යතුරු තුනක් ඇත්තේ ‘මල්වතු අස්ගිරි මහා නායක හිමිපාණන් වහන්සේලා දෙනම හා දළදා වහන්සේගේ නිල භාරකාරත්වය දරණ දිය වඩන නිළමේතුමන් අතය.

‘‘රන් කරඬු හතකින් ආවරණය වූ ’’ විශේෂ ආරක්‍ෂිත වීදුරු මංජුසාවක ශ්‍රී දළදා සමිඳුන් වැඩ හිඳිනු ලබති. විශේෂ දළදා දැක්මක් අවස්ථාවේදී එකී රන් කරඬු හත එකින් එක ඉවත් කෙරෙන්නේද ‘‘මල්වතු අස්ගිරි මහා නායක හිමිපාණන් වහන්සේලා ඉදිරිපිට උන්වහන්සේලා අධීක්‍ෂණය මත’’ දියවඩන නිළමේ තුමන් විසිනි.

වසර දහයකට වරක් ‘‘ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගන්නට’’ දළදා දැක්මක් පැවැත්වීමද එම දිනවලට මහ ජන ගංගාවක් මහනුවර පුරවරයට එති. දළදා සමිඳුට හානියක් කිරීමට අතීත රජ දවසේ සිට කිසිවකුට නොහැකි වී තිබේ. ඒ පිළිබඳව ඉතිහාසය පිළිබඳ කරුණු පැරණි ග‍්‍රන්ථයන්හි සඳහන් වී තිබේ.

දළදා මාළිගාවට බෝම්බ ගසා 1998 ජනවාරි මස 25 වැනි දින මහා විනාශයක් කරමින් බැතිමතුන් රැසකගේ ජීවිත විනාශ කළ ‘‘එල්ටීටීඊ ත‍්‍රස්ත‍්‍රවාදීන්ද විනාශයට පත් වූයේ’’ දළදා සමිඳුන්ගේ හාස්කමින් හා ඓශ්චර්යෙන් බව රටේ ජනතාව අදත් පවසති.

දළදා පෙරහර පවත්වා, රටට නිසි කල වැසි වසීවායිද, භවභෝග සත්ව සම්පත්වලින් රට ස්වයංපෝෂිත වේවායිද, පර සතුරු උවදුරු වලින් රට වැස්සෝ සුරක්‍ෂිත වී රාජ්‍ය පාලකයෝ දැහැමි බවෙන් රට වැස්සෝ රකීත්වා යැයිද යන ප‍්‍රාර්ථනාව තුළින් ආශිර්වාද ලබා ගැනීම මෙම පූජනීය වූ පෙරහර මංගල්‍යයේ අරමුණ වෙයි.

දළදා වහන්සේ සහ දළදා පෙරහර පිළිබඳ අතීත මූලාශ‍්‍ර තොරතුරු ‘‘මහා වංශය’’ ඇසුරෙනි.

 

 

සටහන ඡායාරූප ජේ.ඒ.එල්. ජයසිංහ